ඇති දැඩි කිරීමට අමාරු දරුවෙකුට දෙමාපියෙකු වීම
“කොහොමද අද දවස හොඳද?” යනුවෙන් ඇගේ පුතාව පාසැලෙන් රැගෙන යෑමට පැමිණි සූසන්, ඔහු අමාරුවෙන් මෝටර් රථයට නගිනවාත් සමඟම ඇසුවාය. ඔහු රවමින් ඇයව නොසලකා හරියි. “අද පුතාට නරක දවසක් වෙන්න ඇති,” යනුවෙන් අනුකම්පා සහිතව ඈ ප්‍රකාශ කරයි. “ඒ ගැන කතා කරන්න පුතා කැමතිද?”
“මට කරදර කරන්න එපා,” යනුවෙන් ඔහු මුමුනමින් පිළිතුරු දෙයි.
“මට ඔයා ගැන දුක හිතෙනවා. ඔයා ගොඩාක් අසතුටින් වගේ. ඔයාට උදව් කරන්න මං කැමතියි.”
“මට ඔයාගේ උදව්ව ඕනෙ නෑ!” යනුවෙන් ඔහු කෑගසයි. “මට කරදර කරන්න එපා! මං ඔයාට කැමති නැහැ. මං මැරුණා නම් හොඳයි!”
“ජිමි!” යනුවෙන් සූසන් සුසුම් හෙළමින් මෙසේ පවසයි, “මාත් එක්ක ඔහොම කතා කරන්න එපා, ඔහොම කළොත් මම—මම ඔයාට ගහනවා! මං ඔයාට හොඳක් කරන්නයි හැදුවේ. ඔයාට මොනවා වෙලාද කියලා මට තේරෙන්නේ නැහැ. මං කියන කරන කිසි දෙයක් ඔයාට අල්ලන්නේ නැහැ.”
තමාගේම දවසේ කටයුතුවලින් කලබලයටත්, වෙහෙස මහන්සියටත් පත්වූ සූසන්, මෙවැනි දරුවෙකු තමාට උරුම වුණේ කොහොමද කියා කල්පනා කරමින්, රථවාහනවලින් පිරුණු වීදියක ඇගේ මෝටර් රථය ධාවනය කරයි. ඇයට ව්යාකූලභාවයේ, අසරණභාවයේ මෙන්ම කෝපයේ හැඟීම් දැනෙයි, එමෙන්ම ඇගේම පුතා කෙරෙහි නුරුස්සනබවක්ද ඇයට දැනෙයි, තවද වරදසහිතභාවයේ හැඟීම් ඇගේ හිතට වදියි. ඇගේම දරුවා වුවත්—ඔහුව නිවසට රැගෙන යෑමට සූසන් බියෙන් පසුවෙයි. අද පාසැලේදී කුමක් සිදුවුණාද කියා දැනගැනීමට ඇයට වුවමනා නැති තරම්ය. ගුරුවරයා නැවත වරක් දුරකථනයෙන් ඇයව ඇමතීම ගැන සැකයක් නැත. ඇතැම් අවස්ථාවලදී සූසන්ට සාර්ථකව කටයුතු කිරීමට කොහෙත්ම නොහැකි වෙයි.
පෙනෙනාකාරයට සරල සිදුවීම් කාන්සාවෙන් පිරුණු බලවත් චිත්තවේගීය අමාරුකම් බවට පත්වෙන්නේ එලෙසටයි. ADD/ADHD දරුවන්ට එසේත් නැතහොත් ස්වාභාවානුරූපව “ඇති දැඩි කිරීමට අමාරු” යනුවෙන් විස්තර කරනු ලබන දරුවන්ට, ගැටලුවලට මුහුණ දීමට සිදුවන විට, ඔවුහු ඉතා තදපරුෂ ලෙස ප්‍රතික්‍රියා කරති. ඉතා ඉක්මනින් කෝපාවිෂ්ට තත්වයකට පත්වීමට ඔවුහු නැඹුරුවාවක් දක්වති, එමගින් ඔවුහු දෙමව්පියන්ව කෝපයටත්, වික්ෂිප්තභාවයටත්, අන්තිමේදී අතිශය වෙහෙසට පත්වූ තත්වයකටත් පත් කරති.
තක්සේරු කිරීම සහ අතරමැදිවීම
සාමාන්‍යයෙන් මෙම දරුවන් දක්ෂ, නිර්මාණශීලී සහ ඉතා සංවේදී අයය. ඔවුන් විශේෂ අවශ්‍යතා ඇති සෞඛ්‍යසම්පන්න දරුවන් බව අවබෝධ කරගැනීම වැදගත් වේ, එහෙයින් ඔවුන්ව විශේෂිත ආකාරයකින් තේරුම්ගෙන කටයුතු කිරීම වැදගත්ය. එබඳු දරුවන්ගේ දෙමව්පියන් විසින් සාර්ථක යයි සොයාගෙන තිබෙන ප්‍රතිපත්ති සහ අදහස් සමහරක් මතු සඳහන් වෙයි.
