ඔබගේ දරුවා අනතුරෙහි!
ව්‍යාධිත වූ මෙම ලෝකයේ දක්නට තිබෙන අප්‍රසන්න යථාර්ථයක් නම් දරුවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම ය. ලියර්’ස් සඟරාවෙහි මෙසේ සඳහන් විය: “එය අප අතරෙන් පිළිකාවෙන් පහර ලබන අයට වඩා වැඩි සංඛ්‍යාවකට බලපායි, හෘද රෝගවලින් පහර ලබන අයට වඩා වැඩි සංඛ්‍යාවකට බලපායි, ඒඩ්ස් රෝගයෙන් පහර ලබන අයට වඩා වැඩි සංඛ්‍යාවකට බලපායි.” එබැවින් මෙම උවදුරටත් ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයටත් තම පාඨකයන් ව සාවධාන කිරීම සඳහා වෑයමක් දැරීමට පිබිදෙව්!ට ඇතැයි හැඟේ.—එසකියෙල් 3:17-21; රෝම 13:11-13 සසඳන්න.
මෑත වර්ෂ තුළ ලිංගික අඩන්තේට්ටමට ළමයින් ගොදුරු වීම පිළිබඳ ව සමස්ත ලෝක මට්ටමකින් උද්ඝෝෂණයක් හට ගෙන ඇත. එසේ වුවත්, ළමා වියේ සිදු වූ අතවරය පිළිබඳ ව තමන්ගේ ම අද්දැකීම් ප්‍රසිද්ධියෙන් අනාවරණය කර තිබෙන ප්‍රකට අයගේ කතන්දරවලින් ගහණ වූ ප්‍රවෘත්ති මාධ්‍යයන් ප්‍රසිද්ධ වැරදි වටහා ගැනීම් සමහරකට මඟ පාදා ඇත. දරුවන් ලබන මෙම ප්‍රහාරයන් පිළිබඳ මේ කථා සියල්ලක් ම හුදෙක් නවීන පන්නයේ විලාසිතාවක් යයි ඇතමෙක් සිතති. කෙසේ වෙතත්, සැබෑව වනුයේ, එවන් ලිංගික පහරදීම පිළිබඳ ව අලුත් යයි කීමට එතරම් දේ නොතිබීම ය. බොහෝ දුරට එය මිනිස් ඉතිහාසය තරම් ම පැරණි දෙයකි.
පැරණි ගැටලුවක්
වසර 4,000කට පමණ පෙර, සොදොම් සහ ගොමොරා නමැති නුවරවල් දුෂ්චරිතය සඳහා ප්‍රසිද්ධ විය. කෞමාර කාමුකත්වය [ළමයින් සමඟ කාමුක හැසිරීම] එම ප්‍රාන්තයට අයත් බොහෝ දුරාචාරමය ක්‍රියා අතර එකක් වූ බව පැහැදිලි ය. ලොත්ගේ පිරිමි ආගන්තුකයන් දෙදෙනා දූෂණය කිරීමට වෑයම් කළා වූ “තරුණයෝද [පිරිමි ළමුන්, NW ] මහල්ලෝද” ඇතුළත් ලිංගික ව උමතුවෙන් සිටි සොදොමීය කල්ලියක් ගැන උත්පත්ති 19:4 විස්තර කරයි. මෙය කල්පනාවට ගන්න: හුදෙක් පිරිමි ළමුන් පවා, පිරිමි අය ව දූෂණය කිරීමේ අදහසින් මත් වී සිටිනු ඇත්තේ මන්ද? සමලිංගික විකෘති ක්‍රියාවලට ඔවුන් ඒවන විටත් අනාවරණය වී සිටිය බව ඉන් පැහැදිලි වේ.
ශතවර්ෂ ගණනාවකට පසු ව, ඊශ්‍රායෙල් ජාතිය කානාන් ප්‍රදේශයේ පදිංචියට ආවෝ ය. ව්‍යභිචාරය, සමලිංගික ක්‍රියා, සතුන් සමඟ සංවාසය, ගණිකා වෘත්තිය මෙන් ම කුඩා දරුවන් ව භූත දෙවිවරුන්ට පූජා කිරීමේ චාරිත්‍ර ආදියෙන් මෙම දේශයේ සෙනඟ කොතරම් එල්බ සිටියා ද කිවහොත්, මෙම නීච ක්‍රියාවන් සියල්ලක් ම මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලි ලෙස තහනම් කිරීමට අවශ්‍ය විය. (ලෙවී කථාව 18:6, 21-23; 19:29; යෙරෙමියා 32:35) දිව්‍යමය අනතුරු ඇඟවීම් තිබියදීත්, ඔවුන්ගේ සමහර ආණ්ඩුකාරයන් ඇතුළු ව, කැරලිකාර ඊශ්‍රායෙල්වරු, නීචකොට සැලකිය යුතු මෙම ව්‍යවහාරයන් තමන්ගේ ම කර ගත්හ.—ගීතාවලිය 106:35-38.
