යෞවනයන් අසති . . .
විරුද්ධ ලිංගයේ අය ගැන සිත සිතා සිටීමෙන් වැළකීම මෙතරම් අමාරු මන්ද?
“ඔබ යෞවනව සිටින විට ලිංගික දේ ගැන ඔබේ කුතුහලය ඔබට ලොකු දෙයක්,” යයි යෞවන ලොරේන් පැහැදිලි කළාය. “ඔබ ලිංගික දේවල් සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් සිත යොමු කිරීමට පටන්ගනියි.”
ඔබ අවදිව සිටින කාලයෙන් වැඩි හරියක්—එසේ නැතහොත් වැඩියෙන්ම—ගත කරන්නේ විරුද්ධ ලිංගයේ අය ගැන සිතමින්, ඔවුන් ගැන කථා කරමින් හෝ ඔවුන් දෙස බලමින්ද? ඔබ ඔබේ ගෙදරවැඩ සම්පූර්ණ කිරීමට ඉඳගන්නා විට, එම දවාලේ දුටු යම් කදිම-පෙනුමැති පිරිමි ළමයෙකු හෝ ප්‍රියකරු ගැහැනු ළමයෙකු ගැන කල්පනා කිරීමෙහි නිමග්නවීමට පටන් ගන්නවාද? ඔබ සංවාදයේ යෙදෙන විට ලස්සන අය පසුකර යද්දී, ඔවුන් දෙස විටින් විට හොරෙන් බැලීම ඊට ඇතුළත්ද? ඔබේ මනස විරුද්ධ ලිංගයේ අයගෙන් ඉවත් කිරීමට හුදෙක් නොහැකි නිසා ඔබට කියවීමට, පාඩම් කිරීමට හෝ ක්‍රිස්තියානි රැස්වීම්වලදී හා සමුළුවලදී සිත යොමු කිරීමට පවා අමාරුද?
එසේ නම්, ඔබ උමතු වෙයි කියා ඔබ බිය විය හැකියි! එක් යෞවනයෙක් මෙසේ පිළිගත්තේය: “මා සිතන්නේ මට ලිංගික-උමතුව වැනි යමක් තියෙන්න පුළුවන් කියලයි. මං අදහස් කරන්නේ, මා බොහෝ වෙලාවට ගැහැනු ළමයින් ගැන සිතනවා, ඔවුන් ගැන සිතේ දර්ශන මවාගන්නවා . . . මට සිහිකල්පනාව තියෙනවා කියලා ඔබ සිතනවාද?” ලේඛිකා ලින්ඩා මැඩෙරස් සඳහන් කරන ආකාරයට, ඔබ යෞවනව සිටින විට, “පෙම් හැඟීම් හෝ ලිංගික හැඟීම් ඉතා බලවත් විය හැකියි. ඇතැම් අවස්ථාවල, ඔබට සිතිය හැක්කේ පෙම් හැඟීම් හා ලිංගික දේ ගැන පමණක් යයි පෙනෙන්නට තිබිය හැකියි!”a
ලිංගික හැඟීම් නරක හැඟීම් නොවේ. දෙවියන්වහන්සේ මිනිසා හා ස්ත්‍රිය මැව්වේ, එකිනෙකාට බලවත් ආකර්ෂණය වීමක් සහිතවය. ඔවුන් විවාහ වී, ධර්මිෂ්ඨ දරුවන්ගෙන් “පොළොව පූර්ණ” කිරීම පිළිබඳව උන්වහන්සේගේ අරමුණට මෙය එකඟව තිබුණි. (උත්පත්ති 1:28) විවාහ යුවළවල් සඳහා ලිංගික සබඳතා මහත් සතුටක මූලාශ්‍රයක් විය හැකි බව පෙන්වීමේදීද බයිබලය කාරණා නොවළහා ඉදිරිපත් කරයි.—හිතෝපදේශ 5:19.
