යෞවන අය අසති . . .
මට සැබවින්ම දෙවියන්වහන්සේගේ මිතුරෙකු විය හැකිද?
දෙවියන්වහන්සේගේ මිතුරෙකු වීම? කොහෙත්ම නොහැක, එසේ අවුරුදු 20ක් වයසැති ඩොරිස් විශ්වාස කරයි. “මා පහත් කෙනෙකු සහ කෙනෙකුගේ කැමැත්ත ලබාගැනීමට තරම් නොවටිනා සේ හැඟෙන” බව එම යෞවන ස්ත්‍රිය කනගාටුවෙන් යුක්තව කියා සිටී. “මා යෙහෝවඃවහන්සේට යාච්ඤා කිරීමෙන් පවා වැළකී සිටින්නේ, මා උන්වහන්සේ ඉදිරියේ සිටින්ට තරම් නුසුදුසු බව සිතන නිසයි.” තමන් දෙවියන්වහන්සේගේ මිත්‍රත්වය ලබාගැනීමට, සම්පූර්ණයෙන්ම නොවටිනා බව සමහර යෞවනයන්ට හද පත්ලෙන්ම හැඟෙයි. දෙවියන්වහන්සේගේ මිතුරෙකු වීමේ අදහස ඔවුන් අගය කළ හැකි අතර, එය ඔවුන්ට අත්කරගත නොහැකි දෙයක් බවට හැඟේ. කවදා හෝ ඔබට එසේ හැඟී තිබේද?
ඇතැම් අවස්ථාවලදී, තමාගේම දුර්වලකම් නිසා, දෙවියන්වහන්සේ කරා එළඹීමට පවා තමා නොවටිනා බව යෞවනයෙකුට හැඟී යා හැක. නිදසුනක් වශයෙන් යෞවන මයිකල් සලකා බලන්න. දිව්‍ය මාර්ග අගය කිරීමට පැමිණීමට කලින් තමා “ඇති සෑම පාපතර සහ හානිදායක අදහස් සහ ක්‍රියාවලින්ම වාගේ පිරී සිටියා” යයි ඔහු පැවසුවේය. කෙසේවෙතත්, බයිබලයෙන් ඔහු අධ්‍යයනය කළ දේ තුළින්, ඔහු දෙවියන්වහන්සේට ඇති කරවන කනගාටුව සහ බලාපොරොත්තු කඩාකප්පල් කරවන තත්වය වටහාගැනීමට හැකිවිය. ඔහු මෙසේ පැහැදිලි කළේය: “සෑම සභා රැස්වීමකදීම අඩු තරමින් මගේ දෝෂ එකක් හෝ පෙනෙන්ට මට සැලැස්සුවා. . . . මගේ නිමක් නැතැයි පෙනෙන පාපවලට යෙහෝවඃවහන්සේගේ සමාව ලැබීම කල් තබා දකින්ට නොහැකි වූයේ, මට මාහටම සමාව දීමට නොහැකිව සිටි නිසයි.”
වෙනත් අවස්ථාවලදී, යෞවනයෙකුව අන් අය විසින් සලකනු ලබන ආකාරය, ඔහුට යෙහෝවඃවහන්සේ සමඟ මිත්‍රත්වයක් පවත්වාගැනීමට තමුන් නොවටිනා බව හැඟෙන්ට සැලැස්විය හැක. නිදසුනක් වශයෙන්, කලින් උපුටා දක්වන ලද ඩොරිස්, කුඩා දරුවෙකුව සිටියදී තම මව විසින් අත්හරිනු ලැබිණ. ඈ මෙසේ හෙළි කළාය: “කිසිවෙක් මට ප්‍රේම කරන බව මම සිතන්නේ නැහැ. මගේම මව සහ පවුල මාව අත්හැර තිබේ නම්, වෙනයම් කෙනෙකු මාව රැකබලා ගැනීමට තිබෙන ඉඩ කඩ කුමක්ද?” යෞවනයෙකුව කුඩා කල සිට පහත් සහ පීඩාකාරි ආකාරයකින් සලකනු ලැබූ විට, දෙවියන්වහන්සේට ඔහුව මිතුරෙකු ලෙස තබාගැනීමට කිසිකලක අවශ්‍ය නොවනු ඇති බවට ඔහු අවංකව විශ්වාස කළ හැක.
