මම ඉලක්කයක් නොමැතිව සිටියා නමුත් ජීවිතයේ අරමුණක් සොයාගත්තා
එක් උදෑසනක හිමිදිරියේම මගේ නිදන කාමරය තරබාරු මිනිසුන් දෙදෙනෙකු විසින් සෝදිසි කරන අවස්ථාවේදී, බලාපොරොත්තු නොවූ ලෙස අවදිවීමෙන් මා තුළ පහළ වූ චිත්ත පීඩාව සහ නොසන්සුන්භාවය පිළිබඳව සිතා බලන්න. පෙනෙන ලෙසට, මගේ මව සුදුමැලිව සහ අසරණව තිගැස්සුණු තත්වයක සිටියා. එම මිනිස්සු රහස්පරීක්ෂකයන්.
ඔවුන් සොයන්නේ කුමක්ද කියා මම ඉක්මනින්ම දැනගත්තා. පිටතින් ධෛර්යසම්පන්න, නිර්භීත පෙනුමකින් සිටියත්, ඇතුළාන්තයෙන් මම බියෙන් සිටියා. අමෙරිකා එක්සත් ජනපදයේ, නිව් ජර්සෙහි අපගේ තරුණ සොරු කල්ලිය පොලිසියේ දැලට කෙමෙන් කෙමෙන් හසු වෙමින් සිටි බව මට අවබෝධ වුණා. රහස් පරීක්ෂකයන් පරුෂ ලෙස මට ලෑස්තිවන්න කියා පවසා, පසුව ප්‍රශ්න කිරීම සඳහා මා පොලිස් මූලස්ථානය වෙතට ඉක්මනින් ගෙන ගියා.
මම මෙම කාලකණ්ණි තත්වයට පත් වූයේ කෙසේද? එය ජීවිතයේ මුල් කාලයේදී පටන්ගත්තා. නහඹරවියේ මැදභාගයේ සිටි විට පවා, මා සිතුවේ මම දැඩි බාල අපචාරියෙකු බවයි. එක්දහස් නවසිය හැට ගණන් අතරතුර, හේතුවක් නොමැතිව කැරලිගැසීම “පිළිගත හැකි” බව බොහෝ යෞවනයන් සිතූ අතර, මමත් මුළු හෘදයෙන්ම ඊට එකඟ වුණා. මෙසේ, වයස අවුරුදු 16දී, උසස් පාසැලෙන් නෙරපා දැමීම නිසා, මම ළඟපාත බෝලමේස ක්‍රීඩාව කරන ස්ථානයේ නිකරුණේ කාලය ගත කරමින් සිටියා. එහිදී ගෙවල් බිඳීමෙහි යෙදෙන යෞවන කල්ලියක් සමඟ මම සම්බන්ධ වුණා. ඔවුන් සමඟ තරමක් දුරට සමහර සොරකම්වල නිරතවීමෙන් පසු, අද්දුටු උද්වේගයෙන් හා ත්‍රාසයෙන් මම වින්දනයක් ලැබූ අතර, සැබවින්ම සෑම අද්දැකීමකින්ම සම්පූර්ණයෙන්ම වාගේ තැතිගැන්මෙන් යුතු ප්‍රීතියක් ලබාගත්තා.
මාස නවයක කාලයක් පුරා බලෙන් ඇතුල් වී සොරකම් කිරීම මෙලෙස ආරම්භ වුණා. කල්ලියක් වශයෙන්, අපි මූලිකවම විශාල වශයෙන් මුදල් නිතරම තබා තිබෙන වෘත්තීය කාර්යාල කෙරෙහි අවධානය යොමු කළා. අසු නොවී අප සිදු කළ ගෙවල් බිඳීම්වල සංඛ්‍යාව වැඩි වෙත්ම අපේ නිර්භීතකමද එලෙසම වැඩි වුණා. අවසානයේදී, ප්‍රාන්තයට අයත් බැංකුවේ ශාඛාවකින් සොරකම් කිරීමට අපි තීරණය කළා.
මුල් වතාවට, කාරණා වරදින්ට පටන්ගත්තා. කිසිම අපහසුවක් නැතුව බැංකුවට ඇතුල්වීමට අපට හැකි වුණත්, කඩාගැනීමට හැකි වූයේ මුදල් භාරකරුගේ ලාච්චු පමණක් බැවින් බලාපොරොත්තු සුන් වූ රාත්‍රියක් අපි ගත කළා. අප එම බැංකුවට ඇතුල් වූ නිසා, මෙම සිද්ධියට ෆෙඩරල් අන්වේෂණ කාර්යංශය (FBI) සම්බන්ධ වීම වඩාත් බරපතළ ගැටලුවක් වුණා. FBI සංවිධානය අප පසුපස හඹා ආ නිසා, වැඩි කාලයක් ගතවන්ට පෙර අප සියලුදෙනාවම අත්අඩංගුවට ගනු ලැබුවා.
