ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් ඔවුන් කථා කරන ආකාරය සැබවින්ම එකිනෙකාට වෙනස්ද?
කිත්සිරි තම ප්‍රශ්න ගැටලුවලින් සම්පූර්ණයෙන්ම යටපත් වූ පෙනුමක් ඇතිව, රෝහිතගේ කාර්යාලය තුළට කෙමෙන් කෙමෙන් ඇතුල් වුණා යයි කල්පනා කරන්න. රෝහිත කාරුණික ලෙස තම මිත්‍රයා දෙස බලා, ඔහු කථාකරන තෙක් බලා සිටියේය. “මේ ව්‍යාපාර ගනුදෙනුව ඉටු කරන්ට මට හැකි වෙයිද කියා මම දන්නේ නැහැ,” යනුවෙන් කිත්සිරි සුසුම්ලමින් පැවසුවේය. “බාධා හුඟාක් තියෙනවා, ඇරත් මූලස්ථානය මට හරියට පීඩා කරනවා.” “ඔයා කලබල වෙලා ඉන්නේ කුමක් ගැනද කිත්සිරි?” යනුවෙන් විශ්වාසනීය ලෙස රෝහිත විමසුවේය. “වැඩට සුදුසුම පුද්ගලයා ඔයා බව ඔයාම දන්නවා, ඔවුනුත් ඒක දන්නවා. හදිස්සි වෙන්න එපා. මේකත් ගැටලුවක් කියා ඔයා හිතනවාද? ඇයි, මේ පසුගිය මාසේ. . . .” රෝහිත තමාටම සිදු වූ කුඩා ප්‍රශ්නයක හාස්‍යජනක විස්තර ටිකක් සඳහන් කළ අතර ස්වල්ප වේලාවකින් ඔහුගේ මිත්‍රයා එම කාර්යාලය හැර ගියේ සිනාසෙමින් සහ සහනයක් ඇතුවය. රෝහිත උපකාර කිරීමට සතුටු විය.
තවද එදා දහවල් රෝහිත තම නිවසට පැමිණ විට, ඔහුගේ බිරිඳ වූ සුජීද කනස්සල්ලෙන් සිටි බව ඔහු දුටු විගස වැටහුණා යයි කියමු. ඔහු විශේෂිත ප්රීතිමත්භාවයකින් යුක්තව ඇයට ආචාර කිරීමෙන් පසුව ඇගේ කනස්සල්ලට හේතුව ඇයම පවසන තෙක් බලා සිටියා යයි සිතමු. සිතේ කලබලය දනවන දැඩි නිශ්ශබ්දතාවයකින් පසුව, ඇය මෙලෙස වචන විගස පිට කළාය: “මට තවදුරටත් දරාගන්න බැහැ! මේ අලුත් ලොක්කා හරිම කෲරයෙක්!” රෝහිත ඇයට වාඩිවෙන්නට සලස්වා, ඇය වටා ඔහුගේ අත දමමින් මෙසේ පැවසුවේය: “සොඳුරිය, මෙතරම් කලබල වෙන්න එපා. බලන්න, මේක රැකියාවක් විතරයි. අනෙක ලොක්කො ඔහොම තමයි. ඔයාට අහගෙන ඉන්න තිබුණා අද මගේ ලොක්කා කේන්තියෙන් කථා කළ හැටි. කොහොම වුණත්, මේක ඔයාට කරන්න අමාරු නම්, රැකියාව අත්හැරලා දාන්න.”
“මට හැඟෙන ආකාරය ගැන ඔයාට ගානක්වත් නැහැ!” යයි සුජී විගස ප්‍රතිඋත්තර දුන්නාය. “ඔයා කවදාවත් මට ඇහුම්කන් දෙන්නේ නැහැ! මට රැකියාව අත්හරින්න බැහැ! ඔයා නිවසට ඇති තරම් මුදල් ගේන්නෙත් නැහැ!” ඇය විගස නිදන කාමරයට දිව ගොස් ඇති තරම් අඬා වැළපුණාය. සිදුවුණේ කුමක්ද යයි කල්පනා කරමින්, වසා තිබූ දොරකඩ අසල රෝහිත පුදුමයෙන් මෙන් බලා සිටියේය. සැනසිල්ල ලබා දීමට රෝහිත භාවිතා කළ වචනවලට එයාකාර ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක් ලැබුණේ මන්ද?