අනික් අතට, යෞවනයෙක් දෙවියන්වහන්සේ සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන තිබෙන්ට හැකිවුවත්, දුර්වලකම් නිසා, බරපතළ පාපවලට ගොදුරු වේ. මෙය ට්‍රේසිට සිදුවිය. “මම බොහෝ සේ ලජ්ජා වෙනවා, මගේ වේදනාව සහ වරද සහිතභාවය දරාගන්ට බැහැ” යයි මෙම අවුරුදු 21ක් වයසැති තරුණිය ශෝකයෙන් කියා සිටියි. මගේ පිය වූ යෙහෝවඃවහන්සේව මා මහත් වේදනාවකට පත් කර තිබෙනවා.”
සමහරවිට ඉහත සඳහන් කළ එවැනිම තත්වයක ඔබ සිටිනවා විය හැක. එහෙත් බලාපොරොත්තුවක් තිබේ: ඔබට දෙවියන්වහන්සේව මිතුරෙකු ලෙස තබාගත හැක!
ඔබට දෙවියන්වහන්සේගේ මිතුරෙකු විය හැකි හේතුව
පව්කාර ක්‍රියාවන් කෙනෙකුව දෙවියන්වහන්සේගේ මිතුරෙකු වීමෙන් වැළැක්විය හැකි බව සැබෑය. භාග්‍යයකට මෙන්, අපගේ ප්‍රේමනීය පියාණන් අපට උපකාර කිරීමට මුල පුරා ඇත. “දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය,” යයි ප්‍රේරිත පාවුල් ලියයි. (රෝම 5:8) අගය දක්වන අයව සම්පූර්ණයෙන්ම පාපයේ වහල්කමින් නිදහස් කිරීමට, යේසුස්වහන්සේ තම මරණයෙන්, මිදීමේ මිලයක් සැපයූසේක. (මතෙව් 20:28) ප්‍රේරිතවරයා මෙලෙස එකතු කරයි: “අපි දෙවියන්වහන්සේගේ සතුරෝ වූයෙමු, නමුත් උන්වහන්සේ තම පුත්‍රයාණන්ගේ මරණය තුළින් අපව තම මිතුරන් කළසේක.”—රෝම 5:10, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.
යෙහෝවඃවහන්සේගේ ප්‍රමිති අගය කිරීමට පැමිණීමට කලින්, පෙර සඳහන් කළ මයිකල් මෙන් ඇතැම් යෞවනයන්, බරපතළ වැරදි ක්‍රියාවල නියැලුණා විය හැක. එහෙත් පෙර කළ පාප, කෙතරම් බරපතළ වුවද, යේසුස්වහන්සේගේ මිදීමේ පූජාව තුළින්, යමෙකුට සමාව ලබාගත හැක. බයිබලය මෙම හද උණුසුම් කරවන සහතිකය ඉදිරිපත් කරයි: “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.” (1 යොහන් 1:9) කෙසේවුවද, කෙනෙකු ඒ ආකාර පිරිසිදු කිරීමක් අගය කරන බව දෙවියන්වහන්සේට පෙන්වීම සඳහා පියවර ගත යුතුය. අදාළ කළ හැකි ප්‍රතිපත්තියක් ප්‍රේරිත පාවුල් මෙසේ ප්‍රකාශ කරයි: “අපවිත්‍ර දෙයකට අත නොගසා සිටපල්ලායයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන, නුඹලාට පියෙක් වන්නෙමි.” (2 කොරින්ති 6:17, 18) කෙනෙකු, එවැනි වැරදි ක්‍රියාවලින් හැරී, අවංකව පසුතැවිලි වුවහොත්, දෙවියන්වහන්සේ තම අනුමැතිය ලබා දී, ඔහුව මිතුරෙකු ලෙස පිළිගැනීමට කැමැත්තෙන් සිටින බව දැනගැනීම කොතරම් හැඟීම් දනවනසුලුද!