වැරදි කිරීමේ කනගාටුදායක බලපෑම්
මම පෞද්ගලිකව ගෙවල් බිඳීම් 78කට චෝදනා ලැබූ අතර, ඒ සෑම එකක්ම විස්තර සහිතව අධිකරණය වෙත ශබ්ද නඟා කියවීමෙන් ඇති වන ලජ්ජාවෙන්ද පීඩා වින්දා. ප්‍රාදේශීය පුවත්පතේ අපේ අපරාධ පිළිබඳ ලැබූ ප්‍රසිද්ධිය ඇතුළුව, මෙය මගේ දෙමාපියන්ට තදබල පහරක් වුණා. ඔවුන් මත එල්ල කළ අවමානය සහ ලජ්ජාව එම කාලයේදී මගේ සැලකිල්ලට එතරම් භාජන වූයේ නැහැ. මට අනියත කලකට රාජ්‍ය චරිත ශෝධනාගාරයේ දණ්ඩන නියම කළ අතර, ඉන් අදහස් වූයේ මම වයස අවුරුදු 21 වන තෙක් අත්භාරයේ සිටීමයි. කෙසේවෙතත්, අතිදක්ෂ නීතිඥයෙකුගේ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මාව විශේෂ චරිත ශෝධන පාසැලකට මාරු කරනු ලැබුවා.
මම බන්ධනාගාර කාලපරිච්ඡේදයක් මඟහැර තිබුණද, සමාජයෙන් සහ කලින් සිටි ආශ්‍රිතයන්ගෙන් මම අහක්ව සිටිය යුතුය යන්න එක් ගිවිසුමක් වුණා. මේ අරමුණ පෙරදැරි කරගෙන, නෙවාර්ක්හි පිහිටි පෞද්ගලික පාසැලකට මාව ඇතුල් කරනු ලැබුවා, එය මා වැනි දඩබ්බර ළමයින් කෙරෙහි අවධානය යොමු කළ පාසැලක්. මීට අමතරව, වෘත්තීය සහය ලබාගැනීම පිණිස මනෝ විද්‍යාඥයෙකු සමඟ සතිපතා සැසිවාර පැවැත්වීමට මට නියම කර තිබුණා. මේ සියලු සැලසුම් මගේ දෙමාපියන් විසින් යොදවනු ලැබූ අතර, මේ සඳහා සෑහෙන්න මුදල් පරිත්‍යාග කිරීමට ඔවුන්ට සිදු වුණා.
වෙනස් වීමට උත්සාහයන්
අපේ ගමේ ප්රවෘත්ති පත්‍රයක “ඉපල පාවිච්චි නොකිරීම ගැන,” යන මාතෘකාව යටතේ කතුවැකියක් පළ වූයේ අපගේ හොඳින් ප්‍රසිද්ධ වූ නඩුවේ ප්‍රතිඵලයක් වශයෙන් බවට කිසි සැකයක් නැහැ. අපේ කල්ලියට පෙනෙන ආකාරයට ලැබුණු ලිහිල් දඬුවම මෙම ලිපිය විවේචනයට ලක් කළා. මෙම කතුවැකියේ අදහස් පළමු වතාවට මගේ හෘදය සාක්ෂියට කාවැදුණා. ඉතින් මම ප්රවෘත්ති පත්‍රයෙන් එම කොටස කපා, කවදා හෝ, යම් විදිහකින්, මම මගේ දෙමව්පියන්ට ඇති කර තිබෙන පීඩාව, ලජ්ජාව සහ වියදම මකා දමන බවට මම මටම පොරොන්දු වුණා.
මට වෙනස් විය හැකියි කියා මගේ දෙමාපියන්ට ඔප්පු කළ හැකි එක් මාර්ගයක් නම්, වයසට නියමිත පන්තිය සමඟ උසස් පාසැල් උපාධිය ලබාගැනීම කියා මම සිතුවා. මගේ ජීවිතයේ කිසිදාක ඉගෙනගෙන නොතිබුණ ආකාරයෙන්, මම ඉගෙනගැනීමට පටන්ගත්තා. ප්‍රතිඵලය වූයේ පාසැල් වසර අවසානයේදී, මට දණ්ඩනය නියම කළ විනිශ්චයකරුවා ඉදිරිපිට මගේ පරීක්ෂණ නිලධාරියා සමඟ මම පෙනී සිටි විට, සෑම වාරයකම B-ධන සාමාන්‍යයක් ලබා තිබෙන බවට ඔහු දැන ගත් විට ඔහුගේ සැර පරුෂ මුහුණේ මද සිනහවක් මතු වීමයි. ඉතින් දැන් මගේ පරණ උසස් පාසැලට නැවත යෑමට මට මඟ පෑදුණු අතර, ඊළඟ වසරේදී මම උපාධිය ලැබුවා.
