සෙට්සෙ මැස්සා—අප්‍රිකාවේ ශාපයද?
නයිජීරියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
අපි මෑතකදී දකුණු අප්‍රිකාවේ ගම්බද පළාතක පදිංචියට ගිහින් සිටියා. අප වටේටම තිබුණේ නිවර්තන වනාන්තරයක්. එක් දවාලක මගේ බිරිඳ ඇඳුම් එල්ලන කාමරයට ගිය විට මෙසේ කෑගැසුවා: “මෙතන ඇට මැස්සෙක් ඉන්නවා!”
මැස්සා එම කාමරයෙන්, නාන කාමරයට විදුලි වේගයෙන් ඉගිලුණා. ඉක්මනින් කෘමිනාශක ටින් එකක් රැගෙන ඌ පසුපස මා ගියේ පිටුපස තිබෙන දොරත් වසාගෙනයි. මැස්සා දකින්ට සිටියේ නෑ. හදිසියේම ඌ මගේ මුහුණ දෙසට ආවා. ඌ මට විදින්න හදනවා! අතෙන් ඌව බිමට දමන්න ගත්ත උත්සාහය සාර්ථක වුණේ නැහැ. ඌ ජනේලය වෙතට විදුලි වේගයෙන් පියඹුවා. දැල නිසා ඌට යන්ට පුළුවන් වුණේ නැහැ. මැස්සා එහි වැහුවා.
මම ඉලක්කය අරගෙන, මැස්සාට කෘමිනාශක විද්දා. සාමාන්‍යයෙන් නම් ඒ විදියට කෙළින්ම දෙන පහරකින් ඕනෑම කෘමියෙක් මැරෙනවා. මේ මැස්සා මැරුණේ නැහැ. ඌ එතනින් ඉගිල්ලී, නාන කාමරයේ එහාට මෙහාට පියාඹමින් සිටියා.
ඌ නම් අමාරුකාරයෙක්! කෘමිනාශකය, එහි කාර්යය ඉටු කරයි, මැස්සා ඉක්මනින්ම බිමට වැටෙයි කියන විශ්වාසය මට තිබුණා. නමුත් ඌ වැටුණේ නැහැ. ඌ ඊළඟ වතාවේ වැහුවාම දෙවන වතාවටත් මම කෘමිනාශකය විද්දා. ඌ ආයෙත් ඉගිල්ලිලා ගියා.
මේ කුමන ආකාරයේ සුපිරි මැස්සෙක්ද? ඌ මැරුණේ තව දෙපාරක් කෘමිනාශකය විද්දාට පස්සෙයි.
මම මගේ කණ්ණාඩි දාගෙන, පරෙස්සමින් සතාව පරීක්ෂා කළා. ඇට මැස්සෙකු තරම් ලොකු නොවුණත්, ඌ ගෙමැස්සෙකුට වඩා විශාලව හිටියා. උගේ තටු, උගේ පිට හරහා වැටී තිබුණේ සාමාන්‍ය මැස්සෙකුට වඩා ඌට වේගයෙන් පියාඹන්න හැකි පෙනුමක් දෙමින්. උගේ කට පැත්තෙන් ඉඳිකටුවක් මෙන් දිග තුඩුක් නෙරා තිබුණා.
මම මගේ බිරිඳට අඬගැහුවා: “මේ ඇට මැස්සෙක් නෙවෙයි. සෙට්සෙ මැස්සෙක්.”
එක්සත් ජනපදයට වඩා විශාල ප්‍රදේශයක් වන, වර්ග කිලෝමීටර් මිලියන 11.7ක අප්‍රිකානු බලප්‍රදේශයකින්, අලුතෙන් දැකගන්න ලැබුණු මේ මැස්සාව තුරන් කර දැමීමට වෑයම් කිරීමේදී ඇති වන දුෂ්කරතාව කොතරම්ද කියා මගේ සිතේ කාවැදුණා. ඌව මුළුමනින් නැති කර දැමීමට ජනයාට වුවමනා වන්නේ ඇයි? ඌට විරුද්ධව චෝදනා තුනක් එල්ල කර තිබෙනවා. පළමුවන චෝදනාව:
ඌ පෝෂණය වන්නේ රුධිරයෙන්
විවිධ සෙට්සෙ මැසි විශේෂ 22ක් ඉන්නවා. උන් ඔක්කොම ඉන්නේ සහරා කාන්තාරයට දකුණෙන් පිහිටි ප්‍රදේශය ආශ්‍රිතවයි. පිරිමි හා ගැහැනු සතුන් දෙවර්ගයම එක දෂ්ඨ කිරීමකදී තමන්ගේ බර මෙන් තුන්ගුණයක රුධිරයක් පෘෂ්ඨවංශීන්ගෙන් උරාගන්නවා.
