ඉදිරි පරීක්ෂාවලට මුහුණ දීමට ශක්තිය ලැබ
එඩ්වර්ඩ් මිහාලෙක් පැවසූ පරිදි
අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි වෝර්ටන්හි මුලාදෑනියා කෝපයෙන් පුපුරමින් සිටියා. මාව හතරවන වතාවටත් අත්අඩංගුවට ගනිමින් ඔහු මෙසේ මොර දුන්නා: “ඔබට නීතියට යටත් වෙන්න බැරි ඇයි?”
“මට මේක කරන්න සම්පූර්ණ අයිතියක් තියෙනවා” කියා මා අප්‍රමාදව පිළිතුරු දුන්නා. මෙය මුලාදෑනියාව තවත් කෝපයට පත් කළ අතර, මුගුරකින් ඔහු මට පහර දෙන්න පටන්ගත්තා. අනික් නිලධාරීන්ද ඔහුට එකතු වී මට ඔවුන්ගේ පිස්තෝල මිටවලින් ගැහැව්වා.
ඒක සිද්ධ වුණේ දැනට අවුරුදු 60කට විතර කලින්. ආපස්සට හැරී බලද්දී, ප්‍රංශයේ ප්‍රමාණයේ දකුණු අමෙරිකානු රටක් වන බොලීවියාවෙහි සිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් කෙනෙක් වීමේ අභියෝගයට මුහුණ දීම සඳහා මාව පුහුණු කිරීමට උන්වහන්සේ එවැනි අවස්ථා යොදාගත් බව මට පේනවා. ඔබ නොයෙක් පරීක්ෂාවලට මුහුණ දෙන විට, ඔබව ශක්තිමත් කිරීමට යෙහෝවඃවහන්සේට හැකි ආකාරය දැකීමට මගේ අද්දැකීම ඔබට උපකාරවත් විය හැක.
වර්ෂ 1936දී, ටෙක්සාස්, බෝලිංහි ගුවන්විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කරන සාප්පුවක වැඩ කරමින් ඉන්න කොට, එවකට වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටිහි සභාපති වූ ජෝසෆ් එෆ්. රදර්ෆඩ් දුන්න කතාවක් ගුවන්විදුලියේ ප්‍රචාරය වෙනවා ඇසුණා. කීකරු මනුෂ්‍යවර්ගයා සඳහා දේවරාජ්‍යය ගෙනෙන්ට යන ආශීර්වාද ගැන ඔහුගේ කතාව කිව්වා. ඒක ඇත්තෙන්ම මගේ සිතගත්තා. (මතෙව් 6:9, 10; එළිදරව් 21:3, 4) පසුව මට අපේ පෞද්ගලික පුස්තකාලයේ රදර්ෆඩ් ලියූ පොත් වගයක් තිබී හම්බ වූ අතර ඒවා කියවීමට පටන්ගත්තා.
මා ඒවා වෙත දක්වන උනන්දුව දැකලා මගේ කුඩම්මා තැතිගත්තා; ඇය ඒවා හැඳින්නුවේ “අර පරණ ආගම් පොත්” කියලයි. ඇය ඒවා සැඟවූ අතර ඒවා පුලුස්සන බවට තර්ජනය කළා. ද වොච්ටවර් සහ ද ගෝල්ඩන් ඒජ් යන නමින් කලින් සඳහන් කළ එවේක්! සඳහා දායක එවන මෙන් ඉල්ලා මම වොච් ටවර් සමිතියට ලියූ විට, මාව හමුවීමට යන්න කියා, මෑතකදී පිහිටෙවූ වෝර්ටන් සභාවේ විලියම් හාපර්ගෙන් සමිතිය ඉල්ලා හිටියා. නොබෝ දවසකින් මගේ කුඩම්මත්, මගේ අයියත්, මට බාල මගේ අර්ධ සහෝදරයාත්, මාත් සහෝදර හාපර් එක්ක පාඩම් කරමින් සිටියා. වැඩිකලක් යන්ට මත්තෙන්, අපි සියලුදෙනාම වතුර බව්තීස්මයෙන් යෙහෝවඃවහන්සේට අපේ කැපවීම සංකේතවත් කළා.