ප්‍රථමයෙන් දරුවාගේ හැඟීම් ඇවිස්සීමට හේතු වූ තත්වයන් හා පෙලඹීම හඳුනාගැනීම වැදගත් වේ. (සසඳන්න හිතෝපදේශ 20:5.) චිත්තවේගීය හැඟීම් ඇවිස්සෙන අවස්ථාවලට කලින් දරුවාගෙන් ලැබෙන සංඥා මතක තබාගෙන අප්‍රමාදව අතරමැදිවීම දෙමව්පියෙකු කළ යුතු අත්‍යවශ්‍ය දෙයකි. නිෂ්ඵලභාවයේ ඉහළ මට්ටමක් සහ විශේෂ තත්වයක් හැසිරවීමට නොහැකියාවක් දක්වන මුහුණේ ඉරියව් ප්‍රධාන ඇඟවීමක් වෙයි. දරුවා තමාවම පාලනය කළ යුතුයි යනුවෙන් කරුණාවන්ත ලෙස වාචික සිහිගැන්වීම් උපයෝගී කිරීම, එසේත් නැතහොත්, අවශ්‍ය නම්, එම තත්වයෙන් ඔහුව ඉවත් කිරීම, උපකාරවත් විය හැකිය. නිදසුනක් වශයෙන්, එකට විවේකගැනීම බලපෑමෙන් යුක්ත වේ, එනම් දඬුවම් කිරීමට නොව, නමුත් දරුවාටත්, දෙමව්පියාටත් සන්සුන්භාවය අත්කරගෙන ඉන් එහාට සිහිබුද්ධියෙන් යුක්තව කටයුතු කිරීමට මඟක් වශයෙනි.
ඉහත සඳහන් නිදසුනේ, ජිමි සරල ප්‍රශ්නවලට ඉතා අධික සේ ප්‍රතිචාරය දැක්වූයේය. මෙය ජිමිගේ සාමාන්‍ය එදිනෙදා හැසිරීමයි. මෙම කෝපයත්, නුරුස්සනබවත් යොමු වෙන්නේ තමාටම යයි දෙමාපියෙකුට හැඟීම පහසු දෙයක් වුවත්, මෙම දරුවන්ට තමන්ගේ අධික වෙහෙස තවත් දරාගත නොහැකි තත්වයට පැමිණෙන විට, ඉන්පසුව අවබෝධ කිරීමේ (කාරණා විමර්ශනය කිරීමේ) හැකියාව ඔවුන්ට අහිමි වන බව වටහාගැනීම අත්‍යවශ්‍ය වේ. එනිසා තීක්ෂ්ණ බුද්ධිය ඇතුව කටයුතු කිරීම වැදගත්ය. (හිතෝපදේශ 19:11) ජිමි සම්බන්ධයෙන් ගත් කල, සූසන් නිහඬව ඉඳ ඇගේ පුතාට තමාවම පාලනය කරගැනීමට කාලයට ඉඩ දීමෙන් තත්වය සන්සුන් කරන්ට තිබුණා, ඇතැම්විට පසු වේලාවක දවසේ සිදුවීම් සාකච්ඡා කිරීමට ඔවුන්ට හැකිවන්ට ඇති.
අධික-වෙහෙසට පත්වූ දරුවන්
නවීන ලෝකයට බලපාන්නාවූ විශාල ගැටලු, පීඩන සහ කාන්සාවලට මීට කලින් කිසි දිනක මිනිස් පවුලට මුහුණ දීමට සිදුවී නැත. කාලවල් වෙනස් වී ඇත, අවශ්‍යතා වඩා ප්‍රබල වී ඇත, එමෙන්ම දරුවන්ගෙන් අධික සේ අපේක්ෂා කෙරේ. මෙම ප්රශ්නය සම්බන්ධයෙන්, ගුඩ් කිඩ්ස්, බෑඩ් බිහේවියර් නමැති පොත මෙලෙස තොරතුරු දක්වයි: “දරුවන් අද්දකිමින් සිටිනවා යයි කිව හැකි ගැටලු බොහොමයකට හේතුව හෝ බලපෑම ඇති විය හැක්කේ, වෙනස් වෙමින් පවතින සමාජ බලාපොරොත්තු මගිනි.” ADD/ADHD ඇති දරුවන්ට, පාසැල වනාහි ඉතා අප්‍රසන්න දෙයක් විය හැකිය. තමන්ගේම නොසෑහීම් සමඟ කටයුතු කිරීමට ඔවුන් වෙර දරන අතරතුරේදී, සතුරුවාදී මෙන්ම භයානක මෙන් පෙනෙන්ට තිබිය හැකි වාතාවරණයක වේගයෙන් වෙනස් වෙමින් පවතින හදිසි තාක්ෂණික දියුණුවීම් රැසකට සකස්වීමට ඔවුන්ට බල කෙරේ, මෙය ඔවුන්ගේ කාන්සාව තවත් වැඩි කරවයි. චිත්තවේගීය අතින්, මෙම ගැටලු සියල්ලක්ම හැසිරවීමට දරුවෝ ඉතා නොමේරූ තත්වයක සිටිත්. ඔවුන්ට තමන්ගේ දෙමව්පියන්ගේ උපකාරය අවශ්‍ය වේ.