අප්‍රිකාවට අයත් වන මෙන්ම අයත් නොවන උලා කන සතුන් බොහෝමයක් මත උන් යස අගේට යැපෙනවා. උන් මිනිසුන්ටත් විදිනවා. එය තියුණු මෙන්ම වේදනාකාරි, රුධිරය උරාබීමේ ගැඹුරට විදීමක්. ඒත් එක්කම කැසීමක් හා වේදනාවක් ඇති වෙනවා. එතැන පලුවක් හටගන්නවා.
සෙට්සෙ මැස්සන් උන්ගේ වැඩයට දක්ෂයි. උන් ඔබේ හිස වටේට පියාඹමින් කාලය නාස්ති කරන්නේ නෑ. උන්ට වෙඩි උණ්ඩයක වේගයෙන් කෙනෙක් ළඟට කෙළින්ම ගිහින්, එකපාරටම නැවතී, ඒ තැනැත්තාට නොදැනෙන්න, ඉතා මෘදු ලෙස මුහුණේ වහන්න පුළුවන්. උන් හොරුන් වාගෙයි; උන් පියාඹලා යන තෙක්ම උන් රුධිරය සොරාගත්තාදැයි ඔබ සමහරවිට දන්නේ නෑ—ඔබට කරන්න ඉතිරිව තිබෙන්නේ සිදු වුණ හානිය කොපමණදැයි ගණන්බැලීම පමණයි.
සාමාන්‍යයෙන් උන් යන්නේ ඇඳුමෙන් වැසී නැති සමක් වෙතටයි. (උන් මගේ බෙල්ලේ පිටිපස්සට කැමතියි වගේ!) කොහොමනමුත්, සමහර වෙලාවට, උන් ලේ නහරයකට විදින්න කලින්, කලිසම් කකුලක් දිගේ හෝ කමිස අතක් දිගේ නඟින්න තීරණය කරනවා. එහෙම නැත්නම් උන් තීරණය කරනවා නම් උන්ට පුළුවන් ඇඳුම පසාරු කරගෙන යන්න විදින්න—රයිනෝසිරස්ගේ ගොරෝසු හම පවා පසාරු කළ හැකි කෘමියෙකුට ඒක එතරම් ගැටලුවක් නොවෙයි.
සෙට්සෙ මැස්සා දක්ෂ විතරක් නෙවෙයි, කපටියි කියාත් මිනිස්සු ඌට චෝදනා එල්ල කරනවා. වතාවක මම කෘමිනාශකවලින් එකෙක්ව මරන්න හැදුවහම, ඌ මගේ ඇඳුම් අල්මාරියට පියාඹලා, මගේ නාන කලිසමේ හැංගුණා. දවස් දෙකකට පස්සේ මම කලිසම ඇඳගත්තහම, ඌ මට දෙපාරක් විද්දා! තවත් අවස්ථාවකදී සෙට්සෙ මැස්සෙක් මගේ බිරිඳගේ පසුම්බියේ හැංගුණා. ඇය පසුම්බිය කාර්යාලයකට ගෙන ගිය අතර, ඇය එයට අත දැම්ම වෙලාවේ, මැස්සා ඇගේ අතට විද්දා. ඊට පස්සේ ඌ කාමරය පුරා පියඹුවේ කාර්යාල සේවකයන් අතර මහත් කලබලයක් ඇති කරවමින්. ඌව පලවාහැරීමට උත්සාහ කිරීමට හැමදෙනාම වැඩ නතර කළා.
එබැවින් සෙට්සෙ මැස්සාට එරෙහි වූ පළමුවන චෝදනාව නම්, ඌ වේදනාකාරි විදීමකින් ලේ උරාබොන්නෙක් යන්නයි. දෙවන චෝදනාව:
ඌ සිව්පාවුන් මරා දමයි
සෙට්සෙ මැස්සාගේ ඇතැම් වර්ග ට්රිපනොසෝමාවන් ලෙසින් හැඳින්වෙන කුඩා පරපෝෂිතයන් මගින් ඇති කරන රෝගයක් පතුරවනවා. සෙට්සෙ මැස්සා රෝගය ඇති සත්වයෙකුගේ ලේ උරා බොන විට, ඌ පරපෝෂිතයන් ඉන්න රුධිරය ගිලදමනවා. උන් මැස්සා තුළ වැඩී, බෝවෙනවා. මැස්සා තවත් සත්වයෙකුට විදින විට, එම සත්වයාගේ රුධිර සංසරණය තුළට මැස්සා මගින් පරපෝෂිතයන්ව යැවෙනවා.
