යෞවනයන් අසති . . .
විරුද්ධ ලිංගයේ අය ගැන සිත සිතා සිටීම මට නතර කළ හැක්කේ කෙසේද?
‘දිනෙන් දින, ජනමාධ්‍ය ලිංගික දේවල් ගැන නින්දිත යෝජනාවලින් හා සෙල්ලක්කාර ඉල්ලා සිටීම්වලින් නහඹරයන්ගේ සදාචාර ශක්තිය හීන කරයි; ලිංගික සබඳතා සම්බන්ධ රොක් ගීත ඔවුන්ගේ සවන් තුළ බෙරිහන් දෙයි; හොඳින් විකිණෙන ප්‍රේම නවකථා සම්භාරයක, සැබෑ ලිංගික අද්දැකීම් සමඟ මනඃකල්පිතයන් මුසුකොට ඇත්තේ කෑමට ප්‍රිය උපදවන සූකිරි මෙනි.’ එසේ පැවසුවේ ලේඛක ලෙස්ලි ජේන් නොන්කින්ය. එසේය, නහඹරයෙකු වශයෙන්, විරුද්ධ ලිංගයේ අය ගැන සිතීමට ජනමාධ්‍යයේ දිරිගැන්වීමෙන් ඔබ පහර ලැබ සිටියි.
සැබවින්ම, විරුද්ධ ලිංගයේ අය ගැන යම් උනන්දුවක් දැක්වීම සාමාන්‍ය දෙයකි.a එහෙත් ප්‍රේම සිතුවිලි, දවල් සිහින සහ මනඃකල්පිතයන් ඔබේ සිතුවිලි කෙතරම් පාලනය කරනවාද කිවහොත්, ඒවා ඔබේ නින්දට, යාච්ඤාවලට, ගෙදර වැඩට, බයිබල් කියවීමට හෝ ගෙදර දොර වැඩ කටයුතුවලට බාධා කරයි නම්, ඉන් අඟවන්නේ තත්ත්වය යම් කලකට හානිදායකව පැවති තිබෙන බවයි. ඇත්තෙන්ම, සිත එසේ අහිතකර ලෙස යොමු කරගැනීම වැරදි හැසිරීමට මඟ පෑදිය හැකියි.—යාකොබ් 1:14, 15.
ඔබ ගැහැනු ළමුන්—හෝ පිරිමි ළමුන්—සිටින බව සැලකිල්ලටගැනීම නතර කළ යුතුයි කියනවා නොවේ. එහෙත් හිතෝපදේශ 23:12 [NW] පවසන ආකාරයට, ඔබ “ඔබේ හෘදය හික්මවා,” ගත යුතුයි. මෙය කිරීම සඳහා ඔබට උපකාර කිරීමට පහසු විසඳුමක්, ආශ්චර්යජනක පෙත්තක් නැත. එහෙත්, වෑයම් කිරීමෙන් ඔබට ඔබේ සිතුවිලි වැඩි සමබරතාවකට ගෙනා හැකියි. ඔබට මෙය කළ හැකි ප්‍රායෝගික විධි ස්වල්පයක් දෙස බලමු.
ඔබේ ආශ්‍රිතයන් ගැන විමසිලිමත් වන්න
ඔබ ඇසුරු කරන අය ගැන කිට්ටුවෙන් සෝදිසි කර බලන්න. එක යෞවන පුරුෂයෙක් මෙසේ පිළිගනියි: “කෑම ගන්න පිටතට යෑම සාමාන්‍ය දෙයක්ව තිබෙනවා වාගේම ඔබ අවට සියලු දෙනා ලිංගික දුරාචාරය සාමාන්‍ය දෙයක් සේ කථා කරයි.” එවැනි කථාබහට නිරතුරුව අනාවරණය වීමෙන් ඔබට බලපෑමක් සිදුවිය හැකිද? එසේ සිදුවිය හැකි බවට කිසි සැකයක් නැත. යෞවනයන් ගැන එක් සමීක්ෂණයකට අනුව, හතරෙන් තුනක් පිළිගත්තේ “සෙනඟට කැමතිව සිටීම (හෝ අකමැතිවීම) ලිංගික දේවල් කෙරෙහි ඔවුන්ගේ ආකල්පය පාලනය කරන බවයි.”
