ගරුබිය දනවන විශ්වය
මහ පිපුරුම් මතය පැහැදිලි කරන දේ—පැහැදිලි නොකරන දේ
සෑම උදෑසනක්ම ආශ්චර්යයකි. එම උදෑසන සූර්යයා තුළ, අංශක මිලියන ගණනක උෂ්ණත්වයකදී හයිඩ්රජන්, හීලියම් සමඟ සංයෝජනය කරනු ලැබේ. එහි හරයේ සිට ඉතා විනාශකාරි වූ එක්ස් හා ගැමා කිරණ සූර්යයාගේ අවට ස්තරවලට වේගයෙන් මුදාහරිනු ලැබේ. සූර්යයා විනිවිද පෙනෙන වස්තුවක් වී නම්, මෙම කිරණ ඉතා වේගයෙන් තත්පර ස්වල්පයකින් මතුපිටට විසි වී විසිරී යනු ඇත. ඒ වෙනුවට, සූර්ය “පරිවරණයකින්” යුත් එක් පරමාණුවක සිට තවත් පරමාණුවක් දක්වා ඒවා ගමන් කිරීමට පටන්ගනී, ඒ සමඟම ඒවායෙහි බලය ක්‍රමානුකූලව අඩු වේ. දවස්, සති, සියවස් ගණන් ගෙවී යයි. අවුරුදු දහස් ගණනකට පසු, වරක් මාරාන්තික වූ එම විකිරණය, සූර්යයා මතුපිටින් ඉවතට පැමිණෙන්නේ සෞම්‍ය, කහපාට ආලෝක ධාරාවක් හැටියටය—තවදුරටත් තර්ජනයක් නොවී, එහි උණුසුමෙන් පෘථිවිය නැහැවීමට එය යෝග්‍ය තත්වයක පවතී.
සෑම රාත්‍රියක්ද ආශ්චර්යයකි. අපේ මන්දාකිණියට අයත් සුවිශාල පෙදෙස සිසාරා තවත් සූර්යයෝ බැබළෙති. ඒවා වර්ණයෙන්, ප්‍රමාණයෙන්, උෂ්ණත්වයෙන් හා ඝනත්වයෙන් විවිධාකාරය. ඉන් සමහරක් සුපිරි යෝධයෝ වෙත්, ඒවා කෙතරම් විශාලද කිවහොත්, ඉන් එකක් අපේ සූර්යයා පිහිටි ස්ථානයේ පිහිටා තිබුණේ නම්, අපේ පෘථිවිය එම සුපිරි තරුවේ පෘෂ්ටය තුළ පිහිටා තිබෙනු ඇත. වෙනත් සූර්යයෝ කුඩා, සුදු අඟුටුමිට්ටෝය—ඒවා අපේ ග්‍රහයාට වඩා කුඩා වුවත්, අපේ සූර්යයා තරම් බරකින් යුක්තය. ඇතැම් තරු සාමකාමීව අවුරුදු බිලියන ගණනකට පවතිනවා ඇත. වෙනත් ඒවා, කෙටි කලකට සම්පූර්ණ මන්දාකිණිවලට වඩා දීප්තිමත් වෙමින්, සුපර්නෝවා පිපිරීම්වලට ඉතා ආසන්නව සිටී, එමගින් එහි අංශුමාත්‍රයක්වත් ඉතිරි නොවෙයි.
ප්‍රාථමික ජනයා, දැවැන්ත මුහුදු සත්වයන් හා සටන් කරන දෙවිවරුන්ද, මකරන්ද කැස්බෑවන් හා ඇතුන්ද, නෙළුම් මල් හා සිහින දකින දෙවිවරුන්ද පිළිබඳව කතා ගෙතූහ. පසුව, විචාර ශක්තියේ යුගය ලෙස හැඳින්වූ යුගයේ, අලුත සොයාගත් කලනය හා නිව්ටන්ගේ නීති නමැති ආශ්චර්යය මගින් එම දෙවිවරුන්ව ඉවත දමන ලදි. අප දැන් ජීවත් වන්නේ පුරාණ කාව්‍යය ශාස්ත්‍රයෙන් හා පුරාවෘත්තවලින් තොර යුගයකය. වත්මන් පරමාණුක යුගයේ දරුවන්, මැවීම සඳහා තම ආදර්ශය වශයෙන් තෝරාගෙන ඇත්තේ, පුරාණ මුහුදු සත්වයා හෝ නිව්ටන්ගේ “යන්ත්‍රය” හෝ නොව, නමුත් 20වන සියවසේ බෙහෙවින් බලපවත්වන සංකේතය වන—බෝම්බයයි. ඔවුන්ගේ “මැවුම්කරු” වූ කලි, පිපිරීමකි. ඔවුහු සිය අන්තරීක්ෂ ගිනි ජාලාව මහ පිපුරුම ලෙස හඳුන්වති.
