‘වික්කලුන්ගේ දිව පවා කතා කරන්නේය’
එය චෙකොස්ලොවැකියාවේ (දැන් චෙක් ජනරජය) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ එක්දින විශේෂ එක්රැස්වීමේ දහවල් සැසිවාරයයි. සිය ගණනක් පැමිණ සිටියේ බයිබල් උපදෙස් ලබාගැනීමටයි. මම වේදිකාවේ පිටුපස සිටගෙන වැඩසටහනේ මගේ කොටස සෝදිසි කරමින් සිටියා. ඒ කොටස බැරෑරුම් කොටසක් නොවෙයි. යෞවන සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අද්දැකීම් ඉදිරිපත් කරන්නත්, මට එම කොටසේ සභාපති ලෙස නිකම් කටයුතු කරන්නත් විතරයි තිබුණේ. එදා උදේ මට දැඩි ඇතුළාන්ත පීඩනයක් දැනුණ අතර, මේ වෙද්දි ඒක ටික ටික වැඩිවේගන ආවා. මම වචනාර්ථයෙන්ම කිසිවක් කරකියා ගත නොහැකි වී දැඩි කනස්සල්ලට පත් වූ අතර, මට කතා කරගන්ට බැරි වුණා.
එවැනි තත්වයන් උඩ සෑම කෙනෙකුම පාහේ කලබලයට පත් වන බව ඔබ සිතාවි. නමුත් මෙය නිකම්ම කලබලයට පත්වීමට වඩා වැඩි යමක්. ඒ ඇයි කියල පැහැදිලි කරන්න මට ඉඩ දෙන්න.
මගේ කතා කිරීමේ ගැටලුව
මට වයස අවුරුදු දොළහේදී, මාව වැටිලා මගේ ඔළුවටත්, බෙල්ලටත්, සුෂුම්නාවටත් හානි සිදු වුණා. එදා ඉඳලා මට ඉඳලා හිටලා ගොත ගැහෙන්නත් එහෙමත් නැත්නම් වචන ගොඩනඟද්දී, විශේෂයෙන්ම පයන්න, කයන්න, ටයන්න, ඩයන්න සහ මයන්න වගේ අකුරුවලින් පටන්ගන්න වචන ගොඩනඟද්දී දුෂ්කරතාවකට මුහුණ දෙන්නත් සිදු වුණා. සමහර වෙලාවට මට කතා කරගන්නම බැරුව ගියා.
එවකට එම ගැටලුව මට එතරම්ම කරදරයක් වුණේ නැහැ; ඒක නිකම්, අපහසුතාවක් හැටියට විතරයි පෙනුණේ. නමුත් වසර ගණනාවක් පහු වෙන කොට, ඕනෑම ආකාරයකින් ප්‍රසිද්ධියේ ජනයාට කතා කිරීමට මා තුළ භයක් වර්ධනය වුණා. දවසක් මම ඉස්කෝලෙ, යම්කිසි වාර්තාවක් පංතියට ඉදිරිපත් කරමින් ඉද්දී කලන්තෙ දාලා වැටුණා. සමහර වෙලාවට මම බඩු මුට්ටු ගන්න කඩයකට ගියාම අලෙවි සේවකයන් අහනවා මොනවද මට ඕනෙ කියල; නමුත් මට ඔවුන්ට උත්තර දීගන්න බැරුව යනවා. මම කතා කරන්න සටනක් කරද්දී, ඔවුන්ගේ නොරිස්සුම් ගතිය වැඩි වෙනවා: “ඉක්මන් කරන්න. මට මෙතන දවසම ඉන්ඩ බෑ. අනිත් මිනිස්සුත් බලං ඉන්නවා.” ප්‍රතිඵලයක් වශයෙන් මට ඕන කරන දේවල් මිල දී ගන්න බැරුව යනවා.