ගැටලුව නම්, අසම්පූර්ණ මිනිසුන් වශයෙන් අපට බොහෝ විට අපේ හැඟීම් පාලනය කිරීමේ අසීරුතාව තිබීමය. (උත්පත්ති 6:5 සසඳන්න.) යටපත්කර දමන තරමටම “මාංසයේ තෘෂ්ණාව” බලවත් යයි පෙනෙන්ට තිබිය හැක! (1 යොහන් 2:16) තවද ඔබ යෞවන නිසා, ඔබේ මනස විරුද්ධ ලිංගයේ අයගෙන් ඉවත් කරගැනීම ඔබට විශේෂයෙන්ම අසීරුවනවා විය හැකිය. මෙසේ වන්නේ මන්ද?
මල්වරවීමේදී පීඩන
එක හේතුවක් නම්, ‘යෞවනයේ මල් පූදින වියට’—එනම් ලිංගික ආශා උච්ච අවස්ථාවේ තිබෙන කාලයට—ඔබ පැමිණෙමින් සිටීමය. (1 කොරින්ති 7:36, NW) ආචාර්ය බෙටි බී. යංස් මෙසේ පැහැදිලි කරන්නීය: “මල්වරවීමේ කාලයේදී, හෝමෝනවල මට්ටම ශීඝ්‍රයෙන් වැඩිවේ. ළමයෙකුගේ ශරීරය වැඩිහිටියෙකුගේ ශරීරයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියලු ශාරීරික වෙනස්කම් පටන්ගැනීම සඳහා මේවා වගකියන්නේය. නවයොවුන් විය සමඟම සිදුවන හෝමෝන මට්ටම වැඩිවීම හේතුවෙන් චිත්තවේගීය හා හැසිරීමේ වෙනස්කම් බොහොමයක් ඇතිවෙයි.”
කුමනාකාරයේ වෙනස්කම්ද? ඇත්තෙන්ම, බොහෝ විට ලොකුම වෙනස්කමට විරුද්ධ ලිංගයේ අය කෙරෙහි කෙනෙකුගේ හැඟීම් ඇතුළත් වේ. ලේඛක රූත් බෙල් මෙසේ පවසයි: “මල්වර වීමේදී ඇතිවන ශාරීරික වෙනස්කම් බොහෝවිට වඩා බලවත් ලිංගික හැඟීම් ඇති කරයි. ඔබ ලිංගික දේවල් ගැන සිතමින්, ඉතා පහසුවෙන් ලිංගිකව ඇවිස්සී, ඇතැම් අවස්ථාවල ලිංගික දේවල් සම්බන්ධයෙන් සිත යොමුවී පවා සිටින බව ඔබට දැනිය හැක. [අප සම්මුඛ සාකච්ඡා පැවැත්වූ] නහඹරයන් කීප දෙනෙකු විස්තර කළේ, මාර්ගයේ ගමන් කරද්දී හෝ බස් රථයේ ඉඳගෙන සිටිද්දී ඔවුන්ගේ මුළු ශරීරයම ලිංගික ශක්තියෙන් හා ප්‍රබෝධයෙන් ඇවිළී තිබෙන්නාක් වැනි හැඟීමක් ඇතිවූ බවය.” විරුද්ධ ලිංගයේ අය කෙරෙහි එලෙස සිත යොමුකර සිටීම යෞවනයන් විසින් සාර්ථකව කටයුතු කළ යුතු “යෞවන වයසේ තෘෂ්ණාවලින්” එකකි.—2 තිමෝති 2:22.