ස්ත්‍රීපුරුෂ පරතරයද?
මෙම නිදසුන්වල තිබෙන වෙනසට ඇතමෙක් එකම සරල හේතුවක් ඉදිරිපත් කළ හැකිය: කිත්සිරි පුරුෂයෙක්; සුජී ස්ත්‍රියක්. විවාහය තුළ අදහස් හුවමාරු කිරීම සම්බන්ධයෙන් ඇති වන ගැටලු බොහෝ විට ස්ත්‍රී පුරුෂභාවය හේතුවෙන් පැනනගින බව භාෂාමය පර්යේෂකයෝ විශ්වාස කරත්. එකම භාෂාව කථා කරන නමුත් පුරුෂයන්ට සහ ස්ත්රීන්ට අදහස් හුවමාරු කිරීමේදී එකිනෙකාට වෙනස් වූ ඉතා පැහැදිලි විලාස තිබෙනවා යන මතයට, යූ ජස්ට් ඩෝන්ට් අන්ඩස්ටෑන්ඩ් (ඇත්තටම ඔබට තේරෙන්නේ නැහැ) සහ මෙන් ආ ෆ්‍රොම් මාස්, විමෙන් ආ ෆ්‍රොම් වීනස් (මිනිස්සු අඟහරුලොවින්, ගැහැනු සිකුරුලොවින්) වැනි පොත් අනුබල දේ.
යෙහෝවඃවහන්සේ පුරුෂයාගෙන් ස්ත්‍රිය නිර්මාණය කළ විට, ඇය යන්තමින් වෙනස් වූ රූපයක්ව පමණක් නොවීම ගැන සැකයක් නැත. පුරුෂයා සහ ස්ත්‍රිය කායිකව, චිත්ත වේගීව, මානසිකව සහ ආත්මිකව එකිනෙකාගේ අඩුව පිරවීම සඳහා විශිෂ්ට මෙන්ම කල්පනාකාරී අන්දමකින් නිර්මාණය කරනු ලැබීය. ආවේනික වූ මෙම වෙනස්කම්වලට එකිනෙකා ඇති දැඩි කරනු ලැබූ ආකාරයේ මෙන්ම ජීවිතයේ අද්දැකීම්, සංස්කෘතිය, පරිසරය මෙන්ම පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට යෝග්‍ය වූ දෙය පිළිබඳව සමාජයේ ආකල්පය මගින් මනුෂ්‍යයන් හැඩගැහෙන විට ඇති වන සංකීර්ණතාවයන්ද ඇතුළත් කරන්න. මෙම බලපෑම් නිසා, පුරුෂයන් සහ ස්ත්‍රීන් අදහස් හුවමාරු කරන ආකාරය සම්බන්ධයෙන් ඇතැම් රටා, වෙන් කොට දැක්වීම කළ හැක්කකි. එහෙත් සොයාගැනීමට දුෂ්කර වූ “නියම පුරුෂයා” හෝ “නියම ස්ත්‍රිය” සිටින්නේ මනෝවිද්‍යාව පිළිබඳ පොත්පත්හි පිටුවල පමණක් විය හැකිය.
ස්ත්‍රීන් විශේෂයෙන් සංවේදී බව කවුරුත් පිළිගන්නා නමුත්, බොහෝ පුරුෂයෝද අන් අය සමඟ කටයුතු කිරීමේදී අතිශයින් මෘදු ලෙස ක්‍රියා කරති. තර්කානුකූල ලෙස කල්පනා කිරීම පුරුෂ ගතියක් බව කිව හැකි නමුත්, තියුණු විග්රහ කිරීමක් කළ හැකි තීක්ෂ්ණ බුද්ධියක් ස්ත්රීන්ට බොහෝ විට තිබේ. එමනිසා සම්පූර්ණයෙන්ම පුරුෂයෙකු හා සම්බන්ධ හෝ තනිකර ස්ත්‍රියකට සම්බන්ධ ගුණාංගයක් යනුවෙන් ඕනෑම ගුණාංගයක් නම් කළ නොහැකි වුවත්, එක දෙයක් නම් සහතිකය: වෙනත් කෙනෙකුගේ දෘෂ්ටි කෝණය ගැන අවබෝධයක් ඇතුව සිටීම, විශේෂයෙන් විවාහය තුළ සාමකාමීව එකට ජීවත්වීම අදහස් කළ හැක, එසේ නොවේ නම්, එක හෙළාම රණ්ඩු කිරීම අදහස් කළ හැකිය.