ඉලක්කයක් නොමැති බව දිගින් දිගටම පැවතීම
වර්ෂ 1966දී, මගේ පන්තියේ යහළුවන් බොහෝදෙනෙක් වියට්නාමයේ යුද්ධයට ගිය අතර, මම බටහිර වර්ජිනියාහි පිහිටි කොන්කෝර්ඩ් විද්‍යාලයට ගියා. විද්‍යාලයේදී මත්ද්‍රව්‍ය, සාම රැස්වීම් සහ සම්ප්රදායක සාරධර්ම ප්‍රශ්න කරන සම්පූර්ණ අලුත් සංස්කෘතියක් මට හඳුන්වා දෙනු ලැබුවා. මා යම් දෙයක් සොයමින් සිටියද, එය කුමක්ද කියා නොදැන සිටියා. තෑන්ක්ස්ගිවිං නිවාඩු දින පැමිණි විට, ගෙදර යනවා වෙනුවට, ගමන් කළ වෙනත් වාහන මගින්, මම බ්ලූ රිජ් කඳුවැටි හරහා දකුණු දිග දක්වා ෆ්ලොරිඩාවට ගියා.
මීට පෙර කිසිදාක මම එතරම් ගමන් කර තිබුණේ නැහැ, අලුත් හා වෙනස් ස්ථාන බොහොමයක් දකිමින් මා ඉතා කදිම කාලයක් භුක්තිවින්දා—ඒ කියන්නේ තෑන්ක්ස්ගිවිං දවසේ ඉබාගාතේ යෑමේ වරද හේතුවෙන් ඩේටොනා වෙරළ බන්ධනාගාරයේ සිටීමට මට සිදු වන තෙක්ම එය කදිම වුණා. මගේ දෙමාපියන්ට දැන්වීමට බැරි තරම් මම ලජ්ජාවෙන් සිටියා, නමුත් බන්ධනාගාර අධිකාරින් එසේ කළා. නැවතත්, බන්ධනාගාරයේ දණ්ඩනයක් විඳීමට ඉඩහරිනවා වෙනුවට දැඩි දඩයක් ගෙවීමට මගේ පියා විධිවිධාන යෙදුවා.
ඉන්පසු මම විද්‍යාලයේ නතර වී සිටියේ නැහැ. ඒ වෙනුවට, එකම එක සූට්කේසයක් සහ ගමන් කිරීමට අලුතින් අවදි වූ ආශාවක් ඇතුව, නැවතත් මම මහ මඟට බැස්සා, එක්සත් ජනපදයේ නැඟෙනහිර මුහුදු තීරයේ ඉබාගාතේ එහා මෙහා ගමන් කළ අතර, නඩත්තුව සඳහා රැකියාවලද නිරත වුණා. මම කලින් කලට මගේ දෙමව්පියන්ව බැහැදකින්ට ගියත්, ඔවුන් මා සිටියේ කොහේද කියා දැන සිටියේ නැති තරම්. මා දකින්ට ඔවුන් සැමවිටම සතුටුවීම මගේ පුදුමයට හේතු වුවද, මට එක තැනක පදිංචි වීමට නොහැකි වුණා.
මාව ශිෂ්‍යයෙකු හැටියට ගණන් ගැනුණේ නැහැ, කලින් හමුදා සේවයෙන් මට නිදහස සලසා දුන්නේ එයයි. හමුදා සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් මගේ තත්වය 1-A වුණා, එනිසා වැඩි කාලයක් යන්ට පෙර, හමුදා සේවයට මාව කැඳවීමට ඉඩ කඩ තිබුණා. හමුදාවට බැඳීමෙන් මගේ අලුත සොයාගත් නිදහස අහිමිවීමේ අදහස සිතාගත නොහැකි තරම් එකක් වුණා. එනිසා මම නැවකින්, රට හැර යෑමට තීරණය කළා. මේ අතරතුරේදී මට අලුත් වෘත්තීය ප්‍රස්තාවක් විවෘත වුණා. අන්තිමේදී මෙය මගේ ජීවිතයේ සැබෑ අරමුණ විය හැකිද?
