“ස්වාමීන් වහන්සේ තුළ වෙහෙසා වැඩ කරන ස්ත්‍රීන්”
“ස්වාමීන් වහන්සේ තුළ වෙහෙසා වැඩ කරන ස්ත්‍රීන් වන තෘපේනාට ද තෘපෝසාට ද ආචාරය පිරිනමන්න.—රෝම 16:21 NW.
යේසුස් වහන්සේගේ භූමික සේවය යුදෙව් ස්ත්රීන්ට සැබෑ ආශීර්වාදයක් විය. උන් වහන්සේ පටන් ගත් වැඩය සියලු ජාතීන්ට අයත් ස්ත්රීන්ට සහනය, බලාපොරොත්තුව, මෙන් ම නව ගෞරවනීය භාවයක් ගෙනෙන්නට විය. උන් වහන්සේ “දෙවියන්වහන්සේගේ වචනය අවලංගු කළ” යුදෙව් ධර්මයේ සම්ප්‍රදායන්ට අවධානයක් නොදැක් වූ සේක. (මතෙව් 15:6) එම සම්ප්රදායන්ගෙන් බොහොමයක් ස්ත්රීන්ට දෙවියන් වහන්සේ ප්රදානය කළ මූලික අයිතිවාසිකම් හෙලා දිටී ය.
ස්ත්රින් කෙරෙහි යේසුස් වහන්සේගේ ආකල්පය
2 ස්ත්‍රීන් කෙරෙහි යේසුස් වහන්සේගේ ආකල්පය හා යුදෙව් ආගමික නායකයින්ගේ ආකල්පය අතර කොතරම් කැපී පෙනෙන වෙනසක් තිබුණි ද! එන්සයික්ලෝපීඩියා ජුඩෙයිකා උපුටා දක්වනවා නම්, යුදෙව් ආගමික නායකයින් ස්ත්‍රීන් “ගිජු, කථා හොරෙන් අසාගෙන සිටින, අලස, මෙන් ම ඊර්ෂ්‍යා සහගත” අය ලෙස සැලකුවාහ. ස්ත්‍රියක් සමඟ කථා බහ කිරීම අප්‍රසන්න දෙයක් වූ අතර, “පඬිවරයෙකුට ස්ත්‍රියක් සමඟ විදියේ කථා කිරීම නින්දිත දෙයක් විය.” (ජොහිකිම් ජෙරාමයස් විසින් ලියන ලද, ජෙරුසලෙම් ඉන් ද ටයිම් ඔෆ් ජීසස්; යොහන් 4:27 සමඟ සසඳන්න.) ස්ත්‍රීන් කෙරෙහි යුදෙව් ආගමික නායකයන්ගේ සාවඥා සහගත ආකල්පය ගැන තවත් කිව හැකි ය. එහෙත් ස්ත්‍රීන් කෙරෙහි යේසුස් වහන්සේගේ එළැඹීම ඒ කාලයෙහි සැබවින් ම යම් පරිවර්තනයක් සිදු වූ බව පෙන්වීමට ඉහත සඳහන් කළ ප්‍රමාණය සෑහේ.
3 පුරුෂයන්ට ස්ත්‍රීන් සමඟ උණුසුම් මෙන් ම පිරිසිදු සම්බන්ධතාවයක් තබා ගත හැකි ආකාරය පිළිබඳ ව යේසුස් වහන්සේ පරිපූර්ණ ආදර්ශය සපයන සේක. උන් වහන්සේ ඔවුන් සමඟ කථාබස් කළා පමණක් නොව, උන් වහන්සේ ඔවුන්ට ගැඹුරු ආත්මික සත්‍යයන් ද ඉගැන් වූ සේක. ඇත්ත වශයෙන්, උන් වහන්සේගේ මෙසියස් ධූරය විවෘත ව ප්‍රකාශ කළ පළමුවැන්නා ස්ත්‍රියකි, තවද ඇය සමාරියේ ස්ත්‍රියක් වූවා ය. (යොහන් 4:7, 25, 26) මීට අමතරව, යුදෙව් ආගමික නායකයින් මෙන් නොව, ස්ත්‍රියකට ඇයගේ ආත්මික අවබෝධය වැඩි කර ගැනීම පිණිස ඇයගේ හැලි වළං තාවකාලික ව අත්හැරීමට අයිතියක් නොතිබූ බව යේසුස් වහන්සේ කල්පනා නොකළ බව මර්තා හා මරියා සම්බන්ධ සිදුවීම, පැහැදිලි ව පෙන්වයි. ඒ අවස්ථාවෙහි, ආත්මික දෑ පළමු තැනට තබමින්, මරියා “යහපත් කොටස තෝරාගත්තාය.” (ලූක් 10:38-42) එහෙත් ඉන් මාස කිහිපයකට පසුව, ඔවුන්ගේ සහෝදරයා මිය යාමෙන් පසු, ස්වාමීන් වහන්සේ හමු වීමට වැඩි උනන්දුවක් පෙන්වූයේ මරියා නොව, මර්තා ය. මළවුන්ගේ නැවත නැගිටීමේ බලාපොරොත්තුව පිළිබඳ ව යේසුස් වහන්සේ හා මාර්තා අතර ඇති වූ එම දුරවබෝධී ආත්මික සාකච්ඡාව කියවන විට, අද පවා අප තුළ කොතරම් උද්වේගයක් ඇතිවේද! (යොහන් 11:20-27) එය මර්තාට කොතරම් වරප්‍රසාදයක් වීද!
