ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ct 2 පරි. 10-25 පි.
  • අපේ විශ්වය ඇති වුණේ කෙසේද?—පවතින මතභේදය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ විශ්වය ඇති වුණේ කෙසේද?—පවතින මතභේදය
  • ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආරම්භයක් ඇති බවට අනුබල දෙන සාක්ෂි
  • ආරම්භය පැහැදිලි කිරීමට තැත් කිරීම
  • තිතටම සකස්ව තිබීම
  • න්‍යෂ්ටික බලයන් දෙක
  • පෘථිවියේ ඉතා යෝග්‍ය ගතිලක්ෂණ
  • නියමයන් සහ පිළිවෙළ
  • අරුම පුදුම විශ්වය—අහම්බෙන් බිහි වීද?
    2000 පිබිදෙව්!
  • විශ්වය ගැන හිතන්න
    2021 පිබිදෙව්!
  • එයට ඇත්තටම ආරම්භයක් තිබුණාද?
    1999 පිබිදෙව්!
  • විස්මිත විශ්වය
    2009 පිබිදෙව්!
තව තොරතුරු
ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
ct 2 පරි. 10-25 පි.

දෙවන පරිච්ඡේදය

අපේ විශ්වය ඇති වුණේ කෙසේද?—පවතින මතභේදය

අභ්‍යවකාශ යානයක කවුළුවකින් දිස්වන පෘථිවිය දකිද්දී, ගගනගාමීන් එය ඡායාරූපගත කරන්නේ ඉමහත් සතුටකිනුයි. “අභ්‍යවකාශයේ ගමන් කිරීමේ හොඳම ටික ඒකයි” යනුවෙන් එක්කෙනෙක් පැවසුවා. එනමුත් සූර්ය ග්‍රහ මණ්ඩලය හා සසඳද්දී අපේ පෘථිවිය ඉතා කුඩා යමක් මෙන් පෙනේ. සූර්යයා තුළට පෘථිවි ගෝල දශලක්ෂයක් දමන්න පුළුවන්; එසේ කළත් ඇත්තෙන්ම තවත් ඉඩ ප්‍රමාණයකුත් ඉතිරි වේවි! කෙසේවෙතත්, විශ්වය පිළිබඳ එවන් තොරතුරු ඔබේ ජීවිතය සහ එහි අර්ථයට යම් ආකාරයකින් සම්බන්ධ විය හැකිද?

ඇසට පෙනෙන පරිද්දෙන් අපේ පෘථිවි ග්‍රහයා සහ සූර්යයා දැකීමට අභ්‍යවකාශය තුළට මනසින් කෙටි ගමනක නිරත වෙමු. අපේ සූර්යයා කියන්නේ, මුළු මහත් විශ්වයේ ඉතා කුඩා කොටසක් වන ක්ෂීර පථ මන්දාකිණියේa සර්පිලාකාර කොටසක තිබෙන පුදුම දනවන තරු සංඛ්‍යාවෙන් එකක් පමණයි. පියවි ඇසට පෙනෙන්නේ බොඳ වූ ආලෝක පැල්ලම් කිහිපයක් පමණයි. ඒවා ඇත්තෙන්ම වෙනත් මන්දාකිණි. ඉන් එකක් අලංකාර මෙන්ම වඩාත් විශාල ඇන්ඩ්‍රොමීඩායි. ක්ෂීර පථය, ඇන්ඩ්‍රොමීඩා සහ තවත් මන්දාකිණි 20ක් පමණ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් පොකුරක් සේ එකට බැඳී පවතී. ඒවාත් දැවැන්ත සුපිරි පොකුරක කුඩා කොටසක් පමණයි. විශ්වය අසංඛ්‍යාත සුපිරි පොකුරුවලින් සැකසී තිබෙනවා. කතාව එතැනින් හමාර වන්නේ නැහැ.

මෙම පොකුරු අභ්‍යවකාශය තුළ සමව විකාශනය වී නැහැ. පසෙකට වී ඔබ සම්පූර්ණ පින්තූරය දෙස බැලුවොත්, ඒවා හරියට ඇසට නොපෙනෙන අතිවිශාල ගෝලාකාර වූ හිස් ප්‍රදේශ වටා විහිදී ගොස් ඇති තුනී ස්තර සහ සූත්‍රිකා වගෙයි. ඇතැම් ව්‍යූහයන් කොතරම් දිගින් සහ පළලින් යුක්තද කිවහොත් ඒවා මහා ප්‍රාකාර මෙනි. අපේ විශ්වය අහඹු විශ්ව පිපිරීමකින් ඉබේම බිහි වූ බව විශ්වාස කරන බොහෝදෙනෙකුව මින් පුදුම කරවිය හැකියි. “විශ්වයේ හැම තේජවත් අංගයක්ම අපට වඩ වඩාත් පැහැදිලි වන තරමට, ඒ සියල්ල එම තත්වයට පත් වූයේ කෙසේදැයි සරල මතයකින් පැහැදිලි කිරීම අපට වඩාත් අසීරු කාර්යයක් වෙනවා” යනුවෙන් සයන්ටිෆික් අමෙරිකන්හි (ඉංග්‍රීසියෙන්) ජ්‍යෙෂ්ඨ ලේඛකයෙක් නිගමනය කරයි.

ආරම්භයක් ඇති බවට අනුබල දෙන සාක්ෂි

ඔබ දකින තරු සියල්ලම ක්ෂීර පථ මන්දාකිණියට අයත් ඒවායි. එක්දහස් නවසිය විසිගණන් වන තෙක්, තිබෙනවායයි සිතූ එකම මන්දාකිණිය එයයි. එනමුත් එවක් පටන් වඩාත් විශාල දූරේක්ෂවලින් කර තිබෙන නිරීක්ෂණ හේතුවෙන් එම මතය බිඳී ඇති බව ඔබ දන්නවා ඇති. අපේ විශ්වයට අඩුම තරමින් මන්දාකිණි 50,00,00,00,000ක්වත් තිබෙනවා. අප අදහස් කරන්නේ තරු සියකෝටි 50ක් නොව, නමුත් එකක අඩුම තරමින් අපේ සූර්යයාට සමාන තරු සියකෝටියක් බැගින් ඇති මන්දාකිණි සියකෝටි 50ක් තිබෙන බවයි. එනමුත් 1920ගණන්වල විද්‍යාත්මක විශ්වාසයන් දෙදරා ගියේ විශාල මන්දාකිණිවල ඇදහිය නොහැකි ප්‍රමාණය නිසා නොව, නමුත් ඒවා සියල්ල චලනය වෙමින් තිබූ බවට වූ කාරණය නිසයි.