කුලියට සටන් කරන හේවායෙකු ලෙස මුහුදේ මගේ ජීවිතය
අපේ පවුලේ පරණ මිත්‍රයෙක් එක්සත් ජනපද වෙළඳ නාවික හමුදාවේ කපිතාන්වරයෙක්ව සිටියා. මෑතකදී පිහිටුවන ලද නෞකා ඉන්ජිනේරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් පිළිබඳව ඔහු මට පැවසුවා. හමුදා රාජකාරියෙන් ඉවත් වී සිටීම සහ නෞකා ඉන්ජිනේරු උපාධියක් සඳහා ඇති අපේක්ෂාව යන දෙයාකාර වාසි ප්‍රයෝජන ඇති ලුහුඬු කරන ලද වසර දෙකක වැඩසටහන මම කැමැත්තෙන්ම පිළිගත්තා. මම වර්ෂ 1969 ඩිප්ලෝමා උපාධියක් ලැබූ අතර, සැන් ෆ්රැන්සිස්කෝවල මගේ පළමු නැවේ තුන්වන පන්තියේ ඉන්ජිනේරු නිලධාරියෙක් ලෙස සේවය කිරීමට අත්සන් තැබුවා. මූනිස්සම් සහිත නැවක් සමඟ අපි ඉක්මනින්ම වියට්නාමය බලා යාත්‍රා කළා. ගමනේදී යම් විශේෂ දෙයක් සිදු නොවූ අතර, අපි සිංගප්පූරුව බලා පැමිණි විට එම නැවෙන් මම ඉල්ලා අස්වුණා.
සිංගප්පූරුවේදී, මම රජයේ ගිවිසුම්වලට නොබැඳුණු නිදහස් නැවක් හා එකතු වුණා, නෞකාගාරයෙන් සමාගම්වලට සම්බන්ධ නැති ශ්‍රමය එය කුලියට ගත් නිසා එයට ඒ නම පටබැඳී තිබුණා. මෙම නැව යුද්ධ සේනාංක ඉවත් කරගත් කලාපය අසල එනම් දකුණේ කැම් රැන් බොක්ක සිට උතුරේ ඩා නැං දක්වා වියට්නාමයේ වෙරළ අසලින් යාත්‍රා කිරීමට පාවිච්චි කළා. මෙහිදී බෝම්බ දැමීමේ අඛණ්ඩ ශබ්දය කිසිදාක නතර වූයේ නැහැ. කෙසේවෙතත්, මූල්‍යමය වශයෙන් මෙම මාර්ගය ප්‍රයෝජනදායක වූ අතර, කොයි වේලාවේ නුමුත් යුද්ධ-අවදානම් සහ කලාතුරකින් ප්‍රහාර ඇති වන විට ලබන දීමනා මුදල්ද ලැබුණා, කුලියට සටන් කරන හේවායෙකු ලෙස මම වසරකට ඩොලර් 35,000ක් උපයාගත්තා. මා අලුතින් පොහොසත් වුණත්—මම ගමන් කරමින් සිටින්නේ කොයිබටද?
ජීවිතයේ තේරුම යන්තමින් දැකීම
එක් බියගන්වන සතුරු ප්‍රහාරයකින් පසු, මගේ බොයිලේරු සේවකයා වූ ඇල්බර්ට්, ඉක්මනින්ම දිනක දෙවියන්වහන්සේ මේ පොළොවට සාමය ගෙනෙන්ට යන්නේ කෙසේද කියා කීමට පටන්ගත්තා. මෙම අසාමාන්‍ය තොරතුරට මම මගේ කන් යොමා සිටියා. ඊළඟට අපි සිංගප්පූරුව බලා යාත්‍රා කළ විට, ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක්ව සිටි බවත්, නමුත් දැන් අක්‍රියාශීලීව සිටින බවත් ඇල්බර්ට් මට දන්වා සිටියා. ඉතින් දෙදෙනාම එකතුව සිංගප්පූරුවේ ප්‍රාදේශීය සාක්ෂිකරුවන් සිටින්නේ කොහේද කියා සොයාගැනීමට උත්සාහ කළා. පෙනෙන ලෙසට කිසිම කෙනෙකුට අපට උපකාර කිරීමට හැකි බව පෙනුණේ නැහැ, නමුත් එම රාත්‍රියේ අපි යාත්‍රා කිරීමට ටිකකට කලින්, හෝටලයක ප්‍රවේශ ශාලාවේ මුරටැඹ සඟරාවක් ඇල්බර්ට් සොයාගත්තා. ඒ මත ලිපිනයක් මුද්‍රා කර තිබුණා. එය සොයා බැලීමට අපට වේලාවක් තිබුණේ නැහැ, කෙසේවෙතත්, සති දෙකකට නෞකාගාරගත කිරීමට නියමිතව තිබූ නැවෙන් ඊළඟ උදෑසන අපි ජපානයේ සසෙබො නගරයට යාත්‍රා කළා.
