ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 සැප්තැම්බර් 20-25 පි.
  • සභාවේ ඉන්න ඔයාගේ සහෝදරියන්ට හයියක් වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සභාවේ ඉන්න ඔයාගේ සහෝදරියන්ට හයියක් වෙන්න
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපේ සහෝදරියන්ට සැලකිල්ල පෙන්වමු
  • සහෝදරියන්ව අගය කරමු
  • සහෝදරියන් වෙනුවෙන් කතා කරමු
  • සභාවේ හැම සහෝදරියකටම අපේ සහය ඕනේ
  • ඔයා කාන්තාවන්ට සලකන්නේ යෙහෝවා සලකන විදිහටමද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ස්වාමීන් වහන්සේ තුළ වෙහෙසා වැඩ කරන ස්ත්‍රීන්”
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සභාවේ මූලිකත්වය ගැන ඇති කරලා තියෙන සැලැස්ම තේරුම්ගමු
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිට නමස්කාර කරන ඇදහිලිවන්ත ක්‍රිස්තියානි කාන්තාවෝ අනර්ඝය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 සැප්තැම්බර් 20-25 පි.

පාඩම් ලිපිය 39

සභාවේ ඉන්න ඔයාගේ සහෝදරියන්ට හයියක් වෙන්න

“ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති.”—ගීතා. 68:11.

ගීතිකාව 137 ගුණ යහපත් සහෝදරියන්

මේ ලිපියෙන්a

පින්තූරවල අදහස: උද්‍යෝගයෙන් සේවය කරන සහෝදරියන්. 1. බයිබලය සහ පත්‍රිකා අරන් සේවයේ යන සහෝදරියක්. 2. ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන සහෝදරියක්. 3. නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන සහෝදරියක්. 4. වයසක සහෝදරියකට ටැබ් එක පාවිච්චි කරන විදිහ කියලා දෙන තරුණ සහෝදරියක්. 5. රැස්වීමේදී උත්තරයක් දෙන්න දුවට උදව් කරන සහෝදරියක්. 6. සීතල කාලගුණයක සේවයේ යන සහෝදරියන් දෙන්නෙක්.

වෙහෙස නොබලා සේවය කරන සහෝදරියන් රැස්වීම්වලට සහභාගි වෙනවා. සේවේ හවුල් වෙනවා. සභාවේ අය වෙනුවෙන් දේවල් කරනවා. තවත් අය නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කරන්නත් හවුල් වෙනවා (1 ඡේදය බලන්න)

1. සහෝදරියන් සංවිධානයේ වැඩවලට සහයෝගය දෙන්නේ කොහොමද? එයාලා මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද? (කවරයේ පින්තූරය බලන්න.)

වෙහෙස නොබලා සේවය කරන සහෝදරියන් අපේ සභාවේ ඉන්න එක අපිට මොන තරම් සතුටක්ද! එයාලා රැස්වීම්වලට සහභාගි වෙනවා. සේවයේ හවුල් වෙනවා. සභාවේ අය වෙනුවෙන් දේවල් කරනවා. නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කරන්න හවුල් වෙනවා. හැබැයි එයාලා අභියෝගවලටත් මුහුණ දෙනවා. සමහරු මහලු වයසේ ඉන්න එයාලගේ දෙමාපියන්ව බලාගන්නවා. තවත් අය පවුලෙන් එන විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවා. තවත් සමහරු තනියෙන් දරුවන් හදා වඩා ගන්න ලොකු වෙහෙසක් දරනවා.

2. අපේ සහෝදරියන්ව දිරිගන්වන්න අපි වෑයමක් දරන්න ඕනෙ ඇයි?

2 සහෝදරියන්ව දිරිගන්වන්න අපි වෑයම් කරන්න ඕනෙ ඇයි? මේ සමාජයේ වැඩිදෙනෙක් ස්ත්‍රීන්ට ගෞරවයෙන් සලකන්නේ නැහැ. අනික බයිබලේ අපිට උනන්දු කරනවා සහෝදරියන්ට සහයෝගය දෙන්න කියලා. උදාහරණෙකට පාවුල් රෝම සභාවට කිව්වා සහෝදරි ෆීබීව ආදරෙන් පිළි අරන් “ඇයට යම් අවශ්‍යතා ඇත්නම් ඒවා ඉටු කර දෙන්න” කියලා. (රෝම 16:1, 2) කලින් පරිසිවරයෙක්ව හිටපු පාවුල් අනිත් පරිසිවරුන් වගේ ස්ත්‍රීන්ව පහත් කරලා සලකන්න ඇති. හැබැයි එයා යේසුස්ගේ අනුගාමිකයෙක් වුණාට පස්සේ යේසුස්ව ආදර්ශයට අරන් ස්ත්‍රීන්ට ගෞරවයෙන්, කාරුණිකව සැලකුවා.—1 කොරි. 11:1.