ඔබේ මිතුරන් ගැන කුමක් කිව හැකිද? සෑම සංවාදයක්ම විරුද්ධ ලිංගයේ කෙනෙකු ගැන බලවත් සාකච්ඡාවක් බවට හැරෙයිද? එවැනි කථාබහ කිරීමක් පාලනය කළ නොහැකි තත්ත්වයකට නැඹුරු වී අශිෂ්ට හෝ හැඟීම් අවුස්සනසුලු එකක් බවට පත්වන්නේද? එසේ නම්, හවුල්වීමෙන්—හෝ නිකම්ම සවන් දීමෙන්—පවිත්‍ර දේවල් කෙරෙහි ඔබේ මනස යොමුකර තබාගැනීමට ඔබට අසීරු දෙයක් වෙයි. බයිබලය මෙසේ අවවාද කරයි: “නුමුත් දැන් නුඹලා ඒ සියල්ල—කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කථාව—පහකරපල්ලා.”—කොලොස්සි 3:8.
කෙසේවුවද, ඔබේ ආශ්‍රිතයන්ට බයිබල් ප්‍රතිපත්ති වෙනුවෙන් සුළු අගයක් තිබේ නම් මෙම අවවාදය අදාළ කරගැනීමට අසීරු වනු ඇත; කල් යත්ම ඔවුන්ගේ ආකල්ප ඔබට බලපාන බව ස්ථිරය. (හිතෝපදේශ 13:20) එක් ක්‍රිස්තියානි ගැහැනු ළමයෙකුගේ අද්දැකීම සලකා බලන්න, ඈ මෙසේ පැවසුවාය: “මා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක්ව සිටි බව පාසැලේ ළමුන්ට පවසන්න මට ඕන වුණේ නෑ. එනිසා සෑමවිටම ඔවුන් මට ලිංගික දේවල් ගැන නොබියව කථා කළා.” වැඩි කල් යෑමට පෙර ඈ ලිංගික දුරාචාරයේ යෙදී, ගර්භිණී වුවාය. හිතෝපදේශ 9:6 ඥානවන්තව මෙසේ අවවාද කරයි: “අනුවණ අයගේ ආශ්රයෙන් වැළකී ජීවත්වන්න. දැනගැන්මේ මාර්ගයේ ගමන් කරන්න.” (ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) එසේය, ඔබේ ක්‍රිස්තියානි ගතිපැවතුම් හා ප්‍රමිති ඇති, ඔබව බිඳවට්ටන්නේ නැතිව—ඔබව ආත්මිකව ගොඩ නංවන මිතුරන් සමඟ ගැවසෙන්න.
