වේයා මිතුරෙක්ද නැතහොත් සතුරෙක්ද?
කෙන්යාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
“කුම්බෙ! ම්ෂ්වා!” පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි, ලීවලින් සාදා ඇති තටාකයක්, තවත් කණ්ඩායමක් සමඟ ඔසවද්දී, ක්‍රිස්තියානි දේවසේවකයෙක් එසේ සිය විස්මය ප්‍රකාශ කළේය. ඔවුහු එය කෙන්යාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ චාරිකා එක්රැස්වීමකදී, බව්තීස්ම තටාකයක් ලෙස පාවිච්චි කිරීමට බලාපොරොත්තු වූහ. කෙසේනමුත්, ඔවුන්ව මහත් දුකට පත් කරමින් ඔවුන් සොයාගත්තේ, එම ලීය බොහෝසෙයින් කා දමා තිබුණු බවයි. එබැවින් ඔහු එලෙස සිය කලකිරීම ප්‍රකාශ කළේය. පරිවර්තනය කළ විට අදහස් වන්නේ: “අපෝ! වේයෝ!”
සමහරවිට දේපොළ හානිය සමඟ, කුඩා වේයා මෙන් මෙතරම් බොහෝවිට සම්බන්ධ කර ඇති වෙන කිසිම කෘමියෙකු නැති විය හැක. එහෙත් මෙම කෘමියා සැබවින්ම මිනිසාගේ සතුරෙක්ද? මෙයට පිළිතුරු වශයෙන්, වේයා දෙස අපි සමීප බැල්මක් හෙළමු.
වේයාගේ බලකොටුව
කෙන්යාවේ විශාල වේ තුඹස් බොහෝදුරට දකින්ට ලැබේ. දුම් කවුළුවක හැඩැති මේවා, පොළොවෙන් අඩි 15 සිට 20 තරම් උසට විහිදී ඇත. කොන්ක්‍රීට් බලකොටුවකට සමාන එම තුඹස්, ඉතා නිවැරදි ලෙස ඉදි කර තිබෙන බැවින්, වේයන් දක්ෂ නිර්මාණ ශිල්පීන් ලෙස හඳුන්වනු ලැබ ඇත. උන් ඉතා සෙමින් ක්‍රියා කරන අතර, අන්ධ වුවත් මෙතරම් සිත්ගන්නා බලකොටු ඉදි කිරීමට, මෙවැනි කුඩා කෘමීන්ට හැකි බව, කල්පනා කිරීමට තරම් දුෂ්කර යමක් නොවේද?
ඉතා සංකීර්ණ වූ කුටි සහ උමං එම තුඹස තුළ වේ. කාර්යක්ෂම ජලාපවහන පද්ධතියක්, වාතාශ්‍රයක් සහ වායු සමීකරණයක් පවා මෙම කාර්යබහුල පුරවරය තුළ දකින්ට ඇත. එම තුඹසේ ඉහළින් ඇති කවුළු තුළින් රත්වූ වාතය පිටවේ. සිසිල් වාතය පහළ කොටසින් ඇතුල්වේ. තවදුරටත් සිසිල් කිරීම සඳහා සරල වාෂ්පීකරණ පද්ධතියකින් සිදු කරනු ලැබේ: වේයෝ කෙළ ගැසීමෙන් එම බිත්තිවලට ජලය ඉසිති. ජලය වාෂ්ප වීමත් සමඟම, එය වාතය සිසිල් කර සංසරණය කිරීමටත් සහාය වේ. මෙලෙස මේ වේ තුඹස දවසේ පැය 24 තුළදීම සෙල්සියස් අංශක 30ක ප්‍රියමනාප උෂ්ණත්වයක පවතී!
වේ සමාජය
වේ සමාජය ඊටත් වඩා පුදුමාකාරය. සමහර වේ තුඹස් මිලියන පහකට ආසන්න වේයන් සංඛ්‍යාවක් ජීවත්විය හැකි සමාජ හෝ ජනාවාස ඇත. අවුල් ජාලයක් වෙනවා වෙනුවට, ජනාවාසයක් කාර්යක්ෂමතාවේ නිදසුනකි. වැඩකාර වේයන්, හේවා වේයන් සහ උත්පාදක වේයන් යන වර්ග තුනකින් වේ පවුල සෑදී තිබේ. උන්ගේ ඛේටය, සිමෙන්ති වශයෙන් යොදාගනිමින්, මෙම වැඩකාර වේයෝ, තුඹස්වල ගොඩනැඟීම සිදු කරති.
