ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 1/8 8-12 පි.
  • ණය නොවී සිටීමට මාර්ගය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ණය නොවී සිටීමට මාර්ගය
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අයවැය විරෝධී ආකල්පයකින් ගොඩ ඒම
  • ආරම්භයක් දීම
  • මාසික වියදම් ලැයිස්තුගත කිරීම
  • එය අත්‍යවශ්‍යද?
  • ණය අඩු කරගන්න
  • ඔබ සාර්ථක වේවිද?
  • මුදල් පාලනය කරන්නේ කෙසේද?
    2011 පිබිදෙව්!
  • 2 | ජීවනෝපාය රැකගන්න
    2022 පිබිදෙව්!
  • අරපරෙස්සමින් වියදම් කරන්නේ කොහොමද?
    2006 පිබිදෙව්!
  • ලැබෙන ආදායම අඩු වෙලාද?
    තවත් ලිපි
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 1/8 8-12 පි.

ණය නොවී සිටීමට මාර්ගය

මෙම වෙනස් වන කාලවලදී, පවුලේ සම්පත් හැසිරවීම අභියෝගයක් විය හැකියි. ඔබට මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද?

ආදායම වැඩි කරගැනීම, අනිවාර්යයෙන්ම පිළිතුර නොවේ. මූල්‍ය විශේෂඥයන් පවසන පරිදි, පිළිතුර ගැබ් වී තිබෙන්නේ, මුදල් පැමිණෙන්නේ කොහෙන්ද යන්නේ කොයිබටද යන්න ගැන සුපරීක්ෂාවෙන් සිටීම මෙන්ම, ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් යුත් තීරණ ගැනීමට කැමැත්තෙන් සිටීම මතය. මෙය කිරීමට, ඔබට අයවැය ලේඛනයක් අවශ්‍යය.

අයවැය විරෝධී ආකල්පයකින් ගොඩ ඒම

කෙසේවෙතත්, අයවැය ගැන කියද්දී, “මිනිස්සු ලෝකෙ නැති දේවල් හිතනවා” කියා මූල්‍ය උපදේශිකා ග්‍රේස් වයින්ස්ටයින් ප්‍රකාශ කරන්නීය. ඉතිං බොහෝදෙනෙක්, අයවැය වාර්තාවක් සකස් කරගන්නේ නැත. සමහරුන්ගේ මතයට අනුව අයවැයක් පිළියෙළ කරන්නේ අඩු ආදායමක් හෝ අඩු අධ්‍යාපනයක් තිබෙන අයයි. එහෙත් ඉහළ ආදායමක් ඇති වෘත්තිකයන්ට පවා මුදල් ප්‍රශ්න තිබේ. එක්තරා මූල්‍ය උපදේශිකාවක් කියන්නේ, “අවුරුද්දට එ.ජ. ඩොලර් 1,87,000ක් ඉපැයූ මගෙන් මුලින්ම වාගේ මූල්‍ය උපදෙස් ගත් කෙනෙක් හිටියා. . . . ඒත් ඒගොල්ලන්ගේ ක්‍රෙඩිට් කාඩ් ණයම විතරක්, ඩොලර් 95,000ට ටිකක් අඩුවෙන් තිබුණා.”

කලින් සඳහන් කළ මයිකල්, මූල්‍ය උපදෙස් ලබාගන්ට කැමැත්තක් නොදැක්වූයේ වෙන හේතුවක් නිසායි. ඔහු මෙසේ පිළිගත්තේය: “මම බොළඳ, මෝඩයෙක් කියල අනිත් අය හිතයි කියලා මං භය වුණා.” එහෙත් එවන් බියකට කිසිම පදනමක් නැහැ. මුදල් හැසිරවීම හා මුදල් ඉපයීම සඳහා වඩා වෙනස් ආකාරයක නිපුණත්වයක් අවශ්‍යය. එහෙත්, බොහෝදෙනෙකුට මුදල් පාලනය කිරීමට පුහුණුවක් නැත. සමාජ සේවිකාවක් පෙන්වන්නේ, “අපි උසස් පාසැලෙන් සමත් වෙන කොට, අපට මුදල් ඉතිරි කරන එකට වඩා, සමද්විපාද ත්‍රිකෝණය ගැන තියෙන දැනුම වැඩියි” කියාය.