ජන මාධ්‍යයේ හා මිතුරන්ගේ බලපෑම
කෙසේවුවත්, බාහිර බලපෑම් මගින් මෙම ආශාවේ ගිනි දැල්ල බොහෝවිට ඉහළට නගියි. අප ජීවත්වන්නේ රූපවාහිනී වැඩසටහන්, ප්රචාරක දැන්වීම් පොත්පත්, සඟරා, සංගීතය හා චිත්‍රපට යන මාධ්‍ය මගින් ලිංගික ක්‍රියාකාරකම් දිරිගැන්වීමට නැඹුරුවාවක් ඇතැයි පෙනෙන්නට තිබෙන සමාජයකය. ලිංගික අනාචාරයට වැටුණු ක්‍රිස්තියානි යෞවනයෙක් මෙසේ වාර්තා කරයි: “කාමෝද්දීපන රචනා හෝ චිත්‍ර, පාසැල්වලදී ඉතා පොදු දෙයක් වන අතර මෙය ලිංගික දේ සඳහා සැබෑ තෘෂ්ණාවක් බිහි කරයි. මා හරි දෙය දැන සිටි නමුත් මගේ ලිංගික හැඟීම් බලවත්වී තිබුණා.”
එබැවින් දෙමව්පියන් වෙනුවෙන් ලියූ පොතක මෙසේ පවසයි: “ජන මාධ්‍යයට පුළුල් බලපෑමක් [තිබේ]. අපේ නහඹරයෝ, ලිංගික හැඟීම් අවුස්සන අයුරින් ක්‍රියා කරන හා ලිංගික හැඟීම් අවුස්සන ඇඳුම් විකුණමින් සිටින තම වයසේ යෞවන නිරූප නිරූපිකාවන් දකිති; ඔවුහු චිත්‍රපටවල හා රූපවාහිනියේ වැඩි දියුණු කර ඇති යෞවන ලිංගික ක්‍රියා දකිති.” කේබල් රූපවාහිනිය හා වීඩියෝ කැසට් යන්ත්‍ර බොහෝ යෞවනයන්ව, අන්තයටම ගොස් තිබෙන කාමෝද්දීපන දේවල් වෙතට පහසුවෙන්ම ප්රවේශවීමට සලස්වා ඇත. “ජන මාධ්‍යය යෞවනයෙකුගේ කුතුහලය හා ආශා අවුස්සයි,” කියා යෞවනයෙක් පිළිගනියි.
කෙසේවුවත්, පොතක් අහිතකර වීමට එහි සෑම පිටුවකම කාමෝද්දීපන අදහස් හා චිත්‍ර තිබීමට අවශ්‍ය නොවේ. එක් ක්‍රිස්තියානි ගැහැනු ළමයෙකුගේ අද්දැකීම සලකා බලන්න. ඈ මෙසේ සිහියට නඟන්නීය: “මා ඉතා හොඳ පොතක් කියෙව්වා, එහි තිබුණේ ලිංගික දේවල් සම්බන්ධයෙන් ඡේදයක් හෝ දෙකක් පමණයි. එම ඡේද නොකියවා අනිත් ඡේද කියවන්ට මා පටන් ගත් නමුත්, ආපසු පෙරළා ඒවා කියවීමට මට යම් දෙයක් සැලසුවා. එය කොතරම් වරදක්ද! ප්‍රතිඵලයක් වශයෙන් මා භයානක සිහින දැක්කා.”
ඔබේ සිතුවිලි කෙරෙහි විශාල බලපෑමක් ඇති කිරීමට ඔබේ මිතුරන්ට හා ආශ්‍රිතයන්ටද හැක. යෞවන වැඩීම පිළිබඳ පොතක මෙසේ පැවසේ: “වීදි අහුමුලුවල, පාසැල් ශාලාවල, ආපන ශාලාවල සහ සාප්පු සංකීර්ණවල ගැහැනු ළමුන් දෙස හා පිරිමි ළමුන් දෙස බැලීම පොදු විනෝද ක්‍රියාවකි.” තවද යෞවනයන් විරුද්ධ ලිංගයේ අය දෙස ඕනෑකමින් බලා නොසිටින විට, බොහෝවිට ඔවුහු ඔවුන් ගැන කථා කරති. දහඅට හැවිරිදි රොබට් මෙසේ පිළිගනියි: “මා මීට වඩා බාල කාලේදී, ලිංගික ක්‍රියාවල යෙදීමට තිබුණු බලපෑම ඉතා මහත්විය . . . පාසැලේ ඇඳුම් මාරු කරන කාමරයේදී කථා කෙරෙන්නේ ඒ ගැනම පමණයි.” තවත් යෞවනයෙක් මෙසේ පිළිගනියි: “පාසැල් මිතුරන් අතර සංවාදයේදී ලිංගික දේ ප්‍රධාන විෂය වී තිබුණු බැවින් බොහෝවිට එය ඔබේ සිතුවිලි මතට බලෙන් කවනු ලැබීය.”
