යෞවනයන් අසති . . .
මගේ දෙමව්පියන්ට මා කීකරු විය යුත්තේ මන්ද?
ස්ටැන් ඇති දැඩි කරනු ලැබුවේ දේව-බියැති දෙමව්පියන් විසිනි. එහෙත් වයස 16දී ඔහු කැරලිගැසුවේය. ස්ටැන් මෙසේ පැහැදිලි කරයි: “ජනයාව මුණගැසීමටත්, ඔවුන් විසින් පිළිගනු ලැබීමටත් මට වුවමනා වුණා. අනිත් අයට තිබුණු සෑම දෙයක්ම ලබාගැනීමට මට වුවමනා වුණා.” මෙම ඉලක්ක අත්කරගැනීමට ස්ටැන් අදහස් කළේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෙකු වීමටය. ඔහුගේ ක්‍රියාකලාපය ගැනත්, ඔහු නිවසට ගෙන එමින් සිටි සියලුම මුදල් ගැනත්, ඔහුට බොරු කියන්ට සිදුවූ බවට සැකයක් නැත. “මගේ හෘදය සාක්ෂිය මියගොස් තිබුණා,” යයි ස්ටැන් සිහියට නඟයි.
ක්‍රිස්තියානියෙකු ලෙස ජෝන් බව්තීස්ම වූයේ වයස 11දීය. “නමුත් ඇත්තෙන්ම මගේ හෘදය තුළ සත්‍යය තිබුණේ නෑ. මා එසේ කළේ මා එසේ කරයි කියා මගේ පවුලේ අය අපේක්ෂා කළ නිසයි. මා උසස් පාසැලට ඇතුළත් වූ විට, මා ඉතා දරුණු වෙන්න පටන්ගත්තා. රොක් සංගීතයත් මා වෙත මහත් බලපෑමක් ඇති කළා. බෙහෙවින් මුහුදු තරණයේ යෙදුණු මා, බයිබල් ප්‍රමිති මගින් මඟ පෙන්වීම නොලැබූ යෞවනයන් සමඟ මුහුදු වෙරළේ බොහෝ වේලා ගත කිරීමට පටන්ගත්තා. එහි බොහෝ මත්ද්‍රව්‍ය තිබුණා,” යයි ඔහු පවසයි. වැඩි කල් යෑමට පෙර ඔහු සිය දෙමව්පියන්ගේ නිවසෙන් පිට වූ අතර, ඔහුට උගන්වා තිබුණු සියල්ලට විරුද්ධ වූ ජීවිතයක් ගත කිරීමට ඔහු පටන්ගෙන තිබිණ.
ඔවුන් කැරලිගැසීමට හේතුව
කෙතරම් දුරකට තමන්ට යම් දේවල් කළ හැකිදැයි කියා යෞවනයන් පරීක්ෂා කිරීම සහ යම් ප්‍රමාණයකට ස්වාධීන බවක් වර්ධනය කිරීම සාමාන්‍ය දෙයකි. එහෙත් කැරලිකාර, දරුණු සහ ආත්ම-විනාශකාරි හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනත් දෙයකි. එයට පොලඹවන්නේ කුමක්ද? බොහෝ විවිධ හේතු තිබේ. “ඔබ යෞවනව සිටින විට, ඔබ විනෝද වීමටයි මාර්ග සොයන්නේ. ඔබට ප්‍රීතියෙන් කාලය ගත කිරීමටයි අවශ්‍යවන්නේ” යයි ජෝන් පැහැදිලි කරයි. කෙසේවුවත්, යෞවනයන්ට ජීවිතයෙහි අද්දැකීම් අඩු නිසා, ඔවුහු සෑමවිටම සුදුසුම විනිශ්චයක් නොකරති. (හෙබ්‍රෙව් 5:14) එමනිසා සිහිනුවණ ඇති දෙමව්පියෝ තම දරුවන් මත සාධාරණ සීමා පනවති—සමහර යෞවනයෝ ඉතා තදින් මෙම සීමාවන් කෙරෙහි අමනාප වෙති.