වර්ෂ 1938දී, සමිතියේ සංචාරක නියෝජිතයෙක් වූ ෂීල්ඩ් ටූට්ජිඅන්, බෝලිංහි පිහිටි අපේ නිවසට පැමිණ බයිබල් කතාවක් දුන්නා. අපේ සාලෙ අතුරු සිදුරු නැතුව සෙනඟ පිරිලා හිටියා—ඊට යාබද කාමරවලට පිවිසෙන තැන්වලත් සමහරු හිටගෙන හිටියා. යෙරෙමියාගේ කාලයේදී මිනිස්සුන්ගේ විරුද්ධත්වය තිබුණත් ඔවුන්ට දේශනා කරද්දී ඔහුගේ විඳදරාගැනීම සම්බන්ධයෙන් සහෝදර ටූට්ජිඅන් කතා කළා. (යෙරෙමියා 1:19; 6:10; 15:15, 20; 20:8) එවැනි කතා මගින්, අප මුහුණ දෙන්ට යන පරීක්ෂා සඳහා යෙහෝවඃවහන්සේ අපව ශක්තිමත් කරමින් සිටියා.
තීරණයක් හා එහි ප්‍රතිඵල
මා තීරණයක් ගත යුතු බව මට විගස වැටහුණා. කලින් මා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් හදාරා, ව්‍යාපාරික ලෝකයේ ඉහළ තැනක් අත් කරගැනීමට මං සෙව්වා. මට ගුවන්විදුලි යන්ත්‍ර විකිණීමේ හා අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් තිබුණා; ටෙලිෆෝන් කම්බි සවි කිරීමේ දුරකථන සමාගමකටත් වැඩ කළා. නමුත් ජීවිතයේ සැබෑ සාර්ථකත්වය ලැබෙන්නේ අපේ මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේව සතුටු කිරීමෙන් බව අගය කරන්න දැන් මම පටන්ගත්තා. ඒ නිසා මම මගේ ව්‍යාපාරය වසා දමා, මෝටර් රථ-නිවසක් සකස් කරගත්තා. වර්ෂ 1939 ජනවාරි 1වනදා වන විට, ටෙක්සාස්, කාර්න්ස් ජනපදයේ ත්‍රී රිවර්ස් අසල සිටි, පුරෝගාමීන් ඒ කියන්නේ පූර්ණ කාලීන සේවකයන් කණ්ඩායමකට එකතු වුණා.
වර්ෂ 1939 සැප්තැම්බර්වලදී, යුරෝපයේ IIවන ලෝක යුද්ධය හටගත්තා. විරුද්ධකාරයන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මත නින්දාපහාස ගෙන ඒමට එම අවස්ථාවන් ප්‍රයෝජනයට ගත්තා. අපි රාජ්‍ය ද්‍රෝහී කණ්ඩායමක සාමාජිකයන් හෝ අක්ෂ බල සඳහා ඔත්තුකාරයෝ බව ඔවුන් පවසා සිටියා. බොහෝදෙනා එවැනි බොරු චෝදනා විශ්වාස කළ අතර අපට කරදර පමුණුවන්න පටන්ගත්තා. එක්දාස් නවසිය හතළිස් ගණන්වල මුල්භාගයේදී, මාව නව සැරයක් හෝ දහ සැරයක් හිරේ දැම්මා; මුලාදෑනියා සහ ඔහුගේ නියෝජිතයන් මට තදින් පහර දුන් කලින් සඳහන් කළ අවස්ථාවද මීට ඇතුළත්. ඉන්පසු මට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න සිදු වුණා.