3. යේසුස් ස්ත්‍රීන්ට සැලකුවේ කොහොමද? දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දීපු ස්ත්‍රීන් ගැන යේසුස්ට හැඟුණේ කොහොමද?

3 යේසුස් ස්ත්‍රීන් හැමෝටම ගෞරවයෙන් සැලකුවා. (යොහ. 4:27) ඒ කාලේ හිටපු ආගමික නායකයන් ස්ත්‍රීන්ව පහත් කළත් යේසුස් එහෙම කළේ නැහැ. එක පොතක කියනවා “යේසුස් එක වචනයකින්වත් ස්ත්‍රීන්ව පහත් කළේ නැහැ” කියලා. හැබැයි දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දීපු ස්ත්‍රීන් ගැන යේසුස්ගේ හිතේ විශේෂ ගෞරවයක්, ආදරයක් තිබුණා. යේසුස් තමන්ගේ පවුලේ අය අතරට විශ්වාසවන්ත පුරුෂයන්ව විතරක් නෙමෙයි ඒ ස්ත්‍රීන්වත් ඇතුළත් කළා.—මතෙ. 12:50.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 දෙවියන්ගේ කැමැත්තට මුල් තැන දීපු ස්ත්‍රීන්ට උදව් කරන්න යේසුස් ඕනෙම වෙලාවක සූදානමින් හිටියා. ඔහු ඒ අයව අගය කළා. එයාලා වෙනුවෙන් කතා කළා. යේසුස් වගේ සහෝදරියන්ට සැලකිල්ල පෙන්නන්න අපිට පුළුවන් කොහොමද කියලා දැන් බලමු.

අපේ සහෝදරියන්ට සැලකිල්ල පෙන්වමු

5. සභාවේ අයව කිට්ටුවෙන් ඇසුරු කරන එක සමහර සහෝදරියන්ට අභියෝගයක් වෙලා තියෙන්නේ ඇයි?

5 අපි හැමෝම සභාවේ අයව කිට්ටුවෙන් ඇසුරු කරන එක හරිම වැදගත්. හැබැයි සමහර වෙලාවට සහෝදරියන්ට ඒක අභියෝගයක් වෙන්න පුළුවන්. සහෝදරි ජෝඩ්න්b කියන දේ බලන්න. “මං තනිකඩ කෙනෙක් නිසා මට හිතෙනවා මං සභාවට වැදගත් නෑ කියලා.” ප්‍රචාරකයන් අඩු පළාතක සේවය කරන පුරෝගාමියෙක් වන ක්‍රිස්ටින් මෙහෙම කියනවා. “අලුත් සභාවකට ආවාම ඔයාට තනිකමක් දැනෙයි.” සත්‍යයේ නැති පවුලේ අය එක්ක ජීවත් වෙන කෙනෙක්ට හිතෙන්න පුළුවන් එයා පවුලේ අයගෙන් දුරස් වෙලා කියලා. සභාවේ අයව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න නිදහස නැති නිසා එයාලගෙනුත් තමන් දුරස් වෙලා කියලා ඒ වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අසනීපයක් නිසා ගෙදරට කොටු වෙලා ඉන්න සහෝදරියකට නැත්නම් අසනීපෙන් ඉන්න පවුලේ කෙනෙක්ව බලාගන්න කෙනෙක්ට ලොකු තනිකමක් දැනෙන්න පුළුවන්. ඇනට් කියන දේ බලන්න. “සභාවේ අය එකතු වෙලා විනෝද වෙද්දී මටත් ආරාධනා කළා. ඒත් අම්මාව බලාගන්න තිබුණු නිසා මට යන්න බැරි වුණා.”

යේසුස් ඉඳගෙන උගන්වනවා. මාර්තායි මරියායි ඔහුගේ පාමුල ඉඳගෙන අහන් ඉන්නවා. පින්තූරවල අදහස: 1. යුවළක් මහලු සහෝදරියක්ව බලන්න ගිහින්. ස්වාමිපුරුෂයා එයා එක්ක කතා කරකර ඉද්දී බිරිඳ කඩෙන් ගෙනාපු බඩු අස් කරනවා. 2. යුවළක් සහෝදරියක් එයාගේ දුවත් එක්ක කරන පවුලේ නමස්කාරයට හවුල් වෙනවා. 3. සහෝදරයෙක් සහෝදරියන් දෙන්නෙක්ට එයාලගේ වාහනේ ටයර් එක මාරු කරගන්න උදව් කරනවා.

