ස්වභාවධර්මයාගේ කඳුළු
එය හිමිදිරි උදෑසනකි, වාතය සිසිල්ව සහ නිශ්චලව පවතී. උදෑසන හිරු එළියට, සෑම ශාකපත්රයක්ම සහ තණකොළයක්ම ජල බිංදුවලින් බැබළේ. එක් ආකාරයකින්, මෙම ගස්වැල්, හිරු එළිය පිළිගැනීමෙන් සතුටු කඳුළු හෙළා ඇති බව පෙනෙන්ට තිබේ. පිනිවලට කාව්‍යයන් සහ ඡායාරූප ශිල්පීන්ව ඇදගැනීමේ හැකියාව තිබීම ඇත්තෙන්ම පුදුමයක් නොවේ.
කෙසේනමුත්, පිනි, මානව ස්වභාවය ප්‍රබෝධවත් කිරීමට වඩා දෙයක් කරයි. මෙම අපූරු වායුගෝලීය සංසිද්ධිය ධෘව ප්‍රදේශ හැර, පෘථිවියේ සෑමතැනකම පොදුවේ පවතින, ජීවිතය සුරකින තෙතමනය සහිත පටලයකි. යෙහෝවඃ දෙවියන්වහන්සේ වායුගෝලය නිර්මාණය කර ඇත්තේ, එය රාත්‍රි කාලයේදී ඇතැම් තත්වයන් යටතේ සිසිල් වී, පිනි නම් වූ තත්වයට පත්වන ආකාරයකිනි. වාතයට තම තෙතමනය තවදුරටත් ඉසිලිය නොහැකි උෂ්ණත්වය මෙය වන අතර, අවට වාතයට වඩා සිසිල්ව පවතින මතුපිටවල එය තැන්පත් කරයි. මෙම පිපාසිත ශාක, පත්‍ර තුළින්, තම බරට සමාන පිනිබිංදු ප්‍රමාණයක් උරාගන්නා බව දන්නා කාරණයක් වන අතර, එයින් බොහොමයක්, පසේ ගබඩා කර තැබීම පිණිස මුල්වලින් පිට කෙරේ.
දිග වියළි ඍතුවක් පවතින බයිබල් දේශවල, ශාකවලට වතුර ලබාගැනීමට එකම ක්‍රමය පිනි විය හැක. එනිසා බයිබලයේ, පිනි බොහෝදුරට අස්වැන්න නෙළාගැනීම සමඟත්—පිනි ඌනතාව, සාගතය සමඟත් සම්බන්ධ කොට තිබේ.
පිනිවලට ඊට වඩා පෞද්ගලික අර්ථයක්ද ගත හැක. මෝසෙස් දෙවියන්වහන්සේගේ සෙනඟට සිය සමුගැනීමේ ගීතිකාවේ මෙසේ ලීවේය: “මාගේ ශික්ෂාව වර්ෂාව මෙන් බසින්නේය, මාගේ කථාව පිනිමෙන්ද, ළා තණකොළ පිට වැසිපොද මෙන්ද, තණකොළ පිට වැස්ස මෙන්ද පහළ වන්නේය.” (ද්විතීය කථාව 32:2) පිනි මෙන් ජීවනය ගෙන දෙන වචන මෝසෙස් ප්‍රකාශ කළේය. ඔහු, සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා මෘදු ගුණාන්විත කෙනෙකු වූ නිසා, ඔහු සැබවින්ම පුරුද්දක් වශයෙන් මෘදුව සහ කතාවේ සැලකිලිමත් කෙනෙකුව සිටියේය. (ගණන් කථාව 12:3) පිනි හෝ මෘදු වර්ෂාව මෙන්, ඔහුගේ වචන හානි නොපමුණුවා පෝෂණය කළේය.
හිමිදිරි පින්නේ සියුම් අලංකාරය—ස්වභාවධර්මයාගේම කඳුළු ගැන—මීළඟ අවස්ථාවේදී ඔබ කල්පනා කිරීමට මදක් නතර වන විට, පිනිවල මැවුම්කරුවාණන්ගේ ගරුබිය උපදවන ප්‍රඥාව ගැනත් සිතා බැලීමට ඔබට වුවමනා විය හැක.