ළමුන් ආරක්ෂා කිරීමට වූ වෑයම්
“ළමුන් සඳහා වූ ලෝක සම්මේලනයට අප රැස්වී සිටින්නේ ඒකාබද්ධ බැඳීමක් භාරගැනීමටත් හදිසි සර්වලෝක ඉල්ලීමක් කිරීමටත්ය—එනම් සෑම ළමයෙකුටම වඩා හොඳ ආනාගතයක් දීමය.”—1990, එක්සත් ජාතීන්ගේ සම්මේලනය.
ලොව වටා සිටින ළමුන්ගේ අසරණ තත්ත්වය ගැන සාකච්ඡා පැවැත්වීම සඳහා, 70කටත් වඩා වැඩි රටවල් සංඛ්‍යාවකින් ජනාධිපතිවරු සහ අගමැතිවරු නිව් යෝර්ක් නගරයේ, 1990 සැප්තැම්බර් මස 29වන දින එක්රැස් වූහ.
එම සම්මේලනය මගින්, ළමුන්ගේ ඛේදජනක දුක්වේදනා වෙතට ජාත්‍යන්තර අවධානය යොමු කෙරිණ, මෙය වනාහි සඟවා තබා තිබෙන සමස්ත ලෝක ඛේදවාචකයකි. එක්සත් ජනපදයේ නියෝජිත පීටර් ටීලි මෙම කරුණ මතු කළේය: “සෑම දිනකම තිත් බස්සන් 40,000ක් මියගියා නම් උද්ඝෝෂණයක් මතු වනු ඇත. එහෙත් ළමුන් 40,000ක් මියයනවා, එය සැලකිල්ලට ගනු ලබන්නේවත් නැති තරම්ය.”
එක්රැස් වූ නායකයෝ සියලු දෙනාම—වහාම—යමක් කළ යුතු බවට එකඟ වූහ. “ළමුන්ගේ අයිතිවාසිකම්වලට, ඔවුන් බේරී ජීවත්වීමටත් ඔවුන්ගේ ආරක්ෂාව සහ සංවර්ධනය සඳහාත් ඉහළ ප්‍රමුඛත්වයක් දීමට විධිමත් බැඳීමක්” ඔවුහු ඇති කළහ. ඔවුන් ඇති කළ විශේෂිත යෝජනා සමහරක් මොනවාද?
මිලියන 50කටත් අධික ළමා ජීවිත පරදුවෙහි
මූලික අරමුණ වූයේ 1990 ගණන්වල මිය යා හැකි ළමුන් මිලියන 50ක් බේරාගැනීමය. මතු සඳහන්වන සෞඛ්‍ය ක්‍රම ක්‍රියාවට නැංවීම මගින් මෙම ළමා ජීවිත බොහොමයක් බේරාගත හැකිය.
• සංවර්ධනය වෙමින් පවතින රටවල සිටින මව්වරුන් සියලු දෙනාම තම ළදරුවන්ට මාස හතරක් සිට මාස හයක් දක්වා මව්කිරි දීමට උනන්දු කරනු ලැබුවා නම්, වාර්ෂිකව ළමුන් මිලියන එකක් බේරාගත හැකි වනු ඇත.
• මුඛයෙන් ආපසු ජලය ලබා දීමේ ප්‍රතිකාර ක්‍රමය (ORT) පුළුල් වශයෙන් භාවිතා කිරීම පාචනය නිසා සිදුවන මරණ අනුපාතය අඩකින් අඩු කළ හැකිය, මෙම රෝගය සෑම වසරකම ළමුන් මිලියන හතරක් මරුමුවට පත්කරයි.a
• පුළුල්ව ව්‍යාප්තවුණු එන්නත් කිරීම මගින්ද සහ ලාභ ප්‍රතිජීවක ඖෂධ භාවිතය මගින්ද සරම්ප, ගලපටලය සහ නියූමෝනියාව බඳු රෝගවලින් සිදුවන මරණ මිලියන ගණනක් වැළැක්විය හැකි වේ.
