“අහෝ, අහෝ, මහත් නුවර”
මහත් නගර යයි කියා සිටින ලෝකයේ තිබෙන සියලුම නගර අතුරින්, ආගමික වශයෙන් පරිශුද්ධ බවට සලකනු ලබන ඒවා අන් සියල්ලකටම වඩා එලෙස හඳුන්වනු ලැබීම යෝග්‍ය බවට පෙනේ. එහෙත්, අපට පසුව පැහැදිලි වන්නට යන පරිදි, “අහෝ, අහෝ” යන වදන්වලින් අඟවන්නේ, එළිදරව් 18:10හි “මහත්” යනුවෙන් හඳුන්වනු ලැබූ එම ආගමික නගරයට පෙනෙනාකාරයට දිව්‍යමය අනුමැතිය නොලැබෙන බවයි.
අමරණීයභාවයට එතෙර වීමක්ද?
ඉන්දියාවේ තිබෙන පරිශුද්ධ හින්දු නගර හඳුන්වනු ලබන්නේ තිර්තාවන් යනුවෙනි, එහි අර්ථය “එතෙර වන ස්ථාන” නැතහොත් “තොටු පළ” යන්න වේ. බරණැස (බෙනාරිස්, කසී හෝ වාරාණසිය යනුවෙන්ද හඳුන්වනු ලැබේ) වැනි නගර බොහොමයක්, පිහිටා තිබෙන්නේ ගංගාවල ඉවුරු මතය. එහෙත් ඒවා සැබෑ එගොඩ වන ස්ථාන හැටියට නොව, නමුත් මනුෂ්‍යයන්ට ජීවිතයේ ජලාශවලින් එගොඩ වී එතෙර වඩාත් හොඳ ජීවිතයකට සුරක්ෂිත ලෙස යෑමට සලස්වන බවට කියන ආත්මික තොටු පළවල් වන බවට සලකනු ලැබේ.
එක් විශ්වකෝෂයක් මෙසේ සඳහන් කරයි: “වාරාණසිය යනු ලෝකයේ පැරණිතම වූ අඛණ්ඩව වාසය කරනු ලැබූ නගරවලින් එකකි . . . , එය ගංගා නම් ගඟේ මධ්‍යම නිම්න ප්‍රදේශයේ පදිංචි වූ මුල් ආරිය ජනාවාසයයි.” පොදු යුගයට පෙර දෙවන සහස්‍රවර්ෂය තරම් කලින් එය ආගමික කේන්ද්‍රස්ථානයක්ව පැවතුණි. හින්දු නගරයක් වූ නමුත්, ඒ පිළිබඳව බෞද්ධ සහ ඉස්ලාම් පුරාවෘත්තාන්තවල සඳහන් වේ. පොදු යුගයට පෙර හයවන ශතවර්ෂයේදී, බරණැස කසී රාජ්‍යයේ අගනුවර වූ අවධියේදී, බුදුන් සිය ප්‍රථම දේශනාව කළේ, අසල ස්ථානයකය. ඉස්ලාම් ධර්මය එහි දර්ශනයට ඇතුල් වූයේ, මුස්ලිම් ජාතිකයෝ 1194දී නගරය තමන්ගේ පාලනයට යටත් කරගත් විටයි.
උතුරුකර ඉන්දියාවේ ගංගා නමැති ගංගාව මත පිහිටා තිබෙන බරණැස් නුවර, දේශයේ වඩාත්ම ශුද්ධ වූ හින්දු නගර හතෙන් එකක් වෙයි. එහි මායිම් තුළ සෑම හින්දු දෙවියෙකුට හා අනෙක් මහා තිර්තාවන් සෑම එකකටම සංකේතාත්මක ස්ථානයක් නියම කොට තිබේ. එබැවින්, දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් එම නගරය හඳුන්වන්නේ “ඉන්දියාවේ පරිශුද්ධ භූගෝලයේ ක්ෂුද්‍ර ලෝකයක්” වශයෙනි. එහි තවදුරටත් මෙසේ සඳහන් වෙයි: “මෙම තනි ස්ථානයේ දෙවිවරුන්, තිර්තාවන් සහ මුනිවරුන්ගේ සංකේතාත්මක එක්රැස් වීමෙන් ලැබෙන බලයේ ප්‍රබලකම නිසා වන්දනාව සඳහා ඉන්දියාවේ වඩාත්ම පිළිගත් ස්ථානයක් බවට බරණැස් නුවර පත් වී තිබේ.”
