දෙමාපියෙනි ඔබේ දරුවාගේ උපදේශක වන්න
දෙමව්පියන්ට ඕනෑ වන්නේ තම දූ පුතුන්ට හොඳම දේ ලැබීමය. ඇත්තවශයෙන්ම, දරුවන්ව දෙවියන්වහන්සේගේ හික්මවීමෙන් ඇති දැඩි කිරීමට, ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් පියවරුන්ට උපදෙස් දුන්නේය. (එපීස 6:4) පුරාණයේ විසූ සාලමොන් රජ යෞවන අයට මෙසේ උපදෙස් දුන්නේය: “ඔබගේ පියා හා මව ඔබට කියන දේට අවධානය යොමු කරන්න. ඔවුන්ගේ ඉගැන්වීම ඔබගේ චරිතය වැඩිදියුණු කරන්නේය.”—හිතෝපදේශ 1:8, 9, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.
එසේනම් අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ විධිවිධානවලට පාසැල් ගැළපෙන්නේ කොතැනකද? එමෙන්ම දෙමව්පියන් හා ගුරුවරුන් අතර තිබිය යුතු සම්බන්ධය කෙබඳු එකක් විය යුතුද?
දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ කාර්යභාර
“දෙමව්පියෝ වනාහි . . . තමන්ගේම දරුවන්ගේ වඩාත්ම වැදගත් ශික්ෂකයෝ වෙත්,” යනුවෙන් නිවාස වාතාවරණය කෙරෙහි පාසැලේ බලපෑම සම්බන්ධ අධ්‍යයනයක කර්තෘ ඩොරීන් ග්‍රාන්ට් තරයේ කියා සිටින්නීය. එනමුත් දෙමව්පියෙකු හැටියට එම අදහස පිළිගැනීමට දුෂ්කරතාවක් ඔබට හැඟිය හැකිය.
ඔබ පාසැල් ගිය කාලයට වඩා දැන් ඉගැන්වීමේ ක්‍රම අතිශයින් වෙනස් වී තිබෙන බව ඔබට ඇතැම්විට පෙනී යන්නේය. මේ දවස්වලදී, මාධ්‍ය අධ්‍යයනය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ මයික්‍රො ඉලෙක්ට්‍රෝනික විද්‍යාව බඳු මේ තාක් නොදත් විෂයන් පවා පාසැල්වල උගන්වනු ලැබේ. මෙය සමහර දෙමව්පියන්ට පාසැල් සමඟ තිබෙන තම සම්බන්ධය හැකිතාක්දුරට අඩු කිරීමට සිදු කර තිබේ. “තම දරුවාගේ ගුරුවරුන් සමඟ කතා කිරීම වනාහි දැඩි ආත්ම-විශ්වාසයක් ඇති වැඩිහිටියෙකුට පවා තමා අවුරුදු පහක් පමණක් වන බවත්, අඩි හතරක් උසැති බවත් හැඟීමට සිදු කළ හැකිය,” යනුවෙන් හෙල්ප් යෝර් චයිල්ඩ් තෲ ස්කූල් නමැති පොතේ ආචාර්ය ඩේවිඩ් ලුවිස් ලියයි. “ගුරුවරුන් සමඟ දුෂ්කරතා හෝ කනස්සල්ලට හේතු ගැන මේරූ ලෙස සාකච්ඡා කිරීම වෙනුවට, ඇතැම් දෙමව්පියෝ බොළඳ හැසිරීමෙහි නිරත වෙති.”
ඇත්තවශයෙන්ම, ඇතැම් දෙමව්පියන් තම දරුවන්ගේ ගුරුවරුන්ව හමුවන්නේ බරපතළ ගැටලු පැනනඟින අවස්ථාවල පමණි. ඇරත් ඒ අවස්ථාවලදී, එසේ කරන්නේ බොහෝවිට පැමිණිලි කිරීමටය. කෙසේවෙතත්, ගුරුවරුන්ට සහයෝගය දැක්වීමෙන් තම දරුවන්ගේ අධ්‍යාපනයට සැලකිය යුතු අන්දමින් දායක වීමට දෙමාපියන්ට හැකි අතර, බොහෝදෙනෙක් එසේ කරති.