යේසුස් වහන්සේට සේවය කළ ස්ත්‍රීන්
4 යේසුස් වහන්සේ දේශය හරහා සංචාරය කරත් ම ස්ත්රීන්ගේ උපස්ථානය ද පිළිගත් සේක. සිය ශුභාරංචි වාර්තාවෙහි, මාර්ක් “ගලීලයේ සිටිය දී උන් වහන්සේ (යේසුස් වහන්සේ) පිරිවරා ගොස් උපස්ථාන කළ . . . බොහෝ කාන්තාවෝත් සිටියාහ” යයි සඳහන් කරයි. (මාර්ක් 15:40, 41) මෙම ස්ත්‍රීන් කවරහු ද, එමෙන් ම ඔවුන් යේසුස් වහන්සේට සේවය කළේ කෙසේ ද? අප මේ සියල්ලන්ගේ ම නම් දන්නේ නැත, එහෙත් ලූක් මොවුන්ගෙන් කිහිපදෙනෙකුගේ නම් සඳහන් කරමින්, ඔවුන් යේසුස් වහන්සේට උපස්ථාන කළ ආකාරය විස්තර කරයි.
5 ලූක් මෙසේ ලියයි: “ඉන්පසු උන්වහන්සේ දේශනා කරමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශකරමින්, නුවරවලත් ගම්වලත් සංචාරණයකළ සේක; උන්වහන්සේ සමග ගෝලයෝ දොළොස්දෙනාද, දුෂ්ටාත්මවලින් හා දුර්වලකම්වලින් සුවවුණාවූ සමහර ස්ත්‍රියෝද තමා කෙරෙන් යකුන් සත්දෙනෙක් දුරුව ගියාවූ මග්දලේනා නම් මරියාද, හෙරොද්ගේ ගබඩාකාරවූ කුසාගේ භාර්යාවවූ යොවන්නාද සූසානාද තමුන්ගේ වස්තුවෙන් උන්වහන්සේට උපස්ථානකළ වෙනත් බොහෝ ස්ත්‍රියෝද සිටියෝය.” (ලූක් 8:1-3) මෙම ස්ත්‍රීන් උන් වහන්සේ සමඟ යමින්, තමන්ගේත් තම ප්රේරිතයන්ගේත් ද්‍රව්‍යමය අවශ්‍යතාවයන්ට උපස්ථාන කිරීමෙහි සිය වස්තු පාවිච්චි කිරීමට ඉඩ දීමට යේසුස් වහන්සේ කැමති වූ සේක.
6 යේසුස් වහන්සේ මරණයට පත් කරනු ලැබූ විට, “යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ කැටුව ආවාවූ බොහෝ ස්ත්‍රීවරුත් එහි දුරින් බලා සිටියෝය. ඔවුන් අතරෙහි මග්දලායේ මරියාද යාකොබ් සහ යෝසෙස්ගේ මවුවූ මරියාද . . . සිටියෝය.” (මතෙව් 27:55, 56) මෙසේ, ඇදහිලිවන්ත ස්ත්‍රීන් බොහෝ දෙනෙක් සිය මරණ අවස්ථවෙහි යේසුස් වහන්සේ අසල සිටියාහ. උන් වහන්සේගේ නැවත නැගිටීම පිළිබඳ ව පළමු සාක්ෂිකාරයින් වූයේ ද ස්ත්‍රීන් බව කල්පනාවට ගත යුතු කරුණකි. (මතෙව් 28:1-10) යුදෙව් ධර්මය තුළ ස්ත්‍රීන් නිත්‍යානුකූල සාක්ෂිකරුවන් වීමට නුසුදුසු තත්ත්වයක සිටින්නේ යයි සලකනු ලැබූ බැවින්, මෙය ම යුදෙව් සම්ප්‍රදායන්ට පහරක් විය. මෙය මනසේ ඇති ව, යොහන් 20:11-18 කියවා, නැවත නැගිටුවනු ලැබූ ආචාරීන් වහන්ස වූ ස්වාමීන් වහන්සේ ඇයට දර්ශනය වී, ඇයගේ නාමයෙන් ඇය අමතා, උන් වහන්සේ සැබවින් ම සප්රාණික ව සිටින බව සිය ගෝලයින්ට දැන්වීමට ඇය ව සිය සාක්ෂිකාරියක් ලෙස පාවිච්චි කළ විට මග්දලායේ මරියාට දැනෙන්ට ඇත්තා වූ බලවත් චිත්ත වේගී හැඟීම් සිහියේ මවා ගැනීමට වෑයම් කරන්න!