මෙම මුලාදෑනියාම තමාට ප්‍රතිඋපකාරයක් ලබාගැනීම සඳහා, නීති විරෝධී ලෙස සූදුවේ නියැලුණු මිනිසෙකුට විරුද්ධව පැමිණිලි කිරීමෙන් වැළකුණු එක ගැනත් සඳහන් කළ යුතුයි; එම උපකාරය, තෙල් ආකරයක වැඩ කරන, එම හැඩි දැඩි මිනිසා ලවා මට ගැස්වීමයි. ඉතින් දිනක් මම වීදියේදී සඟරා ඉදිරිපත් කරමින් සිටියදී, ඒ මිනිසාම දම්වැලකින් පහර දුන්නා! සමහර නියෝජිතයන් පැමිණ, ඔහුව අත්අඩංගුවට ගන්නවා වෙනුවට, මාව හිරේ දැම්මා! පසුව, මට පහර දුන් තැනැත්තා ඒ අවස්ථාවේදී නිකම්ම එසේ පහර දුන් හේතුව පවසා, කනගාටුව පළ කළා.
පරීක්ෂාවලින් ඉගෙනගත් පාඩම්
එවන් පරීක්ෂාවලට මුහුණ දීමෙන් දෙවියන්වහන්සේ කෙරෙහි මගේ ඇදහිල්ල ඇත්තෙන්ම ශක්තිමත් වුණා. එක දෙයක් නම්, මට පහර දෙද්දී වේදනාවක් දැනුණු බවක් නම් මට මතක නෑ; නමුත් ඉන් පස්සේ මට දැනුණු ශාන්තභාවය සහ සාමය මට මතකයි. (ක්‍රියා 5:40-42) මේ නිසා, ප්‍රේරිත පාවුල් අවවාද කළ ආකාරයට කරන්න මම ඉගෙනගත්තා: ‘පීඩා විඳීමෙන් ඉවසිල්ල උපදින බව අප දන්නා බැවින්, විඳින පීඩාවලදී ප්‍රීතිවන්න.’ (රෝම 5:3, 4) පසුව, මා ලැබූ පහරවල් ගැන මතක් කරද්දී, මාව නිහඬ කිරීමට සාතන්ගේ කිසිම නියෝජිතයෙකුට කවදාවත් ඉඩ නොහැරීමට යෙහෝවඃවහන්සේගේ උපකාරයෙන් අධිෂ්ඨාන කරගැනීමට මට හැකි වුණා.
ඊටත් වඩා, මා තවත් වටිනා පාඩමකුත් ඉගෙනගත්තා. මා උපායශීලී නොවී, “මට මේක කරන්න සම්පූර්ණ අයිතියක් තියෙනවා” කියා පැවසීම මුලාදෑනියාව කුපිත කළා. පස්සෙ දවසක, යළි මට ඔහු ඉදිරියේ පෙනී ඉන්න සිද්ධ වුණා; මේ අවස්ථාවේදී ඔහු කෝපාවිෂ්ටව සිටියේ සාක්ෂිකරුවන් යුද්ධයට සහභාගි නූණ නිසායි. (යෙසායා 2:4) මාව කුපිත කිරීමට වෑයම් කරමින් ඔහු මෙහෙම ඇහැව්වා: “ඔබේ රටට සේවය කිරීමට ඔබව කැඳෙව්වොත්, ඔබ යනවද?”
මේ වෙද්දී උපායශීලී වීමට ඉගෙනගෙන සිටි මා මෙසේ පිළිතුරු දුන්නා: “ඒක යෙහෝවඃවහන්සේගේ කැමැත්ත බව මට සහතික නම්, ඇත්තෙන්ම මම එහෙම කරනවා.” එම පිළිතුරෙන් ඔහුගේ කෝපය නිවී ගිය අතර, ඉන් එහාට කිසිවක් සිද්ධ වුණේ නෑ.
මගේ ජීවන වෘත්තිය සඳහා පුහුණු වීම
මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් වුණේ, 1944දී, වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි තුන්වන පංතියට සහභාගි වීමට ලැබීමයි. මේ පාසැල මිෂනාරි වැඩය සඳහා මාස පහක පාඨමාලාවක් ඉදිරිපත් කරනවා. මේ පාසැලට ඇතුළත් වෙන්න පෙර, සභාවක් ඉදිරියේ කතා කිරීමට මට භයක් තිබුණා. නමුත් ශිෂ්‍යයන් සියයක් විතර ඉදිරියේ නිතරම එළිමහන් රඟහලක එළිමහනේ කතා දීමට සිද්ධ වීම ඇත්තෙන්ම මට උපකාරවත් වුණා. අපේ ප්‍රසිද්ධ උපදේශක මැක්ස්වල් ෆ්‍රෙන්ඩ් මගේ කතාවට බාධා කරමින් මෙහෙම කෑගහනවා: “සහෝදර මිහාලෙක්, මට ඔයා කියන කිසි දෙයක් ඇහෙන්නෙ නෑ!” මේ විදිහට, ඇත්තෙන්ම මට සෑහෙන ප්‍රබල කටහඬක් තියෙන බව මට තේරුණා.