මගේ පාසැල් කාලය හරිම අමාරු කාලයක් වුණා. මට කටවචනයෙන් වාර්තාවන් ඉදිරිපත් කිරීමට සිදු වුණාම, පාසැලේ යාළුවෝ මගේ ගොත ගැසීම නිසා මාව සිනහවට ලක් කළා. එහෙත්, මම උසස් පාසැලෙන් සමත් වී, 1979දී, අධ්‍යාපනය සඳහා චෙකොස්ලොවැකියාවේ, ප්‍රාග්හි පිහිටි විශ්වවිද්‍යාලයකට ගියා. මම මලල ක්‍රීඩාවට කැමැත්තක් දැක්වූ නිසා, සරඹ ගුරුවරයෙක් වීම සඳහා පාඨමාලාවක් හැදෑරුවා. නමුත් මගේ ඉලක්කය ඉටු කරගන්නේ කොහොමද? මට යම් සැක පහළ වුණත් ඉදිරියටම යන්න මම අධිෂ්ඨාන කරගත්තා.
උපකාරය සෙවීම
මගේ කතාවේ වික්කල් ගතිය නැති කරගැනීමට යම් මඟක් තියෙන්න ඕනෙ. ඉතින් විශ්වවිද්‍යාලයෙන් සමත් වූවාට පසුව විශේෂඥ උපකාරය ලබාගන්න තදින්ම සිතාගත්තා. කතා කිරීමේ දෝෂවලට විශේෂඥ ප්‍රතිකාර සපයන සායනයක් ප්‍රාග්හි තිබෙන බව සොයාගත්තා. ප්‍රාථමික වෛද්‍ය උපදෙස් ලබද්දී, එක් හෙදියක්: “ඔයාගේ ස්නායු අමාරුව අමුතුම එකක්!” කියා අපරීක්ෂාකාරිව ප්‍රකාශ කළා. විශේෂඥයන් වික්කලය ස්නායු ආබාධයක් නොවන බවට එකඟ වුවත්, ඇය මා ස්නායු ආබාධයකින් පෙළෙන්නෙක් ලෙස සැලකූ බව සිතීම මට දැඩි වේදනාවක් ගෙන දුන්නා. මම අද්විතීය අභියෝගයකට මුහුණ දෙමින් සිටින බව තේරුම්ගැනීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ: අනිත් සියලුම ලෙඩ්ඩු ළමයින් වන විටදී, මම විතරක් අවුරුදු 24ක යෞවනයෙක්.
ඉක්මනින්ම, මානසික වෛද්‍යවරයා ඇතුළු මුළු කාර්ය මණ්ඩලයම, මට උපකාර කිරීමේ යෙදී සිටියා. ඔවුන් හැකි සෑම දෙයක්ම කරන්න උත්සාහ කළා. වරක්, සති පහකට මට කාත් එක්කවත් කතා කිරීම තහනම් කළා. තවත් වරක්, එකම ස්වරයකින් බො-හො-ම හෙමින් කතා කරන්න ඉඩ දුන්නා. මෙම උත්සාහය උපකාරි වුවත් නයි නටවන්නා යන විකට නාමය පට බැඳුණා. ඊට හේතු වූයේ, මම වාර්තා කියවන අතරතුර බොහෝදෙනෙක් නිදා වැටීමයි.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ සම්බන්ධ වීම
එක්දහස් නවසිය අසූහතරේ ශරත් ඍතුවේ එක දවසක, මම ටවුමෙ කඩමණ්ඩියට යන කොට, යෞවනයන් දෙන්නෙක් මා වෙතට ළං වුණා. ඔවුන්ගේ බාහිර පෙනුම නොවෙයි මාව පුදුමයට පත් කළේ, ඒත් ඔවුන් කී දෙයයි. ඔවුන් කීවේ දෙවියන්වහන්සේට ආණ්ඩුවක් එනම් රාජ්‍යයක් තිබෙනවා; එය මනුෂ්‍යවර්ගයාගේ සියලුම ප්‍රශ්න අවසන් කරනවා කියලයි. ඔවුන් තම දූරකථන අංකය දුන්නා. පසුව මම ඔවුන්ව ඇමතුවා.
එවකට චෙකොස්ලොවැකියාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයන් ආගමික කණ්ඩායමක් ලෙස නීත්‍යනුකූලව හඳුන්වා තිබුණේ නැහැ. එහෙත් වැඩි කලක් යන්ට මත්තෙන් මගේ උනන්දුව බොහෝ සේ වර්ධනය වූ අතර, ඔවුන්ගේ රැස්වීම්වලට යෑමට පටන්ගත්තා. සාක්ෂිකාරයන් එකිනෙකාට තිබූ ප්‍රේමය සහ සැලකිල්ල මට හොඳටම දැනෙන්න වුණා.
