යෙරුසලම—‘මහ රජුගේ නුවර’
‘යෙරුසලම මහ රජුගේ නුවර බැවින් ඒක ගැන නොදිවුරන්න.’—මතෙව් 5:35.
1, 2. යෙරුසලම ගැන කියවද්දී, සමහරෙකුට ප්‍රහේලිකාවක් විය හැක්කේ කුමක්ද?
යෙරුසලම—එම නාමයම විවිධ ආගම්වලට අයත් ජනයා තුළ ප්‍රබල හැඟීම් පුබුදුවනවා. ඇත්තෙන්ම, නිතරම ප්‍රවෘත්ති මගින් සඳහන් කරන නිසා අප කිසිම කෙනෙකුට මෙම ඉපැරණි නුවර නොසලකා හරින්න බැහැ. කෙසේවෙතත්, යෙරුසලම සැමවිටම සමාදානයේ වාස භූමියක් නොවන බව බොහෝ වාර්තා හෙළි කිරීම, කනගාටුවට කාරණයක්.
2 එම කාරණය සමහර බයිබල් පාඨකයන්ට ප්‍රහේලිකාවක් වෙන්න ඉඩ තිබෙනවා. අතීතයේදී, යෙරුසලම සඳහා කෙටි නාමය වූයේ සාලෙම්. එනම්, “සමාදානය” යන්නයි. (උත්පත්ති 14:18; ගීතාවලිය 76:2; හෙබ්‍රෙව් 7:1, 2) එසේනම්, ‘මෑත කාලවලදී, මෙම නාමය දරන නුවරේ, සමාදානයේ ඌනතාවක් පවතින්නේ ඇයි’ කියා ඔබ සිතාවි.
3. යෙරුසලම සම්බන්ධයෙන් විශ්වාසකටයුතු තොරතුරු සොයාගත හැක්කේ කොහෙන්ද?
3 එම ප්‍රශ්නයට උත්තර දීම සඳහා, අප ඈත ඉතිහාසයට ගොස් පුරාණ කාලවල යෙරුසලම ගැන ඉගෙනීම අවශ්‍යයි. නමුත්, ‘පැරණි ඉතිහාසය ගැන අධ්‍යයනය කරන්න අපිට වෙලාවක් නැහැ’ කියා සමහරුන් කියන්න ඉඩ තිබෙනවා. කෙසේවෙතත්, යෙරුසලමේ මුල් ඉතිහාසය පිළිබඳ නිරවද්‍ය දැනුමක් ලබාගැනීම අප සියලුදෙනාටම වටිනවා. මෙම වචන මගින් ඒ ඇයි කියා බයිබලය අඟවනවා: “ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.” (රෝම 15:4) අපට සැනසිල්ල ලබා දෙන්න—ඔව්, එම නුවරට පමණක් නොව, මුළු ලොවටම සමාදානයේ බලාපොරොත්තුවක් සැපයීමට යෙරුසලම පිළිබඳ බයිබල් දැනුමට හැකියි.
‘යෙහෝවාගේ සිංහාසනය’ පිහිටි ස්ථානය
4, 5. දෙවිගේ අරමුණ ක්‍රියාත්මක කිරීම සඳහා යෙරුසලම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරද්දී, දාවිත් ඊට සම්බන්ධ වුණේ කොහොමද?
4 පොදු යුගයට පෙර 11වන සියවසේදී, සුරක්ෂිත සහ සාමකාමී ජාතියක ලෝක පූජිත අගනුවර බවට යෙරුසලම පත් වුණා. යෙහෝවා දෙවි එම පුරාණ ජාතිය වන ඉශ්‍රායෙල්හි රජු හැටියට තරුණ දාවිත්ව ආලේප කළා. යෙරුසලමේ සිට පාලන බලය ව්‍යාප්ත කිරීමත් සමඟ දාවිත් සහ ඔහුගේ රාජකීය පැවතෙන්නන් විසින් ‘යෙහෝවාගේ රජකම් කිරීමේ සිංහාසනය’ නැත්නම් ‘යෙහෝවාගේ සිංහාසනය’ උරුම කරගත්තා.—1 ලේකම් 28:5; 29:23.