කොහොම වුණත්, අයවැය වාර්තාවක් සකස් කිරීමට ඉගෙනගැනීම, තරමක් පහසුය. ඊට අයත් වන්නේ, ආදායම් ලැයිස්තුවක් සහ වියදම් ලැයිස්තුවක් සාදාගැනීමයි—ඉන්පසුව වියදම්, ආදායම තුළ රඳවා ගැනීමයි. ඇත්තෙන්ම, අයවැය ලේඛනයක් සකස් කරගැනීම ප්‍රයෝජනවත් මෙන්ම, ඒ අනුව ජීවිතයේ කටයුතු සකස් කරගැනීම, තෘප්තිකර දෙයක් විය හැකියි.

ආරම්භයක් දීම

ආදායම් ලැයිස්තුවක් සාදාගැනීමෙන් අපි මෙය පටන්ගනිමු. සාමාන්‍යයෙන් එයට අයත් වන්නේ, වැටුප, ඉතිරි කිරීමේ ගිණුමේ පොලී වැනි අයිතම කිහිපයක් විතරක් වන නිසා, අපෙන් බොහෝදෙනෙකුට මෙය ලෙහෙසි දෙයක් විය යුතුයි.

එහෙත්, අතිකාල ගෙවීම්, පාරිතෝෂික දීමනා හෝ තෑගි වැනි අස්ථිර ආදායම් සම්බන්ධයෙන් ගණන් තබාගන්න එපා. මූල්‍ය කටයුතු පිළිබඳව උපදේශකයන් අනතුරු අඟවන්නේ, අස්ථිර ආදායම් මාර්ග මත සැලසුම් කිරීම, ඔබව ණයවීමට මඟ පාදනු ඇති බවය. එවැනි ආදායමක් ලැබුණොත්, එම මුදල, ඔබගේ පවුලේ අයට විශේෂ සංග්‍රහයක් කිරීම සඳහා, අවශ්‍යතාව ඇති අයට උපකාර කිරීම සඳහා හෝ සුදුසු යමක් වෙනුවෙන් සම්මාදම් කිරීම සඳහා තෝරාගැනීමට ඔබට හැකිය.

කෙසේවෙතත්, වියදම් ලැයිස්තුවක් සෑදීම ටිකක් පැටලෙන වැඩක්. කලින් ලිපියේ සඳහන් කළ රොබට් සහ රොන්ඩාට, තමන් මහන්සි වෙලා හම්බ කරන සල්ලි කොහේ ගියාද කියලා හිතාගන්නවත් බැරුව ගියා. ගැටලුව විසඳාගත් අයුරු රොබට් පැහැදිලි කරන්නේ මෙහෙමයි: “එක මාසයකදී, වෙනවෙනම කඩදාසි කැබලි දෙකක් අරගෙන ගිහිල්ලා, අපි වියදම් කරපු හැම තඹ දොයිතුවක්ම ඒකෙ ලියාගත්තා. කෝපි එකකට ගිය ගාන පවා ලියාගත්තා. හැම දවසකම අවසානයේදී, මම ගත්තු අයවැය පොතේ අපිට වියදම් වුණු ගණන් ලියාගත්තා.”

ඔබ වියදම් කරන හැම දෙයක් ගැනම කල්පනාකාරිව සටහන් තැබීම, අභිරහස් ලෙස අතුරුදහන් වුණායයි පෙනෙන සල්ලිවලට හරියටම සිදු වුණේ මොකක්ද කියා සොයාගැනීමට උපකාරයකි. කෙසේවෙතත්, ඔබ ඔබේ වියදම් කිරීමේ පුරුදු දන්නේ නම්, දිනපතා වියදම් කරන අයිතමයන් නොසලකා හැර, මාස්පතා සිදු කරන වියදම්වල ලැයිස්තුවක් සකස් කරගැනීමට තීරණයක් ගත හැක.

