සත්‍යය වෙතට මගේ පලා යෑම
මා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්නට පටන්ගත් විට, මා පලා ගිය සිරකරුවෙකුව සිටියා. වැඩිකල් නොගොස් බොරුකීම නවතා සත්‍යය පැවසීමට පටන් ගන්නේ කෙසේද යන අභියෝගයට මා මුහුණ දුන්නා.
එවිට 1974 නොවැම්බර් මාසයයි, මා අ.එ.ජ., උතුරු කැරොලිනාහි, පෙන්ඩර් ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටියා. චෝදනාවලට ඇතුළත්ව තිබුණේ ආයුධයක් භාවිතයෙන් සොරකම් කිරීම, මාරාන්තික ආයුධයකින් පහර දීම හා පැයට සැතපුම් 35ක වේගයෙන් යායුතු කලාපයක පැයට සැතපුම් 90ක වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන්ය. ඊළඟ මාසයේදී, මට වයස 22ක්ව තිබියදී, මා සියලු චෝදනාවලට වරදකරු වූ අතර උතුරු කැරොලිනාහි නිවැරදි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුව වර්ෂ 30කට බන්ධනාගාරයට නියම කරනු ලැබුවා.
මා හැදී වැඩී තිබුණේ නව ජර්සි, නිව්ආර්ක්වලය. මගේ පියා පොලිස් නිලධාරියෙකු වුවත්, මා සැමවිටම මගේ දෙමව්පියන්ට ගැටලු ඇති කරමින් සිටියා. මා බාල අපරාධ කඳවුරුවල, පුනරුත්ථාපන කඳවුරුවල කල් යැවූ අතර විටෙක මගේ පියා සේවය කළ පොලිසියේ බන්ධනාගාරයේම පවා සිරකර සිටියා. එම රාත්‍රියේදී ඔහු මට තැලූ ආකාරය මට කිසිදා අමතක වන්නේ නෑ! මා හැර—වෙනත් ඕනෑම යෞවනයෙකුව වෙනස් කිරීමට එය හොඳටම ඇති.
මා නිවසෙන් පලා ගිය අතර, මිතුරෙකු සමඟ රාත්‍රිකාල ගත කරමින් හෝ වීදියේ ගැවසෙමින් සිටියා. අවසානයේදී මාව යළිත් බන්ධනාගාරයට දමනු ලැබුවා. මගේ පියාගේ කැමැත්තට එරෙහිව, මව මාව ඉන් නිදහස් කරගත්තා. තව දරුවන් පස් දෙනෙකු සිටි මගේ දෙමව්පියන් මට සුදුසුව තිබුණේ හමුදාව වෙන්න පුළුවන් යයි තීරණය කළා.
මා හමුදාවට බැඳුණු අතර, විවිධ පුහුණු වීමේ වැඩසටහන් මගින් යම් කලකට මගේ හැසිරීමෙහි වෙනසක් සිදු කළා. එහෙත් එවිට මා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණා, හෙරොයින්වලට ඇබ්බැහි වූවෙකු බවට පත්වුණා. මා නැවතී සිටියේ උතුරු කැරොලිනාහි ෆෝර්ට් බ්‍රැග්වලය, වැඩි කලක් යෑමට පෙර අපගේ පුරුදු පවත්වාගැනීමට අපට අවශ්‍යවූ දේ සොරකම් කරමින් මගේ මිතුරන් සමඟ මා නගරයෙන් නගරයට ගියා. අපගේ සොරකම් සම්බන්ධයෙන් කථා, පුවත්පත්වල සහ රූපවාහිනියේ පළ වුණා.
වැඩි කල් නොගොස් බලධාරින් මාව අල්ලා, මුලදී සඳහන් කළ පරිදි වර්ෂ 30කට සිරදඬුවමක් නියම කළා. බන්ධනාගාරයේදී මා වසර ගණනක් තුළ නීති රීති සම්බන්ධයෙන් සටන් කළ නමුත් අවසානයේදී මා මටම පමණක් වේදනා පමුණුවා ගනිමින් සිටි බව මට වැටහුණා. එබැවින් අවම ආරක්ෂාව සහිත බන්ධනාගාරයකට යෑමට හා කොන්දේසි පිට මුදා හරියි යන බලාපොරොත්තුවෙන් නීතිවලට කීකරු වීමට මා වෑයම් කළා.