තාරකා විද්‍යාඥයන්ට පුදුමාකාර කාරණයක් අවබෝධ වුණා: මන්දාකිණිවල ආලෝකය ප්‍රිස්මයක් තුළින් යැවූ විට, ආලෝක තරංග ඇදී ඇති බවක් දකින්න ලැබුණා; ඉන් ඇඟවූයේ ඉමහත් වේගයකින් අපෙන් ඉවතට යෑමක්. මන්දාකිණියක් වඩාත් ඈතින් පිහිටි තරමට, පෙනෙන ප්‍රකාරයට එය පෘථිවියෙන් තවත් ඈතට වැඩි වේගයකින් ගමන් කළා. ඉන් අඟවන්නේ විශ්වය ප්‍රසාරණය වන බව!b

අප වෘත්තීය හෝ ආධුනික තාරකා විද්‍යාඥයන් නොවුණත්, ප්‍රසාරණය වන විශ්වයක් අපේ අතීතයට, ඇතැම්විට අපේ පෞද්ගලික අනාගතයට පවා ගැඹුරින් බලපාන බව අපට දැකිය හැකියි. යම්කිසි දෙයකින් එම ක්‍රියාවලිය ආරම්භ කරන්න ඇති. එම බලය කොතරම් ප්‍රබලද කිවහොත් මුළු විශ්වයේ ඉතාම ප්‍රබල ගුරුත්වය කෙරෙහි බලපැවැත්විය හැකි තරමටම ප්‍රබල විය යුතුයි. ‘එවන් ප්‍රබල ශක්තියක ප්‍රභවය කුමක් විය හැකිද’ යන්න ඇසීමට ඔබට හොඳ හේතු තිබෙනවා.

විශ්වයට අතිශයින් කුඩා වූ, ඝනත්වයෙන් අධික වූ ආරම්භයක් (අපූර්වතාවක්) තිබුණු බව බොහෝ විද්‍යාඥයන් කියා සිටියත්, මෙම අතිවැදගත් ප්‍රශ්නය අපට මඟහැරිය නොහැකියි: “අතීතයේ යම්කිසි අවස්ථාවක, විශ්වය ප්‍රමාණයෙන් අපරිමිතව කුඩා මෙන්ම අපරිමිත ඝනත්වයකින් යුත් අපූර්වතාවකට සමීපව තිබුණා නම්, ඊට කලින් කුමක්ද තිබුණේ සහ විශ්වයෙන් එපිට කුමක්ද තිබුණේ කියා ඇසීමට අපට සිදු වෙනවා. . . . අපට ආරම්භයක් හා සම්බන්ධ ගැටලුවට මුහුණ දෙන්න සිදු වෙනවා.”—ශ්‍රීමත් බ’නඩ් ලවල්.

නිකම්ම අතිවිශාල ශක්ති ප්‍රභවයකට වඩා වැඩි යමක් මින් ඇඟවෙනවා. ප්‍රසාරණය වීමේ වේගය තිතටම සකස් වී ඇති බවක් පෙනෙන නිසා දුරදක්නා නුවණකුත් බුද්ධියකුත් අවශ්‍යයි. ලවල් මෙසේ පැවසුවා: “විශ්වයේ ප්‍රසාරණ වේගය ප්‍රකෝටියකින් එකකින් වැඩි වී තිබුණා නම්, විශ්වයේ ද්‍රව්‍ය සියල්ලම දැනටමත් විසිරී ගොස් තිබේවි. . . . එමෙන්ම එය ප්‍රකෝටියෙන් එකකින් අඩු වී තිබුණා නම්, එය පැවති මුල් අවුරුදු සියකෝටිය ඇතුළතදී, ගුරුත්වාකර්ෂණ බලයන් හේතුවෙන් විශ්වය කඩා වැටෙනවා. නැවතත්, බොහෝ කලක් පුරා පවතින තරුවත් ජීවයවත් නොපවතින බව පැහැදිලි වෙනවා.”

ආරම්භය පැහැදිලි කිරීමට තැත් කිරීම

විශ්වයේ මූලාරම්භය පැහැදිලි කිරීමට ප්‍රවීණයන්ට දැන් පුළුවන්ද? විශ්වය උත්කෘෂ්ට බුද්ධියක් මගින් මවනු ලැබුවා යන අදහසින් සෑහීමට පත් නොවන විද්‍යාඥයන් බොහෝදෙනෙක් අනුමාන කරන්නේ, එය යම් යාන්ත්‍රික ක්‍රියාවලියක් හේතුකොටගෙන ශුන්‍ය තත්වයකින් ඉබේම මැවුණු බවයි. එය සාධාරණ බව ඔබට පෙනී යනවාද? භෞතිකඥ ඇලන් ගූත් 1979දී ප්‍රබන්ධ කළ මතයේ (ප්‍රසාරණ විශ්ව න්‍යාය) යම් යම් වෙනස් වීම්, මෙම අනුමානවලට සාමාන්‍යයෙන් සම්බන්ධයි.c එනමුත්, වඩාත් මෑතකදී, තම මතය “විශ්වය, ශුන්‍ය තත්වයකින් මතු වූ අයුරු පැහැදිලි නොකරන” බව ආචාර්ය ගූත් පිළිගත්තා. සයන්ටිෆික් අමෙරිකන්හි ලිපියක ආචාර්ය අන්ඩ්‍රීඒ ලින්ඩගේ අදහස් වඩාත් පැහැදිලි වුණා: “මෙම මුල් අපූර්වතාව, එනම් ඒ සියල්ල පටන්ගත්තේ කොහෙන්ද කවදාද යන්න පැහැදිලි කිරීම, නවීන විශ්ව න්‍යාය විද්‍යාවට තවමත් හසුරුවන්න බැරි ඉතාමත් දුෂ්කර වූ ගැටලුව ලෙස පවතී.”

අපේ විශ්වයේ මූලාරම්භයත් ප්‍රාථමික වර්ධනය වීමත් පැහැදිලි කිරීමට ප්‍රවීණයන්ට ඇත්තෙන්ම බැරි නම්, පැහැදිලි කිරීමක් සඳහා අප වෙනයම් දිශාවක් දෙස බැලිය යුතු නොවේද? ඇත්තෙන්ම, බොහෝදෙනෙකු නොසලකා හැර තිබුණත්, මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් සැබෑ තීක්ෂ්ණ බුද්ධියක් ඔබට දිය හැකි ඇතැම් සාක්ෂි සලකා බැලීමට වලංගු හේතු ඔබට තිබෙනවා. පදාර්ථවලට බලපාන හැම ආවේණික ලක්ෂණයක්ම සහ වෙනස් වීමක්ම පිටුපස ඇති මූලික බලයන් සතරේ නිශ්චිත මිනුම් මෙම සාක්ෂිවලට ඇතුළත්. මූලික බලයන් සඳහන් කළ පමණින්, ‘ඒක අවශ්‍ය භෞතිකඥයන්ට පමණයි’ කියා සිතමින් ඇතමුන් පසුබට විය හැකියි. එය එසේ නොවෙයි. මූලික කරුණු සලකා බැලීම වටින්නේ ඒවා අපට බලපාන නිසයි.

