යෞවන අය අසති . . .
මා මගේ වරද හෙළි කළ යුතුද?
“මට හරි ලැජ්ජයි; මං දන්නෑ මොනා කරන්නද කියලා. මේක මගේ දෙමව්පියන්ට කියන්න ඕනෙ වුණත්, මට නිකං මොකක්ද වගේ.”—ලීසා.a
එහෙම ලිව්වේ ශෝකයෙන් උමතු වූ තරුණියක්. ඇය අවුරුදු කිහිපයක් තිස්සේ, නොඇදහිලිකාර පුරුෂයෙකු එක්ක ප්‍රේමයෙන් වෙළී ඉඳලා තිබුණු අතර, එක දවසක්, මත්පැන්වල බලපෑම හින්දා ඔහු එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වූවා.
කියන්න කනගාටු වුණත් ක්‍රිස්තියානි යෞවනයන් අතර පවා, කලින් කලට මෙවැනි දේවල් සිදු වෙනවා. අපි වයසින් සහ අද්දැකීමෙන් අඩු වන තරමට, වැරදි කිරීමට ඇති ඉඩ කඩ ගොඩක් වැඩියි. සුළු වරදක් කරන එක, එක කාරණයක්. ඒත් ලිංගික දුරාචාරය වැනි පාපයක දිගටම නියැලීම ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කාරණයක්. (1 කොරින්ති 6:9, 10) එවැනි දෙයක් සිදු වූ විට යෞවනයෙක් උපකාරය පතන්න ඕනෙ. එහෙත්, ගැටලුව නම් කෙනෙකුගේ වරද හෙළි කිරීම පහසු දෙයක් නොවන එකයි.
එක්තරා ක්‍රිස්තියානි ගැහැනු ළමයෙක් විවාහයට කලින් ලිංගික ඇසුරේ යෙදුණා. සභාවේ වැඩිමහල්ලන් ඉදිරියේ වරද හෙළි කරන්න ඇය තීරණය කළා. ඒකට දිනයක් පවා නියම කරගත්තා. එහෙත්, ඇය දිනය කල් දැම්මා. පසුව, නැවතත් දිනය තවත් කල් දැම්මා. අන්තිමේදී, මුළු අවුරුද්දක්ම ගෙවිලා ගියා!
“සඟවනලද දෙයක් නැත”
ඔබ බරපතළ පාපයක් කර ඇත්නම්, නිශ්ශබ්දව සිටීම ඉතාමත්ම මෝඩ අදහසක් බව ඔබ විසින් තේරුම්ගන්න ඕනෙ. එකක් නම්, ඇත්ත කොහොමත් එළි වෙනවා. මාර්ක් පුංචි ළමයෙකුව ඉද්දී, පිඟන් මැටිවලින් හදල තිබුණු බිත්ති සැරසිල්ලක් කැඩුවා. ඔහු මෙහෙම මතක් කරනවා: “මම ඒක හා කරන්න ගම් ගාලා ඇලෙව්වා, ඒත් වැඩිකල් යන්න ඉස්සෙල්ලා මගේ දෙමව්පියන්ට ඒකෙ පැළිච්ච තැන් අහු වුණා.” ඇත්තයි, ඔබ දැන් දරුවෙක් නොවෙයි. එහෙත් තමන්ගේ දරුවන් තුළ මොකක් හරි අමුත්තක් තියෙද්දි නම්, ගොඩක් දෙමාපියන්ට ඒක දැනෙනවා.
පහළොස් වියැති ඇන් මෙහෙම පිළිගන්නවා: “මම බොරු කියලා මගේ ගැටලු වහන්න හැදුවා. අන්තිමට ඒකෙං වෙන්නෙ, දේවල් තවත් නරක අතට හැරෙන එක විතරයි.” හුඟක් වෙලාවට බොරු එළිදරව් වෙනවා. අනික, ඔබ ඔවුන්ට බොරු කිව්වා කියලා දෙමාපියන්ට හැඟුණොත්, ඔවුන්ගේ වේදනාව, ඔබ කල්තියාම වරද හෙළි කළා නම් ඇති වෙන වේදනාවට වඩා වැඩි වෙන්න පුළුවන්.
