ආ, පිරිසිදු වාතය කොතරම් හොඳද!
බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ඔබ ආශ්වාස කරන විට ඔබ පිරිසිදු වාතය ආශ්වාස කරනවාද? නවීන දින වායු දූෂණය, “දුම්පානය කිරීමටත් වඩා විශාල සතුරෙක්” යයි වෛද්‍යවරයෙකු කියා සිටි බව ලන්ඩනයේ ද ටයිම්ස්හි සඳහන් විය. එංගලන්තයේ මෙන්ම වේල්ස්හිද, සෑම වසරකම දූෂිත වාතය නිසා 10,000දෙනෙක් මරණයට පත් වෙති. ලෝක ව්‍යාප්තව, විශේෂයෙන්ම විශාල නගරවල තත්වය උග්රය.
වායුගෝලය දූෂණය කිරීම ගැන බොහෝදෙනෙක් මෝටර්රථ ආයතනයට දොස් නඟති. වාහනවලින් පිට වන හානිකර දුම අඩු කිරීම සඳහා, දැන් බොහෝ රටවල අලුත් වාහන නිපදවනු ලබන්නේ, ඒවාට සවි කරන ලද දූෂණය අඩු කරන උත්ප්‍රේරක පරිවර්තක උපකරණ සමඟිනි. වාහනවලින් පිට වන දුම්වල අඩංගු හයිඩ්‍රොකාබන, 1970 ගණන්වල පැවති මට්ටමට වඩා සියයට 12කින් අඩු වී ඇති අතර, නයිට්රජන් ඔක්සයිඩවලත් කාබන් මොනොක්සයිඩවලත් ඊට සමාන පහත බැසීම් දක්නට ලැබේ. ළමා කරත්තවල ගෙන යනු ලබන ළදරුවන් විශේෂයෙන් මෙයට ගොදුරු විය හැකි තත්වයක සිටින්නේ මන්දයත්, ඔවුන් ගමන් කරන්නේ කාර්වලින් දුම් පිට කරනු ලබන මට්ටමක බැවිනි. එපමණක්ද නොව, වායු දූෂණය කාර්වල ගමන් කරන්නන්ටත් තර්ජනයක් වේ. කාර් තුළ තිබෙන දූෂණය කාර්වලට පිටින් තිබෙන දූෂණයට වඩා තුන්ගුණයකින් වැඩි බව වාර්තා වේ. ඔබගේ කාර් එකේ ටැංකිය පුරවද්දී, එහි ඉන්ධනවලින් පිට වන බෙන්සීන් දුමාරය ආශ්වාස කිරීමෙන් තවදුරටත් හානි සිදු වේ.
දැන් ලොව පුරා බහුලව පැතිර පවතින වායු දූෂණයට හේතුව වන්නේ, “පාවෙන අංශු පදාර්ථ” බව 1993-94 වසර සඳහා එක්සත් ජාතීන්ගේ පරිසර දත්ත වාර්තාවක් ප්‍රකාශ කළේය. කුඩා දැලි අංශු නැතහොත් අංශු පදාර්ථවලට, පෙණහලුවල ගැඹුරටම පතිත වීමෙන් හානිදායක රසායන ද්‍රව්‍ය එහි තැන්පත් කිරීමේ හැකියාව තිබෙන බව පෙනේ.
භූගෝලයෙන් සෑහෙන උසක පිහිටි ඕසෝන් තට්ටුවේ අඩුවීම පුවත් වාර්තාකරුවන්ගේ මහත් අවධානයට ලක් වේ. කෙසේවෙතත් භූ මට්ටමේදී, ඉහළ ඕසෝන් මට්ටමක් නිපදවීම සඳහා, වායු දූෂණයට හේතු වන නයිට්රජන් ඔක්සයිඩ සහ වෙනත් වාෂ්පශීලී අංශු මත සූර්යාලෝකය ක්‍රියාත්මක වේ. බ්‍රිතාන්‍යයෙහි මේ ශතවර්ෂය තුළ, මෙම මට්ටම දෙගුණයකින් වැඩි වී ඇත. මෙම වායු වර්ග, තීන්ත මෙන්ම වෙනත් ගොඩනැඟිලි ද්‍රව්‍ය පලුදු කරන අතරතුර, ගස්වල, පැළෑටිවල සහ අස්වනුවල රෝගද එමෙන්ම ඇතැම් මනුෂ්‍යයන්ට ශ්වසන පද්ධතියේ ගැටලුද ඇති කරවන බව පෙනේ. ඕසෝන් දූෂණයෙන් වැඩිහරියක්ම නගරවල සිදු වන නුමුදු, දරුණුතම බලපෑම් ග්‍රාමීය පෙදෙස්වල ඇතිවීම පුදුමයට හේතුවක් වේ. නාගරික පෙදෙස්වල, නයිට්රජන් ඔක්සයිඩ මගින් වැඩිපුර ඕසෝන් උරාගනු ලබන නමුත්, ඔක්සයිඩ අඩුවෙන් තිබෙන ස්ථානවලදී, හානි සිදු කිරීමට ඕසෝන්වලට කිසිදු බාධාවක් නොමැත.
ඊට අමතරව, වායු දූෂණය “එළිමහනට වඩා නිවෙස් තුළ 70ගුණයක පමණ ඉහළ මට්ටමක” පවතින බව ද ටයිම්ස් වාර්තා කරයි. මෙහිදී එයාර් ෆ්රෙෂ්නර්, කපුරු බෝල, එමෙන්ම ඩ්‍රයික්ලීන් කරන ලද ඇඳුම් ආදිය මගින් පවා වාතය දූෂණය වේ. සමානාකාරයෙන් නිවස තුළ දුම්වැටිවල දුමද සෞඛ්‍යයට තිබෙන අවදානම වැඩි කරවයි.
එසේනම්, ඔබගේ පවුල ආරක්ෂා කිරීමට ඔබට කුමක් කළ හැකිද? ලන්ඩනයේ ද ටයිම්ස් පුවත්පතේ මතු සඳහන් වන යෝජනා ඉදිරිපත් විය.
• ඔබ කාර් එක පාවිච්චි කරන වාර ගණන අඩු කරන්න. හැකි නම් අන්‍යයන් සමඟ ගමන් බිමන් යන්න. එකම වේගයකින් ධාවනය කරන්න. වාහන තදබදයකට අසු වුවහොත්, නැතහොත් විනාඩි ස්වල්පයකට වඩා වැඩි වේලාවකට නැවතී සිටින්ට සිදු වේ නම්, එන්ජිම නවත්වන්න. ඉන්ධන වාෂ්ප වීම මගින් සිදු වන දූෂණය අඩු කිරීම සඳහා, හැකි නම්, උෂ්ණාධික දවස්වල ඔබගේ කාර් එක හෙවනේ නවතා තබන්න.
• සාමාන්‍යයෙන් එළිමහනේ ඕසෝන්වල මට්ටම පහළ බැස තිබෙන හිමිදිරියේ, ව්‍යායාම් කිරීමට සැලසුම් කරන්න.
• නිවස තුළ දුම්පානය කිරීම තහනම් කරන්න.
• රාත්රියේදී තෙතමනය අඩු කිරීම සඳහාත් අසාත්මිකාරක ඉවත් කිරීම සඳහාත් නිදන කාමරවල ජනෙල් විවෘතව තබන්න.
පිරිසිදු වාතය කොතරම් හොඳද! යන්නට ඔබ එකඟ වන බවට කිසිදු සැකයක් නැත.