රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
“දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය”
දැනට අවුරුදු එක්දහස් නවසියයකට පෙර, දේවානුභාවයලත් ප්‍රේරිත පේතෘස් මෙසේ ලිව්වේය: “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.” (ක්‍රියා 10:34, 35) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර සියලු ජාතීන්ට හා ආගමික පසුතලයන්ට අයත් ජනයා සිටින්නාහ. ඔවුහු ධර්මිෂ්ඨකමට ආශා කරන අතර දෙවියන්වහන්සේට භය වෙති. උදාහරණයක් වශයෙන්, චැඩ් නම් ස්ථානයේ එක්තරා කාන්තාවකට කළ ආකාරයට, යෙහෝවඃවහන්සේ ඒ සියල්ලන්ටම නව ලෝක සමාජයකට ආරාධනා කරන සේක.
මෙම කාන්තාව තමාගේ ආගම සමඟ සෑහීමකට පත් වූයේ නැත. ඊට වසර කීපයකට පෙර ඇය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද යෝර් යූත්—ගෙටිං ද බෙස්ට් ඖට් ඔෆ් ඉට් නම් පොතේ පිටපතක් ලබාගෙන තිබූ අතර එම පොතේ ගැබ්ව තිබූ කදිම උපදෙස් ඇය අගය කළාය. බයිබල් පාඩමක් පටන් ගනු ලැබූ අතර ඇය නිතර එම පාඩමට සහභාගි වූවාය. කෙසේවෙතත්, රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට පැමිණෙන ලෙස දිරිගන්වනු ලැබූ විට, ඇය ප්‍රතිචාරය දැක්වූයේ නැත. ඒ මන්ද? ඇගේ ස්වාමිපුරුෂයා ඇය පාඩම් කිරීම ගැන විරුද්ධ නොවූවත්, රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට පැමිණීමට ඔහු ඇයට අවසර නුදුන් නිසාය.
එම භාර්යාව චාරිකා රැස්වීමට පැමිණීමට කැමති වූ විට, පාඩම පවත්වන සාක්ෂිකරු එහි ඉදිරිපත් කරන්නට යන කදිම උපදෙස් ගෙනහැර දක්වමින්, එම ස්වාමිපුරුෂයාට වැඩසටහන පෙන්වීය. සිය භාර්යාවට “එක්වරක් පමණක්” යා හැකි යයි ඔහු කැමැත්ත පළ කළේය. ඇය ඊට පැමිණුන අතර එම වැඩසටහනෙන් මහත් ප්‍රීතියක් ලැබුවාය. තමා ඉගෙන ගත් කාරණා ඇය පැහැදිලි කිරීමෙන් පසු, වෙනත් රැස්වීම්වලට ඇගේ යාම පිළිබඳව ඔහු විරුද්ධ වූයේ නැත. එකිනෙකා කෙරෙහි ගැඹුරු සැලකිල්ලක් දැක්වූ විවිධ ජනවාර්ගික කොටස්වලට අයත් ජනයාගෙන් සභාව සැකසී තිබීමේ කාරණය ඇගේ සිත් ගත්තාය. පසුව, ඇය දිස්ත්‍රික් සමුළුවට සහභාගි වූ අතර තම දරුවන් වෙනත් රටවලින් පැමිණි සාක්ෂිකරුවන්ගේ ඔඩොක්කුවලට වී සිටිනවා දැකිමෙන් ඇය ප්‍රීතියෙන් ඉපිළ ගියාය. සාක්ෂිකරුවන් එම දරුවන් සමඟ ආහාර බෙදා ගත් අතර, තමාගේම පවුලේ දරුවන්ටමෙන් ඔවුන්ට සැලකූහ. මෙය ඇගේ ජීවිතයේ වෙනස්වන අවස්ථාවක් බවට පත්විය.
