ජෙසිකාගේ වාර්තාව
එක්සත් ජනපදයේ, අවුරුදු 13ක් වයසැති ජෙසිකා නම් ගැහැනු ළමයෙකු ඇතුළු ඇයගේ පන්තියේ මිතුරන්ට, “දෙවියන්වහන්සේ, කොඩිය සහ රට” යන මාතෘකාව මත කතාවක් ඉදිරිපත් කිරීමට පැවරුම් ලැබිණ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක හැටියට ඇය කොඩියට ආචාර නොකරන හේතුව කුමක්ද කියා දැනගැනීමට ඇයගේ සෙසු ශිෂ්‍යයන් කුහුලෙන් සිටින බව දැනගැනීමෙන්, ජෙසිකා ඇයගේ විශ්වාසය පැහැදිලි කිරීම සඳහා නිර්භීතව ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගත්තාය. පහත සඳහන් වන්නේ ඇයගේ වාර්තාවෙන් උපුටාගත් කොටස්ය.
“සෑම පාසැල් දිනයක ආරම්භයේදීම, පක්ෂපාතකමේ ප්‍රතිඥාව ප්‍රකාශ කිරීමට ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින නමුත්, මගේ විශ්වාසය සහ මගේ ආගම නිසා මම එසේ නොකරමි. බොහෝදෙනෙක් මෙයට හේතුව කල්පනා කරති. මා දැන් ඔබට කියන්නම්.
“කොඩියට ආචාර කිරීමේ මුල්ම වදන් වන්නේ: ‘මම කොඩියට පක්ෂපාතිත්වය දැක්වීමට ප්‍රතිඥා දෙමි’ යන්නයි. ඇත්තෙන්ම, පක්ෂපාතිත්වය දැක්වීම යනු කුමක්ද? එය වනාහි සහයෝගිතාව, පක්ෂපාතකම සහ භක්තිය පෙන්වීමට තිබෙන යුතුකමය. මම දැනටමත් දෙවියන්වහන්සේට මගේ පක්ෂපාතිත්වය දැක්වීමට ප්‍රතිඥා දී තිබෙන නිසා, මට කොඩියට මගේ පක්ෂපාතිත්වය දැක්වීමට නොහැකි අතර, එසේ නොදක්වන්නෙමි. එහෙත් මම කොඩියට නමස්කාර නොකිරීමෙන් හෝ පක්ෂපාතිත්වයේ ප්‍රතිඥාව එයට නොදීමෙන්, එයට අගෞරවය කරන බව අදහස් නොකෙරේ.
“මගේ ජීවිතයේ වඩාත් වැදගත් වන්නේ දෙවියන්වහන්සේය. මම මගේ උපරිමයෙන් බයිබලයෙහි සඳහන් උන්වහන්සේගේ ආඥා අනුගමනය කිරීමට උත්සාහ කරමි. මම සෑම දිනකම උන්වහන්සේට යාච්ඤා කරන අතර, අමතර උපකාර හෝ දිරිගැන්වීම් අවශ්‍ය වූ විටත් යාච්ඤා කරමි. සැමවිටම මට ඒ උපකාරය සහ දිරිගැන්වීම නිසි වෙලාවට ලැබේ. දෙවියන්වහන්සේව පළමු ස්ථානයට තැබූ විට සහ අපට අණ කර තිබෙන දේවල් කරන විට, මා ඊටත් වඩා සතුටින් සිටින බව සොයාගෙන තිබේ.
“එනිසා මම කොඩියට ආචාර නොකළත්, එයට ගෞරවය කරන අතර, කිසිම ආකාරයකින්වත් එයට අගෞරවය නොකරමි. නමුත් මගේ පක්ෂපාතිත්වය පිරිනමන්නේ දෙවියන්වහන්සේටය, එය උන්වහන්සේට දිය යුතුය, එයට හේතුව, උන්වහන්සේ මා මැවූ නිසාය, එනිසා එම පක්ෂපාතිත්වය දීමට මම උන්වහන්සේ ඉදිරියේ බැඳී සිටිමි.”
ඔවුන්ට ඇසුණාවූ වාර්තාවලට අගය ප්‍රකාශ කරන මෙන් ජෙසිකාගේ පන්තියේ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලනු ලැබීය. ඇයගේ වෑයම හේතුවෙන්, පන්තියේ සෙසු මිතුරන් ඇගේ විශ්වාසයන් සම්බන්ධයෙන් වඩාත් හොඳ වටහාගැනීමක් ලබාගත් බව පැවසූ විට ජෙසිකා කෙතරම් සතුටු වූවාද! වඩාත් වැදගත් දෙය නම්, බයිබල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිර්භීතව කතා කරන යෞවනයන්, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ හෘදය ප්‍රීති කරන්නේය!—හිතෝපදේශ 27:11.