5 යූදා ගෝත්‍රයට අයත් ඉශ්‍රායෙලිතයෙක් වූ දාවිත් නමැති දේවභයැති මිනිසා, පිළිම නමස්කාර කරන්නන් වූ යෙබූසිවරුන්ගෙන් යෙරුසලම අල්ලාගත්තා. එවකට නුවරට අයත්ව තිබුණේ සියොන් නමැති කන්ද පමණක් වූ අතර, ඒ නාමය, යෙරුසලම යන නාමය සමඟ මාරුවෙන් මාරුවට යොදාගැනුණා. දාවිත් කාලයාගේ ඇවෑමෙන්, දෙවිගේ ගිවිසුම් පෙට්ටිය සහ ඉශ්‍රායෙලිතයන්ව යෙරුසලම වෙත ගෙනා අතර, ගිවිසුම් පෙට්ටිය එහි කූඩාරමක තැබුවා. වසර කිහිපයකට පෙර, දෙවි පරිශුද්ධ ගිවිසුම් පෙට්ටියට ඉහළින් තිබූ වලාකුළෙහි සිටිමින්, අනාගතවක්තෘ මෝසෙස් සමඟ කතා කළා. (නික්මයාම 25:1, 21, 22; ලෙවී කථාව 16:2; 1 ලේකම් 15:1-3) ඉශ්‍රායෙල්හි සැබෑ රජු යෙහෝවා බැවින්, ගිවිසුම් පෙට්ටිය දෙවි එහි සිටින බව නියෝජනය කළා. එමනිසා, දෙයාකාරකින් යෙහෝවා දෙවි යෙරුසලම් නුවරේ සිට පාලනය කළ බව කිව හැකියි.
6. දාවිත් සහ යෙරුසලම සම්බන්ධයෙන් යෙහෝවා දුන් පොරොන්දුව කුමක්ද?
6 සියොන් හෝ යෙරුසලම මගින් නියෝජනය කළ, දාවිත්ගේ රාජකීය පෙළපතේ රාජ්‍යය අවසන් නොවන බව යෙහෝවා දාවිත්ට පොරොන්දු වුණා. මෙයින් අදහස් කළේ, දාවිත්ගෙන් පැවතෙන්නෙක් දෙවිගේ ආලේප ලත් තැනැත්තා, එනම් මෙසියස් හෝ ක්‍රිස්තුස් හැටියට සදාකාලයටම පාලනය කිරීමේ අයිතිය උරුම කරගන්න යන බවයි.a (ගීතාවලිය 132:11-14; ලූක් 1:31-33) ‘යෙහෝවාගේ සිංහාසනයේ’ සදාකාල උරුමක්කාරයා, යෙරුසලම පමණක් නොව, සියලුම ජාතීන්ව පාලනය කරන්න යන බවත් බයිබලය හෙළි කරනවා.—ගීතාවලිය 2:6-8; දානියෙල් 7:13, 14.
7. දාවිත් රජු නිර්මල නමස්කාරය ව්‍යාප්ත කළේ කෙසේද?
7 දෙවිගේ ආලේප ලත් තැනැත්තා වූ දාවිත් රජුගේ අතින් පාලන බලය ඩැහැගන්න ගත් වෑයම් ව්‍යර්ථ වී ගියා. ඒ වෙනුවට, සතුරු ජාතීන්ව යටත් කරගත්තා; පොරොන්දු දේශයේ මායිම් දෙවි නියම කළ ආකාරයට විහිදෙව්වා. නිර්මල නමස්කාරය ව්‍යාප්ත කරන්න දාවිත් මෙම තත්වයෙන් ප්‍රයෝජන ගත්තා. එමෙන්ම දාවිත් ලියූ බොහෝ ගීතිකා, සියොන්හි සැබෑ රජු හැටියට යෙහෝවාව ප්‍රශංසාවට පත් කරනවා.—2 සාමුවෙල් 8:1-15; ගීතාවලිය 9:1, 11; 24:1, 3, 7-10; 65:1, 2; 68:1, 24, 29; 110:1, 2; 122:1-4.
8, 9. සාලමොන්ගේ රජ සමයේදී, යෙරුසලමෙහි සත්‍ය නමස්කාරය පුළුල් වුණේ කෙසේද?