පෙන්තකොස්තයෙන් පසු ජීවත් වූ ඇදහිලිවන්ත ක්‍රිස්තියානි ස්ත්‍රීන්
7 යේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහනයෙන් පසු, භක්තිමත් ස්ත්‍රීන් ඇදහිලිවන්ත ප්‍රේරිතයන් සමඟ යෙරුසලමේ උඩුමහල් කාමරයක සිටියෝ ය. (ක්‍රියා 1:12-14) පෙන්තකොස්තයේ දී ශුද්ධාත්මය වගුරුවන ලද අය අතර ස්ත්‍රීන් ද සිටි බව පැහැදිලි ය. ඒ මක්නිසා ද? හේතුව, සිදු වූ දෙය පේතෘස් විස්තර කළ විට, හෙතෙම නිශ්චිතාකාරයෙන් “දූවරු” මෙන් ම “දාසීන්” නොහොත් “වහලියන්” ගැන සඳහන් කරන, යෝවෙල් 2:28-30 උපුටා දැක්වූ නිසා ය. (ක්‍රියා 2:1, 4, 14-18) මෙසේ ආත්මයෙන් උත්පාදනය වූ, ආලේපලත් ක්‍රිස්තියානි ස්ත්‍රීන් එහි මූලාරම්භයේ සිට ම ක්‍රිස්තියානි සභාවේ කොටසක් වූහ.
8 ස්ත්‍රීන් ක්‍රිස්තියානි ධර්මය පතුරුවාලීමෙහි වැදගත්, එහෙත් ආධිපත්යක නොවූ කාර්ය භාරයක් ඉෂ්ට කළාහ. මාර්ක්ගේ මව වූ හා බර්ණබස්ගේ නැන්දණිය වූ, මරියා, පෙනෙන හැටියට තමාගේ විශාල වූ නිවස යෙරුසලමේ සභාවේ භාවිතය පිණිස විවෘත කළා ය. (ක්‍රියා 12:12) තව ද ඇය මෙය කිරීමට කැමති වූයේ, ක්‍රිස්තියානීන්ට එරෙහි ව අලුතෙන් පීඩා පටන් ගත් අවස්ථාවක දී ය. (ක්‍රියා 12:1-5) ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙක් වූ පිලිප්ගේ දියණියන් සතරදෙනා ක්‍රිස්තියානි අනාගත වාක්‍ය කියන්නියන් වීමට වරප්‍රසාද ලැබුවාහ.—ක්‍රියා 21:9; 1 කොරින්ති 12:4, 10.
ස්ත්රින් කෙරෙහි පාවුල්ගේ ආකල්පය
9 ඇතැම් අවස්ථාවල ප්‍රේරිත පාවුල් ස්ත්රීවර්ගයා පිළිකුල් කරන්නෙක්, ඔවුන්ට වෛර කරන්නෙක් මෙන් ම, ඔවුන් විශ්වාස නොකරන්නෙක් ලෙසට චෝදනා ලබයි. ක්‍රිස්තියානි සභාව තුළ තමන්ට යුතු ස්ථානයේ ස්ත්‍රීන් සිටිය යුතු යයි පාවුල් බලකර කියා සිටි බව සැබෑවකි. දේවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට අනුව ඔවුන් සභා රැස්වීම්වල ඉගැන්වීමේ කටයුතු නොකළ යුතු විය. (1 කොරින්ති 14:33-35) ක්‍රිස්තියානි පුරුෂයෙක් නොසිටි නිසා, නැතහොත් ඇය ශුද්ධාත්මයේ පෙළඹීම යටතේ ඇය අනාගත වාක්‍ය පැවසූ නිසා ක්‍රිස්තියානි ස්ත්‍රියක් රැස්වීමක කථා කළා නම්, ඇය හිස් වැස්මක් පැළඳිය යුතු විය. මෙම වැස්ම “බලයට යටත්වීමේ ලකුණක්,” මූලිකත්වය පිළිබඳ වූ දෙවියන් වහන්සේගේ විධිවිධානය ස්ත්‍රිය පිළිගන්නා බවට දෘශ්‍ය තහවුරුවක් විය.—1 කොරින්ති 11:3-6, 10.
10 ක්‍රිස්තියානි රැස්වීම්වල දී ‘සියල්ල ඔබිනාලෙසින් කරනු ලබන’ පිණිස මෙම දිව්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති මුල් ක්‍රිස්තියානීන්ට සිහිගැන්වීම අවශ්‍ය බව පෙනෙන හැටියට පාවුල් දිටී ය. (1 කොරින්ති 14:40) එහෙත් ඇතැමෙක් තරයේ ප්‍රකාශ කරන ලෙසින්, පාවුල් ස්ත්රීන්ට එරෙහි ව සිටි බව අදහස් කරයි ද? නැත, එය එසේ නොකරයි. රෝමවරුන්ට වූ සිය ලිපියේ අවසාන පරිච්ඡේදයේ ක්‍රිස්තියානි ස්ත්‍රීන් නව දෙනෙකුට උණුසුම් ශුභපැතුම් එව්වේ පාවුල් නොවේ ද? පේබි, ප්‍රිස්කා (ප්‍රිසිලා), තෘපේනා, හා තෘපෝසා යනාදීන්ට, එයිනුත් අන්තීමට සඳහන් කරන ලද දෙදෙනා “ස්වාමීන්වහන්සේ තුළ [වෙහෙසා NW] වැඩ කරන [ස්ත්‍රීන් NW]” ලෙස සඳහන් කරමින්, ඔහු ගැඹුරු අගැයීමක් පෙන්වුම් නොකළේ ද? (රෝම 16:1-4, 6, 12, 13, 15) තව ද දේවානුභාවයෙන් මෙසේ ලීවේ පාවුල් ය. එනම්: “නුඹලාගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්මකරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳගත්තෝය. නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.” (ගලාති 3:27, 28) පාවුල් පැහැදිලි ව ම, පීඩා කාලයේ දී ආදර්ශමත් ආගන්තුක සත්කාරය පෙන්නුවා වූ, ලිදියා ද ඇතුලු ව, සිය ක්‍රිස්තියානි සහෝදරියන්ට ප්‍රේම කොට ඔවුන් අගය කළේ ය.—ක්‍රියා 16:12-15, 40; පිලිප්පි 4:2, 3.