බරණැස් නුවර මියයෑම සඳහා වඩාත්ම සුභ ස්ථානය වශයෙන් හින්දු භක්තිකයෝ සලකති. කයිස්‍යම් මරණම් මුක්ති යන සුප්‍රසිද්ධ වචන ඛණ්ඩයෙන් “කසී රටේ මියයෑම විමුක්තියයි,” යන්න අදහස් කරයි. සම්ප්‍රදායට අනුව එම නගරයේ මියයන ඕනෑම කෙනෙක් ශිව දෙවියන් විසින්ම උපදෙස් ලබනවා ඇත, මෙය “සංසාරය නමැති සාගරයෙන් එහා පිහිටි අමරණීයභාවය නමැති ‘වෙරළ’ දක්වා” ඔසවාගෙන යනු ලැබීමට සමාන වේ.a
සෑම තැනම තිබෙන ගංගාවන් සේම, ගංගානම් නමැති ගංගාවද සමෘද්ධිමත් නගර පසුකරගෙන යද්දී, කැළි කසළ සහ රසායන ද්‍රව්‍ය එහි දඟරාකාර ගමන් මාර්ගය ඔස්සේ, ගෙනයයි. ඒ අතර, භක්තිවන්ත හින්දු අය, ආගමික සම්ප්‍රදායෙන් නියෝග කරනු ලබන පරිදි, මළ සිරුරු 10,000ක ප්‍රමාණයක් දිනපතා එම ගංගාවට හෙළති. එහෙත් රෝග සම්බන්ධයෙන් තිබෙන ඉතා පැහැදිලි උවදුර ගැන අනවධානයෙන් යුත් වන්දනාකරුවෝ, ආගමික ස්නානයේ හවුල්වීම සඳහා ගං ඉවුර දිගට තිබෙන පියගැට පෙළ ඔස්සේ ගඟට බසිති. මෙය සැබවින්ම අමරණීයත්වයට මාර්ගයද?
“සදාතන නගරය” කොපමණ සදාතනීයද?
ඇතැම්විට එහි ජලාශවල සුදු පැහැය නිසා ආල්බලා යනුවෙන් නම් කරන ලද තවත් ගඟක්, කඳු හතේ “සදාතනීය නගරය” යනුවෙන් හඳුන්වනු ලබන යුරෝපයේ පිහිටි ආගමික නගරයක් මැදින් ගලයි. එහි සුදු පැහැය අහිමි වී ඇති එම ගඟ, දැන් ටයිබර් යන නාමයෙන් හඳුන්වනු ලැබේ. එමෙන්ම බොහෝ කලකට පෙර එම නගරය එහි කඳු හත අභිබවා වර්ධනයවී ඇත. කෙසේවෙතත්, “රෝමයේ ඉතිරි වී තිබෙන අතීතයේ උරුමය අපරදිග පිහිටි ඕනෑම නගරයක් මගින් ඉක්මවිය නොහැකිය,” යනුවෙන් ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා සටහන් කරයි.
