බයිබලයේ දෘෂ්ටි කෝණය
දෙවියන්වහන්සේ විපාක දෙනසේක්ද?
එසේය, උන්වහන්සේ එසේ කරනසේක. එමනිසා, විපාකයක් ලැබීමේ අදහසින් දෙවියන්වහන්සේට සේවය කිරීම ආත්මාර්ථකාමීකමක්ද? නැත, මන්ද උන්වහන්සේම ඇදහිලිවන්ත සේවකයන් ඉදිරියේ ස්වකීය විපාක තබන නිසාය. ඇරත්, යුක්තියේ සහ ප්‍රේමයේ දෙවිකෙනෙකු වශයෙන්, යෙහෝවඃවහන්සේට සේවය කරන අයට විපාක දීමට උන්වහන්සේම බැඳී සිටිනසේක. හෙබ්‍රෙව් 11:6හි කොටසක, උන්වහන්සේගේ වචනය මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ වෙත එළඹෙන මනුෂ්‍යයා දේවල් දෙකක් කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුයි, එනම් පළමුව දෙවියන්වහන්සේ පවතින බවත්, දෙවනුව දෙවියන්වහන්සේව සොයන අයට උන්වහන්සේ විපාක දෙන බවත්ය.”—ෆිලිප්ස්.
දෙවියන්වහන්සේ කෙරෙහි අව්‍යාජ ඇදහිල්ලක් පෙන්නුම් කිරීමෙන් උන්වහන්සේගේ මිත්‍රත්වය ලැබෙන අතර, මෙම මිත්‍රත්වය විපාකයකට මඟ පාදයි. දෙවියන්වහන්සේගේ අනුග්‍රහය උනන්දුවෙන් සොයන්නන්ට උන්වහන්සේ ආශීර්වාද කරනසේක.
විපාක වනාහි ප්‍රේමයේ ක්‍රියා වේ
යෙහෝවඃවහන්සේට ප්‍රේම කරන අයට උන්වහන්සේ විපාක දෙන දෙවිකෙනෙකු බව අප දැනගැනීම උන්වහන්සේට වුවමනා කෙරේ. උදාහරණයක් ලෙස, සැලකිලිමත් දෙමව්පියෝ, තමන් වෙනුවෙන් දක්වන ප්‍රේමය හේතුකොටගෙන ගෙදර දොරේ වැඩකටයුතු කැමැත්තෙන්ම කරන දරුවෙකුට විපාක දීමට යම් ක්‍රම සොයති. දෙමව්පියන් විශේෂ ත්‍යාගයක් පිරිනමමින් නිකම්ම ජීවිතයේ අවශ්‍යතාවන්ට වඩා වැඩියෙන් සපයනවා විය හැක. දරුවාට අනාගත සුරක්ෂිතභාවයක් සැපයීම සඳහා බැංකුවේ තැන්පත් කිරීමට මුදල් පවා දීම සමහරවිට ත්‍යාගය විය හැකිය. මෙබැවින්, දෙවියන්වහන්සේ, ප්‍රේමය හෝ පක්ෂපාතිත්වය කරණකොටගෙන දේවල් කරන අය සඳහා, අගය හෝ සැලකිලිමත්කම නොදක්වන ජනයා මෙන් නොවේ. යෙහෝවඃවහන්සේ උණුවන හදවතක් ඇති, ස්වකීය මිතුරන් වෙත ළංවන දෙවිකෙනෙකි. ඔබ උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිර කරගන්නෙහි නම්, උන්වහන්සේ “කිසිසේත් නුඹෙන් අහක්ව නො[යනසේක], කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරි[නසේක].”—හෙබ්‍රෙව් 13:5.
