පල්ලියේ බලපෑම හීන වන්නේ මන්ද?
“සෑම ස්ටොයිකවාදියෙකුම ස්ටොයිකවාදියෙකු විය; නමුත් ක්‍රිස්තියානි ලෝකය තුළ ක්‍රිස්තියානියා කොහේද?”
රැල්ෆ් වොල්ඩො එමර්සන්, 19වන ශතවර්ෂයේ අමෙරිකානු නිබන්ධකයෙක් මෙන්ම කිවිඳෙක්.
“මා කතෝලිකයෙක්—නමුත් පිළිපදින්නියක් නොවේ” යයි තරුණ මවක් පැහැදිලි කරයි. “මම කොහොමටවත් ආගම ගණන් ගන්නේ නෑ” යයි නහඹරයෙක්ද පවසයි. ඔවුන්ගේ අදහස් ප්‍රකාශයන් යුරෝපීය තරුණ පරම්පරාවේ අදහස් මැනවින් නියෝජනය කරයි. ඔවුන්ගේ දෙමාපියන්—වැඩි වශයෙන්ම ඔවුන්ගේ ආච්චිලා සීයලා—තවමත් පල්ලි යන්නන් වුවත්, ආගමික ඇදහිල්ල, පරම්පරා පරතරය වසා නැත.
පරම්පරා ගණනකට යුරෝපීයයන් විසින් උසස් ලෙස සැලකූ ආගමික පුරුදු අත්හරිනු ලැබ තිබෙන්නේ මන්ද?
බිය තවදුරටත් හේතුසාධකයක් නොවේ
ශතවර්ෂ ගණනක් පුරා නිරය හෝ ශුද්ධගිනි ස්ථානය යුරෝපීයයන් මත ප්‍රබල බලපෑමක් ඇති කළේය. බියගන්වනසුලු දේශනා හා නොනිවී දැවෙන නිරයක් පිළිබඳ පැහැදිලි විස්තර සහිත චිත්‍ර, ගිහියන්ට ඒත්තුගැන්වූයේ, නිරයේ දඬුවමින් බේරීමට තිබෙන එකම මඟ භක්තිමත්ව පල්ලි යෑම පමණක් බවය. තවදුරටත්, “‘ඉරිදා හා මංගල්‍ය දිනවල දිව්‍ය සත්ප්‍රසාදය ලැබීමට’ පල්ලිය ඇදහිලිවන්තයන්ට බල කරයි,”a යනුවෙන් කැටිකිස්ම් ඔෆ් ද කැතලික් චර්ච් පවසයි. ගම්බද ප්‍රදේශවල මහත් සේ සමාජීය පීඩනයද තිබිණ—සෑම කෙනෙකුම ඉරිදා දිනවල පල්ලියට පැමිණිය යුතු බවට අපේක්ෂා කෙරිණ.
එහෙත් කාලවල් වෙනස් වී ඇත. තමන් කැමති දේ කිරීමට නිදහස තිබේයයි ජනයාට දැන් හැඟේ. බිය තවදුරටත් හේතුසාධකයක් නොවේ. බොහෝ කතෝලික යුරෝපීයයන් කෙලෙසකින්වත් නිරය විශ්වාස නොකරන බැවින්, එය හෙමින් සීරුවේ අවධානයෙන් ඉවත් කර ඇත.
ඇත්තෙන්ම, ඉරිදා පූජාව මඟහැරීමේ “පාපය” එතරම් බැරෑරුම් යමක් සේ නොසැලකේ. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි කතෝලික පූජකයෙකු වන ටිර්සො වාකෙරො මෙසේ පිළිගනී: “[කතෝලික] ක්‍රිස්තියානියෙකු ඉරිදා දින පූජාවට නොපැමිණෙනවා නම්, අප ඇත්තෙන්ම කනගාටු වන්නේ මන්දයත් දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ සහෝදරයන් සමඟ අදහස් හුවමාරු කිරීමට ඇති මෙම මොහොත ඔහුට නැති වී තිබෙන නිසා මිසක, ඔහු පාපයක් කර තිබෙන නිසා නොවේ. එය එතරම් වැදගත් දෙයක් නොවේ.”
