රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
සැම විටකදීම රාජ්‍යයේ බීජ වැපිරීම
දෙවිගේ වචනය වන බයිබලය කාර්යශූරභාවයට දිරි දෙනවා. සාලමොන් රජු මෙසේ පැවසුවා: “උදයේ නුඹේ බීජ වපුරන්න, සවසත් නුඹේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා නුඹ නොදන්නෙහිය.”—දේශනාකාරයා 11:6.
සුදුසු සෑම විටකදීම යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන් “බීජ” වපුරනවා. ඔවුන් රටවල් හා දූපත් කණ්ඩායම් 230කටත් වැඩි ප්‍රමාණයක “යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ වූ ශුභාරංචිය නොනවත්වා ඉගැන්වීමේද දේශනා කිරීමේද” නිරත වෙනවා. (ක්‍රියා 5:42, NW) යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කිරීමේ වැඩය තුළ ‘තමන්ගේ අත් නවත්වා නොගන්නා’ ආකාරය පහත සඳහන් අද්දැකීම්වලින් විස්තර කෙරෙනවා.
◻ කේප් ව’ඩ් සමූහාණ්ඩුවේ එක් යෙහෝවාගේ සාක්ෂිකාරියක්, ක්ෂේත්‍ර සේවයේ නිරත වෙමින් ඉන්න අවස්ථාවක සිරගෙයක් අසලින් ගමන් කරමින් සිටියා. සිරකරුවන් කිහිපදෙනෙක්, සිරගෙයි මිදුලේ ගසක් උඩ ඉඳගෙන සිටියා. පහළින් ගමන් කළ සාක්ෂිකාරියව නිරීක්ෂණය කළ සිරකරුවන් සඟරා කිහිපයක් ඇගෙන් ඉල්ලුවා. සාක්ෂිකාරිය මුරටැඹ හා පිබිදෙව්! සඟරා කිහිපයක් ගලකට ගැට ගසා, සිරගෙයි තාප්පයට උඩින් විසි කළා. මෙම මුල් උනන්දුවේ ප්‍රතිඵලයක් හැටියට, බයිබල් පාඩම් 12ක් ආරම්භ කරනු ලැබුවා. සිරකරුවන්ගෙන් තුන්දෙනෙක් තමන්ගේ ජීවිත දෙවිට කැප කරලා, වතුරෙන් බව්තීස්ම වුණා. මෙම සිරකරුවන්ගෙන් එක්කෙනෙක්, දැනට අවුරුද්දකට වඩා වැඩි කාලයක ඉඳලා පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරයෙක් නැතහොත් පුරෝගාමියෙක් ලෙස සේවය කරමින් සිටිනවා. ඒත් ඔවුන් සිරගෙයි තුළ ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම් සිදු කරන්නේ කොහොමද? මුලින්ම සිරගෙය බලප්‍රදේශවලට බෙදනවා. ඊට පස්සේ, එම බලප්‍රදේශ සාක්ෂිකරුවන් තුන්දෙනා අතර බෙදාගෙන, සිර කුටියෙන් කුටියට වැඩ කරනවා. මෙම රාජ්‍ය ප්‍රකාශකයන්, ලොව වටා යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන ආකාරයට බෙහෙවින් සමානව උනන්දුව දැක්වූ අයව, නැවත බැලීම් කිරීමෙන් හමු වෙන්න යනවා. කොහොම වුණත්, එක වෙනස්කමක් වන්නේ, බයිබල් පාඩම් පවත්වන වාර ගණනයි. බයිබලය සතියකට එක වතාවක් හෝ දෙවතාවක් පැයකට විතර පාඩම් කරනවා වෙනුවට, ඇතැම් සිරකරුවන් සෑම දිනකම එය පාඩම් කරනවා! ඊට අමතරව, සිරගෙය ඇතුළත සෑම සභා රැස්වීමක්ම පවත්වන්න සාක්ෂිකරුවන්ට සිරගෙයි මුලාදෑනියාගෙන් අවසර ලැබිලා තිබෙනවා.
◻ පෘතුගාලයේ වෙසෙන එක් ස්ත්‍රියකට, තම ආච්චිගේ මරණින් පසු, වොච් ටව’ ප්‍රකාශන කිහිපයක් උරුම වුණා. ඈ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් නොවුණ හින්දා, ඒ පොත් තබාගැනීමට ඇයට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. කොහොම වුණත්, ඒවා විනාශ කර දමන්නත් ඇයට ඕනෙ වුණේ නැහැ. දිනක්, ගෙයින් ගෙට දේවසේවයේදී ඇයව හමුවීමට පැමිණි යෙහෝවාගේ සාක්ෂිකාරියකට ඈ මෙම පුස්තකාලය ගැන පැවසුවා. මෙම පුස්තකාලයේ සැබෑ වටිනාකම ඇයට හිතාගන්න පුළුවන්ද කියලා සාක්ෂිකාරිය ඇගෙන් ඇසුවා. ස්ත්‍රිය මෙසේ පිළිතුරු දුන්නා: “ඇත්තටම කිව්වොත්, ඒකෙ නියම වටිනාකම මම දන්නේ නැහැ, ඒත් මං කොහොමද දැනගන්නේ?” එම ස්ත්‍රිය බයිබල් පාඩමක් පිළිගෙන, ඉතා ඉක්මනින්ම ඇගේ ආච්චිගේ පුස්තකාලය අනර්ඝ දෙයක් හැටියට සලකන්න පටන්ගත්තා. ඇයත් දැන් බව්තීස්ම ලත් යෙහෝවාගේ සාක්ෂිකාරියක්. ඒ විතරක් නෙවෙයි, ඇගේ දියණිය හා පවුලේ කිට්ටු මිත්‍රයෙක්ද බයිබලය පාඩම් කරනවා. මෙම පොත් උරුම කර දුන්නේ මොනතරම් වටිනා දෙයක්ද!