එවන් ආකාරයේ සෞඛ්‍ය වැඩසටහන කළ හැකි එකක්ද? ඇතැම්විට දශකයේ අවසානය වන විට, ඒ සඳහා වූ වියදම වර්ෂයකට ඩොලර් බිලියන 2.5ක් දක්වා ළං විය හැකිය. සමස්ත ලෝක මට්ටමකින් බලන කල මෙම වියදම ඉතා අල්ප ප්‍රමාණයක් වනු ඇත. දුම්වැටි දැන්වීම් සඳහා පමණක්, අමෙරිකානු දුම්කොළ සමාගම් මගින් සෑම වසරකම ඊට සමාන ඩොලර් ප්‍රමාණයක් වියදම් කෙරේ. සෑම දිනකම ලෝකයේ රටවල් මගින් ඊට සමාන ඩොලර් ප්‍රමාණයක් යුද හමුදා වියදම් සඳහා නිර්ලෝභී ලෙස වියදම් කෙරේ. මරණයේ අවදානමට ලක් වූ ළමුන්ගේ සෞඛ්‍යය සඳහා එම අරමුදල් යෙදවීම වඩාත් සුදුසු නොවන්නේද? ළමා අයිතිවාසිකම් සම්බන්ධ එක්සත් ජනපදයේ ප්‍රකාශය ඍජු ලෙස ප්‍රකාශ කරන්නේ “මිනිස්වර්ගයා ගැති වී සිටින්නේ තමාට දරුවෙකු උදෙසා දිය හැකි උපරිම දේ දීමට” යනුවෙනි.
“සෑම ළමයෙකුටම වඩා යහපත් අනාගතයක්” දීමට, අකල් මරණයකින් ඔවුන්ව බේරාගැනීමට වඩා වැඩි දේ ඇතුළත්වන බව සැබෑවකි. ළමාවියේ මන්දපෝෂණය වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සභාපතිනිය, සැන්ඩ්‍රා හෆ්මන්, ටයිම් සඟරාවේ පැහැදිලි කරන්නේ, “ORT ප්‍රතිකාරයෙන් පාචන රෝගය වළක්වන්නේ නැහැ, එය එම රෝගය හේතුවෙන් ඇතිවන මරණයෙන් ළමුන්ව බේරාගන්නවා පමණි.” තවදුරටත් ඈ මෙසේ පවසයි: “දැන් අපට කිරීමට අවශ්‍යව තිබෙන්නේ, හුදෙක් මරණය පමණක් නොව නමුත් එම රෝගය හටගැනීම වැළැක්වීමේ ක්‍රමය මත අවධානය යොමු කිරීමටයි.”
ළමුන් මිලියන සංඛ්‍යාවකගේ ජීවිත වැඩි දියුණු කිරීමට—එමෙන්ම බේරාගැනීමට—අභියෝගාත්මක ඉලක්ක සහිත වැඩසටහන් බොහොමයක් දියත් කොට තිබේ. (පිටු 6 කොටුව බලන්න.) ඉන් කිසිවක් ඉටු කිරීම පහසු කාර්යයක් නොවනු ඇත.
ඇවිදින දුරකින් ලබාගත හැකි පිරිසිදු ජලය
ෆිලීෂියා ඕනූ ඇගේ පවුලට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා සෑම දිනකම පැය පහක් ගත කළාය. ඇය නිවසට ගෙනගිය ජලය බොහෝ විට දූෂිත ජලය විය. (එවන් ජලය මගින් ගිනියා පණු ආසාදන වසංගතයක් වාර්ෂිකව ගෙනෙනු ලබන අතර පාචන රෝගය ඇති වීමට දායක වෙයි.) එහෙත් 1984දී, නැගෙනහිර නයිජීරියාවේ ඌග්වූලංවූ නමැති ඇගේ ගම්මානයේ, ළිඳක් හාරනු ලැබූ අතර අත් පොම්පයක් එයට සවි කරනු ලැබීය.
