ග්‍රීක් ඔර්තඩොක්ස් සභාව බෙදුණු ආගමක්
ග්‍රීසියේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
දෙවියන්වහන්සේට හා සත්‍යයට ප්‍රේම කරන අවංක අය මෙන්ම උන්වහන්සේගේ නමස්කාරය සඳහා ගැඹුරු අගයක් ඇති අයට, ග්‍රීසියේ ග්‍රීක් ඔර්තඩොක්ස් සභාවේ වත්මන් තත්වය පිළිකුල්සහගත බව අමුතුවෙන් කිව යුතු නොවේ. එක්සත්භාවයේ දුක්ඛිත හිඟකම, සභාවේ සටන්කාමී පංති අතර සාහසික ගැටුම්, අඩුවක් නැතුව සිදු වන නින්දිත දුරාචාර හැසිරීම් සහ “දෙවියන්වහන්සේගේ එකම සැබෑ සභාව” වශයෙන් තමන්ව විස්තර කරන ආගමක ආත්මික මඟ පෙන්වීම සැපයීමට අපොහොසත් වීම බොහෝ ග්රීක්වරුන්ව අධෛර්යයට හා කලකිරීමට පත් කරවයි.
මෙවන් තත්වයක් මගින් පොදු ජනයා අපේක්ෂාභංග වී, කෝපයට පවා පත් වී සිටිති. ප්‍රධාන පෙළේ ග්‍රීක් පුවත්පතක කතුවරයෙකු වූ විශ්වවිද්‍යාලීය ආචාර්යවරයෙක් මෙසේ කනගාටුවෙන් ප්‍රකාශ කරයි: “පෙර නොදුටු විරූ ආකාරයකින් වේගවත් වන හා පවතින අර්බුදයකින් ග්‍රීසියේ සභාව බෙදී ඇති අතර, එය [සභාවේ] අධිකාරිත්වයක් ඇද්ද යන ප්රශ්නය මතු කරවයි, තවද එහි ආයතන මුලින් අත් කරගෙන තිබූ අගය තුරන් කර දමයි. අභාග්‍යයකට දිගටම හානිදායක තත්වයක් පවතියි.”
මෙම තත්වය වර්ධනය වූයේ කෙසේද? ග්‍රීක් ඔර්තඩොක්ස් සභාව රජය සමඟ භුක්තිවින්ද කිට්ටු සබඳතාව සැබවින්ම ප්‍රයෝජනවත් වීද? සභාව හා රජයේ මෙම සබඳතාවල අනාගතය කුමක්ද? ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ එක්සත් සභාව සෙවීම සඳහා ජනයාහට පවතින්නේ කිනම් විකල්පයද? මේ කාරණය සම්බන්ධයෙන් බයිබලයට පැවසීමට තිබෙන්නේ කුමක්ද, සැබෑ කාරණා තිබේදැයි අපි පිරික්සමු.
බලය සඳහා අරගලයක්
වර්ෂ 1967-74 දක්වා සමයේදී ග්‍රීසිය පුරා හමුදා පාලනයක් පැවති විට, තමන්ගේම බලය තහවුරු කරගැනීම සඳහා ග්‍රීක් ඔර්තඩොක්ස් සභාවේ කටයුතුවලට එය ක්‍රියාකාරි ලෙස මැදිහත් විය. සම්පූර්ණ පාලනය අතට ගැනීමේ වෑයමක් වශයෙන්, හමුදා මන්ත්‍රණ සභාව, කලින් පත් කර තිබූ ශුද්ධ ධර්මාධිකාරි මන්ත්‍රණ සභාව—එනම් ග්‍රීක් ඔර්තඩොක්ස් සභාවේ තම විධායක මණ්ඩලය—විසුරුවා හැරිය අතර, “සුදුසුකමට අනුව” යනුවෙන් නම් කර තිබූ පරිදි, එය තමන්ගේම ධර්මාධිකාරි සභාවක් පත් කරගත්තේය. වර්ෂ 1974දී ප්රජාතන්ත්රවාදය නැවත පිහිටෙවූ විට, සභාවේ පාලක මණ්ඩලය එහි ඔර්තඩොක්ස් ප්රඥප්තියට අනුව යළිත් පත් කරනු ලැබීය. ප්‍රතිඵලයක් වශයෙන්, ධර්මාධිකාරි මන්ත්‍රණ සභාවෙන් පත් කළ මන්ත්‍රණ සභාවේ කොටසක්ව සිටි බිෂොප්වරුන්ව ධුරයෙන් පහ කළ අතර, වෙනත් අයව ඒ වෙනුවට පත් කරනු ලැබීය.