එකඟ නොවීම් අඩු කරන්න
වඩාත් සන්තෝෂවත්, සෞඛ්‍යසම්පන්න දරුවන් ඇතිව සිටීමට නම්, පිළිවෙළකින් මෙන්ම, ස්ථිරත්වයකින් යුත් වාතාවරණයක් සැපයීම වැදගත් වේ. නිවස තුළ එකඟ නොවීම් අඩු කිරීම සඳහා සරල කරන ලද ජීවිත-රටාවකින් ආරම්භ කිරීම බලපෑමෙන් යුක්ත යෝජනාවක් විය හැක. මෙම දරුවන් ක්ෂණික ආවේගයෙන් ක්‍රියා කරන, පහසුවෙන් අවධානය වෙනතකට යොමු කළ හැකි, මෙන්ම පමණට වඩා ක්‍රියාශීලී අය වන හෙයින්, වුවමනාවට වඩා වැඩි උනන්දුවකින් යුක්තව ක්‍රියා කිරීමේ නිෂේධාත්මක බලපෑම අඩු කිරීම අවශ්‍ය වේ. එක වතාවකට එබඳු දරුවන්ට සෙල්ලම් කිරීමට ලැබෙන සෙල්ලම් බඩුවල ප්‍රමාණය අඩු කරන්න. වරකට එක් ගෙදර දොර කටයුත්තක හෝ ව්‍යාපෘතියක අවසානය දක්වා නියැලීමට වෙර දරන්න. මෙම දරුවන් බොහෝවිට, අවුල් වියවුල් සහිතභාවයක් විදහාපාන නිසා, සංවිධානාත්මක වීම නිෂ්ඵලභාවය අඩු කරයි. ඔවුන්ට හසුරුවන්ට තිබෙන දේවල ගණන අඩු කිරීම, ඒවා ලබාගැනීමට පහසු තැනක තැබීම යනාදිය, වඩා වැදගත් දේවල් හැසිරවීමට ඔවුන්ට වඩාත් පහසු කරයි.
නිවස තුළ අධික පීඩනය අඩු කිරීමට තවත් බලපෑමෙන් යුක්ත ක්‍රමයක් වනුයේ, දරුවන්ට ස්ථිරභාවයේ හැඟීමක් ලබා දෙන, සැලසුම් කරන ලද, නමුත් දැඩි නොවන දිනචර්යාවක් ක්‍රියාවෙහි යොදවාගැනීමය. දේවල් සිදුවිය යුතු පිළිවෙළ, එනම් අනුක්‍රමයට වඩා වේලාව වැදගත් වන්නේ නැත. මතු සඳහන බඳු ප්‍රායෝගික යෝජනා අදාළ කිරීමෙන් මෙය ඉටු කළ හැකිය. සරල හොඳින්-සමබර වූ ආහාර වේල් සහ රසකැවිලි විධිමත්ව දීමෙන් නියම පෝෂණය සපයන්න. ඇඳට යෑමට පෙර කරන්න තිබෙන දේවල් උණුසුම්, ප්‍රේමනීය මෙන්ම සනීපදායි ආකාරයකින් සිදු කිරීමට සකස් කරන්න. ඉතා ක්‍රියාශීලී දරුවන්ට සාප්පු යෑමේ ගමන්වලින් පමණට වඩා වැඩි උනන්දුවක් ලැබිය හැක, එනිසා කලින් සැලසුම් කිරීමෙන් වුවමනාවට වඩා වැඩි සාප්පු ගණනකට යෑමෙන් වළකින්න. එමෙන්ම විනෝද ගමනක් යන විට, ඔබ බලාපොරොත්තු වන්නේ කිනම් ආකාරයේ හැසිරීමදැයි දරුවාට පැහැදිලි කරන්න. විශේෂිත අවශ්‍යතා ඇති දරුවාට තම ක්ෂණික ආවේගාත්මක චර්යාව පාලනය කිරීම සඳහා නියමිත දිනචර්යාවන් උපකාරවත් වෙයි. තවදුරටත් ඊළඟට ඔහු කුමක් කරයිද කියා දෙමව්පියෙකුට කීමටත් එමගින් හැකි වේ.
යම් සැලැස්මක් සිතේ තබාගෙන නීති පද්ධතියක් සකස් කරගැනීමත්, වෙනස් කළ නොහැකි නීති කැඩීමෙන් ඇතිවන ප්‍රතිඵල ඊට ඇතුළත් කිරීමත්, ප්‍රයෝජනවත් වේ. වෙනස් නොවන මෙන්ම කලත්‍රයන් දෙදෙනා පිළිගන්නාවූ, පැහැදිලි කරන ලද නීති, දරුවන් හට පිළිගත හැකි හැසිරීමේ සීමාන්තරයන් වේ—තවද ඒවා වගකියයුතුභාවය උගන්වයි. අවශ්‍ය නම් (දරුවාට මෙන්ම, දෙමව්පියාටත් මතක්වීම සඳහා) හොඳින් පෙනෙන ස්ථානයක නීති ලැයිස්තුවක් අලවා තබන්න. චිත්තවේගීය සුරක්ෂිතභාවයේ හැඟීම ලබා දෙන ප්‍රධාන දෙය වනුයේ අනුකූලතාවයි.