මගේ මිෂනාරි පැවරුම බොලීවියාවට කියා පාසැලේ සභාපතිව සිටි නේදන් එච්. නෝර් නිවේදනය කළ විට, ඔහු මට දුන්න අවවාදය මට මතකයි: “ඔබට එහිදී බොහෝ යටහත් පහත් අය හම්බ වෙයි. ඔවුන් එක්ක ප්‍රේමයෙන්, ඉවසිලිවන්තව, සැලකිලිමත්ව ඉන්න.” මේ වන විටත් IIවන ලෝක යුද්ධය පැවතෙමින් තිබුණ නිසා, අපේ පැවරුම් සඳහා පිටත් වීමට තව ටිකක් පමා වෙන්න සිද්ධ වුණා. අන්තිමේදී 1945 ඔක්තෝබර් 25වනදා පංතියේ සෙසු ශිෂ්‍යයෙක් වූ හැරල්ඩ් මොරිස් සහ මම බොලීවියාවේ අගනුවර වන ලා පාස්හි අද්දරෙහි වූ එල් ආල්ටෝ ගුවන් තොටුපොළට පැමිණුණා. මෙයාකාරයෙන් අපි දකුණු අමෙරිකාවේ තුන්වන විශාලතම රටේ සිටි එකම සාක්ෂිකරුවන් දෙදෙනා බවට පත් වුණා.
ගුවන් තොටුපොළේ සිට, මුහුදු මට්ටමෙන් මීටර් 4,100ක උසක පිහිටි ලා පාස් නම් අගනුවරට අපි බසයෙන් ගමන් කළා; මෙම අගනුවර විශාල කැනියමක් පුරා විහිදී තිබුණා. මුහුදු මට්ටමෙන් කිලෝමීටර් 3කට වඩා උස් තැනක ජීවත්වීම සඳහා සකස්වීම අභියෝගයක් වුණා.
සුළු, කැලඹිලි සහිත ආරම්භයන්
ජනයාව ගෙයින් ගෙට ගොස් හමුවීමට අපි වහාම පටන්ගත්තා. අපි අපේ කැඩිච්ච ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කරද්දී, ඔවුන් කාරුණිකව, ඉවසිලිවන්තව සිටියා. වැඩිකල් යන්න මත්තෙන්, අපි දෙදෙනාම නිවාස බයිබල් පාඩම් 18 සිට 20 බැගින් පවත්වමින් හිටියා. මාස හයකට පස්සේ, 1946 අප්‍රියෙල් 16වනදා, ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහි කිරීමේ වාර්ෂික උත්සවය සඳහා අපි සමඟ සන්තෝෂවත් කුඩා කණ්ඩායමක් එකතු වුණා. ඉන් ටික කලකට පස්සේ, එළිසබෙත් හොලින්ස් ඇතුළු ගිලියඩ් උපාධිධාරීන් හතරදෙනෙක් ආවා. පස්සෙ කාලෙක ඇය මගේ භාර්යාව වුණා.
එවකට බොලීවියාවේ දෙවන හා තුන්වන විශාලතම නගර වන කොචබාම්බ හා ඔරූරො ඇතුළු වෙනත් නගරවලට යෑමට සහෝදර මොරිස් සහ මම විගස පටන්ගත්තා. අපට හම්බ වූ උනන්දුව දැක්වූ අය ගැනත්, අපි තැබූ බයිබල් පොත් පත් ගැනත් මා සහෝදර නෝර්ට දන්වා යැවූ විට, උනන්දුව දැක්වූ මේ අයට උපකාර කිරීමට සෑම මාස තුනකටම සැරයක් වාගේ මේ නගරවලට යන්න කියා ඔහු අපට යෝජනා කළා. මෙම මිත්‍රශීලී, සත්කාරශීලී අයගෙන් බොහෝදෙනෙක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත් වුණා.