ඔබේ දරුවා පාසැලේදී ඉගෙනගන්න දේවල් පරීක්ෂා කර ඒවා කෙරෙහි උනන්දුවක් දැක්වීම දෙමාපිය වගකීමට ඇතුළත් වේ. එසේ කළ යුත්තේ මන්ද? මන්දයත් ගුරුවරුන් වෘත්තීය වශයෙන් ඔබේ සදාචාර නියෝජිතයන් ලෙස සේවය කරන හෙයිනි. ඔවුන් පවත්වන සාරධර්ම ඔවුන්ගේ ශිෂ්‍යයන්ට බලපායි, මන්දයත් දරුවන් ගුරුවරුන්ව සලකන්නේ අනුකරණය කිරීමට සුදුසු ආදර්ශ හැටියටයි. ගුරුවරුන්ගේ පාර්ශ්වයෙන් බලන විට, බොහෝ ගුරුවරු තම ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්ගේ සහයෝගය සතුටෙන් පිළිගනිති.
දකුණු ජර්මනියේ එක් විදුහල්පතිවරයෙක් දෙමව්පියන්ට මෙලෙස ලීවේය: “අපගේ ශිෂ්‍යයන් පෙළක්ම, විශේෂයෙන් පාසැල් යෑමට පටන්ගන්නා අය [ජර්මනියේ, වයස අවුරුදු හයේදී], පසුගිය වසරට වඩා ඉතා අනුකම්පා විරහිත මෙන්ම හැඟීම් නොමැති ආකාරයකින් හැසිරෙන බවත්, සම්පූර්ණයෙන්ම අශිෂ්ට බවත්, ගුරුවරුන් වන අපට වඩාත් පැහැදිලි වී තිබේ. බොහෝදෙනෙක් සම්පූර්ණයෙන්ම සංයමය විරහිතව සිටිත්, සීමාව පනවන්නේ කොතැනකදැයි ඔවුහු නොදනිත්; වරදසහිතභාවයේ හැඟීමක් ඔවුන්ට නොමැත; ඔවුහු අතිශයින් ආත්මාර්ථකාමී, සමාජ විරෝධී අයය; එමෙන්ම පැහැදිලි හේතුවක් නොමැතිව කෝපාවිෂ්ට වී අන්‍යයන්ගේ බෙල්ල මිරිකා ඔවුන්ට පයින්ගැසීමට පවා නැඹුරු වෙති.”
මෙම ශික්ෂකයා තවදුරටත් මෙසේ පැවසුවේය: “එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුරුවරුන් වන අපට ඉතා අධික දුෂ්කරතාවක් තිබුණත්, පැමිණිලි කිරීමට අපට වුවමනා නැත. කෙසේවුවත් කොතරම් වෑයම් කළත්, පාසැල මගින් පමණක් දරුවන්ට අධ්‍යාපනය දී, ඔවුන්ව ඇති දැඩි කිරීමට නොහැකි බව අපට පිළිගැනීමට සිදුවී තිබේ. ඔබේ දරුවන්ව ඇති දැඩි කිරීමේදී, වඩා වැඩියෙන් කිරීමට ඔබම ධෛර්යය උපදවාගන්ට කියා ප්‍රේමනීය දෙමව්පියන් වන ඔබට දිරිගැන්වීමට අපි කැමැත්තෙමු, එමෙන්ම ඔවුන්ගේ පෞද්ගලිකත්වයේ වර්ධනයට ඇත්තවශයෙන්ම [වගකීමේ] ඔබේ කොටස විය යුතු දෙය යටපත් කිරීමට රූපවාහිනියට හෝ වීදියට හෝ නෑර, ඔවුන්ට හැසිරීමේ ප්‍රමිති උගන්වන්න.”—ඇල අකුරු අපේය.
සහයෝගය ඉල්ලමින් ගුරුවරුන් එබඳු ආයාචනයක් කළත්, බොහෝ දෙමව්පියෝ උපකාර කිරීමට පසුබට වෙති. “ඔවුන් එසේ කරන්නේ සැලකිල්ල නොදක්වන නිසා, කාර්ය බහුලව සිටින නිසා හෝ ආත්ම-විශ්වාසය නොමැති නිසා නොවේ, නමුත් දරුවෙකු පන්තියේදී කොතරම් හොඳට හෝ නරකට වැඩ කරනවාද යන්න රඳා පවතින්නේ ඔවුන් ඇති දැඩි කරනු ලැබූ ආකාරය මත නොව, නමුත් ප්රවේණි සැකැස්ම අනුවය යනුවෙන් ඔවුන් දරන ස්ථිර විශ්වාසය නිසාය.” එහෙත් මෙම සංකල්පය සැබෑවක් නොවන බව පැහැදිලිය.