වර්ෂ දහයක් බන්ධනාගාරයේ සිටීමෙන් පසු, මාව අවම ආරක්ෂාව සහිත බන්ධනාගාරයකට ගනු ලැබූ අතර වැඩිකල් යාමට පෙර සේවය සඳහා පිටතට ගොස් පැමිණීමේ වැඩසටහනකට මාව දැමුවා. මින් අදහස් වූයේ මට බන්ධනාගාරයෙන් උදෑසන පිට වී යා හැකි බවත්, යළිත් සවස වෙනත් කෙනෙකුගේ ආරක්ෂාව නැතුව මා විසින්ම එහි පැමිණිය හැකි බවත්ය. දිනක් වැඩ ඇරුණු විගසම යළි පැමිණීමට මට නොහැකි වූ බැවින්, මාව එම වැඩසටහනෙන් ඉවත් කළා. කෙසේවුවත්, මට තවදුරටත් අවම ආරක්ෂාව සහිතව සිටීමේ ප්‍රීතිය භුක්තිවිඳීමට අවසර දී තිබුණා.
මා වර්ෂ 11ක් පමණ බන්ධනාගාරයේ සිටීමෙන් පසු, කොන්දේසි පිට මාව මුදවා හරීවි යන බලාපොරොත්තුව එතරම් දීප්තිමත් නොවූ බවට පැහැදිලි වුණා. වර්ෂ 1985 අගෝස්තු මාසයේ එක් උණුසුම් උදෑසනක, මා බන්ධනාගාරයෙන් පිටත සිටියදී, පලා යෑමට—එනම් සොයාගත නොහැකි වන සේ පලා යෑමට—ප්‍රස්තාවක් උදා වුණා. මා සමඟ බන්ධනාගාරයේදී කාලය ගත කර තිබූ මිතුරෙකුගේ නිවසට මා ගමන් කළා. මා එහි රාත්‍රිය ගතකර ඇඳුම් මාරු කරගත් පසු, ඔහු මාව සැතපුම් 250ක් පමණ ඈතින් වූ වොෂිංටන්, ඩී.සී.වලට ඇරලුවා.
යළි කිසිදා බන්ධනාගාරයට නොයෑමට මා අදිටන් කරගත්තා, ඉන් අදහස් වූයේ තවදුරටත් මා කිසිම අපරාධ ක්‍රියාවක් කිරීමෙන් වැළකීම අවශ්‍ය වූ බවයි. මුලදී මට ලබාගත හැකි වූ ඕනෑම වැඩක් කරමින් මා කුලී වැඩ කළා. ඉන්පසු විදුලිබල සමාගමක රැකියාවක් ලබාගත්තා. කල්යත්ම, වෙනස් නමක් සහිතව එනම් ඩෙරික් මජෙට් යන නම ඇති, උප්පැන්න සහතිකයක් ලබාගැනීමට මට පුළුවන් වුණා. මගේ නම, උපන් ස්ථානය, පසුබිම, පවුල යන මා ගැන වූ සියලු තොරතුරු මෙවිට බොරුවක්ව තිබුණා. කිසිවෙකු නොදන්නාතාක් කල් මා ආරක්ෂා සහිතව සිටි බවක් මට හැඟුණා. මා මෙලෙස වොෂිංටන්, ඩී.සී. තුළ සහ ඒ අවට වර්ෂ තුනක් ජීවත් වුණා.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මුණගැසීම
එක් සවස්වරුවක, පිළිවෙළකට ඇඳ පැළඳ සිටි යෞවන පුරුෂයන් දෙදෙනෙකු මගේ නවාතැනට පැමිණියා. ඔවුන් මට බයිබලය ගැන පවසා, පොතක් දී, යළි එන බවට පොරොන්දු වුණා. කෙසේවුවත්, මම වෙනත් නවාතැනකට මාරු වූ බැවින් නැවත කිසිදා ඔවුන් දුටුවේ නෑ. ඉන්පසු, වැඩට යෑමට පෙර එක් උදෑසනක, කෝපි කෝප්පයක් බීම සඳහා මම එක් තැනක නැවතුණා, එවිට ස්ත්‍රීන් දෙදෙනෙකු මුණගැසී, මා මුරටැඹ සඟරාව කියවීමට කැමැත්තක් දක්වනවාදැයි මගෙන් ඇසුවා. මා එකක් ලබාගත් අතර, ඉන්පසු සෑම උදෑසනකම මෙම ස්ත්‍රීන් දෙදෙනා මා මුණගැසී බයිබලය ගැන කථා කරන්නට වුණා.