වෙනස් කෙනෙකු ලෙස කැපී පෙනී සිටීම අසීරු දෙයකි. ඔබේ තුල්‍යයන් විරුද්ධ ලිංගයේ අය ගැන—සමහරවිට පහත් ලෙස, ගුණධර්ම පිරිහෙන ආකාරයකින් නිරතුරුවම කථා කරන විට—ඔවුන් සමඟ හවුල්වීමට ආශාවක් ඇතිවිය හැක. එහෙත් බයිබලය මෙසේ අනතුරු අඟවයි: “ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.”—හිතෝපදේශ 13:20.
සමබරවීම සඳහා අවශ්‍යතාව
මේ සියල්ලෙන් අදහස් කරන්නේ විරුද්ධ ලිංගයේ අය දෙස බැලීම හෝ කථා කිරීමට වුවමනා වීම වැරදි බවද? නැත, බයිබල් ලේඛකයෝ පවා ඇතැම් පුරුෂයන් සහ ස්ත්‍රීන් ශාරීරිකව ශෝභමාන අය බව යන සත්‍යය සැලකිල්ලට ගත්හ. (සසඳන්න 1 සාමුවෙල් 9:2; එස්තර් 2:7.) එබැවින්, නිකම්ම ස්ත්‍රියක ශෝභමාන බව කෙනෙකු විසින් දැකීම යේසුස්වහන්සේ හෙළා නුදුටුසේක. එහෙත් උන්වහන්සේ ක්‍රිස්තියානීන්ට අවවාද කළේ ‘ස්ත්‍රියෙකු දෙස රාගයෙන් දිගටම බලා නොසිටීමටය.’ (මතෙව් 5:28, NW) එයාකාරයටම, අන්ධ රාගයක් මගින් ඔබව පොලඹවනු ලැබීමට ඔබට ඉඩහැරිය නොහැක. පළමුවෙනි තෙසලෝනික 4:4, 5 [නව අනුවාදය], අපට මෙසේ පවසා තිබේ: “ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය. දෙවියන් වහන්සේ නොදන්නා විජාතීන් මෙන්, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතු ය.”
විටින් විට කාමුක සිතුවිලි මනසට පැමිණිය හැකි වුවත්, ඒවා ගැන සිත සිතා සිටීමෙන් උමතුවකට සමාන යමක් දක්වා හැරිය හැකි අතර, එවිට බරපතළ ගැටලු වර්ධනය වේ. දේශනාකාරයා 5:3 [නව අනුවාදය] මෙසේ පවසයි: “කටයුතු බහුල වීමෙන් කරදර වූ සිතට සිහින පෙනේ.” එසේය, පෞද්ගලික ආශාවන්වල ගැලී සිටින කෙනෙකු බොහෝවිට අයහපත් මනඃකල්පිතයන් හා දවල්සිහින පෝෂණය කරන්ට පටන් ගනියි.b
විටින් විට කාමුක සිතුවිලි ඇතිවීම සාමාන්‍ය දෙයක් වන අතර, ඒවා ගැන සිත සිතා සිටීම වෙනත් කරුණකි. “පුද්ගලයෙක්, තමා, ඉඳහිට මුළු දවසේම හා රාත්‍රියේම පාහේ මනඃකල්පිතයන් තුළ කාලය ගත කරන බවට තේරුම් ගත හැකිය. ඒවා යථාර්ථයට වඩා වැඩියෙන් සැබෑ වන බවක් පෙනිය හැකියි,” කියා ලේඛක රූත් බෙල් සඳහන් කරයි. මුළාවූ ප්‍රේමයට අසු වී ඇති එක් යෞවන ගැහැනු ළමයෙක් ගැන සලකා බලන්න. ඈ මෙසේ පවසයි: “මට වයස අවුරුදු 12 1⁄2යි, මගේ රාජ්‍යය ශාලාවට පැමිණෙන පිරිමි ළමයෙකු ගැන මා