කෙසේවුවද, 1990දී ස්ථිර කළ රජයේ ව්‍යවස්ථා කෙටුම්පතකට අනුව ලෞකික අධිකරණයටද, ඉන්පසු රාජ්‍ය සභාව වන ඉහළ පරිපාලක අධිකරණයටද අභියාචනයක් කිරීම මගින්, ධුරයෙන් පහ කළ බිෂොප්වරුන්ට තම ආසන යළි ඉල්ලීම සඳහා අයිතිය දිණ. එම පූජකවරුන්ගෙන් තිදෙනෙකු එසේ කළ අතර ඔවුහු අවසානයේදී ඔවුන්ගේ නඩු දිනාගත්හ. අදදින, ප්‍රතිඵලයක් වශයෙන්, ග්‍රීසියේ ඔර්තඩොක්ස් අග්‍ර බිෂොප්ට අයත් වෙන් වෙන් වශයෙන් ප්‍රදේශ තුනකට බිෂොප්වරු දෙදෙනෙකු පත් කර තිබේ—ග්‍රීක් ඔර්තඩොක්ස් සභාව මගින් පමණක් එක් තැනැත්තෙකුවද, රාජ්‍ය සභාව මගින් අනික් තැනැත්තාවද නිල වශයෙන් පිළිගන්නා ලදි.
“සටන්කාමී ක්‍රිස්තියානීන්”
කලින් තනතුරෙන් පහ කළ බිෂොප්වරු තම ආසනවල අයිතිය යළි ලබාගත් අතර, නිල ලත් සභාව මගින් පත් කළ වෙනත් බිෂොප්වරුන්ගේ පැවතීම පිළිගැනීම ඒකාන්තයෙන්ම ප්‍රතික්ෂේප කරති. මීට අමතරව, එක් පුවත්පතක් ඔවුන්ව විස්තර කරන ආකාරයට සෑම බිෂොප්වරයෙකුටම තමන්ට උද්යෝගයෙන් වාචිකව සහය දෙන “ආගමික උන්මත්තක” අනුගාමිකයෝ විශාල සංඛ්‍යාවක් සිටිති. ආගමික රූප කුඩු කරමින්, විරුද්ධ පිල්වල පූජකයන්ට හා ගිහියන්ට පහර දෙමින්, බලහත්කාරයෙන් පල්ලි තුළට කඩාවදින එවැනි “සටන්කාමී ක්‍රිස්තියානීන්” විශාල සංඛ්‍යාවකගේ සාහසික දර්ශන රට පුරා රූපවාහිනී තිරවලින් පෙන්වන විට, මෙම තත්වය තව තවත් බලවත්, තියුණු ප්‍රතික්‍රියා ඇති කළේය. මෙවැනි අවස්ථා බොහොමයකදී සන්සුන් තත්වයක් ඇති කිරීම සඳහා කෝලාහල මර්දක පොලිසියට මැදිහත් වීමට සිදු විය. ඇතන්ස්හි ධනවත් උප නගරයක් වන කිෆිසියා නගරයේ, 1993 ඔක්තෝබර් හා නොවැම්බර්වලදී හා පසුව 1994 ජූලි හා දෙසැම්බර්වලදී ලරිසා නගරයේ පිහිටි පල්ලිවල සිද්ධීන් උච්චාවස්ථාවට පත් වූ බැවින්, අන්ධ ආගමික උන්මාදයේ කලහකාරි සිද්ධීන් ග්‍රීසියේ මහජනයාව තැතිගැන්වීය.
