බයිබලයේ දෘෂ්ටිකෝණය
ප්‍රේරිත පාවුල් ස්ත්රීන්ට විරුද්ධවීද?
ප්‍රේරිත “පාවුල්ගේ ඉගැන්වීම් ක්‍රිස්තියානි . . . සභාව තුළ ස්ත්‍රී-විරෝධී අගතියේ වැඩි කොටසක් සඳහා පදනම වශයෙන් යොදාගෙන තිබේ.” එසේ පැවසුවේ නවසීලන්තයේ ඔක්ලන්ඩ්හි සසිලි රෂ්ටන් නීතිඥවරිය විසින් 1993 මුල්භාගයේදී සයිප්‍රසයේ පොදු රාජ්‍ය මණ්ඩල නීති සම්මේලනයකදී ඉදිරිපත් කළ ලියවිල්ලකය. තවදුරටත් ඈ මෙසේ පැවසුවාය, “තිමෝතිට ඔහු ලියූ සංදේශයේ, ඔහුගේ සිතුවිලි හෙළි වෙයි: ‘උගන්වන්ටවත් පුරුෂයා කෙරෙහි බලය පවත්වන්ටවත් ස්ත්‍රියෙකුට ඉඩ නාරිමි, ඈ නිශ්ශබ්දව සිටීවා.’ ”—1 තිමෝති 2:12.
ස්ත්රීන්ගේ කාර්යභාරය හෝ තැන සම්බන්ධයෙන් පාවුල් ලියූ විට, ඔහු පැවසූ දෙය හුදෙක් ඔහුගේ පෞද්ගලික මතයවීද නැතහොත් ඔහු දිව්‍යමය ආනුභාවය ලැබ සිටියාද? ඒවා සියල්ල සලකාබලද්දී, පාවුල්ගේ සංදේශ හෝ ලිපි සැබවින්ම ස්ත්‍රී විරෝධි අගතියක් පිළිබිඹු කරයි? තිමෝතිට ලියූ පාවුල්ගේ ඉහතසඳහන් වචන අදාළ වන්නේ කුමන පාඨ සම්බන්ධයේදීද?
පාවුල්ගේ සාක්ෂි පත්‍ර
ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධලියවිලිවල පොත් 27න් 14ක් පාවුල් විසින් ලියනු ලැබූ බවට දක්වා තිබේ. ඔහු මත ශුද්ධාත්මය ක්‍රියා කරන බව බොහෝ භාෂාවලින් කථා කිරීමට ඔහුට තිබූ ආශ්චර්යවත් හැකියාවෙන් ඇඟවීය. ඊට අමතරව, ඔහු ආශ්චර්යවත් දර්ශන දුටු බව සාක්ෂි දුන්නේය. (1 කොරින්ති 14:18; 2 කොරින්ති 12:1-5) ඔහුගේ ආත්ම-පරිත්‍යාගී, ආත්ම-පූර්ණ හා ප්‍රේමනීය ආදර්ශය හේතුවෙන් ඔහු සහ ඔහුගේ ක්‍රිස්තියානි සමකාලිකයන් අතර උණුසුම් සහෝදර ස්නේහයෙන් යුතු කිට්ටු බැඳීමක් හටගැන්විය. (ක්‍රියා 20:37, 38) ස්ත්‍රීන් ගැන ඔහු පැවසූ දෙය ඇතුළු, ඔහුගේ ලියවිලි ‘ඉගැන්වීමට . . . ප්‍රයෝජනවත්ව තිබෙන දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ලේ,’ කොටසකි.—2 තිමෝති 3:16.
පාවුල්ගේ ලිපිවල ස්ත්‍රීහු
ස්ත්‍රීන් සඳහා පාවුල්ගේ පිළිගැනීම හා සැලකිල්ල ගැන ඔහුගේ ලියවිලි පුරාම ඕනෑ තරම් සාක්ෂි තිබේ. සභාවේ හා පවුලේ ඔවුන්ට ඇති විවිධ කාර්යභාරයන් සම්බන්ධයෙන් ඔහු යළි යළිත් යොමු දක්වයි. ඔහුගේ එක් ලිපියක, ඔහු කිරිමවක විදහාපාන සිත්ගන්නා ගුණාංගවලට ක්‍රිස්තියානි එඬේරෙකුගේ ගුණාංග සමාන කළේය.—1 තෙසලෝනික 2:7.
