විවාදයක ව්‍යූහය
ඇයට අවශ්‍ය වනුයේ හැඟීම් හෙලි කිරීමටය. ඔහුට ඕනෑ වන්නේ විසඳුම් දීමටය. ගෙවී ගොස් ඇති කාලය පුරාම විවාහය තුළ මතු වී තිබෙන මිලියන සංඛ්‍යාත විවාදවලට විවිධ රටා බොහොමයක් තිබී ඇති නමුත්, ඒවා මූලික තේමා කිහිපයක් මත පදනම් වූ වෙනස්කම්වලින් හටගෙන ඇත. ඔබගේ කලත්‍රයාගේ වෙනස් වූ දෘෂ්ටි කෝණය හෝ අදහස් හුවමාරු කිරීමේ විලාසය වටහා ගැනීම දැල්වෙන මෙම ලැව් ගිනි ජාලා සන්තෝෂවත් නිවසක උණුසුම සපයන අඟුරු ලිපකට පරිවර්තනය කළ හැකිය.
“මගේ ජීවිතය පාලනය කරන්න එපා!”
උපදෙස්, ඉල්ලීම් හා විවේචන හේතුවෙන් කොටු වී සිටින බවට හැඟෙන ස්වාමිපුරුෂයන් බොහෝ දෙනෙකුට බලපවත්වන, කොඳුරන භාර්යාවකගේ ආකෘතිය කෙසේද යන්න මොනවට පැහැදිලිවනවා විය හැක. මෙසේ සඳහන් කිරීමෙන් බයිබලය එවන් හැඟීම් ඒත්තු ගනියි: “භාර්යාවකුගේ තරඟද නොනවතින වතුර බින්දු වැටීමක්ය.” (හිතෝපදේශ 19:13) භාර්යාවක් ඉල්ලීමක් කරන නමුත්, ඇය නොදන්නා හේතු නිසා, ඇගේ ස්වාමිපුරුෂයා නිශ්ශබ්දව එය ප්‍රතික්ෂේප කළ හැකිය. ඔහුට ඇහුණේ නැත යයි සිතමින්, මෙවර ඔහු කුමක් කළ යුතුදැයි ඇය ඔහුට පවසයි. ඔහුගේ විරුද්ධ වීම දැඩි වෙයි. කොඳුරන භාර්යාවක් සහ කොන්ද පණ නැති ස්වාමිපුරුෂයෙක්ද? එසේ නැතහොත් පැහැදිලි ලෙස අදහස් හුවමාරු කර නැති පුද්ගලයන් දෙදෙනෙක්ද?
භාර්යාවකගේ දෘෂ්ටියෙන් බලන විට, ඇගේ ස්වාමිපුරුෂයා සඳහා වූ ඇගේ ප්‍රේමය හොඳින්ම ප්‍රකාශ කරන්නේ ඇය උපකාරවත් උපදෙස් සපයන විටය. ඇගේ ස්වාමිපුරුෂයා එය සලකන්නේ, ඇය ඔහුට අණ දෙන බවත් ඔහු අසමර්ථයෙක් ලෙස අඟවන බවත්ය. “ඔයාගේ බෑග් එක දාලා යන්න එපා” යන්න ඔහුට අවශ්‍ය දෑ ඔහුට තිබෙන බව සහතික කිරීමත් ඇය ඔහු ගැන උනන්දුවන බවත් අඟවන ප්රකාශනයකි. ඔහු නිවසින් පිටවන විට ඔහුගේ මව, “පුතාගේ තොප්පිය ගත්තද?” යනුවෙන් ඔහුගෙන් විමසීම ඔහුට මතක් කරයි.
වෙහෙසට පත් භාර්යාවක් මෙසේ මෘදු ලෙස පැවසිය හැකිය, “ඔයා කැමතිද අපි අද රාත්‍රි කෑම පිටින් ගන්නවාට?” ඇය සැබවින්ම එයින් අදහස් කරන්නේ මෙයයි, “මට උයන්න මහන්සි වැඩියි, මාව රාත්‍රි කෑමට පිට එක්කරගෙන යන්න බැරිද?” එහෙත් ඇයට කැප වූ ඇගේ ස්වාමිපුරුෂයා ඇය ආහාර පිළියෙළ කරන ආකාරය ප්‍රශංසා කිරීමට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් වෙන කිසිම ආහාරයකට වඩා ඔහු එය ප්‍රිය කරන බව බලෙන්ම පැවසිය හැකිය. එසේත් නැතහොත්, ‘ඇය මාව මෙහෙයවන්න තැත් කරනවා!’ යයි ඔහුට හැඟිය හැකිය. ඒ අතරතුරේදී, භාර්යාවක් නුරුස්සන ස්වභාවයකින් මෙසේ තමාටම පැවසිය හැකිය, ‘මට ඔහුගෙන් අහන්නම අවශ්‍ය වන්නේ ඇයි?’