8 දාවිත්ගේ පුත්‍ර සාලමොන්ගේ පාලන කාලයේදී, යෙහෝවාගේ නමස්කාරය ඉතා උච්චස්ථානයක් කරා ළඟා වුණා. මොරියා කන්දද ඊට ඇතුළත් කරගැනීම සඳහා සාලමොන් යෙරුසලමේ සීමා උතුරු දෙසට විහිදෙව්වා (වර්තමානයේ ඩෝම් ඔෆ් ද රොක් පිහිටා ඇති ප්‍රදේශයයි). මෙම උස් බිම් කොටසේ, යෙහෝවාගේ ප්‍රශංසාව සඳහා තේජවත් දේවමාළිගාවක් තනන්න ඔහුට වරප්‍රසාද ලැබුණා. ගිවිසුම් පෙට්ටිය, එම දේවමාළිගාවේ අතිශුද්ධස්ථානයේ තැබුවා.—1 රාජාවලිය 6:1-38.
9 යෙරුසලමේ කේන්ද්‍රගත වී තිබූ යෙහෝවාගේ නමස්කාරයට හෘද පූර්ණ සහයෝගය දුන් විට, ඉශ්‍රායෙල් ජාතිය සමාදානය භුක්ති වින්දා. මෙම තත්වය අලංකාරවත් ලෙස විස්තර කරමින්, බයිබලය මෙසේ සඳහන් කරනවා: “යූදාවරුද ඉශ්‍රායෙල්වරුද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය, ඔව්හු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූහ. . . . [සාලමොන්] අවට සෑම දිශාවලද ඔහුට සමාදානය තිබුණේය. . . . යූදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.”—1 රාජාවලිය 4:20, 24, 25.
10, 11. සාලමොන් පාලනය කරද්දී යෙරුසලමේ පැවති තත්වය ගැන බයිබලය පවසන දෙය, පුරාවිද්‍යාව සනාථ කරන්නේ කෙසේද?
10 සාලමොන්ගේ ඉසුරුමත් පාලන කාලය පිළිබඳ මෙම වාර්තාවට පුරාවිද්‍යා සොයාගැනීම් රුකුල් දෙනවා. මහාචාර්ය යෝහානාන් ආහාරෝනි, ඉශ්‍රායෙල් දේශය පිළිබඳ පුරාවිද්‍යාව (ඉංග්‍රීසියෙන්) නමැති තම පොතේ මෙසේ සඳහන් කරනවා: “සෑම දිශාවකින්ම මාළිගාවට ගැලූ ධන සම්භාරයත්, සමෘද්ධිමත් වාණිජ්‍යයත්, . . . ද්‍රව්‍යමය සංස්කෘතිය තුළ ශීඝ්‍ර මෙන්ම සැලකිය යුතු පෙරළියක් ඇති කළා. . . . ද්‍රව්‍යමය සංස්කෘතියේ මෙම වෙනස . . . සුඛෝපභෝගී භාණ්ඩ සම්බන්ධයෙන් පමණක් නොව, විශේෂයෙන්ම මැටි කර්මාන්තය තුළදීද දිස්වෙනවා. . . . මැටි භාණ්ඩවල තත්වය සහ ඒවා පිලිස්සීමේ ක්‍රම අතිවිශිෂ්ට ආකාරයෙන් දියුණු වී තිබුණා.”
11 ඊට සමානව, ජෙරි එම්. ලැන්ඩේ මෙසේ ලිව්වා: “පෙර අවුරුදු දෙසීය තුළ තිබූ ඉශ්‍රයෙල්හි ද්‍රව්‍යමය සංස්කෘතිය සමඟ සසඳද්දී, සාලමොන්ගේ පාලනයේ දශක තුනක් තුළදී විශාල වර්ධනයක් අද්දැක්කා. සාලමොන්ගේ රාජ්‍ය කාලයට අයත් භූමිතට්ටුවෙහි, ස්මාරකවල නටබුන්, සුවිසල් තාප්පවලින් වට වූ විශාල නගර, එක පිට එක මතු වී එන නේවාසික ස්ථාන ඇතුළු ඉතා අනර්ඝ ලෙස නිමැවූ ධනවතුන්ගේ වාසස්ථාන සමූහයක් අපට දැකගත හැකි අතර, මේවා කුඹල්කරුවාගෙත්, ඔහුගේ නිෂ්පාදන ක්‍රියාවලියෙත් තාක්ෂණික නිපුණත්වයේ අතිමහත් දියුණුව පෙන්වනවා. ඉතා දුර ඈත ස්ථානවල නිමැවූ වෙළඳ භාණ්ඩ නියෝජනය කරන පුරාවස්තුද අපට හමු වී ඇති අතර, එය ප්‍රබල ජාත්‍යන්තර වාණිජ්‍යයේ සහ වෙළඳාමේ සලකුණක්.”—දාවිත්ගේ ගෘහය. (ඉංග්‍රීසියෙන්)
සමාදානයේ සිට පාළුවීම දක්වා
12, 13. සැබෑ නමස්කාරය යෙරුසලමේ නොකඩවාම ක්‍රියාත්මක නොවුණේ මන්ද?