දරුවෙකු වඩා කැමැත්තක් දක්වන දේවල්, එනම් ඔහු කැමති අකමැති දේ තේරුම්ගැනීමත්, ඒවාට සකස්වීමත් නිවස තුළ අනවශ්‍ය පීඩනය තුරන් කිරීමට ඉතා ප්‍රයෝජනවත් විය හැකිය. අස්ථිරභාවය දැක්වීම සහ ක්ෂණික ආවේගවලට අනුව ක්‍රියා කිරීම බොහෝවිට මෙම දරුවන්ගේ විශේෂ ස්වභාවය වන හෙයින්, වෙනත් දරුවන් සමඟ අන්‍යොන්‍ය සබඳතා පැවැත්වීම ඔවුන්ට ඉතා දුෂ්කර අද්දැකීමක් විය හැකිය. විශේෂයෙන් සෙල්ලම් බඩු වැනි දෑ රණ්ඩුවක් හටගැනීමට විශේෂිත අවස්ථාවක් විය හැකිය, එනිසා එබඳු දරුවන් ප්‍රියතම දේවල් තෝරාගැනීමේදී බෙදාගත හැකි ඒවා තෝරාගැනීමට දෙමව්පියන් ඉඩහැරිය යුතුය. තවදුරටත්, ඔවුන්ට සෙල්ලම් කිරීම සඳහා ළමුන් ස්වල්පදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබා දීමෙන් හා ප්‍රමාණය ඉක්මවා කැළඹීම ඇති නොකරන කටයුතු සකස් කිරීමෙන්, ඔවුන්ගේ උත්තේජනීය මට්ටම පාලනය කිරීම මෙන්ම, ඔවුන්ගේ පහත් සංවේදනීය අවස්ථාව පාලනය කිරීමට උපකාරවත් වීමටද හැක.
සෑම දරුවෙකුටම ඔහුගේ හෝ ඇගේම ක්‍රමයට අනුව වැඩීමට ඉඩහැරීමත්, අනවශ්‍ය ආකෘතියකට දරුවාව සකස් කිරීමෙන් හෝ හැඩගැස්වීමෙන් වැළකීමත්, දෙමව්පියන් සැලකිය යුතු වැදගත් දෙයකි. දරුවෙකු යම් කෑම ජාතියක් හෝ ඇඳුමක් අප්‍රිය කළා නම්, එය ඉවත් කරන්න. කේන්තිය හටගැනීමට සලස්වන මෙම සුළු කාරණා ගැන විවාද කිරීම කිසිසේත් වටින්නේ නැත. එසේනම්, සෑම දෙයක්ම පාලනය කිරීමට වෑයම් කිරීමෙන් වළකින්න. සමබර වන්න, නමුත් ක්‍රිස්තියානි පවුලකට සුදුසු කුමක්ද යන්න සම්බන්ධයෙන් තීරණගනු ලබන විට, ඒවාට ඇලී සිටින්න.
හැසිරීම පාලනය කිරීම
ඊළඟට කුමක් කරාවිද කියා කලින් කිව නොහැකි දරුවන්ට බොහෝදුරට ඉහළ මට්ටමක හැසිරවීමක් අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම දරුවන්ව නිතර නිතර හික්මවීමට සිදුවන විට, බොහෝ දෙමව්පියෝ වරදසහිතභාවයේ හැඟීම්වලින් පීඩා විඳිති. කෙසේවෙතත්, හික්මවීම හා අනිසි පීඩනය අතර වෙනස වටහාගැනීම වැදගත් වේ. එ ෆයින් ලයින්—වෙන් ඩිසිප්ලින් බිකම්ස් චයිල්ඩ් එබ්යූස් නමැති පොතට අනුව, වාර්තා වී තිබෙන පරිදි සියලු ආකාර ශාරීරික අනිසි පීඩනයෙන් සියයට 21ක්ම සිදුවන්නේ දරුවන් කලහකාරි ලෙස හැසිරෙන විටය. එබැවින්, ADD/ADHD දරුවන් “ශාරීරික අනිසි පීඩනය හා නොසැලකිල්ල ලැබීමේ වැඩි අවදානමක” සිටින බව පර්යේෂණ මගින් නිගමනය කෙරේ. විශේෂිත අවශ්‍යතා ඇති දරුවන් ඇති දැඩි කිරීම වෙහෙසකාරි දෙයක් බව ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි, නමුත් ඔවුන් ඇති දැඩි කිරීම සෞඛ්‍යසම්පන්න මෙන්ම සමබර ආකාරයකින් කළ යුතුය. සාමාන්‍යයෙන් මෙම දරුවන් ඉතා දක්ෂ මෙන්ම නිර්මාණාත්මක වන හෙයින්, කාරණා සලකා බැලීමට අවශ්‍ය කරවන තත්වයන් හසුරුවන දෙමව්පියන්ට ඔවුහු අභියෝගයක් වෙති. එබඳු දරුවන්ට දෙමව්පියෙකුගේ ඉතා බුද්ධිමත් තර්ක කිරීමේ ක්රමයේ පවා දෝෂයක් පෙන්වා දී එය ප්‍රශ්නයක් කරගැනීමට හැකියාවක් තිබේ. ඔවුන්ට එසේ කිරීමට ඉඩ නොහරින්න! දෙමාපියෙකු වශයෙන් ඔබට තිබෙන බලය පවත්වාගන්න.