එහෙත් ඒ සමඟම විරුද්ධත්වය ඇතිවිය. ස්වභාවයෙන් බයාදු කෙනෙකු වුවද, ඇය රැස්වීම්වලදී පිළිතුරු දෙන්නටත් ඥාති හා අසල්වැසි අය විසින් පවසන ලද නිෂේධාත්මක අදහස් හමුවේ ස්ථිරව සිටීමටත් පටන් ගත්තාය. ඇය තමාගේ පුරුෂයා සමඟ වසර ගණනාවක් ජීවත් වී සිටියද, ඔවුන්ට තිබුණේ චාරිත්‍රානුකූල සම්මතික විවාහයක් පමණකි. නීත්‍යනුකුලව විවාහ වීම පිළිබඳ විෂය ඉදිරිපත් කරන්ට ඇයට හැක්කේ කෙසේද? යෙහෝවඃවහන්සේට අවංකව යාච්ඤා කිරීමෙන් පසු, ඇය තමාගේ ස්වාමිපුරුෂයාට ඒ පිළිබඳව කථා කළ අතර ඒ ගැන සොයා බලන බව ඔහු කීවේය. අවසානයේ ඔහු එසේ කළ අතර, එම යුවළ නීත්‍යනුකුලව විවාහ වූහ.
ඔවුන් සමඟ එකට වාසය කරමින් සිටි නෑනා කෙනෙක් ගැටලු බොහොමයක් ඇති කළද, ස්වාමිපුරුෂයා භාර්යාවගේ පැත්ත ගෙන කටයුතු කළේය. එවිට ස්වාමිපුරුෂයාගේ පියා ඔවුන් බැහැදකින්නට පැමිණියේය. ඔහුගේ භාර්යාව තමාගේ ආගම වෙනස් කර තිබූ නිසා ඇයව දික්කසාද කරන හැටියට ඔහු සිය පුතාට නියෝග කළේය. “වඩාත් හොඳ භාර්යාවක්” සඳහා මනමාලියකට ගෙවිය යුතු මුදල තමා ගෙවන බව පියා සිය පුතාට කියා සිටියේය. එවිට පුතා පිළිතුරු දුන්නේ, “නැහැ, මම එහෙම කරන්නේ නැහැ. ඇය හොඳ භාර්යාවක්. ඇයට යන්නට ඕනෑ නම්, ඒක වෙනම කාරණාවක්, ඒත් මම යන්න කියන්නේ නැහැ” යනුවෙනි. එම භාර්යාව සිය මාමාට අතිශයින් ආචාර සම්පන්නව සංග්‍රහ කළ අතර ඔහු තමාගේ හැසිරීම ගැන ලජ්ජාවට පත්විය. කෙසේවෙතත්, ඔහු තමාගේ ගමට හැරී ගිය විට, ඔහු තමාගේ පුතාට ලිපියක් යවමින්, මෙවර අන්තිම යෝජනාවක් ඉදිරිපත් කළේය. තමාගේ පුත්‍රයා සිය භාර්යාව අත්හරින්නට අකැමැති වුවොත්, ඔහු තවදුරටත් පුතෙක් නොවන බව ඔහු කියා සිටියේය. යළිත් එම පුතා කටයුතු කළේ සිය භාර්යාවට පක්ෂවය. ඇයගේ ස්වාමිපුරුෂයා එවන් නිශ්චිත ස්ථාවරයක් ගැනීම දැකීමෙන් භාර්යාව කොතරම් ප්‍රීතියට පත් වන්නට ඇත්තේදැයි කල්පනා කර බලන්න.
දැන් ඔවුන්ගේ කුඩා පුතුන් දෙදෙනා රාජ්‍යය ශාලාවට යන විට තමන්ගේ මවත් කැටුව යන්නට මහත් ආශාවෙන් සිටින්නාහ. කථා ඉදිරිපත් කරන සහෝදරයන් සියලු දෙනාම ටයි පටි පළඳිනු දුටු ඔවුහු, තමන්ගේ පියාගෙන් ඒවාද ඉල්ලා සිටියහ. අදදින මෙම කාන්තාව බව්තීස්මලත් සහෝදරියකි.
සැබවින්ම “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්” බව අගයමින්, චැඩ් නම් ස්ථානයේ යෙහෝවඃවහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නාවූ සන්තෝෂමත් සාක්ෂිකරුවන් 345දෙනාගෙන් ඇයත් කෙනෙක් වන්නීය.