සැමවිටම සංවාදයන් කෙටිව තිබුණත්, සින්තියා හා ජෙනට් යන මෙම ස්ත්‍රීන් දෙදෙනාව සෑම උදෑසනකම දැකීමට මා ආශාවෙන් බලා සිටින තරමටම ඔවුන් පවසමින් සිටි දෙය කෙරෙහි මගේ උනන්දුව වැඩි දියුණු වුණා. කල්යත්ම මා හිමිදිරි උදෑසන දේශනා කරමින් සිටි යෙහෝවඃවහන්සේගේ වෙනත් සාක්ෂිකරුවන්වද අඳුනා ගත්තා. රාජ්‍යය ශාලාවේ රැස්වීමකට පැමිණෙන ලෙස ඔවුන් මට ඇරයුම් කළා. මා සැකෙන් සිටි නමුත් ඇරයුම පිළිගත්තා.
එම දිවාභාගයේ හිඳගෙන කථාවට සවන් දෙමින් සිටි විට, මෙතරම් තේරුම්ගත හැකි ආකාරයෙන් ශුද්ධලියවිලි පැහැදිලි කරනවා මා ඇසුවේ පළමු වතාවටයි. මුරටැඹ සඟරාව යොදාගෙන කරන බයිබල් පාඩමට මා නතරවුණ අතර ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් මට සහභාගි විය හැකි බව දැනගත්තා. මම මගේ පළමු පිළිතුර දුන්නා, රැස්වීමෙන් පසු සභාවේ වැඩිමහල්ලෙකු සමඟ බයිබලය පාඩම් කරන්නට මා එකඟ වුණා.
මා ඉක්මනින්ම බයිබලය දැනගැනීමෙහි දියුණු වුණා. තවද ඊටත් වඩා වැදගත්ව, මා උගනිමින් සිටි සත්‍යයන් අගය කරමින් සිටියා. වැඩි කලක් යාමට පෙර මගේ ජීවිතයේ මට සැනසීමක් තිබුණේ නෑ. මේවන විට මගේ මිතුරන්ව සිටි මෙම අයට මා කියූ බොරු ගැන මට වරද සහිත බවක් හැඟෙන්නට පටන් ගත්තා. මා ගැන සත්‍යය කිසිවෙකු නොදන්නාතාක් කල් මට බේරිලා සිටිය හැකි යයි සිතමින් මා දිගටම පාඩම කරගෙන ගියා. එහෙත් මගේ බයිබල් ගුරුවරයා ගෙයින් ගෙට දේව සේවයේ හවුල්වීම ගැන කථා කරන්නට පටන් ගත්තා.
මගේ තත්ත්වය සම්බන්ධයෙන් මා යමක් කරනවා නම් මිසක නැත්නම් දේව සේවයෙහි හෝ එවැනි ඕනෑම ක්‍රියාවලියකට හවුල්වීම මට කළ නොහැක්කක් බව දැනගැනීමට සලසන යමක් සිදුවුණා. මගේ මෝටර් රථයට පෙට්‍රල් දමමින් සිටියදී කවුදෝ මගේ පිටුපසින් විත් මගේ දෑත් මගේ පිටුපසට කර තදින් අල්ලා ගත්තා. මා තුළ බියක් පැතිර ගියා! අවසානයේදී බලධාරින් මාව අල්ලාගෙන යයි කියා මා සිතුවා. ඒ කලින් බන්ධනාගාරයේදී හමුවූ මිතුරෙකු යයි දැනගත් විට කෙතරම් සහනයක් ලැබුණාද! මා පැන ඇවිත් බව නොදත් ඔහු නොයෙක් ප්‍රශ්න අසමින්, මගේ සැබෑ නමින් මා අමතමින් සිටියා.