දැන් පිරිසිදු ජලය ලබාගැනීමට ඇයට ඇවිදින්නට තිබෙන්නේ මීටර් සියගණනක් විතර පමණි. ඇගේ දරුවන් වඩාත් සෞඛ්‍ය සම්පන්නව සිටින අතර, ඇගේ ජීවිතය වඩාත් පහසු එකක් බවට හැරී තිබේ. එක්දහස් නවසිය අසූ ගණන්වල ෆිලීෂියා වැනි බිලියන එකකටත් වඩා වැඩි පිරිසකට පිරිසිදු ජලය ලබාගැනීමට හැකියාව ලැබුණි. එනමුත් සාමාන්‍ය බටහිර වැසිකිලියකින් කිසිම තැකීමක් නැතිව සෝදාහරිනු ලබන ජල ප්‍රමාණයට වඩා අඩු ජල ප්‍රමාණයක් සහිත බාල්දි, බොහෝ වෙහෙස වී රැගෙන යෑම සඳහා මිලියන සංඛ්‍යාත ස්ත්‍රීහු සහ ළමෝ තවමත් සෑම දිනකම පැය ගණනාවක් ගත කරති.
අධ්‍යාපනය සම්බන්ධ යහපත් සහ අයහපත් තත්ත්වයන්
මාක්සිමිනෝ වූ කලි කොලොම්බියාවේ පිටිසරබඳ ප්‍රදේශයක ජීවත්වන 11ස් හැවිරිදි දක්ෂ පිරිමි ළමයෙකි. පියාට ඔවුන්ගේ බෝග බලාගැනීමට උපකාර කිරීම සඳහා දිනකට පැය ගණනාවක් ගත කිරීමට අමතරව, ඔහු පාසැලේදීද දක්ෂකමක් දක්වයි. ඔහු යන්නේ එස්කුවෙලා න්‍යූඑවා, නැතහොත් නව පාසැලකටය, මෙම පාසැල්වලට පැමිණීමට දින කිහිපයක් මඟහරින ළමුන්ට අතපසු වූ දේ නැවත ඉගෙන ගැනීම සඳහා නම්‍යසුලු වැඩසටහනක් තිබේ—මෙලෙස පාසැල අතපසුවීම බොහෝ දුරට අස්වැන්න නෙළන සමයේ සිදුවේ. මාක්සිමිනෝගේ පාසැලේ ගුරුවරු ඉතා ස්වල්ප දෙනෙක් සිටිත්. පාඩම් පොත් ලබාගැනීමට දුෂ්කර වේ. නොවැටහුණ දේ තේරුම් ගැනීමට එකිනෙකාට උපකාර කිරීමට ළමුන්ට උනන්දු කරනු ලැබේ, ඇරත් පාසැල මෙහෙයවීමට සම්බන්ධවන වැඩකටයුතුවලින් වැඩිහරියක් කෙරෙන්නේ ළමුන් විසින්මය. දිළිඳු ග්‍රාමීය ජනාවාසවල අවශ්‍යතාවලට සරිලන පරිදි විශේෂයෙන් සකස් කරනු ලැබූ—මෙම අලුත් පිළිවෙළ වෙනත් රටවල් බොහොමයක අත්හදා බලනු ලැබේ.