විශ්වාසය දෙසට යන මඟ
කතා කිරීමේ ගැටලුවට උපකාරය පැමිණියේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සෑම සභාවකම සතිපතා පවත්වනු ලබන, දිව්‍යාණ්ඩු සේවා පාසැල කියන පාසැල තුළිනුයි. එයට ඇතුල්වීමට බලවත් ලෙස උනන්දු කරනු ලැබීමෙන් පසු මම එය කළා. දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත යන, පාසැලේ එක් අච්චු පොතක ඉදිරිපත් කර ඇති යෝජනා මත පදනම්ව ව්‍යක්තභාවය, උච්චාරණය, අර්ථය අවධාරණය කිරීම සහ හඬ පාලනය වැනි කථික ගුණාංග මත වැඩ කළා.a
මගේ පළමුවන ශිෂ්‍ය කතාව, බයිබල් කියවීමක්; ඒක නම් අන්තිම නිෂ්ඵල එකක් වුණා. මම හොඳටම කලබල වුණා විතරක් නෙවෙයි, කතාව ඉවර කරගත්තෙ බොහොම අමාරුවෙනුයි. උණු වතුර ටික නා ගත්තයින් පසු ඇති වූ විවේක සුවය ගැන මම මොනතරම් ස්තූතිවන්ත වෙනවාද!
එම පළමුවන කතාවෙන් පසුව, පාසැල් අවේක්ෂක කාරුණිකව මට පෞද්ගලික අවධානය දුන්නා. ඔහු ගොඩනංවනසුලු උපදෙස් දුන්නා පමණක් නෙමෙයි, මාව පැසසුමට ලක් කළා. නොකඩවා උත්සාහ කරන්න ඒක මට ධෛර්යය ලබා දුන්නා. ඊට ටික කාලයකට පස්සෙ, 1987දී, මම බව්තීස්ම ලත් සාක්ෂිකාරයෙක් බවට පත් වුණා. මාස කිහිපයකට පස්සෙ, මම ප්‍රාග්හි සිට නිසංසල පුංචි ටවුමක් වන ස්ඩා නාඩ් සාසාවෝවලට ගියා. එහි පිහිටි සාක්ෂිකරුවන්ගේ පුංචි ප්‍රාදේශීය කණ්ඩායම මාව උණුසුම්ව පිළිගත්තා. තවමත් තියෙන මගේ නවතිනසුලු කතාව ඔවුන් පිළිගත් අතර, එය මගේ ආත්ම-විශ්වාසය වැඩි කළා.
අවසානයේදී, කුඩා බයිබල් පාඩම් කණ්ඩායමක් මෙහෙයවන්න පටන්ගත්තා; ඊට පස්සෙ මගේ පළමුවන ප්‍රසිද්ධ බයිබල් කතාව ඉදිරිපත් කළා. පසුකාලයේදී, චෙකොස්ලොවැකියාවේ ආණ්ඩුව වෙනස් වුණාම, අසල්වැසි සභාවලදීත් එවැනි කතා ඉදිරිපත් කරන්න පටන්ගත්තා. පුරුදු නැති වාතාවරණයන් තුළ මගේ කතා කිරීමේ ගැටලුව නැවත පැනනැංගත්, මම අතහැරියෙ නැහැ.
විශේෂ අභියෝගයන්වලට මුහුණ දීම
එක් දිනක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් ඔහු රැකියාව කරන ස්ථානයට මට ආරාධනා කළා. ඔහු කීවා: “පෙටර්, ඔයා වෙනුවෙන් මට හොඳ ආරංචියක් තියෙනවා! අපි කැමතියි ඔයාව ඉදිරියේ පැමිණෙන චාරිකා එක්රැස්වීමට සහභාගි කරවගන්න.” මට කලන්තෙ ගතියක් දැනුණ නිසා ඉඳගන්න ඕන වුණා. මගෙ මිත්‍රයාගේ බලාපොරොත්තුව සුන් කරමින්, ඒ ඉදිරිපත් කිරීම මම ප්‍රතික්ෂේප කළා.