මාසික වියදම් ලැයිස්තුගත කිරීම

ඉහත දක්වා ඇති ආකාර සටහනක් සකස් කරගන්ට ඔබ කැමති විය හැක. “සැබෑ වැය” තීරුවේ, සෑම අයිතමයක් සඳහාම දැනට ඔබ වැය කරන ප්‍රමාණය ඇතුළත් කරන්න. ප්‍රධාන කාණ්ඩ ප්‍රමාණය සීමා කරන අතරතුර, ඒ සඳහා “ආහාර,” “නිවාස” සහ “ඇඳුම්” ආදි මාතෘකා පාවිච්චි කරන්න. කොහොම වුණත්, ඊට අදාළ උපකාණ්ඩ අත්හරින්න එපා. රොබට් සහ රොන්ඩාගේ මුදල්වලින් වැඩි හරියක් ගියේ, භෝජන ශාලාවලට යෑම නිසාය; ඒ නිසා “සිල්ලර බඩු” යන්නෙන් “පිටින් කෑම” යන්න වෙන් කිරීම උපකාරවත් වූ බව ඔප්පු විය. අන්‍යයන්ට ආගන්තුක සත්කාර කිරීමෙන් ඔබ ප්‍රීතියක් භුක්තිවිඳිනවා නම්, මෙයත් “ආහාර” යටතේ උපකාණ්ඩයක් ලෙස නම් කළ හැකිය. මෙහි අරමුණ නම්, ඔබගේ පෞද්ගලිකත්වය සහ ඔබ වඩා කැමති දේවල් සටහන තුළින් පිළිබිඹු කරවීමයි

ඔබේ සටහන පිළියෙළ කරන විට, රක්ෂණ සහ බදු වැනි වාරික, අර්ධ වාරික, වාර්ෂික සහ කලින් කලට ගෙවන වෙනත් ගෙවීම් ගැනත් අමතක කරන්න එපා. කෙසේවෙතත්, එය මාසික සටහනට ඇතුල් කිරීමට නම්, ඒවා නියමිත මාස ගණනින් බෙදන්ට අවශ්‍යයි.

“ඉතිරි කිරීම්” වැය ලැයිස්තුවක ඇති ඉතාමත් වැදගත් අයිතමයකි. ඉතිරි කිරීම් වියදමක් ලෙස බොහෝදෙනෙකු නොසිතුවත්, හදිසි අවස්ථාවන් හෝ විශේෂ අරමුණු වෙනුවෙන් මාසික ආදායමෙන් යමක්, ඔබ ඥානවන්තව වෙන් කරනවා ඇත. ඔබේ වැය ලැයිස්තුවේ ඉතිරි කිරීම් ඇතුළත් කිරීමේ වැදගත්කම ග්‍රේස් වයින්ස්ටයින් මෙසේ කාවද්දවයි: “ඔබේ ආදායම් බද්ද ගෙව්වාට පස්සෙ, ඉතිරියෙන් සියයට පහක් (ඒකත් ඉතා සුළු ගණනකි) ඉතිරි කරන්න බැරි නම්, තද ක්‍රියාමාර්ගයක් ගන්න සිදු වේවි. ණයට ගන්න එකෙන් වළකින්න; ජීවන රටාව යළි සකස් කරගන්න; මූලික අවශ්‍යතා කෙරෙහි විතරක් සැලකිලිමත් වෙන්න.” ඔව්, ඔබේ අයවැයට ඉතිරි කිරීම් ඇතුල් කිරීමට මතක තියාගන්න.