සැබවින්ම, සාමාන්‍යයෙන්ම දේව භක්තික ආකල්පයක් දක්වන යෞවන ක්‍රිස්තියානීන් පවා කලින් කලට ‘වචනයෙන් පැකිළිය’ හැකියි. (යාකොබ් 3:2) එය සිදු වී සංවාදය වැරදි දිශාවකට ගමන් කිරීමට පටන්ගන්නා විට, ඔබට කුමක් කළ හැකිද? සාලමොන් රජු යෞවන එඬේර ගැහැනු ළමයෙකුට මුළාවූ ප්‍රේමයක් ඇති කරගත් බව බයිබලය පවසයි. කෙසේවුවද, ඇය ප්රතිප්රේමයේ හැඟීම් දැක්වූයේ නැත. සාලමොන් වෙත ඇගේ හැඟීම් ඇවිස්සීමට සමහර යෞවන ආශ්‍රිතයන් වෑයම් කළ විට ප්‍රේම කථාවල බලවත් පීඩනයට හසුවීමට ඇය තමාට ඉඩහැරියේ නැත. ඈ මෙසේ නිර්භීතව පවසා සිටියාය: “ප්‍රේමය කැමතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් . . . නුඹලා දිවුරවමි.” (සාලමොන්ගේ ගීතිකාව 2:7) එවැනිම ආකාරයකින්, කථාව නුසුදුසු අතට හැරෙන විට නිර්භීතව කථා කිරීමට සිදුවිය හැකියි. එහෙත්, අනිවාර්යයෙන්ම ඔබේ මිතුරන්ට දේශනාවක් දීමට ඔබට අවශ්‍ය නැත. එහෙත් සංවාදය වඩා යහපත් අතකට හැරවීමෙන්, විෂය හුදෙක් වෙනස් කිරීමට ඔබට වෑයම් කළ හැකිය.
විනෝදාස්වාදය—තෝරා බේරාගැනීමේ අවශ්‍යතාව
සැලකිලිමත් වීමට තවත් පැත්තක් වනාහි විනෝදාස්වාදයයි. අලුත්ම චිත්‍රපටය, වීඩියෝව හෝ ඩිස්කය සිත් ඇදගන්නා යමක් මෙන් පෙනිය හැක. කෙසේවුවද, බයිබලය අපට මෙසේ සිහිගන්වයි: “ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.” (1 යොහන් 2:16) මුලදී සඳහන් කළ ලෙසම, අදදින විනෝදාස්වාදයෙන් වැඩි කොටසක් සැලසුම් කර තිබෙන්නේ ලිංගික හැඟීම් ඇවිස්සීමටය. උදාහරණයක් වශයෙන්, ජනප්‍රිය ගීත හා චිත්‍රපට එන්න එන්නම වඩාත් ඍජු අදහස් ඉදිරිපත් කරමින්—බොහෝ විට කාමුක හැඟීම් අවුස්සන ඒවා බවට පත්වී ඇත.
එවැනි විනෝදාස්වාදයකට අනාවරණය වන ඔබට එය කෙසේ බලපෑ හැකිද? ලේඛක ජෝන් ලැන්ගෝන් මෙසේ පවසයි: “අප කාමුක දේවලට අනාවරණය වන විට ලිංගික දේවල් ගැන වැඩියෙන් කථා කිරීමට . . . අප නැඹුරුවන බව අධ්‍යයනයන් ගණනාවක් පෙන්වා තිබේ. ඇතැම් විට, මෙලෙස අනාවරණය වීම අප සාමාන්‍යයෙන්ම අත්හදා නොබලන දේවල් අත්හදා බැලීමට අපට මඟ පාදයි.” එසේය, ‘මාංසික දේවල් කෙරෙහි ඔබේ මනස යොමුකර තබාගැනීමෙන්’ සිදුවන්නේ ඔබට අනතුරු වීම පමණකි. (රෝම 8:5) එය ප්‍රේමය හා ලිංගික දේවල් ගැන ඔබේ දෘෂ්ටිය විකෘති කරන අතර ඔබේ මනස අපවිත්‍ර මනඃකල්පිතයන්ගෙන් පුරවයි. බයිබලයේ අවවාදය කුමක්ද? “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍ර කරගනිමින්, දෙවියන් වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.” (2 කොරින්ති 7:1) එබැවින් ප්‍රේමයේ ආශා කලතන චිත්‍රපට, වීඩියෝ සහ ඩිස්කවලින් වැළකී සිටින්න.