පීඩාකාරි පරිසරයක ඇති දැඩි කරනු ලැබූ යෞවනයන් ගැන කුමක් කිව හැකිද? තමන්ගේ කැමැත්තට විරුද්ධව කරනු ලබන දේවල් නිසා, කෙනෙකුව වරදකාරයෙකු ලෙස දෙවියන්වහන්සේ සලකන්නේ නැති බව වටහාගන්න. එවැනි අය ගොදුරු වූවන් මිස, පාපයට හවුල්කරුවන් නොවීය. පුද්ගලයෙකු ලෙස ඔබගේ වටිනාකම රඳා පවතින්නේ, වෙනත් මනුෂ්‍යයෙකුගේ විනිශ්චය මත නොවන බවද මතක තබාගන්න. ඔබගේ තත්වය කුමක් වුවත් යෙහෝවඃවහන්සේට ඔබගේ මිතුරා විය හැක. මත්පැනට ඇබ්බැහි වූ තම පියා නිසා, සාහසිකකමෙන් පිරී තිබුණා වූ නිවසක, ක්‍රිස්තියානි මවක විසින්, මොරීන් ඇති දැඩි කරනු ලැබීය. එහෙත් ඈ මෙසේ පැවසුවාය: “මෙම දුෂ්කර තත්වය මධ්‍යයෙහි වුවද, මට කෙසේ හෝ යෙහෝවඃවහන්සේ සමඟ සබඳතාවක් ගොඩනැඟීමට හැකිවුණා. මාව කිසිදා අත් නොහරින කෙනෙකු ලෙස මම උන්වහන්සේව හඳුනාගත්තා.”
ඔබ බරපතළ පාපයකට වැටුණහොත් කිමෙක්ද?
දේවභයැති දෙමාපියන් විසින් ඇති දැඩි කරනු ලැබූ ඩග්, වයස අවුරුදු 18දී ලිංගික දුරාචාරයේ නියැලී සිටියේය. මෙය ඔහුගේ නරක ආශ්‍රයේ ප්‍රතිඵලයක් විය. “එය වැරදි බව මා දැන සිටි නමුත්, මට විනෝදයෙන් සිටීමට අවශ්‍ය වූ නිසා එසේ කරමින් සිටියා” යයි ඩග් පිළිගත්තේය. ටික කලකට පසුව ඩග් ඔහුගේ ක්‍රියාකලාපයේ නිෂ්ඵලත්වය දුටුවේය. ඔහු මෙසේ පිළිගත්තේය: “මගේ මිත්රයන්යයි කියා සිටි සියලුදෙනාම, මගේ මුදල් ලබාගැනීමට හෝ හොඳ කාලයක් ගත කිරීමට පමණක් මාව යොදාගන්නා බව මම වටහාගැනීමට පටන්ගත්තා.” ඉන්පසු ඔහු යෙහෝවඃවහන්සේ සමඟ මිත්‍රත්වය නැවත ගොඩනඟාගැනීමට පියවර ගත්තේය. එහෙත් විශාල බාධකයක් ඔහුගේ ප්‍රගතිය වැළැක්වීය.
“නැවත උන්වහන්සේ වෙත පැමිණීමට අසීරු වූ මූලික කාරණය නම්, මා එතරම් නොවටිනා බවට හැඟී යෑමයි” යයි ඩග් නොවළහා කීවේය. “මා කර තිබූ සෑමදෙයක්ම යෙහෝවඃවහන්සේගේ ඇස් හමුවෙහි නපුරු වූ බව මට හැඟුණා. උන්වහන්සේ කෙතරම් යහපත්ද සහ මා සමඟ කෙතරම් ඉවසිලිවන්ත ලෙස කටයුතු කර තිබෙනවාද කියා දැන සිටීමෙන්, මා මෙතරම්ම නපුරුව සිටි බැවින්, උන්වහන්සේ මට සමාව දීමට කිසිසේත් කැමැත්තෙන් නොසිටින බව පෙනෙන්ට තිබුණු දෙයක්.” එහෙත්, සභා වැඩිමහල්ලෙකුගේ උපකාරය ඇතුවද, මනස්සේගේ බයිබල් වාර්තාව පරෙස්සමින් සලකා බැලීමෙන්ද, ඩග්ට මෙම කඩුල්ල අබිබවා යෑමට හැකිවිය.