කොලොම්බියාව සිට සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි, විශාල ආසියාතික නගරයක, තවත් 11-හැවිරිදි දක්ෂ දැරියක් වාසය කරයි, ඇගේ නම මෙලින්ඩාය. නගරයේ විශාල කුණු කසළ ගොඩවල් එකකින් ලෝහ සහ ප්ලාස්ටික් කැබලි එකතු කරගැනීම සඳහා දිනකට පැය 12ක් ගත කිරීමට ඈ මෑතකදී පාසැල් හැර ගියාය. “අපට හැමදාම කන්න පුළුවන්වන පරිදි යමක් සැපයීමට මගේ තාත්තාට උදව් කරන්න මම කැමතියි,” යනුවෙන් මෙලින්ඩා පවසයි. “මම ඔහුට උපකාර නොකළා නම්, අපට කිසිසේත් ආහාර ගැනීමට නොහැකි වේවි.” සඵල දවසක පවා, ඇය නිවසට ගෙන එන්නේ රුපියල් 17.50ක් පමණ ආදායමක් පමණි.
ළමා සෞඛ්‍ය සේවක සේවිකාවෝ
ඉන්දියානු නගරයක් වන බොම්බායෙහි අවට ප්‍රදේශයේ මුල්වේනි යනුවෙන් හඳුන්වනු ලබන මුඩුක්කු ප්‍රදේශයක් තිබේ, මෙම ප්‍රදේශයට සීමා වූ රෝග බොහෝ කලක සිට පැවත ඇත. දැන්, නීටු සහ ආසීස් වැනි කඩිසර සෞඛ්‍ය සේවිකාවෝ නිසා තත්ත්වය වඩා හොඳ අතකට හැරෙමින් පවතී. බාල දරුවන්ට එන්නත්දී තිබේද නැතහොත් ඔවුන් පාචන රෝගය, හොරි හෝ රක්තහීනතාවෙන් පෙළෙනවාද කියා පරීක්ෂා කිරීම සඳහා ඔවුහු පවුල් බැහැදැකීමට යති. නීටු සහ ආසීස්ට වයස අවුරුදු 11ක් පමණි. වයසින් වැඩි ළමුන්ට අවුරුදු පහෙන් පහළ ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කිරීමට පවරනු ලබන වැඩසටහනක වැඩ කිරීමට ඔවුහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. නීටු සහ ආසීස්ගේ උත්සාහයන් නිසා—එමෙන්ම ඔවුන් මෙන් ළමුන් බොහොමයකගේ උත්සාහයන් නිසා—මුල්වේනිහි සිටින බාල අය සියලු දෙනාම පාහේ එන්නත් ලබා සිටී, බොහෝ දෙමව්පියන් මුඛයෙන් ආපසු ජලය ලබාදීමේ ප්‍රතිකාර ක්‍රමය දැන සිටින අතර, සාමාන්‍ය සනීපාරක්ෂණ දියුණු වී තිබේ.
ලොව වටා, වඩා සාමාන්‍ය වූ රෝගවලට එරෙහිව බාල දරුවන් එන්නත් කිරීමට විශාල පියවරවල් ගනු ලැබේ. (8වන පිටුවේ වගුව බලන්න.) බංග්ලාදේශයේ, සිය ළදරු ජනගහනයෙන් සියයට 70කට දැන් ප්‍රතිශක්තිකරණය ලබාදී තිබෙන අතර, චීනයේ සියයට 95කටත් වැඩි සංඛ්‍යාවකට ප්‍රතිශක්තිකරණය ලබාදී තිබේ. සංවර්ධනය වෙමින් පවතින සෑම රටකටම සියයට 90 යන මට්ටම දක්වා පැමිණිය හැකි නම්, එහි ප්‍රතිඵලයක් වශයෙන් සාමුහික ප්‍රතිශක්තියක් ඇති වන බව ප්‍රවීණයෝ විශ්වාස කරත්. විශාල බහුතරයකට ප්‍රතිශක්තිකරණය ලබාදී තිබෙන විට, එම රෝගය පතුරුවනු ලැබීම වඩා දුෂ්කර වේ.