“ඔයා මට ආදරේ නෑ!”
“එයා එහෙම හිතන්නේ කොහොමද?” යනුවෙන් බලාපොරොත්තු සුන් වූ, ව්‍යාකූලත්වයට පත් ස්වාමිපුරුෂයෙක් පවසයි. “මම වැඩ කරනවා, බිල්පත් ටික ගෙවනවා, ඉඳ හිට ඇයට මල් ටිකක් පවා ගෙනත් දෙනවා!”
සියලුම මනුෂ්‍යයන්ට තමන් ප්‍රේම කරනු ලබන බවක් හැඟෙන්නට අවශ්‍යතාවයක් තිබෙන නමුත්, මේ සම්බන්ධයෙන් නැවත නැවත තහවුරු කරනු ලැබීමට ස්ත්‍රියකට විශේෂ අවශ්‍යතාවයක් තිබේ. ඇය හඬ නගා එසේ නොපැවසිය හැකි නමුත්, විශේෂයෙන් ඇගේ මාසික චක්‍රය ඇයට මද විෂාදයක් ඇති කරනවා නම්, තමා අනවශ්‍ය බරක් මෙන් ඇතුළාන්තයෙන් ඇයට හැඟිය හැකිය. එවන් අවස්ථාවලදී ඇයට තනි වී සිටීමට කාලය අවශ්‍යයි කියා සිතමින් ඇගේ ස්වාමිපුරුෂයා ඇගෙන් මදක් ඈත් විය හැකිය. සමීපවීමට ඔහු දක්වන හීනතාවය ඇගේ දරුණුතම බියෙහි—එනම් ඔහු තවදුරටත් ඇයට ප්‍රේම නොකරනවා—යන්නෙහි සහතිකයක් වශයෙන් ඇය තේරුම්ගත හැකිය. ඇයට ප්‍රේම කිරීමටත් උපකාර කිරීමටත් ඔහුට බල කිරීමට තැත් කිරීමක් වශයෙන් ඇය ඔහුට තදින් බැණ වැදිය හැකිය.
“මොකද වුණේ සොඳුර?”
පුරුෂයෙකු පීඩාකාරි ගැටලුවකට ප්‍රතිචාර දක්වන්නේ ඒ ගැන සිතා බැලීමට නිසංසල ස්ථානයක් සෙවීමෙන් විය හැකිය. ස්ත්‍රියක් කිසි දෙයක් විමසීමට පෙර පවා පීඩනයක් තිබෙන බව හැඟීමෙන් ඉබේටම ප්‍රතිචාර දක්වනු ඇත්තේ අදහස් හුවමාරු කිරීමට ඔහුව උනන්දු කිරීමට වෑයම් කිරීම මගින්ය. මෙම ප්රයත්නයන් පිටුපසෙහි කොතරම් හොඳ අදහසක් තිබුණත්, ඒවා ආක්‍රමණශීලී මෙන් නැතහොත් නින්දාවක් මෙන් ස්වාමිපුරුෂයෙකුට හැඟිය හැකිය. ඔහුගේ ගැටලුව සලකා බැලීමට තනිව ටික කාලයක් ගත කරන්නට යනවාත් සමඟම මදක් හැරී බලන ඔහු, තමාට ලැදි තම භාර්යාව තද අධිෂ්ඨානයකින් යුක්තව ඔහු පසුපසින් පැමිණෙනවා ඔහුට පෙනෙයි. ඔහුට එම නිරන්තර ප්‍රේමනීය කටහඬ ඇසෙයි: “සොඳුර, ඔයාට කොහොමද? මොකද්ද ප්‍රශ්නෙ? අපි ඒ ගැන කථා කරමු.”