ධර්මාධිකරණ මන්ත්‍රණ සභාව මගින් ලරිසාහි පත් කළ බිෂොප්වරයා වන ඉග්නේෂස්ගේ රාජ්‍ය පත් කිරීමේදී, 1994 ජූලි 28දා වඩාත්ම සාහසික ගැටුම් හටගැනිණ. මුල්-පිටුවේ “නව බිෂොප්වරයා සඳහා ලරිසා යුද පිටියක් බවට පත් වේ—අඳුරු යුගයක් පුනරුත්ථාපනය වී” යන ශීර්ෂ පාඨය රැගත් එත්නෝස් පුවත්පත මෙසේ වාර්තා කළේය: “අඳුරු යුගය යන වහර පමණක් ගැළපේ. වීදි සටන්, කලහකාරි ගැටුම්, ශාරීරික තුවාලවීම් . . . ලරිසාහි ඊයේ සිදු වූ සියලු දේ කෙනෙකුට විස්තර කළ හැක්කේ වෙන කුමනාකාරයෙන්ද?”
සති කීපයකට පසු, විරුද්ධවාදීහු “බිහිසුණු හඹා යෑමකින් පසු යකඩ පොලුවලින් හා පිතිවලින් ඉග්නේෂස් බිෂොප්වරයාගේ මෝටර් රථයට පහර දුන්හ. පුවත්පත් වාර්තාකරුවෙක් මෙසේ පුදුමය පළ කළේය: “ඔවුන්ගේ භක්ති උන්මාදය මැරවර ගති දක්වන ක්‍රියාවල යෙදීමට, මරණය සිදු කළ හැකි සාහසිකකම්වල යෙදීමට මඟ පාදන බැවින්, මීට සම්බන්ධ වූ වැරදිකරුවන් ක්‍රිස්තියානි ආකල්ප දරන අය බව කෙනෙකුට විශ්වාස කිරීමට හැකිද? . . . තවද සභාවේ ප්රමුඛ නායකයෝ මෙම ක්‍රියාවලට දිරිගන්වා, එවන් ක්‍රියාවලට ඉඩ දෙති.”
නත්තල් සමයේදී තත්වය තවත් දරුණු අතට හැරිණ. ලරිසාහි 1994 දෙසැම්බර් 23-26 දක්වා සිදු වූ අප්‍රසන්න සිද්ධීන් වෙත යොමු දක්වමින් එලෙෆ්තෙරෝටිපියා පුවත්පත මෙසේ ලීවේය: “එය ලරිසාහි ලජ්ජාසහගත නත්තලක් විය, යළිත් වරක්, දිගු කාලයකට, පුළුල් පරිමාණයෙන් වූ ගැටුම [උත්සවය] අවලස්සන කළේය. . . . පල්ලිවල සීනු මගින් ක්‍රිස්තු උපත නිවේදනය කරද්දී, පොලිසිය මගින් ‘ධර්මිෂ්ඨ අධර්මිෂ්ඨ’ හිස් මත බැටන්පොලු පහරවල් එල්ල කරනු ලැබීය. නත්තල් සුබපැතුම් හා ලරිසාහි ශාන්ත කොන්ස්ටන්ටයින් සභාවේ මිදුලේ ආශීර්වාද කිරීම් වෙනුවට කැරලිගැසීම්, හැලහැප්පීම්, ශාප කරමින් බැණවැදීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු විය. . . . [ඉග්නේෂස්ට විරුද්ධ] උද්ඝෝෂණ, විගස නින්දා කිරීම් හා ඉන්පසු පොලිසිය සමඟ ගැටුම් ඇති වන තත්වයට හැරිණ. . . . ඔවුහු සභාවේ මිදුල යුද පිටියක් බවට පත් කළහ.”
ජනයා මෙයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔර්තඩොක්ස් භක්තික මිනිසෙක් මෙසේ අදහස් පළ කළේය: “ක්‍රිස්තියානීන්යයි කියාගන්නා අයට ශුද්ධ ආගමික නිවාඩු දිනවලදී එවැනි සාහසික ක්‍රියා කළ හැක්කේ කෙසේදැයි මට තේරුම්ගන්ට බැහැ. මට එහිදී පහර ලැබීමේ අවදානමට මුහුණ දෙන්න සිදු වෙද්දී, මං කොහොමද පල්ලි යන්නේ?” තවද එක් භක්තිවන්ත ඔර්තඩොක්ස් භක්තික ස්ත්‍රියක් මෙසේ පැවසුවාය: “මේ සිද්ධිවලින් පස්සේ මට පල්ලියට යන්න භයයි.”
