මසුන් ආහාරයට ගැනීම සඳහා රාජාලීන් පිවිසෙන තැන
උන් මුළු ඇලස්කාව, බ්‍රිතාන්‍ය කොලොම්බියාව සහ වොෂිංටන් ජනපදය තරම් ඈත ප්‍රදේශවල සිට, ආහාරය සඳහා ඉතා අලංකාර ලෙස ඇඳ පැළඳගෙන දහස් ගණනින් පැමිණේ. සුදු පැහැති ඔළු සහ සෙමින් බිමට පතිත වීම සඳහා දිග අරිනු ලබන සුදු පැහැති පෙඳ ඇති මෙම පක්ෂීන් ඉතාමත් ආකර්ෂණීය දර්ශනයකි. උන්ගේ ශරීරය තද දුඹුරුය, සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 6කි, ගැහැනු පක්ෂීන් පිරිමි පක්ෂීන්ට වඩා මදක් විශාලය, පියාසර කරන වේගය පැයට කිලෝමීටර් 50කි, පියාපත් අතර පරතරය මීටර් 1.8ක් සිට 2.4ක් අතර වේ—නමුත් උන්ගේ තියුණු දෘෂ්ටියෙන් කිලෝමීටරයකට වඩා ඈතින් සිටින මත්ස්‍යයෙකු දක්නට ලැබුණොත්, පැයට කිලෝමීටර් 160ක වේගයකින් පහතට ඇදී යා හැකි උන්ට එය ඩැහැ ගෙන යා හැක!
කෙසේවුවද, චිල්කට් ගංගාව අසල උන්ගේ ආහාර භෝජනය සඳහා ආකාශයේ එවන් දර්ශනීය දස්කම් දැක්වීම අවශ්‍ය නැත. උන් ගිලදැමීමට බලා සිටින සැමන් මසුන් සමූහය කොතැනකටවත් නොයනු ඇත. ඉතා බහුල වශයෙන් දක්නට ලැබෙන මෙම මසුන් සමූහය බලා සිටින්නේ ගිල දමනු ලැබීමටය. “ලෝකයේ වැඩිම හිස මුඩු රාජාලීන් සිටින ස්ථානය සහ අවදානමට ලක් වූ උන්ගේ ස්වාභාවික වාසභූමිය ආරක්ෂා කිරීමට සහ අඛණ්ඩව පවත්වා ගැනීමට,” 1982දී ඇලස්කා ප්‍රාන්තයේ බිහි කරන ලද ඇලස්කා චිල්කට් හිස මුඩු රාජාලි අභයභූමිය මගින් මේ සියල්ලක්ම උන්ට පිරිනමනු ලැබේ.
මෙම අභයභූමියට චිල්කට්, ක්ලේහේනී සහ සිර්කූ ගංගා ආශ්රිත පහත් බිම්වලින් හෙක්ටාර 19,000ක් ඇතුළත් වන අතර, මෙයට ඇතුළත් වන්නේ රාජාලීන්ගේ ස්වාභාවික වාසභූමියට වැදගත් ප්‍රදේශ පමණි. රාජාලීන් දහස් ගණනක් එක් රොක් වන ස්ථානය සහ බැහැදකින්නන් රැස් වන විශේෂ ප්‍රදේශය ඇත්තේ, හේන්ස් සහ ක්ලූවැන් අතර හේන්ස් මහාමාර්ගයේ සීමාව වන චිල්කට් ගංගාව අද්දරින් දිවෙන කිලෝමීටර් 8ක භූමි භාගයකය.
“ඇලස්කා චිල්කට් හිස මුඩු රාජාලි අභයභූමිය” යන මාතෘකාවෙන් යුත් ආණ්ඩුවේ පත්‍රිකාවේ, මෙම ගංගාවේ කිලෝමීටර් 8ක් දක්වා විහිදෙන කොටසට, රාජාලීන්ට ප්‍රණීත සැමන් සංග්‍රහයක් දීමට හැකි වන හේතුව අපට පවසයි.
“චිල්කට් ගංගාවේ අයිස් මිදෙන මාස තුළදී, කිලෝමීටර් 8ක නොමිදුණු ජලයට වගකිව යුතු ස්වාභාවික සිද්ධිය ‘දියළු අවාන ජලාශයක්’ නමින් හැඳින්වේ. සිර්කූ, ක්ලේහේනී සහ චිල්කට් ගංගාවල දෙමෝදර අසබඩ පිහිටි බොරලු, ගල්, වැලි සහ ග්ලැසියර සුන් බුන්වලින් සෑදුණු අවාන හැඩති සිර්කූ අවාන විශාල ජලාශයක් හැටියට ක්‍රියා කරයි.”