දෙවියන්වහන්සේට සේවය කරන සියලුදෙනාටම, සුළුවෙන් හෝ සේවය කරන අයට පවා, උන්වහන්සේ තවදුරටත් තමන්වහන්සේව දැනගැනීමට ප්‍රස්තා සලසමින්, අගය හා අනුග්‍රහය දක්වනසේක. මතෙව් 10:40-42හි යේසුස්වහන්සේගේ වදන්, මෙම කාරණය මෙසේ විස්තර කරයි: “නුඹලා පිළිගන්නා මා පිළිගන්නේය, මා පිළිගන්නා මා එවූ තැනැන්වහන්සේ පිළිගන්නේය. අනාගතවක්තෘ කෙනෙක් නිසාම අනාගතවක්තෘ කෙනෙකු පිළිගන්නාට අනාගතවක්තෘ කෙනෙකුගේ විපාකය ලැබේ; ධර්මිෂ්ඨයෙක් නිසාම ධර්මිෂ්ඨයෙකු පිළිගන්නාට ධර්මිෂ්ඨයෙකුගේ විපාකය ලැබේ. යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමි.”
යේසුස්වහන්සේව එවනු ලැබුවේ සිය පියාණන් වන යෙහෝවඃවහන්සේ විසිනි. මෙබැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්—එනම් ඔවුන් අනාගතවක්තෘවරුන්, ධර්මිෂ්ඨ මිනිසුන් හෝ කුඩා දරුවන් වුවත්—සාදරයෙන් පිළිගන්නා පුද්ගලයෙක්, ක්‍රිස්තුස්වහන්සේව මෙන්ම උන්වහන්සේව එවන ලද දෙවියන්වහන්සේව පිළිගන්නේය. එම පුද්ගලයා ආශීර්වාද ලබන බවට නිසැකය; ඔහුට විපාක නොදී නොහරිනු ඇත. ඔහුගේ වස්තු මංජුසාව ආත්මික දායාදවලින් පිරී යනු ඇත. ඒ මන්ද? යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් ඉදිරිපත් කළ ඉතා සුළු සේවාව පවා උන්වහන්සේට මතක තිබෙන අතර, එම ක්‍රියාවට විපාක නොදී නොසිටිනු ඇති බැවිනි.—හෙබ්‍රෙව් 6:10.
“අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුව; එබැවින් අපට ලැබෙන්නේ කුමක්දැයි,” යනුවෙන් යේසුස්වහන්සේගේ ගෝලයෙකු වන පේතෘස්, තමාට සහ තම සෙසු ප්‍රේරිතයන්ට විපාකයක් තිබේදැයි යේසුස්වහන්සේගෙන් කෙළින්ම ඇසීම සැලකිය යුතු කරුණකි. (මතෙව් 19:27) යේසුස්වහන්සේ ප්රශ්නය යෝග්‍ය නොවන බවක් නොසැලකූසේක, නමුත් මෙවැනි ඒකාන්ත පිළිතුරක් දුන්සේක: “මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ යමෙක් ඇද්ද, ඔහු සියක් ගුණයක් ලබන්නේය, සදාකාල ජීවනයටත් උරුමක්කාරයා වන්නේය.”—මතෙව් 19:29.
වත්මන් සහ අනාගත විපාක
යේසුස්වහන්සේ දුන් පිළිතුරෙන් උන්වහන්සේගේ අනුගාමිකයන් දැන් සහ අනාගතයේදී විපාක ලබනු ඇති බව පෙන්වයි. වත්මන් විපාකයක් වනාහි, ඔවුන් ආත්මික සහෝදර සහෝදරියන්ගෙන් යුත් පුළුල්වෙමින් පවතින ජාත්‍යන්තර පවුලක කොටසක් බවට පත්වීමය. සාමාජිකයන් අඩුවීම සහ සහාය හිඟවීම ගැන ක්‍රිස්තියානි ලෝකයේ සභාවන් කෙඳිරිගාමින් සිටින අතරතුර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ශාලා වචනානුසාරයෙන්ම පිරී ඉතිරී යයි. සෑම වසරකම නව සාක්ෂිකරුවෝ සිය දහස් ගණනක් බව්තීස්ම වෙති.