මහ පිපුරුම “පැහැදිලි” කරන දේ
මැවීම පිළිබඳ මෙම පරම්පරාවේ ඉතාමත් ජනප්‍රිය මතයක, අවුරුදු බිලියන 15-20 අතර කාලයකට පමණ පෙර, විශ්වයවත් හිස් අවකාශයවත් නොපැවති බව සඳහන් වේ. කාලයවත්, පදාර්ථවත් තිබුණේ නැත—අපරිමිත ඝනත්වයකින් යුත්, අපරිමිතව කුඩා ලක්ෂයක් වූ අපූර්වතාවක් වශයෙන් හඳුන්වන ලද යමක් මිස කිසිවක් නොතිබිණ, මෙය වත්මන් විශ්වය බවට පිපිරී ගියේය. මුල් තත්පරයෙන් ඉතා කුඩා කොටසක ඉතා කෙටි කාලපරිච්ඡේදයක් එම පිපිරීමට ඇතුළත් විය, ඒ අවස්ථාවේදී අලුත උපන් විශ්වය ආලෝකයේ වේගයටත් වඩා වේගයකින් පිම්බී ගියේය, එසේ නැතහොත් ප්‍රසාරණය වූයේය.
එම මහ පිපිරීමේ පළමු විනාඩි කිහිපය තුළදී, විශ්වනීය පරිමාණයකින් න්‍යෂ්ටික විලයනයක් සිදු වූ අතර, වර්තමානයේ මැන තිබෙන හයිඩ්රජන් හා හීලියම් සාන්ද්‍රණවල මෙන්ම අඩුම තරමින් අන්තස්තාරීය අවකාශය තුළ තිබෙන ලිතියම් සාන්ද්‍රණයේ යම් ප්‍රමාණයක් හටගැන්වීමට මෙය හේතු විය. ඇතැම්විට අවුරුදු 3,00,000කට පමණ පසු, විශ්වය පුරා පැවති ගිනි ජාලාව, සූර්යයාගේ මතුපිටේ පවතින උෂ්ණත්වයට මදක් අඩු උෂ්ණත්වයක් දක්වා පහත වැටුණු අතර, පරමාණු වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වීමට ඉන් ඉඩ කඩ සැලසූ අතර, ෆෝටෝන නොහොත් ආලෝක කිරණ ඉන් මුදාහරින ලදි. එම මූලාවස්ථික දීප්තිය වර්තමානයෙහි මැනිය හැක, එහි උෂ්ණත්වය බෙහෙවින් අඩු වී තිබුණත්, විශ්ව පසුබිම් විකිරණය වශයෙන් මැනිය හැක, මෙය සූක්ෂ්ම තරංග සංඛ්‍යාතවලදී නිශ්චය කර ගත හැකි කෙල්වින්a අංශක 2.7ක උෂ්ණත්වයකට අනුරූප වේ. ඇත්තෙන්ම, මහ පිපුරුම් මතයේ යම් හරයක් තිබූ බව බොහෝ විද්‍යාඥයන් තුළ තද විශ්වාසයක් ඇති කළේ, 1964-65දී කළ පසුබිම් විකිරණය සම්බන්ධ මෙම සොයාගැනීමය. දුරින් පිහිටි මන්දාකිණි අපෙන්ද, එකිනෙක කෙරෙන්ද ශීඝ්‍ර ලෙස දුරස් වෙමින්, විශ්වය හැම දිශාවකින් ප්‍රසාරණය වීමට හේතුවද මෙම මතය පැහැදිලි කරන බවට පවසා තිබේ.