එහිදී අපි නැව් පිරිසට ගෙවීම් කළ අතර, ඇල්බර්ට් පිටත්ව ගියා. නමුත් සතියකින් පමණ පසුව, පැමිණෙන එම සති අන්තයේදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවක් සසෙබො නගරයේ පවත්වන බව පවසමින් විදුලි පණිවුඩයක් ලැබීමෙන් මම පුදුමයට පත් වුණා. මේ සමුළුව කුමක්ද කියා, ගොස් බැලීමට මම තීරණය කළා.
එම දිනය—1970 අගෝස්තු 8—මගේ මනසේ සෑමවිටම පවතියි. මම කුලී රථයක් මගින් සමුළු ස්ථානයට පැමිණි අතර, මනා පිළිවෙළකින් ඇඳුම් පැළඳගෙන සිටි සිය ගණන් ජපන් ජාතිකයන් අතරට පියවර තැබුවා. වැඩිදෙනෙකුට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වුවත්, සියලුදෙනාටම මට අතට අත දීමට අවශ්‍ය බව පෙනුණා. මින් පෙර කිසි දිනක මෙවන් දෙයක් මා දැක තිබුණේ නැහැ, ජපන් භාෂාවෙන් පැවති වැඩසටහනේ වචනයක්වත් තේරුම්ගැනීමට නොහැකි වුවත්, නැවත වරක් එම පිළිගැනීමම මම අද්දකීද කියා බැලීමට ඊළඟ දිනයේද යන බවට මම තීරණය කළා. එය එලෙසම සිදු වුණා!
අලුත් නාවික පිරිසක් සමඟ අත්සන් කර සතියකට පසුව අපි සිංගප්පූරුව බලා යාත්‍රා කළා. පැමිණීමෙන් පසු මම කළ පළමු දෙය නම්, මුරටැඹ සඟරාවේ මුද්‍රිත ලිපිනය සොයා කුලී රථයකින් යෑමයි. මිත්‍රශීලී කාන්තාවක් නිවසින් පිටතට ඇවිත් ඈ විසින් කිසියම් උපකාරයක් කළ යුතුදැයි ඇසුවා. මුරටැඹ සඟරාවේ ලිපිනය මම ඇයට පෙන්වූ අතර, විගසම ඈ මාව ඇතුළට ආරාධනා කළා. ඉන්පසු මම ඇගේ පුරුෂයා හමු වූ අතර, ඔවුන් ඕස්ට්‍රේලියාවෙන් පැමිණි නෝර්මන් සහ ග්ලැඩිස් බෙලොට්ටි යන මිෂනාරිවරුන් බව මම දැනගත්තා. මට ඔවුන්ගේ ලිපිනය ලැබුණේ කෙසේද කියා මම පැහැදිලි කළා. ඔවුන් මාව ඉතා සාදරයෙන් පිළිගත් අතර, මගේ ප්‍රශ්න බොහොමයකට උත්තර සැපයුවා, මම පිටත් වූයේ බයිබල් පොත් පත්වලින් පිරි බෑගයක් සමඟයි. වියට්නාමයේ වෙරළ අද්දරින් යාත්‍රා කරන ඊළඟ මාස කිහිපය තුළ, සදාකාල ජීවනයට මග පෙන්වන සත්‍යය ඇතුළු එම පොත්වලින් බොහොමයක් මම කියෙව්වා.
දැන්, මගේ ජීවිතයේ පළමු වරට, සැබෑ අරමුණක් සහ අර්ථයක් මට හැඟුණා. සිංගප්පූරුවට ගිය ඊළඟ ගමනේදී, මම නැවෙන් ඉල්ලා අස්වුණා.
නිවසට ආපසු පැමිණෙන විට බලාපොරොත්තු සුන්ව
පළමු වතාවට, ඇත්තටම නිවසට යායුතුයයි මට හැඟුණා. ඉතින් සති කිහිපයකට පසු, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පිළිබඳ සියල්ලම ගෙදර අයට පැවසීමට අවශ්‍යව ඉතා උනන්දුවෙන් මම නිවසට ආපසු පැමිණියා. ඔවුන්ට මගේ උද්යෝගය තිබුණේ නැහැ. මගේ හැසිරීම උපකාරවත් නොවූ නිසා මෙය තේරුම්ගත හැකියි. කෝපය උතුරා යෑමෙන් ප්‍රාදේශීය රාත්‍රි සමාජ ශාලාවක් කුඩු කර දමන අවස්ථාව තෙක් මම නිවසේ සිටියේ සති කිහිපයක් පමණයි. බන්ධනාගාර කුටියක් තුළ මට සිහිය නැවත ලැබුණා.