නිවසේදී ඇතිවන ගැටලු බොහෝවිට දරුවෙකුගේ පන්ති වැඩට බලපාන්නා සේම, නිවසේදී යහපත් ජීවිතයක් ගත කිරීම දරුවෙකුට පාසැලෙන් උපරිමය ලබාගැනීමට උපකාර කළ හැකිය. “අධ්‍යාපනයේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට වගකිව යුත්තේ පාසැලට වඩා පවුලය,” යනුවෙන් එක් අධ්‍යාපනික සමීක්ෂණයකින් නිගමනය කෙරේ. හෞ ටු හෙල්ප් යෝර් චයිල්ඩ් තෲ ස්කූල් නමැති පොත මෙලෙස එකඟත්වය ප්‍රකාශ කරයි: “කාර්ය බහුලව සිටින දෙමව්පියා පවා මෙය පිළිගත යුතුය, ඔවුන්ගේ ආකල්පය—එනම් දුර තියා පවා ඔවුන් දක්වන උනන්දුව සහ දිරිගැන්වීම, එමෙන්ම ඔවුන් දෙන උපකාරය—දරුවන්ගේ ප්‍රගතියට තීරණාත්මකව බලපාන බවය.”
එසේනම් ඔබේ දරුවාගේ ගුරුවරුන් සමඟ හොඳින් සහයෝගය දැක්වීමට ඔබට හැකිවන්නේ කෙසේද?
ඔබේ දරුවාගේ උපදේශක වන්න
(1) ඔබේ දරුවා පාසැලේදී ඉගෙනගන්නා දේ කෙරෙහි උද්යෝගවත් උනන්දුවක් දක්වන්න. එසේ කිරීමට පටන්ගැනීමට හොඳම කාලය වන්නේ ඔබේ දරුවා පාසැල් යෑමට ආරම්භ කරන විටය. සාමාන්‍යයෙන් වයසින් බාල දරුවෝ නහඹරයන්ට වඩා හොඳින් දෙමාපිය උපකාරය පිළිගනිති.
ඔබේ දරුවා සමඟ කියවන්න. ඩේවිඩ් ලුවිස්ට අනුව, “විධිමත් අධ්‍යයනයෙන් සියයට 75ක් පමණ සිදුවන්නේ, කියවීම මගිනි.” එමනිසා ඔබේ දරුවාගේ කියවීමේ ව්‍යක්තභාවය වර්ධනය කිරීමෙහි වැදගත් කාර්යභාරයක් දැරීමට ඔබට හැකි වේ. නිවසේදී කියවීමට උපකාර ලබන්නාවූ දරුවන්ගේ ප්‍රගතිය, බොහෝවිට විශේෂඥ ගුරුවරුන්ගෙන් උපකාරය ලබන්නාවූ බාලයන්ගේ ප්‍රගතියට වඩා වැඩිවන බව පර්යේෂණවල යෝජනා කෙරේ.
සමානාකාරයකින්, ඔබේ දරුවාට ලිවීමට එසේය, ගණන් හැදීමට උපකාර කරන්න ඔබට හැකිය. “මූලික ගණන් සෑදීමට උපකාර කිරීම සඳහා ගණිතයෙහි සුපිරි බුද්ධිමතෙකු වීමට ඔබට අවශ්‍ය වන්නේ නැත,” යනුවෙන් ශික්ෂක ටෙඩ් රැග් ප්‍රකාශ කරයි. කෙසේවෙතත්, මෙම ක්ෂේත්රවලදී ඔබට උපකාර අවශ්‍ය නම්, ඔබේ දරුවා ඉගෙනගනිමින් සිටින දෑ කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දැක්වීමෙන් ඔබව වැළැක්වීමට එම දක්ෂතාවේ ඌනතාවට ඉඩ නොදෙන්න.