දිළිඳුභාවය, යුද්ධය සහ ඒඩ්ස්
කෙසේවෙතත්, කනගාටුදායක යථාර්ථය වනුයේ සෞඛ්‍යාරක්ෂණය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් දියුණුවක් දක්නට තිබෙන අතරතුරේදී, මුල් බැසගත් වෙනත් ගැටලු තවමත් පවතී. පාලනය කිරීමට වඩාත්ම දුෂ්කර ඒවා අතර තුනක් වනුයේ, දිළිඳුභාවය, යුද්ධ සහ ඒඩ්ස්ය.
මෑත වසර තුළ ලෝකයේ සිටින දිළිඳු අයවලුන් වඩාත් දිළිඳු තත්ත්වයකට පත් වී ඇත. අප්‍රිකාව සහ ලතින් අමෙරිකාව වැනි දිළිඳු ප්‍රදේශවල මූර්ත ආදායම පසුගිය දශකය තුළ සියයට 10කින් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇත. පවුලේ ආදායමෙන් සියයට 75ක් ආහාර සඳහා වියදම් කරනු ලබන, මෙම දේශයන්හි වෙසෙන දෙමව්පියන්ට, තමන්ගේ දරුවන්ට සමබර ආහාර වේලක් දීමට කොහෙත්ම නොහැකි වේ.
‘ළමුන්ට එළවළු සහ කෙසෙල්ගෙඩි දෙන්න,’ යනුවෙන් ග්‍රේස්ට ඇගේ ප්‍රාදේශීය සෞඛ්‍ය සායනයේදී කියනු ලැබීය. එනමුත්, නැගෙනහිර අප්‍රිකාවේ වෙසෙන, දරුවන් දස දෙනෙකුගේ මව වූ ග්‍රේස්ට ආහාර ගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැත, තවද පවුලට අයත් අක්කර කාලක ඉඩමේ මෙම ආහාර බෝග වගා කිරීම සඳහා ප්‍රමාණවත් ජලයද නොමැත. ඉරිඟු සහ බෝංචි පමණකින් ජීවත්වීම සහ ඉඳ හිට නිරාහාරව සිටීම හැර ඔවුන්ට කළ හැකි වෙන කිසිවක් නොමැත. පවතින ප්‍රවණතා මෙලෙස දිගටම පවතී නම්, ග්‍රේස්ගේ පවුලටත් ඊට සමාන පවුල් මිලියන ගණනකටත් තිබෙන බලාපොරොත්තුව දියුණු විය නොහැකිය.
දිළිඳු වුවත්, ග්‍රේස්ගේ දරුවන් සිටින්නේ, නිරිත දිග ආසියාවේ අවුරුදු අටක් වයසැති කිම් සෙංට වඩා හොඳ තත්ත්වයකය, කිම්ගේ පියා භ්‍රාතෘඝාතන (තමාගේම සහෝදරයන් මරණ) සිවිල් යුද්ධයක ඝාතනය කරනු ලැබූ අතර ඔහුගේ මව ආහාර හිඟකම නිසා මියගියාය. මන්දපෝෂණය නිසා මියයන්නට ගොස් බේරුණ කිම් සෙං, අවසානයේදී සරණාගත කඳවුරක ආරක්ෂාව ලබාගත්තේය. බොහෝ දුෂ්කර තත්ත්වයන් මාධ්‍යයේ සරණාගත කඳවුරුවල ජීවත්වන ළමුන් මිලියන පහෙන් බහුතරයක්, ඊට සමාන දුෂ්කරතාවලට මුහුණදී ඇත.
මෙම ශතවර්ෂයේ ආරම්භයේදී යුද්ධයට බිලිවූයේ පොදු ජනයාගෙන් සියයට 5ක ප්‍රමාණයක් පමණි. දැන් එම සංඛ්‍යාව සියයට 80ක් දක්වා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, මෙම යුද්ධවලට ගොදුරුවූවන්ගේ බහුතරයක් ස්ත්‍රීහු හෝ ළමෝ වෙත්. මතුපිටින් තුවාල නොලැබ බේරෙන අය පවා, චිත්ත වේගීව පීඩා විඳිති. “මගේ අම්මා මැරුණ ආකාරය මට තවමත් අමතක කරන්න බැහැ,” යනුවෙන් දකුණු-මධ්‍යම අප්‍රිකාවෙන් එක් සරණාගත දැරියක් පවසයි. “ඒ අය මගේ අම්මාව අල්ලගෙන ඈට නපුරු දේවල් කළා. පස්සේ ඇයව ගැටගහලා ඇයට පිහියකින් ඇන්නා. . . . සමහරවිට මම සිහිනයෙන් ඒක දකිනවා.”
