පොළොව දෙවියන්වහන්සේගෙන් අප ලද ත්‍යාගය
“පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.” උන්වහන්සේ පොළොව “ඉතා යහපත්” බවද ප්‍රකාශ කළසේක. (උත්පත්ති 1:1, 31) අපද්‍රව්‍ය ගොඩවල් කිසිවක් එය අවලක්ෂණ කළේ නැත; කැළි කසළ ගොඩවල් කිසිවක් එය දූෂණය කළේද නැත. මනුෂ්‍යවර්ගයා සඳහා අලංකාරවත් ත්‍යාගයක් උරුම කර දෙන ලදි: “ස්වර්ග වනාහි ස්වාමීන්ගේ ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක.”—ගීතාවලිය 115:16.
පොළොව සඳහා උන්වහන්සේගේ අරමුණ යෙසායා 45:18හි මෙසේ පැවසේ: “ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.”
උන්වහන්සේ විශේෂයෙන් පොළොව උදෙසා මනුෂ්‍යයාගේ වගකීම කුමක්ද කියා—එනම් එය “වවන්ටත් බලාගන්ටත්” කියා පෙන්වනසේක—උත්පත්ති 2:15.
යෙහෝවඃවහන්සේ ආදර්ශය තබනසේක. උන්වහන්සේ පොළොව රැකබලා ගන්නාසේක. එක් මාර්ගයක් නම් පොළොව මත සියලුම ජීවීන් රඳා සිටින දේවල් වන, පොළොවේ වැදගත් සැපයුම් ප්‍රතිචක්‍රීකරණය කිරීම මගිනි. එක් විශේෂිත සයන්ටිෆික් අමෙරිකන් කලාපයක මෙවන් චක්‍ර කිහිපයක් පිළිබඳ ලිපි තිබිණ, මෙයට පොළොවේ ශක්ති චක්‍රය, ජෛවගෝලයේ ශක්ති චක්‍රය, ජල චක්‍රය, ඔක්සිජන් චක්‍රය, කාබන් චක්‍රය, නයිට්රජන් චක්‍රය සහ ඛනිජ චක්‍ර ඇතුළත් විය.
පොළොව—මවිතකර මෙන්ම අලංකාරය
ඩිස්කවර් නමැති විද්‍යා සඟරාවේ, සුප්‍රකට ජීව විද්‍යාඥ ලුවිස් ටොමස්, පොළොව පිළිබඳ මෙම සර්ව සම්පූර්ණ ප්‍රශංසාව ලීවේය:
“එය අවබෝධ කරගැනීමට වූ අපගේ සෑම වෑයමක්ම නිෂ්ප්‍රභ කරමින්, තේරුම්ගත නොහැකි තරම් වූ මවිතයට හේතු වන පුදුමය, මුළු මහත් විශ්වයේ දැනට අපට දන්නා වඩාත් අරුම පුදුම ව්‍යූහය, විශ්ව විද්‍යාවට අදාළ ශ්‍රේෂ්ඨතම විද්‍යා ප්‍රහේලිකාව මහ පොළොව වේ. එය කොතරම් පුදුමසහගත හා විශිෂ්ටද එමෙන්ම, එය අපගේ හැඟීම් කොතරම් සසල කරනවාද කියා අගය කිරීමට අප පටන්ගෙන තිබෙනවා පමණි, සූර්යයා වටා පාවෙන අලංකාරම වස්තුව වන මෙය, නිල්වන් බුබුලක් බඳු වායුගෝලයකින් වට වී ඇති අතර, තම අවශ්‍යතාවට ඔක්සිජන් නිෂ්පාදනය කරමින් එය වැය කරයි, එය වාතයෙන් නයිට්රජන් ගෙන පසට එකතුවීමට සලස්වන අතර, එහි වර්ෂා වනාන්තරවලින් එය කාලගුණය සකසයි, හුණුගල් දඹ, කොරල් පර, පොළොව පුරා විහිද ඇති එකට සම්බන්ධ වූ අලුත් ජෛව තට්ටු මගින් ආවරණය වූ කලින් පැවති ජීවීන්ගේ ෆොසිල වැනි ජෛව කොටස්වලින් ආවරණයක්ද තනා ගනී.”
මෙය වනාහි, මිනිස්වර්ගයා සඳහා අලංකාර ත්‍යාගයක්, එනම් ජනයා සහ අසංඛ්‍යාත මිලියන ගණනක් වූ වෙනත් ජීවීන් සඳහා සදාකල් පැවතීමට මවන ලද නිවහනක් වශයෙන් පොළොව දිගටම පැවතීම සඳහා යෙහෝවඃවහන්සේ විසින් පිහිටුවා තිබෙන සැපයුම් කිහිපයක් පමණි. ගීතාවලිය 104:5 මෙසේ පවසයි: “පොළොව සදාකල්ම නොසෙලවෙන ලෙස උන්වහන්සේ ඒකේ අත්තිවාරම් ලූසේක” පොළොවේ මෙම ස්ථිරත්වය පිළිබඳව දේවානුභාවය ලත් තවත් සාක්ෂිකරුවෙක් මෙසේ සාක්ෂිදැරුවේය: “පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුමුත් පොළොව සෑම කල්ම පවතින්නේය.”—දේශනාකාරයා 1:4.