සාමාන්‍යයෙන්, තවත් ජලස්කන්ධයකට ඇතුල් වන ස්ථානය අසලට සෙමින් ගලා බසින ගඟක් අවසාදිත තැන්පත් කරමින් ඩෙල්ටාවක් සාදන නමුත්, එතැන ජලාශයක් සෑදෙන්නේ නැත. කෙසේවුවත්, සිර්කූ ගඟ චිල්කට් ගඟට ඇතුල් වන ස්ථානයේදී, භූ විභේදනය සහ ග්ලැසියර ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් මුහුදු මට්ටමින් පහළ මීටර් 230ක ගැඹුරකට හෑරුණු විශාල ද්‍රෝණියක් සෑදිණ. ග්ලැසියර පහතට බැසගිය විට, සුන් බුන් ඉතිරි වූ අතර, ද්‍රෝණියේ යටි පාෂාණ මත මීටර් 230ක් තරම් ඝන වූ බුරුල් සවිවර තට්ටුවක් තැන්පත් වන තාක් කල් ගංගා මගින් වැලි හා බොරලු තැන්පත් කරනු ලැබීය.
වඩා උණුසුම් වසන්ත, ග්‍රීෂ්ම ඍතු සහ ශරත් ඍතුවේ මුල්භාගයේදී, හිමෙන් සහ දිය වූ ග්ලැසියර අයිස්වලින් ලැබූ ජලය දියළු අවාන තුළට ගලා බසින බව එම වාර්තාව පෙන්නුම් කරයි. ඉන් පිටතට ගලා බසින වේගයට වඩා වැඩි වේගයකින් එතුළට ජලය ගලා බසින අතර, එනිසා විශාල ජලාශයක් සෑදේ. රාජාලි අභයභූමි පත්‍රිකාව තවදුරටත් මෙසේ සඳහන් කරයි: “ශීත ඍතුව පැමිණෙන විට, කාලගුණය ශීත වන අතර අවට ජලය මිදේ. කෙසේවුවත් මෙම විශාල ජලාශයේ ජලය, අවට ජලයේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5 සිට 10 දක්වා ඉහළින් පවතී. මෙම වඩා උණුසුම් ජලය චිල්කට් ගංගාවට ‘වෑස්සෙන’ අතර, එය මිදීමෙන් වළක්වා ගනී.
“සැමන් මත්ස්‍ය විශේෂ පහක් මෙහි සහ නුදුරින් පිහිටි වෙනත් දියපාරවල සහ අතු ගංගාවල බිජු දමති. සැමන් පර්යටනය ග්‍රීෂ්ම ඍතුවේ ආරම්භ වී ශරත් ඍතුවේ අවසානභාගය තෙක් හෝ ශීත ඍතුවේ මුල්භාගය තෙක් දිගටම පවතී. බිජු දැමීමෙන් ස්වල්ප වේලාවකට පසුව සැමන් මත්ස්‍යයන් මියයන අතර, රාජාලීන්ට විශාල ආහාර ප්‍රමාණයක් සපයන්නේ උන්ගේ මළ කුණුය.”
සැමන් ආහාර භෝජනය ඔක්තෝබර් මස ආරම්භ වී පෙබරවාරි මස අවසන් වන අතර, ඉන් කෙටි කලකට පසුව, රාජාලීහු දහස්ගණනක් අවට ප්‍රදේශයේ දුර ඈතට විසිරී යෑමට පටන්ගනිත්. කෙසේවුවත් රාජාලීන් 200 සිට 400ක් අතර සංඛ්‍යාවකට වසර පුරාම එම අභයභූමිය නිවස වී තිබේ. උන්ට ඇල්ලීමට හැකි වන ඕනෑම මත්ස්‍යයෙකුට අමතරව, ජලචර පක්ෂීන්, කුඩා ක්ෂීරපායී සතුන් සහ කුණු මස් උන්ගේ ආහාර රටාවේ අඩු පාඩු සපුරාලයි.
ප්‍රබෝධවත් පෙම්කෙළිය සහ ස්ථිරසාර “විවාහ”
උන් ජීවිතාන්තය දක්වාම අඹු සැමියෝ වශයෙන් සිටිති—උන්ට වයස 40 දක්වා ජීවත්වීමට හැක—නමුත් සාමාන්‍යයෙන් ඔවුන් එකට සිටින්නේ කැදලි තනන කාලය තුළදී පමණි. අප්‍රියෙල් මාසයේදී පෙම්කෙළිය ආරම්භ වන අතර, රාජාලීන්—ඇලස්කා චිල්කට් හිස මුඩු රාජාලි අභයභූමිය නමැති පත්‍රිකාවට අනුව, “පහතට ඇදී යන රාජාලීන් නිය එකට පටලවාගෙන ආකාශයේ කරණම් ගසමින් විශිෂ්ට පෙම්කෙළි ප්‍රදර්ශනයක යෙදීම ඊට ඇතුළත් විය හැක.” අත් ඇල්ලීම ඇතුළුව කරන දේවල්? ප්‍රේමයෙන් මත් වූ අද්දැකීමක් මෙනි!
