“යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන තිබුණු මගේ හැඟීම ඕගොල්ලෝ වෙනස් කළා”
වර්ෂ 1998 ඔක්තෝබර් 15 කලාපයේ වාර්තා කළ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩය පිළිබඳ ලිපියක් සඳහා එක් පෝලන්ත ජාතික බන්ධනාගාර නිලධාරියෙක් ප්‍රතිචාරය දැක්වුවේ එලෙසයි. “ගල් හිත් මෘදු වේ” යන ලිපිය, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පෝලන්තයේ වෝවූෆ්හි සිරකරුවන් සමඟ වැඩ කිරීමෙන් ලබන සාර්ථකත්වය විස්තර කළා.
ඉහත සඳහන් මුරටැඹ සඟරාව මහජනයාට නිකුත් කිරීමට පෙර, වෝවූෆ් බන්ධනාගාරයේ සිරකරුවන්ට එය සැපයීම සඳහා 1998 සැප්තැම්බර් 13වනදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කළා. එහි පැමිණීමට ආරාධනා කළ අය අතරේ ප්‍රාදේශීය සාක්ෂිකරුවන්, බව්තීස්ම ලත් සිරකරුවන් මෙන්ම වෙනත් උනන්දුව දක්වන සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන් ගණනාවක්ද සිටියා. පැමිණි අය නිරීක්ෂණය කළ සමහර දේවල් මතු සඳහන් වෙනවා.
අවුරුදු පහකටත් වැඩි කලකට පෙර බන්ධනාගාරයේදී බව්තීස්ම වූ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන ය’සි මෙසේ පැවසුවා: “ළඟපාත සභාවල සහෝදරයන් අපට උපකාර කරන්න මොනතරම් වෑයමක් දරලා තියෙනවාද කියලා අද මට කියවන්න පුළුවන් වුණ එක ගැන මම හුඟක් සතුටු වෙනවා.” ඔහු මෙසේත් පැවසුවා: “මම හොඳ කෙනෙක් වෙන්න දිගටම වෑයම් කරනවා; යෙහෝවා මාව හරිගස්වන විදිහ මට පේනවා.”
ස්ජෂ්වාෆ් නම් තවත් සිරකරුවෙක් සිරගෙදර සාක්ෂි දැරීමේ වැඩය සම්බන්ධයෙන් මෙසේ පැවසුවා: “වරදකරුවන් හතරදෙනෙක් දැන් බව්තීස්මය සඳහා සූදානම් වෙමින් සිටින අතර, අලුතෙන් උනන්දුව දැක්වුව අය අපේ ශාලාවේ පවත්වන රැස්වීම්වලට දිගටම එනවා. මේ ආකාරයෙන් තවදුරටත් වැඩ කරගෙන යන්න මේ ලිපිය අපට සෑහෙන පෙලඹීමක් වෙනවා.” තවත් අවුරුදු 19ක් සිරේ සිටීමට සිදු වී ඇති ස්ජෂ්වාෆ් ගැන සලකා බලද්දී, මොනතරම් කදිම ආකල්පයක්ද!
වෝවූෆ් බන්ධනාගාරය සම්බන්ධයෙන් ලිපිය කියෙවූ පසු එක් බන්ධනාගාර නිලධාරියෙක් මෙසේ පැවසුවා: “අපිට විශේෂ ගෞරවයක් පිරිනමලා තියෙනවා. ලෝකයේ භාෂා 130කින්ම මේ බන්ධනාගාරය එවැනි නිශ්චිත ප්‍රසිද්ධියක් ලබයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මම ඕගොල්ලන්ට කැමතියි; වැරදිකරුවන් වෙනුවෙන් ඕගොල්ලෝ දරන වෑයම මම අගය කරනවා.” තවත් නිලධාරියෙක් මෙහෙම කිව්වා: “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන තිබුණු මගේ හැඟීම ඕගොල්ලෝ වෙනස් කළා. මම කලින් ඕගොල්ලො දිහා බැලුවේ ආගමික උන්මත්තකයන් හැටියටයි. දැන් මට තේරෙනවා ඕගොල්ලෝ ප්‍රතිපත්තියක් තියෙන අය කියලා.”