දෙවන ලෝක යුද්ධය අවසන් වුණේ ඊට අවුරුද්දකට උඩදී නිසා, බොලීවියාවෙහි දේශපාලනික විප්ලවයක් ඇති වී තිබුණා. දකුණු අමෙරිකාවේ දේශපාලනික විරෝධතා සහ නාට්සි පාලනයේ පුනර්ජීවය, ප්‍රචණ්ඩකාරි වීදි උද්ඝෝෂණ සහ ඝාතනවලට මඟ පෑදුවා. වර්ෂ 1946 ගිම්හානයේදී රටේ ජනාධිපතිව මරා, ඔහුගේ සිරුර ජනාධිපති මන්දිරයට මුහුණලා ලයිට් කණුවක එල්ලා තිබුණා. සමහර අවස්ථාවලදී, ප්රචණ්ඩත්වය නිසා මිනිස්සුන්ට තම ගෙවල්වලින් පිටතට යන්න පවා නොහැකි වුණා.
එළිසබෙත් දිනක් බසයකින් ප්‍රධාන නගරයේ ගමන් කරමින් සිටියදී, තරුණයන් තුන්දෙනෙකුව කණුවල එල්ලා තිබෙනවා දැක්කා. තිගැස්සුණු ඇයට හෙමින් කෑගැසුණා. එහි ගමන් ගනිමින් හිටිය කාන්තාවක් මෙහෙම පවසා තිබෙනවා: “ඔයා දකින දේට අකමැති නම් ඔයාගේ ඔළුව හරවගන්න.” එවැනි සිද්ධීන් අපි තරයේ යෙහෝවඃවහන්සේ මත රඳා සිටිය යුතු බව අප තුළට කාවැද්දුවා.
කොහොම වුණත්, කැලඹිලි මැද්දේ, යටහත් පහත් හෘද තුළ බයිබල් සත්‍යය මුල් අදිමින් තිබුණා. වර්ෂ 1946දී ලා පාස්හි ශාඛා කාර්යාලයක් පිහිටෙවූ අතර මාව ශාඛා අවේක්ෂක ලෙස පත් කළා. කාර්යාලය සඳහා කුලියට ගත් නිවස මිෂනාරි නිවසක් වශයෙන්ද යොදාගත්තා. මාස කීපයකට පස්සේ, බොලීවියාවේ මුල්ම සභාව පිහිටෙවූ විට, මේ නිවසම අපේ රැස්වීම් ස්ථානය බවට පත් වුණා.
එක්දාස් නවසිය හතළිස්හයේදී අපි ප්‍රසිද්ධ කථා පැවැත්වීමටත් පටන්ගත්තා. මුල් කතාව සඳහා අපි ලා පාස් නගරයේ ප්‍රධාන ව්‍යාපාරික ප්‍රදේශයේ නගර සභා පුස්තකාලයේ ශාලාව ලබාගත්තා. අපි එක්ක පාඩම් කරමින් හිටිය යුගෝස්ලාවි ජාතික මිත්‍රශීලී මනුෂ්‍යයෙක් කතාව ප්‍රචාරය කිරීමට ප්‍රාදේශීය පුවත්පතකට ගෙවා දැන්වීමක් දැමුවා. ශාලාව සෑහෙන දුරකට පිරී තිබුණා. මේ වන විටත් ස්පාඤ්ඤ භාෂාව කතා කරන්න සෑහෙන වෙහෙසක් දැරීමට සිද්ධ වෙලා තිබුණ නිසා කතාව දීම සම්බන්ධයෙන් මම කලබලයට පත් වෙලයි සිටියේ. නමුත් යෙහෝවඃවහන්සේගේ උපකාරයෙන් රැස්වීම සාර්ථක වුණා. ඒක එම ශාලාවේ අපි සාර්ථකව පැවැත්වූ කතා හතරෙන් පළවෙනි එක වුණා.
