ඇදහිලිවන්තයන් කොතැනද?
ස්පාඤ්ඤයේ පිබිදෙව්!වාර්තාකරුවිසිනි
“උදාසීනභාවය තරම් ආගමට බෙහෙවින් මාරාන්තික වන වෙන කිසිවක් නොමැත.”
දහඅටවන ශතවර්ෂයේ දේශපාලනඥ එඩ්මන්ඩ් බර්ක්.
ස්පාඤ්ඤයේ උතුරු ප්‍රදේශයෙහි සුළං රැළි තදින් හමන තැන්නක, කාලර්වෙගා නම් කුඩා නගරය පිහිටා තිබේ. මධ්‍යතන යුගයට අයත් මෙම නගරයෙහි කැපීපෙනෙන දෙය වන්නේ සිත්ගන්නා රෝම ශෛලීය කන්‍යාරාමයකි. මෙහි උපත ලැබූ, ඩොමිනිකන් නිකායෙහි ප්‍රාරම්භක ඩෝමින්ගෝ ඩෙ ගූස්මාන්ට උපහාරයක් වශයෙන් එය වසර 700කට පෙර ඉදි කරනු ලැබීය. ශතවර්ෂ හතක් පුරා, නිසංසල මෙන්ම හුදකලා ජීවිතයක් තෝරාගන්නාවූ කන්‍යා සොහොයුරියන් සඳහා, මෙම කන්‍යාරාමය නවාතැන වී තිබේ.
කන්‍යාරාමයේ වහල සිදුරු වී, ඉපැරණි තාප්ප ගරාවැටීමට පටන්ගෙන තිබේ. එහෙත් ප්‍රධාන මව්තුමිය, සැලකිලිමත් වන්නේ, වැඩි වැඩියෙන් පැතිරෙන පිරිහීමක්—එනම් ආගමේම ගරාවැටීම ගැනය. “අවුරුදු 30කට පමණ කලින් මා කන්‍යාරාමයට ඇතුල් වූ විට, එහි කන්‍යා සොහොයුරියන් 40දෙනෙක් සිටියා,” යයි ඈ පැහැදිලි කරයි. “දැන් ඉන්නේ අපි 16දෙනෙක් විතරයි. තරුණ අය නෑ. ආගමික වෘත්තිය අතීතයට සීමා වූ දෙයක් ලෙස පෙනෙන්ට තිබෙනවා.”
කාලර්වෙගාහි සිදු වෙමින් පවතින දෙයම යුරෝපයේ ප්‍රදේශ ගණනාවකම සිදු වෙමින් පවතී. ආගම් විරෝධී හැඟීම් සමුදායක් දක්නට නොමැති අතර තිබෙන්නේ නිහඬ, නියත අත්හැර යෑමක් පමණි. යුරෝපයේ මහා ආසන දෙව්මැදුරු, ප්‍රදේශවාසී “ඇදහිලිවන්තයන්ට” වඩා විදේශීන්ට සේවය කරයි. රෙපරමාදු වේවා, කතෝලික වේවා—වරක් යටත් කළ නොහැකිව තිබූ පල්ලිය උදාසීනත්වයෙන් වැසී යමින් පවතී. ජනයාගේ ජීවිත පාලනය වන්නේ ආගමික අවශ්‍යතාවලට වඩා ලෞකික අවශ්‍යතාවලිනි—පල්ලියේ නියෝජිතයෙකු එම ප්‍රවණතාව හැඳින්වූයේ ලෞකිකත්වය හැටියටය. තවදුරටත් ආගම වැදගත් දෙයක් බව පෙනෙන්ට නොතිබේ. යුරෝපයේ ආගමික වාතාවරණය, ලෝකයේ වෙනත් ප්‍රදේශවලට ගසාගෙන යෑමට ආසන්නව තිබෙන එවැනිම පිරිහීමක් පිළිබඳ පෙරනිමිත්තක් විය හැකිද?
පල්ලිවලට පැමිණෙන සංඛ්‍යාවට සිදු වෙමින් පවතින්නේ කුමක්ද?