එබැවින් බිය තවදුරටත් භක්තිය ජනිත නොකරයි. පල්ලිය සහ එහි නායකයන්ගේ සදාචාර අධිකාරිත්වය ගැන කුමක් කිව හැකිද—ඔවුන්ට තම රැළවල පක්ෂපාතීත්වය ඉල්ලා සිටිය හැකිද?
අධිකාරිත්වයේ අර්බුදයක්
ආගමික බිය හීන වී යෑම, පල්ලියේ සදාචාර ස්ථාවරත්වය පිරිහීමේ ලක්ෂණයක් සමඟ එකවිටම සිදු වී ඇත. “ශතවර්ෂ ගණනාවක් පුරා අපට . . . සදාචාර සාරධර්ම පිළිබඳව ඉගැන්වීමට බොහෝ ගුරුවරුන්ද, සදාචාරවත් ගුරුවරුන් ඉතා ස්වල්පදෙනෙකුද සිට ඇතැයි,” ඉතාලි ජාතික ඉතිහාසඥයෙකු වන ජෝර්ඩානො බෲනො ග්වෙරි පැමිණිලි කරයි. ක්‍රිස්තියානි ලෝකය වැනසූ ලෝක යුද්ධ දෙක මගින් සදාචාරත්වය සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමේ ඌනතාව ඉස්මතු කොට දක්වන ලදි. ලේ වැගිරීමට හවුල්වීමෙන් ඇදහිලිවන්තයන්ව වැළැක්වීමට යුරෝපීය පල්ලි බල රහිත විය. ඊටත් වඩා දරුණු ලෙස, යුද්ධවලදී—පැති දෙකටම පල්ලි ක්‍රියාශීලී ලෙස හවුල් විය.
“ක්‍රිස්තියානි නිකායන් අතර සිවිල් යුද්ධයක් වූ පළමු ලෝක යුද්ධය, කිතු දහම සඳහා ඛේදවාචී හා ලජ්ජාසහගත කාලපරිච්ඡේදයක් විවෘත කළේය. දෙවන ලෝක යුද්ධය පළමු එකටත් වඩා, ක්‍රිස්තියානි ඇදහිල්ලේ සදාචාර ස්ථාවරත්වය මත වඩාත් ශෝකාකූල ප්‍රහාර එල්ල කළේය. එය, ප්‍රතිසංස්කෘත කිතු දහමේ තොටිල්ල වූ ජර්මනියේ පල්ලිවල හිස්බවත්, එමෙන්ම පාප්වරුන්ගේ බියසුලුබව හා ආත්මාර්ථකාමිත්වයත් අනාවරණය කළේය,” යයි ඉතිහාසඥ පෝල් ජොන්සන් ප්‍රකාශ කරයි.
හිට්ලර්ගේ නාට්සි පාලනය සහ ඉතාලියේ මුසොලීනිගේ මෙන්ම ස්පාඤ්ඤයේ ෆ්රැන්කෝගේ පැසිස්ට් ආණ්ඩුද සමඟ වතිකානු සමගි සන්ධාන, පල්ලියේ සදාචාර අධිකාරිත්වයට හානි පැමිණවීය. අවසානයේදී, එවන් දේශපාලනික උපායන් සඳහා ගෙවන්ට වී තිබෙන ආගමික මිලය විශ්වාසය හීනවීමය.
පල්ලිය හා රජය—බැඳීම ලිහා දැමීම
විසිවන සියවස අතරතුර, පල්ලිය හා රජය එකට ගොනු කරන බැඳීම යුරෝපීය රටවල් බොහොමයක අන්තිමේදී ලිහා දමා තිබේ. ඇරත්, දැන් කිසිම ප්‍රධාන යුරෝපීය රටක්, එහි පිළිගත් ආගම වශයෙන් රෝමානු කතෝලික ධර්මය පිළිගන්නේ නැත.