අවිවාහක ක්‍රිස්තියානි මිනිසෙක් වතාවක මෙම සුළු ප්‍රායෝගික උපදෙස දුන්නේය: “ඇඳට යෑමට පෙර අයහපත් දේවල් කෙරෙහි සිත යොමු නොකරන්න. රෑ බෝ වූවාට පසුව තිබෙන බොහෝ රූපවාහිනී දර්ශන බෙහෙවින් කාමුකය.” ඒ ලෙසම බොහෝ පොත්ද එයාකාරය. ෂෙරි නමැති ක්‍රිස්තියානි යෞවනිය මෙසේ පිළිගන්නීය: “මා ප්‍රේම නවකථා කියවන්ට වුණා. ප්‍රමෝදයෙන් පිරි ජීවිතය ගැනත් විවිධ අය සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ගැනත් සිත සිතා සිටිමින් මම ලිංගික දේවල් ගැන සිහින මැව්වා.” ප්‍රේමයේ මනඃකල්පිතයන්ගෙන් මනස පුරවා සිටි ඈ, යෞවනයෙකු සමඟ දැඩි ලෙස සිප වැළඳගැනීමට පහසුවෙන් හසුවූවාය. ඔබ යහපත් දෙයක්—මෙම සඟරාව සහ එහි සහකාර සඟරාව වන, මුරටැඹ වැනි දෙයක්—කියවනවා නම් එවැනි ගැටලු වළක්වාගත හැකියි. එවැනි දේවල් කියවීම බොහෝ යෞවනයන්ට දුර්වල මාංසය වෙත නොව ‘ආත්මයේ දේවල් මත තම මනස් තැබීමට,’ උපකාරවත් වී තිබේ.—රෝම 8:5.
එම මනඃකල්පිතයන් පහකර දමන්න!
ඇතැම් අවස්ථාවලදී විරුද්ධ ලිංගයේ අය ගැන සිතුවිලි හිටිහැටියේම ඔබේ මනසට ඇතුල් විය හැකියි. දාහත් හැවිරිදි ස්කොට් මෙසේ පිළිගනියි: “මගේ මනස ලිංගික දේවලින් ඉවත් කරගැනීමට මට බොහෝ අසීරු වන අවස්ථා තිබෙනවා.” නැතහොත් සමහර විට ඔබ හොඳ-පෙනුමැති පිරිමි ළමයෙකු හෝ ගැහැනු ළමයෙකු දකිනවා විය හැක. ඔබට ඒ ගැන වැටහෙන්ට පෙර, ඔබ ඔහු හෝ ඇය ගැන සිතමින් සිටිනවා ඔබට දැනෙයි. එහෙත් යමෙකු සිත් ඇදගන්නා බව දැකීම එක දෙයක් වන අතර යේසුස්වහන්සේ අනතුරු ඇඟවූ පරිදි ‘ස්ත්‍රියක දෙස දිගටම රාගයෙන් බලා සිටීම සම්පූර්ණයෙන්ම ඊට වෙනස් දෙයකි.’ (මතෙව් 5:28; සසඳන්න හිතෝපදේශ 6:25.) ඔබ විවාහ වීමට සුදුසු වයසක නොසිටින විට, බලාපොරොත්තු කඩවන ප්‍රේමයේ මනඃකල්පිතවල ගිලී සිටීමෙන් සිදුවිය හැක්කේ ඔබව කලකිරීම හා අධෛර්යට පත්වීම පමණකි.—හිතෝපදේශ 13:12 සසඳන්න.
මෙබැවින් ස්කොට් මෙසේ පවසයි: “මට උපකාර වන දෙය නම් විෂය මාරු කරගැනීමයි—එනම් මාව කුල්මත් වීමට සැලැස්වූ සිතුවිලි මගේ මනසෙන් ඈත් කරගැනීමයි. හැඟීම් හෝ පෙලඹීම් කල් යත්ම පහවී යන බවට මා මටම සිහිගන්වනවා.” (පිලිප්පි 4:8 සසඳන්න.) ප්‍රේරිත පාවුල් මෙසේ පැවසීය: “මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි.” (1 කොරින්ති 9:27) එලෙසම, විරුද්ධ ලිංගයේ අය ගැන සිතුවිලි මුල්බැසගැනීමට තැත් කරන විට ඔබට ඔබ සමඟම දැඩි ලෙස ක්‍රියා කිරීමට සිදුවිය හැකියි. සිතුවිලි දිගටම පවතී නම්, යම් ශාරීරික ව්‍යායාමයක් කිරීමට වෑයම් කරන්න. “ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය,” තවද ඔබේ මනස යළි නිසි මාර්ගයේ යොමු කිරීමට අවශ්‍ය වන්නේ ඉක්මන් ගමනක යෙදීම හෝ විනාඩි කිහිපයකට ව්‍යායාමවල යෙදීම පමණක් විය හැකියි.—1 තිමෝති 4:8.
“ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා” පැවතීම විශේෂයෙන්ම උපකාරවත් වන බවද බොහෝ යෞවනයන් සොයාගෙන ඇත. (1 කොරින්ති 15:58) යෞවන ඩෙබ්ර ඒ ගැන මෙසේ පවසයි: “වෙහෙසට පත්වන තුරුම කාර්යබහුලව සිටීම විසඳුම බව මට පෙනීගොස් තිබෙනවා.” ක්‍රිස්තියානි සභාව සහ එහි කටයුතු සියල්ලේ සම්පූර්ණයෙන්ම නියැලී සිටීමෙන් ඔබේ සිතුවිලි සමබරව තබාගැනීමට ඔබට උපකාර කිරීමට මහත් දෙයක් කළ හැක.
එහෙත්, ඔබ කොතරම් වෑයම් කළත්, ඇතැම් අවස්ථාවලදී ඔබේ මනස විරුද්ධ ලිංගයේ අයගෙන් ඉවත් කරගැනීම තවමත් අමාරු විය හැකියි. එසේ නම්, යම් වැඩිහිටි සහායක් ලබාගන්න. සමහර විට ඔබේ දෙමව්පියෙකු සමඟ ඔබේ කාරණා කථා කරගැනීමට ඔබට හැකියි. යෞවන කාර්ල් පැවසූ දෙය සලකා බලන්න: “වයසින් වැඩි, පළපුරුදු කෙනෙකු සමඟ දේවල් කථා කිරීම මට උපකාරයක් වී තිබෙනවා. සංවාදය අවංක වන තරමටම වඩා හොඳයි.” සියල්ලටම වඩා, ඔබේ ස්වර්ගික පියාණන්ගෙන් ඔබට ලැබිය හැකි උපකාරය නොසලකා නොහරින්න. “ලිංගික ආශාවන් ඇතිවන බව මට දැනෙන විට, මා යාච්ඤා කිරීමට මගේ සිත හොඳින් යොමු කරනවා,” යයි අවිවාහක ක්‍රිස්තියානි මිනිසෙක් පවසයි. බයිබලය මෙසේ පවසයි: “එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.” (හෙබ්‍රෙව් 4:16) දෙවියන්වහන්සේ විරුද්ධ ලිංගයේ අය කෙරෙහි ඇති ඔබේ උනන්දුව ඉවත් කරන්නේ නැත. එහෙත් උන්වහන්සේගේ උපකාරය සමඟින්, සිතා බැලීමට වෙනත් බොහෝ දේ තිබෙන බව ඔබට සොයාගත හැකි වෙයි. g94 8/8
[පාදසටහන්වල]
a 1995 ජනවාරි 8, කලාපයේ “යෞවනයෝ අසති . . . විරුද්ධ ලිංගයේ අය ගැන සිත සිතා සිටීමෙන් වැළකීම මෙතරම් අමාරු මන්ද?” යන ලිපිය බලන්න.
[17වන පිටුවේ පින්තූරය]
විරුද්ධ ලිංගයේ අය ගැන කථා කිරීම වැරදි අතකට හැරේ නම්, විෂය මාරු කිරීමට තරම් ධෛර්යය ඇතුව සිටින්න