මහ පිපුරුම් මතයෙන් මෙතරම් දේවල් පැහැදිලි වන බව පෙනෙන බැවින්, එය සැක කළ යුත්තේ මන්ද? එය පැහැදිලි නොකරන දේවල් රාශියක් ඒ හා සම්බන්ධව තිබෙන බැවිනි. එය මෙසේ පැහැදිලි කරයි: සූර්යයා හා ග්‍රහයන්, පෘථිවිය වටා විශාල චක්රාකාර ගමනක යෙදෙමින් සිටි අතර, එම අවස්ථාවේදීම අපිචක්‍ර නමින් හඳුන්වන කුඩා චක්රාකාර ගමනකද යෙදෙමින් සිටි බවත් පුරාණ තාරකා විද්‍යාඥ ටොලමිගේ මතය විය. එම මතය ග්‍රහයන්ගේ චලනය පැහැදිලි කළ බවක් පෙනිණ. සියවස් ගණනාවකටම තාරකා විද්‍යාඥයන් තව තවත් දත්ත එකතු කළ අතර, තම අනික් අපිචක්රවලට අමතර අපිචක්‍ර එකතු කරමින්, අලුත සොයාගත් දත්ත “පැහැදිලි කිරීමට” ටොලමිට පක්ෂ වූ විශ්ව න්‍යාය විද්‍යාඥයන්ට හැකි විය. එහෙත් එම මතය නිවැරදි වූ බව එමගින් අදහස් කළේ නැත. අන්තිමේදී පැහැදිලි කිරීමට නොහැකි තරම් දත්ත සම්භාරයක් එකතු වූ අතර, පෘථිවිය සූර්යයා වටා ගමන් කළ බවට වූ කොපර්නිකස්ගේ අදහස වැනි වෙනත් මත, දේවල් වඩාත් හොඳින් හා සරලව පැහැදිලි කළේය. අදදින ටොලමිගේ අදහසට පක්ෂ තාරකා විද්‍යාඥයෙකු සොයාගත නොහැකි තරම්ය!
අලුතින් සොයාගත් දේවල් හමුවේ තම පරිහානියට ලක් වන මතය යළි තහවුරු කිරීමට ටොලමිට පක්ෂ වූ විශ්ව න්‍යාය විද්‍යාඥයන් දැරූ වෑයම්, අදදින මහ පිපුරුම් මතය සනාථ කිරීම සඳහා එය විශ්වාස කරන්නන් දරන ප්‍රයත්නවලට මහාචාර්ය ෆ්‍රෙඩ් හොයිල් සමාන කළේය. දි ඉන්ටෙලිජන්ට් යූනිවර්ස් නම් සිය පොතෙහි හේ මෙසේ ලීවේය: “පරීක්ෂකයන්ගේ ප්‍රධානතම වෑයම් යොමු වී තිබෙන්නේ තව තවත් සංකීර්ණ මෙන්ම පීඩිත යමක් බවට පත් වී තිබෙන අදහසක් ගොඩනැඟීමේ අටියෙන්, මහ පිපුරුම් මතයේ තිබෙන පරස්පරවිරෝධීතා සැඟවීමටයි.” සිය මතය බේරාගැනීමට අපිචක්‍ර භාවිත කිරීමට ටොලමි දැරූ නිෂ්ඵල වෑයමට යොමු දැක්වීමෙන් පසු, හොයිල් තවදුරටත් මෙසේ පැවසීය: “ප්‍රතිඵලයක් වශයෙන් මහ පිපුරුම් මතය මහත් තර්ජනයකට ලක් වී තිබෙන බව පැවසීමට මම අදි මදි නොකරන්නෙමි. මා කලින් සඳහන් කර තිබෙන පරිදි, පරිසිද්ධීන් මාලාවක්ම මතයකට විරුද්ධව යන බවක් පෙනේ නම්, එය ගොඩනඟාගත හැකි වන්නේ කලාතුරකින් බව අද්දැකීමෙන් පැහැදිලි වී තිබේ.”—186 පිටුව.