ප්‍රධාන පල්ලි තවමත් රජයේ අනුග්‍රහය ඇතුව කටයුතු කළත්, ඔවුන් ලෙලවමින් සිටි දේශපාලන බලය ඔවුන්ට අහිමි වී ඇත. පල්ලි සාමාජිකයන් සෑම කෙනෙකුටම මෙම නව යථාර්ථය පිළිගැනීමට නොහැකි වී තිබේ. “[කතෝලික] පල්ලියේ සිටින නායකයන් වැඩිදෙනෙකු ඉතා අවංකව සිතන්නේ—ඔවුන්ට ආණ්ඩු ‘බලයේ’ ආධාර නොමැතිව සිය එඬේර සේවය කරගෙන යා නොහැකි බවයි” කියා ප්‍රසිද්ධ ස්පාඤ්ඤ ජාතික ජේසු නිකායික හෝසේ මාරිආ ඩිඑස්-ආලෙග්රිආ විශ්වාස කරයි.
එහෙත් මෙම “ආණ්ඩු ‘බලයේ’ ආධාර” බිඳවැටී ඇත. වර්ෂ 1975 වන තෙක් “ජාතික-කතෝලික” රජයක් සතු වූ ස්පාඤ්ඤය, මෙම තත්වයට ආදර්ශයක් වේ. මෑත වර්ෂවලදී පල්ලියේ මූල්‍යමය ආධාර සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පූජක පක්ෂයට සමාජවාදී රජය සමඟ නිරතුරුව සටනක් තිබී ඇත. ස්පාඤ්ඤ රජය පල්ලියට ප්‍රමාණවත් මූල්‍යමය ආධාර නොදෙන නිසා “කතෝලිකයෙකු වශයෙන් පීඩාවට ලක් වී සිටිනවා” යයි තමාට හැඟෙන බව ස්පාඤ්ඤයේ ටෙරුඑල්හි රදගුරු මෑතකදී සිය සේවා ප්‍රදේශයේ වැසියන්ට පැමිණිලි කළේය.
“හෘදය සාක්ෂිය හා සදාචාරත්වය පිළිබඳ බැරෑරුම් අර්බුදයක්” ස්පාඤ්ඤ සමාජයට බලපාමින් තිබූ බව එරටේ රදගුරුවරු 1990දී නිවේදනය කළෝය. මෙම ‘සදාචාර අර්බුදය’ සඳහා ඔවුන් දොස් පැවරුවේ කවරෙකුටද? “පොදු ජන පරිපාලනය [ස්පාඤ්ඤ රජය] මගින් නිතර දිරිගන්වනු ලැබූ දෙබිඩි මානසිකත්වය” එක් ප්‍රධාන හේතුවක් වූ බව රදගුරුවරු පැවසූහ. පෙනෙනාකාරයට, කතෝලික මත වැඩිදියුණු කිරීම මෙන්ම මූල්‍යමය උපකාර සැපයීම රජයෙන් සිදු කෙරේයයි රදගුරුවරු අපේක්ෂා කරති.
පූජක පක්ෂය තමන් දේශනා කරන දේ පිළිපදිනවාද?
දුගී වැසියන් සිටින සේවා ප්‍රදේශවල සේවය කරන පූජකයන්ට කතෝලික පල්ලියේ අතිවිශාල ධනසම්භාරය නිරතුරු ලජ්ජාවක් වී ඇත. “යුද්ධයෙන් පසු ඉතාලියේ දරුණුතම මූල්‍යමය නින්දාව” ලෙස ටයිම් සඟරාවේ හැඳින්වූ දෙයට වතිකානු බැංකුව සම්බන්ධ කරනු ලැබූ විට, එය ඊටත් වඩා ලජ්ජාසහගත දෙයක් විය. අගරදගුරුවරයෙකු හා වතිකානුවේ වෙනත් බැංකු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඉතාලියානු මහේස්ත්‍රාත්වරු 1987දී වරෙන්තු නිකුත් කළහ. කෙසේවුවද, වතිකානුවේ ස්වෛරී තත්වය හේතුකොටගෙන චෝදිත පල්ලි සාමාජිකයන් සිරභාරයට ගැනීම වළක්වන ලදි. කිසිදු වැරදි ක්‍රියාවක් කර නොමැති බවට වතිකානු බැංකුව අවධාරණය කර සිටියත්, පල්ලිය, දේශනා කරන දෙය නොපිළිපදින බවට වූ හැඟීම මකාදැමීමට අසමත් විය.—මතෙව් 23:3, සසඳන්න.