එපමණක්ද නොව, ග්‍රීක් ඔර්තඩොක්ස් සභාව සම්බන්ධ දුරාචාර නින්දිත හැසිරීම් පිළිබඳව එළිදරව් වීම් ගණනාවක්ද තිබේ. පිරිහී ගිය සදාචාරයන් ඇති පූජක සාමාජිකයන්—එනම් සමලිංගික හා කෞමාරකාමික පූජකයන්, මුදල් වංචා කිරීම සහ පෞරාණික භාණ්ඩ නීති විරෝධී ලෙස වෙළඳාම් කිරීම—සම්බන්ධයෙන් ජන සන්නිවේදන මාධ්‍ය නොකඩවා හෙළි කරයි. පසුව සඳහන් කළ දෙය පූජකයන්ට පහසුවෙන් කළ හැකි වන්නේ මන්දයත්, අගනා ප්‍රතිමා සහ වෙනත් වටිනා මානව කෘති ඔවුන්ට නොකඩවා ලබාගත හැකි බැවිනි.
මිනිසුන්ගේ අනුගාමිකයන් වීමෙන් “විවාද” හා “භේද” ඇති කරන බැවින්, එසේ නොවන්නැයි ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට දුන් බලවත් අවවාදය මෙම තත්වය මගින් උල්ලංගනය කරන බවට කෙතරම් පැහැදිලිද!—1 කොරින්ති 1:10-13; 3:1-4.
පල්ලිය හා රජය අතර සබඳතා—අනාගතය කුමක්ද?
ග්‍රීක් රජයේ ආරම්භය පටන්, ග්‍රීක් ඔර්තඩොක්ස් සභාව ප්රමුඛ ආගම වීමේ තත්වය දැරීමේ වරප්‍රසාදය භුක්තිවිඳ ඇත. ග්‍රීසියේ තවමත්, පල්ලිය හා රජය වෙන්වීමක් වැනි දෙයක් නැත. ග්‍රීක් ඔර්තඩොක්ස් සභාවේ තත්වය ව්‍යවස්ථා කෙටුම්පතම සහතික කරන්නේ, ග්‍රීසියේ “පවතින ආගම” වශයෙනි. මින් අදහස් කරන්නේ මහජන පරිපාලනය, විනිශ්චයමය ක්‍රමය, පොලිසිය, මහජන අධ්‍යාපනය හා සමාජයේ වෙනත් සෑම අංගයක්ම ඇතුළු, ජීවිතයේ සියලු අංශ පුරා ග්‍රීක් ඔර්තඩොක්ස් සභාවේ බලපෑම පැතිර පවතින බවය. සියලු දේ කරා විහිදෙන පල්ලියේ මේ බලපෑම නිසා, ග්‍රීසියේ සුළු ආගම්වලට තාඩන පීඩන හා විස්තර කළ නොහැකි අසීරුතා පමුණුවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආගමික නිදහස සහතික කළත්, සුළු ආගමික කණ්ඩායමක් සිය අයිතිවාසිකම් ඉල්ලා සිටින සෑම අවස්ථාවකම, පල්ලිය හා රජය අතර සම්බන්ධය මගින් නිර්මාණය වී ඇති ආගමික පක්ෂවාදීකම, අගතිය හා විරෝධතාවෙන් සැකසුණු සිදුරු කළ නොහැකි මකුළු දැලකට හසු වෙයි.
නුදුරු අනාගතයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්රතිශෝධනයක් තිබිය හැකි බව පෙනෙන්ට තිබෙන අතර, සභාව හා රජයේ වෙන්වීමක් සඳහා උද්ඝෝෂණයක් තිබෙන බව දැනටමත් අසන්ට ලැබේ. සභාව සහ රජය අතර මෙම සමීප ඇසුර මගින් ඇති කළ ගැටලුවලට ග්‍රීක් ව්‍යවස්ථානුකූල ප්‍රබල ප්‍රවීණයෝ සහ විශ්ලේෂකයෝ අවධානය යොමු කරති. සාර්ථක වන එකම විසඳුම මෙම අංශ දෙක සම්පූර්ණයෙන්ම වෙන් කිරීමක් වනු ඇති බවට ඔවුහු යොමු දක්වති.
