යෞවනයන් අසති . . .
දුරාචාරය සමඟ සෙල්ලම් කිරීම හානිය කුමක්ද?
“දිනක් මගේ මව ගෙදර නොසිටි වෙලාවක මගේ පෙම්වතා රූපවාහිනිය නරඹන්න කියලා ආවා,” යයි ලෝරා සිහිපත් කරන්නීය.a “මුලින්ම ඔහු නිකමට වගේ මගේ අත ඇල්ලුවා. ඉන්පසු එකපාරටම, ඔහුගේ අත් වෙනත් තැන්වලට යන්නට පටන් ගත්තා. නවත්වන්න යයි ඔහුට පැවසීමට මා බිය වුණා; ඔහු කලබල වී පිටව යයි කියා මා සිතුවා.”
මෙලෙස ලෝරා හා ඇගේ පෙම්වතා වඩ වඩාත් නොමනා හැසිරීමට තුඩු දුන් මාර්ගයක ගමන් කිරීමට පටන් ගත්හ. රාගාධික සිපගැනීම වඩා බරපතළ නොහොබිනාකම්වලට මඟ පෑදීය. එහෙත් එවැනි හැසිරීම ගැන අප්‍රසාදය පළ කරන්නේ අදදින ලෝකයේ ස්වල්ප දෙනෙකි. ඇයි, එක්සත් ජනපදයේ යෞවනයන්ගෙන් වැඩි දෙනෙකු ඔවුනට 19වන විට ලිංගික සබඳතා පවත්වා ඇති බවට සමීක්ෂණ පෙන්නුම් කරනවානේ! බලවත් සිපගැනීම හා ශරීරයේ පෞද්ගලික තැන් ස්පර්ශ කිරීම පවා හානි රහිත විනෝදයකට වැඩි යමක් නොවේ යයි සැලකේ. ඇතැම් යෞවනයෝ ඔවුන්ගේ ලිංගික ගවේෂණවල කෙතරම් දුරකට ඔවුන් ගොස් ඇත්දැයි පුරසාරම් දොඩති.
ඇතැම් ක්‍රිස්තියානි යෞවනයන් එවන් නොමනා හැසිරීමේ යෙදී ඇති බව කීමට කනගාටුයි. තමන් “ලිංගික සබඳතා පවත්වන්නේ” නැති තාක්කල්, කිසි හානියක් සිදු නොවේ යයි ඔවුන් සිතන බවට ප්රත්යක්ෂය.
ආත්මික හානිය
මීට වඩා සත්‍යයක් තිබිය නොහැක. විරුද්ධ ලිංගයේ අය සමඟ සීමාවකින් තොරව හැසිරෙන අයව බයිබලය හෙළා දකියි. “හානි රහිත” සිප වැළඳගැනීමක් යයි ඇතැමෙකු විසින් සුළු යමක් සේ සැලකීමට ඉඩ ඇති දේ බයිබලයේ පවසන අපවිත්‍රකම, සල්ලාලකම හෝ එපමණක් නොව වේශ්‍යාකම ලෙස පවා ගණන් ගැනෙන්නට පුළුවන. මේවා ක්‍රිස්තියානි සභාවේ ආශ්රයෙන් කපාහැරීමට මඟ පෑදිය හැකි බරපතළ වැරදිය.—ගලාති 5:19, 21.
එබැවින් ලිංගික දුරාචාරය සමඟ සෙල්ලම් කිරීම සැහැල්ලුවෙන් සැලකීමට යමක් නොවේ. එය “මාංසයේද ආත්මයේද [ස්ප්රීතුවේද, NW ] . . . කිලුටුක[මකි]”—එනම් දෙවියන්වහන්සේ සමඟ ඔබේ සබඳතාවට බරපතළ ලෙස හානි පැමිණවිය හැකි යමකි. (2 කොරින්ති 7:1) අවසානයේදී, “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද . . . වෙන්කොට” ඔබේ මනස “දූෂ්‍යකරනු” ලැබීමට සැලැස්වීමට පවා එයට හැක. (2 කොරින්ති 11:3) අපවිත්‍ර හැසිරීමට පාත්‍ර වන හෝ එයට වෙනත් කෙනෙකුව පාත්‍ර කරවන යෞවනයෙකුට ඇත්තෙන්ම “පිරිසිදු සිතකිනුත් [හෘදයකිනුත්, NW ] යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ [කුහකකමින් තොර, NW ] ඇදහිල්ලෙනුත් නික්මෙන” ක්‍රිස්තියානි “ප්‍රේමය,” පෙන්විය නොහැක.—1 තිමෝති 1:5, 19.