එම අභයභූමියේ කැදලි 94ක් නිරීක්ෂණය කර තිබේ. දින 34ක හෝ 35ක බීජෞෂණ සමයකින් පසුව, මැයි මස අගභාගය සහ ජූනි මස මුල්භාගය අතර කාලය තුළදී, සාමාන්‍යයෙන් බිජු එකේ සිට තුන දක්වා ප්‍රමාණයකින් පැටව් බිහි වේ. එම පැටව් සැප්තැම්බර් මාසයේදී කැදැල්ල අත්හැර යති, නමුත් උන් දුඹුරු සහ සුදු පැහැති ලප සහිත පිහාටු කළඹක් සමඟින් සෑහීමට පත් විය යුතුය. උන්ට වයස අවුරුදු හතරක් හෝ පහක් වන තුරු තමන්ගේ සිත්කලු හිස සහ පෙඳ නොලැබේ!
රාජාලීන් ජීවත්වීමට දරන සටන සම්බන්ධයෙන් යම් පසුබිමක්ද, බැහැදකින්නන්ට ආරක්ෂා සහිතව අභයභූමිය භුක්තිවිඳිය හැකි ආකාරය සම්බන්ධයෙන් උපදෙස්ද එම පත්‍රිකාව සපයයි:
“ඇලස්කා චිල්කට් හිස මුඩු රාජාලි අභයභූමියේ රාජාලීන්ගේ සංරක්ෂණය සඳහා හෙක්ටාර 19,000ක් වෙන් කර තිබේ. එහෙත් රාජාලීන් සැමවිටම ආරක්ෂා කර නොමැත; උන් වරක් ගෙවීමක් කරන ලද දඩයම්කරුවන්ගේ විනෝද දඩයමක් වී තිබිණ. පණ ඇති සැමන් මත්ස්‍යයන් සහ කුඩා සතුන් සඳහා රාජාලීන්ගේ පුදුම එළවන රුචිය පිළිබඳ පළ වූ වාර්තා මත පදනම්ව, ඇලස්කාවේ ප්‍රාදේශීය ව්‍යවස්ථාදායකය 1917දී රාජාලීන් මැරීම වෙනුවෙන් ගෙවීමක් කිරීමට පටන්ගත්තේය. තම ඉතා අඩු හමුදා වේතනයේ අඩුව පිරිමසාගැනීමට, නිය යුගලයක් සඳහා ඩොලරයක් (පසුව ඩොලර් 2කට වැඩි කරන ලදි) ලබාගත් අන්දම ගැන හේන්ස්හි විලියම් එච්. සිවර්ඩ් බලකොටුවේ හිටපු යුධ භටයෝ කතාන්තර පවසති.
“පර්යටනය කරන සැමන් මත්ස්‍යයන් කෙරෙහි රාජාලීන්ගෙන් එල්ල වන තර්ජනය අතිශයෝක්තියක් ලෙස දක්වා තිබුණු බව පසුව කරන ලද පරීක්ෂණ තුළින් සොයාගනු ලැබූ අතර, 1953දී එම ගෙවීම ඉවත් කරන ලදි. එම ගෙවීම සඳහා ඒ අවස්ථාව වන තුරු, රාජාලීන් 1,28,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වෙඩි තබා තිබිණ. එක්දහස් නවසිය හතලිස් ගණන්වල එම ගෙවීම තවමත් ක්‍රියාත්මකව තිබියදී ගිනිකොන දිග ඇලස්කාවේ රාජාලීන්ගේ ගහණය, 1970 ගණන්වල රාජාලීන්ගේ ගහණයට වඩා අඩක් වූ බව තක්සේරු කරන ලදි.
“ඇලස්කාව, 1959දී ජනපදයක් බවට පත් වූ විට, 1940 හිස මුඩු රාජාලි පනතට අනුව ඇලස්කාවේ හිස මුඩු රාජාලියා, මධ්‍යම ආණ්ඩුවේ ආරක්ෂාව යටතට පත් විය. රාජාලියෙකු මරාදැමීම ආණ්ඩුවේ නීති විරෝධී ක්‍රියාවක් වන අතර, යම් විශේෂිත කොන්දේසි පිට තබාගන්නවා මිස, පණ ඇති හෝ මළ රාජාලීන් හෝ උන්ගේ කුමන හෝ කොටස් (පිහාටු ඇතුළත්ව!), තබාගැනීමද නීති විරෝධී ක්‍රියාවකි.