වර්ෂ 1947දී තවත් ගිලියඩ් මිෂනාරීන් හයදෙනෙකුත්, 1948දී තවත් හතරදෙනෙකුත් අප වෙත ආවා. අප කුලියට ගත් ගෙවල්වල එතරම් නවීන පහසුකම් තිබුණේ නෑ. අපේ කාර්ය බහුල මිෂනාරි වැඩසටහන පවත්වා ගන්නවාට අමතරව, මුල් මිෂනාරිවරු වූ අපිට අන්තිමේදී දිරාපත් වූ ඇඳුම් වෙනුවට අලුත් ඒවා ගැනීම සඳහා මුදල් ලබාගැනීමට අර්ධ-කාලීන රැකියාවක් කරන්න සිද්ධ වුණා. නගරයෙන් නගරයට යන එකත් අභියෝගයක් වුණා. බොහෝ අවස්ථාවලදී, විවෘත ට්‍රක් රථයක පිටිපස්සේ නැඟී සීත කඳු දුර්ගවල ගමන් කරන්නයි මට සිද්ධ වුණේ. නමුත් යෙහෝවඃවහන්සේ ස්වකීය සංවිධානය මාර්ගයෙන් අපිව දිගටම ශක්තිමත් කරමින් දිරිගැන්නුවා.
වර්ෂ 1949 මාර්තු මාසයේදී, සහෝදර නෝර් සහ ඔහුගේ ලේකම්, මිල්ටන් හෙන්ෂල් නිව් යෝර්ක්වලින් පැමිණ, ලා පාස්, කොචබාම්බ සහ ඔරූරොහි තිබුණු අපේ මිෂනාරි ගෙවල් තුනටම ආවා. බොහෝ රටවල විශාල වර්ධනය ගැනත්, අලුත් බෙතෙල් නිවස ගැනත්, බෘක්ලින්හි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ මුද්‍රණ පහසුකම් ඉදි කිරීම සම්බන්ධයෙනුත් අහන්න ලැබීම කොච්චර දිරිගැන්වීමක් වුණාද! අපේ නිවස හා රාජ්‍ය ශාලාව, ලා පාස්හි කාටත් පැමිණීමට පහසු තැනක තිබුණා නම් හොඳයි කියා සහෝදර නෝර් යෝජනා කළා. තවත් මිෂනාරිවරු එවන්න ඉන්න බවත් ඔහු අපට පැවසුවා.
පස්සේ 1949දී, අපි ඔරූරො නගරයේදී අපේ ප්‍රථම චාරිකා එක්රැස්වීම පැවැත්තුවා. පළමු වතාවට අපේ නවක ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගෙන් බොහෝදෙනෙක්ව මුණගැසීමට ලැබීම දිරිගැන්වීමක් වුණා. ඒ වන විට, බොලීවියාවේ රාජ්‍ය ප්‍රචාරකයන් 48ක උපරිමයක් සහ සභා තුනක් තිබුණා.
මගේ විශ්වාසී සහකාරිය
අවුරුදු ගණනක් එකට මිෂනාරි සේවයේ යෙදීමෙන් පස්සේ, එළිසබෙත් සහ මම එකිනෙකාව දැනඅඳුනගෙන, ආදරේ කරන්න පටන්ගත්තා. අපි 1953දී විවාහ වුණා. ඈ පුරෝගාමී සේවය කරන්න පටන්ගෙන තිබුණේ 1939 ජනවාරියේදී මම පටන්ගත් අවුරුද්දේදිමයි. පුරෝගාමී සේවයේ එම මුල් අවුරුදු ඇයටත් දුෂ්කර ඒවා වී තිබුණා. ඇගේ නිර්භීත දේශනා වැඩය නිසා, සාමාන්‍ය අපරාධකාරියක් වගේ වීදිවල ගෙන ගිහින් තිබූ ඇයටත්, සිරභාරයේ ඉන්න සිද්ධ වෙලා තිබුණා.