මා පලා ආ දිනයේ සිට ඒවන තෙක් එතරම්ම බියක් ඇති වුණේ නෑ. එහෙත් මේ අවස්ථාවේදී සැබෑ තත්ත්වය හොඳින් කාවැද්දුණා. මා ගෙයින් ගෙට දේශනා සේවයේ යෙදෙමින් සිටියදී මගේ සැබෑ අනන්‍යතාවය දන්නා කෙනෙකු දොර වෙත ආවොත් මා කරන්නේ කුමක්ද? මා බොරුවක් තුළ ජීවත් වෙමින් සිටියදී යෙහෝවඃවහන්සේගේ සේවයේ ගොස් මට සැබෑව කථා කළ හැක්කේ කෙසේද? මට කරන්නට සිදුව තිබුණේ කුමක්ද? දිගටම පාඩම් කරමින් බොරුවක් තුළ ජීවත් වෙනවාද, නැතහොත් පාඩම් කරන එක නවතා වෙන ප්‍රදේශයකට යනවාද? මා කෙතරම් වියවුල්ව සිටියාද කිවහොත් යම් කලකට මට හුදෙකලාවේ සිට සිතා බැලීමට සිදුවුණා.
තීරණයක් ගැනීම
මා දුර ගමනක් ගියා. පහසු ගැනීමට, කල්පනා කිරීමට හා කරන්නේ කුමක්දැයි තීරණය කිරීමට යෙහෝවඃවහන්සේගෙන් උපකාරය ඉල්ලීම සඳහා ඇත්තටම මට එම සාමකාමී දිගු ගමන අවශ්‍යව තිබුණා. බොරු කීම නවතා දමා, සැබෑව පවසනවා කියා මා තීරණය කළේ මා නැවත වොෂින්ටන් ඩී.සී. බලා යන අතරේදීයි. එහෙත් එය සිතූ තරම් පහසු වුණේ නෑ. මා සින්තියාව හොඳින් හඳුනාගෙන සිටි බැවින්, මා ඇයව විශ්වාස කොට නොසඟවා ඇයට සියල්ල පැවසුවා. යෙහෝවඃවහන්සේ ඉදිරියේ මට වැරදි දේ හරිගස්වා ගැනීමට සිදුව තිබෙන බව ඇය මට පැහැදිලි කළා. සභාවේ වැඩිමහල්ලන්ට කථා කරන්න යයි ඇය මට යෝජනා කළා.
ඇය හරි බව මා දැන සිටි අතර ඊට එකඟ වුණා. එහෙත් මට නීත්‍යානුකූලව කරන්නට තිබුණේ කුමක්දැයි හරියටම නොදැන සිටි නිසා, මා ප්‍රාදේශීය නීතිඥයෙකු හමු වී මගේ තත්ත්වය පැහැදිලි කළා. උතුරු කැරොලිනාහි නීතිඥයෙකු එම ජනපදයේ ක්‍රියා පිළිවෙළ දැනගෙන සිටිනු ඇති බැවින්, එහි නීතිඥයෙකු මුණගැසෙන්න යයි ඔහු මට උපදෙස් දුන්නා. එනිසා නීතිඥයෙකු ගැන තොරතුරු ලබා ගැනීමට මා දකුණට ගමන් ගත්තා.
රැලේහි, උතුරු කැරොලිනාවලට මා පැමිණි විට, ප්‍රධාන වීදියක පිහිටා තිබූ බන්ධනාගාරය වෙත රිය පදවාගෙන ගියා. මා නැවතී, හිඳගෙන සිටියදීම, කටුකම්බි සහිත උස වැට දෙසත්, මුරපළවල සිටි ආරක්ෂිත භටයන් හා වැටෙන් එහා, එහාට මෙහාට ඇවිදිමින් සිටි සිරකරුවන් දෙසත් බැලුවා. වර්ෂ 11ක දිගු කාලයකට මාත් එවැනිම සිරකරුවෙකුව සිටියා! මෙය පහසු තීරණයක් නොවීය.