රෝගය ට්රිපනොසෝමියාවයි. සත්වයන් තුළ සෑදෙන දෙය හඳුන්වන්නේ නගානාව කියායි. විශේෂයෙන්ම ඇන්ටිලෝප් නමැති මුව වර්ගයක්, කේප්ප මීහරක්, වල් ඌරෝ, ඩියුකර් නමැති කුඩා මුව වර්ගයක්, රීඩ්බක්, වෝතොග් නමැති වල් ඌරු වර්ගයක් යනාදී අප්‍රිකාවට අයත් බොහෝ සත්වයන්ගේ රුධිර සංසරණය තුළ නගානාව නමැති පරපෝෂිතයන් සඵල ලෙස වැඩෙනවා. පරපෝෂිතයන් මේ සත්වයන්ව මරා දමන්නේ නෑ.
නමුත් පරපෝෂිතයන් අප්‍රිකාවට අයත් නැති සත්වයන්ව—එනම් ඔටුවෝ, බල්ලෝ, බූරුවෝ, එළුවෝ, අශ්වයෝ, කොටළුවෝ, ගොන්නු, ඌරෝ සහ බැටළුවෝ යනාදීන්ව—විනාශ කර දමනවා. නැෂනල් ජිඕග්රැෆික් සඟරාවට අනුව, නගානාව සෑම වසරකම ගොන්නු මිලියන තුනක් මරාදමනවා.
නැඟෙනහිර අප්‍රිකාවේ මසායිවරුන් වැනි හරක් බලාගන්නා ගව පාලකයන්, සෙට්සෙ මැස්සෝ බහුලව ඉන්න ප්‍රදේශ මඟහරින ආකාරය ඉගෙනගෙන තිබෙන නමුත්, සමහරවිට නියඟ ඇති වන නිසාත් තණබිම් හිඟ වන නිසාත් මෙය කරන්න බැහැ. මෑතකදී ඇති වූ නියඟයකදී, තම ගවයන් 600ම එකට තබාගෙන හිටිය පවුල් හතරට, හැම දවසකදීම මැස්සෙක් නිසා සත්වයෙක් අහිමි වුණා. ඔවුන් අතර හිටිය පවුල් වැඩිමහල්ලෙක් වන ලෙසාලෝන් මෙහෙම කිව්වා: “මසායිවරු වන අපි නිර්භීත මිනිස්සු. අපි සිංහයන්ට හෙල්ලෙන් අනිනවා, මීහරකුන්ගේ ඇනීමට මුහුණ දෙනවා. අපි කලු මාම්බා සර්පයාට මුගුරෙන් ගහනවා, කෝපයෙන් ඉන්න අලියාට මුහුණ දෙනවා. නමුත් ඕර්කිම්බායි [සෙට්සෙ මැස්සා] ඉදිරියේ? අපි අසරණයි.”
නගානාව සුව කිරීමට බෙහෙත් තිබෙන නමුත්, සමහර ආණ්ඩු ඒවා පාවිච්චි කිරීමට අවසර දෙන්නේ පශු වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ විතරයි. මාත්රාවලින් කොටසක් ගැනීමෙන් සතා මියයනවා පමණක් නොව, නමුත් බෙහෙත්වලට එරෙහිව සටන් කරන පරපෝෂිතයන්ද බිහි කරනවා. වනගත ප්‍රදේශයේ ජීවත් වෙන ගව පාලකයෙකුට තමන්ගේ මියයමින් ඉන්න සතුන්ට නියම වෙලාවට සාත්තු කිරීමට පශු වෛද්‍යවරයෙක් සොයාගැනීම අපහසු දෙයක් වෙන්න පුළුවන්.