විරැකියාවට මුහුණ දීමට සිදු වුවහොත්, එවන් කලකින් යම් සහනයක් ලබාගැනීමට හැකි වන පිණිස, අඩුම තරමින් මාස හයකදී උපයන තරම් ප්‍රමාණයක්වත් ඉතිරි කිරීම දැන් පොදුවේ නිර්දේශ කර තිබේ. “ඔබේ ආදායම වැඩි වුණොත්, ඉන් භාගයක් ඉතිරි කරන්න” යයි එක්තරා මූල්‍ය උපදේශකයෙක් පවසයි. ඉතිරි කිරීමට නොහැකියයි ඔබට හැඟෙනවාද?

ඉන්දියාවේ පිටිසර ප්‍රදේශවල සිටින බොහෝදෙනා මෙන් ඉතා දිළිඳු ලක්ෂ්මි බායි ගැන සලකා බලන්න. ඇගේ පවුල වෙනුවෙන් කෑම පිසිද්දී, දිනපතා කොටසෙන් හාල් මිටක් වෙනම මැටි මුට්ටියකට දමන්ට පටන්ගත්තා. කලින් කලට, මෙම හාල් විකුණූ ඈ, එම මුදල බැංකුවේ තැන්පත් කළා. මෙය, තම පුතුට බයිසිකල් විංකලයක් දැමීමට බැංකු ණයක් ගැනීම සඳහා පියවරක් වුණා. ඉන්ඩියා ටුඩේ වාර්තා කරන විදිහට, එවැනි සුළු ඉතිරි කිරීම්, බොහෝදෙනෙකුගේ ජීවිත තුළ විශාල වෙනස්කම් සිදු කර ඇත. ඇත්තෙන්ම, මෙය සමහරදෙනෙකුට ආර්ථිකව කිසිවෙකුට යටත් නොවී සිටීම සඳහා, කළ හැකි දෙයක් වග පෙන්වා ඇත.

කෙසේවෙතත්, අයවැය සමතුලිත කිරීම යන්නෙන් අදහස් කරන්නේ, ආදායම් සහ වියදම් සඳහා ලැයිස්තුවක් පිළියෙළ කිරීමට වඩා වැඩි යමකි. වියදම්, ආදායම් තුළ රඳවාගැනීම මෙයට අයත් වන අතර, සමහරවිට ඔබේ වියදම් කිරීම් කපා දැමීමටත් සිදු විය හැකිය.

එය අත්‍යවශ්‍යද?

නවවන පිටුවේ පෝර්මයේ “අත්‍යවශ්‍යද?” යන ශීර්ෂය සැලකිල්ලට ගන්න. විශේෂයෙන්ම “තක්සේරු කළ වියදම් ප්‍රමාණය” යන තීරුව, ආදායම්වලට වඩා වැඩි නම් මෙම තීරුව සලකා බැලීම අත්‍යවශ්‍ය වෙයි. කොහොම වුණත්, යම් අයිතමයක් අත්‍යවශ්‍යද, ඒ සඳහා කොපමණ මුදලක් යෙදවිය හැකිද යන්න තීරණය කිරීම අභියෝගයක් විය හැක. විශේෂයෙන්ම, අවශ්‍ය දේවල්යයි ජන මාධ්‍ය තුළින් දැන්වීම් පළ කරන, ඉතා වේගයෙන් නොකඩවා පාරිභෝගිකයා අතට පත් වන අලුත් නිෂ්පාදන මෙම වෙනස් වන කාලය තුළ අපට අභියෝගයකි. සෑම වියදමක්ම නැතුවම බැරි, සැක සහිත අවශ්‍යතාවක් හෝ සැප පහසුවට තිබුණා නම් හොඳයි යනුවෙන් වෙන් කරගැනීම උපකාරවත් වෙයි.

ඔබ ලැයිස්තුගත කළ සෑම වියදමක්ම බලන්න. සැලකිලිමත්ව ඇගයීමක් කළාට පසුව, ඔබගේ “අත්‍යවශ්‍යද?” තීරුවේ, නැතුවම බැරි දෙයක් නම් “ඔව්” හැටියටද, සැක සහිත අවශ්‍යතාවක් “?” ලෙසද, තිබුණා-නම්-හොඳ යමක් නම් “හො” හැටියටද සඳහන් කරන්න. “තක්සේරු කළ වියදම් ප්‍රමාණය” තීරුවේ මුළු එකතුව, ඔබගේ මාසික ආදායමට වඩා වැඩි නොවිය යුතු බව මතක තබාගන්න!