කෙසේ නමුත්, මා දුරකථන නාමාවලිය රැගෙන නීතිඥයෙකු තෝරා ගත්තා. මා මුලින් කථා කළ නීතිඥයාට පැවසූ තොරතුරුම මෙම නීතිඥයාවද අමතා පැවසුවා. ඔහු බොහෝ ප්‍රශ්න ඇසුවේ නෑ. ඔහු මට ඔහුගේ ගාස්තුව පවසා, එය සූදානම් කරගත් විට ඔහුව ඇමතිය යුතු බවත්, එවිට ඔහු තමාව හමුවීමට වේලාවක් දෙන බවත් ඔහු පැවසුවා. මා යළිත් වොෂිංටන් ඩී.සී. වෙත පැමිණි විට, මා කෙළින්ම ගියේ මගේ බයිබල් ගුරුවරයා වෙතටයි.
ඔහු, ඔහුගේ භාර්යාව සහ ඔවුන්ගේ දියණිය මට මගේම පවුලේ අය මෙන් වුණා. එබැවින් ඔවුන්ගේ නිවසට මා ගිය රාත්‍රියේදී, මගේ වචන පිටතට ගෙන ඒමට මට ටික වේලාවක් ගතවුණා. එහෙත් මා පැවසූ පසු, මට සහනයක් දැනුණා. කොටින්ම කියනවා නම්, ඔවුන් ඉතා පුදුමයෙන් බලා සිටියා. එහෙත්, ඔවුන් කම්පනයෙන් නැවත යථා තත්ත්වයට පැමිණි විට, ඔවුන් ඉතා අනුකම්පා වී පිහිට වුණා.
මට ඊළඟට කිරීමට අවශ්‍යව තිබුණේ නීතිඥයාගේ ගාස්තුව සඳහා මුදල් ලබාගෙන මා මාවම භාරදෙන්නේ කවදාදැයි තීරණය කිරීමටයි. සති ස්වල්පයක් පමණක් ඉදිරියෙන් වූ 1989 මාර්තු 1දාට මා දිනය නියම කළා. වැඩ කිරීම නවතා, මගේ අවසාන නිදහස් දවස් ප්‍රීතියෙන් ගත කිරීමට මට වුවමනා වූ නමුත්, නීතිඥයාට මුදල් ගෙවීමට මට සිදුවූ නිසා එසේ කිරීමට නොහැකි වුණා.
මා බන්ධනාගාරයෙන් පලා ගියායින් පසු, නැවත එහි යෑමට මා මුදල් ඉතිරි කරමින් සිටීම කවටකමක් සේ මට පෙනුණා. ඇතැම් අවස්ථාවලදී සම්පූර්ණයෙන්ම ඒ ගැන අමතක කර අත්හැර දැමීමට සිතුණා. එහෙත් ඉතා ඉක්මනින්ම, මාර්තු 1වනදා පැමිණියා. මගේ ගුරුවරයා හා ඔහු සමඟ බයිබලය පාඩම් කරන ශිෂ්‍යයෙකු මා සමඟ රැලේ වෙත ගියා. අප නීතිඥයාගේ කාර්යාලයට ගොස් මා බන්ධනාගාරයට ගනු ලැබීම සඳහා වූ චෝදනා ගැනද, මගේ සිරදඬුවමේ කාලය ගැනද, නැවත මා එහි යෑමට කැමැත්තෙන් සිටීමට හේතුව ගැනද සාකච්ඡා කළා. එවිට මා යැවිය යුත්තේ කොතැනටදැයි තොරතුරු දැනගැනීම සඳහා මහේස්ත්‍රාත් කාර්යාලය ඇමතුවා. ඒ මොහොතේම මාව නැවත බන්ධනාගාරයට ගැනීමට මහේස්ත්‍රාත්වරයාට හැකි බව ඔහු දැනගත්තා.
