ප්‍රශ්න පෙට්ටිය
◼ සිරකරුවන්ට සාක්ෂි දරන විට අප පරෙස්සම් විය යුතු දේවල් මොනවාද?
ලොව පුරා අඩුම තරමින් දශලක්ෂ අටක්වත් සිරකරුවන් සිටින අතර ඔවුන්ගෙන් සමහරදෙනෙක් ශුභාරංචිය කෙරෙහි උනන්දුවක් දක්වති. (1 තිමෝ. 2:3) එක් ශාඛා කාර්යාලයකට පොත් පත් හෝ නැවත බැලීම් ඉල්ලමින් මාසයකට ලිපි 1,400ක් පමණ සිරකරුවන්ගෙන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් ලැබේ. බොහෝ සිරකරුවන් දක්වන උනන්දුව අව්‍යාජ එකක් වුවත් අද්දැකීම්වලින් පෙනී යන්නේ ඇතැම් සිරකරුවන් උනන්දුවක් දැක්වීමේ මුවාවෙන් දෙවිගේ සෙනඟගෙන් පෞද්ගලික වාසි ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන බවයි. මේ කාරණය නිසා සිරකරුවන්ට සාක්ෂි දැරීම සම්බන්ධයෙන් මතු දැක්වෙන අවවාද සියලුදෙනාම පිළිපැදිය යුතුයි.
බොහෝ අවස්ථාවලදී සිරකරුවන්ට සාක්ෂි දැරීම සිදු කරන්නේ ලිපි මගිනි. ආත්මික ලෙස උපකාර කිරීමේ අරමුණින් වුවද සිරගෙවල්වල සිටින පිරිමි අයට ලිපි ලියන්න එපා කියා සහෝදරියන්ගෙන් තරයේ ඉල්ලා සිටිනු ලැබේ. එම වගකීම ඉටු කළ යුත්තේ සුදුසුකම් ලත් සහෝදරයන් විසින් පමණි. බයිබලයේ සඳහන් සත්‍යය ගැන උනන්දුවක් දක්වන සිරගෙවල්වල සිටින ස්ත්‍රීන් සමඟ ලිපි හුවමාරු කිරීමට සුදුසුකම් ලත් සහෝදරියන්ට පුළුවනි. මුදල් හෝ තෑගි බෝග සිරකරුවන්ට නොයැවිය යුතුයි. ඔවුන් එවැනි දේවල් ඉල්ලා සිටියද ඒවා යවන්න එපා.
සිරකරුවෙක් උනන්දුව දක්වනවා නම් ඔහුගේ නම හා ලිපිනය එම සිරගෙය තිබෙන ප්‍රදේශයේ පිහිටි සභාවට යැවිය යුතුයි. ඉස්මතු විය හැකි විවිධ තත්වයන්වලදී කටයුතු කරන ආකාරය ගැන එම සභාවල සිටින සුදුසුකම් ලත් සහෝදරයෝ දනිති. අදාළ සභාව කුමක්ද කියා දන්නේ නැත්නම් එම තොරතුරු ශාඛා කාර්යාලයට යැවිය යුතුයි.
පැවරුම් ලබා සිටින සහෝදරයන් සිරකරුවන් කිහිපදෙනෙකු සමඟ එකවිට පාඩම් කිරීම ප්‍රශ්නයක් නැත. කෙසේවෙතත්, ප්‍රචාරකයන් සීමාවක් නොමැතිව සිරකරුවන් සමඟ ඇසුරු කරමින් සිරගෙවල් තුළ විශේෂ අවස්ථා සැලසුම් නොකළ යුතුයි. එමෙන්ම ප්‍රචාරකයන් කලින් හොඳින් සැලසුම් කරන්නේ නැතුව සිරකරුවන්ව බැහැදැක ඔවුන් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීම සුදුසු දෙයක් නොවේ.
අපි සිරකරුවන් සමඟ ශුභාරංචිය බෙදාගන්න විට “සර්පයන් මෙන් සුපරීක්ෂාකාරීව පරවියන් මෙන් අහිංසකව සිටින්න” වෑයම් කරමු.—මතෙ. 10:16, NW.