ප්‍රේරිතවරයාගේ ලිපිවල නම්වලින් සඳහන් වූ සිය ක්‍රිස්තියානි සහෝදරියන්ගෙන් වැඩි දෙනෙකු ඔහුගේ උණුසුම් ප්‍රශංසාවට පාත්රවේ. රෝම සභාවේ සාමාජිකයන්ට ඔහු කළ සුබපැතුම්වල “ස්වාමීන්වහන්සේ තුළ බොහෝ වෙහෙස දැරුවාවූ,” ස්ත්‍රීන් ලෙස විශේෂයෙන් ඇමතූ ඇතැම් අයවලුන් ඇතුළත් විය. (රෝම 16:12) එවෝදියා හා සින්තිකීට යොමු දක්වමින්, පිලිප්පිවල සහෝදරයන්ට ඔහු මෙසේ දිරිගැන්වීය: “මේ ස්ත්රීන්ට උපකාරකරන ලෙස . . . ඉල්ලමි. ඔව්හු . . . මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය.” (පිලිප්පි 4:3) තිමෝතිට ඔහු ලියූ ලිපියේදී, පාවුල් එම යෞවන පුරුෂයාගේ ආච්චි වූ ලොයිස්ගේ සහ ඔහුගේ මව, එවුනීකිගේ ආදර්ශවත් ඇදහිල්ල පිළිගත්තේය.—2 තිමෝති 1:5.
අනෙක් අතට, පාවුල්ගේ ක්‍රිස්තියානි සහෝදරියන්ට ඔහු ගැන හැඟුණේ කෙසේදැයි යන්න ගැන යම් ඇඟවීමක් තිබේද? විවාහක යුවළක් වූ අකිලා හා ප්‍රිස්කා සමඟ කිට්ටු පෞද්ගලික ඇසුරක් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු සාක්ෂි දැරීය, එනම් අකිලා පමණක් නොව නමුත් ඔහුගේ භාර්යාව වූ ප්‍රිස්කාද, “[ඔහුගේ] ජීවිතය උදෙසා තමුන්ගේ බෙල්ල දුන්[හ].”—රෝම 16:3, 4.
ස්ත්‍රී විරෝධී අගතිය?
“මහලු කෙනෙකුට සැර නොකර පියෙකුට මෙන්ද, යෞවනයන්ට සහෝදරයන්ට මෙන්ද, වැඩිමහල් ස්ත්රීන්ට මවුවරුන්ට මෙන්ද, යෞවනියන්ට සියලු ආකාර පිරිසිදුකමින් සහෝදරියන්ට මෙන්ද අවවාදකරපන්න.” (1 තිමෝති 5:1, 2) තිමෝතිට ලියූ පාවුල්ගේ මෙම වචන ස්ත්රීවර්ගයාට හිතකර ගෞරවයක් පිළිබිඹු නොකරන්නේද? ක්‍රිස්තියානි සභාවේ පුරුෂයන්ට හා ස්ත්රීන්ට පාවුල් එක සමාන ගෞරවයක් නියම කළේය. ඔහු මෙසේ ලීවේය, “නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.”—ගලාති 3:28.
විවාහයේදී දෙවියන්වහන්සේ-නියම කළ කාර්යභාරයන් සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලීවේය: “භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය.” (එපීස 5:22, 23; සසඳන්න 1 කොරින්ති 11:3.) එසේය, ස්වාමිපුරුෂයාට හා භාර්යාවට අයිති කාර්යභාරයන් වෙනස්ය, නමුත් එක කලත්‍රයෙක් පහත් යයි මින් අදහස් නොකරයි. එකිනෙකාගේ කාර්යභාරයන් එකිනෙකාව පූර්ණ කරන අතර, එකිනෙකාගේ කාර්යභාර ඉටු කිරීම අභියෝගයක් වේ, එය ඉටුකළොත් පවුලේ-ශුභසිද්ධියේ වැඩි දියුණුවට හේතු වෙයි. තවදුරටත්, ස්වාමිපුරුෂයාගේ ආධිපත්‍යය පැවැත්වීම පීඩාකාරී හෝ ප්‍රේමනීය නොවන එකක් වීමට අදහස් නොකරන ලදි. පාවුල් තවදුරටත් මෙසේ පැවසීය: “පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය,” එනම් ඔවුන් වෙනුවෙන් විශාල පරිත්‍යාග සිදු කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය. (එපීස 5:28, 29) දරුවන්ට පියා සහ මව යන දෙදෙනාටම කීකරුවීමට තිබුණි.—එපීස 6:1, 3.