හොඳින් ප්‍රසිද්ධ වී තිබෙන වැරදි ලිංගික හැසිරීම ඊටත් වඩා වැඩි හානියක් සිදු කර ඇත. බ්‍රහ්මචර්යාවට පක්ෂව කතා කිරීම සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධ වූ අයර්ලන්ත ජාතික රදගුරුවරයෙක් 1992දී, “මට සමාව දෙන්න” සහ “මා වෙනුවෙන් යාච්ඤා කරන්න” යයි සිය දියෝකීසයේ වැසියන්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු, 17-හැවිරිදි පිරිමි ළමයෙකුගේ පියා වූ අතර ඔහුගේ අධ්‍යාපනය සඳහා පල්ලියේ මුදල් භාවිත කර ඇති බව අනාවරණය වූ විට, ඔහුට ධුරයෙන් ඉවත්වීමට සිදු විය. ඊට මාසයකට පෙර කතෝලික පූජකයෙක් සිය “මිතුරිය” සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමඟ ජර්මන් රූපවාහිනියෙහි පෙනී සිටියේය. බොහෝ පූජකයන් පවත්වමින් සිටි රහසිගත සබඳතා සම්බන්ධයෙන් “දෙබසක් ආරම්භ කිරීමට” තමා කැමති බව ඔහු පවසා සිටියේය.
නින්දාවන් නියත වශයෙන්ම එහි කැළැල් ඉතිරි කරයි. “ශතවර්ෂ ගණනක් පුරා පල්ලිය ඉතාලි ජාතිකයන්ව කම්පිත කර තිබේ” යයි ඉතිහාසඥ ග්වේරි, ල්යී ඉටාලිආනි සොටෝ ලා කිඑසා (පල්ලිය යටතේ ඉතාලියානු ජාතිකයෝ) යන සිය පොතෙහි තහවුරු කරයි. “ඇදහිලිවන්තයන් අතර පවා දේවගැතියන්ට විරුද්ධත්වයක් වර්ධනය වීම” එක් ප්‍රතිඵලයක් බව ඔහු පවසයි. ප්‍රේරිත පාවුල් රෝමවරුන්ගෙන් ඇසූ මෙම ප්‍රශ්නම තම පූජකයන්ගෙනුත් ඇසීමට කුපිත වූ කතෝලිකයන්ට පෙලඹීමක් ඇති විය හැක: “උදාහරණයක් වශයෙන්, ඔබ සොරකම් කිරීමට එරෙහිව දේශනා කරන නමුත්, ඔබේම අවංකභාවය ගැන ඔබට ස්ථිරද? ඔබ කාමමිථ්‍යාචාරයේ ක්‍රියා හෙළා දකින නමුත්, ඔබේම පවිත්රත්වය ගැන ඔබට ස්ථිරද?”—රෝම 2:21, 22, ෆිලිප්ස්.
පූජකයන් හා ගිහියන් අතර පරතරය
පූජකයන් හා ගිහියන් අතර පරතරය එතරම් පැහැදිලිව දක්නට නොලැබුණත්, එය වඩාත් දුබල කරවන පරතරයක් විය හැක. රදගුරුවරුන්ගෙන් ලැබෙන ආගමික උපදෙස් සහිත ලිපි, ඔවුන්ගේ සේවා ප්‍රදේශවල සිටින වැසියන්ට උපදෙස් වනවා වෙනුවට හිරිහැරයක් වන බව පෙනෙන්ට තිබේ. ස්පාඤ්ඤ සමීක්ෂණයකට අනුව, සම්මුඛ සාකච්ඡාවට කැඳවූවන්ගෙන් “රදගුරුවරුන්ගේ ප්‍රකාශයන් සමඟ එකඟ” වූයේ සියයට 28ක් පමණි. එවැනිම සංඛ්‍යාවක් “එය ගණනකට නොගත්” අතර, සියයට 18ක් පවසා සිටියේ “ඔවුන්ට [රදගුරුවරුන්] පවසන දේ තේරෙන්නේ නැති බවයි.” ස්පාඤ්ඤයේ මයොර්කවල අගරදගුරු ඌබෙඩා මෙසේ පිළිගත්තේය: “ක්‍රිස්තියානිකරණයට එරෙහි වූ ක්‍රියාවලිය යන සෑබෑ කාරණයට රදගුරුවරුන් වන අපත් වගකිව යුතු බව පිළිගත යුතුමයි.”