ස්නේහය දැක්වීමේදී පමණ ඉක්මවා අන්තයට යන කෙනෙකුහට චිත්ත වේගීය හානි විඳින්නට සිදුවිය හැක. මෙය මෙසේ වන්නේ මන්දයත්, සෙවන්ටීන් සඟරාවේ ලිපියක අපට සිහිගන්වන්නේ, “පුද්ගලයන්ට එකිනෙකාව ස්පර්ශ කළ හැකි විවිධ ආකාරයන් . . . සංසර්ගය හා සමානවම කුලුපග මෙන්ම ප්‍රබල විය හැකි ” නිසායි. එබැවින් සිපගැනීම හා ස්පර්ශ කිරීම ශාරීරිකව කුල්මත් කළ හැකි නමුත්, විශේෂයෙන්ම ගැහැනු ළමුන්ට එමගින් හිස්කමේ හැඟීමක් හා චිත්ත වේගීය හිස්බවක් ඉතිරි කරන බව දැනිය හැක. ජර්නල් ඔෆ් මැරෙජ් ඇන්ඩ් ද ෆැමිලි මෙසේ සඳහන් කරයි: “ස්ත්‍රීහු බිය, වරද සහිත බවේ හැඟීම, කාන්සාව, ලජ්ජාව හා එපමණක් නොව පිළිකුල යන හැඟීම් පවා වාර්තා කරති.”
එය ප්‍රේමයද?
ගණිකාවක මගින් වරදට පෙලඹුණ යෞවන පුරුෂයෙකු ගැන පවසන හිතෝපදේශ 7වෙනි පරිච්ඡේදයෙහි ඇති බයිබල් වාර්තාව සලකා බලන්න. එම අනාචාර ස්ත්‍රිය යෞවන පුරුෂයාට මෙසේ පැවසුවාය: “එන්න, උදයවන තුරු පෙම් බඳුනෙන් බොමු; ආදරය බී මත්වෙමු.” ප්‍රේමය ලැබීම යන අදහස මෙම යෞවනයාට සිත්ගන්නා දෙයක් වූ බවට කිසි සැකයක් නැත. එහෙත් යථාර්ථයේදී නම්, එම ගණිකාව “ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී [කරගත්තාය.]” ඇය තුළ යෞවන පුරුෂයාහට සැබෑ ප්‍රේමයක් තිබුණේ නැත; ඔහු ගනුදෙනුකරුවෙකු වූවා පමණි. ඇය ආත්මාර්ථය පිණිස ඔහුගෙන් උපරිමය ලබාගත්තාය.—හිතෝපදේශ 7:18-21, නව අනුවාදය.
එවැනිම ආකාරයකින්, අදදින බොහෝ යෞවනයන්ව—විශේෂයෙන්ම ගැහැනු ළමුන්ව—ආත්මාර්ථය පිණිස යොදා ගැණේ. විශේෂයෙන්ම ගැහැනු ළමුන්ව බොහෝ විට අවිනීත දේ කිරීමට පොලඹවා ගැණේ. නැන්සි වැන් පෙල්ට්ගේ ද කම්ප්ලීට් කෝට්ෂිප් පොතට අනුව, වැඩියෙන්ම පවතින්නේ “ ‘ඔබ මට ප්‍රේම කරනවා නම්, ඔබ මට ඉඩ හරිනවා’ යන [පිරිමි ළමුන්] විසින් වැඩි වශයෙන්ම යොදා ගන්නා තර්කය බව එක් අධ්‍යයනයක් හෙළි කළේය.” පිරිමින් විසින් මෙම තර්කය “ඈත අතීතයේ සිටම” යොදාගෙන ඇති බව කර්තෘ සඳහන් කරන්නීය.
එහෙත් සර්වබලධාරී දෙවියන්වහන්සේ විසින් අපවිත්‍ර හා හෙළාදකින හැසිරීමකට ඔබව ඇද දමන කෙනෙකු ඇත්තෙන්ම ඔබට ප්‍රේම කරන්නේද? දෙවියන් වහන්සේගේ වචනයට අනුව නම් නැත. සැබෑ “ප්‍රේමය . . . අශෝභනලෙස හැසිරෙන්නේ නැ[ති]” බව එම පොත අපට සිහිගන්වයි. (1 කොරින්ති 13:4, 5) නැන්සි වැන් පෙට් නමැති ලේඛිකාව මෙසේ අසන්නීය: “ඔහුට වුවමනා දේ ඔහු ලබාගන්නවා නම්, සියල්ල නිම වූ පසු ඔහු ඔබට ප්‍රේම කරන බවට ඔබට තිබෙන්නේ කුමන සාක්ෂිද? ඔහු ඔබව අයුතු ප්‍රයෝජන පිණිස යොදාගත්තා විය හැකියි.”—2 සාමුවෙල් 13:15 සසඳන්න.