යේසුස් වගේ අපිටත් පුළුවන් විශ්වාසවන්ත සහෝදරියන්ට අපේ ආදරේ, සැලකිල්ල පෙන්නන්න (6-9 ඡේද බලන්න)e

6. යේසුස් මාර්තාට සහ මරියාට උදව් කරපු විදිහ ගැන ලූක් 10:38-42 ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 යේසුස් දෙවියන්ට ළැදි ස්ත්‍රීන් එක්ක කාලේ ගත කළා. එයාලට හොඳ යාළුවෙක් වුණා. මාර්තාට සහ මරියාට යේසුස් හොඳ යාළුවෙක් වුණේ කොහොමද කියලා බලන්න. පේන විදිහට එයාලා තනිකඩ සහෝදරියන්. (ලූක් 10:38-42 කියවන්න.) යේසුස් එයාලා එක්ක වැඩ කරපු විදිහ නිසා ඕනෙම දෙයක් ඔහුට කියන්න එයාලා බය වුණේ නැහැ. උදාහරණෙකට එක අවස්ථාවකදී මරියා යේසුස්ගේ පාමුල ඉඳගෙන ඔහු උගන්වපු දේවලට සවන් දුන්නා.c මරියා තමන්ට උදව් කරන්නේ නැහැ කියලා හැඟුණාම ඒ ගැන යේසුස්ට කියන්න මාර්තා බය වුණේ නැහැ. දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන වටිනා පාඩම් යේසුස් එදා ඒ දෙන්නාටම කියලා දුන්නා. තව අවස්ථාවලදීත් යේසුස් මාර්තා, මරියා සහ එයාලගේ සහෝදරයා වුණු ලාසරුස් එක්ක කාලය ගත කළා. ඒකෙන් ඔහු පෙන්නුවේ ඔහුට එයාලා ගැන කොච්චර සැලකිල්ලක් තිබුණාද කියලයි. (යොහ. 12:1-3) ඒ නිසා ලාසරුස් හුඟක් අසනීප වුණු වෙලාවක මරියා සහ මාර්තා දැනන් හිටියා එයාලට යේසුස්ගෙන් උදව් ඉල්ලන්න පුළුවන් කියලා.—යොහ. 11:3, 5.

7. සහෝදරියන්ව දිරිගන්වන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

7 සමහර සහෝදරියන්ට සභාවේ අයව ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙන්නේ රැස්වීම්වලදී විතරයි. ඒ වගේ අය රැස්වීම් ආවාම අපි එයාලව ආදරෙන් පිළි අරන් එයාලා එක්ක කතා කරන්න ඕනේ. අපි එයාලා ගැන සැලකිලිමත් කියලා එයාලට දැනෙන්න සලස්වන්න ඕනේ. ජෝඩ්න් මෙහෙම කියනවා. “සභාවේ අය මං දීපු අදහසක් අගය කරද්දී, මාත් එක්ක සේවේ යන්න දාගද්දී එහෙමත් නැත්නම් වෙන විදිහකින් එයාලා ඇත්තටම මං ගැන සැලකිලිමත් කියලා දැනෙන්න සලස්වද්දී ඒක මට ලොකු දිරිගැන්වීමක්.” අපේ සහෝදරියන්ව අපිට හුඟක් වටිනවා කියලා අපි එයාලට දැනෙන්න සලස්වන්න ඕනේ. කියාරා කියන දේ බලන්න. “මට රැස්වීමකට යන්න බැරි වුණොත් මං දන්නවා සභාවේ යාළුවෝ මං හොඳින්ද බලන්න මට මෙසේජ් කරනවා කියලා. ඒකෙන් මට දැනෙනවා එයාලා මට ආදරෙයි කියලා.”

8. යේසුස්ව අනුකරණය කරන්න පුළුවන් තවත් විදි මොනවාද?