ඇතැම් යෞවනයෝ තම දේව-බියැති දෙමව්පියන්ගෙන් ලද පුහුණුව පවා ප්‍රතික්ෂේප කර තිබෙන බව පැවසීමට කනගාටුයි. (එපීස 6:1-4) ක්‍රිස්තු ධර්මය “පටු” සහ “අවහිර” ජීවිත මාර්ගයක් බව යේසුස්වහන්සේ පැවසූසේක. (මතෙව් 7:13, 14) එබැවින් ක්‍රිස්තියානි යෞවනයන්ට බොහෝවිට තම පාසැල් මිතුරන් කරන දේවල් කළ නොහැක. දේව නීති සැබවින්ම බරක් නොවන බවට අගය කරමින් බොහෝදෙනෙක් සීමා පැනවීම් පිළිගනිති. (1 යොහන් 5:3) සැබවින්ම, මෙම නීති විවාහයෙන් පිටත ගර්භිණීභාවය, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම සහ ලිංගිකව පැතුරුණු රෝග වැනි ගැටලුවලින් යෞවනයන්ව ආරක්ෂා කරයි. (1 කොරින්ති 6:9, 10) එහෙත් සමහර යෞවනයෝ දේවල් දෙස එලෙස බැලීම ප්‍රතික්ෂේප කරති; ඔවුන්ට හැඟෙන්නේ බයිබල් නීති තම ජීවන රටාවන් අවහිර කරන බවය.
හික්මවීම, ක්‍රීඩාව සහ විනෝදාස්වාදය වැනි කාරණා සම්බන්ධයෙන් සලකාබලන විට, යෞවනයෙකුට තම දෙමව්පියන් වුවමනාවට වඩා දැඩි යයි හැඟෙන්නේ නම්, විශේෂයෙන්ම අමනාපය වැඩිවිය හැක. “මා සිතන විදිහට මගේ දෙමව්පියන් අපිත් සමඟ පමණ ඉක්මවා තදින් ක්‍රියා කරමින් සිටිනවා,” යයි එක් යෞවන ගැහැනු ළමයෙක් ශෝකයෙන් ප්‍රකාශ කළාය. වෙනත් ක්‍රිස්තියානි දෙමව්පියන් ඉඩදෙන දේවල් කිරීමට ඔබට ඉඩ නොදෙන විට අධෛර්යයට පත්වීමක් සිදුවිය හැකි බව සැබෑය. (කොලොස්සි 3:21) ඇතැම් යෞවනයෝ අකීකරුවීම මගින් තමන්ගේ කලකිරීම පිළිබිඹු කරති.
අනික් අතට, සමහර යෞවනයන් වෙනතකට හැරෙන්නේ සිය දෙමව්පියන් දේව ප්‍රතිපත්තිවලට ගෞරවයක් දක්වන්නේ නැති නිසාය. “තාත්තා මත්පැන්වලට ඇබ්බැහි වී සිටියා,” යයි ජෝන් සිහියට නඟයි. “ඔහු වුවමනාවට වඩා මත්පැන් පානය කළ නිසා ඔහු සහ මව වාද කරන්ට වුණා. ඔහුගෙන් ඈත්වීමට අපි කීප වතාවක්ම පදිංචිය වෙනස් කළා.” මත්පැන්වලට හා වෙනත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින්නන්ට හුදෙක් තම දරුවන්ගේ අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සැපිරිය නොහැක. එවැනි නිවාසවල, වාචික පීඩාව සහ නින්දාවට ලක්වීම යෞවනයෙකුගේ දෛනික ඉරණම විය හැක.
ඇත්තවශයෙන්ම, වෙනත් යෞවනයන් කැරලිගසන්නේ සිය දෙමව්පියන් තමන්ව අත්හැර හෝ නොසලකා හැර තිබීමේ හේතුවෙනි. කැරලිගසන්නේ සිය දෙමව්පියන්ගේ අවධානය ලබාගැනීමට—නැතහොත් ඔවුන්ට රිදවීමට විය හැකි බව පෙනෙන්ට තිබේ. “මට මතක තියෙන හැටියට මගේ දෙමව්පියන් අප සමඟ නිතර සිටියේ නෑ. මා එකම දරුවා නිසාත්, මගේ දෙමව්පියන් නිතර මා සමඟ නොසිටි නිසාත්, ඔවුන් මට හැමවිටම මුදල් බොහොමයක් දුන්නා,” යයි ධනවත් පවුලකින් පැමිණෙන ටේලර් නමැති නහඹර ගැහැනු ළමයෙක් පවසයි. අධීක්ෂණය නොමැති වීමෙන්, ටේලර් රාත්‍රි සමාජශාලාවලට යෑමට සහ මත්වීමට පටන්ගත්තාය. ඇයට ගැටලුවක් තිබූ බව ඇගේ දෙමව්පියන්ට වැටහුණේ, බීමත්ව රිය පදවද්දී ඇයව අත්අඩංගුවටගත් විටය.