වෝවූෆ් බන්ධනාගාරයේ අධ්‍යක්ෂක මාරෙක් ගයෝස්, සිනාසී මෙසේ පැවසුවා: “මුලදී අපි හිතුවේ ඕගොල්ලෝ එච්චර දෙයක් කරන එකක් නැහැ කියලයි. අපි හිතුවේ ඕගොල්ලෝ, වරදකරුවන්ව බයිබලය තුළින් පුනරුත්ථාපනය කිරීමේ අභිලාෂයන් ඇති තවත් ආගමක් විතරයි කියලයි. කොහොමනමුත්, ඕගොල්ලන්ගේ මුල් වැඩවල ප්‍රතිඵල බලලා අපි වැඩිපුර සහයෝගයක් දෙන්න තීරණය කළා. දැන් අවුරුදු නවයක් තිස්සේ ඕගොල්ලෝ වෙහෙස නොබලා මෙහෙ ඇවිත් කරලා තියෙන දේවල් මම හුඟක් අගය කරනවා.”
වෝවූෆ්හි සාමාන්‍ය සිරකරුවන් ලිපිය පිළිගත්තේ කෙසේද? සිරකරුවන් අතර මොනතරම් උනන්දුවක් තිබුණද කියනවා නම් බන්ධනාගාරයේ සිටි සාක්ෂිකරුවන්ගේ සඟරා සැපයුම ඉක්මනින් ඉවර වුණා. බන්ධනාගාර නිලධාරීන්ද තමන්ට සඟරා පිටපත් 40ක් ඉල්ලුම් කරමින් උනන්දුව දැක්වුවා. වැඩිපුර ඉල්ලුමට අනුව බන්ධනාගාරයේ සිටි සහෝදරයන්ට අතිරේක පිටපත් 100ක් සපයමින් ප්‍රාදේශීය සභාවන් උපකාරය සැපයුවා. ඒ සමඟම, බන්ධනාගාරයේ රැස්වීම්වලට පැමිණෙන සංඛ්‍යාව වැඩි වුණා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සෑහෙන සහයෝගයක් දැක්වූ බන්ධනාගාර නිලධාරියෙක් වන පයෝට් හෝඩුඑන් මෙසේ පැවසුවා: “අපේ බන්ධනාගාරයේ හැම ප්‍රදර්ශන රාක්කයකම මේ ලිපිය පෙනෙන්න තියන්න අපි තීරණය කළා. ඕගොල්ලෝ එක්ක තවමත් බයිබලය පාඩම් කරන්න පටන් අරන් නැති සිරකරුවන් හැමෝම මේ සඟරාව කියවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
සාක්ෂිකරුවන්ගේ කදිම ආදර්ශය හා දේශනා කිරීමට වෑයම් දැරීමේ ඔවුන්ගේ අධිෂ්ඨානයෙන් හොඳ ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. බව්තීස්මය දක්වා ප්‍රගතියක් ලබා ඇති සිරකරුවන් 15දෙනාට අමතරව, බන්ධනාගාර නිලධාරීන් දෙන්නෙක් ඔවුන්ගේ ජීවිත යෙහෝවාට කැප කර තිබෙන අතර, තවත් නිලධාරියෙක් බයිබල් පාඩමක් කරන මෙන් ඉල්ලා තිබෙනවා. ඇත්තෙන්ම, වෝවූෆ් බන්ධනාගාරයේ දේශනා කරන සහෝදරයන් තමන්ගේ සාර්ථකත්වය සම්බන්ධයෙන් මුළු ගෞරවයම යෙහෝවා දෙවිට පිරිනමනවා.—1 කොරින්ති 3:6, 7 සසඳන්න.
[28වන පිටුවේ පින්තූරය]
සාක්ෂිකරුවන් තුන්දෙනෙක් හා මිත්‍රයෙක් බන්ධනාගාර දේශන ශාලාවේ සඟරා බෙදා දුන් අවස්ථාව