තවත් විපාකයක් නම්, දෙවියන්වහන්සේ සමඟ මිත්‍රත්වය සහ උන්වහන්සේ පිළිබඳ දැනගැන්ම ගෙන එන සෑහීම සහ සන්තෝෂය සමඟින් ඇතිවන මනසේ සාමයයි. එසේය, “ලත් පමණින් සතුටුවීම සමග භක්තිවන්තකම,” විශාල ලාභයකි. (1 තිමෝති 6:6) “මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට [එනම් සෑහීමෙන් සිටීමට] මම ඉගෙනගෙන සිටිමි,” කියා පාවුල් පැවසුවාක් මෙන්, කෙනෙකුට පැවසීමට හැකි විට, එය මනසේ සතුටුදායක තත්වයක් පිළිබිඹු කරයි.—පිලිප්පි 4:11.
පාවුල්ගේ මරණයට ටික කලකට පෙර, ඔහු යේසුස්වහන්සේගේ ආලේප ලත් අනුගාමිකයන්ගේ “කුඩා රැළ” සඳහා අනාගත විපාකයක් ගැන ලීවේය—එනම් ස්වර්ගික ජීවිතයකට නැවත නැගිටීමේ මෙම විපාකයය: “මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ, එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන්වහන්සේගේ ප්‍රකාශවීමට ආශාව සිටින්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත.”—ලූක් 12:32; 2 තිමෝති 4:7, 8.
යේසුස්වහන්සේගේ අනුගාමිකයෝ වන මිලියන සංඛ්‍යාත “වෙනත් බැටළුවෝ” පාරාදීසයක් බවට පරිවර්තනය වූ පොළොවක් මත සදාකාල ජීවනයේ අනාගත විපාකය ලැබීමට ආශාවෙන් සිටිති. (යොහන් 10:16) තවද යේසුස්වහන්සේ, මරණය අද්දකින තම අනුගාමිකයන්ට “ධර්මිෂ්ඨයන්ගේ නැවත-නැගිටීමේදී නුඹට ප්‍රතිඵල ලැබෙන්නේයයි” සහතික කළසේක.—ලූක් 14:14.
විපාකය සිතේ මවාගන්න
එවැනි ආශීර්වාද කුමනාකාරවේදැයි කිසිවෙකු හරියටම නොදන්නවා වුවත්, ඒවා සිතේ මවාගැනීමට වෑයම් කිරීම යෝග්‍යය වේ. යෙසායා 25:8හි “උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක;” යනුවෙන් විස්තර කර ඇති සන්තෝෂය දැනීමට ඔබට නොහැකිද? යෙසායා 32:17හි වචන සිතෙහි මවාගැනීමට වෑයම් කරන්න: “ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය.” එසේය, සියලු මිනිසුන් සැබෑ මිත්‍රත්වයකින් එකට වැඩ කරනු ඇත. (යෙසායා 65:21-25) අදදින පවා, උද්යෝග වැඩයෙන් කදිම නිවාස සහ විශිෂ්ට ගුණයෙන් යුත් නිෂ්පාදනයන් ප්‍රතිඵල වේ. එසේනම්, දෙවියන්වහන්සේගේ නව ලොවෙහි, පරිපූර්ණ තත්වයන් යටතේ සෞඛ්‍යසම්පන්න ජනයාට ජීවිතය ප්‍රීතිදායක කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් නිපදවීමට හැකි වනු ඇත.—ගීතාවලිය 37:4.
අප කළ යම් පින්සිදුවන සේවයක් හේතුවෙන් දෙවියන්වහන්සේ විපාක දෙනවා නොව, නමුත් අප පාපතර තත්වයක් උරුමකරගෙන තිබුණත්, ත්‍යාගයක් වශයෙන් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පැනනගින්නකි. (රෝම 5:8-10) කෙසේවුවත්, ආශාවෙන් බලා සිටින විපාකය සහ අපගේ හැසිරීම අතර සම්බන්ධයක් තිබේ. නිර්භීත ඇදහිල්ලකින් සහ විඳදරාගැනීමෙන් යුතුව අප යෙහෝවඃවහන්සේව උනන්දුවෙන් සෙවිය යුතුය. (හෙබ්‍රෙව් 10:35-39) වෙනත් වචනවලින් කිවහොත්, “නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන, නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරපල්ලා.” එසේය, උන්වහන්සේ විපාක දෙනසේක.—කොලොස්සි 3:23, 24. g94 12/8