පොළොව වටා අභ්‍යවකාශයේ ගමන් කර තිබෙන ගගනගාමීන්, එහි කක්ෂයට අනුව සුර්යයා වටා ගමන් කරන මෙම අලංකාර, සියුමැළි ගෝලය ගැන වාග් චාතූර්යයෙන් කතා කර තිබෙන අතර, මනුෂ්‍යවර්ගයා එහි අලංකාරය අගය කළ යුතු බවත්, එය රැකබලා ගත යුතු බවත් අදහස් පළ කොට තිබේ. අභ්‍යවකාශයේ සිට පොළොව පළමු වරට දුටු ගගනගාමී එඩ්ගර් මිචල්, හියුස්ටන් වෙත මෙම ගුවන් විදුලි පණිවිඩය යැවීය: “එය හරියටම කාන්තියෙන් බැබළෙන නිල් හා සුදු මැණිකක් වගෙයි . . . ගසාගෙන යන සුදු වලාවලින් එය සැරසී තිබෙන්නාක් මෙනි . . . , අභිරහස්වලින් ගහණ වූ ඝන කළු මුහුදක තිබෙන මුතු ඇටයක් වගෙයි.” ගගනගාමී ෆ්රෑන්ක් බෝර්මන් මෙසේ අදහස් දැක්වීය: “අපි මෙවන් අලංකාර ග්‍රහයෙක් හවුලේ භුක්තිවිඳිනවා. . . . අපට තිබෙන දේ කොහොමටවත් අපට අගය කරන්ට බැරිවීම ඉමහත් පුදුමයට හේතුවක්.” ඇපොලෝ 8 චන්ද්‍ර ගමනේ එක් ගගනගාමියෙක් මෙසේ අදහස් දැක්වීය: “අප මුළු මහත් විශ්වයේ කොතැනක බැලුවත්, අපට වර්ණවත් යමක් හැටියට දැකගන්ට හැකි වූයේ පොළොව පමණයි. මුහුදේ නිල්වන් බව, දේශයේ තද මෙන්ම දුඹුරු වර්ණ, වලාකුළුවල සුදු පාට අපට එහිදී දැකගන්ට පුළුවන් වුණා. . . . මුළු අහස් තලය පුරා දැකගත හැකි වූ අලංකාරතම දෙය වූයේ එයයි. ඔවුන්ට තිබෙන්නේ කුමක්ද කියා මිහිපිට සිටින ජනයාට තේරෙන්නේ නැහැ.”
ප්‍රකාශය සත්‍යය වන බව සාධක පෙන්නුම් කරයි—මිනිස්සු ඔවුන්ට තිබෙන නිධානය අවබෝධ කර නොගනිති. දෙවියන්වහන්සේගෙන් වූ මෙම ත්‍යාගය රැකබලා ගන්නවා වෙනුවට, මනුෂ්‍යවර්ගයා එය දූෂණය කර විනාශ කරති. තාරකා විද්‍යාඥයන්ද මෙය දැක තිබේ. පොළොවේ වායුගෝලයට මිනිසා කර තිබෙන හානිය අවකාශයේ සිට බලන විට “ඉතා අශෝභන” බව අභ්‍යවකාශ ෂටලය වන චැලෙන්ජර් යානයේ පළමු ගුවන් ගමනේ නායක පෝල් වයිට්ස් පැවසුවේය. “අභාග්‍යයකට, මෙම ලෝකය ශීඝ්‍රයෙන් කාන්තිමත් නොවන ග්‍රහයෙක් බවට පත් වෙමින් තිබේ.” ඔහු තවදුරටත් මෙසේ කීවේය: “පණිවුඩය කුමක්ද? අපි අපගේම කැදැල්ල දූෂණය කරන්නෙමු.” විශේෂයෙන්ම මෙම “අන්තිම දවස්වල” මෙහි විනාශකාරි බව දරුණු අන්දමකින් උත්සන්න වී තිබේ. යෙහෝවඃවහන්සේ පොළොව විනාශකරන්නන්ට විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කර තිබේ, එනම්, උන්වහන්සේ ‘පොළොව විනාශකරන්නවුන් විනාශ කරනසේක.’—එළිදරව් 11:18.