විවාහය තුළ ස්ත්‍රී-පුරුෂ අදහස් හුවමාරුව සම්බන්ධයෙන් දිනපතාම ඇති වන අභියෝගය දුෂ්කර එකකි. “මගේ අලුත් කොණ්ඩා මෝස්තරය කොහොමද?” යන පෙනෙනාකාරයට සරල විය හැකි ප්රශ්නය අන්තරාවන්ගෙන් පිරී තිබිය හැකි බව අවබෝධාත්මක ස්වාමිපුරුෂයන් බොහෝ දෙනෙකුට සහතික කළ හැකිය. ගමන් කිරීමේදී තම ස්වාමිපුරුෂයන්ට පාර වැරදෙන විට, “හරි පාර කාගෙන් හරි අහගන්නෙ නැත්තේ මොකද?” යනුවෙන් ඇසීමෙන් වැළකීමට බොහෝ උපායශීලී භාර්යාවෝ ඉගෙන ගනිති. කලත්‍රයෙකුගේ පෙනෙන්ට තිබෙන අසාමාන්‍ය ස්වභාවයන් සුළු කොට සලකා “ඒ මගේ හැටි” යයි තමාගේම අසාමාන්‍ය ස්වභාවයන්ට ඇලී ගැලී සිටිනවා වෙනුවට, ප්‍රේමනීය කලත්‍රයන් මතුපිටට ඔබ්බෙන් බලනු ඇත. මෙය වනාහි එකිනෙකාගේ අදහස් හුවමාරු කිරීමේ විලාස ගැන අනුකම්පා විරහිතව සියුම් ලෙස පරීක්ෂා කිරීමක් නොව නමුත් එකිනෙකාගේ හෘදය සහ මනස තුළට අනුකම්පාසහගත බැල්මක් හෙලීමකි.
එක් එක් පුද්ගලයා අද්විතීය වනවා සේම, විවාහය තුළ පුද්ගලයන් දෙදෙනෙකුගේ සම්මිශ්‍රණයද අද්විතීය එකක් වේ. මනස් සහ හෘදයන් සැබෑ ලෙස එකට සම්බන්ධ වීම අහඹු සිදුවීමක් නොව, නමුත් අපගේ අසම්පූර්ණ මිනිස් ස්වභාවය නිසා ඊට දැඩි පරිශ්‍රමයක් යෙදවීමට අවශ්‍ය වනු ඇත. නිදසුනක් වශයෙන්, අපි දේවල් දෙස බලන ආකාරයටම අන් අයත් බලන බව කල්පනා කිරීම ඉතා පහසු දෙයකි. “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා” යන රන් අණ අනුගමනය කිරීමට ඇතැම් විට වෑයමක් ඇතිව අන් අය අපගේ අවශ්‍යතා සපුරාලීමට අප කැමැති වන පරිදිම අපිද බොහෝවිට අන් අයගේ අවශ්‍යතා සපුරාලමු. (මතෙව් 7:12) කෙසේවෙතත්, ඔබට ඕනෑ කරන දෙයම අන් අයටත් සුදුසු විය යුතු බව යේසුස්වහන්සේ අදහස් කළේ නැත. ඒ වෙනුවට, ඔබ කැමති වන්නේ ඔබට අවශ්‍ය කරන දේ හෝ ඕනෑ කරන දේ අන් අය ඔබට දෙන විටයි. එබැවින් ඔවුන්ට ඕනෑ කරන දෙය ඔබ විසින් ඔවුන්ට දිය යුතුව තිබේ. මෙය විශේෂයෙන් විවාහය තුළ අත්‍යවශ්‍ය දෙයකි, මන්දයත් එක් එක්කෙනා ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයාගේ අවශ්‍යතා හැකි තරම් සම්පූර්ණයෙන් ඉටු කිරීමට පොරොන්දු වී ඇත.
