ටිටිකාකා විලේ පාවෙන දූපත්
පේරූහි පිබිදෙව්! වාර්තාකරු විසිනි
පාවෙන දූපත්? ඔව්, දකුණු අමෙරිකාවේ මෙම අරුමපුදුම විලේ දූපත් පාවෙනවා. ඒ වගේම ඒවායේ ජනයා ජීවත් වෙනවා.
බටහිරෙන් පේරූවලටද නැගෙනහිරෙන් බොලිවියාවලටද මායිම්ව පිහිටි ටිටිකාකා විල, විශාල නැව්වලට යාත්‍රා කළ හැකි ලෝකයේ ඉහළම විලයි. මුහුදු මට්ටමේ සිට අඩි 12,500කට ඉහළින් පතිත වී ඇති එය වයඹ-සිට-ගිනිකොන දෙසට සැතපුම් 120 පැතිර පවතින අතර එහි පළලම තැන සැතපුම් 50කට වඩා වැඩිය.
ටිටිකාකා විලේ බොහෝ දූපත්වලින් සමහරක් වියළි ටොටොරාවලින්, එනම් බට වැනි පැපිරස්වලින් සෑදුණු පාවෙන පැදුරුය. විලේ ඇතැම් නොගැඹුරු ප්‍රදේශවල මේවා වැඩෙනවා. විලේ පතුලෙන් බට වැවී, ජලයේ අඩි බොහොමයක් පසු කරන අතර ජලයේ මතුපිටෙන් අඩි කීපයක් ඉහළට වැවෙනවා. දූපතක් සෑදීමට, විලේ පතුලෙන් මුල් ඇද තිබෙන බට, පිදුරු වැනි වේදිකාවක් හෝ බිමක් සෑදීම සඳහා එකිනෙක මතට වියමනක් ලෙස නවා, ජලයේ මතුපිට පතිත කරනවා. බට ගස් මඩවලින් එකිනෙකට තදකර, කපන ලද අමතර බට කෑලිවලින් යළි ශක්තිමත් කර තිබෙනවා. පාවෙන බට දූපත්වල, බටවලින් තැනූ පැල්වල ජනයා වෙසෙනවා.
ජනයා මෙම දූපත්වල බොහෝ කලක සිට ජීවත් වී ඇතැයි ද එන්සයික්ලොපිඩියා බ්‍රිටැනිකා සඳහන් කරයි. එය මෙසේද නිරීක්ෂණය කරයි: “විලේ වාසීහු තම ප්‍රසිද්ධ වූ බැල්සා හෙවත් බෝට්ටු සාදන්නේ—වියළි බට එකට තද කර බැඳ සෑදීමෙනි, ඒවා පැරණි ඊජිප්තු ස්මාරක මත අඳින ලද අඩසඳේ හැඩයට සෑදූ පැපිරස් බෝට්ටුවලට සමාන වේ.”
මෑතකදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ටිටිකාකා විලේ දූපත්වල ජනයාට දේශනා කිරීම සඳහා බෝට්ටුවක් මිලේට ගත්තා. බාහිර එන්ජිමක් සවිකිරීමෙන් මෙම බෝට්ටුවට බලය දී තිබෙන අතර මිනිසුන් 16දෙනෙකු ගෙන යෑමේ හැකියාවක් ඊට තිබෙනවා. සාක්ෂිකරුවන් මෙම බට දූපත්වල වාසස්ථානයෙන් වාසස්ථානයට ගමන් ගන්නා විට, පතුල තබා තිබෙන තැනේ මතුපිට යන්තම් සෙලවීමක් තිබෙන බව ඔවුන් පවසනවා. සන්තෝෂවත් ලෙස, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ පණිවිඩය මෙම පාවෙන හුදකලා දූපත්වල වෙසෙන ජනයා වෙත පවා දැන් ගෙන යමින් තිබෙනවා! g94 6/22