(2) විෂය මාලාව පිළිබඳව දැනගැනීමට ඔබේ දරුවාගේ ගුරුවරයා හමුවන්න. පාසැලේ ප්‍රකාශ පත්‍රය කියවීමෙන්, ඔබේ දරුවාට උගන්වනු ලබන්ට යන දෙය සොයා දැනගන්න. පාසැල් වාරය පටන්ගැනීමට පෙර එසේ කිරීම, ගැටලු මතුවිය හැකි අවස්ථාවලට ඔබව අවදි කළ හැකිය. ඉන්පසුව, දෙමාපියෙකු වශයෙන් ඔබේ ආශාවන් ගරු කළ හැක්කේ කෙසේද යන්න ගැන සාකච්ඡා කිරීම සඳහා ගුරුවරයා හමුවීමට යෑම හොඳ සහයෝගිතාව සඳහා මාර්ගය සලසා දිය හැකිය. ගුරුවරුන්ට දෙමව්පියන්ව දැනහඳුනා ගැනීම සඳහා පාසැල මගින් සංවිධානය කරනු ලබන රැස්වීම්වලින් ප්‍රයෝජන ගන්න. පාසැලට ගොස් ඔබේ දරුවාගේ ගුරුවරුන් සමඟ කතා කිරීමට අවසර තිබෙන දවස්වල එසේ කරන්න. එබඳු හමුවීම්වල වටිනාකම තක්සේරු කළ නොහැකි තරම්ය, විශේෂයෙන් එසේ වන්නේ ගැටලු පැනනඟින අවස්ථාවලදීය.
(3) විකල්ප අතරින් තෝරාගැනීමට ඔබේ දරුවාට සහායවන්න. ඔබේ දරුවාගේ රුචි අරුචි දැනගන්න. ප්‍රයෝජනවත් ඉලක්ක ගැන කතා කරන්න. තිබිය හැකි විකල්ප සියල්ලම දැනගැනීම සඳහා ගුරුවරුන් හමුවන්න. කාලසටහන්වල විෂයන් තෝරාගැනීමට තිබෙන ප්‍රස්තාව සීමා කරන කාලසටහන්වල ගැටලු තිබේ නම්, ඔවුන් එය දැන සිටිනවා ඇත.
පැහැදිලි අදහස් හුවමාරුව තුළින් වැරදි හැඟීම් වැළැක්වීමට හැක. බොහෝ පාසැල්වලින් කෙරෙන්නේ, උසස් අධ්‍යාපනය ලුහුබැඳීමට වඩාත් දක්ෂ ශිෂ්‍යයන්ට බල කිරීමයි. එහෙත් තම වෘත්තිය ලෙස ක්‍රිස්තියානි දේවසේවය තෝරාගන්නාවූ ශිෂ්‍යයෝ, සාමාන්‍යයෙන් දිගුකාලීන විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයක් ලබාගැනීමෙන් වැළකෙති. ඒ වෙනුවට, ඔවුන් විසින් අතිරේක අධ්‍යාපනය තෝරාගනු ලැබේ නම්, තමන්ව නඩත්තු කිරීමට හැකි කරවන විෂයන් ඉගෙනගැනීමට ඔවුහු වැඩි කැමැත්තක් දක්වති. යුතුකම් නොපිරිහෙළා ඉටු කරන ගුරුවරු, තමන් ඉගැන්වීමට වෑයම් කළ සියල්ල ප්‍රතික්ෂේප කිරීමක් වශයෙන් ඇතැම් අවස්ථාවලදී මෙය වරදවා සලකති. ඔබේ දරුවා තෝරාගත් ක්ෂේත්රයේ ඔහුට හෝ ඇයට විවෘතව තිබෙන අමතර අධ්‍යාපනයේ ඉඩකඩ ගැන ඔබ ඉවසිලිවන්තව ගුරුවරුන්ට පැහැදිලි කිරීමෙන්, තම දරුවන් දිගටම ඉගෙනගැනීම ක්‍රිස්තියානි දෙමව්පියන් ආශා කරන දෙයක් බව ගුරුවරුන්ට තහවුරු කරනවා ඇත.a
සුදුසු එළඹීම
සාර්ථක සහකාරකම් ගොඩනගනු ලබන්නේ, හොඳ අදහස් හුවමාරුව මතය යන කරුණ මතක තබාගැනීමෙන්, ඔබේ දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ කනස්සල්ල හා වේදනාව මඟ හරවාගැනීමට ඔබට හැකි වේ.—“ගුරුවරයා සහ දෙමව්පියා අතර හොඳ අදහස් හුවමාරුවට පියවර” නමැති කොටුව කරුණාකර බලන්න.