අද දවසේ වෙහෙසා වැඩ කරන ස්ත්‍රීන්
11 අද දවසේ ක්‍රිස්තියානි සභාවන් තුළ, “ස්වාමීන්වහන්සේ තුළ [වෙහෙසා NW] වැඩ කරන” ක්‍රිස්තියානි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් සිටිති. ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේ මෙම අන්තිම කාලයේ පාවිච්චි කරන්නා වූ සාක්ෂිකාරයින්ගේ සේනාවේ වැඩි කොටසක් නිර්මිත කරමින්, “[ශුභ] ආරංචිය පතුරුවන ස්ත්‍රීහු මහත් සේනාවක්” බව සංඛ්‍යාලේඛන පෙන්වයි. (ගීතාවලිය 68:11) වෙහෙසා වැඩ කරන මෙම ක්‍රිස්තියානි ස්ත්‍රීන්, භාර්යාවන්, මව්වරුන්, ගෘහනියන්, පවුලේ දිවි පෙවෙත ලබා දෙන්නන්, මෙන් ම ක්‍රිස්තියානි සේවිකාවන් ලෙසට වූ සිය කාර්ය භාරය සපුරාලීමට වෑයම් කරත් ම තමන්ට මාහැඟි නාමයක් උපයා ගෙන ඇත.
12 මෙම මාහැඟි සහෝදරියන්ගෙන් සමහරෙකුට නොඇදහිලිකාර පුරුෂයෝ සිටත්. ඔවුන්ට මෙම තත්ත්වය සමඟ දවසකට පැය 24ක් ක්‍රියා කරන්නට සිදුවේ. ඇතැමෙක් යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාත සේවකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලන අතරතුරේ දී යහපත් භාර්යාවන් වීමට වසර ගණනාවකට වෑයම් කර ඇත. මෙය එතරම් පහසු වී නොමැතිමුත්, සිය පුරුෂයන් “වචනය නැතුව” තමන්ගේ මාහැඟි ක්‍රිස්තියානි හැසිරීම කරණකොටගෙන දිනා ගත හැකි යයි නිතර බලාපොරොත්තු තබමින්, ඉවසා කටයුතු කර ඇත. එමෙන් ම මෙවන් පුරුෂයෙක් අනුකූලතාවය දක්වන විට මුළු පවුල ම කොතරම් ප්‍රීතියක් හවුලේ භුක්ති විඳිනු ඇත්ද! (1 පේතෘස් 3:1, 2) මේ අතර, මෙම ඇදහිලිවන්ත සහෝදරියන්ට සභාවේ වෙනත් සාමාජිකයන්ගේ සහෝදර ස්නේහය මෙන් ම යාච්ඤා සැබෑ ලෙස අවශ්‍ය වේ. ඔවුන් පෙන්වීමට වෑයම් කරන “මෘදුවූ නිශ්චලවූ ගතිය,” “දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව” තිබෙන්නා සේ, ඔවුන්ගේ ස්ථිර අඛණ්ඩතාවය අපගේ ඇස් හමුවේ අනර්ඝ ව ඇත්තේ ය.—1 පේතෘස් 3:3-6.
13 පුරෝගාමීන් ලෙස සේවය කරන්නා වූ සහෝදරියන් “ස්වාමීන්වහන්සේ තුළ [වෙහෙසා NW] වැඩ කරන” බව වඩාත් ස්ථිර ලෙස කිව හැකි ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු හට, සිය දේශනා සේවයට අමතර ව සැලකිල්ල දැක්වීමට නිවසක්, පුරුෂයෙක්, මෙන් ම දරුවන් සිටිති. සමහරෙක් සිය ද්‍රව්‍යමය අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා අර්ධකාලීන රැකියාවන් කරති. මේ සියල්ල සඳහා ම මනා සංවිධානයක්, අධිෂ්ඨානයක්, නිරන්තර උත්සාහයක් මෙන් ම වෙහෙසා වැඩ කිරීමක් අවශ්‍ය වේ. සාක්ෂිකාර සේවය සඳහා පුරෝගාමීන් ලෙස කැප වීමට සිය තත්ත්වයන් ඉඩ නොදෙන්නා වූ අයගේ ප්‍රේමය මෙන් ම අනුග්‍රහය මෙම ක්‍රිස්තියානි ස්ත්රීන්ට දැනෙන්නට සැලැස්වීම සිදු විය යුත්තකි.