කෙසේ වෙතත්, මේ කාරණාව සම්බන්ධයෙන් පුරාතන ග්‍රීසිය සහ රෝමය ඊශ්‍රායලයටත් වඩා දරුණු විය. ළදරුවන් මරා දැමීම දෙපක්ෂයට ම පොදු දෙයක් වූ අතර, වයසින් වැඩි පිරිමින් බාල පිරිමි ළමුන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම ග්‍රීසියේ පුළුල් ව පිළිගත් පුරුද්දක් විය. සෑම පුරාතන ග්‍රීක් නුවරක ම පිරිමි ළමා ගණිකා මඩම් ගණනින් වැඩි වන්නට විය. රෝම අධිරාජ්‍යය තුළ, ළමා ගණිකා වෘත්තිය කොතරම් බහුල ව පැවතුණා ද කිවහොත්, එම ව්‍යාපාරය සඳහා ම විශේෂ බදු මෙන් ම නිවාඩු දින නියම කරනු ලැබිණ. රඟ භූමිය තුළ, ගැහැණු ළමුන් ව දූෂණය කරනු ලැබූ අතර සතුන් සමඟ සංවාසයේ යෙදීම සඳහා ඔවුන්ට බල කරනු ලැබිණි. වෙනත් පුරාණ ජාතීන් බොහොමයක ඊට සමාන දාමරික ක්‍රියාවන් පැවත්විණ.
නවීන කාල සම්බන්ධයෙන් කුමක් කිව හැකි ද? එවන් පිළිකුල් සහිත ලිංගික ක්‍රියාවන් බහුල ව පැවතීමට නොහැකි තරමට ම මිනිස් වර්ගයා අද දින වඩා ශිෂ්ට සම්පන්න වී තිබෙනවා ද? මෙම මතය පිළිගැනීමට බයිබල් ශිෂ්‍යයන්ට නොහැක. අපගේ යුගයේ ගති ලක්ෂණ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් සඳහන් කළ විට එය “[කටයුතු කිරීමට දුෂ්කර, NW ] අන්තරා සහිත කාලවල්” යනුවෙන් ඔහු කී බව ඔවුහු හොඳින් දනිති. තමාට ම ප්‍රේම කිරීම, සැප සෙල්ලමට ප්‍රේම කිරීම, පවුලක් තුළ පැවතිය යුතු ස්වාභාවික ප්‍රේමය පිරිහී යාම ආදියේ බහුලත්වයකින් නවීන දින සමාජය පිරී පවතින්නට යන බව ඔහු විස්තර කළ අතර ඊට මෙසේ ද එකතු කළේ ය: “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.” (2 තිමෝති 3:1-5, 13; එළිදරව් 12:7-12) බොහෝ විට ‘නපුරු මනුෂ්‍යයන් හා රැවටිලිකාරයන්’ විසින් ළමුන් ව ලිංගික ව අඩන්තේට්ටම් කිරීම, වඩා නරක තත්ත්වයකට හැරී තිබෙනවා ද?
හදිසි ගැටලුවක්
දරුවන් ලබන ප්‍රහාර, බොහෝ විට රහසිගත ව තබාගනු ලැබේ, එය කොතරම් ද කිවහොත් වාර්තා නොවන අපරාධ අතරින් ඇතැම් විට වැඩි වශයෙන් ම වාර්තා නොවන්නේ ඒවා යයි හඳුන්වා තිබේ. එසේ වුවත්, මෑත දශක තුළ එබඳු අපරාධ පැහැදිලි වශයෙන් වේගවත් ව ඉහළ ගොස් ඇත. ලොස් ඇන්ජලිස් ටයිම්ස් සඟරාව මගින් එක්සත් ජනපදය තුළ එම විෂය සම්බන්ධයෙන් පර්යේෂණයක් පවත්වනු ලැබී ය. ස්ත්‍රීන්ගෙන් සියයට 27ක් ද පුරුෂයන්ගෙන් සියයට 16ක් ද බාල වියේ දී ලිංගික අතවරයට ලක් වූ බව ඉන් හෙළි විය. මෙම සංඛ්‍යාලේඛන කම්පා ඇති කරවන ඒවා වන නමුත්, එක්සත් ජනපදය සඳහා ප්‍රවේසමෙන් ගනු ලැබූ වෙනත් තක්සේරුවල සංඛ්‍යා, සෑහෙන ප්‍රමාණයකින් මෙයට වඩා වැඩි ය.