සුජී සහ රෝහිත විසින් එවන් ගිවිසුමක් ගෙන තිබේ. තවද ඔවුන් විවාහය තුළ සම්බන්ධ වී තිබෙන වසර දෙක සන්තෝෂවත් කාලයක් වී ඇත. කෙසේවෙතත්, ඔවුන් එකිනෙකාව හොඳින් දන්නවා යයි ඔවුන්ට හැඟුණත්, හොඳ චේතනා මගින් පමණක් එකිනෙකට සම්බන්ධ කළ නොහැකි අදහස් හුවමාරු කිරීමේ විශාල පරතරයක් හෙළි කරන තත්ත්වයන් ඇතැම් විට මතු වේ. “ඥාණවන්තයාගේ සිත [හෘදය, NW ] ඔහුගේ මුඛයට උගන්ව[යි] [තීක්ෂ්ණ බුද්ධිය පෙන්වීමට සලස්වයි, NW ],” යයි හිතෝපදේශ 16:23 පවසයි. එසේය, අවශ්‍ය යතුර වනුයේ අදහස් හුවමාරු කිරීමේදී තීක්ෂ්ණ බුද්ධිය භාවිතයයි. රෝහිත සහ සුජීට එමගින් විවෘත කෙරෙන දොරටු කුමක්දැයි අපි බලමු.
එක මිනිසෙකුගේ දෘෂ්ටිය
එක් එක් පුද්ගලයා සමාජීය අනුපිළිවෙළක් තුළ, යම් තත්ත්වයක් යටතේදී සේවකයෙකු ලෙස හෝ ප්‍රධානියෙකු ලෙස හෝ තමාගේ ස්ථානය බාරගත යුතු තරඟකාරී ලෝකයක් තුළ රෝහිත කටයුතු කරයි. ඔහුගේ තත්ත්වය, සමර්ථකම, දක්ෂතාවය හෝ වටිනාකම තහවුරු කිරීම සඳහා අදහස් හුවමාරු කිරීම දායක වෙයි. ඔහුගේ ස්වාධීනත්වය ඔහුට අගනා දෙයකි. එබැවින් තර්ජනය කරන ආකාරයකින් ඔහුට අණ කරනු ලබන විට, තමා ඊට විරුද්ධ වන බව රෝහිතට හැඟෙයි. ඉල්ලුම තර්කානුකූල එකක් වුවත්, ඉන් හෙළිවන සූක්ෂ්ම පණිවුඩය එනම්, “ඔයා ඔයාගේ වැඩේ හරියට කරන්නේ නැහැ” යන්න ඊට විරුද්ධ වීමට ඔහුට සලස්වයි.
රෝහිත මූලික වශයෙන් අදහස් හුවමාරු කරන්නේ තොරතුරු හුවමාරු කිරීමටයි. ඇත්ත කාරණා, අදහස් සහ ඔහු ඉගෙන ගත් අලුත් දේවල් ගැන කථා කිරීමට ඔහු කැමැත්තක් දක්වයි.
සවන් දීමේදී, “ආ ඔව් ඔව්” වැනි කුඩා ප්රතිචාරවලින්වත් කථා කරන තැනැත්තාට රෝහිත බාධා කරන්නේ ඉතා කලාතුරකිනි, මන්දයත් ඔහු තොරතුරු ලබාගනිමින් සිටි. එසේ වුවත් ඔහු එකඟ නොවුණා නම්, විශේෂයෙන් මිත්‍රයෙකු සමඟ නම්, එසේ කීමට ඔහු සමහරවිට පසුබට වන්නේ නැත. ඔහුගේ මිත්‍රයාට පැවසීමට තිබෙන කාරණය ගැනත්, විය හැකි සියලුම දෑ පරීක්ෂා කිරීම ගැනත් ඔහු උනන්දුවෙන් සිටින බව ඉන් පැහැදිලි වෙයි.
රෝහිතට ගැටලුවක් තිබේ නම්, ඊට විසඳුමක් තනියෙන්ම සපයාගැනීමට ඔහු වැඩි කැමැත්තක් දක්වයි. එමනිසා, අන් සෑමදෙනාගෙන්ද සෑමදෙයකින්මද ඔහු ඈත්වී සිටිය හැකිය. එසේ නැතහොත් ඔහුගේ මහත් ගැටලුව තාවකාලික ලෙස අමතක කර දැමීමට, මනස වෙනතකට යොමුකර විවේක ගැනීමට ඔහු තැත් කළ හැකිය. ඔහු ඒ ගැන සාකච්ඡා කරනු ඇත්තේ ඔහු උපදෙස් සොයනවා නම් පමණි.