තිතටම සකස්ව තිබීම

අතිවිශාල විශ්වයේ මෙන්ම ඉතාම කුඩා පරමාණුක ව්‍යූහයන්වල මෙම මූලික බලයන් සතර ක්‍රියාත්මක වෙනවා. ඔව්, අප අවට දකින සෑම දෙයක්ම මේ හා සම්බන්ධයි.

විශ්වයේ පවතින බලයන් සතර තිතටම සකස් වී නොතිබුණා නම්, අපේ ජීවිතයට අවශ්‍ය මූලද්‍රව්‍ය (විශේෂයෙන්ම කාබන්, ඔක්සිජන් සහ යකඩ) පැවතිය නොහැකියි. අප දැනටමත් එක බලයක්, එනම් ගුරුත්වය ගැන සඳහන් කර තිබෙනවා. තවත් එකක් නම් විද්‍යුත් චුම්බක බලයයි. එය සැලකිය යුතු තරමකට දුර්වල වූවා නම්, පරමාණුවක න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන රැඳෙන්නේ නැහැ. ‘ඒක බරපතළ දෙයක්ද?’ කියා ඇතැම් අය කල්පනා කළ හැකියි. ඔව්, බරපතළයි. මන්ද අණු සාදන්න පරමාණුවලට සංයෝජනය වන්න බැහැ. අනික් අතට, මෙම බලය වඩාත් ශක්තිමත් වූවා නම්, ඉලෙක්ට්‍රෝන පරමාණුවක න්‍යෂ්ටියටම හිර වී පවතීවි. පරමාණු අතර කිසිම රසායනික ප්‍රතික්‍රියාවක් සිදු විය නොහැකියි. ඉන් අදහස් කරන්නේ ජීවය නොතිබීමයි. මෙම දෘෂ්ටිකෝණයෙන් පමණක් බලන කල, අපේ පැවැත්ම සහ ජීවිතය රඳා පවතින්නේ විද්‍යුත් චුම්බක බලය තිතටම සකස් කිරීම මත බව පැහැදිලියි.

විශ්ව පරිමාණයත් සලකා බලන්න: විද්‍යුත් චුම්බක බලයේ මද වෙනසක් වුවත් සූර්යයාට බලපාන අතර, ප්‍රතිඵලයක් වශයෙන් පෘථිවියට ලැබෙන ආලෝකය වෙනස් වී, ශාක තුළ සිදු වන ප්‍රභාසංශ්ලේෂණය දුෂ්කර හෝ සිදු විය නොහැකි යමක් බවට පත් වේවි. ජීවිතයට අත්‍යවශ්‍ය ජලය සතු අද්විතීය ලක්ෂණද ඒ හේතුවෙන් අහිමි වී යාවි. එනිසා නැවතත්, විද්‍යුත් චුම්බක බලය නිශ්චිතව සකස් කිරීම අප ජීවත් වේද නොවේද යන්න තීරණය කරයි.

විද්‍යුත් චුම්බක බලයේ තීව්‍රතාව අනික් තුනට සාපේක්ෂව කොතරම් දුරට පවතීද යන්න ගත් කල, එය ඒ හා සමාන වැදගත්කමක් උසුලයි. නිදසුනක් ලෙස, මෙම බලය ගුරුත්වය මෙන් 10,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,000 (1040) ගුණයක් වැඩි බව ඇතැම් භෞතිකඥයන් ගණනය කරනවා. එක කුඩා බිංදුවක් එකතු කිරීම එම සංඛ්‍යාවට කුඩා වෙනසක් සිදු කරයි කියා පෙනී යා හැකියි (1041). එනමුත්, ඉන් අදහස් කරන්නේ ගුරුත්වය සාපේක්ෂ වශයෙන් වඩාත් දුර්වල වන බවයි. ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන තත්වය ගැන ආචාර්ය රයින්හාට් බ්‍රොය’ මෙසේ අදහස් දක්වයි: “අඩු ගුරුත්වයක් හේතුවෙන් තරු වඩාත් කුඩා වන අතර, න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සිදු කිරීමට තරම් ඉහළ උෂ්ණත්වයක් ජනිත කරවීමට, ඒවායේ අභ්‍යන්තර ගුරුත්ව පීඩනය මඟ පාදන්නේ නැහැ. ප්‍රතිඵලය: සූර්යයාට බැරි වෙනවා බැබළෙන්න.” එයින් අපට කුමක් අදහස් වේවිද කියා ඔබට සිතාගත හැකියි.

එම සංඛ්‍යාවට බිංදු 39ක් පමණක් තිබීමට (1039) සලස්වමින්, ගුරුත්වය සමානුපාතිකව වඩාත් ශක්තිමත් වූවොත්? බ්‍රොය’ තවදුරටත් අදහස් දක්වමින්: “මෙතරම් කුඩා සකස් වීමකින් පවා සූර්යයා වැනි තරුවක ආයු කාලය බෙහෙවින් අඩු වේවි.” තවද තිතටම කර තිබෙන මෙම සකස් වීම ඊටත් වඩා නිශ්චිතයයි වෙනත් විද්‍යාඥයන් සලකනවා.

ඇත්තෙන්ම, දිගුකාලීන කාර්යක්ෂමතාව සහ ස්ථායිතාව අපේ සූර්යයා සහ වෙනත් තරුවල කැපීපෙනෙන ගුණාංග දෙකක්. සරල නිදර්ශනයක් සලකා බලන්න. මෝටර් රථ එන්ජිමක් කාර්යක්ෂමව දුවන්න නම්, ඉන්ධන සහ වාතය අතර අවධි අනුපාතයක් අවශ්‍ය බව අප දන්නවා; ක්‍රියාකාරිත්වය උපරිම මට්ටමකට ගැනීම සඳහා ඉන්ජිනේරුවන් සංකීර්ණ කාර්මික සහ පරිගණක පද්ධතීන් නිර්මාණය කරනවා. නිකම්ම එන්ජිමක් සම්බන්ධයෙන් එය සැබෑවක් නම්, අපේ සූර්යයා වැනි කාර්යක්ෂමව “දහනය” වන තරු සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? අදාළ ප්‍රධාන බලයන් සියුම් ලෙස සකස් කර, ජීවිතය සඳහා හොඳ උපරිම මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. එම පූර්ණ නිරවද්‍යතාව නිකම්මද ඇති වුණේ? පුරාණයේ විසූ යෝබ් නමැති මනුෂ්‍යයාගෙන් මෙසේ විමසනු ලැබුවා: “අහස පාලනය කරන නීති ප්‍රකාශ කළේත්, පොළොව මත ස්වභාවධර්මයාගේ නියමයන් නිශ්චය කළෙත් ඔබද?” (යෝබ් 38:33, ද නියූ ඉංග්ලිෂ් බයිබල්) කිසිම මිනිසෙක් එසේ කළේ නැත්නම්, එම පූර්ණ නිරවද්‍යතාව පැමිණියේ කොහෙන්ද?