14 ඇතැම් ක්‍රිස්තියානි ස්ත්‍රීන් පුරෝගාමී සේවයෙහි අපූරු අත්නොහරින ස්ථිර භාවයක් පෙන්වා ඇත. කැනඩාවේ, ග්‍රේස් ලවුන්ස්බරිට වර්ෂ 1914 පළමු වරට පුරෝගාමි සේවයේ රස බැලීමට අවස්ථාව ලැබුණි. අසනීප නිසා ඇයට වර්ෂ 1918 දී පුරෝගාමී ලැයිස්තුවෙන් ඉවත් වීමට සිදු විය, එහෙත් වර්ෂ 1924 දී ඇය යළිත් පූර්ණ කාලීන සේවයට ඇතුල් වූවා ය. මෙය ලියන විට, ඇය වයස අවුරුදු 104ක් වුවද, ඇය තවමත් පුරෝගාමී ලැයිස්තුවේ සිටින්නී ය! ගිලියඩ් හි වොච්ටවර් බයිබල් පාසැලේ මුල් පන්තිවල වර්ෂ 1940 ගණන්වල පුහුණු කරන ලද මිෂනාරි සහෝදරියන් බොහෝ දෙනෙක් තවමත් මිෂනාරි සේවයේ නැතහොත් බෘක්ලින් හි බෙතෙල් පවුලේ සාමාජිකාවන් ලෙස එසේත් නැතහොත් වොච් ටවර් සමිතියේ ශාඛාවක ඇදහිලිවන්ත ව සේවය කරමින් සිටිති. මේ ක්‍රිස්තියානි ස්ත්‍රීහු සියලු දෙනා හා, බෙතෙල් සේවයේ තමන් ව නිරත කරවන සියලු සහෝදරියන්, ආත්ම පරිත්‍යාගශීලී ස්ප්‍රීතුවක් පෙන්වන අතර මහඟු ආදර්ශයක් වෙත්. ඔවුන් අගය කරනු ලබන බව කවර අවස්ථාවක හෝ අප ඔවුන්ට අඟවමින් සිටිනවා ද?
සංචාරක අවේක්ෂකයන්ගේ භාර්යාවන්
15 චාරිකා අවේක්ෂකයන්ගේ භාර්යාවන් උණුසුම් ප්‍රශංසාව හා දිරිගැන්වීම ලැබීමට යෝග්‍ය තවත් ක්‍රිස්තියානි ස්ත්‍රීන් සමූහයකි. මෙම ප්‍රිය සහෝදරියෝ, සිය සහෝදරයන් ආත්මික ව ගොඩනගනු පිණිස සභාවෙන් සභාවට, නැතහොත් චාරිකාවෙන් චාරිකාවට සිය පුරුෂයන් ගමන් කරත් ම, ඔවුන් හා යාමට සූදානම් ව සිටිති. මොවුන්ගෙන් වැඩිතරයක් නිවාසයක පහසුව අත්හැර ඇත; ඔවුන් සෑම සතියක ම වෙනස් යහනක නිදන අතර නිතර එය සුවදායී ඇඳක් වන්නට යන්නේ නැත. එහෙත් ඔවුහු සහෝදරයන්ට පිරිනැමිය හැකි ඕනෑ ම දෙයක් පිළිගැනීමට සතුටින් සිටිති. ඔවුහු තමන්ගේ ආත්මික සහෝදරියන්ට මාහැඟි ආදර්ශයක් වෙති.
16 මෙම ක්‍රිස්තියානි ස්ත්‍රීන්, යේසුස් වහන්සේ අනුගමනය කර “උන්වහන්සේ කැටුව ගියාවූ, උන්වහන්සේට උපස්ථානකළාවූ” භක්තිමත් ස්ත්‍රීන් හා සමාන ව, මිළ කළ නොහැකි උපකාරයක් ද සිය පුරුෂයන්ට පිරිනමති. (මාර්ක් 15:41) ‘ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි බොහෝ දෑ’ කිරීමට ඇති ඔවුන්ගේ පුරුෂයන් සමඟ ඔවුන්ට තනි ව වැඩි කාලයක් ගත කිරීමට නොහැකි වේ. (1 කොරින්ති 15:58) වර්ෂ 1948 පූර්ණ කාලීන සේවය ආරම්භ කළ, ප්‍රංශයේ රෝසා සුමිගා හා සමාන ව, ඔවුන්ගෙන් සමහරෙක්, වසර 30 හෝ 40 පුරා සිය පුරුෂයන්ගේ ගමන් මළු අසුරමින් ඔවුන් සමඟ සංචාරය කර ඇත. ඔවුහු යෙහෝවඃ වහන්සේ උදෙසාත්, ඔවුන්ගේ සහෝදර සහෝදරියන් උදෙසාත් පරිත්‍යාගයන් කිරීමට කැමැත්තෙන් සිටිති. ඔවුනට අපගේ අගැයීම, ප්‍රේමය, මෙන් ම යාච්ඤා ඉදිරිපත් විය යුතු ය.