එතරම් ඉක්මනින් නැවත එහි යෑමට මා සැලසුම් කර තිබුණේ නෑ. මා සිතා සිටියේ අප නීතිඥයාට නිකම් කථා කිරීමට යන බවත්, පසුදා මා සිරභාරයට ඉදිරිපත් විය හැකි බවත්ය. නමුත් මෙවිට, තීරණය ගෙන, අප හතර දෙනාම නිශ්ශබ්දව බන්ධනාගාරය වෙත ගියා. ‘ඇත්තටම මෙය සිදුවෙනවාද?’ යයි මා මටම සිතා ගන්නවා මට මතකයි. මට මතක ඊළඟ දෙය නම්, අප ඉදිරි ගේට්ටු ළඟ සිට, නීතිඥයා ආරක්ෂක භටයාට මා කවුදැයි පැහැදිලි කරනවා සවන් දීමයි.
නැවත බන්ධනාගාරයේදී
ගේට්ටු ඇරුණු විට, සමුගැනීමේ කාලය පැමිණි බව මා දැන සිටියා. මගේ නීතිඥයා හා මා අතට අත දුන්නා. ඉන්පසු මගේ ගුරුවරයා, මගේ සෙසු ශිෂ්‍යයා හා මා වැළඳගත්තා. මා ගේට්ටුවෙන් අනිත් පැත්තට ගියා විතරයි, මගේ දෑත් විලංගුලා, මගේ ඇඳුම් වෙනුවට සිර ඇඳුම් මාරු කළ ස්ථානය වෙත ආරක්ෂාව ඇතුව ගෙන ගියා. මට ඊට පෙර දී තිබුණු 21052-OS නොම්මරයම මට ලැබුණා.
බන්ධනාගාරය එතරම් බරපතළ වැරදි නොකළ සිරකරුවන් සිටි අවම-ආරක්ෂාව යෙදූ ඒකකයක් බැවින් පැයක් ඇතුළත උපරිම ආරක්ෂාව යෙදූ ඒකකයකට මා ගෙන ගියා. මට ළඟ තබාගැනීමට ඉඩහැර තිබුණේ මගේ බයිබලය සහ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොත පමණයි. වසර ගණනක් පුරා හඳුනාගෙන සිටි සිරකරුවන් සමූහයක් අතරටයි මාව දමා තිබුණේ. මාව අසුවෙලා යයි ඔවුන් සිතූ නමුත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වීමට මට ඕනෑ වුණු නිසා මම මගේම වුවමනාවෙන් නැවත පැමිණි බව පැහැදිලි කළ විට, ඔවුන් සියලු දෙනාම පැවසුවේ මේතාක් ඔවුන් අසා තිබුණු මෝඩම දෙය එය කියායි.
මගේ ගුරුවරයා අන්තිමේටම වාගේ මට පැවසූ දේවලින් එකක් මෙයයි: “කිසිවිටෙකත් පාඩම් කිරීම නවත්වන්න එපා.” එබැවින්, බයිබලය හා මගේ සදාජීවනය පොත කියවීමටත්, එමෙන්ම මට සිදුවූ දෙය දැන සිටි මගේ පළාතේ සිටි මිතුරන්ට ලිපි ලිවීමටත් මගේ කාලයෙන් වැඩි කොටසක් ගත වුණා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතරින් ජෙරෝම් සහ සිය භාර්යාව වන ආර්ලීන්ට මා ලියුවා. මගේ ලිපිය, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඇසුරේ සිටියදී ගත කළ කාලය ගැන මට හැඟුණු ආකාරය සම්බන්ධයෙන් ස්තුති පූර්වක වචන හා ප්‍රකාශයන්ගෙන් යුත් කෙටි ලිපියකි.
වැඩි කල් නොගොස්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ චාරිකා රැස්වීමකදී ඔහු විසින් දීමට යන කථාවකට මගේ ලිපියත් ඇතුළත් කිරීමට අවසර ඉල්ලමින් මට ජෙරෝම්ගෙන් ලිපියක් ලැබුණා. මා එකඟ වූ නමුත් ඇතිවන ඵලවිපාක ගැන දැන සිටියේ නෑ. මගේ පසුබිම ගැන දැන සිටියේ සාක්ෂිකරුවන් ටික දෙනෙකු පමණයි. එබැවින්, ජෙරෝම් මගේ ලිපිය කියවා, බ්‍රයන් ඊ. ගාර්නර් හෙවත් ඩෙරික් මජෙට් යයි මගේ සැබෑ නම නිවේදනය කළ විට බොහෝ දෙනෙකුට කෙතරම් පුදුමයක්වීද! ඉන්පසු පුදුමවීමට මගේ වාරය පැමුණුණා. මා රැස්වීම්වලට ගිය පෙට්වර්ත් සභාවෙන් පමණක් නොව නමුත් වෙනත් සභාවල සිටින අයගෙන්ද—එනම් සහෝදර සහෝදරියන්ගෙන් දිරිගැන්වීමේ ලිපි ගලා ඒමට පටන් ගත්තා.