සෙට්සෙ මැස්සාට විරුද්ධව තිබෙන මුල් චෝදනා දෙක අවිවාදයෙන්ම ඔප්පු කර තිබෙනවා—ඌ රුධිරයෙන් පෝෂණය වී, ඊට පස්සේ සතුන්ව මරණයට පත් කරන රෝගයක් පතුරවනවා. නමුත් ඊට වඩා වැඩි දෙයක් තියෙනවා. තෙවන චෝදනාව:
ඌ මිනිසුන්ව මරා දමයි
මිනිස්සු නගානාව ට්රිපනොසෝමාවෙන් බලපෑම් ලබන්නේ නෑ. නමුත් සෙට්සෙ මැස්සා මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට වෙනත් විදිහක ට්රිපනොසෝමාවක් පතුරුවා හරිනවා. මේ විදිහේ ට්රිපනොසෝමියාව හඳුන්වන්නේ නිද්‍රා රෝගය කියායි. නිද්‍රා රෝගය තිබෙන රෝගියෙක් නිකම්ම බොහෝ වෙලාවක් නිදනවා කියා සිතන්න එපා. රෝගය ප්‍රීතිමත් නින්දක් නෙවෙයි. එය පටන්ගන්නේ අසනීප ගතිය, විඩාව සහ සිහින් උණක් එක්කයි. ඊට පස්සේ දිගු කලක් පවතින නිදිමත ගතිය, තද උණ, සන්ධි කැක්කුම්, ඉදිමුණු පටක සහ විශාල වුණ අක්මාව හා පිලාව ඇති වෙනවා. අවසාන අවස්ථාවලදී, පරපෝෂිතයන් ප්‍රධාන ස්නායු පද්ධතිය පසාරු කරගෙන යන විට, රෝගියා මානසික පිරිහීම, හදිසි ආබාධ, අධිමූර්ච්ඡාව සහ මරණය අද්දකිනවා.
මේ සියවසේ මුල්භාගයේදී, නිද්‍රා රෝගය හටගැනීමෙන් අප්‍රිකානු අර්ධද්වීපයේ බොහෝදෙනෙකු මැරුණා. වර්ෂ 1902 සහ 1905 අතරේදී, වික්ටෝරියා විල අසළ මිනිසුන් 30,000ක් විතර රෝගයෙන් මරා දැම්මා. ඊට පස්සේ පැමිණි දශකවලදී, රෝගය කැමරූන්වලට, ඝානාවට සහ නයිජීරියාවට පැතිර ගියා. බොහෝ ගම්මානවල මිනිසුන්ගෙන් තුනෙන් එකකට රෝගය වැළඳුණ අතර, ගංගා ආශ්රිත තැනිතලා බොහොමයක විශාල සෙනඟකට එයින් පිට වී යන්ට සිද්ධ වුණා. තැනින් තැනට ගමන් කළ ප්‍රතිකාර කරන කණ්ඩායම් මිනිස්සු සියදහස් ගණනකට ප්‍රතිකාර කළා. එක්දාස් නවසිය තිස්ගණන්වල අවසානය වන තෙක්ම වසංගතය අඩු වී නැති වී ගියේ නෑ.
අද හැම වසරකම මිනිස්සු 25,000කට විතර රෝගය බලපානවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, සහරා කාන්තාරයට දකුණින් පිහිටා තියෙන රටවල් 36ක මිනිස්සු මිලියන 50කට වඩා වැඩි ප්‍රමාණයක් රෝගය වැළඳීමේ අවදානමකයි ඉන්නේ. ප්‍රතිකාර නොකර නිද්‍රා රෝගය මාරාන්තික වුවත්, එයට ප්‍රතිකාර කිරීමට බෙහෙත් තිබෙනවා. මේ රෝගයට ප්‍රතිකාර කිරීමට මෑතකදී ඉෆ්ලෝර්නිතින් නම් අලුත් බෙහෙතක් නිෂ්පාදනය කරනු ලැබුවා—මෙය වසර 40ක් තුළ සොයාගත් පළමුවන බෙහෙතයි.
සෙට්සෙ මැස්සා සහ ඌ ගෙන යන රෝගයට එරෙහිව මිනිස්සු බොහෝ කලක් පුරා සටනක යෙදී ඉන්නවා. සෙට්සෙ මැස්සාව සම්පූර්ණයෙන් නැති කර දැමීමට ගත් ප්රයත්නයක් සම්බන්ධයෙන් 1907දී වින්ස්ටන් චර්චිල් මෙහෙම ලිව්වා: “කිසිම අනුකම්පාවක් නැතුව ඌ වටා ඉතා සියුම් දැලක් වියනු ලැබේ.” අතීතය ගැන කල්පනා කරද්දී, චර්චිල්ගේ ‘සියුම් දැලේ’ විශාල හිල් තිබුණු බව පැහැදිලියි. ෆවුන්ඩේෂන්ස් ඔෆ් පැරසයිටොලජි යන පොත මෙසේ සඳහන් කරයි: “මෙතෙක් දුරට, සෙට්සෙ මැස්සා සම්පූර්ණයෙන් නැති කර දැමීමට වසර 80ක් පුරා වෑයම් කර තිබුණත්, සෙට්සෙ මැස්සාගේ ව්‍යාප්තියට එය බලපා නැති තරම්ය.”