ස්මාරක සහ ඓතිහාසික ගොඩනැගිලි දුසිම් ගණනක් මෙම උරුමයට සාක්ෂි සපයයි. එම නගරය පරාජය කර කොල්ලකනු ලැබූ වාර ගණනාව සලකා බැලීමේදී—එනම් පොදු යුගයට පෙර හතරවන ශතවර්ෂයේ ආරම්භයේදී ගෝල් ජාතිකයන් විසින් සහ පොදු යුගයේ 410දී විසිගොත්වරුන්ද, 455දී වැන්ඩල්වරුන් සහ 1084දී නෝමන්වරුන්, 1527දී අධිරාජ්‍ය අගම්පඩි සෙබලුන් විසින්, 1798දී නැපෝලියන්ගේ හමුදාව සහ IIවන ලෝක යුද්ධ සමයේදී ජර්මානුවන් සහ මිත්‍රපාක්ෂිකයන් විසින්—එම ස්මාරක බේරී ඉතිරිවී තිබීම මහත් පුදුමයකි.
තාප්ප සහිත මුල් රෝම නගරය නවීන නගරයේ සම්පූර්ණ ප්‍රමාණයෙන් සියයට 4ක් පමණක් වන නමුත්, ස්මාරකවලින් බොහොමයක් එහි පිහිටා තිබෙන හෙයින්, සංචාරකයන් මිලියන සංඛ්‍යාවක් රොක් වෙන්නේ එම රෝමය නැරඹීමටයි. වර්ෂ 1993 මුල් භාගයේදී, සංචාරකයන්ට තවත් ආකර්ෂණයක් වූයේ “Vවන සික්ස්ටස් සහ රෝමය” නමැති ප්‍රදර්ශනයයි. වර්ෂ 1585 සිට 1590 දක්වා පාප් ධුරය දැරූ සික්ස්ටස්, රෝමය මත කොතරම් කල්පවතින බලපෑමක් ඇති කළාද කිවහොත්, “නවීන දින නගර සැලසුම් කිරීමේ පියා” යනුවෙන් ඔහුව හඳුන්වා තිබේ. ඔහු රෝමය යළි සකස් කිරීමට හේතුව පහදා දෙමින්, දි යෝරපියන් සඟරාවේ මෙසේ ලියන ලදි: “පළමුව, රෙපරමාදු තර්ජනයට එරෙහිව වතිකානු බලය තහවුරු කිරීමට ශක්තිමත් පදනමක් සැපයීම සඳහාය. . . . දෙවනුව, තවමත් ප්‍රාදේශීය වෙළෙඳ පොළවල් සහිත නගරයක් වූ රෝමය, නව යෙරුසලම සඳහා යෝග්‍ය ආසනය බවට පත් කිරීම සඳහාය.”
රෝමයේ කුඩා අභ්‍යන්තර ප්‍රාන්තයක වන වතිකානු නගරය, මෙම “නව යෙරුසලමේ ආසනය” වන බව කියා සිටියි. වර්ෂ 1929දී ඉතාලියේ පැසිස්ට් ආණ්ඩුව විසින් ලතරානු ගිවිසුමට අත්සන් තබන ලදි, එමගින් වතිකානු නගරයේ ස්වාධිපත්‍යය පිළිගනු ලැබීය. එවක් පටන් පාප් විසින් සම්පූර්ණ විධායක, ව්‍යවස්ථාදායක සහ විනිශ්චයකාරක බලයෙන් යුක්තව එම නගරය පාලනය කොට තිබේ. වතිකානුවට අයත් පෞද්ගලික තැපැල් සහ දුරකථන සේවයක් සහ යුද හමුදාවක්ද තිබේ, පාප්ව ආරක්ෂා කිරීමේ වගකීම දරන නිල ඇඳුමෙන් සැරසුණු ස්විස් ජාතික ආරක්ෂක භටයන්ද මීට ඇතුළත්ය. කෙසේවෙතත් සංචාරකයන් විශේෂයෙන්ම කැමැත්තක් දක්වන්නේ සාන්ත පේදුරුගේ බැසිලිකාව නැරඹීමටය, මෙය වනාහි ශතවර්ෂ ගණනාවකට ක්‍රිස්තියානි ලෝකයේ තිබූ විශාලතම දෙව්මැදුර විය. වර්ෂ 1989දී කෝට් ඩිව්වාහි යමස්‍යූක්‍රෝවල දෙව්මැදුරේ නිම වීමත් සමඟම මෙම විශිෂ්ටත්වය රෝමයට අහිමි විය.