වැඩි කල් යාමට පෙර මාව ප්‍රධාන බන්ධනාගාරයෙන් උතුරු කැරොලිනාහි ලිලිංටන්වල, මධ්‍යම-ආරක්ෂාව ඇති ඒකකය වෙත ගෙන ගියා. මා එහි ගොස් සිරගෙදර පරිසරයට හුරු වූ විගස, මා ආගමික මෙහෙයන් ගැන විමසුවා. බන්ධනාගාරයේ පාසල් කාමරවල සෑම බදාදාවකම සවස් භාගයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් රැස්වීම් පවත්වනු ලබන බව දැනගැනීමට ලැබීම මට සතුටක් වුණා. දුන් උපකාර හා මට පෙන්වූ ප්‍රේමය පමණක් නොව නමුත් එම බන්ධනාගාරයේ බයිබල් සත්‍යය දැනගැනීමට වුවමනා වූ ඕනෑම කෙනෙකුට උපකාර කිරීමට දැරූ වෑයම් මට කිසිදා අමතක වන්නේ නෑ. මා ඊට පෙර පාඩම් කර තිබූ බව දැනගැනීමෙන් පසු, බන්ධනාගාරයේ රැස්වීම් පැවැත්වූ වැඩිමහල්ලෙක් මා නවතා තිබූ ස්ථානයේ පටන් පාඩම දිගටම කරගෙන යෑමට එම මොහොතේදීම පටන් ගත්තා.
කොන්දේසි පිට නිදහස් කිරීම සඳහා සලකනු ලැබීම
මාස කිහිපයක් ගත වී තිබුණා, ඉන්පසු මට කොන්දේසි පිට නිදහස් කිරීමේ නිලධාරි මණ්ඩලය මුණ ගැසීමට සිදුව තිබුණා. මා පලා ගොස් මෑතකදී නැවත පැමිණ සිටියත්, යළි විමසා බැලීම සඳහා හෝ අඩුම තරමින් ඔවුන් මගේ නඩුව ගැන සලකා බැලූ බවට ප්‍රතිඥාව ලැබීම සඳහා නඩුව අසන කොන්දේසි පිට නිදහස් කිරීමේ නිලධාරි මණ්ඩලය ඉදිරිපිටට මා ගෙන ඒම නීත්‍යානුකූල අවශ්‍යතාවක්ව තිබුණා. මාව කොන්දේසි පිට නිදහස් කරනවාද නැද්ද යන්න ගැන සලකනු ලබන බව මගේ මිතුරන්ට මා දන්වා යැවුවා. නැවතත් ලිපි ගලා ඒමට පටන් ගත්තා, මට නොවේ නමුත් කොන්දේසි පිට නිදහස් කිරීමේ නිලධාරි මණ්ඩලය වෙත.
මගේ නඩුව නැවත ඇසීමට යන බව දන්වමින් කොන්දේසි පිට නිදහස් කිරීමේ නිලධාරි මණ්ඩලයෙන් මට 1989 ඔක්තෝබර් මාසයේදී වචනයක් ලැබුණා. මා උද්‍යෝගයෙන් සිටියා. එහෙත් නඩුව අසන නිලධාරි මණ්ඩලයේ සාමාජිකයන්ට පැමිණෙන්නට තිබූ දවසේදී කිසිවෙකු පැමිණියේ නෑ. එමෙන්ම ඔවුන් පැමිණෙනු ඇත්තේ කවදාදැයි දන්වා තිබුණෙත් නෑ. මා ඉමහත් අධෛර්යයට පත්ව සිටි නමුත්, යෙහෝවඃවහන්සේට යාච්ඤා කිරීම අත්හැරියේ නෑ. සති ස්වල්පයකට පසු, නොවැම්බර් 8 වෙනිදා, කොන්දේසි පිට නිදහස් කිරීමේ නිලධාරි මණ්ඩලයේ සාමාජිකයන් බන්ධනාගාරයට පැමිණ සිටින බවත්, මාව පළමුවෙන්ම කැඳවනු ලබන බවත් මට සහ වෙනත් මිනිසුන් දෙදෙනෙකුට දැනුම් දෙනු ලැබුවා.