ඒ ඔක්කොටම වැඩියෙන්, බයිබලය මෙහෙම කියනවා: “එළිදරව්කරනු නොලබන සඟවනලද දෙයක් නැත; නොහොත් දැනගනු නොලබන්නාවූ එළිදරව් නොවන්නාවූ කිසි රහසක්ද නැත.” (ලූක් 8:17) අපි මොනවද කළේ, අපි මොනවද කරන්නේ කියා යෙහෝවා දන්නවා. ආදම්ට කරන්ට බැරි වුණා වගේම යමක් සඟවන්ට අපිටත් බැහැ. (උත්පත්ති 3:8-11) කාලයාගේ ඇවෑමෙන්, ඔබේ වැරදි අනිත් අයට හෙළි වේවි.—1 තිමෝති 5:24
නිහඬව සිටීම අනිත් පැතිවලින්ද ඔබට හානිදායක වෙන්න පුළුවන්. ගීතිකාකාර දාවිත් ලිව්වේ මෙහෙමයි: “මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය. මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හස්තය මා පිට බරවිය.” (ගීතාවලිය 32:3, 4) ඔව්, රහසක් තියාගන්න දරන අධික වෙහෙස, චිත්තවේගීයව ඔබට දරාගන්න ඉතා අමාරු දෙයක් බවට පත් වෙන්න පුළුවන්. කනස්සල්ල සහ වරද සහිත බව වගේම හෙළි වෙයි කියා ඇති වන භය ඔබව හොඳටම මලානික තත්වයකට පත් කරන්න පුළුවන්. ඔබ ඔබවම පවුලෙන් සහ මිතුරන්ගෙන් ඈත් කර තබාගැනීමට පටන්ගන්න පුළුවන්. ඔබට දෙවි එක්ක කිසිම ගනු දෙනුවක් නැහැයි කියලද හැඟෙන්න පුළුවන්! ඇන්ඩෲ නම් යෞවනයා මෙහෙම ලිව්වා: “මං යෙහෝවාව දුකට පත් කෙරුව හින්දා, මගේ වද දෙන හෘදය සාක්ෂිය එක්කයි මං කටයුතු කරමින් හිටියේ. ඒක මා තුළ කැකෑරිකැකෑරි තිබුණා.”
නිහැඬියාව බිඳීම
මේ චිත්තවේගීය වියවුලෙන් සහනය ලබාගැනීමට මොකක් හරි මාර්ගයක් තියෙනවාද? ඇත්තෙන්ම ඔව්! ගීතිකාකරු මෙහෙම කිව්වා: “මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. . . . ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.” (ගීතාවලිය 32:5; සසඳන්න 1 යොහන් 1:9.) ඒ හා සමානව ඇන්ඩෲ ඔහුගේ වරද හෙළි කිරීමෙන් සැබෑ සහනයක් ලබාගත්තා. ඔහු මෙහෙම මතක් කරනවා: “මම යෙහෝවාට ළං වෙලා ඔහුගෙන් සමාව ඉල්ලලා අවංකවම යාච්ඤා කළා.”
ඔබටත් ඒ විදිහටම කරන්න පුළුවන්. යෙහෝවාට යාච්ඤා කරන්න. ඔබ කළේ මොනවද කියලා ඔහු දන්නවා, ඒත් යටහත් පහත්ව යාච්ඤාවෙන් ඒක ඔහුට කියන්න. ඔහු උපකාර කරන්න බැරි තරම් දුෂ්ට කෙනෙක් කියලා හිතන්නේ නැතුව, කිසිම දෙයක් හංගන්නෙත් නැතුව සමාව ඉල්ලන්න. යේසුස් මැරුණේ, අපි අසම්පූර්ණව සිටියදීත් දෙවි එක්ක හොඳ සම්බන්ධයක් භුක්ති විඳින්න හැකි කරවන්නයි. (1 යොහන් 2:1, 2) අවශ්‍ය කරන වෙනස්කම් කරගන්න ඕනෙ කරන ශක්තියත් ඔබට ඉල්ලන්න පුළුවන්. ගීතාවලිය 51 කියවීම, දෙව් වෙත ළඟා වෙන්න විශේෂ උපකාරයක් බව ඔප්පු වෙන්න පුළුවන්.