“අවුරුදු 1,000ක් පුරා රෝමයේ පුරවැසියෙකු වීම යන්න අදහස් කළේ ලෝකයේ ප්‍රසිද්ධ පිළිගැනීමක් ලැබීමත්, සුරක්ෂිතභාවයෙන් ආඩම්බරයෙන් හා සාපේක්ෂ වශයෙන් සැප පහසුකම් ඇතුව ජීවත්වීමත් බව” දි එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසයි. එහෙත් තවදුරටත් තත්ත්වය එසේ නොවෙයි! රෝමයේ පවතින දේශපාලනමය දූෂණය සහ වතිකානු නගරයේ ආගමික ලෙස උදාසීන තත්ත්වය අතීතයේ තිබූ බවට කියනු ලබන මහිමය සදාතන එකක් නොවන බව තහවුරු කරයි.
ඉස්ලාම් ධර්මයේ වඩාත්ම ශුද්ධ වූ ස්ථානය
ලොව වටා සිටින මුස්ලිම් ජාතිකයන් බිලියන එකක් පමණ මක්කම නගරය සලකන්නේ “මැවිල්ලේ මුල් අවධිය පටන් දිව්‍යමය, දේවදූතමය, අනාවැකිමය සහ මනුෂ්‍යයන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් සුභ ස්ථානයක්” වශයෙනි.b ඉස්ලාම් ධර්මයට අනුව එය වනාහි මැවිල්ල ආරම්භ වූ ස්ථානයත්, ආබ්‍රහම් විසින් නමස්කාරය සඳහා ප්‍රථම ගෘහය ගොඩනගනු ලැබූ ස්ථානයත්, ඔහු සිය උප භාර්යාව වූ හාගර් සහ ඔවුන්ගේ පුත්‍ර වූ ඉෂ්මායෙල් රැගෙන ගිය ස්ථානයත්ය.
වඩා මෑතකදී, ඇතැම්විට පො.යු. 570දී පමණ, දිවැස්වර මහම්මත් උපත ලැබූ ස්ථානය වූයේ සවුදි අරාබියාවේ මක්කමය. ආරම්භයේදී ඔහුගේ ඉගැන්වීම්වලට අඩු ප්‍රතිචාරයක් ලැබුණි. මක්කම වනාහි තවලම් වෙළෙඳ ගමන් මාර්ගයේ ඉන්දියාව හා යුරෝපය අතර පිහිටා තිබූ ක්ෂේම භූමියක් වූ අතර, එහි සිටියා වූ බලවත් වෙළෙඳුන්ගේ බිය වූයේ ඔහුගේ ආගමික ප්‍රතිසංස්කරණය ආර්ථික පහත බැසීමකට මඟ පෙන්විය හැකි බවටය. එහි වැඩි ප්‍රතිචාරයක් ලැබීමට අසමත් වූ එම දිවැසිවරයා, යත්රබ් වෙතට හැරී ගියේය, මෙය වනාහි පසුව අල්-මඩීනා (මෙදීනා) යනුවෙන් ප්‍රසිද්ධ වූ, ඊසාන දෙසට සැතපුම් 200ක් පමණ ඈතින් පිහිටි නගරයක් විය. කෙසේවෙතත්, පො.යු., 630දී ඔහු නැවතත් මක්කමට පැමිණ, එය අල්ලාගෙන, ඉස්ලාම් ධර්මයේ ආත්මික මධ්‍යස්ථානය බවට පත් කළේය.