වැඩිමහල්ලන්ගේ භාර්යාවන්
17 වැඩිමහල්ලන් හා උපස්ථායක සේවකයන් ලෙස පත් කරනු ලැබිය හැකි සහෝදරයන්ගේ සුදුසුකම් එකිනෙක සඳහන් කළ අතර, ප්‍රේරිත පාවුල්: “ස්ත්‍රීවරුන් සන්සුන්වූ, කේලාම් නොකියන්නාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සියල්ලේදී විශ්වාසවූ අයව සිටින්ට ඕනෑය” යයි ලීවේ ය. (1 තිමෝති 3:11) මෙම පොදු උපදේශය සියලු ම ක්‍රිස්තියානි ස්ත්රීන්ට අදාළ වන බව සැබෑ ය. එහෙත් මෙහි පාඨ සම්බන්ධයට අනුව, එය සේවය සම්බන්ධ වගකීම්වලට පැහැදිලි ව ම පත් කරන ලද සහෝදරයන්ගේ භාර්යාවන් විසින් ආදර්ශමත් ආකාරයකට අනුගමනය කළ යුතු ය.
18 ක්‍රිස්තියානි අවේක්ෂකයන් දහස් සංඛ්‍යාවකගේ භාර්යාවන් සම්බන්ධයෙන් මෙය සැබෑ වීම සතුටට කරුණකි. ඔවුහු සිය පුරුදු හා ඇදුම් පැළඳුම් සම්බන්ධයෙන් විනීත ව, ක්‍රිස්තියානි ජීවන රටාව ගැන බැරෑරුම් ලෙස සලකන, තමන් පවසන දෙය ගැන සැලකිලිමත් ව, එසේ ම සියල්ලේ දී විශ්වාසනීය ව සිටීමට අවංක ව බලවත් උත්සාහයක් දරමින් සිටිති. සිය පුරුෂයන් තමන් හා සමඟ කල් ගෙවන වේලාව සභාවේ කාරණා වෙනුවෙන් කැප කරන බව පිළිගනිමින්, ඔවුහු පරිත්‍යාගයන් කිරීමට ද එකඟ වෙති. මෙම ඇදහිලිවන්ත ක්‍රිස්තියානි ස්ත්රීන්ට අපගේ උණුසුම් ප්‍රේමය හා දිරිගැන්වීම ලැබීම යෝග්‍ය ය. සිය භාර්යාවන් සියල්ලන්ගේ ශුභසාධනය සඳහා එවන් පරිත්‍යාගයන් කිරීමට යටහත් ව කැමැත්ත පලකරන්නේ නම්, අපගේ සභාවන් බොහොමයක සහෝදරයන් වැඩි සංඛ්‍යාවකට මෙම වරප්‍රසාද ලබා ගැනීමට තැත් කිරීමට ඇතැම් විට හැකියාව ලැබෙනු ඇත.
ඇදහිලිවන්ත “වැඩිමහල් ස්ත්‍රීන්”
19 බයිබලයේ සඳහන් ස්ත්‍රීන් පිළිබඳ අපගේ පුනරීක්ෂණය, ඇදහිල්ලේ සිටින ස්ත්‍රියක් යෙහෝවඃ වහන්සේට සේවය කිරීමෙන් වයස වළක්වන්නට නොයන බව දැකීමට අපට හැකියාව ලබා දී ඇත. මෙම සත්‍යය, සාරා, එලිසබෙත්, හා ආනා සම්බන්ධ සිදුවීම්වලින් පැහැදිලි කෙරිණ. අද දවසේ, ඇදහිල්ලේ මෙන් ම විඳදරා ගැනීමේ මාහැඟි ආදර්ශයන් වන්නා වූ වයස්ගත ක්‍රිස්තියානි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් සිටිති. මීට අමතර ව, යෞවන සහෝදරියන්ට උපකාර කිරීමෙන් ඔවුන්ට සිහි නුවණින් යුක්ත ව වැඩිමහල්ලන්ට අනුබලය ලබා දිය හැකි ය. ශුද්ධ ලියවිල්ල පවා ඔවුනට කිරීමට අනුමත කරන ලෙසින්, ඔවුන්ගේ දීර්ඝ අත්දැකීම් මත පදනම් ව, යෞවන ස්ත්‍රීන් හට ඥානවන්ත උපදෙස් ඔවුනට ලබා දිය හැකි ය. (තීතස් 2:3-5) ඇතැම් අවස්ථාවල වැඩිමහල් සහෝදරියකට ම උපදෙස් අවශ්‍ය වෙනවා විය හැකි ය. එසේ නම්, එය කරන වැඩිමහල්ලා ‘ඇය ව මවක් මෙන්’ අයැදීම යුතු දෙයයි. වැඩිමහල්ලන් “වැන්දඹුවන්ට ගෞරව” කළ යුතු අතර, අවශ්‍යතාවයක් ඇත්තේ නම්, ඔවුනට ද්‍රව්‍යමය උපකාරය සංවිධානය කළ යුතු ය. (1 තිමෝති 5:1-3, 5, 9, 10) අපගේ ප්‍රිය වැඩිමහල් සහෝදරියන්ට, ඔවුන් සඳහා උවමනාවක් මෙන් ම අගැයීමක් ඇති බව ස්ථිරව ම හැඟී යා යුතු ය.