සිය ක්‍රිස්තියානි පුහුණුව හා හෘදය සාක්ෂිය උල්ලංගනය කිරීමට ගැහැනු ළමයෙකුට පිරිමි ළමයකු බල කරන විට, ඔහු ඇයට අවංකවම ප්‍රේම කරනවා යයි කියා සිටීම බොරුවක් බවට ඔහු ඔප්පු කරයි. එමෙන්ම පිරිමි ළමයා ක්රිස්තියානියකු යයි කියා සිටී නම්, කියන ලද ඔහුගේ ක්‍රිස්තියානිකම බොරුවක් බව හේ ඔප්පු කරන්නේය. මෙම භයගැන්වීමට යටත්වන ගැහැනු ළමයෙකුව ආත්මාර්ථය පිණිස යොදා ගැණේ, අනිසි ලෙස භාවිතා කෙරේ, බාල කෙරේ. ඊටත් වඩා දරුණු දෙය වනාහි, ඇය අපවිත්‍ර ක්‍රියාවක යෙදී, සමහර විට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඉමහත්සේ උල්ලංගනය කිරීමක් වන වේශ්‍යාකමෙහි පවා යෙදී තිබීමය.—1 කොරින්ති 6:9, 10.
ඇතැම් ගැහැනු ළමුන් කැමැත්තෙන්ම සහභාගි වන බව සැබෑවකි. එහෙත් යම් වැරදි දෙයක් කිරීමට අන්‍යෝන්‍ය ලෙස එකඟවීම වැරදි දෙය හරි දෙයක් කරන්නේ නැත. “මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ,” කියා හිතෝපදේශ 14:12 පවසයි.
සබඳතාවට හානි වී
ශාරීරික ලෙස ස්නේහය දැක්වීමේ ප්‍රකාශයන් සබඳතාවක් වැඩි දියුණු කරන බවට ඇතමෙකුට හැඟිය හැක. කෙසේවුවත්, නිදහසේ නුසුදුසු ලිංගික ක්‍රියාවල යෙදීමෙන් සබඳතාවක් වඩා තීව්ර කරන්නේ නැත. එය සබඳතාව බාල කරයි. අඩුම තරමින් එය අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය බිඳහෙලයි. “එයින් පස්සේ මට ඔහු කෙරෙහි අප්‍රිය හැඟීම් පහළ වුණා,” යයි අපවිත්‍ර හැසිරීමක යෙදුණු එක් ගැහැනු ළමයෙක් පිළිගන්නීය.
පූර්ව විවාහ ඇසුරේදී සංවරශීලී නොවීමේ හේතුවෙන්, යුවළක් විවාහ වූ පසුව පවා නිෂේධාත්මක ප්‍රතිඵලයක් දිගටම පැවතිය හැක. විවාහයක තෘප්තිය ගෙනෙන ලිංගික සබඳතාවක පදනම වන්නේ ආත්මදමනය, ඉවසීම හා පරාර්ථකාමිත්වයයි. (1 කොරින්ති 7:3, 4) එහෙත් පූර්ව විවාහ ඇසුරේදී, ඇතැම් යුවළයෝ සංවරශීලීවීමට සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින්ද, දෙදෙනා එකිනෙකාගේ හැඟීම් නොතකමින්ද, ආත්මාර්ථකාමි ආශාවන්ට ඉඩ දීමේ හැසිරීම් විලාසයක් පිහිටුවා ගනිති. මෙය විවාහයට අශුභ ආරම්භයක් දිය හැක.
රාගාධික සිපගැනීම හා ස්පර්ශ කිරීම පටන්ගන්නා විට, බොහෝ අවස්ථාවලදී අර්ථවත් අදහස් හුවමාරුව ඇණහිටී. ඉලක්ක, අභිලාෂයන් හා හැඟීම් පිළිබඳව රහසිගත කථාබහ වෙනුවට දැනුම් තේරුම් නැති රාගය-අවුස්සන හැසිරීම පවතී. හිතෝපදේශ 15:22 මෙසේ අනතුරු අඟවයි: “මන්ත්‍රණය [රහසිගත කථා, NW ] නැති කල යෝජනා [සැලසුම්, NW ] නිෂ්ඵලවන්නේය;” පූර්ව විවාහ ඇසුරේදී විවාහය සඳහා ශක්තිමත් අත්තිවාරමක් දැමීමට අසමත්වීමෙන්, බොහෝ යුවළයෝ අවසානයේදී ඔවුන් විවාහ වූ විට ඉමහත් අපේක්ෂා භංගත්වයෙන් හා වරදසහිතබවෙන් වේදනා විඳිති.