අදදින මක්කමේ මුස්ලිම් ජාතිකයන් පමණක් වාසය කළ හැකි නමුත්, එය ධනවත් මෙන්ම විවිධ දේශවල අය සිටින නගරයකි. වන්දනා ගමන්වල යෙදීමේ ශුද්ධ මාසය වන ධුල්-හිජ්ජා මාසයේදී, මිලියන සංඛ්‍යාත අය ඔවුන්ගේ හජ් යුතුකම ඉටු කිරීම සඳහා එහි යති. මක්කමෙහි සිටින විට වන්දනාකරුවන් පරිශුද්ධ පල්ලිය දැකීමට යන අතර, එහිදී, වහලක් රහිත පල්ලියේ මිදුල මැද පිහිටා ඇති කුඩා පූජ්‍ය ස්ථානයක් වටේ සත්වරක් ඔවුහු සක්මන් කරති.
මෙම පූජ්‍ය ස්ථානය කාබාව වේ, මෙය වනාහි පරිශුද්ධ කළු ගල දරන සාමාන්‍යයෙන් කළු පලුවැඩ කඩතුරාවකින් වසා ඇති ඝනාකාර රූපයෙන් යුත් ගොඩනැගිල්ලකි. ආදම්ව ඒදන් උයනෙන් පලවා හරිනු ලැබූ අවස්ථාවේදී පව් කමාව සඳහා ඔහුට දෙනු ලැබූ බවට මුස්ලිම්වරුන් විශ්වාස කරන මෙම ගල, එවිට සුදු පැහැයෙන් යුතුව තිබුණු බව කියැවේ. මුස්ලිම් සම්ප්‍රදායට අනුව නෝවාගේ ජල ගැල්මේදී මුල් කාබාව විනාශ වූ නමුත්, කළු ගල සුරක්ෂිතව තබා ගනු ලැබ ගාබ්‍රියෙල් නමැති දේව දූතයා විසින් ආබ්‍රහම්ට දෙනු ලැබූ අතර, ඉන් පසුව ආබ්‍රහම් කාබාව නැවත ගොඩනගා කළු ගල එහි නියමිත ස්ථානයේ නැවත තැන්පත් කළේය. මුස්ලිම්වරුන් දිනකට පස්වරක් යාච්ඤාවේ යෙදෙන්නේ, ඉස්ලාම් ධර්මයට අනුව පොළොවේ පිහිටි වඩාත්ම ශුද්ධ වූ ස්ථානය වන, කාබාවේ දිශාවට හැරීමෙනි.
පරිශුද්ධ පල්ලියේ මිදුල තුළට දොරටු විසි-හතරක් විවෘත වන නමුත්, වන්දනාකරුවන් සඳහා සම්ප්‍රදායානුකූල දොරටුව වනුයේ උතුරු කොනේ පිහිටා තිබෙන සාමයේ දොරටුවයි. කෙසේවෙතත්, හජ් සමයේදී සෑමවිටම සාමකාමී තත්ත්වයක් පවතින්නේ නැත. වර්ෂ 1987දී, ඉස්ලාම් විරුද්ධවාදීහු පල්ලිය තමුන්ගේ පාලනයට යටත් කරගැනීමට තැත් කළහ. ඉක්මනින් දේවල් යථා තත්ත්වයට පත් කරනු ලැබූ නමුත්, එසේ කරනු ලැබුවේ මුස්ලිම්වරුන් 400කට වඩා වැඩි දෙනෙකු ඝාතනය කිරීමෙන් හා 650දෙනෙකු තුවාල ලැබුවායින් පසුවයි. වඩාත්ම ශුද්ධ වූ ඉස්ලාමීය පූජ්‍ය ස්ථානයක සාමයේ එබඳු පැහැදිලි ඌනතාවක් ශෝකයට කාරණාවක් වන නමුත්, හාජ් ගමනේදී මියයන ඕනෑම කෙනෙකු ස්වර්ගයට පිවිසීමට වහා අවසර ලැබෙන බවට වූ ඉගැන්වීමෙන් මුස්ලිම්වරු සහනය ලබති.
දෙගුණ සාමය හිමි ස්ථානයක්ද?