කපාහැරීම ආරම්භ කළ යුතු වන්නේ, “?” සහ “හො” යන ලකුණු ඇති අයිතමයන්ගෙන්ය. මෙම වියදම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අත්‍යවශ්‍ය නොවිය හැක. මෙහි අරමුණ නම්, වියදමට සරිලන සේ යම් අයිතමයකින් සැබෑ ප්‍රයෝජනයක් තිබෙනවාද කියා පරීක්ෂා කර බැලීමත්, ඒ අනුව වියදම් කපාහැරීමත්ය. ඔවුන්ගේ ලැයිස්තුවෙන් රොබට් සහ රොන්ඩා දුටුවේ, කඩෙන් කෑම ගැනීම වෙනුවෙන් ඔවුහු මසකට ඩොලර් 500ක් වැය කරන බවයි. දෙදෙනාම මෙම පුරුද්දට වැටී සිටියේ, කෑම පිසීමට නොදැන සිටි නිසාය. එහෙත් රොන්ඩා ඉගෙනගන්ට පියවර ගත් අතර, මෙසේ පවසන්නීය: “උයන එක හරිම ප්‍රීතිමත් වැඩක් වගේම දැන් අපි වැඩි හරියක්, ගෙදරින්ම තමයි කන්නේ.” රොබට් ඊට මෙසේ එකතු කරයි: “දැන් අපි පිටින් කන්නේ, විශේෂ අවස්ථාවලදී නැත්නම් අවශ්‍යම වුණෝතිං විතරයි.”

තත්වයන් වෙනස් වුණොත් ඔබට අත්‍යවශ්‍ය මොනවාද කියා යළි සලකා බලන්න සිදු විය හැකියි. මුල් ලිපියේ සඳහන් කළ ඇන්තනිගේ වාර්ෂික ආදායම වේගයෙන් පහත වැටිණ. එය ඩොලර් 48,000 සිට ඩොලර් 20,000කට අඩු සංඛ්‍යාවක් දක්වා පහත වැටුණු අතර, අවුරුදු දෙකක් පුරා ඒ මට්ටමේම පැවතිණ. මෙය ඔබටත් වෙනවා නම්, වැඩිපුර වියදම් නොකර, ඒ සියල්ලම රඳවාගෙන, මූලික අවශ්‍යතා පිරිමැසීමට අයවැයක් සකස් කරගැනීම අවශ්‍යය.

ඇන්තනි කළේත් හරියටම ඒ දෙයයි. ආහාර, ඇඳුම්, ගමනාගමනය සහ විනෝද වීම ආදි බොහෝ දේවල් සම්බන්ධයෙන් මුදල් දැඩි ලෙස සීමා කිරීමෙන්, ඔහු තම නිවස යන්තමින් බේරාගත්තේය.a ඔහු මෙසේ පවසයි: “පවුලක් වශයෙන් අපේ සැබෑ අවශ්‍යතා සහ ඕනෑ එපාකම් නිශ්චය කරගන්න සිද්ධ වුණා. ඒ අද්දැකීමෙන් අපි ගොඩක් ප්‍රයෝජන ලැබුවා. දැන් අපි දන්නවා ලැබෙන ටිකෙන් වුණත් තෘප්තිමත් වන්නේ කොහොමද කියලා.”