වැරදි ආශාව නසන්න
සලකා බැලීමට තවත් කරුණක් නම් කොලොස්සි 3:5හි ඇති බයිබල් ප්රතිපත්තියයි: “එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසාපල්ලා.” සිපගැනීමෙන් හා ස්පර්ශ කිරීමෙන් “නපුරු තෘෂ්ණාව,” අඩු කරනවා වෙනුවට එයින් සිදුවන්නේ එය ඇවිස්සීම පමණකි. තම පෙම්වතිය සමඟ වූ දෙය ගැන ජැක් නම් එක් යෞවන පුරුෂයෙක් මෙසේ වරද පිළිගනියි: “මුලින් එය නිකම් සිපගැනීම පමණක් වුණා. නමුත් ඉන්පසු එය රාගයෙන් සිපගැනීම හා බලවත්සේ ආලයෙන් වැළඳ ගැනීම බවට පත්වුණා, විටෙක අප වේශ්‍යාකමේ යෙදීමේ තරමටම පවා ආසන්න වුණා. යෙහෝවඃවහන්සේගේ ප්‍රමිති අනුව අප කරමින් සිටි දෙය හරි නැති බව මා දැන සිටියා.”
එවැනි නොමනා හැසිරීමක යෙදුණු විරා නමැති යෞවනියක පිළිගන්නේ සිපගැනීම හා ආලයෙන් වැළඳ ගැනීම ඇයට “ලිංගික සබඳතා පැවැත්වීමට” වුවමනා වීමට සැලසූ බවයි. සමහරවිට ඇත්තටම සිදුවන්නේ එයයි. පාපයට හෘදය සාක්ෂිය දැඩි කිරීමේ බලපෑමක් තිබෙන බව බයිබලය පෙන්නුම් කරයි. (හෙබ්‍රෙව් 3:13) කෙනෙකු නුසුදුසු නිදහස් ක්‍රියාවන්ට පුරුදු වන විට, නරක ක්‍රියාවන් ඉහළ යයි. එක් ආකාරයකට ලිංගිකව ක්‍රියා කරන්නේ නම් එය, තවත් එකකට මඟ පාදයි. (මුලදී සඳහන් කළ) ලෝරා මෙසේ වරද පිළිගන්නීය, “ඔබට එය වැටහෙන්නට පෙර ඔබ බලවත් ලෙස ආලයෙන් වැළඳ ගෙන සිටියි. තවද ඉන් මොහොතකට පසුව ඔබ වේශ්‍යාකමේ යෙදෙයි. මට සිදුවුණේ එයයි.”
අසංඛ්‍යාත වෙනත් යෞවනයන්ටද එයම සිදුවී ඇති බව කීමට කනගාටුයි. පැරණි හිතෝපදේශයක් මෙසේ අනතුරු අඟවයි: “මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?” (හිතෝපදේශ 6:27) පිළිතුර පැහැදිලියි. එමෙන්ම ක්‍රිස්තියානි යෞවනයන් සඳහා, ඔවුන් දෙවියන්වහන්සේගේ අනතුරු ඇඟවීම බරපතළ ලෙස කල්පනාවට ගත යුතුයි: “නොරැවටෙල්ලා; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.”—ගලාති 6:7.
තවදුරටත්, දෙවියන්වහන්සේගේ වචනය මෙසේ ප්‍රකාශ කරයි: “වේශ්‍යාකම් කරන්නෙකුටවත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූපවඳින්නෙක්වූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙ[යි.]” (එපීස 5:5) මෙබැවින්, දුරාචාරය සමඟ සෙල්ලම් කිරීමෙන් දරුණු ප්‍රතිවිපාක ලැබෙන අතර ක්‍රිස්තියානියෙකුට දෙවියන්වහන්සේගේ නව ලොවෙහි සදාජීවත්වීමේ ඔහුගේ හෝ ඇගේ බලාපොරොත්තුව අහිමි වීමට පවා තුඩුදිය හැක.—එළිදරව් 22:15. g94 2/8
[පාදසටහන්වල]
a ඇතැම් නම් වෙනස්කර ඇත.
[14 පිටුවෙහි හුවා දැක්වීම]
ලිංගිකව නොහොබිනා නිදහසක් ගැනීමෙන් සබඳතාවක් බාල වේ
[13 පිටුවෙහි ඇති පින්තූරය]
වරදට තුඩුදෙන තත්ත්වයන්ගෙන් වැළකීමට ඔබට යහපත් සමූහ ක්‍රියාකාරකම් උපකාරවත්වේ