යුදෙව්වන් සහ ක්‍රිස්තියානි යයි කියා සිටින අය විසින් ශුද්ධ නගරය ලෙසද මුස්ලිම්වරුන් විසින් පෘථිවියේ වඩාත්ම ශුද්ධ වූ ස්ථාන අතරින් තුන්වැන්න (මක්කම සහ මෙදීනාට පසුව) වශයෙන් සලකනු ලබන යෙරුසලම යන නාමය, “දෙගුණ සාමය හිමි ස්ථානය” යන අරුත දෙයි. පොදු යුගයට පෙර 1070 සිට එය පුරාතන ඉශ්‍රායලයේ අගනුවර වූ නමුත් ඊට පෙර වසර 900කට පමණ ඉහතදී සාලෙම් යන නාමය යටතේ එය පැවතුණි. (උත්පත්ති 14:18) දේශයේ පරිපාලක මධ්‍යස්ථානය වශයෙන්, මුහුදු මට්ටමට වඩා අඩි 2,500ක් පමණ උසකින් කඳුවලින් මුවා වූ ස්ථානයක එය ඉතා වැදගත් ලෙස පිහිටුවා තිබුණි, එමනිසා එය ඒ කාලයේදී ලෝකයේ තිබුණා වූ උසම අඟනුවරවලින් එකක් විය.
පොදු යුගයට පෙර හතරවන ශතවර්ෂයේදී, යෙරුසලම ග්‍රීක්වරුන්ගේ පාලනය යටතට පත්විය. පොදු යුගයට පෙර දෙවන ශතවර්ෂය වන විට, විශාල වෙමින් තිබූ රෝමානු අධිරාජ්‍යයක බලපෑම ඊට වැඩි වැඩියෙන් ලැබුණි. මහ හෙරොද්ගේ පාලන සමයේදී, යෙරුසලම සමෘද්ධිමත් විය. පෙනෙනාකාරයට ඔහු විසින් ගොඩනගන ලද දේවමාලිගාවේ මිදුල අවට තිබූ තාප්පයෙන් කොටසක් තවමත් පවතියි, එය දැන් හඳුන්වනු ලබන්නේ බටහිර (විලාප නැගීමේ) තාප්පය යනුවෙනි. යුදෙව්වන් රෝමානු වියගහ ඉවත් කිරීමට වෙර දැරූ නිසා, පො.යු. 70 අප්‍රියෙල් මාසයේදී රෝමානු හමුදාවෝ යෙරුසලමට පහර දුන්හ. ඉන්පසුව මාස පහකට වඩා අඩු කාලයකින්, නගරය සහ එහි දේවමාලිගාව විනාශ වී තිබුණි.
එක් ගණන් ගැනීමකට අනුව, යෙරුසලම 37වරක් යටත් කොට ඇත. බොහෝ අවස්ථාවලදී මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් විනාශ වුණි. එහෙත් හැම විටම පරණ යෙරුසලමට උඩින් අලුත් එකක් මතු වී ඇත. එමනිසා පො.යු. 130දී පමණ, අධිරාජ්‍ය හැඩ්රියන් ඉලියා කැපිටලයිනා යනුවෙන් හඳුන්වනු ලැබූ, නව නගරයක් ගොඩනැගීම සඳහා ආඥාවක් නිකුත් කළේය. ශතවර්ෂ දෙකකට පමණ කිසි යුදෙව්වෙකුට එය තුළට පිවිසීමට ඉඩ නාරින ලදි. පසුව, පො.යු. හත්වන ශතවර්ෂයේ මුල් භාගයේදී, මුස්ලිම්වරු නගරය යටත් කරගත් අතර කලින් දේවමාලිගාව පිහිටා තිබූ ස්ථානයේ හෝ ඊට ආසන්නව ද ඩෝම් ඔෆ් ද රොක් (පර්වතයේ ගෝලාර්ධය) නමැති ගොඩනැගිල්ල ගොඩනැගූහ.