පසුගිය දශකය තුළ මලයාසියාවේ, ළමුන් ව ලිංගික ලෙස අඩන්තේට්ටම් කිරීම සම්බන්ධ වාර්තා හතර ගුණයකින් වැඩි වී ඇත. තායිලන්තයේ එක් පර්යේෂණයකට යටත් කරනු ලැබූ පුරුෂයන්ගෙන් සියයට 75ක් ළමා ගණිකාවන් ව උපයෝගි කරගත් බව පිළිගත්හ. ජර්මනියෙහි, වසරකට දරුවන් 3,00,000ක් තරම් විශාල සංඛ්‍යාවක් ලිංගික ව අඩන්තේට්ටම් කරනු ලබන බව නිලධාරින් විසින් ගණනය කරන ලදි. දකුණු අප්‍රිකාවේ කේප් ටයිම්ස් පුවත් පතට අනුව, එබඳු ප්‍රහාරයන් පිළිබඳ වාර්තා මෑත වසර තුනක කාල පරිච්ඡේදයක් තුළ සියයට 175කින් ඉහළ ගියේ ය. නෙදර්ලන්තයේ මෙන් ම කැනඩාවේ, සියලු ස්ත්‍රීන්ගෙන් තුනෙන් කොටසක් බාල වියේ දී ලිංගික අතවරයට ගොදුරු වූ බව පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලදි. ෆින්ලන්තයේ, නවවන ශ්‍රේණියේ (අවුරුදු 15ක් හෝ 16ක් වයසැති) ගැහැණු ළමුන්ගෙන් සියයට 18ක් ද පිරිමි ළමුන්ගෙන් සියයට 7ක් ද අඩු ම වශයෙන් තමන්ට වඩා අවුරුදු පහක් වැඩිමහල් කෙනෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ බවට වාර්තා විය.
කුරිරු ලිංගික ක්‍රියා සහ බලවත් හිංසා කිරීම් මගින් දරුවන් හට අඩන්තේට්ටම් කරන ආගමික ලබ්ධි සම්බන්ධයෙන් සිත කලඹවන වාර්තා, රටවල් බොහොමයකින් මතු වී ඇත. බොහෝ විට, තමන් එබඳු අපරාධවලට ගොදුරු වූ බව වාර්තා කරන අයට සලකනු ලබන්නේ අනුකම්පා සහිත ව නොව, නමුත් සැක සහිතභාවයෙන් යුක්ත ව ය.
එබැවින් ළමයින්ට ලිංගික ව අඩන්තේට්ටම් කිරීම නව හෝ කලාතුරකින් සිදුවන යමක් නොවෙයි; එය වනාහි අද දින වසංගතයක් මෙන් පැතිර තිබෙන බොහෝ කල් සිට පැවතෙන ගැටලුවකි. එහි බලපෑම විනාශකාරී එකක් විය හැකි ය. ඊට අසු වූ බොහෝ දෙනෙක් නොවටිනාකමේ සහ පහත් ආත්ම-අභිමානයේ බලවත් හැඟීම්වලින් වධ විඳිති. එම විෂය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රවීණයෝ ව්‍යභිචාරයට අසු වූ ගැහැණු ළමුන්ගේ අතුරු ආබාධ සමහරක් ලයිස්තුගත කර තිබෙන්නේ, නිවස අත්හැර යාම, මත් ද්‍රව්‍ය සහ මත්පැන් අනිසි භාවිතය, මානසික කලකිරීම, සිය දිවි නසා ගැනීමට තැත් කිරීම, ළමා අපරාධ, අසංවර හැසිරීම, කැළඹුණු නින්ද සහ ඉගෙන ගැනීමේ ගැටලු යනාදිය වශයෙනි. දෙමව්පියෙකු වශයෙන් දුර්වල ලෙස කටයුතු කිරීම, උදාසීනභාවය, පිරිමින් අවිශ්වාස කිරීම, ළමා දූෂකයන් සමඟ විවාහ වීම, ස්ත්‍රී සමලිංගික සේවනය, ගණිකා වෘත්තිය සහ ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම පවා එහි දීර්ඝ කාලීන බලපෑම්වලට ඇතුළත් විය හැකි ය.
මෙම අතුරු ආබාධ වනාහි ඊට ගොදුරු වූවෙකුට වැළැක්විය නොහැකි ඒවා නොවෙයි; එමෙන් ම අතීතයේ එබඳු හිරිහැරවලට අසු වීම, තමාගේ වැරදි හැසිරීම සඳහා නිදහසට කරුණක් වශයෙන් ඉදිරිපත් කිරීමට ද කෙනෙකුට නොහැකි ය. ලිංගික අතවරය, ඊට ලක් වූවන් දුරාචාරමය පුද්ගලයන් හෝ අපරාධකරුවන් වීමට කලින් නියම කරන්නේ නැත; ඇරත් ඔවුන්ගේ ජීවිතයේ පසු කාලයේ දී ඔවුන් ගන්නා තීරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ පෞද්ගලික වගකීමෙන් ඔවුන් නිදහස් කරන්නේ ද නැත. එසේ වුවත් ඊට ගොදුරු වන අයට ඇති වන මෙම පොදු ප්‍රතිඵල සැබෑ අන්තරායන් ය. ඒවා මෙම ප්‍රශ්නයට තිබෙන හදිසිතාවය වැඩි කරයි, එනම්, ලිංගික අඩන්තේට්ටමෙන් අප දරුවන් ව ආරක්ෂා කර ගන්නේ කෙසේ ද? g93 10/8