හේවා වේයන් පවුලේ සිටින වඩාත් කලහකාරි සාමාජිකයන්ය. ශක්තිමත් හකු සහ උල් දත්වලින් සන්නාහ සන්නද්ධව සිටින මොවුහු, කුහුඹුවන් වැනි ආක්‍රමණය කරන්නන්ගෙන් බලකොටුව ආරක්ෂා කරති. තුඹසෙන් පිට ආහාර සෙවීමට යන වැඩකාර වේයන් ආරක්ෂා කිරීමට, ආරක්ෂකයන් ලෙසද ක්‍රියා කරති. අවශ්‍යතාවක් වුවහොත්, මෙම හේවා වේයෝ රසායනික සටනක නිරත වෙති; විදින තුවක්කුවක් ලෙස ක්‍රියා කර, විශේෂ ග්‍රන්ථියකින් මාරාන්තික දියරයක් පිට කෙරේ.
මෙම හේවා වේයන්ගේ සේවාවන්වලට ප්‍රත්‍යුපකාර ලැබෙන්නේ කෙසේද? පෙනෙනාකාරයට, උන්ගේ හකු කෙතරම් විශාලද කිවහොත්, තමන්ටම ආහාර විකා කෑමට නොහැක. එනිසා හේවා වේයෙකුට බඩගිනි වූ විට, ඌ තම ඉස් කෙන්දෙන්, වැඩකාර වේයකුගේ හිස අතුල්ලයි. එහි අර්ථය, “මට කවන්න!” වැඩකාර වේයා, වැමැරූ ආහාර හේවා වේයාගේ මුඛය තුළට දැමීමෙන්, ප්‍රතිචාර දක්වයි.
උත්පාදක වේයන් වන—රජ සහ රැජින, රාජකීය කුටිය තුළ සම්පූර්ණ අඳුරේ වැසී සිටින්නෝය. ඇයගේ කුඩා වූ සහකරුවා සමඟ සසඳන විට රැජින යෝධයෙකි. බිත්තරවලින් ඉදිමී ඇති ඇගේ උදරය, ඇයගේ පුදුමාකාර ප්‍රජනන හැකියාවේ සාක්ෂියකි. ඇයට දිනකට බිත්තර 4,000 සිට 10,000 දක්වා දැමිය හැකි බව තක්සේරු කර තිබේ. එනිසා රැජින “ස්වයංක්‍රිය බිත්තර දමන යන්ත්‍රයක්” ලෙස ඇතැම් අය විසින් හඳුන්වා තිබීම පුදුමයක් නොවේ.
වැඩකාර වේයන් කණ්ඩායමක් විසින් උපස්ථාන ලබන නිසා, මෙම රාජකීය යුවළට එතරම් පෞද්ගලික බවක් නැත. මොවුහු රැජින වටකර ඇයගේ අවශ්‍යතාවන් පිරිමසමින් ඇයට ආහාර සපයති. බිත්තර දමනවාත් සමඟම, වැඩකාර වේයෝ ඒවා තම හකු අතරින් ඔසවාගෙන ළමාගාරයට රැගෙන යති.
මිතුරන්ද නැතහොත් සතුරන්ද?
මෙම කෘමීන් සිත් ඇදගන්නා බව බහුතරය එකඟ වුවද, බොහෝදෙනෙක් තවමත් උන් පළිබෝධ—සතුරන් ලෙස සලකති! කෙන්යාවේ ජාතික කෞතුකාගාරයේ අපෘෂ්ඨවංශි සත්ව විද්‍යා අංශයේ ප්‍රධානියා වන, වෛද්‍ය රිචඩ් බේසීන් පිබිදෙව්! සඟරාවට මෙසේ ප්‍රකාශ කළේය: “වේයෝ මහත් විනාශකාරි කෘමියෙකු ලෙස මනුෂ්‍යයන් සලකන බව සැබෑය. එහෙත් විද්‍යාඥයන් වේයන්ව දකින්නේ වෙනස් ආකාරයකිනි. ස්වාභාවික පරිසරය තුළදී, වේයන් පැළෑටිවලට සහ සත්ව සමාජයට ප්‍රයෝජනවත් සාමාජිකයන්ය.