ණය අඩු කරගන්න

අතේ මිටේ ඇති දෙයින් ජීවත්වීමට දරන වෑයමේදී, අපරීක්ෂාකාරිව ණයවීම, ඔබව කනස්සල්ලට පත් කළ හැකිය. දිනපතා වටිනාකම ඉහළ යන්නාවූ, නිවසක් මිල දී ගැනීමට දිගු කාලයක් සඳහා ගත් ණයක් යෙදවීම වාසිදායක විය හැකි අතර, එදිනෙදා ජීවිතයේ කටයුතු සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් යොදා ණයවීම විපත්තිදායක විය හැක. එබැවින්, නියූස්වීක් පවසන්නේ, “ක්‍රෙඩිට් කාඩ්පතක් පාවිච්චි කරමින් තුට්ටුවකවත් ණයක් ගෙවන්න එපා” කියායි.

මූල්‍ය විශේෂඥයන් දිරිගන්වන්නේ, ඔබේ ඉතිරි කිරීම්වලින් පවා අරගෙන හෝ ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවන ලෙසයි. අඩු පොලී අනුපාතයකට ඉතිරි කර, අධි පොලී අනුපාතයකට ණයක් පවත්වාගෙන යෑමේ කිසිම තේරුමක් නැත. මෙය තේරුම්ගත් මයිකල් සහ රීනා, තම ඉතිරි කිරීමේ බැඳුම්කරයෙන් මුදල් ගෙන ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් ණය ගෙවා දමා, එම තත්වයට නැවත නොවැටෙන්ට අධිෂ්ඨානය කරගත්තෝය.

එතරම් වත්කමක් නොතිබූ රොබට් සහ රොන්ඩා, මූලික අවශ්‍යතා පමණක් පියවීමට අයවැයක් පිළියෙළ කළහ. රොබට් මෙසේ පවසයි: “අපිට සෑම උදෑසනකම දකින්න පුළුවන් වන විදිහට අපේ කාමරයේ සුදු පාට බෝඩ් එකක් මත තීරු සටහනක් පිළියෙළ කළා; මාස්පතා අපේ ණය අඩු වන විදිහ ඒකෙන් දැකගන්න පුළුවන් වුණා. දිනපතාම ඒක අපිට දිරිගැන්වීමක් වුණා.” අවුරුද්ද අවසානයේදී, ඩොලර් 6,000ක් වූ ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් ණයෙන් නිදහස් වීම ගැන ඔවුන් කොපමණ සතුටු වුණාද!

සමහර රටවල ඉඩම උකසට තැබීම පවා, කලින් තරම් හොඳ ආයෝජනයක් නොවේ. ගෙයක් මිල දී ගැනීම පවා, අවසානයේදී, පොලී එකතු වන ක්‍රමයක් බවට පත් විය හැකිය. උකස් මුදල අඩු කරගැනීමට ඔබට කුමක් කළ හැකිද? නියූස්වීක් නිර්දේශ කරන්නේ, “එක්කෝ බැංකුවට ගෙවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් එකවර ගෙවන්න; එහෙම නැත්නම්, වටිනාකමින් අඩු ගෙයක් මිල දී ගන්න” කියාය. “ඔබට දැනටමත් ගෙයක් තිබෙනවා නම්, ඊට වඩා ලොකු හෝ හොඳ එකක් ගැනීමට ඇති මහත් ආශාව වළක්වා ගන්න.”

එකවර විශාල ගෙවීමක් කිරීම තුළින්, වාහන ණයක් ඔබට සෑහෙන දුරට අඩු කරගත හැක. නමුත්, එසේ කිරීමට, පවුලේ අයවැය වාර්තාවේ කාණ්ඩයක් ඇතුළත් කර, කල්වේලා ඇතුව ඉතිරි කිරීම ආරම්භ කිරීමට ඔබට සිදු වෙයි. කලින් හොඳින් පාවිච්චි කරන ලද වාහනයක් තෝරාගත්තොත් කොහොමද?b වඩා අඩු මූලික ගාස්තු, වඩා පහත් මට්ටමක මූල්‍ය ගෙවීම් ඉන් අදහස් කළ හැකිය. ඒ සඳහා ණයක් නොගෙවාම වාහනයක් මිල දී ගැනීමට ඔබට පුළුවන් විය හැකිය.