ඌට පක්ෂව වචනයක්
අමෙරිකානු කවියෙක් වන ඕග්ඩන් නෑෂ් මෙසේ ලිව්වා: “දෙවියන්වහන්සේ ප්‍රඥාවෙන් මැස්සෙක් සෑදූසේක, නමුත් අපට හේතුව පවසන්න අමතක කළසේක.” යෙහෝවඃ දෙවියන්වහන්සේ සියලු දේවල මැවුම්කරුවාණන් බව සත්‍යයක් වුවත්, උන්වහන්සේට අමතක වන බව කීම ඇත්තෙන්ම සත්‍යයක් නොවෙයි. අපටම බොහෝ දේවල් සෙවීමට උන්වහන්සේ ඉඩහරිනවා. එහෙමනම්, සෙට්සෙ මැස්සා ගැන කුමක් කියන්න පුළුවන්ද? දුර්ජනයෙක් මෙන් පෙනෙන්ට තිබෙන මෙම මැස්සා වෙනුවෙන් කියන්න පුළුවන් යමක් තිබෙනවාද?
තවමත් ඉතිරිව සිටින, අප්‍රිකාවට ආවේණික වූ වනජීවීන් රැකගැනීමට දායක වෙමින් ගවයන් විනාශ කර දැමීමේදී ඌ දරන වැඩ කොටස, සමහරවිට මේ තාක් ඌ වෙනුවෙන් තිබෙන බලවත්ම සාධකය විය හැකියි. අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශ බටහිර එක්සත් ජනපදයේ තණබිම්වලට සමානයි—දේශයට හීලෑ සතුන් දරාගත හැකියි. දේශයට උරුම තණකොළ කන සත්වයන් මරණයට පත් නොකරන ට්රිපනොසෝමාවන් හීලෑ සත්වයන් මරණයට පත් කිරීම වෙනුවෙන්, සෙට්සෙ මැස්සාට ස්තුතිවන්ත වෙන්න ඕනෙ.
සෙට්සෙ මැස්සා සිටියේ නැත්නම්, බොහෝ කාලයකට කලින්, අප්‍රිකාවේ ඉතිරිව ඉන්න වන ජීවීන්ගෙන් විශාල සංඛ්‍යාවක් වෙනුවට ගවයන් රංචු පිටින් සිටිනු ඇති බව වැඩිදෙනෙක් විශ්වාස කරනවා. “මම සෙට්සෙ මැස්සා වෙනුවෙන් කතා කරනවා” කියා බොට්ස්වානා වන ජීවී සංරක්ෂණයක මාර්ගෝපදේශකයෙක් වන විලි ෆාන් නිකෙර්ක් පැවසුවා. “සෙට්සෙ මැස්සා තුරන් කළහොත්, ගවයන් ආක්‍රමණය කරයි, නාස්ති වී ගිය විශාල භූමියක් බවට අර්ධද්වීපයම පත් කරන, කැලෑ එළි කරන, අප්‍රිකාවේ විනාශ කරන්නෝ ගවයන්.” ඔහු මෙසේත් පැවසුවා: “මැස්සා ජීවත්ව සිටිය යුතුයි.”
හැමදෙනාම ඊට එකඟ නොවන බව අමුතුවෙන් කීම අවශ්‍ය නෑ. තම දරුවන් හෝ ගවයන් ට්රිපනොසෝමියාවෙන් පෙළෙනවා දකින මිනිසෙකුට මෙම තර්කයෙන් වැඩක් වෙන්නේ නෑ. අප්‍රිකාවට පෝෂණය සඳහා ගවයන් අවශ්‍ය බවට තර්ක කරන අයටද වැඩක් වෙන්නේ නෑ.
කොහොමනමුත්, සෙට්සෙ මැස්සා ස්වභාව ධර්මය තුළ ඉටු කරන වැඩ කොටස ගැන ඉගෙනීමට තව බොහෝ දේ තිබෙන බවට කිසිම සැකයක් නෑ. ඌට විරුද්ධව තිබෙන චෝදනා බලවත් බව පෙනෙන්ට තිබුණත්, විනිශ්චයක් කිරීමට සමහරවිට කල් වැඩි වෙන්න පුළුවන්.
මැස්සෝ ගැන කතා කරද්දී, මේ දැන් කාමරයට එකෙක් ඇවිල්ලා. මට සමාවෙන්න, මං ඉක්මනට බලලා එන්නම් ඒ සෙට්සෙ මැස්සෙක්ද නැද්ද කියලා.
[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
සෙට්සෙ මැස්සා: ©Martin Dohrn, The National Audubon Society Collection/PR