ක්‍රිස්තුස් වහන්සේ සමඟ පාලකයන්
20 ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් “දෙවියන්වහන්සේ තරාතිරම් නොබලන” බව ශුද්ධ ලියවිල්ලේ මනාව පැහැදිලි වේ. (රෝම 2:10, 11; ගලාති 3:28) තවද මෙය රාජ්‍ය පාලනයෙහි ස්වකීය පුත්‍රයාණන් සමඟ හවුල් වන්නට යන අය යෙහෝවඃ වහන්සේ තෝරා ගැනීමට යන ආකාරය සම්බන්ධයෙන් ද සැබෑ වේ. (යොහන් 6:44) යේසුස් වහන්සේගේ මව වන මරියා, මග්දලායේ මරියා, ප්‍රිස්කිලා, තෘපේනා, තෘපෝසා, හා මුල් ක්‍රිස්තියානි සභාවේ තවත් විශාල සංඛ්‍යාවක්, ස්ත්‍රී වර්ගයාගේ හැඟීම් හා අත්දැකීම් සම්බන්ධ සිය පළපුරුදු අවබෝධයෙන් එම ආණ්ඩුව පෝෂ්‍ය කරමින්, එම රාජ්‍ය පාලනයෙහි දැන් හවුල්වෙමින් සිටීම ගැන, මහත් සමූහයේ වෙනත් බැටළුවන්ට කොතරම් කෘතඥපූර්වක විය හැකි ද! යෙහෝවඃ වහන්සේගේ පාර්ශ්වයෙන් දූරදර්ශී භාවය හා ප්‍රඥාව කොතරම් ද!—රෝම 11:33-36.
21 ප්‍රේරිත පාවුල් ප්‍රේමයෙන් හා අගැයීමෙන් යුක්ත ව ‘ශුභාරංචියෙහි මා සමඟ හවුල් සේවකයන් ව වැඩ කළ මෙම ස්ත්‍රීන්’ ගැන හෙතෙම කථා කළ විට, අද දවසේ අපට ඔහුගේ හැඟීම්වලට පංගුකාරයන් විය හැකි ය. (පිලිප්පි 4:3) ස්ත්‍රී පුරුෂ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සියලු දෙනා, ‘ශුභාරංචිය පතුරුවන ස්ත්‍රීහු මහත් සේනාවක්,’ එසේ ය, “ස්වාමීන්වහන්සේ තුළ [වෙහෙසා NW] වැඩ කරන [ස්ත්‍රීන් NW]” සමඟ හවුල් ව සේවය කිරීමට ලැබීම ප්‍රීතියක් මෙන් ම වරප්‍රසාදයක් ලෙස සලකති.—ගීතාවලිය 68:11; රෝම 16:12. w91 7/1
පුනරීක්ෂණ ප්‍රශ්න
▫ ස්ත්රීන්ට එරෙහිව යුදෙව් ආගමික නායකයන්ගේ අගතිගාමී හැඟීම්වලට තමන් හවුල් නොවූ බව යේසුස් වහන්සේ කෙසේ පෙන්වුම් කළ සේක් ද?
▫ දේව භයැති ස්ත්‍රීන් යේසුස් වහන්සේට උපස්ථාන කළේ කෙසේ ද, එමෙන් ම ඔවුන්ගෙන් සමහරක් දෙනෙකුට ලැබුණු ශ්‍රේෂ්ඨ වරප්‍රසාදය කිමෙක් ද?
▫ සභා රැස්වීම්වල ස්ත්‍රීන් සම්බන්ධ කිනම් උපදේශයක් පාවුල් ඉදිරිපත් කළේ ද?
▫ සහෝදරියන් අතර කිනම් විශේෂිත වූ අයට අපගේ ස්නේහය හා අනුග්‍රහය ලැබීම යෝග්‍ය ද, ඒ මක්නිසා ද?
▫ අද දවසේ “ස්වාමීන්වහන්සේ තුළ [වෙහෙසා NW] වැඩ කරන [ස්ත්‍රීන් NW]” සියලු දෙනා සම්බන්ධයෙන් අපට හැඟිය යුත්තේ කෙසේ ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1. යේසුස් වහන්සේගේ භූමික සේවය ස්ත්‍රීන් සඳහා ආශීර්වාදයක් වූයේ කොයි ආකාරයෙන් ද?
2. ස්ත්‍රීන් වෙත යේසුස් වහන්සේගේ එළඹීම ඒ කාලය සඳහා විප්ලවකාරී වී යයි කිව හැක්කේ මක්නිසා ද?
3. යේසුස් වහන්සේගේ සේවයේ, උන් වහන්සේ ස්ත්රීන්ට ගැඹුරු ආත්මික සත්‍යයන් ඉගැන්වීමට කැමැත්තෙන් සිටි බව පෙන්වන්නේ කිනම් සිද්ධීන් ද?
4, 5. යේසුස් වහන්සේගේ ගලීල සේවයෙහි උන් වහන්සේගේ ප්‍රේරිතයන්ට අමතර ව, උන් වහන්සේ අනුව ගමන් කළේ තවත් කවරෙක් ද, එමෙන් ම ඔවුන් උන් වහන්සේට උපස්ථාන කළේ කෙසේ ද?
6. (අ) යෙරුසලමට වූ සිය අන්තිම ගමනේ දී යේසුස් වහන්සේ කැටුව ගියේ කවරෙක් ද? (ආ) සිය මරණය දක්වා යේසුස් වහන්සේ සමඟ සිටියේ කවරෙක් ද, එමෙන් ම ඔවුන්ගෙන් සමහරෙක් විපාක ලැබුවේ කෙසේ ද? (ඇ) යුදෙව් ධර්මයේ සම්ප්‍රදායන් අනුව බලන කල, යොහන් 20:11-18 හි ඇති වාර්තාවෙහි අතිවිශේෂ වනුයේ කුමක් ද?