මෙම සිද්ධිය උතුරු යුරෝපයෙහි අලුත් දෙයක් නොවේ. ස්කැන්ඩිනේවියානු ලූතරන් සභිකයන්ගෙන් නිතිපතා පල්ලි යන්නේ සියයට 5ක් පමණි. බ්‍රිතාන්‍යයෙහි එංගලන්ත සභාවේ සභිකයන්යයි පවසන අයගෙන් ඉරිදා මෙහෙයන්ට යන්නේ සියයට 3ක් පමණි. එහෙත් දැන්, දකුණු යුරෝපයේ කතෝලික භක්තිකයන් සිය උතුරුකරයේ අසල්වාසීන්ගේ ආදර්ශය අනුගමනය කරන බව පෙනෙන්ට තිබේ.
මූලිකව කතෝලික රටක් වන ප්‍රංශයේ, සතියකට වරක් පල්ලි යන්නේ පුරවැසියන් 10දෙනෙකුගෙන් 1 කෙනෙකු පමණි. තමන් “ක්‍රියාශීලී කතෝලිකයන්යයි” සලකන ස්පාඤ්ඤ වැසියන්ගේ ප්‍රතිශතය, ඉකුත් වසර 25 පුරා සියයට 83 සිට සියයට 31 දක්වා පහත බැස ඇත. ස්පාඤ්ඤ අගරදගුරු රාමොන් ටොරෙයා 1992දී පුවත්පත් සාකච්ඡාවකදී මෙසේ පැවසීය, “තවදුරටත් කතෝලික ස්පාඤ්ඤයක් නැත; ජනයා ශුද්ධ සති පෙරහැරවලට සහ නත්තල් පූජාවට යන නමුත් සතිපතා [පූජාවට] යන්නේ නැත.” දෙවන ජුවාම් පාවුලු පාප් 1993දී මැඩ්රිඩ් වෙත බැහැදැකීමක් කළ අවස්ථාවේදී “ස්පාඤ්ඤය යළි ක්‍රිස්තියානි මූලධර්මවලට හැරිය යුතුයි” කියා අවවාද කළේය.
පූජක පක්ෂයට මෙන්ම ගිහි පක්ෂයටද අනාගමික මනෝ ස්වභාවය බලපා ඇත. ස්පාඤ්ඤයෙහි, විවාහ වීම සඳහා පූජක ධුරයෙන් 8,000ක් පමණ ඈත් වී ඇති අතරතුර, 1988දී ප්‍රංශයෙහි අලුතෙන් පත් කරනු ලැබූ පූජකයන්ගේ සංඛ්‍යාව 140 (1970 ගණනට වඩා අඩකටත් වඩා අඩු සංඛ්‍යාවක්) දක්වා පහත බැස්සේය. අනික් අතට, තම රැළවල් සඳහා දිගටම සේවය කරමින් සිටින සමහරෙක් තම පණිවුඩය ගැන සැක පළ කරති. තමන්ට “පැහැදිලි හෘදය සාක්ෂියකින්” ස්වර්ගය හා නිරය ගැන දේශනා කළ හැකි බව හැඟෙන්නේ ස්විඩන්හි ලූතරන් පූජක පක්ෂයෙන් සියයට 24කට පමණක් වන අතර, ප්‍රංශ පූජකයන්ගෙන් සියයට 25කට යේසුස්වහන්සේගේ නැවත නැඟිටීම ගැන පවා ස්ථිරත්වයක් නොමැත.
භක්තිය අබිබවා ආස්වාදය හා මනාපය
ආගමෙහි තැන ගනිමින් සිටින්නේ කුමක්ද? බොහෝ නිවෙස්වල විනෝදවීම නමස්කාරයේ තැන ගෙන ඇත. ඉරුදිනවල පල්ලි යනවා වෙනුවට පවුල් සාමාජිකයෝ, මුහුදු වෙරළවල් හෝ කඳු වෙත ඇදෙමින් සිටිති. “පූජාවට යන එක මහ කම්මැළි වැඩක්,” යයි ස්පාඤ්ඤ නහඹරයෙක් වන හ්වාන් තම සැකය අඟවමින් පවසා සිටියේය. සෙනඟ ඇදගන්නාවූ, ක්‍රීඩාංගන පුරවන අවස්ථා වන පා පන්දු තරඟ හෝ පොප් සංගීත ප්‍රසංග හා තරඟ වැදීමට ආගමික මෙහෙයන්ට නොහැක.