පිළිතුරක් නොලැබේ නම්, භාර්යාවකට වේදනා සහිත හැඟීමක් ඇතිවිය හැකිය. ඇයට ගැටලුවක් තිබෙන විට, එය ඔහු සමඟ කථා කිරීමට ඇයට වුවමනා වෙයි. එහෙත් ඇය ප්‍රේම කරන පුරුෂයාට ඔහුගේ හැඟීම් බෙදාගැනීමට ආශාවක් නැත. “ඔහු තවදුරටත් මට ආදරේ නැතුව ඇති” යන්න ඇගේ නිගමනය විය හැකිය. එමනිසා කිසිවක් සැක නොකරන ස්වාමිපුරුෂයා අවසානයේදී, ඔහු සොයාගත් විසඳුමෙන් තෘප්තියට පත් වී ඔහුගේ ඇතුළාන්ත ලෝකයෙන් නික්මෙන විට, ඔහුට සම්බවන්නේ, ඔහුගේ ගැටලුවට ඔහු සම්බන්ධ කර නොගත් ඔහුගේ සැලකිලිමත් ප්‍රේමනීය භාර්යාව නොව නමුත් මැදිහත්වීමෙන් ඇයව වැළැක්වීම නිසා ඔහුට අභියෝග කිරීමට සූදානමින් සිටින කුපිත වූ භාර්යාවකි.
“ඔයා කවදාවත් මට ඇහුම්කන් දෙන්නේ නැහැ!”
චෝදනාව හාස්‍යජනක එකක් මෙන් පෙනෙන්ට තිබේ. ඔහු කරන්නේම ඇහුම්කන් දෙන එක විතරක් බව ඔහුට හැඟෙයි. එනමුත් ඔහුගේ බිරිඳ කථාකරන විට, ගණිත ගැටලුවක් විසඳන පරිගණක යන්ත්‍රයක් මගින් ඇගේ වචන එකිනෙක වෙන්කොට පරීක්ෂා කර විභාග කරනවා වැනි පැහැදිලි හැඟීමක් ඇයට තිබේ. වාක්‍යයක් අතරතුරේදී ඔහු මෙසේ පවසන විට, ඇගේ සැකයන් තහවුරු වේ: “හොඳයි, ඇයි ඔයා මේ විදියට නොකරන්නේ . . . ?”
භාර්යාවක් ගැටලුවක් ඇතිව ඇගේ ස්වාමිපුරුෂයා වෙතට පැමිණෙන විට, බොහෝ විට ඇය වරද ඔහු මත තබන්නේවත් ඔහුගෙන් විසඳුමක් බලාපොරොත්තු වන්නේවත් නැත. ඇයට වැඩියෙන්ම අවශ්‍ය වනුයේ, හුදෙක් උදාසීන සාධක පමණක් නොව, නමුත් ඒවා පිළිබඳව ඇගේ හැඟීම්වලට සවන් දෙන අනුකම්පා සහිත සවන් දෙන්නෙක්ය. ඉන්පසුව ඇයට අවශ්‍ය වන්නේ, උපදෙස් නොව, ඇගේ හැඟීම් ඒත්තු ගැනීමය. “ප්‍රියාවිය, ඔයාට එහෙම හැඟෙන එක සුදුසු නැහැ. එය එතරම්ම නරක නැහැ,” යනුවෙන් පමණක් පැවසූ විට හොඳ අදහස් ඇති ස්වාමිපුරුෂයෙකු මහත් ආරවුලක් ආරම්භ කර තිබෙන්නේ එමනිසාය.
බොහෝ විට මනුෂ්‍යයන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ කලත්‍රයන් තමන් කල්පනා කරමින් සිටින දෙය නිරීක්ෂණයෙන් දැනගෙන සිටීමටයි. “අප විවාහ වී දැන් වසර 25ක් වෙනවා,” යයි එක් මිනිසෙකු පැවසුවා. “මට අවශ්‍ය කරන දෙය කුමක්ද කියා ඇය තවමත් දන්නේ නැත්නම්, ඇයට මං ගැන උනන්දුවක් නැතුව ඇති, නැත්නම් ඇය අවධානය යොමු කරන්නේ නැතුව ඇති.” විවාහ සම්බන්ධය පිළිබඳ සිය පොතෙහි එක් කර්තෘවරයෙකු මෙසේ ප්‍රකාශ කරයි: “තමන්ට අවශ්‍ය වනුයේ කුමක්ද කියා කලත්‍රයන් එකිනෙකාට නොපවසන විට සහ සුදුසු ක්‍රියාව සඳහා ප්‍රස්තාව අල්ලා ගැනීමට අසමත්වීම සඳහා එකිනෙකාට නිතරම විවේචනය කරන විට, ප්‍රේමයේ සහ සහයෝගයේ ස්වභාවය අතුරුදහන්වීම පුදුමයක් නොවෙයි. ඒ වෙනුවට . . . එක් එක් කලත්‍රයා ඔහුගේ හෝ ඇගේ අවශ්‍යතා සපුරාලීමට අනෙක් තැනැත්තාට බලකරන්නා වූ, බලය සඳහා වූ ඝට්ටනය ආරම්භ වෙයි.”