8 යේසුස් වගේ අපිත් අපේ සහෝදරියන් වෙනුවෙන් කාලේ දෙන්න ඕනේ. අපිට පුළුවන් එයාලව කෑමකට හරි විනෝද වෙන අවස්ථාවකට හරි ආරාධනා කරන්න. හැබැයි ඒ අවස්ථාවලදී අපි කතා කරන්න ඕනෙ දිරිගැන්වෙන දේවල් ගැන. (රෝම 1:11, 12) යේසුස් හිතපු විදිහට හිතන්න වැඩිමහල්ලන් උත්සාහ කරන එක හරිම වැදගත්. ඔහු දැනගෙන හිටියා තනිකඩව ඉන්න එක සමහරුන්ට අභියෝගයක් වෙන්න පුළුවන් කියලා. හැබැයි ඔහු පැහැදිලිවම කිව්වා කෙනෙක්ට නියම සතුට ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ට කරන සේවයට මුල් තැන දෙන එකෙන් මිසක් විවාහ වෙන එකෙන්වත් දරුවන් හදන එකෙන්වත් නෙමෙයි කියලා.—මතෙ. 19:12; ලූක් 11:27, 28.

9. සහෝදරියන්ට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

9 විශේෂයෙන්ම වැඩිමහල්ලන් සහෝදරියන්ව තමන්ගෙම සහෝදරියන් විදිහටත් මව්වරුන් විදිහටත් සලකන්න ඕනේ. (1 තිමෝ. 5:1, 2) සාමාන්‍යයෙන් වැඩිමහල්ලන් රැස්වීම් පටන්ගන්න කලින්, රැස්වීම් ඉවර වුණාට පස්සේ සහෝදරියන් එක්ක කතා කරන්න කාලේ ගන්නවා. ක්‍රිස්ටින් කියන දේ බලන්න. “මං ගොඩක් කාර්යබහුලයි කියලා දැක්ක වැඩිමහල්ලෙක් මං ගැන සැලකිලිමත් වෙලා දවසේ වැඩ මං සැලසුම් කරලා තියෙන්නේ කොහොමද කියලා මගෙන් ඇහුවා. එයා මාව තේරුම්ගන්න ගත්ත ඒ වෑයම මං ගොඩක් අගය කළා.” වැඩිමහල්ලන් සහෝදරියන් එක්ක කතා කරද්දී ඒකෙන් එයාලා පෙන්නනවා සහෝදරියන් ගැන එයාලා සැලකිලිමත් වෙනවා කියලා.d ඇනට් ඒ ගැන කියපු දේ බලන්න. “වැඩිමහල්ලන් එක්ක නිතර කතා කරද්දී එයාලව හොඳට අඳුනගන්න මට පුළුවන්. මාව හොඳට තේරුම්ගන්නත් එයාලට පුළුවන් වෙනවා. ඒ නිසා මං මොකක් හරි ප්‍රශ්නෙකට මුහුණ දෙද්දී බය නැතුව ඒ ගැන එයාලට කියන්න මට පුළුවන්.”

සහෝදරියන්ව අගය කරමු

10. සතුටින් සේවය කරන්න සහෝදරියන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

10 අනිත් අය අපේ හැකියාවන්, අපි කරන දේවල් අගය කරද්දී ඒකෙන් අපි දිරිගැන්වෙනවා. හැබැයි කවුරුත් අපිව අගය කරන්නේ නැත්නම් අපි අධෛර්යය වෙන්න පුළුවන්. තනිකඩ පුරෝගාමි සහෝදරියක් වන ඇබිගේල් කියන දේ බලන්න. “හුඟක් අයට මාව මතක අහවලාගේ සහෝදරිය, අහවලාගේ දුව විදිහට. සමහර වෙලාවට මට හිතෙනවා මං කරන සේවේ ගැන එයාලට එච්චර අගයක් නෑ කියලා.” ඒත් බලන්න පෑම්ගේ අද්දැකීම. එයා තනිකඩ සහෝදරියක් විදිහට අවුරුදු ගාණක් මිෂනාරි සේවය කළා. හැබැයි එයාගේ දෙමාපියන්ව බලාගන්න ඕනෙ නිසා එයා මව් රටට ආවා. දැන් එයාගෙ වයස 70කට වැඩි වුණත් දැනටත් එයා පුරෝගාමි සේවය කරනවා. එයා කියනවා “සේවේ දිගටම කරන්න මට වැඩියෙන්ම උදව් වෙන්නේ අනිත් අය මාව අගය කරන එකයි” කියලා.