විවාහයේ කුලුපග සබඳතා සම්බන්ධයෙන් පාවුල්ගේ වචනද සලකාබැලිය යුතුය. අපක්ෂපාතීව පාවුල් මෙසේ ලීවේය: “පුරුෂයා භාර්යාවට යුතු දේ කරදේවා. එසේම භාර්යාවත් පුරුෂයාට කරදේවා. භාර්යාවගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඈට නොව පුරුෂයාටය. එසේම පුරුෂයාගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඔහුට නොව භාර්යාවටය.”—1 කොරින්ති 7:3, 4.
“ස්ත්‍රිය . . . නිශ්ශබ්දව සිටීවා”
ආරම්භක ඡේදයේ සඳහන්වූ, 1 තිමෝති 2:12හි පාවුල්ගේ වචන සම්බන්ධයෙන් සලකා බලන විට, ස්ත්රීන්ගේ “නිශ්ශබ්දව” සිටීමට පක්ෂව ඔහුගේ කථාව පැන නැඟුණේ ස්ත්‍රී විරෝධී අගතියකින්ද? නැත! “නිශ්ශබ්දව” සිටීමේ අවශ්‍යතාව සම්බන්ධව තිබුණේ සභාවේදී ඉගැන්වීමට හා ආත්මික ආධිපත්‍යය පැවැත්වීමටය, මෙය කලින්-සඳහන්වූ දිව්‍යමය ලෙස නියම කර තිබූ මිනිසා හා ස්ත්‍රිය අතර සබඳතාව සැලකිල්ලට ගැනීමේ ප්‍රතිඑලයකි.a
ස්ත්රීන්ට දිව්‍යමය සත්‍යයේ ගුරුවරුන් වීමට නොහැකි යයි මින් අදහස් නොවේ. වයසින් වැඩි ස්ත්රීන්ට පාවුල් දිරිගැන්නුවේ තරුණ ස්ත්රීන්ට “යහපත් දේ උගන්වන්නාවූ” තැනැත්තියන් වීමටයි. තිමෝතිට ඉගැන්වූ එවුනීකි හා ලොයිස්ගේ ආදර්ශය අනුගමනය කරන ක්‍රිස්තියානි මව්වරු තම දරුවන්ව දේව ප්‍රමිතිවලට එකඟව පුහුණු කරති. (තීතස් 2:3-5; 2 තිමෝති 1:5) අදදින, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවල, ක්‍රිස්තියානි ස්ත්‍රීන් සිය දහස් ගණනක් ශුභාරංචිය ප්‍රසිද්ධියේ දේශනා කරමින් හා පුරුෂයන් හා ස්ත්‍රීන් ගෝලයන් කරමින් එවෝදියා හා සින්තිකීගේ ආදර්ශයන් අනුගමනය කරමින් ආත්මික වශයෙන් තෘප්තියක් ලබති.—ගීතාවලිය 68:11; මතෙව් 28:20; පිලිප්පි 4:2, 3.
මෙබැවින්, ඔබේ තක්සේරුව කුමක්ද? පාවුල්ගේ ලියවිලිවල සියල්ල සලකාබලද්දී, ස්ත්‍රී විරෝධී අගතිය පිළිබඳ චෝදනාව යුක්තිසහගත වේද? g94 7/8
[පාදසටහන්වල]
a පළමු තිමෝති 2:11හි (නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්), “සම්පූර්ණ යටත්කම” යන ප්‍රකාශය සම්බන්ධයෙන්, බයිබල් විශාරද ඩබ්. ඊ. වයින් මෙසේ සඳහන් කරයි: “නියෝගය පනවා තිබෙන්නේ මනස සහ හෘදය සාක්ෂිය පාවාදීම වෙත හෝ පෞද්ගලික විනිශ්චයේ වගකීම අත්හැරීම වෙත නොව; ‘සියලු යටත්කම’ යන යෙදුම ඊළඟ පදයෙහි උදාහරණයක් වශයෙන් පෙන්වා ඇති පරිදි, අධිකාරය පැහැර ගැනීමට විරුද්ධව කරන අනතුරු ඇඟවීමකි.”