පල්ලි යන්නන්ගේ සංඛ්‍යාව පහත වැටීම ආගමික පිරිහීම සම්බන්ධයෙන් තිබෙන එකම සාක්ෂිය නොවේ. බොහෝ යුරෝපීයයෝ තම ආගමික අදහස් තමන්ට රිසි සේ එහෙන් මෙහෙන් තෝරාගැනීමට කැමැත්තක් දක්වති. මේ දිනවල පිළිගත් පල්ලිවල උගන්වන ධර්මයන්, එම ආගමට අයත්යයි කියා සිටින අයගේ පෞද්ගලික විශ්වාසයන්ට යම් සමානකමක් නොදක්වන තරම්ය. කතෝලික හෝ රෙපරමාදු හෝ වේවා, යුරෝපීයයන්ගෙන් වැඩිදෙනෙකු මරණයෙන් පසු ජීවිතයක් විශ්වාස නොකරන අතර, ප්‍රංශ, ඉතාලි හා ස්පාඤ්ඤ කතෝලිකයන්ගෙන් සියයට 50කට වඩා සංඛ්‍යාවක් ප්‍රාතිහාර්යයන්ද විශ්වාස නොකරති.
මෙම අනනුකූලතාවේ ශීඝ්‍ර වර්ධනය වැළැක්වීමට පූජක පක්ෂයට බලයක් නැති බව පෙනෙන්ට තිබේ. උපත් පාලනයට එරෙහිව පාප්ගේ ව්‍යාපාරයේදී දක්නට ලැබුණාට වඩා වෙනත් කොතැනකවත් එය පැහැදිලිව දක්නට නොලැබිණ. වර්ෂ 1990දී, IIවන ජුවාම් පාවුලු පාප්, උපත් පාලන ද්‍රව්‍ය නොවිකුණන ලෙසට කතෝලික බෙහෙත් වෙළෙඳුන්ගෙන් බලවත් ලෙස ඉල්ලා සිටියේය. මෙම නිෂ්පාදන “පුද්ගලයෙකුගේ ගෞරවයට හානි කරන තරමටම ස්වාභාවික නීති උල්ලංගනය කරන” බව ඔහු පැවසුවේය. එලෙසම, “මිනිසා හා ස්ත්‍රිය අතර අඹුසැමි ප්‍රේමය, පතිවත රැකීමේ හා දරුඵල ලැබීමේ දෙයාකාර බැඳීමක් යටතට පැමිණිය” යුතුයයි කැටකිස්ම් ඔෆ් ද කැතලික් චර්ච් මගින් බල කෙරේ.
මෙම දැඩි නියෝග තිබියදීත්, සාමාන්‍ය කතෝලික යුවළ තමන්ට රිසි සේ ජීවත් වෙයි. දරුවන් දෙදෙනෙකුට වඩා සිටින පවුල්, දැන් දකුණු යුරෝපයේ කතෝලික රටවල බහුලව දක්නට නොලැබේ. ස්පාඤ්ඤයෙහි, දශක දෙකකට පෙර කළු කඩ නිෂ්පාදනයක් වූ ආරක්ෂිත කොපු නිතර රූපවාහිනියේ ප්‍රචාරය කරනු ලබන අතර, උපත් පාලනය සම්බන්ධයෙන් පිළිගත් කතෝලික නීතියට තමන් අවනත වන බවට පවසන්නේ ප්‍රංශ කතෝලික ස්ත්‍රීන්ගෙන් සියයට 3ක් පමණි.
යුරෝපීයයන් පල්ලිවලට හා ඒවායේ ඉගැන්වීම්වලට පිටුපාන බව පැහැදිලිය. කැන්ටබරිහි එංගලන්ත සභාවේ අගරදගුරු ජෝර්ජ් කේරි සිය පල්ලියේ තත්වය ලිඛිතව විස්තර කළේ මෙසේය: “අප මියයෑමට ආසන්න වන තරමටම සංඛ්‍යාව අඩු වෙනවා, එමෙන්ම එය අපට මුහුණ දීමට සිදු වී තිබෙන ඉතා හදිසි ප්‍රශ්නයක්.”
ප්‍රතිසංස්කරණයේ සිදු වූ බලවත් වෙනස්වීම්වල පටන් යුරෝපයේ ආගමික ව්‍යූහය මෙතරම් චංචල වී නොමැත. බොහෝ යුරෝපීයයන් ආගම කෙරෙහි උදාසීනභාවයක් දැක්වීමට පටන්ගෙන තිබෙන්නේ මන්ද? ආගමේ අනාගතය කුමක්ද?