12 යෙහෝවාගේ ශුද්ධස්ථානය පිහිටි නුවර වූ යෙරුසලමේ පැවති සමාදානය සහ සමෘද්ධිය, යාච්ඤාව සඳහා උචිත විෂයක් වුණා. දාවිත් මෙසේ ලිව්වා: “යෙරුසලමේ සමාදානය උදෙසා යාච්ඤාකරව්. නුඹට ප්‍රේමකරන්නෝ දියුණුවන්නෝය. නුඹේ පවුරු ඇතුළත සමාදානයත් නුඹේ මාළිගා තුළ අභිවෘද්ධියත් වේවා. මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා: නුඹ ඇතුළේ සමාදානය වේවයි කියමි.” (ගීතාවලිය 122:6-8) එම සාමකාමී නුවරේ තේජවත් දේවමාළිගාවක් තනන්න සාලමොන්ට වරප්‍රසාද ලැබුණත්, පසු කාලයේදී ඔහු බොහෝ මිථ්‍යාදෘෂ්ටික භාර්යාවන් සරණ පාවාගත්තා. ඔහුගේ මහලු වයසේදී, එම කාලයේ පැවති බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම පතුරුවන්න ඔවුන් ඔහුව හරවාගත්තා. මෙම ඇදහිල්ල අත්හැර යෑම මුළු ජාතිය මත දූෂිත බලපෑමක් ඇති කළා; එය එහි වැසියන්ගෙන් සැබෑ සමාදානය සොරාගත්තා.—1 රාජාවලිය 11:1-8; 14:21-24.
13 සාලමොන්ගේ පුත්‍ර වූ රෙහොබොවම්ගේ රාජ්‍ය සමයේ මුල් කාලයේදී, ගෝත්‍ර දසය කැරලි ගසා, ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යය පිහිටුවාගත්තා. ඔවුන්ගේ පිළිම නමස්කාරය නිසා, එම රාජ්‍යය පෙරළා දමන්න දෙවි අෂූරීය හමුදාවට ඉඩහැරියා. (1 රාජාවලිය 12:16-30) යූදාහි දකුණු ගෝත්‍ර දෙක, යෙරුසලම කේන්ද්‍ර කරගෙන දිගටම පැවතුණා. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ද නිර්මල නමස්කාරයෙන් හැරී ගිය නිසා, එම මුරණ්ඩු නුවර විනාශ කර දැමීමට පො.යු.පෙ. 607දී දෙවි බබිලෝනියට ඉඩහැරියා. යුදෙව්වන් සිරකරුවන් ලෙස, අවුරුදු 70කට බබිලෝනීය වහල්භාවයේ සිටියා. ඉන්පසු, යෙරුසලමට නැවත ගොස් නිර්මල නමස්කාරය නැවත පිහිටුවන්න දෙවිගේ දයාව ඔවුන්ට ඉඩහැරියා.—2 ලේකම් 36:15-21.
14, 15. බබිලෝනීය වහල්භාවයෙන් පසු යෙරුසලම නැවතත් ප්‍රධාන කාර්යයක් දැරුවේ කෙසේද? නමුත් කිනම් වෙනසක් ඇතුවද?
14 අවුරුදු 70ක් පාළුවීමෙන් පසු, නටබුන් වූ ගොඩනැඟිලි වල් වැදී තිබෙන්න ඇති. වරක් දොරටු සහ ආධාරක කුලුනු නැඟී සිටි තැන්වල විශාල හිදැස් ඇති කරමින්, යෙරුසලමේ තාප්පය බිම හෙළා තිබුණා. නමුත්, යළි පැමිණි යුදෙව්වන් ධෛර්යවත්ව සිටියා. ඔවුන් කලින් දේවමාළිගාව තිබූ තැන පූජාසනයක් ඉදි කරවා, යෙහෝවාට දිනපතා යාග පූජා ඉදිරිපත් කරන්න පටන්ගත්තා.