මා කාර්යාලයට ඇතුළු වූ විටම, කඩදාසි කොළවලින් පිරුණු ලිපි ගොනු දෙකක් දැක්කා. එකක් 1974 දක්වා දිව ගිය මගේ ලිපි ගොනුවයි. අනෙක් එකේ කුමක් තිබුණේදැයි මා හරිහැටි දැන සිටියේ නෑ. මගේ නඩුව සම්බන්ධයෙන් සමහර දේ සාකච්ඡා කළායින් පසු, කොන්දේසි පිට නිදහස් කිරීමේ නිලධාරි මණ්ඩලයේ සාමාජිකයෙක් අනිත් ලිපි ගොනුව දිග ඇරියා. මා වෙනුවෙන් ලියූ දුසිම් ගණන් ලිපි එහි තිබුණා. මා බන්ධනාගාරයෙන් පලා ගියායින් පසු එතරම් බොහෝ දෙනෙකු හඳුනාගත්තේ කෙසේදැයි දැනගැනීමට කමිටුවට අවශ්‍ය වුණා. එබැවින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව හඳුනාගත් අයුරු මා කෙටියෙන් විස්තර කළා. එවිට මට කාර්යාලයෙන් පිටතට යන ලෙස පැවසුවා.
නිදහස සහ නව ජීවිතයක්
නැවත මා කැඳවනු ලැබූ විට, “කොන්දේසි පිට වහාම නිදහස් කිරීමට” අනුග්‍රහය දක්වමින් නිලධාරි මණ්ඩලය මනාපය දී ඇති බව මට දැනුම් දුන්නා. මට කියා නිම කළ නොහැකි සතුටක් ඇති වුණා. බන්ධනාගාරයේ මාස නවයක් පමණක් සිටීමෙන් පසු, මට නිදහස් වීමට හැකි වී තිබුණා! ලියකියවිලිවල වැඩ සඳහා දවස් කිහිපයක් ගත වුණා, ඉතින් 1989 නොවැම්බර් 22දා මා බන්ධනාගාරයෙන් පිට වුණා—මෙවර මට පලා යෑමට සිදුව තිබුණේ නෑ.
මගේ නිදහස්වීමෙන් වසරකටත් වඩා අඩු කලකින්, 1990 ඔක්තෝබර් 27දා, මා වතුර බව්තීස්මය මගින් යෙහෝවඃ දෙවියන්වහන්සේට මගේ කැපවීම සංකේතවත් කළා. මා දැන් වොෂිංටන් ඩී.සී.හි, උපස්ථායක සේවකයෙකු වශයෙන් යෙහෝවඃවහන්සේට සතුටෙන් සේවය කරමින් සිටිනවා. සින්තියා ඇඩම්ස් හා මා 1992 ජූනි 27දා විවාහයෙන් එකතු වුණා.
එවැනි ප්‍රේමනීය ලෝක ව්‍යාප්ත සංවිධානයක කොටසක් වීමට මට උපකාර කළ යෙහෝවඃවහන්සේට, මගේ භාර්යාවට හා මගේ පවුලේ සාමාජිකයන්ට, මෙන්ම සියලු සහෝදර සහෝදරියන්ට මා ස්තුති කරනවා.—බ්‍රයන් ඊ. ගාර්නර් පැවසූ පරිදි. g94 2/8
[21 පිටුවෙහි ඇති පින්තූරය]
වර්ෂ 11ක දිගු කලක් මා ගත කළ බන්ධනාගාරය
[23 පිටුවෙහි ඇති පින්තූරය]
මගේ භාර්යාව වන සින්තියා සමඟ