තුළ බලවත් හැඟීමක් තියෙනවා. විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ හුදකලා ඇසුර සඳහා මා සුදුසු වයසක නොසිටින බව මා දන්නවා, නමුත් මට ඔහු වෙත තියෙන මගේ චිත්තවේගයන් පාලනය කිරීමේදී ඉතා අමාරු තත්ත්වයකුයි තියෙන්නේ.” එවැනිම ආකාරවලින්, සමහර යෞවනයන්ට සිය මනස් පෙම් හෝ ලිංගිකව ඇවිස්සුණු සිතුවිලිවලින් පිරී තිබෙන විට කියවීමට, පාඩම් කිරීමට, පංතියේදී අවධානය යොමු කිරීමට හෝ ක්‍රිස්තියානි රැස්වීම්වලට සූදානම්වීමට අසීරුබවක් දැනේ.
එවැනි ඇවිස්සීමක් ස්වයංවින්දනය මගින් අඩු කරගැනීමට යෞවනයෙක් වෑයම් කරන විට බරපතළ ගැටලුද ඇතිවිය හැක. බයිබලය ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියි: “එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් [සම්බන්ධයෙන්] නසාපල්ලා.” (කොලොස්සි 3:5) ස්වයංවින්දනය ක්‍රිස්තියානීන් විසින් වැළකිය යුතු අපවිත්‍ර පුරුද්දක් වන අතර එය ‘කාමරාගය නසන්න,’ යන්නට විරුද්ධම දෙයයි. ඊට විරුද්ධව, එය කාම රාගය පුබුදුවා, පෝෂණය කරයි. බොහෝ වේලාවට, එවැනි ආශාව සැබෑ බවට පත්වේ. බයිබල් ලේඛක යාකොබ් මෙසේ පැහැදිලි කරයි: “එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය වදන්නීය.”—යාකොබ් 1:14, 15.
එසේනම්, ඔබේ මනස විරුද්ධ ලිංගයේ අයගෙන් ඉවත් කරගැනීම සඳහා කුමක් කිරීමට ඔබට හැකිද? කරුණාකර මේ ලිපි මාලාවේ ඊළඟ ලිපිය කියවන්න. g94 7/22
[පාදසටහන්වල]
a අනෙක් අතට, ලේඛක ඇල්වන් රොසන්බෝම් යෞවනයන්ට මෙසේ සිහිපත් කරයි: “ලිංගික හැඟීම් හා ආකල්ප බෙහෙවින් වෙනස් වේ. සමහරුන්ට ලිංගික දේවල් ගැන කොහෙත්ම නොහැඟෙන අතර වෙනත් අයට ලිංගික දේ ගැන නොසිතා සිටිය නොහැකි බව පෙනෙන්නට තිබේ. . . . ප්රතිචාරයන් දෙකම සාමාන්‍යයි.” ඔහු තවදුරටත් මෙසේ පවසයි: “සෑම පුද්ගලයෙකුම වැඩෙන්නේ වෙනස් වේගයකිනි.”
b මෙම සඟරාවේ 1993 නොවැම්බර් 8 සහ දෙසැම්බර් 8 කලාපවල පළවී ඇති දවල්සිහින ගැන ලිපි බලන්න.
[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“පෙම් හෝ ලිංගික හැඟීම් ඉතා බලවත් විය හැක”
[18වන පිටුවේ පින්තූරය]
රූපවාහිනී දර්ශන හා සඟරාවල ප්රචාරක දැන්වීම් බොහෝවිට විරුද්ධ ලිංගයේ අය කෙරෙහි අහිතකර උනන්දුවක් වැඩි දියුණු කරයි