“ඇපල් ගෙඩියක් දිනකට දමයි වෛද්‍යවරයා පසෙකට”
ඒ ලස්සන රතු ඇපල් දෙස බලන්න. ඒවා කන්ට ආශාවක් ඇති වන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම ඇති වේ, තවද හොඳ හේතු ඇතුව බවට කිසිදු සැකයක් නැත. ඇපල් නිර්මාණය කරනු ලැබුවේ, ශරීර සනීපය සහ හොඳ සෞඛ්‍යයට දායක වීමටය. ආහාර සඳහා ප්‍රයෝජනවත් විය හැකි බොහෝ පලතුරු වර්ග අතර, ප්‍රධානතම ඒවාවලින් එකකි, ඇපල්. මෙසේ, ඒවා අනුභව කිරීමෙන් ප්‍රයෝජන ලැබීම සඳහා ඒවා ඔබේ ආශාව පුබුදුවයි.
පෙයාර්ස්, ක්වින්ස්, වයිට්තෝර්න් සහ සර්විස් ආදී ගස් මෙන් ඇපල් ගසද රෝස (රෝසේසි) කුලයට අයත් වේ. මේ ගස් සියල්ලේම යුෂ සීනිවලින් බහුලය. ඒවායේ ඉතා සුවඳැති ඵල කොල, කහ සහ රතු ආදී වර්ණයන්ගේ විවිධ මට්ටම්වලින් යුක්ත වන අතර, රසයෙන් ඇඹුල් රස සිට පැණි රස දක්වා විහිදී යයි.
සෑම වසරකම ලෝක ව්‍යාප්තව ඇපල් බුසල් බිලියන දෙකක් පමණ නිෂ්පාදනය කෙරේ—එනම් ටොන් මිලියන 17ත් 18ත් අතර ප්රමාණයකි. එක්සත් ජනපදයේ අඩක් පමණ, අලුත් පලතුරු ලෙස තිබියදීම අනුභව කෙරේ. ඉතිරිය ඇපල් බටර්, ඇපල් යුෂ, ඇපල් සාස්, ඇපල් ජෙලි, ඇපල් බ්‍රැන්ඩි, ඇපල් සයිඩර්, ඇපල් පයි හෝ වෙනත් පේස්ට්‍රී වර්ග, ඇපල් විනාකිරි සහ ඇපල් වයින් ආදි දෑ සෑදීම සඳහා උපයෝගි කරගැනේ. යුරෝපයේ ඵලදාවෙන් විශාල කොටසක් සයිඩර්, වයින් සහ බ්‍රැන්ඩි ආදිය සෑදීමට යොදාගනු ලැබේ. ලෝකයේ මුළු නිෂ්පාදනයෙන් හතරෙන් එකක් පමණ සයිඩර් සඳහා යොදාගනු ලැබේ.
එහෙත් එම පලතුර ආහාරයට ගැනීමට හැකිවීමට බොහෝ කලකට පෙර, ඇපල් ගස මල්වලින් බර වී ඇති විට, එය අපගේ දෙනෙතට ප්‍රසන්න දසුනකි. රෝස පාට දාරයකින් නිම වූ සුදු මලින් එය කෙතරම් පිරී තිබෙනවාද කිවහොත්, ඒ මල් සියල්ලම ඇපල් බවට පත් වූයේ නම්, ගසට එම බර දරාගැනීමට නොහැකි වනු ඇත. සාමාන්‍යයෙන් ගිම්හානයේ මුල් කාලයේදී ඇති වන සැඩ සුළඟකින් ගසේ සමහරක් මල් විසුරුවා හරියි.
ඇපල් වගාව
ඇපල් ගස ඉතා හොඳින් වැඩෙන්නේ සෞම්‍ය කලාපයේය. ඇපල්, අනාදිමත් කාලයක පටන් වවනු ලබන්නකි. ඇපල් ගස් සහ ඇපල් ගෙඩි පිළිබඳව බයිබලයේ හය වතාවක් සඳහන් කර තිබේ.a රෝමවරු ඒවා භුක්තිවින්දෝය, තවද අසංඛ්‍යාත විජයග්රහණවලදී ඔවුහු එංගලන්තය සහ යුරෝපයේ අනිකුත් ප්‍රදේශවලට විවිධ වර්ගයේ ඇපල් හඳුන්වා දුන්නේය. මුල් අමෙරිකානු ජනාවාසීහු එංගලන්තයේ සිට ඇපල් බීජ සහ ඇපල් ගස් රැගෙන ආහ.