න්‍යෂ්ටික බලයන් දෙක

නිකම්ම ගුරුත්වය සහ විද්‍යුත් චුම්බක බලය තිතටම සකස් කිරීමට වඩා වැඩි යමක් විශ්වයේ ව්‍යූහයට සම්බන්ධයි. තවත් භෞතික බලයන් දෙකකුත් අපේ ජීවිතයට සම්බන්ධයි.

පරමාණුවක න්‍යෂ්ටියේ මෙම බලයන් දෙක ක්‍රියාත්මක වන අතර, යමෙකු දූරදර්ශීව කටයුතු කර ඇති බවට ඉන් ඕනෑ තරම් සාක්ෂි ලබා දෙයි. පරමාණුවක න්‍යෂ්ටියේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකට තබාගන්නා ප්‍රබල න්‍යෂ්ටික බලය සලකා බලන්න. මෙවන් බන්ධනයක් නිසා විවිධ මූලද්‍රව්‍යයන්වලට එනම්, (හීලියම් සහ ඔක්සිජන් වැනි) සැහැල්ලු මූලද්‍රව්‍යයන්වලට සහ (රන් සහ ඊයම් වැනි) බර මූලද්‍රව්‍යයන්වලට හැදෙන්න හැකියාවක් ලැබෙනවා. පෙනෙන ආකාරයට මෙම බන්ධන බලය සියයට 2කින් හෝ අඩු වූවා නම්, හයිඩ්‍රජන් පමණක් පවතීවි කියා කිව හැකියි. අනික් අතට, මෙම බලය සුළු වශයෙන් තවත් වැඩි වූවා නම්, බරින් වැඩි මූලද්‍රව්‍යයන් පමණයි දකින්න ලැබෙන්නේ. හයිඩ්‍රජන්වලට පවතින්න ක්‍රමයක් නොතිබේවි. අපේ ජීවිතවලට මෙය බලපාවිද? කල්පනා කර බලන්න: විශ්වයේ හයිඩ්‍රජන්වල ඌනතාවක් තිබුණොත්, ජීවනදායක ශක්තිය විහිදුවාලීමට අවශ්‍ය ඉන්ධන අපේ සූර්යයාට නොතිබේවි. එපමණක්ද නොව, අපට ජලයද ආහාරද අහිමි වේවි. මන්ද හයිඩ්‍රජන් ඒ දෙකටම අත්‍යවශ්‍ය වූ සංඝටකයක් නිසයි.

මෙම සාකච්ඡාවේ දුර්වල න්‍යෂ්ටික බලය යනුවෙන් හැඳින්වෙන සිව්වන බලය, විකිරණශීලී ක්ෂය වීම පාලනය කරයි. එය අපේ සූර්යයාගේ තාප න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලටත් බලපායි. ‘මෙම බලය තිතටම සකස් කර ඇද්දැයි’ ඔබ විමසිය හැකියි. ගණිතඥ සහ භෞතිකඥ ෆ්‍රීමන් ඩයිසන් මෙසේ පැහැදිලි කරයි: “දුර්වල [බලය], න්‍යෂ්ටික බලයට වඩා දශලක්ෂ ගුණයකින් දුර්වලයි. එය කොතරම් දුර්වලද කිවහොත් සූර්යයාගේ තිබෙන හයිඩ්‍රජන් මන්දගාමී මෙන්ම ස්ථාවර වේගයකින් දහනය වීමට ඉවහල් වෙනවා. දුර්වල [බලය] තවත් ශක්තිමත් හෝ දුර්වල වුණොත්, සූර්යයා වැනි තරු මත රඳා සිටින ඕනෑම ජීව ස්වරූපයක් අසීරුතාවලට නිතැතින්ම ලක් වේවි.” ඔව්, දහනය වන මෙම නිශ්චිත අනුපාතය, අපේ පෘථිවිය පෝරණුවක් මෙන් නොව නමුත් උණුසුම්ව තබාගනිමින්, අපවද ප්‍රාණවත්ව තබනවා.

එපමණක්ද නොව, දුර්වල බලය සුපර්නෝවා පිපිරීම්වලදී වැඩකොටසක් ඉටු කරන බව විද්‍යාඥයන් විශ්වාස කරන අතර, මූලද්‍රව්‍යවලින් වැඩිහරියක් නිපදවීමට හා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය උපක්‍රමය ලෙස එවන් පිපිරීම් ක්‍රියා කරන බව ඔවුන් කියා සිටියි. “එම න්‍යෂ්ටික බලයන් ඇත්තටම තිබෙන ආකාරයට වඩා ටිකක් හරි වෙනස්ව තිබුණා නම්, ඔබත් මමත් සෑදී තිබෙන මූලද්‍රව්‍යයන් තැනීමට තරුවලට හැකියාවක් තිබෙන්න යන්නේ නැහැ” යි කියා භෞතිකඥ ජොන් පෝල්කිංහෝන් පැහැදිලි කරයි.

තවත් දේවල් පැවසිය හැකි වුණත්, කාරණය ඔබට තේරෙනවා ඇති. මෙම මූලික බලයන් සතරේ පුදුම දනවන තිතටම කර ඇති සකස් වීමක් කර තිබෙනවා. “ස්වභාවධර්මයා තුළ සියල්ල අකුරටම සිදු වූ බවට සාක්ෂි අප වටා ඇති හැම දෙයකින්ම පැහැදිලි වන බව අපට පෙනෙනවා” යයි පෝල් ඩේවීස් ලිව්වා. ඔව්, අපේ සූර්යයා, ජීවනදායක ජලයෙන් සමන්විත අපේ ප්‍රියමනාප පෘථිවි ග්‍රහයා, ජීවය සඳහා එතරම් වැදගත් අපේ වායුගෝලය සහ පොළොව මත පවතින අනර්ඝ රසායනික මූලද්‍රව්‍ය සම්භාරයකගේ පැවැත්මට සහ ක්‍රියාකාරිත්වයට ඉවහල් වී තිබෙන්නේ මූලික බලයන් තිතටම සකස් කර තිබීම නිසයි. එනමුත් ඔබෙන්ම මෙසේ අසන්න, ‘තිතටම මෙතරම් සකස් වීමක් ඇයි? එමෙන්ම කොහෙන්ද?’