“ඔයාට වගකීමේ හැඟීමක් කොහෙත්ම නැහැ!”
භාර්යාවක් කෙළින්ම එලෙස ඇගේ ස්වාමිපුරුෂයාට නොපැවසිය හැකි නමුත්, ඇගේ කටහඬේ ස්වරයෙන් පමණක්ම එය පැහැදිලිව අඟවන්නට ඇයට හැකිය. “ඔයා මෙතරම් ප්‍රමාද වුණේ ඇයි?” යන්න තොරතුරු සඳහා අයැදීමක් මෙන් පෙනිය හැකිය. කෙසේවෙතත්, දොස් පවරන ආකාරයකින් ඇය බලන බැල්ම සහ ඉණ මත තබා තිබෙන අත් දෙක ඇගේ ස්වාමිපුරුෂයාට මෙය පැවසීමට වැඩි ඉඩකඩ ඇත: “වගකීමක් දන්නැති කොල්ලා, ඔයා මාව කලබලයට පත් කළා. ඔයා මට දුරකථන පණිවුඩයක් දුන්නේ නැත්තේ ඇයි? ඔයා අනුන් ගැන සලකන්නෙම නැහැ! දැන් රෑ කෑමත් විනාසයි!”
රාත්‍රි කෑම ගැන නම් ඇය නිවැරදි බව සැබෑවකි. එහෙත් විවාදයක් හටගත්තොත්, ඔවුන්ගේ සම්බන්ධයත් අවදානමට ලක් වේද? “බොහෝ විවාදයන් ඇති වන්නේ දෙදෙනෙකු එකඟ නොවන නිසා නොව, නමුත් ස්ත්‍රිය පුරුෂයාගේ දෘෂ්ටි කෝණය ගැන විරුද්ධ වන බව පුරුෂයාට හැඟෙන නිසා හෝ පුරුෂයා ඇය සමඟ කථා කරන ආකාරය ගැන ස්ත්‍රිය විරුද්ධ වන නිසාය,” යනුවෙන් ආචාර්ය ජෝන් ග්‍රේ සඳහන් කරයි.
නිවසේදී අවහිරයක් නොමැතිව තමන් කැමති දේ කීමට තමන්ට නිදහස තිබිය යුතුය යන මතය ඇතමෙකුට තිබේ. එහෙත් අදහස් හුවමාරු කිරීමේ දක්ෂයෙකු, සවන්දෙන්නාගේ හැඟීම් සැලකිල්ලට ගනිමින් වෑයම් කරන්නේ එකඟත්වයකට එළැඹී සාමය අත්කර ගැනීමටය. එවන් කථාබහ ඔබගේ කලත්‍රයාට සිසිල් වතුර වීදුරුවක් ඉදිරිපත් කිරීමට විරුද්ධව එය ඔහුගේ හෝ ඇගේ මුහුණට විසි කිරීම සමඟ සරලව සන්සන්දනය කළ හැකිය. වෙනස සම්පූර්ණයෙන්ම තිබෙන්නේ ඉදිරිපත් කරන ආකාරයෙන් යයි අපට පැවසිය හැකිය.
කොලොස්සි 3:12-14හි ඇති වදන් අදාළ කිරීම විවාදයන් දුරු කර සන්තෝෂවත් නිවසක් ඇති කරනු ඇත: “දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන, එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා; ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරපල්ලා. මේ සියල්ලට උඩින් ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගනිල්ලා.” g94 1/22
[9 පිටුවෙහි ඇති පින්තූරය]
ඔහු සැබෑ කාරණා වෙනුවෙන් කථා කරයි, ඇය හැඟීම් වෙනුවෙන් කථා කරයි