මේ අතරතුර, සභා නායකයෝ එවන් අවසාන වෙන්වීමකට සිය විරෝධතාව පළ කරමින් නැඟී සිටිති. පල්ලිය හා රජය අතර සබඳතා තුළ එවැනි වර්ධනය වීමක් මගින් නරක අතට බලපෑම් ලබනු ඇති සංවේදී ප්‍රශ්නයකට අත පොවමින් ඔර්තඩොක්ස් බිෂොප්වරයෙක් මෙසේ ලීවේය: “ප්‍රතිඵලයක් වශයෙන්, පූජකයන්ගේ වේතනය ගෙවීම රජය මගින් නවතා දමනු ඇද්ද? . . . දේවගැතියෙකුට අයත් ප්‍රදේශවලින් බොහොමයක පූජකයන් නොසිටිනු ඇති බව ඉන් අදහස් කරනු ඇත.”—මතෙව් 6:33, සසඳන්න.
ග්‍රීසියේ පල්ලිය හා රජය අතර සමීප සබඳතාවේ තවත් ප්‍රතිඵලයක් වනාහි, ග්‍රීසිය බැඳී සිටින යුරෝපීය සංගමයේ රෙගුලාසි හා මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය ගිවිසුමේ පනත්වලට එකහෙළා විරුද්ධ වන ග්‍රීක් නීතිය මගින්, සෑම ග්‍රීක් පුරවැසියෙකුගේම හැඳුනුම්පතෙහි තමා අයත් ආගම සඳහන් කිරීම අවශ්‍ය කරවීමය. සාමාන්‍යයෙන්ම සුළු ආගම්වල සාමාජිකයන් අසාධාරණකම්වල ගොදුරු බවට පත් වන බැවින්, අගතියෙන් තොර ජනයා බලවත් ලෙස මෙයට විරෝධය පාති. එක් පත්රකලාවේදියෙක් මෙසේ පැවසීය: “සුළු ආගමිකයන්ට තම ආගමික නිදහස පැවැත්වීමට හැකිවීමේ අයිතිය ගැන සලකා බලන විට මෙම සාධකය නිෂේධාත්මක ප්‍රතිඵල ඇති කිරීමට ඇති ඉඩ කඩ වැඩිය.” මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ටා නෙයා පුවත්පත මෙසේ ලීවේය: “කෙනෙකුට තම පෞද්ගලික හැඳුනුම්පතේ තම ආගම ලියාපදිංචි කිරීමේ බැඳීම වැනි කාරණා සම්බන්ධයෙන් පල්ලියේ බලපැවැත්වීම හා ප්‍රතික්‍රියාවන් සඳහා ඉඩක් නොතබා රජය මගින් තීරණ ගෙන, නීති ස්ථාපිත කළ යුතුය.”
එවැනි වෙන්වීමක හදිසිතාව අවධාරණය කරමින්, ව්‍යවස්ථානුකූල නීතිය හා යුරෝපීය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වන මහාචාර්ය ඩිමිට්‍රිස් ට්සාට්සොස් මෙසේ සඳහන් කළේය: “[ග්‍රීසියේ] සභාව සමාජීය, දේශපාලනික හා අධ්‍යාපනික ජීවිතය පාලනය කිරීම නැවැත්විය යුතුයි. ග්‍රීක් සභාව ක්‍රියාත්මක වන ආකාරය හිංසාකාරියි, එය අපගේ අධ්‍යාපනික ක්‍රමය සහ අපගේ සමාජය කෙරෙහි ඒකාධිපති පාලනයක්.” තවත් සම්මුඛ සාකච්ඡාවකදී මෙම මහාචාර්යවරයාම මෙසේ පැවසුවේය: “සභාවට ග්‍රීසිය තුළ බියගන්වනසුලු බලයක් ඇති අතර, අභාග්‍යයකට මෙන් එහි බලපෑම කෲර ගතානුගතික දේශපාලනයට පමණක් සීමා නොවී, ග්‍රීක් සමාජයේ ප්රගතිශීලී ජන කොටස්වලටද ගෙන යෑමට සලස්වා තිබෙනවා. සභාව සහ රජය වෙන් කරන්නයයි පෞද්ගලිකව මා ඉල්ලා සිටිනවා. ඔර්තඩොක්ස් ග්රීක්වරුන්ව ග්‍රීසියේ වෙනත් ආගම් පිළිපදින්නන්ගේ සමානත්වයට ගෙන, එකම මට්ටමකට දමන්න කියා මා ඉල්ලා සිටිනවා.”