කිත්සිරි, රෝහිත වෙතට පැමිණියා සේ, මිනිසෙක් ගැටලුවක් ඇතිව රෝහිත වෙතට පැමිණියා නම්, උපකාර සැපයීම ඔහුගේ වැඩ කොටස බව රෝහිත තේරුම් ගන්නා අතර, ඔහුගේ මිත්‍රයා අසමර්ථ යයි හැඟෙන්නට නොසැලැස්වීමට රෝහිත ප්‍රවේසම් වෙයි. ඔහුගේ මිත්‍රයාට පාළුවක් නොදැනෙන පරිදි ඔහු ඔහුගේම කරදර සමහරක් ඔහු සමඟ බෙදා ගනියි.
මිත්‍රයන් සමඟ විවිධ කටයුතුවල යෙදීමට රෝහිත කැමැත්තක් දක්වයි. මිත්‍රත්වයෙන් ඔහුට අදහස් කරන්නේ දේවල් එක්ව කිරීමය.
රෝහිතට නිවස වනාහි රඟ භූමියක් බඳු පිටස්තර ලෝකයෙන් සැඟවී සිටීමට හැකි ස්ථානයකි, එනම් ඔහුට තවදුරටත් තමාවම ඔප්පු කර කථා කිරීමට අවශ්‍ය නොවන, ඔහුව පිළිගනු ලබන, විශ්වාස කරනු ලබන, ප්‍රේම කරනු ලබන සහ අගය කරනු ලබන ස්ථානයකි. එසේ වුවත්, හුදකලාවේ සිටීමට ඉඳ හිට රෝහිතට අවශ්‍යතාවයක් තිබෙන බව ඔහුට හැඟෙයි. ඊට සුජී හෝ ඇය කළ ඕනෑම දෙයක් සම්බන්ධ නොවිය හැකිය. ඔහුට තනි වී සිටීමට යම් කාලයක් අවශ්‍ය වනවා පමණි. ඔහුගේ බියසැක, අසුරක්ෂිතභාවයේ හැඟීම් සහ වේදනාවන් සිය භාර්යාවට හෙළි කිරීමට රෝහිතට දුෂ්කරතාවයක් දැනෙයි. ඇය කලබල වෙනවාට ඔහු කැමති නැත. ඇයව බලාගැනීමත් ආරක්ෂා කිරීමත් ඔහුගේ කාර්යභාරය වෙයි, එමෙන්ම ඔහු එසේ කරන බව සුජී විශ්වාස කරනවාට ඔහු කැමති වෙයි. රෝහිතට අනුබල දීමක් අවශ්‍ය වන නමුත්, ඔහු ගැන අනුකම්පා වනවාට ඔහු අකමැතිය. එය අසමර්ථ නැතහොත් කිසි පළක් නැති හැඟීමක් ඔහුට ලබා දෙයි.
එක් ස්ත්‍රියකගේ දෘෂ්ටි කෝණය
අන් අය සමඟ සමාජීය සම්බන්ධතා පවත්වන ලෝකයක කටයුතු කරන තැනැත්තියක් වශයෙන් සුජී තමා ගැන සලකයි. එම සම්බන්ධතාවයන් පිහිටුවීමත් ඒවා ශක්තිමත් කිරීමත් ඇයට වැදගත් දෙයකි. කථා බහ කිරීම වනාහි සමීපතාවය ඇති කිරීමටත් එය තහවුරු කිරීමටත් වැදගත් මාර්ගයකි.
රඳාපැවැත්ම සුජීට ස්වාභාවික දෙයකි. රෝහිත පෙරමුණ ගන්නවාට ඇය කැමති නමුත්, තීරණයක් ගැනීමට පෙර ඔහු ඇගේ අදහස් විමසනවා නම් ඔහු ඇයට ප්‍රේම කරන බවක් ඇයට හැඟෙයි. ඇයට තීරණයක් ගැනීමට තිබෙන විට, ඇගේ ස්වාමිපුරුෂයාගෙන් අදහස් විමසීමට ඇය ආශා කරන්නීය, ඇය මෙසේ කරන්නේ ඇය කළ යුතු දෙය ඔහු ඈට කියන නිසා නොව, නමුත් ඔහු කෙරෙහි ඈට තිබෙන සමීපතාවය සහ රඳාපැවැත්ම දැක්වීමටයි.