11. සේවයේදී තමන්ට සහයෝගය දීපු ස්ත්‍රීන්ව අගය කරනවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

11 දෙවියන්ට විශ්වාසවන්තව හිටපු ස්ත්‍රීන් තමන් සතු දේවල් යොදාගෙන දේශනා සේවයට දීපු සහයෝගය යේසුස් ගොඩක් අගය කළා. (ලූක් 8:1-3) යේසුස් වෙනුවෙන් දේවල් කරන්න ඔහු එයාලට අවස්ථාව දුන්නා වගේම දෙවියන් ගැන වටිනා සත්‍යයනුත් කියලා දුන්නා. උදාහරණෙකට ඔහුට මිය යන්න වෙනවා කියලත් ඔහුව නැවත නැඟිටුවනවා කියලත් යේසුස් එයාලට කිව්වා. (ලූක් 24:5-8) ඉදිරියේදී එයාලට අද්දකින්න වෙන දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දෙන්න නියෝජිතයන්ව වගේම ඒ ස්ත්‍රීන්වත් යේසුස් සූදානම් කළා. (මාක් 9:30-32; 10:32-34) යේසුස්ව අත්අඩංගුවට ගත්ත වෙලාවේ නියෝජිතයන් ඔහුව දාලා ගියත් ඒ ස්ත්‍රීන්ගෙන් සමහරදෙනෙක් වධකණුවේ ඇණ ගහලා හිටපු යේසුස් අසල හිටියා.—මතෙ. 26:56; මාක් 15:40, 41.

12. යේසුස් ස්ත්‍රීන්ට භාර දුන්නේ මොන වගේ කාර්යයන්ද?

12 යේසුස් වැදගත් කාර්යයන් ස්ත්‍රීන්ට භාර දුන්නා. උදාහරණෙකට නැවත නැඟිටවපු යේසුස්ව මුලින්ම දැක්කේ ස්ත්‍රීන්. යේසුස්ව නැවත නැඟිටුවලා කියන පණිවිඩය නියෝජිතයන්ට කියන්න කියලත් යේසුස් එයාලට කිව්වා. (මතෙ. 28:5, 9, 10) ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ රැස් වෙලා හිටපු අයව දෙවියන් ඔහුගේ බලයෙන් අභිෂේක කරද්දී ස්ත්‍රීනුත් එතැන ඉන්න ඇති. එහෙමනම් “දෙවිගේ බලවත් ක්‍රියා ගැන” වෙනත් භාෂාවලින් කියන්න ඒ ස්ත්‍රීන්ටත් බලය ලැබෙන්න ඇති.—ක්‍රියා 1:14; 2:2-4, 11.

13. අපේ සහෝදරියන් කරන්නේ මොන වගේ කාර්යයන්ද? අපි එයාලව අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

13 යෙහෝවා දෙවියන් වෙනුවෙන් වෙහෙස නොබලා සේවය කරන සහෝදරියන් අපේ ප්‍රශංසාව ලබන්න වටිනවා. ගොඩනැඟිලි ඉදි කරන සහ නඩත්තු කරන වැඩවලට, වෙනත් භාෂා කතා කරන කණ්ඩායම්වලට සහ බෙතෙල් එකේ වැඩවලට එයාලා සහයෝගය දෙනවා. සහන සේවා වැඩවලටත් අපේ ප්‍රකාශන පරිවර්තනය කරන වැඩවලටත් එයාලා උදව් කරනවා. පුරෝගාමීන් සහ මිෂනාරිවරුන් විදිහට සේවය කරන සහෝදරියනුත් අපි අතරේ ඉන්නවා. සහෝදරයන් වගේම සහෝදරියනුත් පුරෝගාමි පාසැලට, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහ ගිලියද් පාසැලට සහභාගි වෙනවා. ඒ විතරක් නෙමෙයි සභාවෙත් සංවිධානයෙත් වගකීම් තියෙන සහෝදරයන්ට එයාලගේ භාර්යාවන් ලොකු සහයෝගයක් දෙනවා. ඒ සහයෝගය ලැබුණේ නැත්නම් “තෑගි වශයෙන්” සභාවලට ලැබිලා තියෙන ඒ සහෝදරයන්ට එයාලගේ වගකීම් ඉටු කරන්න ලේසි නැහැ. (එෆී. 4:8) අපේ සහෝදරියන්ව අගය කරන්න පුළුවන් කොහොමද කියලා ඔයා හිතලා තියෙනවාද?

14. ගීතාවලිය 68:11 කියන දේ තේරුම් අරන් ඉන්න වැඩිමහල්ලන් කරන්නේ මොනවාද?