පෘථිවියේ ඉතා යෝග්‍ය ගතිලක්ෂණ

අපේ පැවැත්මට, වෙනත් කාරණා සම්බන්ධයෙනුත් පූර්ණ නිරවද්‍යතාවක් අවශ්‍යයි. පෘථිවියේ මිනුම්ද අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයට සාපේක්ෂව එහි පිහිටීමද සලකා බලන්න. “මා පොළොව පිහිටෙවු කල නුඹ කොතැන සිටියෙහිද? . . . ඒකේ මිමි නියමකළේ කවුද? නුඹ දන්නෙහිද?” යන නිහතමානී කරවන ප්‍රශ්න යෝබ් නමැති බයිබල් පොතෙහි අඩංගුයි. (යෝබ් 38:4, 5) වෙන කිසිදාකටත් වඩා එම ප්‍රශ්නවලට උත්තර දැඩි සේ අවශ්‍යයි. ඇයි? පෘථිවියේ ප්‍රමාණයත්, අපේ සූර්ය ග්‍රහ මණ්ඩලය තුළ එහි පිහිටීමත් ඇතුළුව පෘථිවිය ගැන සොයාගෙන තිබෙන පුදුම දනවන දේවල් හේතුවෙනුයි.

පෘථිවියට සමාන ග්‍රහයක් විශ්වයේ වෙනත් කිසිම තැනක සොයාගෙන නැහැ. ඇතැම් තරු වටා පොළොව මෙන් සිය ගුණයක් විශාල වස්තූන් භ්‍රමණය වන බවට ලැබී තිබෙන අනියම් සාක්ෂිවලට විද්‍යාඥයන් යොමු දක්වන බව ඇත්තයි. කෙසේවුවද, අපේ පැවැත්මට පෘථිවියේ ප්‍රමාණය හරියටම ගැළපේ. කුමන අර්ථයකින්ද? පෘථිවිය මදක් විශාලව තිබුණොත්, එහි ගුරුත්වය වඩාත් ප්‍රබල වන අතර, සැහැල්ලු වායුවක් වන හයිඩ්‍රජන්, පෘථිවියේ ගුරුත්වයෙන් ඉවත්ව යෑමට නොහැකිව එකතු වන්න පටන්ගනීවි. මෙලෙස, වායුගෝලය ජීවයට අහිතකර වෙනවා. අනික් අතට, පෘථිවිය ප්‍රමාණයෙන් මදක් කුඩාව තිබුණා නම්, ජීවනදායක ඔක්සිජන් වායුගෝලයෙන් බැහැර වී යන අතර, මතුපිට ජලය වාෂ්ප වී යාවි. ඒ දෙකින් කුමක් හෝ සිදු වුණොත්, අපට බැරි වෙනවා ජීවත් වන්න.

තවද පෘථිවිය පිහිටා තිබෙන්නේ සූර්යයාගේ සිට ඉතාම යෝග්‍ය දුරකිනුයි. මෙයද ජීවයේ සශ්‍රීක වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. තාරකා ශාස්ත්‍රඥ ජොන් බැරෝ සහ ගණිතඥ ෆ්‍රැන්ක් ටිප්ල’, “පෘථිවියේ අරයේ සහ සූර්යයාගේ සිට ඇති දුර ප්‍රමාණයේ අනුපාතය” අධ්‍යයනය කළා. “නිරීක්ෂණය කර තිබෙන පරිද්දෙන් මෙම අනුපාතය සුළු වශයෙන්වත් වෙනස්ව තිබුණොත්” මිනිස් ජීවිතයට පැවතිය නොහැකි බව ඔවුන් නිගමනය කළා. මහාචාර්ය ඩේවිඩ් එල්. බ්ලොක් මෙසේ අදහස් දක්වයි: “පෘථිවියේ සිට සූර්යයා අතර දුර ප්‍රමාණය සියයට 5ක් තරම් කුඩා ප්‍රමාණයකින් වඩාත් ළංව තිබුණා නම්, අවුරුදු 400 කෝටියකට පමණ පෙර පාලනයකින් තොර ගිම්හල් ඵලයක් [පොළොව අධික ලෙස උණු වී යෑමක්] සිදු වෙනවා. අනික් අතට, පෘථිවිය සහ සූර්යයා අතර දුර සියයට 1ක් තරම් කුඩා දුරකින් වැඩි වුණා නම්, අවුරුදු 200 කෝටියකට පමණ පෙර පාලනයකින් තොර [පෘථිවි ගෝලයෙන් වැඩි හරියක් දැවැන්ත අයිස් තට්ටුවලින් වැසී] ග්ලැසියර සාධනයක් සිදු වෙනවා.”—අපේ විශ්වය: අහඹු සිද්ධියක්ද? නිර්මාණයක්ද?, ඉංග්‍රීසියෙන්.

ඉහත සඳහන් පූර්ණ නිරවද්‍යතාවට පෘථිවිය තම කක්ෂය වටා දවසකට වතාවක් භ්‍රමණය වීමත් එකතු කළ හැකියි. එනම් මධ්‍යස්ථ උෂ්ණත්වයන් නිපදවීමට අවශ්‍ය නිවැරදිම වේගයෙනුයි එය සිදු වන්නේ. භ්‍රමණය වීමට සිකුරුට දවස් 243ක් ගත වේ. පෘථිවිය එතරම් කාලයක් ගත කළා නම් කුමක් සිදු වේදැයි සිතන්න. එතරම් දිගු දවස් සහ රාත්‍රීන් හේතුවෙන් ඇති වන අන්ත උෂ්ණත්වයන් දරාගැනීමට අපට බැරි වෙනවා.

සූර්යයා වටා අපේ පෘථිවියේ ගමන් මඟත් තවත් අතිවැදගත් තොරතුරක්. වල්ගා තරුවලට පළල් ඉලිප්සීය මාර්ගයක් තිබෙනවා. පෘථිවියට මෙවන් දෙයක් සිදු නොවීම ගැන ස්තුතිවන්ත විය යුතුයි. එහි කක්ෂය වටකුරු හැඩයට සමීප හැඩයක් ගනී. නැවතත්, මරණය ගෙන දෙන උෂ්ණත්ව අන්තයන් අද්දැකීමෙන් මෙය අපව ආරක්ෂා කරනවා.

අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ පිහිටීමත් නොසලකා නොහැරිය යුතුයි. එය ක්ෂීර පථ මන්දාකිණියේ මැදට තවත් ආසන්න වූවා නම්, අසල්වැසි තරුවල ගුරුත්වාකර්ෂණ බලපෑම පෘථිවියේ කක්ෂය විකෘති කරාවි. ඊට වෙනස්ව, එය අපේ මන්දාකිණියේ කෙළවරෙහිම පිහිටා තිබුණා නම්, රාත්‍රි අහස් ගැබේ තරු අපට දකින්න බැරි වෙනවා. තරුවල එළිය ජීවිතයට අවශ්‍ය නොවුවත්, අපේ රාත්‍රි අහස් කුසට ඉන් ඉමහත් අලංකාරයක් එකතු කරනවා නොවේද? එමෙන්ම විශ්වය පිළිබඳව වර්තමාන සංකල්ප පදනම් කරගෙන, ක්ෂීර පථයේ කෙළවරවල්වල අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයට සමාන එකක් බිහි කරන්න අවශ්‍ය රසායනික මූලද්‍රව්‍යයන් ප්‍රමාණවත්ව නොතිබෙන බව විද්‍යාඥයන් ගණනය කර තිබෙනවා.d

නියමයන් සහ පිළිවෙළ

හැම දෙයක්ම අක්‍රමවත්ව පැවතීමට නැඹුරුවාවක් දක්වන බව පෞද්ගලික අද්දැකීමෙන් ඔබ දන්නවා ඇති. ඕනෑම නිවාස හිමියෙක් නිරීක්ෂණය කර ඇති පරිදි, යමක් පාවිච්චි නොකර පැත්තක තැබුවොත්, එය ක්‍රියා විරහිත වීමට හෝ කැඩීයෑමට බලන බව පෙනෙනවා. “තාපගති විද්‍යාවේ දෙවන නියමය” වශයෙන් විද්‍යාඥයන් මෙම ප්‍රවණතාවට යොමු දක්වනවා. මෙම නියමය දිනපතා ක්‍රියාත්මක වන ආකාරය අපට දැකිය හැකියි. අලුත් වාහනයක් හෝ බයිසිකලයක් පාවිච්චි නොකර පැත්තකට දමා තිබුණොත්, එය දිරාපත් වී අබලං වෙනවා. ගොඩනැඟිල්ලක් අත්හැර දැමුවොත්, එය ගරා වැටෙයි. විශ්වය ගැන කුමක් කිව හැකිද? එම නියමය ඊටත් අදාළ වෙයි. එමනිසා විශ්වය පුරා පවතින පිළිවෙළ, පූර්ණ අක්‍රමවත්බවක් දක්වා පිරිහෙයි කියා සිතන්න ඔබ පෙලඹිය හැකියි.

කෙසේවෙතත්, ගණිතය පිළිබඳ මහාචාර්ය රොජ’ පෙන්රෝස්, නිරීක්ෂණය කළ හැකි විශ්වයේ අක්‍රමවත්බව (නැතහොත්, එන්ට්‍රෝපිය) අධ්‍යයනය කළ විට සොයාගත් දේ අනුව, විශ්වයට මෙවන් දෙයක් සිදු වන බව පෙනෙන්නේ නැහැ. මෙවන් සොයාගැනීම්වල අර්ථය පැහැදිලි කිරීමට, විශ්වය ක්‍රමවත් ලෙස ආරම්භ වූ බවත් තවමත් ඉතා ක්‍රමවත්ව පවතින බවත් නිගමනය කිරීම තර්කානුකූල ක්‍රමයක් වෙනවා. “විශ්වය මෙතරම් ඉහළ මට්ටමකින් ක්‍රමවත්ව මවනු ලැබුවා යන්න” විද්‍යාඥයන්ට “අභිරහසක් සේ දිස්වන” බව තාරකා භෞතිකඥ ඇලන් ලයිට්මන් සඳහන් කළා. “විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සාර්ථක මතයක්, එන්ට්‍රෝපිය සම්බන්ධ ප්‍රශ්නය අන්තිමේදී පැහැදිලි කළ යුතු බව” ඔහු තවදුරටත් පැවසුවා. එනම් විශ්වය ව්‍යාකූල වී නැත්තේ ඇයි යන්නයි.

ඇත්තෙන්ම, අපේ පැවැත්ම මෙම පිළිගත් නියමයට පටහැනියි. එමනිසා මිහිපිට අප ජීවමානව සිටින්නේ ඇයි යන්න ප්‍රශ්නයක්. කලින් සඳහන් කළ පරිදි, එය අප උත්තර ලැබිය යුතු මූලික ප්‍රශ්නයක් වෙනවා.

[පාදසටහන්වල]

a ක්ෂීර පථ මන්දාකිණියේ විෂ්කම්භය, කිලෝමීටර් දසකෝටි ප්‍රකෝටියක් පමණ වෙයි. ඔව්, කිලෝමීටර් 10,00,00,00,00,00,00,00,000ක්! එය හරහා ගමන් කරන්න ආලෝකයට වර්ෂ 1,00,000ක් ගත වන අතර, මෙම තනි මන්දාකිණියට තරු සිය ප්‍රකෝටියක් තිබෙනවා!

b වර්ෂ 1995දී, මෙතෙක් නිරීක්ෂණය කර ඇති දුරින්ම පිහිටි තරුව (SN 1995K), එහි මන්දාකිණිය තුළ පිපිරූ විට දකින්න ලැබූ පුදුමාකාර විපර්යාසය විද්‍යාඥයන්ගේ සැලකිල්ලට යොමු වුණා. ආසන්නව පිහිටි මන්දාකිණිවල සුපර්නෝවාවලට සමානව, මෙම තරුව අතිශයින් දීප්තිමත් වී, සෙමෙන් සෙමෙන් නොපෙනී ගියා. එනමුත් එසේ සිදු වූයේ කලින් දුටුවාටත් වඩා දිගු කාලපරිච්ඡේදයක් පුරායි. නියූ සයන්ටිස්ට් සඟරාව මෙය ප්‍රස්තාරයක දක්වා මෙලෙස පැහැදිලි කළා: “ආලෝක වක්‍රයේ හැඩය . . . ගෙවී ඇති කාලයට අනුව ඇදී ඇත. එනම් එම මන්දාකිණිය ආලෝකයේ වේගයෙන් අඩකට වඩා අඩු වේගයකින් අප කෙරෙන් ඈත් වෙමින් පවතින විට, නිශ්චිතවම අපේක්ෂා කළ හැකි මට්ටමට අනුව එය ඇදී ඇත.” නිගමනය? මෙය තමයි “විශ්වය ඇත්තටම ප්‍රසාරණය වෙමින් පවතින බවට දැනට ලැබී ඇති හොඳම සාක්ෂිය.”