මිත්‍රශීලී ආකාරයකින්, නමුත් ස්ථිර ලෙස, කෙටියෙන් පැහැදිලි කිරීම් කරන්න; වෙනත් වචනවලින් කියනවා නම්, වුවමනාවට වඩා වැඩියෙන් පැහැදිලි නොකරන්න, එමෙන්ම වෙනස් කළ නොහැකි නීති වෙනස් නොකරන්න. ඔබගේ “එසේය,” එසේය කියා අදහස් කිරීමටත් ඔබගේ “නැත” නැත කියා අදහස් කිරීමටත්, සලස්වන්න. (සසඳන්න මතෙව් 5:37.) දරුවෝ උපාය දක්ෂයෝ නොවෙති; එබැවින් ඔවුන් සමඟ සාකච්ඡා කිරීම විවාදවලට, කෝපයට සහ නිෂ්ඵලභාවයටත් මඟ පෑදිය හැක, තවද කෑගැසීමටත් සැහැසියාව දක්වාත් වර්ධනය විය හැකිය. (එපීස 4:31) සමානාකාරයකින්, ප්‍රමාණයට වඩා වැඩියෙන් අනතුරු ඇඟවීමෙන් වළකින්න. හික්මවීම දීමට අවශ්‍ය නම්, කල් නොයවා එය දිය යුතුයි. රේසිං පොසිටිව් කිඩ්ස් ඉන් ඒ නෙගටිව් වර්ල්ඩ් නමැති පොත මෙලෙස උනන්දු කරයි: “සන්සුන්ව, විශ්වාසයෙන් යුක්තව එමෙන්ම ස්ථිරව—බලය පවත්වාගැනීමට ඇතුළත් වන්නේ එයයි.” තවදුරටත්, ද ජර්මන් ට්රිබ්යූන්හි අඩංගු අනර්ඝ යෝජනා සලකා බලන්න: “හැමවිටම දරුවෙකුගේ අවධානය අල්ලාගත හැකි ආකාරයකින් ඔහු සමඟ කතා කරන්න: නිතරම ඔහුගේ නම භාවිත කරන්න, ඇස් දෙස බලමින් කතා කරන්න, එමෙන්ම සරල භාෂාව භාවිත කරන්න.”
අනිසි පීඩනය සිදුවන්නේ දෙමව්පියන්ට තමන්වම පාලනය කරගැනීමට නොහැකි වන විටය. දෙමව්පියෙකු කෑගසනවා නම්, ඔහු හෝ ඇය ඒ වන විටත් තමාව පාලනය කරගැනීමට නොහැකිව සිටියි. හිතෝපදේශ 15වන පරිච්ඡේදයේ දරුවන් ඇති-දැඩි කිරීම සහ හික්මවීම යන කාරණය ගැන සඳහන් වෙයි. නිදසුනක් වශයෙන් 4වන පදය මෙසේ ප්‍රකාශ කරයි: “ශාන්තිදායක දිව ජීවන වෘක්ෂයක්ය; එහෙත් එහි වංචාව ආත්මය පොඩි කිරීමක්ය”; 18වන පදය: “තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා [කෝප වීමට ප්‍රමාද වන්නා, NW] ඩබරය සන්සිඳුවයි”; සහ අවසාන වශයෙන් 28වන පදය: “ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි [මෙනෙහි කරයි, NW]; එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරුකම් වගුරුවයි.” එබැවින්, අප කියන්ට යන්නේ කුමක්ද යන්න ගැන පමණක් නොව, නමුත් අප එය කියන ආකාරයත් අවබෝධ කරගැනීම වැදගත් වේ.
දෝෂාරෝපණය නොව, ප්‍රශංසා කිරීම
ඇති දැඩි කිරීමට අමාරු දරුවන් නිර්මාණාත්මක, අමුතු සහ උන්මාදයෙන් මෙන් පවා දේවල් කරන බැවින්, දෝෂාරෝපණය කිරීමට, සමච්චල් කිරීමට, බැණවැදීමට සහ කෝපයෙන් පහර දීමට, දෙමව්පියෝ පහසුවෙන් නැඹුරු වෙත්. කෙසේවෙතත්, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන් බයිබලයට අනුව එපීස 6:4හි දෙමව්පියන්ට උපදෙස් දෙනු ලබන්නේ දරුවන්ව “ක්‍රිස්තියානි හික්මවීම සහ උපදෙස්” සමඟින් ඇති දැඩි කිරීමටයි. යේසුස්වහන්සේ වැරදි කළ අයට හික්මවීම ලබා දුන්නේ කෙසේද? යේසුස්වහන්සේ මිනිසුන්ට පුහුණුවත්, ඉගැන්වීමත් ලබා දුන් උපදේශාත්මක හික්මවීම භාවිත කළසේක, තවද ඔවුන් සමඟ සාධාරණ මෙන්ම, ස්ථිර ආකාරයකින් කටයුතු කළසේක. හික්මවීම ක්‍රියාවලියකි, දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී, බොහෝවිට මෙය නැවත නැවත කළ යුතු, උපදෙස් ලබා දීමේ ක්රමයකි.—1992 සැප්තැම්බර් 8 එවේක්!හි, “බයිබලයේ දෘෂ්ටි කෝණය . . . ‘ද රොඩ් ඔෆ් ඩිසිප්ලින්’—ඉස් ඉට් අවුට්-ඔෆ්-ඩේට්?,” යන ලිපිය බලන්න.