“ප්‍රධාන වශයෙන් රාජාලීන් සිටින ස්ථානයට ආරක්ෂාව සහතික කිරීම පිණිස, 1972දී ඇලස්කා ප්‍රාන්තීය ව්‍යවස්ථාදායකය, ඇලස්කා මසුන් හා දඩයම් සතුන් දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලැබූ චිල්කට් ගංගාවේ අවදානම් වාසභූමි ප්‍රදේශය පිහිටෙව්වේය. පුළුල් රාජාලි වාසභූමි ප්‍රදේශයක් අනාරක්ෂිතව පැවති අතර, චිල්කට් නිම්නයේ ඉඩම් භාවිත කිරීමේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඉතා දීර්ඝ අප්‍රසන්න සටන් බොහෝවිට පරිසරවේදීන් සහ සංවර්ධනයට පක්ෂ බලධාරීන් අතර සිදු විය. ජාතික ඕඩබන් සමිතිය සහ රජයෙන් ආධාර ලබන හේන්ස්/ක්ලේහේනී සම්පත් අධ්‍යයනය මගින් කරන ලද දැඩි අධ්‍යයනයකින් පසුව ගස් කපන්නෝ, මසුන් අල්ලන්නෝ, පරිසරවේදීහු, ව්‍යාපාරිකයෝ සහ ප්‍රාදේශීය දේශපාලනඥයෝ අවසාන වශයෙන් යම් එකඟත්වයකට පැමිණියහ. වර්ෂ 1982දී ජනපදයේ ව්‍යවස්ථාදායකය, එම එකඟත්වය නීතියක් හැටියට පනවමින්, හෙක්ටාර 19,000කින් යුත් ඇලස්කා චිල්කට් හිස මුඩු රාජාලි අභයභූමිය බිහි කළේය.
“එම අභයභූමිය තුළ ගස් කැපීමට හෝ කැනීම්වලට අවසර නොලැබුණු නමුත්, බදරි කැඩීම, මසුන් ඇල්ලීම සහ දඩයම් කිරීම වැනි සම්ප්‍රදායික ක්‍රියා එහි දිගටම පැවතිය හැක. එම අභයභූමිය ප්‍රාදේශීය වාසීන්, රාජ්‍ය නිලධාරීන් සහ ක්ෂුද්රජීව විද්‍යාඥයෙකුගෙන් යුත් සාමාජිකයන් 12දෙනෙකුගෙන් සෑදි උපදේශක මණ්ඩලයකගේ උපකාරය ඇතුව ඇලස්කා වනෝද්‍යාන අංශයේ අධීක්ෂණය යටතේ පවතී.
“පරිසරයට හානි නොපමුණුවන ආකාරයට නිම්නයේ ස්වාභාවික සම්පත් පාවිච්චි කරන අන්දම නිරන්තරයෙන්ම පවතින ප්‍රශ්නයක් වන අතර, ඉඩම් භාවිත කිරීම සම්බන්ධයෙන් පැන නඟින ප්‍රශ්න චිල්කට් නිම්නයේ මතභේදවලට තවමත් තුඩු දිය හැක. එහෙත් රාජාලීන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රාදේශීය විසඳුමක් සොයාගනු ලැබූ බැවින්, ප්‍රාදේශීය වාසීහු ආඩම්බර වෙති.”
බැහැදකින්නන්හට රාජාලීන් නැරඹිය හැකි ප්‍රධාන ප්‍රදේශය ඇත්තේ හේන්ස් මහාමාර්ගය දිගේ, චිල්කට් ගංගාවට සමාන්තරවය, තවද මෙහි නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රදේශ මෙම අරමුණ සඳහා සපයා තිබේ.
[15වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
චිල්කට් ගංගාව චිල්කුට් ගංගාව
ක්ලේහේනී ගංගාව ක්ලූවැන්
රාජාලීන් නරඹන ප්‍රදේශය
(දියළු අවාන)
▴
▴
හේන්ස් මහාමාර්ගය
සිර්කූ ගංගාව ▾ චිල්කුට් විල
චිල්කට් විල ▾
චිල්කට් ගංගාව ▾ ලුටක් කඩතොල්ල
ටක්හින් ගංගාව ▾
හේන්ස්
[හිමිකම් විස්තර]
Mountain High Maps™ copyright © 1993 Digital Wisdom, Inc.
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
15-18 පිටුවල හිස මුඩු රාජාලීන්: Alaska Division of Tourism