ඊට අමතරව, ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානි කණ්ඩායමකින් මෙසේ ඇසූ විට පවතින තත්වයද තිබේ: “නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද?” (ගලාති 5:7) බොහෝවිට ගැටලුව වන්නේ නරක ආශ්‍රයයි. (1 කොරින්ති 15:33) “මා වැරදි අය සමඟ ආශ්‍රයට වැටුණා,” යයි එලිසබෙත් නමැති නහඹර ගැහැනු ළමයා පවසයි. සම වයස්කරුවන්ගේ පීඩනය හේතුවෙන්, ඈ “දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය පටන්ගත්” බව පිළිගනියි. තවදුරටත් ඈ මෙසේ පවසයි: “සෑම දිනකම පාහේ වේශ්‍යාකමේ නියැලෙන්නට වුණා.”
කැරලිගැසීම අනුවණ දෙයක් වීමට හේතුව
සමහරවිට ඔබත් කලකිරීමේ—නැතහොත් පීඩිත බලපෑමකට යටත් වී සිටින බව පෙනෙන්ට තිබෙන තත්වයක සිටිනවා විය හැක. ඔබේ දෙමව්පියන්ට විරුද්ධ වී, ඔබට කරන්න වුවමනා දේ පමණක් කිරීමේ පරීක්ෂාවක් ඇතිවන බවක් පෙනෙන්ට තිබිය හැක. එහෙත් ධර්මිෂ්ඨ මිනිසෙකු වූ යෝබ්ට අනතුරු ඇඟවූවාක් මෙන්, “දඬුවමට විරුද්ධව කෝපයෙන් නොපෙලඹෙන්න [ක්‍රියා නොකරන්න]; ප්රවේසම්වෙයන්න, අධර්මිෂ්ඨකමට සිත නොදෙන්න.”—යෝබ් 36:18-21.
කෝපයෙන්, ප්රචණ්ඩකාරිව හැසිරීම මගින් ඔබේ දෙමව්පියන්ගේ ප්‍රතික්‍රියාවක් ලබාගත හැකි නමුත්, එය එතරම් ප්‍රසන්න එකක් නොවනවා ඇත. යම් දෙයක් සිදුවුණොත්, සමහරවිට ඔබ මත ඔවුන් ඊටත් වඩා සීමා පැනවිය හැක. තවදුරටත්, වේදනාකාරි හැසිරීම ඔබේ දෙමව්පියන්ව ඉමහත් සේ වේදනාවට පත්වීමට සලසනු ඇත. (හිතෝපදේශ 10:1) එය ප්‍රේමනීය දෙයක්ද? එය සැබවින්ම ඔබේ තත්වය වැඩිදියුණු කරනු ඇත්ද? ඔබට සාධාරණ පැමිණිලි තිබෙනවා යයි ඔබට හැඟේ නම්, වඩා නුවණැති දෙය වන්නේ ඔවුන් සමඟ කාරණා කතා කිරීමය.a ඔවුන් ඔබට සලකන ආකාරයෙහි යම් සකස් කිරීම් කිරීමට ඔවුන් ඇත්තටම කැමති විය හැක.