සුදුසු හික්මවීම, විශ්වාසයේ, උණුසුම්භාවයේ සහ ස්ථිරත්වයේ වාතාවරණයක් සකස් කරයි; එබැවින්, හික්මවීම අවශ්‍ය වන විට, හේතුව පැහැදිලි කිරීමෙන් පසුව එය දිය යුතු වේ. දරුවන් පුහුණු කිරීමේදී ක්ෂණික විසඳුම් ලැබෙන්නේ නැත, මන්දයත් කල් ගතවීමත් සමඟම දරුවන් ක්‍රමානුකූලව ඉගෙනගන්නා බැවිනි. ඕනෑම දරුවෙකු, විශේෂයෙන් ඇති දැඩි කිරීමට අමාරු දරුවෙකු, ඇති දැඩි කිරීම සඳහා සැලකිල්ල සහ ප්‍රේමය ඉතා අධික ලෙස දැක්වීම අවශ්‍ය වේ, තවද කාලය සහ වැඩ බොහොමයක් ඊට ඇතුළත් වේ. මතු සඳහන් වන කුඩා කියමන මතක තබාගැනීම උපකාරවත් විය හැක: “ඔබ අදහස් කරන දෙය කියන්න, ඔබ කියන දෙය අදහස් කරන්න, එමෙන්ම ඔබ කරන බවට පොරොන්දු වන දෙය කරන්න.”
කරදරකාරි චර්යාවක් සහිත දරුවන් සමඟ කටයුතු කිරීමේදී අධික නිෂ්ඵලබවක් ඇති කරන එක් පාර්ශ්වයක් වනුයේ අවධානය ලබාගැනීම සඳහා ඔවුන්ට තිබෙන අධිකතර ආශාවයි. නිතරම පාහේ ඔවුන්ට ලැබෙන අවධානය ඒකාන්ත වීම වෙනුවට නිෂේධාත්මක වේ. කෙසේවෙතත්, හොඳ හැසිරීම හෝ හොඳින් කරන ලද වැඩක් දැකීමටත්, ප්‍රශංසා කිරීමටත් ඉක්මන් වන්න. දරුවෙකුට මෙය ඉතාමත්ම දිරිගන්වන දෙයකි. මුලදී ඔබගේ වෑයම් අතිශයෝක්තියක් මෙන් පෙනෙන්ට හැක, එහෙත් ලැබෙන ප්‍රතිඵලය වෑයමට හොඳින් වටී. දරුවන්ට කුඩා නමුත් ක්ෂණික දීමනා අවශ්‍ය වේ.
ග්‍රෙග් සමඟ පියෙකුගේ අද්දැකීම
“අපගේ පුතා ග්‍රෙග්ට ADHD තිබෙන බවට වයස අවුරුදු පහේදී රෝග නිර්ණය කරනු ලැබුවා, එවිට ඔහු බාලාංශයේ සිටියා. ඒ අවස්ථාවේදී අපි ළමා වර්ධනය සම්බන්ධ වෛද්‍යවරයෙකු වෙතට ගිය අතර, ග්‍රෙග්ට ස්ථිර වශයෙන්ම ADHD තිබූ බවට ඔහු අපට තහවුරු කළා. ‘එය ඔහුගේ වරදවත් ඔබගේ වරදවත් නොවෙයි. ඔහුට එය වළක්වන්ට බැහැ, නමුත් ඔබට පුළුවන්,’ යයි ඔහු අපට පැවසුවා.
“වෛද්‍යවරයාගේ එම වචන ගැන අපි බොහෝවිට කල්පනා කරනවා, මන්දයත් අපේ පුතාට ඔහුගේ ADHD ගැටලුව සමඟ සාර්ථකව කටයුතු කිරීමට දෙමව්පියන් වශයෙන් අපට විශාල වගකීමක් තිබෙන බව, ඒවා අපට සිහිගන්වනවා. එදින වෛද්‍යවරයා අපව නිවස බලා පිටත් කළේ, කියවීම සඳහා පොත් පත් සමඟිනි, එමෙන්ම පසුගිය වසර තුන තුළ අප ලබා තිබෙන දැනුම ග්‍රෙග් කෙරෙහි අපගේ දෙමාපිය වගකීම් ඉටු කිරීමෙහිලා ඉතා වැදගත් වී ඇත.