“ආගම මලපතක්, වංචාවක්” කියා සඳහන් කළ බෝඩ් එල්ලගෙන ප්‍රධාන වීදි පුරා ඇවිදින්න සිද්ධ වුණහම එළිසබෙත් භය වුණ බව ඇත්තයි කියා ඈ පිළිගන්නවා. නමුත් යෙහෝවඃවහන්සේගේ සංවිධානය එවකට අපට කරන්න උපදෙස් දීල තිබුණු විදිහට ඈ කළා. ඇය පවසන අන්දමට ඈ ඒක කළේ යෙහෝවඃවහන්සේටයි. ඈ බොලීවියාවේ ගත කළ මුල් අවුරුදුවලදී විඳදරාගත් පීඩා සඳහා එම අද්දැකීම් ඇයව ශක්තිමත් කළා.
වෙනස් පැවරුම්
අපේ විවාහයෙන් අවුරුදු කීපයකට පස්සේ, අපි අපේ කාලයෙන් වැඩි හරියක් ගත කළේ සංචාරක වැඩය සඳහායි. අපි බොලීවියාවේ තිබුණු සභා හතරට පමණක් නෙවේ, නමුත් උනන්දුව දැක්වූ ඈත සිටි කණ්ඩායම් සියල්ලටම මෙන්ම 4,000කට වඩා වැඩි ජනගහනයක් සිටි සෑම නගරයකටමත් ගියා. ඒ ස්ථානවල ඉන්න ජනයා අතර බයිබල් සත්‍යය කෙරෙහි උනන්දුවක් ඇති අයව සොයා, වර්ධනය කිරීම අපේ අරමුණ වුණා. එක්දාස් නවසිය හැටගණන්වල මැදභාගය වන විට, අපි අවුරුදු දහයකට විතර ඉස්සෙල්ලා ගිය කුඩා නගර සියල්ලකම පාහේ සභා පිහිටුවා තිබුණ එක ගැන අපි මහත් සේ ප්‍රීති වුණා.
මේ අතරතුර, ලා පාස්හි කඳුකර ප්‍රදේශයේ සිටි මට සෞඛ්‍ය ගැටලු වැඩි වෙන්න පටන්ගත්තා. ඉතින් 1957දී, තවත් සහෝදරයෙක් ශාඛා වැඩකටයුතු අධීක්ෂණයේ වගකීම භාරගත් අතර, එළිසබෙත්ට සහ මට එතරම් උසක නොපිහිටි නිම්නයක නගරයක් වන කොචබාම්බහි මිෂනාරි නිවසකට පැවරුම් ලැබුණා. අපේ මුල් රැස්වීමට, මිෂනාරිවරු කීපදෙනෙක් ඇවිත් හිටියා; ඒත් එක බොලීවියානු ජාතිකයෙක්වත් ආවේ නැහැ. අවුරුදු 15කට පස්සේ, 1972දී අපි කොචබාම්බ වෙත ගිය විට, එහි සභා දෙකක් තිබුණා. දැන් කොචබාම්බ නිම්නයේ රාජ්‍ය ප්‍රචාරකයන් 2,600කට වඩා සිටින සභා 35ක් තියෙනවා!
අපි 1972දී නිවර්තන මිටියාවතක් වන සාන්ත කෲස්වල පදිංචියට ආවා. අපි තාමත් මෙහි රාජ්‍ය ශාලාවක කාමර කීපයකයි ඉන්නේ. අපි සාන්ත කෲස්වලට එන කොට, මෙහිත් සභා දෙකක් තිබුණා; ඒත් දැන් ක්‍රිස්තියානි දේවසේවයේ හවුල් වන ප්‍රචාරකයන් 3,600කට වඩා ඉන්න සභා 45කට වැඩියෙන් තියෙනවා.
අවුරුදු 50කට වඩා අපේ මිෂනාරි පැවරුමේ රැඳෙමින් මේ රටේ යෙහෝවඃවහන්සේගේ සෙනඟ 12,300කගේ පමණ එක්රැස්වීම දැකගැනීමට ලැබීම කොයිතරම් ප්‍රීතියක්ද! මේ ප්‍රියයන්ට සේවය කිරීමට ලැබීමෙන් ඇත්තෙන්ම අපි සතුටක් ලැබුවා.