14 දේශනා සේවයේ කැමැත්තෙන්ම හවුල් වෙන සහෝදරියන් හරියට “විශාල හමුදාවක්” වගේ කියලත් එයාලා දක්ෂ විදිහට සේවය කරනවා කියලත් ඥානවන්ත වැඩිමහල්ලන් තේරුම්ගන්නවා. (ගීතාවලිය 68:11 කියවන්න.) ඒ නිසා සහෝදරියන්ගේ අද්දැකීම්වලින් සභාවට ප්‍රයෝජන ගන්න පුළුවන් පැති ගැන එයාලා හිතනවා. ඇබිගේල් කියනවා සේවයේදී හොඳ සාකච්ඡාවන් පටන්ගන්න එයාට උදව් වෙන්නේ මොනවාද කියලා වැඩිමහල්ලන් අහද්දී එයාට ලොකු සතුටක් දැනෙනවා කියලා. “යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයේ වැදගත් වැඩ කොටසක් මටත් භාර දීලා තියෙනවා කියලා තේරුම්ගන්න ඒක මට උදව් වෙනවා” කියලා එයා කියනවා. අභියෝගවලට මුහුණ දෙන යෞවන සහෝදරියන්ට උදව් කරන්න අවබෝධයෙන් වැඩ කරන සහෝදරියන්ට පුළුවන් කියලා වැඩිමහල්ලන් දන්නවා. (තීත. 2:3-5) සහෝදරියන් අපේ ආදරේ, ප්‍රශංසාව ලබන්න ඇත්තටම වටිනවා.

සහෝදරියන් වෙනුවෙන් කතා කරමු

15. තමන් වෙනුවෙන් කතා කරන්න කෙනෙක් හිටියා නම් හොඳයි කියලා සහෝදරියකට හැඟෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?

15 සමහර අභියෝගවලට මුහුණ දෙද්දී තමන් වෙනුවෙන් කතා කරන්න කෙනෙක් හිටියා නම් හොඳයි කියලා සහෝදරියකට හිතෙන්න පුළුවන්. (යෙසා. 1:17) උදාහරණෙකට වැන්දඹු නැත්නම් දික්කසාද වුණු සහෝදරියකට සමහර කාරණාවලදී එයා වෙනුවෙන් කතා කරන්න, සැමියා ඉද්දී කරපු සමහර වැඩ කරගන්න උදව් ඕනෙ වෙයි. මහලු වයසේ ඉන්න සහෝදරියකට එයාගේ සෞඛ්‍ය තත්වය ගැන වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න උදව් ඕනෙ වෙයි. සංවිධානයේ වැඩවලට හවුල් වෙන නිසා සමහරවිට පුරෝගාමි සහෝදරියකට අනිත් පුරෝගාමීන් වගේ නිතරම සේවයේ හවුල් වෙන්න බැරි වෙයි. ඒ ගැන අනිත් අය විවේචනය කරද්දී එයා වෙනුවෙන් කතා කරන්න කෙනෙක් ඕනෙ වෙයි. අවශ්‍යතාව තියෙන ඒ වගේ සහෝදරියන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? අපි ආයෙත් යේසුස්ගේ ආදර්ශය බලමු.

16. මාක් 14:3-9 සඳහන් වෙන විදිහට යේසුස්, මරියා වෙනුවෙන් කතා කළේ කොහොමද?

16 තමන් සහෝදරියන් විදිහට සලකපු අයව අනිත් අය වැරදියට තේරුම්ගද්දී යේසුස් ඉක්මනින්ම එයාලා වෙනුවෙන් කතා කළා. උදාහරණෙකට මාර්තා මරියාට දොස් කියපු වෙලාවේ යේසුස් මරියා වෙනුවෙන් කතා කළා. (ලූක් 10:38-42) තවත් අවස්ථාවකදී මරියා කරපු දෙයක් ගැන අනිත් අය විවේචනය කරද්දී යේසුස් මරියා වෙනුවෙන් කතා කළා. (මාක් 14:3-9 කියවන්න.) මොකද යේසුස් දැනන් හිටියා මරියා ඒ දේ කළේ ඇයි කියලා. ඒ නිසයි ඔහු කිව්වේ ‘ඇය මට කළේ ඉතා යහපත් දෙයක්. ඇය කළේ ඇයට පුළුවන් දෙයයි’ කියලා. “ලොව පුරාම ශුභාරංචිය දේශනා කරන හැම තැනකදීම” මරියා කරපු දේ ගැන කතා කරනවා කියලා යේසුස් අනාවැකියකුත් කිව්වා. මේ ලිපියෙන් කරන්නෙත් ඒ දේමයි. අනිත් අය තමන්ව විවේචනය කරපු වෙලාවක යේසුස් ඒ වගේ දෙයක් කියද්දී මරියාට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද! ලෝකේ පුරාම ශුභාරංචිය ව්‍යාප්ත වෙන එක ගැන කියද්දී යේසුස් මරියා කරපු දේ ගැන සඳහන් කරපු එක හරිම විශේෂ දෙයක්.