15 මෙය අපේක්ෂාසහගත ආරම්භයක් වුණත්, නැවත පිහිටෙවූ යෙරුසලම දාවිත් රජුගේ පැවතෙන්නෙක් රජකම් කරන්නාවූ රාජ්‍යයක අගනුවර බවට යළි කිසිදාක පත් වෙන්න යන්නේ නැහැ. ඒ වෙනුවට, බබිලෝනිය අත් පත් කරගත්තවුන් පත් කළ අධිපතීන් විසින් යුදෙව්වන්ව පාලනය කළ අතර, පර්සියානු පාලකයන්ට බදු ගෙවන්නත් ඔවුන්ට සිදු වුණා. (නෙහෙමියා 9:34-37) ‘මඩිනු ලැබූ’ තත්වයක තිබුණත්, පොළොව මත, යෙහෝවා දෙවි විසින් විශේෂ අනුග්‍රහය දැක්වූ එකම නුවර වුණේ යෙරුසලමයි. (ලූක් 21:24) නිර්මල නමස්කාරයේ කේන්ද්‍රස්ථානය හැටියට එය, දාවිත් රජුගේ පැවතෙන්නෙක් තුළින් පොළොව කෙරෙහි තම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට දෙවිට ඇති අයිතියත් නියෝජනය කළා.
බොරු ආගමික අසල්වැසියන්ගෙන් පැමිණි විරුද්ධවාදිකම්
16. බබිලෝනියෙන් යළි පැමිණි යුදෙව්වන් යෙරුසලම නැවත ඉදි කිරීම නැවැත්වූයේ මන්ද?
16 යුදෙව්වන් වහල්භාවයේ සිට යෙරුසලමට යළිත් ගිය විට, අලුත් දේවමාළිගාවකට අත්තිවාරම් දැමුවා. නමුත්, යුදෙව්වන් කැරලිගසන්න යන බව දන්වමින්, අවට සිටි බොරු ආගම් අදහන්නන් පර්සියානු අර්තක්ෂස්තා රජුට යුදෙව්වන් ගැන අපහාසාත්මක ලියවිල්ලක් යැව්වා. ප්‍රතිඵලයක් හැටියට, අර්තක්ෂස්තා යෙරුසලමේ ඉදි කිරීම් කටයුතු දිගටම කරගෙන යෑම තහනම් කළා. ඒ කාලයේදී ඔබ ජීවත් වුණා නම්, නුවරේ අනාගතය කුමනාකාර වෙයිද කියා ඔබ සිතාවි. දේවමාළිගාව ඉදි කිරීම නවතාලූ යුදෙව්වන් ඔවුන්ගේම ද්‍රව්‍යවාදී ලුහුබැඳීම්වල නියැලෙන්න පටන්ගත්තා.—එස්රා 4:11-24; හග්ගයි 1:2-6.
17, 18. යෙරුසලම නැවත ඉදි කෙරෙන බවට යෙහෝවා වග බලා ගත්තේ කිනම් මාධ්‍යයක් මාර්ගයෙන්ද?
17 ඔවුන් නැවත පැමිණ වසර 17කට පසුව, තම සෙනඟගේ සිතුවිලි නිවැරදි කරන්න දෙවි අනාගතවක්තෘවරුන් වූ හග්ගයි සහ සෙකරියාව නැඟිට්ටෙව්වා. යුදෙව්වන් පසුතැවිලි වෙන්න පටන්ගත් අතර, දේවමාළිගාව නැවත ඉදි කිරීම ආරම්භ කළා. මේ අතර, දාරියුස් පර්සියාවේ රජ බවට පත් වුණා. යෙරුසලමේ දේවමාළිගාව නැවත ඉදි කළ යුතුයයි පැනවූ කෝරෙෂ් රජුගේ නියෝගය ඔහු තහවුරු කළා. යුදෙව්වන්ගේ අසල්වැසියන් ‘යෙරුසලමෙන් ඈත්ව සිටිය’ යුතු බවට අවවාද කරමින්, ඉදි කිරීමේ වැඩ සම්පූර්ණ කිරීම සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මූල්‍යාධාර සපයන ලෙසද දන්වා, දාරියුස් ඔවුන්ට ලිපියක් යැව්වා.—එස්රා 6:1-13.