මගේ චරිතය වෙනස් කිරීමටවත්, මගේ වහා කිපෙනසුලු ගතිය මර්දනය කිරීමටවත්, සැබෑ බලාපොරොත්තුවක් නැති බව මම මේ වන විට විශ්වාස කිරීමට පටන්ගත්තා. හේතුවක් නැතුව කැරලිගැසීම මගෙන් බැහැර කළ නොහැකි ගතියක්ද කියා මම සැමවිටම සිතුවා. මට තවදුරටත් නිවසේ රැඳී සිටිය හැකියයි මම සිතුවේ නැහැ. එමනිසා මට පිටත්වීමට සිදු වුණා. ඉතින් දින කිහිපයක් ඇතුළත, එංගලන්තය බලා යෑමට නියමිත වූ නෝර්වීජියානු බඩු නැවක යෑමට මා ප්‍රවේශ මාර්ගයක් වෙන් කරගත්තා.
එංගලන්තය සහ නාට්‍ය ශාස්ත්‍රාලය
එංගලන්තයේ සිටීම මම භුක්තිවින්දත්, රැකියාවක් සෙවීම ප්‍රශ්නයක් වුණා. විවිධ නාට්‍ය ශාස්ත්රාලවලට ඇතුල්වීම සඳහා කුසලතා පරීක්ෂණවලට යටත්වීමට මා තීරණය කළා, මාව එංගලන්තයේ නාට්‍යය කලා ශාස්ත්රාලයට භාරගනු ලැබුවේ මා පුදුමයට පත් කරවමින්. මම එංගලන්තයේ සිටි අවුරුදු දෙක මත්පැන් අධික ලෙස බීමෙන්, සමාජ ආශ්රයෙන් සහ සැබවින්ම, සියලුම ආකාරයේ මත්ද්‍රව්‍ය ගැනීමෙන් ගත කළා.
එක්සත් ජනපදයේ සිටි මගේ පවුලේ අයව තවත් වරක් බැහැදැකීමට හදිසියෙන්ම මම තීරණය කළා. නමුත් මේ වතාවේදී මගේ පුදුම දනවන පෙනුම ඔවුන්ව කෙසේ තිගැස්සවන්ට ඇතිද කියා ඔබට සිතාගත හැකිද? බෙල්ල ළඟ රත්රන් මාලයක් මගින් සම්බන්ධ කරන ලද රන්වන් සිංහ හිස් දෙකක් සහිත අත් නැති කළු දිග වස්ත්‍රයක්ද, ඊට උඩින් රතු විල්ලුද රෙද්දෙන් නිම වූ කෙටි කබායකින්ද, දණහිස් දක්වා උස සපත්තු දෙකකින්ද, එයට ඇතුල් කළ පදම් කළ හමින් නිම වූ කළු විල්ලුද කලිසමක්ද මම පැළඳ සිටියා. මෙය මගේ දෙමාපියන්ගේ සිත් නොගැනීමත්, ඔවුන්ගේ සම්ප්‍රදායික පරිසරයේ මට අමුත්තක් හැඟීමත් පුදුමයක්ද! එමනිසා මම එංගලන්තයට නැවත පැමිණි අතර, එහි 1972දී මම නාට්‍යය කලාව ආශ්රිත උපාධියක් ලබාගත්තා. දැන් මම තවත් ඉලක්කයක් අත් කරගෙන තිබුණා. නමුත්, තවමත් නිතර මට කරදර කළ, නැවත නැවත පැමිණෙන ප්රශ්නය වූයේ, මම මෙතැනින් යන්නේ කොතැනටද? ජීවිතයේ සැබෑ අරමුණක් සඳහා අවශ්‍යතාව මට තවමත් හැඟුණා.
ඉලක්කයක් නොමැති බව අවසානයේදී නිම වේ
මෙයට වැඩි කලක් යන්ට පෙර, අවසානයේදී මගේ ජීවිතයට යම් ස්ථිරත්වයක් පැමිණි බව හැඟීමට පටන්ගත්තා. එය ආරම්භ වූයේ, අසල්වැසියෙකු වූ කැරොලින් සමඟ මිත්‍රකමක් ඇති කරගැනීමෙනි. ඈ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ගුරුවරියක් වූ අතර, මගේ පෞද්ගලිකත්වයට හාත්පසින්ම විරුද්ධ පැරණි සිරිත් විරිත් ගරු කරන, තැන්පත් තැනැත්තියක් වූවා. කිසිම ප්‍රේම සබඳකමකින් තොරව අපි වසර දෙකක් මිත්‍රයන් වශයෙන් සිටියා. පසුව කැරොලින් මාස තුනක් සඳහා අමෙරිකාවට පිටත්ව ගිය අතර, අපගේ හොඳ මිත්‍රත්වය නිසා, මගේ දෙමව්පියන් සමඟ සති කිහිපයක් ගත කිරීමට මම පිළියෙළ කර දුන්නා. පෙනෙන ලෙසට, මා වැනි චරිතයක් ඇති කෙනෙකු සමඟ ඇය මිත්‍රකමක් පවත්වන්නේ මන්ද කියා ඔවුන් කල්පනා කරන්ට ඇති.