ඔබේ ක්‍රියා දෙවියන්වහන්සේ මත ඇති කළ හැකි බලපෑම සලකාබැලිය යුතු තවත් කාරණයකි. ‘දෙවියන්වහන්සේ මත?’ යයි ඔබ අසන්ට පුළුවනි. එසේය, ඔබේ දෙමව්පියන්ට ගරු කරන්න කියා අණ කරන්නේ දෙවියන්වහන්සේ වන බැවින් ඔබේ දෙමව්පියන්ට විරුද්ධව කැරලිගැසීම උන්වහන්සේටම විරුද්ධව කැරලිගැසීමක් ලෙස ගණන්ගැනෙන නිසාය. (එපීස 6:3) එවැනි අකීකරුකමක් දෙවියන්වහන්සේට කෙසේ හැඟීමට සලස්වයිද? ඉශ්රායෙල්වරුන් ගැන බයිබලය මෙසේ පවසයි: “කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරලිගැසුවෝද!” ප්‍රතිඵලය කුමක්වීද? “[ඔවුහු දෙවියන්වහන්සේට] දුක් දුන්නෝ[ය.]” (ගීතාවලිය 78:40) ඔවුන් වුවමනාවට වඩා සීමා පනවනවා යයි හැඟීමෙන් ඔබ ඔබේ දෙමව්පියන් සමඟ උරන විය හැකි බව සැබෑය. එහෙත් ඔබට ප්‍රේම කරන මෙන්ම, ඔබ සදහටම ජීවත්වනවා දැකීමට වුවමනා කරන තැනැත්තාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේගේ හෘදයට වේදනා දීමට ඇත්තෙන්ම ඔබට වුවමනාද?—යොහන් 17:3; 1 තිමෝති 2:3.
“නිදහස” නිසා විඳිය යුතු බලවත් ඵලවිපාක
එසේනම්, අප අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන්ට සවන් දිය යුත්තේ හොඳ හේතු ඇතිවය. “නිදහස” පිළිබඳ බොරු පොරොන්දු මගින් මුළා නොවන්න. (2 පේතෘස් 2:19, සසඳන්න.) ඇතැම් යෞවනයන්ට වැරදි හැසිරීමේ යෙදී දඬුවම්වලින් බේරි සිටිය හැකි බව පෙනෙන්ට තිබිය හැක. එහෙත් ගීතිකාකරු මෙසේ අනතුරු ඇඟවීය: “නපුරකරන්නන් නිසා කල නොකිරෙව, අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව. මක්නිසාද ඔව්හු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය, නිල් පලා මෙන් වියළෙන්නෝය.” (ගීතාවලිය 37:1, 2) බොහෝවිට කැරලිගසන යෞවනයෝ, නිදහස යයි ඔවුන් කියාගන්නා දෙය වෙනුවෙන් බලවත් විපාකයක් විඳිති. බයිබලයේ ගලාති 6:7 මෙසේ පවසයි: “නොරැවටෙල්ලා; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.”
මුලින් සඳහන් කළ ස්ටැන් ගැන සලකා බලන්න. ඔහු බලාපොරොත්තු වූ අයුරින්ම සිය නරක මිතුරන් සමඟ ජනප්‍රියත්වයට පත්විය. “මාව පිළිගෙන ඇති බව මට හැඟුණා,” යයි ඔහු සිහිපත් කරයි. කෙසේවුවද, දේවල් විගස නරක අතට හැරෙන්ට පටන්ගති. ඔහු මෙසේ පවසයි: “මට වෙඩි තබා තිබේ, මා අත්අඩංගුවට ගෙන තිබේ, දැන් මා සිරභාරයට නියමිතව තිබේ. තවද මට මගෙන්ම අසාගත හැක්කේ ‘ඉන් ඵලක් වුණාද’ කියා පමණි.”
“නිදහස” වෙනුවෙන් ජෝන්ගේ සොයායෑම ගැන කුමක් කිව හැකිද? මත්ද්‍රව්‍ය තබාගැනීමේ හේතුවෙන් අත්අඩංගුවටගත් පසු, ඔහුව ක්‍රිස්තියානි සභාවෙන් නෙරපනු ලැබීය. එතැන් සිට ඔහු ඊටත් වඩා දරුණු හැසිරීමකට වැටුණි. “මා මුදල්වලට කාර් සොරකම් කළා, මා ඉතා දරුණුව සිටියා,” යයි ජෝන් නොසඟවා හෙළි කරයි. ජෝන් සිය අපරාධ ක්‍රියාකලාප තුළින් බොහෝ මුදල් උපයාගත්තේය. එහෙත් ඔහු මෙසේ සිහිපත් කරයි: “මා ඒ සියල්ලම නාස්ති කළා. අප භාවිතා කළ මත්ද්‍රව්‍ය ප්‍රමාණය විශ්වාස කළ නොහැකි තරම්ය.” තවද ජෝන් දබර නොකර, සොරකම් නොකර හෝ මත් නොවී සිටි විට, ඔහු පොලිසියෙන් පලායමින් සිටියේය. “මාව 50 වතාවක් පමණ අත්අඩංගුවටගත්තා. සාමාන්‍යයෙන්ම මට විරුද්ධව බරපතළ දඬුවම් පමුණුවන්ට ඔවුන්ට නොහැකි වූ නමුත්, වතාවකදී මුළු අවුරුද්දක්ම බන්ධනාගාරයේ සිටීමට සිදුවුණා.” නිදහස් මිනිසෙකුව සිටිනවාට වඩා, ජෝන්, තමා “සාතන්ගේ ගැඹුරුවූ කාරණා” තුළ ගිලී සිටින බව තේරුම්ගත්තේය.—එළිදරව් 2:24.