වර්ෂ 1990 දෙසැම්බර් 22/29හි නිව් සයන්ටිස්ට් සඟරාව, ඒ හා සමාන අදහස් ප්රතිනාද කළේය: “ටොලමිගේ ක්‍රමය . . . මහ පිපුරුම් විශ්ව න්‍යායික ආකෘතිය වෙනුවෙන් සුලභව අදාළ කොට තිබේ.” ඊළඟට එය මෙසේ අසයි: “අංශු භෝතික විද්‍යාව හා විශ්ව න්‍යාය විද්‍යාව තුළ අපට සැබෑ ප්‍රගතියක් අත් කරගත හැක්කේ කෙසේද? . . . අප මහත් භක්තියකින් රැකගන්නා සමහර උපකල්පනවල සැක සහිත ස්වභාවය පිළිබඳව අප වඩාත් අවංක මෙන්ම ඍජු අන්දමකින් ක්‍රියා කළ යුතුය.” දැන් අලුත් නිරීක්ෂණ රැසක් ගලා එමින් පවතී.
මහ පිපුරුම් මතයෙන් උත්තර නොලැබෙන ප්‍රශ්න
මහ පිපුරුම් මතයට එරෙහිව විශාල අභියෝගයක් එල්ල වී තිබෙන්නේ, වෙනත් මන්දාකිණි දක්වා තිබෙන දුර ප්‍රමාණ මැන බැලීමට හබල් දූරේක්ෂකයේ නිවැරදි කරන ලද ප්‍රකාශ විද්‍යාව භාවිත කරන නිරීක්ෂකයන්ගෙනි. මෙම අලුත් දත්ත මතධාරීන්ගේ බලාපොරොත්තු සුන් කිරීමට සමත් වන්නේය!
කන්‍යා රාශියේ මන්දාකිණියක් දක්වා තිබෙන දුර ප්‍රමාණය මැන බැලීමට, තාරකා විද්‍යාඥ වෙන්ඩි ෆ්‍රීඩ්මන් හා වෙනත් අය මෑතකදී හබල් අභ්‍යවකාශ දූරේක්ෂය භාවිත කළෝය, තවද විශ්වය වඩාත් ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වන බවත්, එමනිසා කලින් සිතුවට වඩා එය වයසින් අඩු බවත් ඇගේ මැන දැක්වීම යෝජනා කරයි. ඇත්තෙන්ම “අවුරුදු බිලියන අටක් තරම් අඩු විශ්ව වයසක් ඉන් ඇඟවෙන” බව සයන්ටිෆික් අමෙරිකන් සඟරාව පසුගිය ජූනි මස තරම් මෑතක වාර්තා කළේය. අවුරුදු බිලියන අටක් ඉතා දීර්ඝ කාලයක් සේ දිස් වුවද, දැනට විශ්වයේ තක්සේරු කර තිබෙන වයසට එය අඩකටත් වඩා අඩුය. මින් විශේෂ ගැටලුවක් හටගැනේ, මන්දයත් වාර්තාව පවසන පරිදි, “ඇතැම් තරු යටත් පිරිසෙයින් අවුරුදු බිලියන 14ක් තරම් වයසැති බව වෙනත් දත්තවලින් ඇඟවෙන” බැවිනි. ෆ්රීඩ්මන්ගේ සංඛ්‍යාලේඛන සැබෑ බවට ඔප්පු වේ නම්, එම වයෝවෘද්ධ තරු, මහ පිපුරුමටත් වඩා වයසැති බව පෙනී යනවා ඇත.
බාහිරව මන්දාකිණිවලින්ද අභ්‍යන්තරයේ අභිශූන්‍ය ලක්ෂවලින්ද යුත්, ආලෝක වර්ෂ මිලියන 100ක ප්‍රමාණයකින් යුත් විශ්වයේ, “බුබුළු” තිබෙන බවට අඛණ්ඩව වැඩි වෙමින් පවතින සාක්ෂි මහ පිපුරුමට තවත් ගැටලුවකි. උත්තරාර්ධගෝල ආකාශය දිගේ ආලෝක වර්ෂ මිලියන 500ක් දිග මහා මන්දාකිණි ප්රාකාරයක් ලෙස හඳුන්වනු ලබන යමක්, නක්ෂත්ර භෞතිකය සඳහා හාර්වඩ්-ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ මාර්ගරට් ගෙලර්, ජොන් හක්රා සහ වෙනත් අය විසින් සොයාගන්නා ලදි. දක්ෂිණාර්ධගෝලයේ රාශි වන හයිඩ්‍රා සහ සෙන්ටෝරස් ළඟ පිහිටා තිබෙන, මහා ආකර්ෂකයා ලෙස හඳුන්වා ඇති වෙනත් විශ්ව රාශියක් තිබෙන බවට සාක්ෂි සමුරායි සත්දෙනා ලෙස ප්‍රචලිත වූ තවත් තාරකා ශාස්ත්‍රඥයන් කණ්ඩායමක් විසින් සොයාගන්නා ලදි. “අභ්‍යවකාශයේ ගඟක” යන්නාක් මෙන් අපේ මන්දාකිණිය ඇතුළුව මන්දාකිණි සිය ගණනක් ඒ දෙසට ශීඝ්‍රයෙන් පහුරු මෙන් ගමන් කිරීමට සලස්වන ඊටත් වඩා දැවැන්ත යමක් ඔරයන් රාශිය පිටුපස තිබිය යුතු බව මාර්ක් පෝස්ට්මන් සහ ටොඩ් ලැව්වර් විශ්වාස කරති.