කැරොලින් පිටත් වූ විගසම, මම නිවසට යන බව මම මගේ මිතුරන්ට පැවසූ අතර, ඔවුන් මා වෙනුවෙන් විශාල සමුගැනීමේ උත්සවයක් පැවැත්වුවා. නමුත් අමෙරිකාවට යනවා වෙනුවට, ලන්ඩනයේ, දකුණු කෙන්සිංටන්වල මම බිම් මහලේ කාමරයක් කුලියට ගෙන ලන්ඩනයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට දූරකථනයෙන් ඇමතුවා. මගේ ජීවිතය කිනම් මාර්ගයක් ගත යුතුදැයි මම අවබෝධ කරගැනීමට පැමිණ තිබුණා. සතියක් ඇතුළත හිතවත් විවාහක යුවළක් මාව බැහැදැක්ක අතර, විගසින් මා සමඟ නිතිපතා බයිබල් පාඩමක් සඳහා කටයුතු යොදාගත්තා. මම ඒ වන විටත් කියවා තිබූ සාක්ෂිකරුවන්ගේ පොත් පත් නිසා, සෑහෙන උනන්දු වී සෑම සතියකම පාඩම් දෙකක් ඉල්ලා සිටියා. මගේ උද්යෝගය දැක, බොබ් විගස මාව රාජ්‍ය ශාලාවට ආරාධනා කළ අතර, ඉන් වැඩි කලක් යන්ට පෙර මම සියලුම සතිපතා රැස්වීම්වලට යෑමට පටන්ගත්තා.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දුම්පානය නොකරන බව මම දැනගත් පසු, මෙම පුරුද්ද වහාම නැවැත්වීමට තීරණය කළා. නමුත් මගේ පෙනුම පිළිබඳ කුමක් කිව හැකිද? තවදුරටත් මට අපහසුතාවක් හැඟෙන්ට අවශ්‍ය වූයේ නැහැ, එමනිසා මම හොඳ කමිසයක්, කරපටියක් සහ ඇඳුම් කට්ටලයක් මිල දී ගත්තා. ගෙයින් ගෙට දේශනා කිරීමේ ක්‍රියාකාරකම්වල සහභාගි වීමට ඉක්මනින්ම මම සුදුසුකම් ලැබුවා—මුලින් මදක් බයාදුකමක් තිබුණද, මට එය භුක්තිවිඳීමට පුළුවන් වුණා.
කැරොලින් නැවත පැමිණි විට විශාල වශයෙන් පුදුමයට පත්වේයයි මම සිතුවා. මෙය මම තක්සේරු කළාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා! එවන් කෙටි කාලයක් ඇතුළත මගේ හිසකෙස් පීරීමේ, පෙනුමේ සහ තවත් බොහෝ ආකාරවලින් මා තුළ සිදු වූ වෙනස් වීම ඇයට අදහාගත නොහැකි වුණා. මගේ බයිබල් පාඩම් කිරීම මට උපකාර වී තිබෙන්නේ කෙසේද කියා මම පැහැදිලි කළ අතර, ඇයටද බයිබලය පාඩම් කිරීමට මම ආරාධනා කළා. මුලින්ම සැක සහිත වුවත්, ඈ මා සමඟ පමණක් අධ්‍යයනය කරනවා කියා පොරොන්දු වෙමින්, අවසානයේදී එකඟ වුණා. ඉතා ඉක්මනින් ඇය ප්‍රතිචාරය දක්වනවා දැකීමට මම සතුටු වූ අතර, ඉන් වැඩි කලක් යන්ට පෙර බයිබලයේ සත්‍යය අගය කිරීමට ඈ පටන්ගත්තා.
මාස කිහිපයකට පසුව, කැරොලින් නැවත ඕස්ට්‍රේලියාවට යෑමට තීරණය කළ අතර, ඇගේ බයිබල් පාඩම සිඩ්නිහිදී නැවත පටන්ගත්තා. මාස හතකට පසු බව්තීස්ම වන තෙක් මම ලන්ඩනයේම සිටියා. දැන් මට නැවතත් එක්සත් ජනපදයේ පිහිටි මගේ නිවසට යෑමට සහ මගේ මුළු පවුලම දැකගැනීමට අවශ්‍ය වුණා. නමුත් මෙම අවස්ථාවේදී එය නිවැරදි ආකාරයෙන් කිරීමට අධිෂ්ඨානය කරගත්තා!