18 යුදෙව්වන් එහි පැමිණ 22වන අවුරුද්දේදී දේවමාළිගාවේ වැඩ අවසන් කළා. මෙම ඉතා වැදගත් සිද්ධිය මහත් උද්දාමයෙන් සැමරිය යුත්තක් බව ඔබට වැටහේවි. නමුත්, යෙරුසලමත් එහි තාප්පත් සැලකිය යුතු ප්‍රමාණයකට තවමත් වැතිර තිබෙන්නේ නටබුන් අතරෙහියි. “දිශාධිපතියාවූ නෙහෙමියාගෙත් ලියන්නාවූ පූජක එස්රාගෙත් දවස්වල” නුවරට අවශ්‍යව තිබූ අවධානය ලැබුණා. (නෙහෙමියා 12:26, 27) තිබෙන සාධකවලට අනුව, පො.යු.පෙ. පස්වන සියවසේ අවසානයත් සමඟම, ඉපැරණි ලෝකයේ තිබූ ප්‍රධාන නුවරක් හැටියට යෙරුසලම නැවත ඉදි කිරීම සම්පූර්ණ කළා.
මෙසියස් පෙනී සිටියි!
19. යෙරුසලමේ මෙම අද්විතීය තත්වය මෙසියස් පිළිගත්තේ කෙසේද?
19 කෙසේවෙතත්, අපි සියවස් කිහිපයකට පසු සිදු වූ විශ්වනීය වැදගත්කමක් ඇති සිද්ධියකට, එනම් යේසුස් ක්‍රිස්තුස්ගේ උපත වෙත යමු. යෙහෝවා දෙවිගේ දූතයා යේසුස්ගේ කන්‍යා මවට මෙසේ කියනු ලැබුවා: ‘පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි වූ යෙහෝවා ඔහුට දෙන්නේය. ඔහුගේ රාජ්‍යය කෙළවර නොවන්නේය.’ (ලූක් 1:32, 33) අවුරුදු ගණනාවකට පසු, යේසුස් තම ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාව ඉදිරිපත් කළා. එහිදී, බොහෝ විෂයන් සම්බන්ධයෙන් දිරිගැන්වීම් සහ උපදෙස් ඉදිරිපත් කළා. නිදසුනක් හැටියට, දෙවි ඉදිරියේ කළ භාර ඉෂ්ට කරන ලෙසත්, නිස්සාර දිවුරීම්වල නියැලීමෙන් පරෙස්සම් වන ලෙසත් තම ශ්‍රාවකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියා. යේසුස් මෙසේ කිව්වා: “බොරුවට නොදිවුරව, [යෙහෝවාට] නුඹේ දිවුරුම් ඉෂ්ටකරවයි පුරාතනයන්ට කී බවත් නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: කිසිසේත් නොදිවුරන්න; ස්වර්ගය [දෙවිගේ] සිංහාසනය බැවින් ඒක ගැනවත්, පොළොව [දෙවිගේ] පාපුටුව බැවින් ඒක ගැනවත්, යෙරුසලම [මහ රජුගේ] නුවර බැවින් ඒක ගැනවත් නොදිවුරන්න.” (මතෙව් 5:33-35) යෙරුසලම සියවස් ගණනාවක් පුරා හිමි කරගෙන තිබූ එහි අද්විතීය තත්වය යේසුස් පිළිගැනීම සැලකිල්ලට ගත යුතු කරුණක්. ඔව්, එය ‘මහ රජු වන යෙහෝවා දෙවිගේ නුවරයි.’
20, 21. යෙරුසලමේ ජීවත් වූ බොහෝදෙනෙකුගේ ආකල්පවල කිනම් ප්‍රබල වෙනසක් ඇති වුණාද?
20 යේසුස්ගේ භූමික ජීවිතය අවසානයකට ළඟා වත්ම, ඔවුන්ගේ පත් කළ නීත්‍යානුකූල රජු හැටියට ඔහු යෙරුසලමේ වැසියන් ඉදිරියේ පෙනී සිටියා. එම ප්‍රීති ප්‍රමුදිත සිද්ධියට ප්‍රතිචාරක් ලෙස, බොහෝදෙනෙක් ‘යෙහෝවාගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාද ලද්දේය. පැමිණෙන්නාවූ අපේ පිය වූ දාවිත්ගේ රාජ්‍යය ආශීර්වාද ලද්දේය’ කියා ප්‍රීතියෙන් කෑ මොර දුන්නා.—මාර්ක් 11:1-10; යොහන් 12:12-15.