රටක් රටක් පාසා දරුණු සටන් මතු වෙනවාත් සමඟම, අසරණ ළමුන් දිගටම යුද්ධවල දුෂ්කර තත්ත්වයන්ට මුහුණදීම නොවැළැක්විය හැකි යමක් මෙන් පෙනේ. තවදුරටත්, සටන්වල ඍජු ලෙස සම්බන්ධ නොවන ළමුන්ට පවා ජාත්‍යන්තර නොසන්සුන් තත්ත්වය බලපෑම් ඇති කරයි. වඩා හොඳ අධ්‍යාපනය, සෞඛ්‍යාරක්ෂණය සහ සෞඛ්‍ය සාත්තුව සැපයීමට වියදම් කළ හැකි විශාල මුදල් ප්‍රමාණයක් හමුදාවන් සඳහා භාවිතා කෙරේ. ලෝකයේ කාර්මික රටවල් මගින් යුද්ධය සඳහා වියදම් කරනු ලබන මුදල් ප්‍රමාණය ලෝකයේ වෙසෙන ජනයාගේ වඩාත් දිළිඳු භාගයේ වාර්ෂික ආදායමේ එකතුවට වඩා වැඩි වේ. ලෝකයේ වඩාත්ම දිළිඳු රටවල් 46 පවා, සෞඛ්‍යය සහ අධ්‍යාපනය යන දෙකටම වියදම් කරන මුදල් ප්‍රමාණයම යුද්ධ යන්ත්‍රෝපකරණ සඳහා වියදම් කරත්.
දිළිඳුභාවය සහ යුද්ධය හැරුණු කල, ලෝකයේ ළමුන්ට පහර දෙන තවත් මාරකයෙක් සිටි. එක්දහස් නවසිය අසූ ගණන්වල සරම්ප, ගලපටලය සහ පාචනය යන රෝගවලට එරෙහිව සටනේ පැහැදිලි දියුණුවක් අත්කරගැනීමත් සමඟම, අලුත් සෞඛ්‍යමය නපුරු සිහිනයක් මතුවිය: එනම් ඒඩ්ස්ය. වර්ෂ 2000 වන විට, ළමුන් මිලියන දහයක් ඉන් ආසාදිත වනු ඇති බව ජගත් සෞඛ්‍ය සංවිධානය ගණනය කරයි. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දෙවන උපන්දිනයට කිසිකලක නොපැමිණෙනු ඇති අතර, මොවුන්ගෙන් සුළු පිරිසකටවත් වසර පහකට වඩා වැඩියෙන් ජීවත්වීමට ඇති ඉඩකඩ ඉතා අල්පය. “විගසින් යමක් කරනු ලැබුවේ නැත්නම්, ළමුන් බේරී ජීවත්වීම සම්බන්ධයෙන් පසුගිය වසර 10 තුළ අප විසින් අත්කර තිබෙන හැම දියුණුවක්ම ඒඩ්ස් මගින් සහමුලින්ම විනාශ විය හැකිය,” යනුවෙන් හායිටි ජාතික ළමා චිකිත්සක වෛද්‍ය රෙජිනල් බූලොස් ශෝකයෙන් ප්‍රකාශ කරයි.