එලිසබෙත් ගැනද එයම පැවසිය හැක. ලෞකික මිතුරන් සමඟ අසීමිත ඇසුරෙන් අන්තිමේදී ඇය නැවතුණේ බන්ධනාගාරයට ගොසිනි. ඈ මෙසේ වරද පිළිගනියි: “මා ගර්භිණීභාවයට පවා පත්වුණා—තවද මා මත්ද්‍රව්‍ය භාවිතා කළ නිසා දරුවා නැති වුණා. මත්ද්‍රව්‍ය මගේ ජීවිතය වී තිබුණා—පෙනෙන විදිහට මා ජීවත්වෙමින් සිටියේ ඊළඟ මත්වීම සඳහායි. අන්තිමේදී මට මගේ වාසස්ථානයත් අහිමි වුණා. මට ගෙදර යන්නත් හැකිකමක් තිබුණේ නෑ, තවද යෙහෝවඃවහන්සේගෙන් උපකාරය පැතීමට පවා මා ලජ්ජාවෙන් සිටියා.”
දේව ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමෙන් ඛේදජනක ප්‍රතිඵල පමණක් වින්දාවූ යෞවනයන් සම්බන්ධ එවැනිම උදාහරණ බොහොමයක් දෙන්ට පුළුවනි. බයිබලය මෙසේ අනතුරු අඟවයි: “ඔබ හරි යයි සිතන මාර්ගය මරණයට මඟ පෙන්විය හැක.” (හිතෝපදේශ 14:12, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) එසේනම්, යම් සීමා පැනවීම් අසාධාරණ යයි ඔබට හැඟේ නම්, කිරීමට ඥානවන්ත දෙය වන්නේ—කැරලිගසනවා වෙනුවට—ඔබේ දෙමව්පියන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන් සමඟ හොඳ සබඳතාවක් පවත්වාගැනීමට වෑයම් කිරීමය.
එහෙත්, මෙම තොරතුරු ඉතා ප්‍රමාද වී පැමිණ තිබෙන, දැනටමත් වැරදි හැසිරීමේ ගිලී සිටින යෞවනයන් ගැන කුමක් කිව හැකිද? ඔවුන්ට සිය දෙමව්පියන් සමඟ—එමෙන්ම දෙවියන්වහන්සේ සමඟ කාරණා හරිගස්වාගැනීමට යම් මඟක් තිබේද? ඊළඟ කලාපයේ අපගේ ඊළඟ ලිපිය මෙම ප්‍රශ්න විමසාබලනු ඇත. g94 12/22
[පාදසටහන්වල]
a මේ කාරණා සම්බන්ධයෙන් ලිපි ගණනාවක් උපකාරවත් තොරතුරු සපයා ඇත. උදාහරණයක් වශයෙන් අපගේ 1985 ජනවාරි 8 එවේක්! කලාපයේ “යංග් පීපල් ආස්ක් . . . ” ලිපිය, යෞවනයන් අසන ප්‍රශ්න පොතේ 3වන පරිච්ඡේදය සහ 1993 පෙබරවාරි 8 පිබිදෙව්! කලාපයේ යෞවනයෝ අසති ලිපි බලන්න.
[28වන පිටුවේ පින්තූරය]
ඔබේ දෙමව්පියන් සමඟ කැරලිගැසීම ඔබට වැඩි “නිදහසක්,” ලබාදිය හැකි නමුත්, ඔබ ප්‍රතිවිපාක ගැන සැලකිලිමත් වී තිබේද?