කෙළින් කථා කර තමාට යමක් අවශ්‍ය බව පැවසීම සුජීට ඉතා දුෂ්කර දෙයකි. රෝහිතට නිතර කෙඳිරීමට හෝ තමා අසන්තෝෂයෙන් සිටින බව ඔහුට හැඟීමට සැලැස්වීමට හෝ ඇය අකැමතිය. ඒ වෙනුවට, තමා වෙතට අවධානය යොමු වන තුරු ඇය බලා සිටියි නැතහොත් ඉඟි කිරීමකින් ඇඟවීමක් කරයි.
සුජී අදහස් හුවමාරු කරන විට, ඉතා සුළු තොරතුරුවලින් පවා කුතුහලයට පත් වී බොහෝ ප්‍රශ්න අසයි. මනුෂ්‍යයන් සහ සම්බන්ධතා කෙරෙහි ඇයට තිබෙන සංවේදීතාවය සහ බලවත් උනන්දුව නිසා මෙය ස්වභාවික දෙයකි.
සුජී සවන් දෙන විට, කථාකරන්නාගේ වචන අතරතුරේදී යමක් පැවසීමෙන්, හිස සෙලවීමෙන් හෝ ප්‍රශ්න ඇසීමෙන් කථාකරන පුද්ගලයාට ඇය සවන් දෙන බව සහ ඔහු හෝ ඇයට කීමට තිබෙන දෙය ගැන උනන්දුවන බව ඇය දක්වයි.
අන් අයට අවශ්‍ය වන්නේ කුමක්ද කියා ඔවුන්ගෙන් නොවිමසාම දැනගැනීම සඳහා ඇය මහන්සිවී වැඩ කරයි. ඉල්ලීමට පෙර උපකාර කිරීමට ඉදිරිපත් වීම ප්‍රේමය දැක්වීමට කදිම මගකි. ඇයට විශේෂයෙන් වුවමනා වනුයේ දියුණු වී සඵල වීමට තම ස්වාමිපුරුෂයාට උපකාර කිරීමටයි.
සුජීට ගැටලුවක් තිබෙන විට, එයින් සම්පූර්ණයෙන්ම යටපත් වූ හැඟීමක් ඇයට ඇති විය හැකිය. ඇයට කථා කිරීමට අවශ්‍ය වේ, එනම් ගැටලුවට විසඳුමක් සෙවීම සඳහාම නොව නමුත්, ඇගේ හැඟීම් ප්‍රකාශ කිරීමටය. යමෙක් ඇයව තේරුම් ගන්න බවත් ඇය ගැන උනන්දුවන බවත් ඇය දැනගත යුතුය. සුජීගේ චිත්ත වේගයන් ඇවිස්සෙන විට, ඇය අන්තගාමී, හැඟීම් දනවන, ප්‍රකාශයන් ඉදිරිපත් කරයි. “ඔයා කවදාවත් ඇහුම්කන් දෙන්නේ නැහැ!” යනුවෙන් ඇය පවසන විට ඇය සැබවින්ම එය අදහස් කරන්නේ නැත.
ළමා වියේ දී සුජීට සිටියා වූ හොඳම මිතුරිය වූයේ ඇය එක්ව දේවල් කළ තැනැත්තිය නොව නමුත් සෑම දෙයක්ම එකට කථා කර බෙදාගත් තැනැත්තියයි. එමනිසා විවාහයේදී ඇගේ හැඟීම් හවුලේ බෙදා ගත හැකි අනුකම්පා සහිත සවන් දෙන්නෙකු ගැන ඇය උනන්දුවක් දක්වන තරමටම ඇය පිටස්තර කටයුතු හසුරුවනු ලැබූ ආකාරය ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැත.
නිවස වනාහි විනිශ්චය කිරීමකින් තොරව සුජීට කථා කළ හැකි ස්ථානයකි. ඇගේ බියසැකයන් සහ කරදර රෝහිතට හෙළි කිරීමට ඇය පසුබට වෙන්නේ නැත. ඇයට උපකාරය අවශ්‍ය නම්, එසේ පැවසීමට ඇය ලැජ්ජා වන්නේ නැත, මන්දයත් ඇගේ ස්වාමිපුරුෂයා ඇයට සිටින බවත් සවන් දීමට තරම් ඔහු ඇය ගැන උනන්දුවක් දක්වන බවත් ඇය විශ්වාස කරන නිසාය.