වෙනසක් සමඟ නිවසට පැමිණීම
මම වඩාත් ගරුකටයුතු ලෙසට පෙනී සිටි බැවින්—මේ අවස්ථාවේදී කුමක් සිදු වෙනවාද කියා දැනගැනීමට මගේ පුදුමයට පත් දෙමාපියන්ට වුවමනා වුණා! නමුත් සැබවින්ම මම නිවසේ සිටිනවා යන හැඟීමෙන් එවිට මම සතුටක් ලැබුවා. මගේ දෙමව්පියෝ ස්වාභාවිකවම මගේ විස්මයජනක වෙනස්වීම පිළිබඳව පුදුමයෙන් කල්පනා කළද, ඔවුන්ගේ සාමාන්‍ය කරුණාවන්තකමෙන් සහ ඉවසීමෙන් ඔවුන් උපාය දක්ෂ ලෙස ප්‍රතිචාරය දැක්වූවා. ඉන්පසු පැමිණි මාසවලදී, ඔවුන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට සහභාගි වීමේ වරප්‍රසාදය මට ලැබුණා. මගේ වෙනස් වූ ජීවිත රටාව නිසා නිසැකවම පෙලඹී සිටි මගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා සමඟ මම පාඩමක් ආරම්භ කළා. ඔව්, මෙය ඇත්තෙන්ම නැවත නිවසට පැමිණීමක් වුණා!
වර්ෂ 1973දී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවකදී තවත් 1,200දෙනෙකු සමඟ කැරොලින් බව්තීස්ම වීම දැකබලා ගැනීමට 1973 අගෝස්තු මස, මම ඇය දකින්ට ඕස්ට්‍රේලියාවට ගියා. ඉන්පසු පැමිණි සති අන්තයේදී, ඕස්ට්‍රේලියාවේ ජාතික අගනුවර වන කැන්බෙරාහිදී අපි විවාහ වුණා. මෙහි පසුගිය වසර 20 තුළ පූර්ණ කාලීන දේශනා සේවකයෙකු වශයෙන්ද, ප්‍රාදේශීය සභාවක වසර 14ක් වැඩිමහල්ලෙකු වශයෙන්ද මම සේවය කර තිබෙනවා.
මගේ භාර්යාවගේ සහයෝගීතාවට ස්තුති වන්න අපි ටෝබි, ඇම්බර් සහ ජොනතන් නමින් දරුවන් තිදෙනෙකු ඇති දැඩි කර තිබෙනවා. අපි සාමාන්‍ය පවුල් ප්‍රශ්නවලට මුහුණ දුන්නද, පුරෝගාමියෙක් වශයෙන් පූර්ණ කාලීන දේශනා ක්‍රියාකාරකම්වල සහභාගි වන අතරම, අපගේ පවුලේ ද්‍රව්‍යමය අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් වීමටද මට තවමත් හැකි වී තිබෙනවා.
අදදින, එක්සත් ජනපදයේ මගේ දෙමාපියන් යෙහෝවඃවහන්සේගේ කැපවූ සේවකයන් වන අතර, දැන් දෙදෙනාම ඔවුන්ගේ අසූ ගණන්වල සිටියද රාජ්‍යය පිළිබඳ ප්‍රසිද්ධ සේවයේ තවමත් සහභාගි වෙනවා. ප්‍රාදේශීය සභාවක මගේ පියා උපස්ථායක සේවකයෙක් ලෙස සේවය කරනවා. මගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාද යෙහෝවඃවහන්සේගේ සේවයෙහි ජ්වලිතයි.
මගේ, ඉලක්කයක් රහිතව තැනින් තැන යෑමේ බොහෝ වසර ගණනාව දැන් අතීතයේ දෙයක් වීම පිළිබඳව මම කෙතරම් ගැඹුරින් යෙහෝවඃ දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වෙනවාද! උන්වහන්සේ මට මගේ ජීවිතය පාවිච්චි කළ යුතු හොඳම මාර්ගය ඉගෙනගැනීමට උපකාර කර තිබෙනවා පමණක් නොව, නමුත් උන්වහන්සේ එක්සත් සහ සැලකිලිමත් පවුලකින්ද ආශීර්වාද කර තිබෙනවා.—ඩේවිඩ් සුග් පාට්රික් පැවසූ පරිදි.
[23වන පිටුවේ පින්තූරය]
ඩේවිඩ් සහ ඔහුගේ බිරිඳ කැරොලින්