17. සහෝදරියක් වෙනුවෙන් අපිට කතා කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවකදීද?

17 සහෝදරියන් වෙනුවෙන් කතා කරන්න ඔයාත් ඉදිරිපත් වෙනවාද? උදාහරණෙකට මෙහෙම හිතන්න. සැමියා සත්‍යයේ නැති සහෝදරියක් ඔයාගේ සභාවේ ඉන්නවා. එයා රැස්වීම්වලට එන්නේ ටිකක් පරක්කු වෙලා. රැස්වීම් ඉවර වුණු ගමන්ම එයා යනවා. දරුවන්ව රැස්වීම්වලට එක්කන් එන්නෙත් ඉඳලා හිටලා. “සත්‍යය වෙනුවෙන් එයාට මීට වඩා කෙළින් වැඩ කරන්න පුළුවන්නේ” කියලා සභාවේ සමහරු එයාව විවේචනය කරනවා. හැබැයි ඒ සහෝදරිය එයාට පුළුවන් උපරිමය කරනවා කියලා එයාලා තේරුම් අරන් නැහැ. එයා කැමති වෙලාවක කැමති දේවල් කරන්න එයාට නිදහස නැහැ. එයාගේ දරුවන් ගැන එයාට තනි තීරණ ගන්න බැහැ. ඒ වගේ වෙලාවක ඔයාට මොනවාද කරන්න පුළුවන්? ඔයාට පුළුවන් ඒ සහෝදරිය කරන හොඳ දේවල් ගැන කතා කරන්න. එතකොට සභාවේ අය එයාව විවේචනය කරන එක නතර කරයි.

18. සහෝදරියන්ට උදව් කරන්න අපිට පුළුවන් තවත් මොන පැතිවලින්ද?

18 සහෝදරියන්ට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා හොයලා අපි ඒවා කරලා දෙනවා නම් සහෝදරියන් ගැන අපි සැලකිලිමත් කියලා පෙන්නන්න පුළුවන්. (1 යොහ. 3:18) අසනීපෙන් ඉන්න අම්මාව බලාගන්න සහෝදරි ඇනට් මෙහෙම කියනවා. “මට තියෙන වැඩ කරගන්න උදව්වක් විදිහට සමහර වෙලාවට සභාවේ අය ඇවිත් මගේ අම්මාව බලාගන්නවා. එයාලා අපිට කෑම ගෙනත් දෙනවා. ඒකෙන් මට දැනුණා එයාලා මට ආදරෙයි, එයාලට මාව වටිනවා කියලා.” සහෝදරි ජෝඩ්න්ටත් සභාවේ අයගෙන් උදව් ලැබුණා. එයාගේ වාහනේ නඩත්තු කරන්න ඕනෙ විදිහ සහෝදරයෙක් එයාට කියලා දුන්නා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “සභාවේ සහෝදර සහෝදරියන් මගේ ආරක්ෂාව ගැන හිතනවා කියලා දැනෙද්දී ඒක මට ලොකු සතුටක්.”

19. සහෝදරියන්ට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් තවත් මොන පැතිවලින්ද?

19 සහෝදරියන්ට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා වැඩිමහල්ලනුත් නිතරම හොයලා බලනවා. මොකද එයාලා දන්නවා සභාවේ සහෝදරියන්ට ආදරෙන්, ගෞරවෙන් සලකයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා කියලා. (යාකො. 1:27) වැඩිමහල්ලන් උත්සාහ කරනවා යේසුස් වගේ සාධාරණව වැඩ කරන්න. ඒක කරන එක විදිහක් තමයි සහෝදරියන්ට නීති දානවා වෙනුවට එයාලව තේරුම් අරන් එයාලට කාරුණිකව සලකන එක. (මතෙ. 15:22-28) වැඩිමහල්ලන් සහෝදරියන්ට උදව් කරද්දී යෙහෝවා දෙවියන්ටත් ඔහුගේ සංවිධානයටත් තමන්ව වටිනවා කියලා සහෝදරියන්ට දැනෙනවා. සහෝදරි කියාරා ගෙවල් මාරු කරනවා කියලා දැනගත්තාම එයාගේ කණ්ඩායම භාර සහෝදරයා ඉක්මනින්ම එයාට උදව් කරන්න සැලසුම් යෙදුවා. ඒ ගැන කියාරා මෙහෙම කියනවා. “මට දැනුණේ මගේ ඔළුවේ තිබුණු ලොකු බරක් අයින් වුණා වගෙයි. වැඩිමහල්ලන් මාව දිරිගන්වපු එකෙන් මට උදව් කරපු එකෙන් සභාවට මාව හුඟක් වටිනවා, මොන අභියෝගයකට මුහුණ දුන්නත් මං තනි වෙලා නෑ කියලා මට දැනුණා.”