විවාහය තුළ සුජීට බොහෝ විට ප්‍රේම කරනු ලැබීම මෙන්ම සුරක්ෂිත හැඟීමක් දැනෙයි. එහෙත් ඉඳහිට, පැහැදිලි හේතුවක් නැතුව, ඇයට අසුරක්ෂිතභාවයක් සහ ප්‍රේමය නොලබන ස්වභාවයක් දැනෙන්ට පටන් ගන්න අතර වහාම නැවත එය ස්ථිර කරනු ලැබීමත් මිත්‍රත්වයත් ඈට අවශ්‍ය වෙයි.
එසේය, එකිනෙකාට ඌණපූරණයන් වන, රෝහිත සහ සුජී, එකිනෙකාට අතිශයින් වෙනස්ය. එකිනෙකාට ප්‍රේමය දැක්වීමටත් අනුබල දීමටත් දෙදෙනාම අතිශයින් කැමති විය හැකි වුවත්, ඔවුන් අතර තිබෙන වෙනස්කම්, බරපතළ වැරදි වටහාගැනීම්වලට මඟ පාදයි. ඉහත සඳහන් තත්ත්වය සම්බන්ධයෙන් එක් එක්කෙනාගේ දෘෂ්ටි කෝණයට අපට සවන් දීමට හැකි වේ නම්, ඔවුන් කුමක් කියනු ඇත්ද?
තමන්ගේම ඇස්වලින් ඔවුන් දුටු දේ
“මං දොරකොඩින් ඇතුල් වූ විගස, සුජී කලබලයෙන් සිටි බව මට දැනගන්නට හැකි වුණා,” යනුවෙන් රෝහිත පවසනු ඇත. “ඇය සූදානම්ව සිටින විට, ඊට හේතුව කුමක්ද යන්න ගැන ඇය මට කියයි කියා මා සිතුවා. ගැටලුව එතරම් බරපතළ එකක් යයි මට හැඟුණේ නැහැ. එතරම් කලබල වීමට අවශ්‍ය නැති බවත් ඊට විසඳුම සෙවීම පහසු බවත් ඇයට දැනගැනීමට මා උපකාර කළා නම්, එය ඇයට සහනයක් වනු ඇති බව මං සිතුවා. මං ඇයට සවන් දුන්නාට පසුව ඇය, ‘ඔයා කවදාවත් මට ඇහුම්කන් දෙන්නේ නැහැ!’ යනුවෙන් පැවසූ විට එය ඇත්තටම මට වේදනාවක් වුණා. ඇගේ නිෂ්ඵලභාවයට ඇය සම්පූර්ණයෙන්ම මා පිට දොස් පවරනවා සේ මට දැනුණා!”
“මුළු දවසම එකම මහත් විපත්තියක් වී තිබුණා,” යනුවෙන් සුජී පැහැදිලි කරනු ඇත. “එය රෝහිතගේ වැරැද්ද නොවූ බව මං දැනගෙන සිටියා. එහෙත් ඔහු සම්පූර්ණ ප්‍රීතියකින් යුක්තව නිවසට පැමිණියාම, මම කලබලයෙන් සිටි බව ඔහු නොසලකා හරිනවා කියා මට හැඟුණා. කරදරය මොකද්ද කියා ඔහු මගෙන් නොවිමසුවේ මන්ද? මම ගැටලුව ඔහුට විස්තර කළාම ඔහු ඇත්ත වශයෙන්ම මට අඟවන්න වෑයම් කළේ, මම නිකම්ම මෝඩ වෙනවා කියාත්, මුළු සිද්ධියම එතරම් වැදගත් නොවූ බවත්ය. මට හැඟෙන ආකාරය ඔහුට තේරුණ බව පවසනවා වෙනුවට, ගැටලු හරිගස්සන රෝහිත, එම ගැටලුව හරිගස්සන ආකාරය මට කියා දුන්නා. මට විසඳුම් අවශ්‍ය වුණේ නැහැ, මට අවශ්‍ය වුණේ අනුකම්පාවයි!”
මෙම තාවකාලික බිඳුමෙන් කුමක් පැහැදිලි වුවත්, රෝහිත සහ සුජී එකිනෙකාට අතිශයින් ප්‍රේම කරති. එම ප්‍රේමය පැහැදිලිව ප්‍රකාශ කිරීමට ඔවුනට උපකාර වනු ඇත්තේ කිනම් ආකාරයේ තීක්ෂ්ණ බුද්ධියක්ද?