මනස්සේ කවරෙක් වීද? ඔහු පුරාතන යුදයේ රජෙක් විය. ඔහුගේ දේවභයැති පියා වූ හෙසකියා විසින්, යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීමට ඔහුට උගන්වනු ලැබූ බව බයිබලය අඟවයි. එහෙත් ඔහුගේ පියා මියගිය පසු සහ ඔහු අවුරුදු 12දී රජවූ විට, තමාට දැන් කැමති ලෙස ක්‍රියා කිරීමට හැකි බව ඔහු සිතුවේය. ඔහු බාල් වන්දනාව සඳහා යෙහෝවඃවහන්සේව අත්හැරියේය. එවැනි වන්දනාවල මූලිකව දක්නට ලැබුණේ, අධික ලෙස දුරාචාරමය සහ සංයමයකින් තොර වූ ලිංගික සාදයන්ය. “ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ ඔහු [මනස්සේ] බොහෝසෙයින්ම කෙළේය.” උන්වහන්සේ වෙනුවෙන් කතා කළ විශ්වාසවන්ත සේවකයන් තුළින්, “ස්වාමීන්වහන්සේ මනස්සේටත් ඔහුගේ සෙනඟටත් කථාකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය.” එවිට, යෙහෝවඃවහන්සේගේ විනිශ්චයේ ප්‍රකාශ කිරීමක් වශයෙන්, මනස්සේව විලංගු සහිතව සිරකරුවෙකු හැටියට බබිලෝනියට ගෙන යන ලදි.—2 ලේකම් 31:20, 21; 33:1-6, 10, 11.
මනස්සේ ඔහුගේ පෙර ක්‍රියාකලාපය ගැන මෙනෙහි කර, යෙහෝවඃවහන්සේගේ ව්‍යවස්ථාවේ ඔහුට මතක තිබූ දේ සමඟ සැසඳූ විට, ඔහු වැරදිසහගතභාවයෙන් පිරී සිටි නිසා සමාව සඳහා අයැද සිටියේය. ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ යටහත් වී, “උන්වහන්සේට [දිගටම, NW] යාච්ඤාකෙළේය.” දෙවියන්වහන්සේ “ඔහුට ඇහුම්කන්දී ඔහුගේ කන්නලව්ව අසා යෙරුසලමටත් ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවුසේක.” එසේය, “දයාබර කරුණාවල [පියාණන්],” මෙම පසුතැවිලි වූ පව්කාරයාට තමා වෙතට නැවත සමීප වීමට ඉඩහැරීමට කැමැත්තෙන් සිටිසේක. මේ ආකාර දයාවක් ලබාගැනීමෙන් පසුව, මනස්සේ, සිය පෞද්ගලික අද්දැකීම තුළින්, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] [සැබෑ, NW] දෙවියන්වහන්සේ බව . . . දැනගත්තේය.”—2 ලේකම් 33:12, 13; 2 කොරින්ති 1:3.
යෙහෝවඃවහන්සේට මනස්සේව පිළිගැනීමට හැකිවී නම්, අදදින සිටින හිතුවක්කාර යෞවනයෙක්, පසුතැවිලි වීමේ ආකල්පයක් විදහාපෙන්වන්නේ නම්, ඔහුටද නැවත උන්වහන්සේ සමඟ සබඳතාවක් පවත්වාගැනීමට උන්වහන්සේ ඉඩහරින බවට සහතිකය. තම සභාවේ සිටින ආත්මික එඬේරුන්ගේ උපකාරයට ඩග් ප්‍රතිචාරය දැක්වුයේය. දෙවියන්වහන්සේ “නිතර තරවටු නොකරන” බවත්, “සදාකාලයට කෝපය නොපවත්වන” බවත්, පැහැදිලිව දැකගැනීමට ඔහුට උපකාර කරනු ලැබීය.—ගීතාවලිය 103:9.