වැවිලිකරුවෝ පරම්පරාවෙන් පරම්පරාවට බොහෝ අත්හදා බැලීම්වලදී, අභිජනනය මගින් ඇපල්වල ගුණය වැඩිදියුණු කර තිබේ. කෙසේවෙතත්, මෙය ශීඝ්‍ර ක්‍රියා පිළිවෙළක් නොවේ. වෙළඳපොළට ඉදිරිපත් කළ හැකි ආකාරයේ අලුත් ඇපල් වර්ගයක් නිපදවීමට වසර 20ක තරම් දිගු කාලයක් ගත විය හැක. එහෙත්, වැවිලිකරුවන්ගේ අඛණ්ඩ උත්සාහයට ස්තුති වන්න, අදදින අපට තෝරාගැනීමට විවිධ වර්ගයේ රසවත් සහ වර්ණවත් ඇපල් විශාල ප්‍රමාණයක් තිබේ.
අස්වැන්න නෙළීම
උත්තරාර්ධගෝලයේ ඇපල් වාරය ජූලි හෝ අගෝස්තු මාසවල ආරම්භ වේ. එහෙත් පළමුව ඉදෙන වර්ගයේ ඒවා එනම්, ජේම්ස් ග්රිව් හෝ ට්‍රාන්ස්පේරන්ට් වැනි වර්ග දිගු කලක් ගබඩා කර තැබිය නොහැක. ඒවා අමුවෙන් හෝ සීනි සමඟ තම්බා ඉක්මනින් අනුභව කළ යුතුය. කෙසේවෙතත්, ඉන්පසුව පැමිණෙන්ට තිබෙන දහස් ගණන් වර්ගවලින් කිහිපයක් සඳහන් කරනවා නම්—සම්මර්ඩ්, ග්රේවන්ස්ටීන්, කොක්ස් ඔරේන්ජ්, ජොනතන්, බොස්කොප්, රේඩ් ඩිලීෂස්, ගෝල්ඩන් ඩිලීෂස්, මැකෙන්ටොෂ් සහ ග්‍රැනි ස්මිත් ආදී වර්ග අපගේ රුචිය වැඩි කරයි.
වියළි කාලගුණයක් තිබියදී ඇපල්වල අස්වැන්න නෙළිය යුතු වේ. අලුත් අංකුරවලට සහ කොළවලට හානි නොවන පරිදි ඒවා පරෙස්සමින් කඩාගත යුතුය. ඇපල් හොඳින් ඉදී තිබෙන විට, මදක් කරකැවීමෙන් එය පහසුවෙන් අත්තෙන් කඩාගත හැකිය. ගෙඩියෙන් නටුව නොකැඩීමට වගබලා ගැනීම වැදගත් වේ, මන්දයත් මෙය ගෙඩිය තුවාල වීමට සලස්වා කල්පවතින කාලය අඩු කරන හෙයිනි.
ඉදීමට කල්ගත වන වර්ගයේ ඒවා හැකි පමණ කාලයක් ගසේම තිබෙන්ට හැරිය යුතුය. නිසි කලට පෙර හිම පතනය වීම නිසා, ඇපල්, ගස් මත තිබියදීම මිදුණොත්, හිම දිය වන තෙක් කැඩීම කල්දැමිය යුතුය. ඒවා ඉදී තිබෙන මට්ටම සහ ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය අනුව, ඇපල්වලට මිදෙන අවස්ථාවට වඩා අංශක කිහිපයක පහළ උෂ්ණත්වයන්ට ඔරොත්තු දිය හැකි වුවත්, මිදී හිම දිය වූ පසු ඒවා ගබඩා කර තැබිය නොහැක. යුෂ, සීනි යොදා තැම්බූ පළතුරු හෝ විනාකිරි ලෙස ඒවා ඉක්මනින් පිළියෙළ කරගත යුතුය; මේවා වේලා ගත නොහැක.
ගබඩා කිරීම
ඇපල්වලට ආශ්වාස කිරීමට ඇති හැකියාව සිත්ගන්නා කරුණකි. ඒවා වාතයෙන් ඔක්සිජන් උරාගෙන කාබන්ඩයොක්සයිඩ් හා ජලය පිට කරයි. එබැවින්, පරිසරය වඩා උණුසුම් වන තරමටම ඒවා ඉක්මනින්ම විජලනය වී හැකිළී යයි. තවද ආශ්වාස කිරීම තුළින් ඒවා පරිසරයෙන් ගන්ධයන් උරාගනී. එබැවින්, ෆැරන්හයිට් අංශක 40ක පමණ උෂ්ණත්වයක ඇපල් පමණක් ගබඩා කර තැබීම උචිතය.
බිම් ගබඩාවක, අල සමඟ එකට ගබඩා කර තැබීම, ඒවායේ නැවුම් රසයෙන් ස්වල්පයක් අහිමි වීමට හේතු වේ. එපමණක්ද නොව, විවිධ වර්ගයේ ඒවා වෙන් වෙන්ව ගබඩා කළ යුතුය. ඇපල් තනි තනිව කඩදාසිවල ඔතා තැබුවේ නම්, එය වඩාත් යහපති. මෙය විජලනය අඩු කරන අතර, අසල තිබෙන නරක් වූ ගෙඩිවලින් හොඳ ගෙඩි නරක්වීමේ උවදුරද අඩු කරයි.