අන් අයට සේවය කිරීමේ සන්තෝෂවත් ජීවිතයක්
මම මගේ මිෂනාරි පැවරුම සඳහා පිටත් වීමට පෙර, වොච් ටවර් සමිතියේ නීති උපදේශක වන සෙසු ටෙක්සාස් ජාතිකයෙක් වූ හේඩන් සී. කොවිංටන් මෙහෙම කිව්වා: “එඩ්, ටෙක්සාස්වලදී අපිට එහාට මෙහාට යන්න ඕන තරම් ඉඩ කඩ තිබුණා. නමුත් මිෂනාරි නිවසේදී, ඔයාට අනිත් අය එක්ක හිර වෙලා ඉන්න සිද්ධ වෙයි. වෙනස්කම් කරන්න සිද්ධ වෙයි.” ඔහු කිව්ව දේ හරි. අනික් අය එක්ක එකම වාසස්ථානයක ජීවත්වීම ක්‍රිස්තියානි මිෂනාරි සේවයේදී මුහුණ දෙන්න සිද්ධ වෙන එක අභියෝගයක් පමණයි.
එනිසා යෙහෝවඃවහන්සේට සේවය කිරීමට ඔබ වෙනත් ප්‍රදේශයකට යෑමට කල්පනා කරනවා නම්, ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකුගේ ජීවිතය අන්‍යයන්ට සේවය කිරීම බව මතක තබාගන්න. (මතෙව් 20:28) මේ හේතුවෙන්, මිෂනාරිවරයෙක් ආත්ම-පරිත්‍යාගී ජීවිතයක් පිළිගැනීමට මනස සකස් කරගත යුතුයි. ඔවුන්ට ප්‍රසිද්ධියක් ලැබෙයි කියා සමහරු හිතන්න පුළුවන්. ඔවුන් ගෙදරදී මිත්‍රයන්ගෙන් සහ නෑදෑයන්ගෙන් සමුගන්න අවස්ථාවේදී සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. නමුත් තම පැවරුම ලැබී ඔහු හෝ ඈ කුඩා නගරයකට නැත්නම් දිළිඳු අසල්වැසි නගරයකට පැමිණෙන විට එය මොහොතකින් නැති වී යයි. මගේ උපදෙස මොකක්ද?
සෞඛ්‍ය ගැටලු, ඔබේ පවුලෙන් වෙන්වීම නිසා දැනෙන පාළු ගතිය, ඔබ සමඟ පැවරුම ලද ඔබේ ක්‍රිස්තියානි සහෝදරයන් සමඟ පෑහී සිටීම සම්බන්ධයෙන් සමහරවිට දුෂ්කරතා ඇතිවීම යනාදි දුෂ්කරතාවලට මුහුණ දෙන විට මේ සියල්ල ඔබේ පුහුණුවේ කොටසක් බව පිළිගන්න. ඔබ එසේ කරනවා නම්, ප්‍රේරිත පේතෘස් ලිව්ව විදිහට, ඔබ යථා කාලයේදී විපාක ලබාගනීවි: “ඔබ ස්වල්ප කලක් දුක්වින්ද පසු, ලබන්ට නොවටිනා කරුණාව ඇති දෙවියන්වහන්සේම . . . ඔබේ පුහුණුව අවසන් කර, ඔබව ස්ථිර කර, ශක්තිමත් කර පිහිටුවනසේක.”—1 පේතෘස් 5:10, NW.
මෙම සඟරාව සූදානම් කෙරෙමින් තිබෙන විට, 1996 ජූලි 7වනදා එඩ්වර්ඩ් මිහාලෙක් මියගියේය.
[21වන පිටුවේ පින්තූරය]
1947දී බොලීවියාවෙහි
[22, 23 වන පිටුවේ පින්තූරය]
ගිලියඩ්හි රඟමඩලේ පසු කාලෙක ගත් මෙම පින්තූරයේ දැක්වෙන පරිදි ප්‍රසිද්ධ කථා පංති බොහෝවිට පැවැත්තුවේ එළිමහනේ
[25වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව සමඟ