දොස් කීම හා විවේචනය කිරීම වෙනුවට, ගුරුවරුන් හමුවීමෙන් හා ඔවුන්ට සහයෝගය දැක්වීමෙන් ඔබේ දරුවාගේ උපදේශක වන්න. එසේ කිරීමෙන්, පාසැලෙන් උපරිමය ලබාගැනීමට ඔබේ දරුවාට ඔබ උපකාර කරනු ඇත. g94 8/8
[පාදසටහන්වල]
a තම වෘත්තිය ලෙස ක්‍රිස්තියානි දේවසේවය තෝරාගෙන පූර්ණ-කාලීන දේවසේවකයන් ලෙස සේවය කරන්නාවූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පුරෝගාමි සේවා පාසැලේ සති-දෙකක පාඩම් මාලාවකට පෙනී සිටීමට ප්‍රස්තාව ඇත. වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් නමැති පාසැල මගින් ක්‍රියාත්මක කරනු ලබන මාස-පහක පාඩම් මාලාවකට ඇතුල්වීමට ඇතමෙක් පසුව සුදුසුකම් ලබති, මෙමගින් ඔවුන්ට මිෂනාරිවරුන් හැටියට සැදීපැහැදී සිටීමට හැකිකම ලැබේ.
[10වන පිටුවේ කොටුව]
ගුරුවරයා හා දෙමව්පියන් අතර හොඳ අදහස් හුවමාරුවට පියවර
1. ඔබේ දරුවාගේ ගුරුවරුන් දැනහඳුනා ගන්න.
2. යම් පැමිණිල්ලක් කිරීමට පෙර ඔබේ තොරතුරු දෙවරක් සෝදිසි කරන්න.
3. ඔබ කැළඹී හෝ කෝප වී සිටිනවා නම්, හැමවිටම ගුරුවරයා සමඟ කතා කිරීමට පෙර සන්සුන් වන්න.
4. ගුරුවරයා හමුවීමට පෙර, ඔබ අසන්ට කැමති ප්‍රශ්න ලියා, ඔබ අත්කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්කවල ලැයිස්තුවක් සාදාගන්න.
5. ඔබේ ස්ථාවරය ස්ථිරව හා පැහැදිලිව ප්‍රකාශ කර, ඉන්පසුව පැනනැඟිය හැකි ගැටලු මඟහැරීම සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර දැනගැනීම සඳහා ගුරුවරයා සමඟ කටයුතු කරන්න.
6. ගුරුවරයාගේ තත්වයෙන් දේවල් සලකා බලන්න. ඔහුගේ තත්වයේ ඔබ සිටියා නම්, ඔබ කරනු ඇත්තේ කුමක්ද කියා අසන්න. තෘප්තිමත් ප්‍රතිඵලයක් කල්පනා කොට නියම කරගැනීමට මෙමගින් ඔබට හැකි වේ.
7. කතා කරනවාත් සමඟම ඇහුම්කන් දෙන්න. ඔබට යමක් නොවැටහේ නම් ප්‍රශ්න ඇසීමට පසුබට නොවන්න. කියනු ලබන දෙයට ඔබ එකඟවන්නේ නැත්නම්, ඒ බව ප්‍රකාශ කරන්න, එමෙන්ම ඊට හේතුවද ආචාරසම්පන්න ලෙසින් පැහැදිලි කරන්න.
—ආචාර්ය ඩේවිඩ් ලුවිස් විසින් ලියන ලද, හෙල්ප් යෝර් චයිල්ඩ් තෲ ස්කූල් මත පදනම් වී ඇත.
[9වන පිටුවේ පින්තූරය]
ඔබේ දරුවා සමඟ කියවන්න
[9වන පිටුවේ පින්තූරය]
පාසැල් විෂය මාලාව ගැන සාකච්ඡා කිරීමට ගුරුවරුන්ව හමුවන්න
[9වන පිටුවේ පින්තූරය]
විකල්ප තෝරාගැනීමට ඔබේ දරුවාට උපකාර කරන්න