දෙවියන්වහන්සේගේ මිතුරෙකුව සිටින්න
දෙවියන්වහන්සේ ඔබගේ මිතුරෙකු වූ විට, මෙම සබඳතාව පවත්වාගැනීමට ඔබ එය ආදරයෙන් රැකබලා ගත යුතුය. එක් බව්තීස්ම ලත් යෞවනියක් අවුරුදු 18දී අවිවාහක මවක් වූවාය. එසේවුවත්, යෙහෝවඃවහන්සේ සමඟ කාරණා යළි හරිගැස්වීමට ඇයට උපකාර කරන ලදි. (යෙසායා 1:18 බලන්න.) යළි ප්‍රකෘතිමත් තත්වයට පැමිණීම සඳහා ඇයට උපකාරවත් වූ සාධකය? “යෙහෝවඃවහන්සේ ප්‍රේමනීය පියෙකු වන නමුත් වධකයෙකු නොවන බව මා දැනගත්තා” යයි ඈ පැහැදිලි කළාය. “මා කළ දෙයින් උන්වහන්සේ වේදනාවට පත්වූ බව මා වටහාගත්තා. දෙවියන්වහන්සේ මිතුරෙකු ලෙස මෙන්ම හැඟීම් ඇති කෙනෙකු ලෙස බැලීම ඉතා වැදගත් වන නමුත්, උන්වහන්සේ නිකම්ම ගරු බුහුමන් දැක්විය යුතු, කිසිදාක ප්‍රේම නොකරන, තේරුම්ගැනීමට අපහසු ස්ප්‍රීතුවක් ලෙස නොබැලිය යුතුය.” මනස්සේ මෙන් ඈද යෙහෝවඃවහන්සේගේ නමස්කාරයේ මුළුමනින්ම සහභාගි වීමට පෙලඹී සිටියාය. (2 ලේකම් 33:14-16) මෙය ඇයට ආරක්ෂාවක් වී තිබේ. ඈ අනික් යෞවනයන්ට මෙසේ අවවාද කරයි: “තත්වය දුෂ්කර වුවද, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටින්න. යෙහෝවඃවහන්සේ ප්‍රේමනීය ආකාරයකින් ඔබගේ මාවත් නැවත සකස් කරනවා ඇත.”
දෙවියන්වහන්සේගේ මිතුරන් අතර, මිත්‍රත්වය සොයාගැනීමද වැදගත් වේ. දිව්‍ය ප්‍රතිපත්තිවලට ගෞරවය නොකරන අයගෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න. (හිතෝපදේශ 13:20) යෞවන ලින්ඩා, යෞවනයෙකු සමඟ ලිංගික දුරාචාරයෙහි නියැලිණ, ඇයට ඔහු සමඟ තිබූ මිත්‍රත්වය “වෙන කිසිම දෙයකට වඩා වැදගත්” විය. ඇයගේ ආත්මික සුවවීමට පසුව, ලින්ඩා මෙසේ පිළිගත්තාය: “යෙහෝවඃවහන්සේ සහ ඔබ අතර පෞද්ගලික බැඳීමක් නොතිබුණහොත්, එයට ඔබගේ මුළු ජීවිතයම විනාශ කළ හැක.”
ඔබට එයාකාර බැඳීමක් තිබේද? එසේ නොවන්නේ නම්, එය ලබාගැනීමට කටයුතු කරන්න. දෙවියන්වහන්සේගේ මිත්‍රත්වය ඇතුව සිටීමේ වටිනාකම ලින්ඩා මෙසේ කැටිකොට දක්වයි: “මුළු ලෝකයෙන්ම ඉතා වැදගත් දෙය නම්, යෙහෝවඃවහන්සේ සමඟ හොඳ පෞද්ගලික සබඳතාවයි. මේ ලෝකයේ සිටින කිසිම පිරිමි හෝ ගැහැනු ළමයෙකු හෝ වෙන කිසිම දෙයකට වඩා එය වැදගත්. යෙහෝවඃවහන්සේ සමඟ මිත්‍රත්වයක් නොමැති නම් වෙන කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැහැ.”
[15වන පිටුවේ පින්තූරය]
ඇතැම් යෞවනයන්ට දෙවියන්වහන්සේගේ මිතුරෙකු වීමට තමුන් නොවටිනා බව හැඟී යා හැක