එම ප්‍රතික්ෂේප කිරීම මා තුළ හොල්මන් කරන්න පටන්ගත් නිසා, එය මගේ මනසින් ඉවත් කරගන්න බැරුව ගියා. ක්‍රිස්තියානි රැස්වීම් අතරතුර දෙවියන්වහන්සේ මත විශ්වාසය තබන්න කියා සඳහන් කරන සැමවිටම මං කළ ප්රතික්ෂේපය ගැන මතක්වීමෙන් මට මහත් වේදනාවක් ඇති වුණා. ගිඩියොන්, මනුෂ්‍යයන් 300දෙනෙක් එක්ක දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම මත මුළු මිදියන් හමුදාවටම විරුද්ධව මුහුණ දුන් ආකාරය ගැන සමහර අවස්ථාවල රැස්වීම්වලදී යොමු දැක්වූවා. (විනිශ්චයකාරයන් 7:1-25) මේ මනුෂ්‍යයා ඇත්තටම යෙහෝවඃ දෙවියන්වහන්සේ මත විශ්වාසය තැබුවා! ඒ පැවරුම ප්‍රතික්ෂේප කරද්දී මම ගිඩියොන්ගේ ආදර්ශය අනුගමනය කළාද? අවංකවම මට කිව හැකියි මම එසේ කළේ නැහැ කියා. මට ලැජ්ජා හිතුණා.
නමුත්, මගේ ක්‍රිස්තියානි සහෝදරයන් මාව කොහොමවත් අත්හරින්න කැමති වුණේ නැහැ. ඔවුන් මට තව ප්‍රස්තාවක් ලබා දුන්නා. මට එක්දින විශේෂ එක්රැස්වීමකට සහභාගි වන්න ආරාධනා ලැබුණා. මේ අවස්ථාවේ මම එකඟ වුණා. මේ වරප්‍රසාදය ගැන මම කෘතඥපූර්වක වූවත්, අවංකවම, සෙනඟගෙන් පිරුණු ශාලාවක් ඇමතීම ගැන හිතන විට මාව ගල් ගැහුණා. මට ඇත්තවශයෙන්ම යෙහෝවඃවහන්සේ කෙරෙහි මගේ විශ්වාසය වැඩිදියුණු කරගැනීම සඳහා වැඩ කරන්න සිද්ධ වුණා. ඒත් ඒ කොහොමද?
අනිකුත් ක්‍රිස්තියානීන් උන්වහන්සේ මත ඇදහිල්ල සහ විශ්වාසය තබා ඇති ආකාරය ගැන සම්පූර්ණයෙන්ම සහ ඉතා පරෙස්සමින් සලකා බැලීමෙනුයි. එසේ කිරීම මාව ශක්තිමත් කළා. මගේ මිතුරෙකුගේ දියණියක් වන, හය හැවිරිදි වෙරුංකා එවූ ලිපියක් පවා මට හොඳ ආදර්ශයක් ලෙස ක්‍රියා කළා. ඇය ලියල තිබුණේ මෙහෙමයි: “සැප්තැම්බර් මාසෙදි මම ඉස්කෝලෙ යනවා. ජාතික ගීය ගායනා කිරීම ගැන නම් මොනව වෙයිද කියල දන්නෙ නෑ. මම විශ්වාස කරනවා යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල් වෙනුවෙන් කළා වගේ, මං වෙනුවෙනුත් සටන් කරයි කියලා.”
හොඳයි, මම මුලින් කතා කරමින් සිටි එක්දින විශේෂ එක්රැස්වීමේ දහවල් සැසිවාරය දක්වා මඟ පෙන්වූ සිද්ධීන් කිහිපයකුයි ඒ. මම ඉතා උනන්දුවෙන් යාච්ඤා කළා. විශාල සබයක් ඉදිරිපිට දෙවියන්වහන්සේගේ මහත් නාමය ප්‍රශංසාවට පත් කරන්න තියෙන විට, මගේ කතාවේ ව්‍යක්තභාවය ගැන එච්චරම කලබල වුණේ නැහැ.