21 කෙසේවෙතත්, සතියකටත් වඩා අඩු කාලයකදී, ජනයා තමන්ව යේසුස්ට එරෙහිව යන්න සලස්වන්න යෙරුසලමේ ආගමික නායකයන්ට ඉඩහැරියා. යෙරුසලම් නුවර මෙන්ම, මුළු මහත් ජාතියම ඔවුන්ට තිබූ දේවඅනුග්‍රහය නැති කරගන්න බව ඔහු අනතුරු ඇඟෙව්වා. (මතෙව් 21:23, 33-45; 22:1-7) නිදසුනක් හැටියට, යේසුස් මෙසේ ප්‍රකාශ කළා: “අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත. බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ.” (මතෙව් 23:37, 38) පොදු යුගයේ 33 පාස්කුව වන විට, යේසුස්ගේ විරුද්ධවාදීන් අයුක්තිසහගත ලෙස යෙරුසලමෙන් පිටතදී ඔහුව මරාදමා තිබුණා. එසේ වුණත්, යෙහෝවා තම ආලේප ලත් තැනැත්තාව නැවත නැඟිටුවා, ස්වර්ගීය සියොන්හි අමරණීය ආත්ම ජීවිතයක් ලබා දෙමින්, ඔහුව උසස් කළා; එය, අප සියලුදෙනාටම ප්‍රයෝජන ගත හැකි ඉටු කිරීමක් වුණා.—ක්‍රියා 2:32-36.
22. යේසුස්ගේ මරණයෙන් පසුව, යෙරුසලම සඳහා කළ බොහෝ යොමු දැක්වීම්වලට ඇත්තේ කිනම් ආකාරයේ අදාළ කිරීමක්ද?
22 එතැන් සිට, සියොන් හෝ යෙරුසලම සම්බන්ධව ඉටු නොවූ බොහෝ අනාවැකි, ස්වර්ගීය විධිවිධානයට හෝ යේසුස්ගේ ආලේප ලත් අනුගාමිකයන්ට අදාළ වන බව ඇඟවිය හැකියි. (ගීතාවලිය 2:6-8; 110:1-4; යෙසායා 2:2-4; 65:17, 18; සෙකරියා 12:3; 14:12, 16, 17) යේසුස්ගේ මරණයෙන් පසුව “යෙරුසලම” හෝ “සියොන්” සඳහා කළ යොමු දැක්වීම් ගණනාවකටම පැහැදිලිවම සංකේතාත්මක අර්ථයක් ඇති අතර, පදගතාර්ථ නුවරකට හෝ ස්ථානයකට අදාළ වෙන්නේ නැහැ. (ගලාති 4:26; හෙබ්‍රෙව් 12:22; 1 පේතෘස් 2:6; එළිදරව් 3:12; 14:1; 21:2, 10) යෙරුසලම තවදුරටත්, ‘මහ රජුගේ නුවර’ නොවේය යන්න ඔප්පු කිරීමේ අවසාන සාක්ෂිය, දානියෙල් සහ යේසුස් ක්‍රිස්තුස් කලින් කී ආකාරයට, පො.යු. 70දී රෝම හමුදා විසින් එය පාළු කිරීම මගින් තහවුරු වුණා. (දානියෙල් 9:26; ලූක් 19:41-44) යෙරුසලම කලින් භුක්ති විඳි යෙහෝවා දෙවිගේ විශේෂ අනුග්‍රහය ලබාගැනීම සඳහා, භූමික යෙරුසලම පසු කාලයක නැවත පිහිටුවනු ලැබීමක් ගැන බයිබල් ලේඛකයන්වත් යේසුස්වත් පුරෝකථනය කළේ නැහැ.—ගලාති 4:25; හෙබ්‍රෙව් 13:14.
කල්පවතින සමාදානයේ අරුණලු
23. අප තවමත් යෙරුසලම සම්බන්ධයෙන් උනන්දුවක් දැක්විය යුත්තේ මන්ද?