“ADHD දරුවෙකු ඇති දැඩි කිරීමේදී යෝග්‍ය හැසිරීම සඳහා දිරිගැන්වීමටත්, එමෙන්ම වැරදි හැසිරීම සඳහා අනතුරු ඇඟවීම් සහ අවශ්‍ය නම්, දඬුවමක් ලබා දීමත් ඉතා වැදගත් වේ. ඔබ කොතරම් දුරට සැලැස්මක් සිතේ තබාගෙන වෙනස් කිරීම් නොකර වැඩ කරනවාද, ඔබ දකින්ට යන ප්‍රතිඵලය වඩාත් හොඳ වනු ඇත. මෙම සරල ප්‍රකාශයන් ඇතැම්විට ADHD දරුවෙකු සාර්ථකව ඇති දැඩි කිරීම සඳහා ප්‍රධාන සාධක විය හැකිය. එසේවුවත්, දිනකට එතරම් බොහෝ වාර ගණනක් එසේ කිරීමට ඔබට සිදුවන හෙයින්, එය කතා කිරීම තරම්ම පහසු දෙයක් නොවෙයි.
“වඩාත්ම බලපෑමෙන් යුක්ත යයි අප විසින් සොයාගෙන තිබෙන ක්‍රමයක් නම්, විවේකගැනීමයි. වැරදි හැසිරීමක් වෙනස් කිරීම සඳහා අප විවේක කාලය භාවිත කරන විට, වඩාත් ඒකාන්ත හැසිරීමට අනුබල දීම සඳහා දිරිගැන්වීමේ වැඩසටහනක්ද අප පටන්ගන්නවා. මෙම දිරිගැන්වීමට, අනුමැතිය පිළිබිඹු කරන වචනයක්, වඩාගැනීම හෝ තෑග්ගක් හෝ වරප්‍රසාදයක් පවා ඇතුළත් විය හැකිය. අපි සාප්පුවකට ගොස් ස්ටිකර් ඇලවීම සඳහා සටහන් පතක් මිල දී ගත්තා. යෝග්‍ය හැසිරීම කුමක්ද කියා අපි උඩින් ලියුවා. ග්‍රෙග් යෝග්‍ය සේ හැසිරෙන සෑම විටකදීම, ඔහුගේ සටහන් පතේ ඇලවීම සඳහා අපි ඔහුට ස්ටිකර් එකක් දෙනවා. සටහන් පත පිරුණු විට, එනම් ස්ටිකර් 20කින් පමණ පිරුණු විට, ඔහුට විපාකයක් ලැබෙයි. මෙය බොහෝවිට උයනකට යෑම වැනි, ඔහු කිරීමට සැබවින්ම ප්‍රිය කරන දෙයකි. එය උපකාරවත් වන්නේ මන්දයත්, හොඳින් හැසිරීමට ඔහුව පොලඹවන නිසාය. ඔහු ස්ටිකර් ටික අලවන අතර, තමා කොතරම් සාර්ථක වනවාද කියාත්, විපාකයට තමා කොතරම් ළං වෙලාද කියාත්, දැකගැනීමට ඔහුට හැකි වෙයි.
“බලපෑමෙන් යුක්ත බවට අප විසින් සොයාගෙන තිබෙන තවත් ක්‍රමයක් වනුයේ ග්‍රෙග්ට තෝරාගැනීමට අවස්ථාවක් ලබා දීමයි. කෙළින්ම අණ කිරීම වෙනුවට, අපි ඔහුට තේරීමක් දෙනවා. යෝග්‍ය හැසිරීම හෝ තර්කානුකූල විපාකය අතර ඔහුට තෝරාගත හැකිය. මෙය වගකිවයුතුභාවයත් හරි තීරණගැනීමත් උගන්වයි. සාප්පුවකදී හෝ ආපන ශාලාවකදී නුසුදුසු සේ හැසිරීම බඳු, දිගටම ගැටලුවක්ව පවතින යමකට නම්, විපාකයක් සහිත ස්ටිකර් සටහන අපට භාවිත කළ හැකිය. එමගින් යෝග්‍ය හැසිරීමෙහි ප්‍රයෝජනයක් තිබෙන බව ඔහු දකියි, එමෙන්ම ඔහුගේ දියුණුවීම අපි පිළිගන්න බව අපි පෙන්වනවා.
“දරුවෙකුට ඔහුගේ හෝ ඇගේ හැසිරීම සහ ප්රතිචාරයන් හැසිරවීමේ හැකියාවට ADHD බලපාන බව බොහෝදෙනෙක් නොදැන සිටිත්. බොහෝදෙනෙක් කල්පනා කරන්නේ, මෙම දරුවන් වඩා වැඩි ප්රයත්නයක් දැරුවා නම්, ඔවුන් අවධානය යොමු කරන කාල ප්‍රමාණය මෙන්ම, ඔවුන්ගේ හැසිරීම පාලනය කළ හැකිය කියාය, ඔවුන් අසමත් වන විට, දෙමව්පියන් මත දොස් තබනු ලැබේ.