කෘතඥතාවෙන් තොර සමාජයක් දෙවියන්වහන්සේගේ ත්‍යාගය ලබන්ට නොවටී
ද්‍රව්‍යවාදී සමාජයක් මාංසය අනුව නිදහසේ කටයුතු කිරීමට අවකාශ සැලසීම සඳහා ආත්මික සාරධර්ම පයින් පාගා දමා තිබේ. මනුෂ්‍යවර්ගයාට සන්තෝෂවත් සහ තෘප්තිකර ලෙස ජීවත්වීමට යෙහෝවඃවහන්සේ දුන් ප්‍රායෝගික මාර්ගදර්ශක, අපගේ කාලය තුළ විදහාපෙන්වනු ලබන ආත්මාර්ථකාමී මමත්වයේ බලපැවැත්වීම මගින් පසෙකට තල්ලු කර ඇත.
අපි ජීවත්වන්නාවූ උපද්‍රව සහිත කාලය 2 තිමෝති 3:1-5හි ඉතා හොඳින් විස්තර කර තිබේ: “අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගනින්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව, දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙයන්න.”
වාණිජ්යවාදය පරිභෝජනවාදයට අත හිත දෙන අතර, වෙළඳ ප්‍රචාරය එයට තවත් රුකුලකි. වෙළඳ දැන්වීම් බොහොමයක් සුදුසුය; බොහොමයක් නුසුදුසුය. පසුව කියන ලද කාරණය ද වෝන්ට් මේකර්ස් යන පොතේ එරික් ක්ලාර්ක්ගේ නිරීක්ෂණයට හොඳින් ගැළපේ: “වැය කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති මිනිසුන්ට නුසුදුසු දේවල් විකිණීමට වෙළඳ දැන්වීම් උපකාරවත් වනවා පමණක් නොව, නුසුදුසු ආකාරයෙන් මිල අධික ඒවා මිල දී ගැනීමටත් බොහෝවිට දිරිගන්වයි.” වර්ල්ඩ් වොච්හි ඇලන් ඩර්නිං මෙසේ පවසයි: “වෙළඳ දැන්වීම් ප්‍රචාරකයෝ භාණ්ඩ නොව, නමුත් සිය භාණ්ඩ පුද්ගලයාගේ දැඩි ආශාවලට සම්බන්ධ කරවමින්, ජීවන රටා, ආකල්ප සහ මනඃකල්පිතයන් විකුණති.” වෙළඳ දැන්වීම්වල ඉලක්කය වන්නේ අපට තිබෙන දෙයින් අපව නොසෑහීමට පත් කර, අපට අවශ්‍ය නොවන දේවල් කෙරෙහි ආශාවක් ඇති කිරීමයි. එය සන්සිඳුවාලිය නොහැකි දැඩි ආශාවක් උපදවයි; දරාගත නොහැකි තරම් අධික පරිභෝජනයට මඟ පාදයි; පොළොව දූෂණය කරන්නාවූ අපද්‍රව්‍ය ගොඩවල් වැඩිවීමට එය දායක වෙයි. කූට අන්දමින් ඉන් ඇති කරවන පෙලඹවීම බලාපොරොත්තු රහිතව දිළිඳුකමෙන් ජීවත් වන්නන්ගේ වෙහෙස වූ හෘදයන් තුළට පවා කිඳා බසී. බොහෝ වෙළඳ ප්‍රචාරකයෝ මිනිසුන් මරණයට පත් කරවන හෝ රෝගාතුර කරවන බවට දන්නා භාණ්ඩ කලහකාරි ලෙස වෙළඳපොළට හඳුන්වා දෙති.
දේශනාකාරයා 12:13 පවසන පරිදි වැදගත් වන්නේ දෙවියන්වහන්සේ සමඟ අපට තිබෙන ස්ථාවරයයි: “සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වාපන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.” එසේ කරන්නෝ යෙහෝවඃවහන්සේගේ පිරිසිදු පාරාදීසයේ ජීවිතය සඳහා සුදුසුකම් ලබන්නෝය! යේසුස්වහන්සේ මෙසේ පොරොන්දු වූසේක: “මේ ගැන මවිත නොවෙල්ලා. මක්නිසාද සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත-නැගිටීමටත් පිටත්ව එන්නෝය.”—යොහන් 5:28, 29.
දෙවියන්වහන්සේගේ ත්‍යාගය අගය කරනු ලබන විට
ඇත්තෙන්ම එය මොනතරම් අදහා ගත නොහැකි ආශ්චර්යවත් පොළොවක් වනු ඇද්ද! ඒ පිළිබඳ මෙම උදාරතම විස්තරය යෙහෝවඃවහන්සේ අපට දී තිබෙනසේක: “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [යොහන්] දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහවගියේය; මුහුදද තවත් නොවීය. [දෙවියන්වහන්සේ] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:1, 4.