23 භූමික යෙරුසලමේ මුල් ඉතිහාසය පුනරීක්ෂණය කිරීමේදී, සාලමොන් රජුගේ සාමකාමී රජ සමයේදී ඊට දී තිබූ නාමය වන “දෙවැදෑරුම් සමාදානයේ උරුමය [හෝ පදනම]” යන්නෙහි අර්ථයට එකඟව එය නොපැවතුණා කියා කිසිවෙකුට ප්‍රතික්ෂේප කරන්න බැරි කාරණයක්. නමුත් එහි කතා කරන්නේ, පාරාදීසයක් බවට හැරුණු පොළොවක ජීවත් වෙන්න යන, දෙවිට ප්‍රේම කරන්නන් ඉක්මනින්ම භුක්ති විඳීමට නියමිත, සමාදානයේ සහ සමෘද්ධියේ අරුණලු සම්බන්ධවයි.—ලූක් 23:43.
24. සාලමොන් පාලනය කරද්දී පැවති තත්වයන්ගෙන්, අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
24 හැත්තෑදෙවන ගීතිකාව, සාලමොන්ගේ රජ සමයේදී පැවති තත්වය පිළිබිඹු කරනවා. නමුත්, එම අලංකාරවත් ගීතිකාව මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස්ගේ ස්වර්ගීය පාලනය යටතේදී, මනුෂ්‍යවර්ගයා සඳහා වන ආශීර්වාදවල අනාවැකියක් වෙනවා. ඔහු ගැන ගීතිකාකාරයා මෙසේ ගැයුවා: “[ඔහුගේ] දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය. . . . [ඔහු] මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. [ඔහු] දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. [ඔහු] ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ [ඔහුගේ] ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය. පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශෂ්‍ය වන්නේය.”—ගීතාවලිය 72:7, 8, 12-14, 16.
25. යෙරුසලම ගැන තව තවත් ඉගෙනගැනීමට අප උනන්දු විය යුත්තේ මන්ද?
25 යෙරුසලමේ හෝ පොළොවේ ඕනෑම තැනක සිටින දෙවිට ප්‍රේම කරන්නන්ට මෙම වචන මොනතරම් සහනයක් සහ බලාපොරොත්තුවක් ගෙනෙනවාද! දෙවිගේ මෙසියානු රාජ්‍යය යටතේ ලෝක ව්‍යාප්ත සමාදානය භුක්තිවිඳින්නන් අතරේ සිටින්න ඔබට හැකියි. යෙරුසලමේ අතීතය පිළිබඳ දැනුම, මනුෂ්‍යවර්ගයා පිළිබඳ දෙවිගේ අරමුණ තේරුම්ගැනීමට අපට උපකාර කරනවා. යුදෙව්වන් බබිලෝනීය වහල්භාවයෙන් යළි පැමිණියාට පසු, හත්වන සහ අටවන සියවස්වල සිදු වූ සිදුවීම්වලට මීළඟ ලිපි අවධානය යොමු කරන්න යනවා. මෙය මහ රජු වන යෙහෝවා දෙවිට පිළිගත හැකි නමස්කාරයේ යෙදෙන්න කැමති සියලුදෙනාට සහනයක් ගෙනෙනවා.
[පාදසටහන]
a “මෙසියස්” (හෙබ්‍රෙව් වචනයකින් ඈඳාගත්තක්) සහ “ක්‍රිස්තුස්” (ග්‍රීක් භාෂාවෙන්) යන පදවි දෙකේම අර්ථය, “ආලේප ලත් තැනැත්තා” යන්නයි.
ඔබට මතකද?
◻ යෙරුසලම ‘යෙහෝවාගේ සිංහාසනය’ පිහිටි ස්ථානය බවට පත් වුණේ කෙසේද?
◻ සැබෑ නමස්කාරය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සාලමොන් සිදු කළේ කිනම් කැපීපෙනෙන කාර්යභාරයක්ද?
◻ යෙරුසලම යෙහෝවාගේ නමස්කාරයේ කේන්ද්‍රස්ථානය වීමෙන් නැවතුණ බව අප දන්නේ කෙසේද?
◻ යෙරුසලම ගැන තව තවත් ඉගෙනගැනීමට අප උනන්දු වන්නේ මන්ද?
[10වන පිටුවේ පින්තූරය]
දාවිත්ගේ නුවර කඳුවැටියේ දකුණට වෙන්න පිහිටියත්, සාලමොන් නුවරේ සීමා උතුරු දෙසට විහිදුවා, එහි දේවමාළිගාව ඉදි කළා
[හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.