පෝෂණ ගුණය
“ඇපල් ගෙඩියක් දිනකට දමයි වෛද්‍යවරයා පසෙකට,” යනුවෙන් පවසා තිබේ. මෙය සෑමවිටම එසේ නොවුවත්, ඇපල්වලට මෙම සතුටුදායක කීර්තිය තිබේ. මන්ද? යමෙකුගේ සෞඛ්‍යය කෙරෙහි හිතකර අන්දමින් බලපෑ හැකි දේවල් එහි අඩංගු බැවිනි.
සෑම ඇපල් ගෙඩියක්ම වැදගත් පෝෂ්‍ය පදාර්ථවල කුඩා ගබඩාවකි. ඉදුණු විට, එහි විටමින් B1, B2, B6, C සහ E අඩංගු වේ. තවද එය ඩෙක්ස්ට්‍රෝස්, ප්රුක්ටෝස් සහ සුක්රෝස් වැනි විවිධ වර්ගයේ සීනිද ලබා දේ. එහි රසයට හේතු වන්නේ අම්ලවල සංයෝගයයි. මීට අමතරව, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් සහ පෙක්ටින්, කෙඳි හා අනිකුත් ඛනිජ පදාර්ථ සැලකිය යුතු ප්‍රමාණයක් එහි අඩංගු වේ. ඇපල් ගෙඩියේ සියයට 85ක්ම ජලය වේ.
ඇපල්වල තිබෙන තවත් පදාර්ථයක් නම් එතිලීන්ය, මෙය විශේෂයෙන්ම ගෙඩිය ඉදීමට අනුබල දෙන ස්වභාවික වර්ධක පාලක උපක්‍රමය ලෙස ක්‍රියා කරයි. ඔබට අමු තක්කාලි හෝ අලිගැටපේර ඇත්නම් මෙම වායුමය පදාර්ථයෙන් හොඳ ප්‍රයෝජනය ලබාගත හැක. ඒවා ඉදුණු ඇපල් කිහිපයක් සමඟ කඩදාසි උරයක දමන්න, එවිට ඒවා ඉතා ඉක්මනින් ඉදෙනු ඇත.
ඇපල්වල පෝෂණ ගුණය තිබෙන බැවින්, ඒවා අනුභව කළ යුත්තේ කොයි වෙලාවේද සහ කෙසේද කියා දැන සිටීම වැදගත් වේ. පළමුවෙන්ම, ඒවා ඉදී තිබිය යුතුයි. ශීත ඇපල් අනුභව නොකිරීම වඩාත් හොඳය; ටික වේලාවකට කාමර උෂ්ණත්වයේ තිබීමට ඉඩහරින්න. ඒවා හොඳින් හපා අනුභව කිරීමද වැදගත් වේ.
ජීරණ පද්ධතිය පිරිසිදු කිරීමට ප්‍රයෝජනවත් වන ගුණයන් ඇපල්වල තිබීම උනන්දුව දනවන කරුණකි. මෙම ගුණයන්ම මල බද්ධය සහ පාචනය යන දෙකම සුව කිරීමට උපකාරි වේ.
අනතුරු අඟවන වදනක්
අනිකුත් පළතුරු මෙන්ම ඇපල්ද පහසුවෙන් දිලීරවලට ගොදුරු විය හැක. මෙනිසා, තරමක් දුරට පරෙස්සම් වීම සුදුසුය. එහි ප්‍රතිඵලයක් ලෙස විෂ ද්‍රව්‍ය මගින් අපහසුතාවය සහ ඔක්කාරය ඇති කළ හැක. එමනිසා, දිලීර සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න, විෂ ද්‍රව්‍ය පැතිර යෑමට නැඹුරුවාවක් තිබෙන බැවින්, දිලීර තිබෙන කොටස පමණක් නොව, නරක් වූ ප්‍රදේශය අවට ඇති කොටසද කපා ඉවත් කරන්න.
කෙසේවෙතත්, ඇපල් ඔබගේ යහපත් සෞඛ්‍යයට දායක වේ. එබැවින්, ඔබට “වෛද්‍යවරයා පසෙකට” දැමීමට අවශ්‍ය නම්, සෑම දිනකම ඇපල් ගෙඩියක් අනුභව කිරීමට උත්සාහ කරන්න!
[පාදසටහන]
a ඇපල් ගස: සාලමොන්ගේ ගීතිකාව 2:3; 8:5; යෝවෙල් 1:12. ඇපල්: හිතෝපදේශ 25:11; සාලමොන්ගේ ගීතිකාව 2:5; 7:8. (ඉංග්‍රීසි බයිබලයේ ජම්බු වෙනුවට ඇපල් යොදා තිබේ)
[24වන පිටුවේ පින්තූර]
මලින් බර ඇපල් ගස දෙනෙතට ප්‍රසන්නය