c විශ්වයේ ආරම්භයෙන් මොහොතකට පසු සිදු වූ දෙය, ප්‍රසාරණ වාදය තුළින් අනුමාන කෙරෙනවා. ප්‍රසාරණ වාදයට අනුබල දෙන්නන් තරයේ කියා සිටින්නේ මුලින්ම අවඅණ්වීක්ෂීය තත්වයක පැවති විශ්වය, ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් ප්‍රසාරණය වූ බවයි. එම ප්‍රකාශය විද්‍යාගාරයකදී පරීක්ෂණය කළ නොහැකියි. ප්‍රසාරණය තවමත් මතභේදයට ලක් වූ වාදයක්ව පවතී.

d මූලද්‍රව්‍යයන් පුදුම දනවන පිළිවෙළක් සහ අනුකූලබවක් හෙළි කරන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. සිත්ගන්නා සාක්ෂි 26වන පිටුවේ, “විශ්වයේ වාස්තු විද්‍යාත්මක ඒකක” යන උපග්‍රන්ථයෙහි ඉදිරිපත් කර තිබෙනවා.

[15වන පිටුවේ කොටුව]

තරු ගණන් කිරීමට තැත් කිරීම

ක්ෂීර පථ මන්දාකිණියට තරු 1,00,00,00,00,000කට (දසදහස් කෝටියකට) වැඩිය ඇති බව තක්සේරු කර තිබෙනවා. මේ එක් එක් තරුව සඳහා එක පිටුවක් වෙන් කරන විශ්වකෝෂයක් සිතින් මවාගන්න. අපේ සූර්යයා සහ අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ ඉතිරි කොටස එක පිටුවකට සීමා වේවි. ක්ෂීර පථයේ තරුවල තොරතුරු ඇතුල් කිරීමට විශ්වකෝෂ කට්ටලයට වෙළුම් කීයක් අවශ්‍ය වේවිද?

සාධාරණ ඝනකමින් යුත් වෙළුම් යොදාගත්තොත්, නියූ යෝක් මහජන පුස්තකාලයේ රාක්ක ගත් කල, කිලෝමීටර් 412ක තරම් මුළු ඉඩ ප්‍රමාණයේ එම විශ්වකෝෂය ඇතුළත් කරන්න බැරි වන බවට කියා තිබෙනවා!

එම පිටු පරීක්ෂා කර බැලීමට ඔබට කොතරම් කලක් ගත වේවිද? “තත්පරයට පිටුවක් බැලුවොත්, සම්පූර්ණ කරන්න අවුරුදු දසදහසක් අවශ්‍ය වේවි” යයි කමිං ඔෆ් ඒජ් ඉන් ද මිල්කි වේ පැහැදිලි කරයි. එනමුත් අපේ මන්දාකිණියට අයත් තරු, විශ්වයේ මන්දාකිණි 50,00,00,00,000න් (සියකෝටි 50න්) කුඩා කොටසක් පමණයි. මේ සෑම තරුවක් සඳහාම විශ්වකෝෂයේ පිටුවක් වෙන් කළා නම්, පෘථිවියේ ඇති සියලුම පුස්තකාල රාක්කවලට බැරි වෙයි ඒවා දරාගන්න. එම පොත මෙසේ සඳහන් කරයි: “විශ්වය ගැන වැඩි වැඩියෙන් අවබෝධ කරගන්නා තරමට, අප දන්නේ කොතරම් අල්පයක්ද කියා අපට වැඩි වැඩියෙන් පෙනී යනවා.”

[16වන පිටුවේ කොටුව]

ජැස්ට්‍රෝ—ආරම්භය ගැන අදහස්

කොලොම්බියා සරසවියේ තාරකා ශාස්ත්‍රය සහ භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් ජැස්ට්‍රෝ මෙසේ ලිව්වා: “විශ්වයේ හදිසි බිහිවීම යන සිදුවීම ඔප්පු කරන ලද විද්‍යාත්මක සත්‍යයක් වන බවට අපේක්ෂා කළ හැකි වූයේ විද්‍යාඥයන් අතළොස්සකට පමණයි. එනමුත් දූරේක්ෂ ඇසුරෙන් අහස නිරීක්ෂණය කිරීම හේතුවෙන් එම නිගමනයට එළඹෙන්න ඔවුන්ට සිදු වී තිබෙනවා.”

ඊළඟට ඉන් ඇඟවෙන දේ ගැන ඔහු අදහස් දැක්වූවා: “සෑම ඵලයකටම ස්වාභාවික හේතුවක් තිබෙන බව විද්‍යාඥයන් විශ්වාස කරන නිසා, පටන්ගැන්මක් තිබෙන බවට තාරකා ශාස්ත්‍රයෙන් ලැබී ඇති සාක්ෂි හේතුවෙන් ඔවුන් සිටින්නේ අසීරු තත්වයකයි. . . . බ්‍රිතාන්‍ය තාරකා ශාස්ත්‍රඥ ඊ. ඒ. මිල්න් මෙසේ ලිව්වා: ‘[පටන්ගැනීමේදී] තිබූ තත්වය ගැන අපට කිසිම මතයක් ඉදිරිපත් කළ නොහැකියි; මැවීම යන දිව්‍යමය ක්‍රියාවේදී, දෙවිව නිරීක්ෂණය කිරීමටවත්, කරන දේ සියැසින් දැකීමටවත් බැහැ.’ ”—දි එන්චාන්ටඩ් ලූම්—මයින්ඩ් ඉන් ද යූනිව’ස්.

[17වන පිටුවේ කොටුව]

මූලික භෞතික බලයන් සතරක්

1. ගුරුත්වය—පරමාණුවලට සම්බන්ධ ඉතා දුර්වල බලයක්. ග්‍රහයන්, තරු, මන්දාකිණි වැනි විශාල වස්තූන් එහි බලපෑමට හසු වෙයි.

2. විද්‍යුත් චුම්බකත්වය—ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන අතර ආකර්ෂණයට මුල් වන බලය. ඒ හේතුවෙන් අණු සෑදේ. එහි බලයට එක සාක්ෂියක් වන්නේ අකුණු ගැසීමයි.

3. ප්‍රබල න්‍යෂ්ටික බලය—පරමාණුවක න්‍යෂ්ටියේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකට බැඳ තබන බලය.

4. දුර්වල න්‍යෂ්ටික බලය—විකිරණශීලී මූලද්‍රව්‍යවල ක්ෂය වීම සහ සූර්යයාගේ කාර්යක්ෂම තාප න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පාලනය කරන බලය.