ඔබ සාර්ථක වේවිද?

ඔබේ අයවැය සාර්ථක කරගැනීමේදී ඔබ සමත් වෙනවාද යන්න බොහෝදුරට රඳාපවතින්නේ, එය යථාර්ථයට කෙතරම් සමීප එකක්ද යන්න මතයි. අයවැය වාර්තාවක් ක්‍රියාත්මක කරමින් සාර්ථකව ජීවත් වන යුවළක් ප්‍රකාශ කරන්නේ මෙසේය: “පවුල වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඒ මාසෙ වියදම් ගැටගහ ගන්න බැරි තරම් ඉතා කුඩා එකක් නම්, මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවේ.”

පවුල් සාමාජිකයන් අතර හොඳ අදහස් හුවමාරුව, අයවැය සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් ඉතා වැදගත් කාරණයකි. එම අයවැය බලපාන්නාවූ අයට සමච්චල් කිරීමකින් තොරව, තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දිය යුතුය. අදාළ පවුල් සාමාජිකයන් පවුලේ මූල්‍යමය තත්වය හරියටම කුමක්ද සහ එකිනෙකාගේ අවශ්‍යතා මොනවාද යන්න තේරුම්ගත්තොත්, පවුලේ අයවැය සාර්ථක කරගැනීමට වඩා හොඳ සහයෝගයක් සහ වඩා හොඳ ප්‍රස්තාවක් ලැබේ.

මෙම දුෂ්කර කාලවල, ලෝකයේ දසුන වෙනස් වෙමින් පවතිද්දී, පවුල්වල ආර්ථිකයට පීඩන එල්ල වීම වැඩි වෙයි. (2 තිමෝති 3:1; 1 කොරින්ති 7:31) අප විසින් නූතන ජීවිතයේ අභියෝගයන්ට උර දෙමින් සිටීම සඳහා, “ප්‍රායෝගික ප්‍රඥාව” ක්‍රියාවේ යෙදවීම අවශ්‍ය කෙරෙයි. (හිතෝපදේශ 2:7, NW) ඒ දේ කිරීමට උපකාර කරන එකම දෙය අයවැයක් පවත්වාගැනීම විය හැකියි.

[පාදසටහන්වල]

a දිනපතා වියදම් කපාහරින්නේ කෙසේද කියා අදහස් ලබාගැනීමට 1985 අප්‍රියෙල් 22 එවේක්!හි, 26-7 පිටුද, 1984 අප්‍රියෙල් 8, 27 පිටුවද බලන්න.

b 1996, ජූනි 8 පිබිදෙව්!හි 16-19 දක්වා පිටු බලන්න.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වියදමට සරිලන සේ සෑම අයිතමයකින්ම සැබෑ ප්‍රයෝජනයක් තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ක්‍රෙඩිට් කාඩ් පොලීවලින් ආරක්ෂා වන්න!

[9වන පිටුවේ වගුව]

මාසික වියදම් සහ ඇගැයීම් සටහන මාසය

වියදම් සැබෑ වියදම් අත්‍යවශ්‍යද? වෙන් කළ ප්‍රමාණය

ආහාර:

සිල්ලර බඩු

පිටින් කෑම

ආගන්තුක සත්කාර

නිවාස:

උකස් හෝ කුලී

විවිධ සේවා

ඇඳුම් පැළඳුම්

ගමනාගමනය

තෑගි

●

●

●

ඉතිරි කිරීම්

අයබදු

රක්ෂණය

වෙනත්

එකතුව (ආදායම සමඟ සසඳන්න)

මාසික ආදායම

වැටුප්

කුලියට දී ඇති දේපොළ (තිබේ නම්)

ඉතිරි කිරීමේ පොලිය

එකතුව (වියදම් සමඟ සසඳන්න)

[10වන පිටුවේ පින්තූරය]

අයවැය සැලැස්ම සාර්ථක කිරීමට පවුල තුළ හොඳ අදහස් හුවමාරුව වැදගත්ය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න