“ADHD දරුවෙකුට රාජ්‍යය ශාලාවේදී සභා රැස්වීමකට පැය දෙකකට වාඩි වී සිටීම, කායික වශයෙන් නොහැකි දෙයකි. වයස අවුරුදු පහක් පමණක් වූ විට සෑම රැස්වීමකට පෙර ‘මේ රැස්වීමට ගොඩාක් වෙලාවක් යනවාද ටික වෙලාවක් යනවාද?’ කියා ග්‍රෙග් අඬමින් අපගෙන් ඇසූ ආකාරය අපට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එය පැය දෙකක රැස්වීමක් වූ විට ඔහු බොහෝ සේ ඇඬුවා, මන්දයත් එතරම් දීර්ඝ වේලාවකට ඔහුට සන්සුන්ව වාඩි වී සිටීමට නොහැකි බව ඔහු දැන සිටියා. මෙම අක්‍රමිකතාවත්, එමගින් ඇති කරන සීමාවන්ටත්, අප ඉඩහැරිය යුතුය. කිසිම කෙනෙකුට වඩා වැඩියෙන් යෙහෝවඃවහන්සේ මෙම අක්රමිකතාව වටහාගන්න බව අප දන්නවා, මෙය අපට සහනයකි. දැනට ග්‍රෙග් වෛද්‍ය ප්‍රතිකාර ලබන්නේ නැති අතර, සාමාන්‍ය ශිෂ්‍යයෙක් මෙන් කටයුතු කරමින් සිටියි.
“යෙහෝවඃ වහන්සේව අපගේ බලාපොරොත්තුව කරගැනීමත්, නව ලොව කෙරෙහි අපගේ නෙත් යොමු කර තැබීමත්, අපට ශක්තියක් වෙයි. දැනටමත් ග්‍රෙග්ට අපගේ බලාපොරොත්තුව බොහොමයක් අදහස් කරයි. පාරාදීස පොළොවේදී යෙහෝවඃවහන්සේ විසින් ADHD තුරන් කරනු ලැබීම ගැන ඔහු කල්පනා කරන විට, ඔහු සැබවින්ම ප්‍රබෝධවත් වෙනවා, ඔහුගේ නෙත්වල කඳුළු පවා මතු වෙනවා.” g94 11/22
[9වන පිටුවේ කොටුව]
හොඳ හැසිරීම සඳහා දිය හැකි විපාක:
1. ප්‍රශංසාව—හොඳින් ඉටු කරන ලද කටයුත්තක් සඳහා වාචික ප්‍රශංසාව; හොඳ හැසිරීම සඳහා ප්‍රකාශිත අගය කිරීම සමඟ මුහුණේ ඉරියව්වල ප්‍රේමය, වැළඳගැනීම සහ උණුසුම්භාවය ප්‍රකාශ කිරීම.
2. සටහන් ක්‍රමය—හොඳ හැසිරීමට දිරිගැන්වීම සඳහා, ආකර්ෂණීය ස්ටිකර් හෝ තරු සමඟින් පෙනෙන තැනක තබා තිබේ.
3. හොඳ දේවල ලැයිස්තුවක්—ඉටුකර තිබෙන පිළිගත හැකි මෙන්ම ප්‍රශංසාකටයුතු දෑ සම්බන්ධයෙන්. මුලදී කොතරම් සරල දෙයක් වුවත්, දරුවා යමක් හොඳින් ඉටු කරන සෑම අවස්ථාවකදීම, එය ලියා තබා පවුලේ සාමාජිකයෙකුට කියවන්න.
4. චර්යා ප්‍රකාශකය—දරුවාගේ වයස අනුව, ඔහු යමක් හොඳින් කරන විට බෝතලයකට සීනි බෝල දැමීම (දෘශ්‍යමාන දිරිගැන්වීම). ඉලක්කය වනුයේ, චිත්‍රපටියක් නැරඹීමට යෑම, පන්දු ක්‍රීඩාවක් කිරීම හෝ ආපන ශාලාවක කෑමකට යෑම වැනි මුළු පවුලටම කරන්න නියම වූ යම් දෙයක හවුල්වීමේ විපාකය සඳහා ලකුණු උපයාගැනීමේ පිළිවෙළක් පිහිටුවාගැනීමය. “ඔයා හොඳින් හැසිරුණේ නැත්නම් අපි යන්නේ නැහැ,” යනුවෙන් දරුවාට අවධාරණය කිරීම වෙනුවට, මෙසේ කියා බලන්න: “ඔයා හොඳින් හැසිරුණොත්, අපි යනවා.” ප්‍රධාන දෙය වනුයේ, වෙනසක් සිදුවීම සඳහා සාධාරණ කාලයකට ඉඩහැර, නිෂේධාත්මක කල්පනා කිරීම ඒකාන්ත කල්පනා කිරීමට හැරවීමයි.
[7වන පිටුවේ පින්තූරය]
ඇතැම් අවස්ථාවලදී සාකච්ඡා චිත්තවේගීය ලෙස ඇවිලිය හැකිය
[8වන පිටුවේ පින්තූරය]
තීරණගන්න විට, ඒවා පැහැදිලි කර දී, ඒවාට ඇලී සිටින්න
[10වන පිටුවේ පින්තූරය]
ඔහුගේ සටහන් පතට ඔහු ආඩම්බරයෙන් අලුත් ස්ටිකරයක් එකතු කරයි