එකිනෙකාගේ දෘෂ්ටියෙන් බැලීම
ප්රශ්නය කුමක්ද කියා සුජීගෙන් විමසීම එතරම් කැමැත්තෙන් පිළිගන්නට යන දෙයක් නොවන බව රෝහිතට සිතුණා, එමනිසා අන්අය ඔහුට කරනවාට ඔහු කැමති දෙය ඔහු ස්වභාවයෙන්ම ඇයට කළේය. ඇය විවෘතව කථාකරන තෙක් ඔහු බලා සිටියේය. දැන් සුජී කලබල වුණේ හුදෙක් ගැටලුව නිසාම නොව නමුත් රෝහිතගේ උපකාරය සඳහා වූ ඇගේ ආයාචනය ඔහු විසින් නොසලකා හරිනවා යයි ඇයට පෙනුණ නිසාය. ඔහුගේ නිශ්ශබ්දතාවය මෘදු ගෞරවය සඳහා සංඥාවක් වශයෙන් ඇය සැලකුවේ නැත—නොසැලකිල්ල ලෙස ඇය එය සැලකුවාය. අන්තිමේදී සුජී කථා කළ විට, රෝහිත අතරමැදි වීමෙන් තොරව සවන් දුන්නේය. එහෙත් ඔහු සැබවින්ම ඇගේ හැඟීම්වලට සවන් නොදෙනවා යයි ඇයට හැඟුණි. පසුව ඔහු සංවේදනය නොව, නමුත් විසඳුමක් ඉදිරිපත් කළේය. මින් ඇයට ඇඟවූයේ: ‘ඔයාගේ හැඟීම් ඒත්තුගත යුතු ඒවා නොවෙයි; ඔයා පමණට වඩා වැඩියෙන් ප්‍රතික්‍රියා කරනවා. මේ පුංචි ගැටලුව විසඳීම කොතරම් පහසුද කියා ඔයාට පේනව නේද?’ යන්නය.
එක් එක්කෙනාට අනිත් පුද්ගලයාගේ දෘෂ්ටි කෝණයෙන් දේවල් සැලකීමට හැකි වුණා නම් දේවල් කොතරම් වෙනස්ව තිබෙනු ඇත්ද! එය සමහර විට මෙලෙස වන්නට ඇති:
රෝහිත නිවසට පැමිණ සුජී කලබලෙන් සිටිනවා දකියි. “ප්‍රශ්නෙ මොකක්ද සොඳුර?” යයි ඔහු මෘදු ලෙස විමසයි. කඳුළු ගලා යන්නට පටන් ගන්න අතර, වචන පහසුවෙන් පිට වෙයි. “මේ සෑම දෙයටම වග කියන්න ඕන ඔයයි!” යනුවෙන් සුජී කියන්නේවත් රෝහිත ප්‍රමාණවත් අන්දමකින් දේවල් ඉටු කරන්නේ නැති බවවත් අඟවන්නේ නැත. රෝහිත ඈව තමාට කිට්ටු කර අල්ලාගෙන ඉවසිලිවන්තව සවන් දෙයි. ඇය අවසන් වූ විට, ඔහු මෙසේ පවසයි: “ඔයා පීඩනයෙන් සිටීම ගැන මට කනගාටුයි. ඔයා මෙතරම් කලබලෙන් සිටින්නේ ඇයි කියා මට තේරෙනවා.” සුජී මෙලෙස උත්තර දෙයි: “මට සවන් දුන්නාට ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයා දේවල් තේරුම් ගන්න බව දැනගැනීම මට ලොකු සහනයක්.”
ඔවුන්ගේ වෙනස්කම් විසඳාගැනීම වෙනුවට, බොහෝ යුවළයන් දික්කසාද වීමෙන් ඔවුන්ගේ විවාහය අවසන් කිරීමට තීරණය කිරීම දුකට හේතුවකි. බොහෝ නිවාස පාළු කරන සතුරා නම් අදහස් හුවමාරු කිරීමේ හීනතාවයයි. විවාහයේ අත්තිවාරම් පවා දෙදරා දමන විවාදයන් හටගනියි. එය සිදුවන්නේ කෙසේද? ඊළඟ ලිපිය එය සිදුවන ආකාරයත් ඉන් වැළකී සිටිය හැකි ආකාරයත් කියා දෙයි. g94 1/22