ඉතිං වේදිකාවේ මා ඉදිරියේ සකස් කර තියෙන මයික්‍රෆෝනය ඉදිරිපිට සිටගෙන මනුෂ්‍යයන් සිය ගණනකට මුහුණ දෙමින් සිටියා. ඊට පසුව, පණිවුඩකාරයාට වඩා පණිවුඩය වැදගත් බව තේරුම්ගෙන, ගැඹුරු හුස්මක් අරං කතාව පටන්ගත්තා. ඊට පස්සේ සිදු වූ දේ සලකා බැලීමට මට කාලය තිබුණා. මම කලබලයට පත්ව සිටියාද? නිසැකවම. ඒවගේම මම කිහිපවතාවක් ගොත ගැහුවා. එහෙත්, මම දැනගෙන හිටිය දෙවියන්වහන්සේගේ උපකාරය නැතුව මට කොහෙත්ම කතා කිරීමට බැරි වෙන බව.
පසුව, එක්තරා ක්‍රිස්තියානි සහෝදරයෙක් මට කිවූ යමක් මත හොඳටම කල්පනා කරන්න පටන්ගත්තා. ඔහු කීවේ: “වික්කල් ගැටලුව තියෙන නිසා සතුටු වන්න” කියලයි. ඔහු ඒ වෙලාවෙ එහෙම කියද්දි, මම ඇත්තටම පුදුම වුණා. එයා කොහොමද එහෙම දෙයක් කියන්නෙ? ආපසු හැරී බලද්දී, මට දැන් තේරෙනවා එයා අදහස් කළේ මොකක්ද කියලා. මගේ කතා කිරීමේ ගැටලුව, මා මත විශ්වාසය තබනවාට වඩා දෙවියන්වහන්සේ මත විශ්වාසය තබන්න උදව් වී තිබෙනවා.
ඒ එක්දින විශේෂ එක්රැස්වීමේ දහවල් සැසිවාරය තිබූ දා සිට වසර කිහිපයක් ගත වී හමාරයි. එම වසර කිහිපය අතරතුර විශාල සබයන්ට කතා කිරීම ඇතුළත් තවත් වරප්‍රසාද මට ලැබී තියෙනවා. ස්ඩා නාඩ් සාසාවෝහි ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් ලෙස මාව පත් කළ අතර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයන් හඳුන්වා දෙන පරිදි පූර්ණ කාලීන දේවසේවකයෙක් වන පුරෝගාමියෙක් බවට පත් වුණා. හිතන්න! එවිට මම අපගේ ක්‍රිස්තියානි රැස්වීම්වල ඉගැන්වීමට සතිපතා ගත කරන කාලයට අමතරව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන අන් මනුෂ්‍යයන්ට කතා කරමින් සෑම මාසයකම පැය සියයකටත් වැඩිය ගත කරනවා. දැන් මම සෑම සතියකම වෙනත් සභාවකට කතා ඉදිරිපත් කරමින් චාරිකා අවේක්ෂකයෙකු ලෙස සේවය කරනවා.
යෙසායාගේ බයිබල් පොතේ මෙම විශේෂ අනාවැකිය කියවන විට මගේ හෘදය අගය කිරීමෙන් ඉතිරී යනවා; එනම්: “වික්කලුන්ගේ දිව පහසුවෙන් පැහැදිලිලෙස කථාකරන්නේය.” (යෙසායා 32:4; නික්මයාම 4:12) යෙහෝවඃවහන්සේ මා සමඟ සිටි බව ඔප්පු කර තිබෙන අතරම උන්වහන්සේගේ ගෞරවයත්, ප්‍රශංසාව සහ තේජසත් සඳහා ‘පැහැදිලි දේ කතා කිරීමට’ උපකාර කර තිබෙනවා. අපගේ මහත් දයාන්විත දෙවියන්වහන්සේට ප්‍රශංසා ගෙන ඒමට හැකිවීම ගැන මම මහත් ප්‍රීතියටත් සෑහීමටත් පත්ව සිටිනවා.—පෙටර් කුන්ට්ස් පැවසූ පරිදි.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.