නවීන ඉශ්‍රායෙල් රාජ්‍යය පිහිටුවනු ලැබුවේ 1948දීය, තවද 1949දී යෙරුසලම ඉශ්‍රායෙල් සහ යොර්දානය අතර බෙදනු ලැබීය. එහෙත් 1967දී, දින-හයේ යුද්ධයේදී, ඉශ්‍රායෙලිතයෝ එහි නැගෙනහිර භාගය යටත් කරගත්හ. එවක් පටන් ඔවුන් විසින් නගරයේ ඓතිහාසික අඛණ්ඩතාව පවත්වා ගැනීමට වෑයම් දරා ඇති අතරම එය නවීකරණයද කර තිබේ. 1993 වන විට එහි ජනගහනය මිලියන අඩකටත් වඩා වැඩි විය.
ලෝකයේ ප්‍රධාන ආගම් තුනක් යෙරුසලම ශුද්ධ නගරයක් ලෙස සලකන නිසා, ආගමික නොසන්සුන්කමේ හැඟීම ඇතැම්විට බලවත් වේ. “යුදෙව්වන් සහ අරාබිවරුන් අතර පවත්නා සියලුම ඝට්ටනවලින් යෙරුසලම සම්බන්ධයෙන් සිදුවන ඝට්ටන වඩාත්ම සංකීර්ණ මෙන්ම පාලනය කළ නොහැකි එක වේ,” යනුවෙන් ටයිම් සඟරාව සටහන් කරයි. දැනට, යෙරුසලම යන නාමයෙන් පොරොන්දු කරන දෙගුණ සාමය සඳහා සාධක නොමැති තරම්ය.
“ඔබගේ නගර පාළු වූ නාස්තියක් වනු ඇත”
එළිදරව් 18:10හි සඳහන් නගරය දෙවියන්වහන්සේට අප්‍රසන්න වන සියලුම ආගම් සංකේතවත් කරයි. “අහෝ, අහෝ, මහත් නුවර, බබිලෝනිය, බලවත් නුවර! එක පැයකින් නුඹේ විනිශ්චය පැමුණුණේය.” සරලව කියනවා නම්, මෙයින් අදහස් කරන්නේ යෙහෝවඃ දෙවියන්වහන්සේට විරුද්ධව ක්‍රියා කරන ආගම් විනාශයට නියම වී තිබෙන බවයි. අදදින ආගමේ “මහත්” නගරවලට දේවමාලිගා, උත්සව සහ ආගමික වස්ත්‍රාභරණ යන සියල්ල තිබෙන නමුත්, දෙවියන්වහන්සේගේ විනිශ්චය දවසේ ඒවාට කිසි කල්පවතින ආරක්ෂාවක් සැපයීමට නොහැකි වනු ඇත. g94 3/8
[පාදසටහන්වල]
a හින්දු භක්තිකයන් “සංසාරය” නමැති වදනින් අදහස් කරන්නේ සදාතනීය අමරණීය ආත්මයක සංසරණයයි.
b මුස්ලිම් අධ්‍යාපනික භාරකාර මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් වූ ඉස්ලාම්: බිලීෆ්ස් ඇන්ඩ් ටීචිංස්, කියා සිටින්නේ, “ලොව වටා සිටින මුස්ලිම්වරුන්ගේ නවතම ජනගහනය මිලියන 1,100ක් පමණ විය හැකිය,” යනුවෙනි.
[22 පිටුවෙහි ඇති පින්තූරය]
මක්කමේ පරිශුද්ධ පල්ලිය සහ කාබාව
[හිමිකම් වඟන්තිය]
Camerapix
[23 පිටුවෙහි ඇති පින්තූරය]
යෙරුසලමේ යුදෙව්වන්ගේ විලාප නැගීමේ තාප්පය සහ මුස්ලිම්වරුන්ගේ පර්වතයේ ගෝලාර්ධය (වම)
[හිමිකම් වඟන්තිය]
Garo Nalbandian