7, 8. (අ) පෙන්තකොස්ත දවසේ දී ශුද්ධාත්මය වගුරුවනු ලැබූ විට ස්ත්රින් එහි සිටි බව අප දන්නේ කෙසේ ද? (ආ) ක්‍රිස්තියානි ධර්මය මුලින් පතුරුවාලීමෙහි ක්‍රිස්තියානි ස්ත්රින් හවුල් වූයේ කෙසේ ද?
9. කොරින්තිවරුන්ට සිය පළමු ලිපියේ ක්‍රිස්තියානි ස්ත්‍රීන් සම්බන්ධයෙන් පාවුල් දුන් උපදෙස් කවරේ ද, තව ද ගෞරවකිරීම සඳහා ස්ත්රීන්ට ඔහු උනන්දු කළ දිව්‍යමය ප්‍රතිපත්තිය කුමක් ද?
10. සමහරෙක් ප්‍රේරිත පාවුල්ට එරෙහි ව කුමක් චෝදනා කර ඇත්ද, එහෙත් මෙම චෝදනාව බොරු බව කුමක් තහවුරු කරයි ද?
11, 12. (අ) ගීතාවලිය 68:11 අද දවසේ පදගතාර්ථයෙන් ඉෂ්ට වනුයේ කෙසේ ද? (ආ) අපගේ සහෝදරියන්ගෙන් බොහෝ දෙනෙක් තමන් කිනම් තත්ත්වයක සිටින බව අත්දකින්නෙහු ද, එමෙන් ම ඔවුන්ට අපගේ ස්නේහය හා යාච්ඤා අවශ්‍ය ව ඇත්තේ මක්නිසා ද?
13. අපගේ පුරෝගාමී සහෝදරියන් ‘ස්වාමීන්වහන්සේ තුළ වෙහෙසා වැඩ කරන්නේ’ යයි කිව හැක්කේ මක්නිසා ද, එමෙන් ම ඔවුන් තමන්ගේ ම සභාවන්හි සලකනු ලැබිය යුත්තේ කෙසේ ද?
14. (අ) නිරන්තර උත්සාහය පිළිබඳ කිනම් මාහැඟි ආදර්ශයක් සඳහන් ව ඇත්ද? (ආ) තවත් කිනම් ක්‍රිස්තියානි ස්ත්‍රීන් ප්‍රශංසාව ලැබීමට යෝග්‍ය ද, එමෙන් ම ඒ මක්නිසා ද? පළාත් බද ව යම් ආදර්ශ චරිත ඇත්තේ නම් සඳහන් කරන්න.
15, 16. අපගේ උණුසුම් ප්‍රශංසාව ලැබීමට යෝග්‍ය ව සිටින්නේ කිනම් විශේෂිත ක්‍රිස්තියානි ස්ත්‍රීන් සමූහයක් ද, එමෙන් ම ඒ මක්නිසා ද?
17, 18. (අ) යම් සේවා වගකීම් දැරීමට පත් කරන ලද සහෝදරයන්ගේ භාර්යාවන්ගෙන් අවශ්‍ය කරවන ගුණාංග කවරේ ද? (ආ) වැඩිමහල්ලන්ගේ භාර්යාවන් යෙහෝවඃ වහන්සේ හා සිය සහෝදරයන් උදෙසා කරන්නට එකඟ වන පරිත්‍යාගයන් මොනවා ද, එමෙන් ම අනෙක් භාර්යාවන් සිය පුරුෂයන්ට උපකාර කළ හැක්කේ කෙසේ ද?
19. ඇදහිලිවන්ත “වැඩිමහල් ස්ත්‍රීන්” බොහෝ දෙනෙක් සිය සභාවන්හි මහත් සේ අගය කරනු ලබන්නේ මක්නිසා ද, එමෙන් ම ඔවුන් කෙරෙහි අපගේ හැඟීම කුමක් විය යුතු ද?
20. ක්‍රිස්තියානි ස්ත්‍රීන් බොහෝ දෙනෙකු හට විවෘත ව ඇත්තේ කිනම් ශ්‍රේෂ්ඨ වරප්‍රසාදයක් ද, එමෙන් ම මේ ගැන වෙනත් බැටළුවන්ට සතුටු විය හැක්කේ මක්නිසා ද?
21. “ස්වාමීන්වහන්සේ තුළ [වෙහෙසා NW] වැඩ කරන [ස්ත්‍රීන් NW]” කෙරෙහි අද දවසේ අපගේ හැඟීම කුමක් ද?
ස්ත්‍රීන් යේසුස් වහන්සේටත් සිය ප්‍රේරිතයන්ටත් උපස්ථාන කළාහ
චාරිකා අවේක්ෂකයන්ගේ මෙන් ම වෙනත් වැඩිමහල්ලන්ගේ ආත්ම පරිත්‍යාගශීලී භාර්යාවෝ දේව සේවය සඳහා අනර්ඝ ආධාරකයක් සපයති