පළමු දේවල් වන කුණු කසළ ගොඩවල්, විෂකර අපද්‍රව්‍ය සහ අනිකුත් අය මත පටවන ලද අපද්‍රව්‍යද පහව ගොස් තිබෙනු ඇත. එවිට එම පොළොව මත ජීවත්ව සිටින එකම ජනයා වන්නේ, තමාට මෙන් තමාගේ අසල්වැසියාට ප්‍රේම කරන, යෙහෝවඃවහන්සේගේ ත්‍යාගය වන පොළොව වෙනුවෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන, එය රැකබලා ගැනීමට සහ පාරාදීසමය තත්වයකින් තබාගැනීමට සතුටු වන අය පමණි.—මතෙව් 22:37, 38; 2 පේතෘස් 3:13.
[11වන පිටුවේ කොටුව]
ද්‍රව්‍යවාදයේ නිෂ්ඵලකම
“සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගනිල්ලා. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත,” යනුවෙන් යේසුස්වහන්සේ අනතුරු ඇඟවූ විට තියුණු සත්‍යයක් පිළිබඳ කතා කළසේක. (ලූක් 12:15) වැදගත් වන්නේ අප සතු දේ නොව; අප කෙබඳු අයද යන වගයි. අපට ඇත්තෙන්ම ජීවිතය තුළින් පිරිනැමිය හැකි හොඳම දේ අපෙන් සමහරවිට ගිලිහී යන අවස්ථාවක, අප ජීවිතයෙන් උපරිම තෘප්තියක් ලබාගනිමින්, කිසිම දෙයක් අතපසු නොකරමින් සිටිනවා කියා සිතා, ජීවිතයේ වෙහෙසීම්වලට—එනම් මුදල් ඉපයීම, වස්තු රැස් කිරීම සහ මාංසය ආශා කරන සියලුම සැප උදුරා ගැනීම සඳහා වියරු උත්සාහයක යෙදීමට අසුවීම ඉතා පහසුය.
අපට අහිමි වූ දෙය අප අවබෝධ කරගන්නේ අප මරණාසන්නව සිටින විටදී පමණි. බයිබලය පවසන්නාවූ සත්‍යය අපි අවබෝධ කරගන්නෙමු: ජීවිතය ඉතා කෙටිය—නොපෙනී යන මීදුමක්ය, ගෙවීයන දුමක්ය, හිස්කමක්ය, පහව යන සෙවනැල්ලක්ය, වියළී යන තණකොළය, පරවී යන මලක්ය. එය ගියේ කොයිබටද? අප කර තිබෙන්නේ කුමක්ද? අප මෙහි සිටියේ මන්ද? තිබෙන සියල්ල මෙපමණද? නිකම්ම බලවත් නිෂ්ඵලකමක්ද, හිස්වූ උත්සාහයක්ද?—යෝබ් 14:2; ගීතාවලිය 102:3, 11; 103:15, 16; 144:4; යෙසායා 40:7; යාකොබ් 4:14.
රෝහලක මරණාසන්නව සිටින පුද්ගලයෙක් ජනේලයෙන් පිටත බලන විට, කඳුකරය උණුසුම් හිරු එළියෙන් නැහැවී තිබීම, තණකොළ සහ කිරිඳිවලින් මිශ්‍ර තණබිමක්, ජීවන සටනක යෙදෙන කුඩා මල් ස්වල්පයක්, බීජ කිහිපයක් සඳහා කසළ පහුරුගාන ගේ කුරුල්ලෙකු දකී—එතරම් උද්වේගයෙන් කැලඹිය යුතු දර්ශනයක් නොවේ. එහෙත් මරණාසන්නව සිටින පුද්ගලයාට එය අලංකාරය. එතරම් අර්ථවත් වන කුඩා දේවල් වන ප්‍රීතියට සරල හේතු තමාගෙන් අහිමි වී තිබෙන අන්දම ගැන කල්පනා කිරීමට, කනගාටුව හා මුසු වූ ආශාවක් ඔහු තුළ පෙලඹීමක් ඇති කරයි. සියල්ලම මෙතරම් ඉක්මනින් අවසන් වී හමාරය!
බයිබලයේ ග්‍රීක් ශුද්ධ ලියවිලි එය සරල ආකාරයෙන් මෙසේ දක්වයි: “මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමු.” (1 තිමෝති 6:7, 8) හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි එය වඩාත් පැහැදිලිව මෙසේ දක්වයි: “ඔහු තමාගේ මවුගේ කුසෙන් නික්ම ආ ලෙසම නිර්වස්ත්‍රව නැවත යන්නේය, තමාගේ අතින් ගෙනගිය හැකි කිසිවකුත් තමාගේ වැඩෙන් ඔහු ගෙනයන්නේ නැත.”—දේශනාකාරයා 5:15.
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
NASA photo