“උන් පළමුව මැරී ගිය පැළෑටි සරල සංයෝගවලට වෙන් කරති. මෙසේ, පැළෑටිවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ, වේයන් විසින් පුනර්චක්රීය කරනු ලැබේ. දෙවනුව, උන් වැදගත් ආහාර ප්‍රභවයකි. සෑම කුරුලු වර්ගයක් වාගේම සහ බොහෝ ක්ෂීරපායී සතුන්, උරගයන්, උභය ජීවීන් සහ වෙනත් කෘමීන් විසින් මොවුන්ව ආහාරයට ගනු ලැබේ. බටහිර සහ උතුරු කෙන්යාවේ බොහෝදෙනෙකු විසින්ද, උන් අනුභව කිරීමෙන් ලබන උසස්, පැණි රසය භුක්තිවිඳියි; උන් මේදවලින් සහ ප්‍රෝටීනවලින් බහුලය. තෙවනුව, උන් පස සෑදීමට උපකාර වෙති. වේයෝ තම කැදලි ගොඩනඟන විට සහ අලුත්වැඩියා කරන විට, යටි පස සහ මතුපිට පස මිශ්‍ර කරති. උන් මැරීගිය පැළෑටිවල විශාල කොටස් කැබලි කරමින් හ්‍යුමස් පස නිපදවති. පස තුළින් ගමන් කිරීමෙන්, උන් පැළෑටි මුල්වලට අවශ්‍ය කරන වාතය සහ ජලය ලබාගැනීමට මාර්ගය සාදති. මෙලෙස වේයෝ, පසේ ස්වභාවය, ව්‍යූහය සහ සශ්‍රීකත්වය වැඩි කරති.”
එහෙත් වේයන් මනුෂ්‍ය වාසස්ථාන ආක්‍රමණය කරන්නේ මන්ද? වෛද්‍ය බේසීන් මෙසේ පවසයි: “ඇත්තෙන්ම මනුෂ්‍යයන්, වේයන්ගේ පරිසරයට ඇතුල්වී, උන් ප්‍රයෝජනයට ගන්නා පැළ වර්ග විනාශ කර ඇත. ජීවත්වීමට වේයන් අනුභව කළ යුතු අතර, සාමාන්‍යයෙන් උන් මැරීගිය පැළෑටි මත පෝෂණය වෙති. මේවා උන්ගෙන් උදුරා දැමූ විට වේයෝ, නිවාස සහ ධාන්‍යාගාර වැනි මිනිසා විසින් සාදා ඇති ගොඩනැඟිලි මත පෝෂණය වෙති.”
එනිසා, වේයා ඇතැම් අවස්ථාවලදී පළිබෝධයෙකු ලෙස පෙනුණත්, ඇත්තෙන්ම උන් අපගේ සතුරෝ නොවෙති. සැබවින්ම, මෙය යෙහෝවඃවහන්සේගේ නිර්මාණාත්මක මහානුභාවයේ කැපීපෙනෙන ආදර්ශයකි. (ගීතාවලිය 148:10, 13; රෝම 1:20) ඇරත් දෙවියන්වහන්සේගේ පැමිණෙන නව ලොව තුළ, මනුෂ්‍යයා සත්ව ලෝකය සමඟ එකමුතුව ජීවත්වීමට ඉගෙනගන්නවාත් සමඟම, ඔහු මෙම කුඩා වේයාව, සතුරෙකු ලෙස නොව, නමුත් මිතුරෙකු ලෙස දකින්ට යන බවට කිසිදු සැකයක් නැත.—යෙසායා 65:25.
[17වන පිටුවේ පින්තූරය]
නියම මාළිගාවක් බඳු වේ තුඹසක්
මැද ඇති චිත්‍රය: වැඩකාර වේයෝ
[18වන පිටුවේ පින්තූරය]
විශාල හිසක් සහ මාරාන්තික රසායනික ද්‍රව්‍ය පිට කරන ග්‍රන්ථි ඇති හේවා වේයා, වේ ජනපදය ආරක්ෂා කිරීමට සන්නාහ සන්නද්ධව සිටියි
[18වන පිටුවේ පින්තූරය]
බිත්තරවලින් උදරය ඉදිමී ඇති රැජින
[18වන පිටුවේ පින්තූරය]
තම සේවක පිරිස සමඟ සිටින රැජින