මේ ව්‍යූහයන් සම්පූර්ණයෙන්ම ගත් කල එය තේරුම්ගත නොහැකි තරම්ය. ඉතිරි වූ පසුබිම් විකිරණය අනුව, මහ පිපුරුමෙන් සිදු වූ පිපිරීම ඉතා ක්‍රමවත්ව සිදු වූ බව විශ්ව න්‍යාය විද්‍යාඥයෝ කියා සිටිති. එතරම් ක්‍රමවත් ආරම්භයක් මෙතරම් දැවැන්ත සංකීර්ණ ව්යූහයන්වලට තුඩු දීමට හැකි වූයේ කෙසේද? “අවුරුදු බිලියන 15ක් තරම් ඈතකට දිව යන විශ්වයේ වයස අතරතුර මෙතරම් සංකීර්ණ ව්‍යූහයක් නිර්මාණය වූයේ කෙසේද යන්න පිළිබඳ අභිරහස තව තවත් ගැඹුරු වන්නේ, අලුතින්ම සොයාගත් ප්‍රාකාර හා ආකර්ෂක හේතුකොටගෙනය,” කියා සයන්ටිෆික් අමෙරිකන් පිළිගනී—ඇරත් ෆ්‍රීඩ්මන් සහ වෙනත් අය විශ්වයේ තක්සේරු කරන ලද වයස තව තවත් අඩු කරන විට, මෙම ගැටලුව තව තවත් උග්‍ර වනවා පමණි.
“අපෙන් යම් මූලික සංඝටකයක් ගිලිහෙනවා”
එකට ගොඩගැසී තිබෙන, අවුල්සහගත මෙන්ම බුබුළු සහිත මන්දාකිණි රාශි දහස් ගණනකින් යුත් ගෙලර්ගේ ත්‍රිමාන සිතියම් හේතුවෙන්, විද්‍යාඥයන්ට විශ්වය පෙනෙන ආකාරය මුළුමනින් වෙනස් වී තිබේ. ඇය දකින දේ ඇයට තේරෙන බව ඈ බොරුවට කියා නොසිටී. ඇගේ මහා ප්‍රාකාරය පැහැදිලි කිරීමට ගුරුත්වය පමණක් නොසෑහෙන බව පෙනේ. “මෙම ව්‍යූහය තේරුම්ගැනීමට අප දරන වෑයම්වලදී අපෙන් යම් මූලික සංඝටකයක් ගිලිහෙනවා කියා මට නිතරම හැඟෙනවා,” කියා ඈ පිළිගනී.
ගෙලර් ඇගේ සැක තවදුරටත් මෙසේ පැහැදිලි කළාය: “මහ පිපුරුම සැලකිල්ලට ගෙන විශාල ව්‍යූහයක් ඇති වූ අන්දම අප දන්නේ නැත.” දැනට සිතියම්ගත කර තිබෙන අහස පදනමක් වශයෙන් භාවිත කරනවා නම්, විශ්ව ව්‍යූහය අර්ථකථනය කිරීම ඉතා අවිනිශ්චිතය—හරියටම, අ.එ.ජ. රෝඩ් දූපත් මැන බැලීමෙන් මුළු ලෝකය සිතියම්ගත කිරීමට වෑයම් කරනවා හා සමානය. ගෙලර් තවදුරටත් මෙසේ පැවසුවාය: “අප දත්ත සම්බන්ධයෙන් හරියාකාරව අර්ථ දක්වමින් නොසිටි බව අපට කවදා හෝ සොයාගත හැකි වේවි, එමෙන්ම අප එසේ සොයාගන්නා විට, එය කෙතරම් පැහැදිලි වේවිද කිවහොත් ඒ ගැන මීට කලින් නොසිතුවේ මන්ද කියා කල්පනා කිරීමට අප පෙලඹෙනු ඇත.”