සැබෑ ක්‍රිස්තියානීන් එක්සත්ය
ග්‍රීක් ඔර්තඩොක්ස් සභාවේ සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ සලකුණ සොයාගැනීම ඇත්තෙන්ම දුෂ්කරය. ක්‍රිස්තියානි ධර්මය තුළම භේද හා නිකායන් ඇතිවීමක් යේසුස්වහන්සේ අදහස් නොකළසේක. සිය පියාණන්ට යාච්ඤා කරද්දී, සිය ගෝලයන් ‘සියලුදෙනා ඒකත්වයක්’ වීමට උන්වහන්සේ ඉල්ලා සිටිසේක. (යොහන් 17:21) තවද මෙම ගෝලයන් ‘අතර ප්‍රේමය තිබීම’ අවශ්‍ය විය, මෙම ප්‍රේමය ක්‍රිස්තුස්වහන්සේගේ අව්‍යාජ අනුගාමිකයන් බවට පැහැදිලිව පෙන්වන සලකුණය.—යොහන් 13:35.
ග්‍රීක් ඔර්තඩොක්ස් සභාවේ එක්සත්කම අත් කරගත නොහැකි දෙයක් මෙන් පෙනෙන්ට තිබේ. කෙසේවුවද, මෙය අදදින සංවිධානය වූ ආගමක් තුළ අද්විතීය තත්වයක් නොවේ. ඊට වඩා, එය ක්‍රිස්තියානි ලෝකයේ ආගම්වල පැතිර ඇති භේදකාරි තත්වය නියෝජනය කිරීමකි.
මෙම කනගාටුදායක තත්වයන් 1 කොරින්ති 1:10හි සැබෑ ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් ලියූ වචන සමඟ එකඟ කිරීමට දුෂ්කර බව දෙවියන්වහන්සේට අවංකව ප්‍රේම කරන අයට පෙනීයයි: “ඉතින්, සහෝදරයෙනි, නුඹලා සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, නුඹලා අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලාගෙන් ඉල්ලමි.”
එසේය, යේසුස්වහන්සේගේ සැබෑ ගෝලයෝ එකිනෙකා අතර බිඳිය නොහැකි එක්සත්කමක් භුක්තිවිඳිති. ඔවුන් ක්‍රිස්තියානි ප්‍රේමයේ බැම්මකින් එක්සත්ව සිටින බැවින්, ඔවුන් අතර දේශපාලනික, නිකායික හෝ ධර්මානුකූල භේද නොමැත. තම අනුගාමිකයන්ව “ඔවුන්ගේ ඵල” හෝ ක්‍රියාකලාපයන් මගින් සෑමදෙනෙකුටම හඳුනාගැනීමට හැකි වනු ඇතැයි යේසුස්වහන්සේ මැනවින් පැහැදිලි කළසේක. (මතෙව් 7:16) ග්‍රීසියෙත්, එලෙසම ලෝකයේ වෙනත් ඕනෑම තැනකත් සැබෑ ක්‍රිස්තියානි එක්සත්කමක් භුක්තිවිඳින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “ඵල” මොනවාදැයි සොයා බැලීමට මෙම සඟරාවේ ප්රකාශිතයෝ ඔබට ආරාධනා කරති.
[18වන පිටුවේ පින්තූරය]
පූජකයෝ පොලිසිය සමඟ ගැටුමක
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Pictorial History of the World යන පොත ඇසුරෙනි