[20වන පිටුවේ කොටුව]

‘අනපේක්ෂිත හදිසි සිදුවීම් එකට සිදුවීම’

“දුර්වල බලය මදක් ප්‍රබල කළොත්, හීලියම් කිසිසේත් නිපදවෙන්නේ නැහැ; එය මදක් දුබල කළොත්, හයිඩ්‍රජන් සම්පූර්ණයෙන්ම පාහේ හීලියම් දක්වා මාරු වේවි.”

“හීලියම් යම් ප්‍රමාණයක් මෙන්ම පිපිරෙන සුපර්නෝවාවන් ඇති විශ්වයක් බිහිවීම සඳහා හිතකර වාතාවරණයක් පැවතීමට තිබෙන ඉඩ ප්‍රස්තාව ඉතා අල්පයි. අනපේක්ෂිත හදිසි සිදුවීම් මෙලෙස එකට සිදුවීම මතත්, [තාරකා ශාස්ත්‍රඥ ෆ්‍රෙඩ්] හොයිල් කල්තියාම දැක්වූ ඊටත් වඩා විස්මයජනක එකවිට සිදුවීම වන න්‍යෂ්ටික ශක්ති මට්ටම් මතත් අපේ ජීවිතය රඳා පවතී. කලින් සිටි කිසිම පරම්පරාවක් මෙන් නොව, අප මෙහි පැමිණියේ කෙසේද යන්න අප දන්නවා. එනමුත් කලින් සිටි සියලුම පරම්පරාවන් මෙන්, ඒ ඇයි කියා අප දන්නේ නැහැ.”—නියූ සයන්ටිස්ට්.

[22වන පිටුවේ කොටුව]

“පෘථිවිය මතුපිට ජලය එකතු වුණේ, පෘථිවියේ කදිමට ගැළපෙන ප්‍රමාණය, මූලද්‍රව්‍යවල සංයුතිය සහ අංග සම්පූර්ණ දුරක පිහිටා ඇති සූර්යයා නමැති බොහෝ කලක් පවතින තරුවේ දළ වශයෙන් වක්‍රාකාර වූ කක්ෂය නිසයි.” (සත්ව විද්‍යාවේ අනුකලන මූලධර්ම [ඉංග්‍රීසියෙන්], 7වන කාණ්ඩය) ජලය නොමැතිව මිහිපිට ජීවයක් ඇති විය නොහැකියි.

[24වන පිටුවේ කොටුව]

දකින දේ පමණද විශ්වාස කරන්නේ?

බුද්ධිමත් පුද්ගලයන් බොහෝදෙනෙක් නොදකින දේවල පැවැත්ම පිළිගන්නවා. දුරින් පිහිටි තරු වටා ග්‍රහයන් දුසිමක් පමණ භ්‍රමණය වන බවට අඟවන යමක් තාරකා විද්‍යාඥයන් සොයාගත් බව 1997 ජනවාරි මාසයේ ඩිස්කව’ සඟරාව වාර්තා කළා.

“දැනට එම අලුත් ග්‍රහයන් පවතින බවට අප දන්නේ ඒවායේ ගුරුත්වය මව්පිය තරුවල චලනයට බලපාන ආකාරය මගින් පමණයි.” ඔව්, නොදකින ආකාශ වස්තුවල පැවැත්ම විශ්වාස කිරීමට ගුරුත්වයේ දෘශ්‍යමාන බලපෑම් තාරකා ශාස්ත්‍රඥයන් සඳහා පදනමක් සැපයුවා.

කෙළින්ම නිරීක්ෂණය කිරීමෙන් නොව, නමුත් අදාළව පවතින සාක්ෂි එවකට පැවති අදෘශ්‍යමාන වූ යමක් පිළිගැනීමට විද්‍යාඥයන් සඳහා ප්‍රමාණවත් පදනමක් සැපයුවා. මැවුම්කරුවෙකු විශ්වාස කරන බොහෝදෙනෙකු නිගමනය කරන්නේ, තමුන් නොදකින දේ පිළිගැනීමට ඒ හා සමාන පදනමක් තිබෙන බවයි.

[25වන පිටුවේ කොටුව]

ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් විශ්වයේ ස්වභාවය (ඉංග්‍රීසියෙන්) යන්නෙහි මෙසේ පැහැදිලි කරයි: “මැවීම පිළිබඳ වාද විෂය මඟහැරීමට නම්, විශ්වයේ සියලුම ද්‍රව්‍යයන් අනන්ත ප්‍රමාණයකින් පැරණි විය යුතුයි; මෙය සිදු විය නොහැක්කක්. . . . හයිඩ්‍රජන් ක්‍රමානුකූලව, හීලියම් සහ වෙනත් මූලද්‍රව්‍යයන්වලට දැන් වුණත් පරිවර්තනය වෙනවා. . . . එසේ නම්, විශ්වය සම්පූර්ණයෙන්ම පාහේ හයිඩ්‍රජන්වලින් සමන්විත වන්නේ කෙසේද? පදාර්ථ අනන්ත වශයෙන් පැරණි වී නම්, මෙය සහමුලින්ම සිදු විය නොහැක්කක්. එමනිසා විශ්වය ඇති සැටියෙන් ගත් කල, මැවීම පිළිබඳ වාද විෂය මඟහැරිය නොහැක්කක් බව අපට පෙනී යනවා.”

[12, 13වන පිටුවේ පින්තූරය]

සර්පිලාකාර NGC 5236 මන්දාකිණිය හා සසඳද්දී අපේ සූර්යයා (කොටුවේ) ක්ෂීර පථ මන්දාකිණියේ ඉතා කුඩායි

ක්ෂීර පථයේ ඇති තරු සියකෝටි 100කට වඩා වැඩියි; දන්නා විශ්වයේ තිබෙන මන්දාකිණි සියකෝටි 50කටත් වඩා වැඩි සංඛ්‍යාවෙන් එය එකක් පමණයි

[14වන පිටුවේ පින්තූර]

දුරින් පිහිටි මන්දාකිණිවලින් නික්මෙන ආලෝකය පරීක්ෂා කර බලද්දී, ආලෝක වර්ණාවලියේ රතු පැත්තට නැඹුරු වීමක් (රක්ත විස්ථාපනයක්) නිරීක්ෂණය කිරීමෙන් අපේ විශ්වය ප්‍රසාරණය වන බවත්, ඒ අනුව එයට ආරම්භයක් තිබුණු බවත් තාරකා ශාස්ත්‍රඥ එඩ්වින් හබල්ට (1889-1953) තේරුණා

[19වන පිටුවේ පින්තූර]

අපේ සූර්යයා පාලනය කරන බලයන් තිතටම සකස් වී තිබීම හේතුවෙන්, අපේ ජීවිතය සඳහා කදිමට ගැළපෙන තත්වයන් පෘථිවියෙහි පවතී

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න