පැහැදිලි ශුද්ධ ලියවිලිමය පණිවුඩයක් නොමැතිකම තවදුරටත් ගිහියන්ව ඈත් කරයි. පූජකයන් ආත්මික දේවල් කෙරෙහි සිත යොමු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මීසමේ වැසියන්ගෙන් වැඩිදෙනෙකු කැමැත්තක් දැක්වුවත්, “‘පිළිගැනීමක්’ ලබාගැනීම සඳහා [ප්‍රංශයේ] බොහෝ පූජකයන් දේශපාලනික කටයුතුවලට සම්බන්ධ වීමට තීරණය කර ඇති බව” කැතලික් හෙරල්ඩ්හි පැවසේ. ඉතාලියානු පූජක මෙන්ම සමාජ විද්‍යාඥ සිල්වානෝ බුර්ගාලාසි මෙසේ වරද පිළිගනියි: “අපේ නරක ආදර්ශය නිසා සමහරවිට ඔවුන් [යෞවනයන්] දෙවියන්වහන්සේගෙන් ඈත් වී තිබෙනවා. අප ඔවුන්ට දී තිබෙන්නේ ප්‍රතිපත්ති පාවා දීම, ආගම හා ව්‍යාපාරය, ආත්මාර්ථය හා දූෂණය ඇතුළු ‘අච්චාරුවක්’.” පූජකයන්ට සිය උසස් සමාජ තත්වය අහිමි වී යෑම පුදුමයක් නොවේ. “මම කතෝලිකයෙක්, නමුත් පූජකයන්ව විශ්වාස කරන්නේ නෑ” යනු ස්පාඤ්ඤ කතෝලිකයන්ගෙන් බොහෝවිට අසන්ට ලැබෙන ප්රකාශනයකි.
පූජකයන් කෙරෙහි විශ්වාසය තැබීමට අසීරු බව ඇතැම් කතෝලිකයන්ට පෙනී යන අතර, වෙනත් අයට පල්ලියේ ධර්ම ගැන—විශේෂයෙන්ම අසාධාරණ හෝ ප්‍රායෝගික නැතැයි කියා ඔවුන් සලකන ඉගැන්වීම් ගැන බරපතළ සැක තිබේ.
තේරුම්ගත නොහැකි ධර්ම
නිරය සම්බන්ධයෙන් පිළිගත් කතෝලික ඉගැන්වීම වනාහි පැහැදිලිව පෙනෙන්ට තිබෙන නරක ආදර්ශයකි. කැටකිස්ම් ඔෆ් ද කැතලික් චර්ච් මෙසේ ප්‍රකාශ කරයි: “පල්ලියේ ඉගැන්වීම, නිරය හා එහි සදාකාලික පැවැත්ම තහවුරු කරයි.” කෙසේනමුත්, නිරය පවතින බව විශ්වාස කරන්නේ ප්‍රංශ කතෝලිකයන්ගෙන් කාර්තුවක් හා ස්පාඤ්ඤ කතෝලිකයන්ගෙන් තුනෙන් එකක් පමණක් බව මෑත සමීක්ෂණ පෙන්නුම් කරයි.
සදාචාරය පිළිබඳ ප්‍රශ්න පැනනඟින විට, “හිතු මනාපෙට දේවල්” කරන ක්‍රිස්තියානීන්” වීමට යුරෝපීයයෝ නැඹුරු වෙති. විවාහයෙන් පිටත දරුවන් සිටීම වැනි සදාචාරය පිළිබඳ ප්‍රශ්න “තමන් විසින්ම තීරණය කළ යුතු ඒවා” බව ස්වීඩනයේ ලූතරන් නව යෞවනියක වන මිමි විශ්වාස කරයි. ප්‍රංශ කතෝලිකයන්ගෙන් වැඩිදෙනෙකු ඇය හා එකඟ වනු ඇත. ජීවිතයේ වැදගත් තීරණවලට මුහුණ පෑ විට, ඔවුන් පල්ලියේ මඟ පෙන්වීමට වඩා තමාගේ හෘදය සාක්ෂියේ මඟ පෙන්වීම අනුගමනය කරනු ඇතැයි සියයට 80ක් පැවසූහ.