සභාවේ හැම සහෝදරියකටම අපේ සහය ඕනේ

20-21. සහෝදරියන් හැමෝවම අපිට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

20 අපේ ආදරය, සහයෝගය ලබන්න වටින වෙහෙස නොබලා සේවය කරන සහෝදරියන් මොන තරම් අපි අතරේ ඉන්නවාද! යේසුස්ගෙන් අපි ඉගෙනගත්තා වගේ අපිට පුළුවන් අපේ සහෝදරියන් එක්ක කාලේ ගත කරලා එයාලව හොඳින් දැන හඳුනා ගෙන එයාලට උදව් කරන්න. එයාලා දෙවියන් වෙනුවෙන් මහන්සි වෙලා කරන දේවල් අගය කරන්නත් අපිට පුළුවන්. ඒ විතරක් නෙමෙයි එයාලා වෙනුවෙන් කතා කරන්නත් අපිට පුළුවන්.

21 රෝමවරුන්ට ලියපු ලිපියේ අවසානයේදී පාවුල් සහෝදරියන් නවදෙනෙක්ව නමින්ම සඳහන් කළා. (රෝම 16:1, 3, 6, 12, 13, 15) පාවුල්ගේ සුබ පැතුම්, අගය කිරීම් අහලා ඒ සහෝදරියන් අනිවාර්යයෙන්ම දිරිගැන්වෙන්න ඇති. පාවුල් වගේ අපිත් අපේ සභාවේ සහෝදරියන්ට උපරිමයෙන් සහයෝගය දෙමු. එතකොට එයාලට දැනෙයි අපි එයාලට ආදරෙයි, එයාලා අපේ පවුලේ වටිනා සාමාජිකයන් කියලා.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • සහෝදරියන් වෙනුවෙන් අපේ කාලේ දෙද්දී ඒකෙන් එයාලා ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

  • අපේ සහෝදරියන්ව අගය කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

  • අපේ සහෝදරියන් වෙනුවෙන් අපිට කතා කරන්න වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?

ගීතිකාව 136 ඔබට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබේවා!

a අපේ සහෝදරියන් හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. යේසුස්ව ආදර්ශයට අරන් එයාලට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා. යේසුස් ස්ත්‍රීන් වෙනුවෙන් කාලය දීපු එකෙන්, එයාලව අගය කරපු එකෙන් එයාලා වෙනුවෙන් කතා කරපු එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි බලමු.

b සමහර නම් වෙනස් කර ඇත.

c බයිබල් විශ්වකෝෂයක මෙහෙම කියනවා. “අනුගාමිකයන් ගුරුවරයාගේ පාමුල ඉඳගෙන ඉගෙනගන්න එක ඒ කාලේ සාමාන්‍ය දෙයක්. එහෙම කළේ ගුරුවරුන් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු අය. ඒත් ඒ කාලේ ස්ත්‍රීන්ට ගුරුවරුන් වෙන්න අවසර තිබුණේ නැහැ. ඒ නිසා මරියා යේසුස්ගේ පාමුල ඉඳගෙන ඔහුගේ ඉගැන්වීම්වලට ඇහුම්කන් දෙනවා දකිද්දී යුදෙව් පුරුෂයන් පුදුම වෙන්න ඇති.”

d වැඩිමහල්ලන් සහෝදරියන්ට උදව් කරද්දී සැලකිලිමත් වෙන්න ඕනෙ පැතිත් තියෙනවා. උදාහරණෙකට සහෝදරියකට උදව් කරන්න යද්දී තනියම යන එක සුදුසු නැහැ.

e පින්තූරයේ අදහස: යේසුස් විශ්වාසවන්ත ස්ත්‍රීන්ට සලකපු විදිහ ආදර්ශයට ගන්න සහෝදරයෙක් සහෝදරියන් දෙන්නෙක්ට එයාලගේ වාහනේ ටයර් එක මාරු කරගන්න උදව් කරනවා. තව සහෝදරයෙක් මහලු සහෝදරියක්ව බලන්න ගිහින්. තවත් සහෝදරයෙක් එයාගේ බිරිඳ එක්ක ගිහින් සහෝදරියක් එයාගේ දුවත් එක්ක කරන පවුලේ නමස්කාරයට හවුල් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න