ඔබේ දෙමව්පියන්ට කීම
කොහොමවුණත්, දෙවිට කියන එකට වඩා වැඩි යමක් ඕන කරනවා. ඔබේ දෙමව්පියන්ට කියන්නත් ඔබට යුතුකමක් තියෙනවා. ‘ස්වාමීන්ගේ හික්මවීමෙන්ද [මානසික ශික්ෂණයෙන්ද, NW ] ඔබව ඇති කරන්න’ දෙවි ඔවුන්ට අණ කරල තියෙනවා. (එපීස 6:4) ඔවුන්ට එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඔබේ ගැටලු ඔවුන්ට කිව්වොත් විතරයි. මේ තත්වයේදීත්, ඔබේ දෙමව්පියන්ට කියන එක ලේසි හෝ ප්‍රසන්න දෙයක් වෙන එකක් නැහැ. එහෙත්, ඔවුන්ගේ මුල්ම ප්‍රතික්‍රියාවෙන් පස්සෙ, ඔවුන්ගේ හැඟීම් යටපත් කරගනීවියි කියලා සිතන්න පුළුවන්. ඔබේ ගැටලුව කියන තරමටම ඔවුන්ව විශ්වාස කිරීම ගැන ඔවුන් සතුටු වෙන්නත් පුළුවන්. අකීකරු පුත්‍රයා පිළිබඳ යේසුස්ගේ උපමාවේ කියවෙන්නේ, ලිංගික දුරාචාරයට වැටුණු තරුණ මිනිසෙකු ගැනයි. ඒත් අන්තිමට, ඔහු පසුතැවිලි වුණාම තාත්තා ඔහුව සාදරයෙන් පිළිගත්තා! (ලූක් 15:11-24) ඒ හා සමානව, ඔබේ දෙමාපියන් ඔබේ උපකාරයට එන බවට කිසිම සැකයක් නැහැ. කොච්චර වුණත්, ඔවුන් ඔබට තවමත් ආදරෙයි.
ඇත්තයි, ඔබේ මාපියන්ව දුකට පත් වෙයි කියලා ඔබට භයක් ඇති වෙන්න පුළුවන්. එහෙත් ඔබේ දෙමාපියන්ව වේදනාවට පත් කළේ ඔබ කළ වරද හෙළි කිරීම නොවේ; නමුත් පාපය කිරීමයි. වරද හෙළි කිරීම වේදනාව සමනය කරන මුල් පියවරයි. කලින් සඳහන් කළ ඇන් එයාගෙ දෙමාපියන්ට කීවට පස්සේ එයාට විශාල සහනයක් දැනිලා තියෙනවා.b
වරද හෙළි කිරීමට ඇති තවත් බාධාවක් නම්, ලැජ්ජාව සහ ව්‍යාකූලභාවයයි. විශ්වාසවන්ත ලියන්නා වූ එස්රා තමා විසින්ම පාපයක් කර නොතිබුණත්, තම සෙසු යුදෙව්වන්ගේ වරද හෙළි කරද්දී, මෙහෙම කිව්වා: “මාගේ දෙවියන්වහන්ස, මම ලජ්ජාවට පත්වී, මාගේ දෙවිවූ ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්ට විළිබියෙන් සිටිමි.” (එස්රා 9:6) ඇත්තෙන්ම, ඔබ වරදක් කළාම ලැජ්ජාවක් දැනෙනවා නම් ඒක සුදුසුයි. ඒකෙන් තේරෙන්නේ ඔබේ හෘදය සාක්ෂිය තවමත් ක්‍රියාත්මක වෙනවා කියන එකයි. කාලයාගේ ඇවෑමෙන් ඒ ලැජ්ජාව ඇරිල යාවි. ඇන්ඩෲ ඒ ගැන මෙහෙම කියනවා: “වැරදි හෙළි කරන එකනං හරිම අමාරු සහ අපහසුවට පත් කරවන වැඩක්. ඒත් යෙහෝවා හරිම ප්‍රීතියෙන් අතිශයින් කමා වෙනවා කියලා දන්න හින්දා ඒක සහනයක්.”
වැඩිමහල්ලන්ට හඬගැසීම
ඔබ ක්‍රිස්තියානියෙකු නම් කාරණය දෙමාපියන්ට කීමෙන්ම අවසන් වෙන්නේ නෑ. ඇන්ඩෲ කියනවා: “මගේ ගැටලුව සභාවේ වැඩිමහල්ලන් ගාවට ගෙනියන්න ඕන බව මං දැනං හිටියා. මට උදව් කරන්න ඒගොල්ලො ඉන්නවයි කියල දැනගන්න ලැබුණම මොනතරම් සහනයක් වුණාද!” ඔව්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර ඉන්න යෞවනයන්ට උපකාරය සහ ධෛර්යය සඳහා වැඩිමහල්ලන් වෙතට යන්න පුළුවන් අතරම ඔවුන් යා යුතුයි. එහෙත් යාච්ඤාවෙන් ඒක යෙහෝවාට භාර කරල එතනිං එහාට අතෑරලා දාන්න බැරි ඇයි? ඒ ‘ඔබේ ප්‍රාණ ගැන රැකබලා ගන්න’ යෙහෝවා විසින් වැඩිමහල්ලන්ව පත් කරල තියෙන නිසායි. (හෙබ්‍රෙව් 13:17) නැවතත් පාපයට වැටීමෙන් වළක්වා ගන්න ඔබට උපකාර කරන්න ඔවුන්ට හැකි වෙයි.—යාකොබ් 5:14-16, සසඳන්න.