විරුද්ධව නැඟී සිටින ඕනෑම හඬක් මැඩපැවැත්වීමට අතීතයේදී පල්ලියේ අධිකාරිත්වය ප්‍රමාණවත් විය. වතිකානුවේ දෘෂ්ටියට අනුව, එතරම් වෙනසක් සිදු වී නැත. “ශුද්ධ ලියවිල්ල අර්ථ දැක්වීමේ ආකාරය පිළිබඳ පවසා ඇති සියල්ල අවසානයේදී පල්ලියේ විනිශ්චයට යටත්” යයි කැටිකිස්ම් ස්ථිර ලෙස ප්‍රකාශ කරයි. කෙසේවුවද, එම බලාධිකාරි එළඹීමට එතරම් අනුබලයක් නොලැබෙන බව පෙනේ. “අධිකාරය පිළිබඳ වාදය අඛණ්ඩව පවතී” යයි දේශපාලන අධ්‍යයනවලට සම්බන්ධ ස්පාඤ්ඤ විශාරදයෙකු වන ආන්ටෝනියෝ එලොර්සා පැමිණිලි කරයි. “ඉතිහාසය නමැති පදනම භාවිත කරමින් තම සම්ප්‍රදායන්වල වලංගුතාව තහවුරු කිරීම මගින් පල්ලිය තමා වටා පවුරක් ගොඩනැඟීමට කැමැත්තෙන් සිටී.” “පවුරෙන්” පිටත පල්ලියේ බලපෑම හා එහි අධිකාරිත්වය දුර්වල වෙමින් පවතී.
ආත්මික පිරිහීමට අමතරව, ආගමික උදාසීනභාවයට දායක වන තවත් වැදගත් සාධකයකි, සමාජීය හේතුසාධක. පරිභෝජක සමාජය විනෝදාස්වාදය හා විනෝදවීමේ අවස්ථා ගණනාවක් සපයයි—තවද යුරෝපීයයන් වැඩිදෙනෙකුට ඒවා රසබැලීමට ආශාවක් තිබෙන අතර, ලබාගැනීමට මාර්ගයක් ඇත. සැසඳීමක් කරන කල, පල්ලි යෑම සඳහා ඉරිදා උදෑසන ගත කිරීම නිරස දෙයක් සේ පෙනෙන්ට තිබේ. එපමණක් නොව, ජනයාගේ ආත්මික අවශ්‍යතා පිරිමැසීමට පල්ලි මෙහෙයන් සමත් නොවන තරම්ය.
යුරෝපීය රැළ යළි ග්‍රහණය කරගැනීමට සම්ප්‍රදායානුකූල ආගමට නොහැකි බව පෙනෙන්ට තිබේ. ඩයිනොසෞරියාට අත් වූ ඉරණම මෙන් ආගමද වියැකී අතීතයේ තිබූ බලවේගයක් බවට පත් වේවිද?
[පාදසටහන]
a කැටිකිස්ම් ඔෆ් ද කැතලික් චර්ච් මුලින්ම ප්‍රකාශයට පත් වූයේ 1992දීය, එය ලොව පුරා සිටින කතෝලිකයන් සඳහා ධර්මය පිළිබඳ නිල ප්රකාශනයක් වනු ඇති බවට අපේක්ෂා කෙරිණ. එහි හැඳින්වීමේදී, IIවන ජුවාම් පාවුලු පාප් එය විස්තර කළේ, “කතෝලික ධර්මය ඉගැන්වීම සඳහා ස්ථිරසාර වූ නිවැරදි ආශ්‍රේය ග්රන්ථයක්” ලෙසටය. එවන් සමස්ත ලෝක කතෝලික කැටිකිස්මයක් අන්තිම වරට නිකුත් කරන ලද්දේ 1566දීය.
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ක්‍රිස්තියානි ලෝකයේ ආධිපත්‍යයට යටත් ප්‍රදේශ, විනෝදාස්වාදය නමැති ලබ්ධිය මගින් යටත් වී තිබේ
[7වන පිටුවේ පින්තූරය]
දේශනයක් හෝ අව්වතැපීමක් අතර තේරීමක් කරන්ට සිදු වන විට, යුරෝපීයයන් වැඩිදෙනෙක් නොපසුබැස වෙරළ කරා ඇදී යති