මෙය ලොකුම ප්‍රශ්නයට මඟ පාදයි: පවතින මතය අනුව, මහ පිපුරුම ඇතිවීමට හේතු වූයේ කුමක්ද? සාමාන්‍ය මතය මෙම මූලික ප්රශ්නය නිරාකරණය කරන්නේ නැති බව, විශ්වය ප්‍රසාරණය වීමකින් ඇති වූ බව කියන ඉතා ජනප්‍රිය සිද්ධාන්තයේ මූලාරම්භකයන්ගෙන් කෙනෙක් වන, ආන්ඩ්‍රේ ලින්ඩ වැනි ප්‍රබල අධිකාරයක් අවංකව පිළිගනී. “පළමු මෙන්ම මූලික ගැටලුව මහ පිපුරුමේ පැවැත්ම,” යයි ඔහු පවසයි. “මීට කලින් පැමිණියේ කුමක්ද කියා ඇතමෙකු කල්පනා කළ හැක. එදා අවකාශ-කාලය පැවතියේ නැත්නම්, ශුන්‍ය තත්වයකින් සෑම දෙයක් ඉස්මතු වීමට හැකි වූයේ කෙසේද? . . . මෙම මූලික අපූර්වතාව—එනම් සියල්ල ආරම්භ වූයේ කෙසේද කවදාද යන්න—පැහැදිලි කිරීම යනු නවීන විශ්ව න්‍යාය විද්‍යාවේ තවමත් වඩාත් කරදරකාරි ගැටලුව වේ.”
“මහ පිපුරුම සර්ව සම්පූර්ණ මතයක් බවට කිසිදු සාධාරණ විශ්ව න්‍යාය විද්‍යාඥයෙකු කියා සිටින්නේ නැති” බව ඩිස්කවර් සඟරාවේ ලිපියක් මෑතකදී නිගමනය කළේය.
තරුවලින් ගහන අහස් ගැබේ අලංකාරය හා අභිරහස් ගැන මෙනෙහි කිරීමට අපි දැන් එළිමහනට යමු.
[පාදසටහන]
a කෙල්වින් යනු, සෙල්සියස් උෂ්ණත්වමාන පරිමාණයේ අගයට සමාන උෂ්ණත්වමාන පරිමාණක ඒකකයකි, තිබෙන වෙනස නම් කෙල්වින් පරිමාණය නිරපේක්ෂ ශූන්‍යයේ එනම් 0 Kහි ඇරඹේ, එය සෙල්සියස් අංශක -273.16කට සමානය. ජලය 273.16 Kහි මිදෙන අතර, 373.16 Kදී උතුරයි.
[5වන පිටුවේ කොටුව]
ආලෝක වර්ෂය—විශ්ව මිනුම් දණ්ඩක්
විශ්වය කෙතරම් විශාලද කිවහොත්, එය සැතපුම්වලින් හෝ කිලෝමීටර්වලින් මැනීම වූ කලි, ලන්ඩනය සිට ටෝකියෝ දක්වා දුර මයික්රෝමීටරයකින් මැන බැලීම හා සමානය. වඩාත් පහසු මිනුම් ඒකකයක් වනුයේ ආලෝක වර්ෂයයි, එය වූ කලි, අවුරුද්දක් තුළදී ආලෝකය ගමන් කරන දුරය, එනම් කිලෝමීටර් 94,60,00,00,00,000ක් පමණය. චන්ද්‍රයා දක්වා ගමන් කිරීමට තත්පර 1.3ක්ද, සූර්යයා දක්වා ගමන් කිරීමට විනාඩි 8ක්ද පමණ ගත වන ආලෝකය, විශ්වයේ වේගවත්ම දෙය වන බැවින්, ආලෝක වර්ෂය සැබවින්ම ඉතා විශාල දුර ප්‍රමාණයක් වනු ඇත!