මෙම කෙටි සමාලෝචනයෙන් පැහැදිලි වෙන්නේ, ප්‍රශංසාකටයුතු ජයග්‍රහණයන් තිබුණ නුමුදු, ‘සෑම ළමයෙකුටම වඩා හොඳ අනාගතයක් දීමේ’ ඉලක්කය අත්කරගැනීම තවමත් භාරදූරවූ යෝධ කටයුත්තක්ව තිබෙන බවය. යම් දිනක එම සිහිනය යථාර්ථයක් වනු ඇති බවට යම් බලාපොරොත්තුවක් තිබෙනවාද? g94 5/8
[පාදසටහන්වල]
a පාචන රෝගයේ මාරාන්තික විජලන බලපෑම්වලට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය ද්‍රව, ලවණ සහ ග්ලූකෝස් ප්‍රමාණය ORT මගින් ළමුන්ට සපයනු ලැබේ. මෙම ශිල්පක්‍රමය මගින් දැනටමත් වාර්ෂිකව ජීවිත මිලියන එකක් බේරාගනු ලබන බව ජගත් සෞඛ්‍ය සංවිධානය මගින් 1990දී වාර්තා කෙරිණ. වැඩි විස්තර සඳහා, 1985 සැප්තැම්බර් 22 එවේක්! කලාපයේ පිටු 23-5 බලන්න.
[6 පිටුවෙහි ඇති කොටුව]
අනූගණන් සඳහා වූ ඉලක්ක—ළමුන් බේරාගැනීමේ අභියෝගය
ලෝක ළමුන් සඳහා මුදුන්පත් සම්මේලනයට පැමිණි ජාතීහු ස්ථිරසාර කැපවීම් කිහිපයක් කළෝය. වසර 2000 වන විට ඔවුන් අත්කර ගැනීමට බලාපොරොත්තු වන්නේ මෙයයි.
එන්නත් කිරීම. දැනට තිබෙන එන්නත් කිරීමේ වැඩසටහන් මගින් වාර්ෂිකව ළමුන් මිලියන තුනක් ගළවනු ලැබේ. එහෙත් තවත් ළමෝ මිළියන දෙකක් මියයමින් සිටිත්. ලෝකයේ සිටින ළමුන්ගෙන් සියයට 90ක් හෝ ඊටත් වඩා වැඩි ගණනකට වඩාත්ම සාමාන්‍ය වූ රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබාදීම මගින්, මෙම මරණවල බහුතරයක් වැළැක්විය හැකිය.
අධ්‍යාපනය. එක්දහස් නවසිය අසූ ගණන්වලදී, ලෝකයේ වඩාත්ම දිළිඳු රටවල් බොහොමයක පාසැලට ඇතුළත් කරනු ලැබූ ළමුන්ගේ සංඛ්‍යාව ඇත්ත වශයෙන්ම පහත බැසීය. ඉලක්කය වී තිබෙන්නේ එම නැඹුරුවාව විරුද්ධ පැත්තට හැරවීමටත් දශකයේ අවසානය වන විට, සෑම ළමයෙකුටම පාසැලට යෑමට අවස්ථාවක් ලබා දීමට වගබලා ගැනීමටත්ය.
මන්දපෝෂණය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල් නිලධාරීන් විශ්වාස කරන්නේ “නියම ප්‍රතිපත්ති සතුවීම නිසා, . . . ලෝකයේ සිටින ළමුන් සියලු දෙනාටම ආහාර සැපයීමට හා වඩාත්ම දරුණු ආකාරයේ මන්දපෝෂණය පවා ජයගැනීමේ තත්ත්වයකට ලෝකය දැන් පත් වී ඇති බවය.” වත්මන් දශකය තුළදී මන්දපෝෂිත ළමුන්ගේ සංඛ්‍යාව අඩකින් අඩු කිරීමට යෝජනා ඉදිරිපත් කරනු ලැබීය. එබඳු ක්‍රියාවකින් සාගින්නේ වේදනාවෙන් ළමුන් මිලියන 100ක් බේරා ගනු ඇත.
පිරිසිදු ජලය සහ සනීපාරක්ෂණය. වර්ෂ 1987දී බෲන්ට්ලාන්ට් වාර්තාවේ මෙලෙස පැහැදිලි කරන ලදි: “ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල, රෝහල් ඇඳවල ගණනට වඩා, අහල පහළ තිබෙන ජල නල ප්‍රමාණය, ප්‍රජාවේ සෞඛ්‍ය තත්ත්වයට වඩාත් යෝග්‍ය ලක්ෂණයක් වේ.” දැනට බිලියන එකකටත් අධික ජන පිරිසක් පිරිසිදු ජලය ලබාගත නොහැකි තත්ත්වයක සිටියි, එමෙන්ම දෙගුණයකටත් වඩා වැඩි පිරිසකට අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සනීපාරක්ෂක ක්‍රම නොමැත. ඉලක්කය වනුයේ සර්වලෝක පරිමාණයකින් පානය කිරීමට ආරක්ෂා සහිත ජලය සහ මිනිස් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සනීපාරක්ෂක ක්‍රම සැපයීමය.
ආරක්ෂාව. පසුගිය දශකය අතුළත, යුද්ධ නිසා ළමුන් මිලියන පහකටත් අධික ප්‍රමාණයක් මරණයට හෝ තුවාලවලට ගොදුරුවී තිබේ. තවත් ළමුන් මිලියන පහකට නිවාස අහිමි වී තිබේ. වීදි ළමුන් සහ ළමා වැඩකරුවන් ඇතුළු මෙම සරණාගතයන්ට ආරක්ෂාව සඳහා හදිසි අවශ්‍යතාවක් තිබේ. දැන් සියයකට අධික රටවල් සංඛ්‍යාවක් මගින් පිළිගෙන තිබෙන, ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මතය මගින් කිරීමට යත්න දරන්නේ මෙම ළමුන් සියලු දෙනාවම අපරාධ සහ ආත්මාර්ථකාමී අභිලාෂ හේතුවෙන් අනිසි ප්‍රයෝජනයට ගනු ලැබීමෙන් ආරක්ෂා කිරීමටය.
[7 පිටුවෙහි වගුව]
(For fully formatted text, see publication)
ළමා මරණවලට ප්‍රධාන හේතු
(අවුරුදු පහෙන් පහළ ළමුන්)
සෑම වසරකම මරණ මිලියන ගණන් (1990 තක්සේරු):
මිලියන 0.51 කක්කල් කැස්ස
මිලියන 0.79 අලුත උපන් ළදරු පිටගැස්ම
මිලියන 1.0 මැලේරියාව
මිලියන 1.52 සරම්ප
මිලියන 2.2 ශ්වසන පද්ධතියේ වෙනත් ආසාදන
මිලියන 4.0 පාචන රෝගය
මිලියන 4.2 වෙනත් හේතූන්
මූලාශ්‍රය: ජ.සෞ.ස සහ යුනිසෙෆ්
[8 පිටුවෙහි වගුව]
(For fully formatted text, see publication)
සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ළමුන්ට එන්නත් කිරීමෙහි දියුණුව 1980 -1988
එන්නත ලැබූ මාස 12න් පහළ ළමුන්ගේ ප්‍රතිශතය
වර්ෂ
1980 1988
DPT3* 24% 66%
පෝලියෝව 20% 66%
ක්ෂයරෝගය 29% 72%
සරම්ප 15% 59%
* DPT3: ඩිප්තීරියාව, කක්කල් කැස්ස සහ ගලපටලය සඳහා මිශ්‍ර එන්නත.
මූලාශ්‍රය: ජ.සෞ.ස. සහ යුනිසෙෆ් (1980 සංඛ්‍යාවලට චීනය ඇතුළත් නොවේ)
[4 පිටුවෙහි හිමිකම් වගන්තිය]
Photo: Godo-Foto