ඔබට තනියෙන්ම ගොඩ ආ හැකියයි තර්ක කරමින් ඔබවම රවටාගන්න එපා. ඔබට එසේ කරන්න තරම් ශක්තියක් තිබුණා නම්, ඔක්කොටම ඉස්සෙල්ලා පාපයට වැටෙයිද? පැහැදිලිවම, වෙන කෙනෙකුගෙන් උපකාර පතන්න ඔබට සිදු වෙනවා. ඇන්ඩෲ ධෛර්යවත්ව එහෙම කළා. ඔහුගේ උපදේශය මේකයි: “ඔබ බරපතළ පාපයක යෙදිල හිටපු නැත්නම් ඒ වගේ පාපයක යෙදෙන කෙනෙකු නම් ඔබේ හදවත යෙහෝවාට සහ ඔහුගේ එඬේරෙකුට විවෘත කරන්න මම ඔබව දිරිගන්වනවා.”
එහෙත් ඔබ වැඩිමහල්ලෙක් වෙත ළඟා වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ඔබට කතා කිරීමට අපහසුවක් දැනෙන්නේ නැති වැඩිමහල්ලෙකුව තෝරාගන්න. ඔබට මෙහෙම කියලා පටන්ගන්න පුළුවන්: “මට ඔයාට දෙයක් කියන්න තියෙනවා” නැත්නම් “මට ප්‍රශ්නයක් තියෙනවා” එහෙමත් නැත්නම් “මට ප්‍රශ්නයක් තියෙනවා; ඒකට ඔයාගෙ උදව්ව ඕනෙ.” ඔබගේ අවංකභාවය සහ විවෘතභාවය, පසුතැවිලි වීමට සහ වෙනස් වීමට ඇති ඔබගේ ආශාව මනාව නිරූපණය කරන්න රුකුලක් වේවි.
‘සභා ඇසුරෙන් අයින් කරයි කියලා මට භයයි’
ඒක වෙන්න බැරිද? බරපතළ පවක් කරලා තියෙන කෙනෙකුව සභා ඇසුරෙන් ඉවත් කිරීමට හැකියාව තියෙනවා කියන එක ඇත්තයි; ඒත් ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක් නෙමෙයි. සභා ඇසුරෙන් ඉවත් කරන්නේ, පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කරන—වෙනස් වීම දඩබ්බර විදිහට ප්‍රතික්ෂේප කරන අයවයි. හිතෝපදේශ 28:13 මෙහෙම කියනවා: “තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.” උදව් ඉල්ලාගෙන ඔබ වැඩිමහල්ලන් ගාවට යනවයි කියන එකෙන් පැහැදිලි වෙන්නේ, වෙනස්කම් කිරීමට ඔබට තියෙන ආශාවයි. වැඩිමහල්ලන් කියන්නේ, මූලිකවම සුවකරන්නන් මිස දඬුවම් කරන්නන් නොවේ. ඔවුන් දෙවිගේ සෙනඟව කරුණාවෙන් සහ ගෞරවයෙන් යුතුව සලකන්න බැඳී සිටිනවා. “නුඹලාගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්න” උදව් කරන්න ඔවුන්ට උවමනා වෙනවා.—හෙබ්‍රෙව් 12:13.
ඇත්තෙන්ම, දිගු කලක් තිස්සේ කරගෙන ගිය බරපතළ පාපයක් නැත්නම් වංචා කිරීමක් සිදු වෙලා තියෙන කොට, අවංක වූ “පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන්” දකින්න තියෙන ඉඩ කඩ අඩුයි. (ක්‍රියා 26:20) සමහරවිට සභා ඇසුරෙන් ඉවත් කිරීම ප්‍රතිඵලය වෙයි. තවදුරටත්, වැරදිකාරයා පසුතැවිලි වුණත්, යම් ආකාරයක හික්මවීමක් ඔහුට දීමට වැඩිමහල්ලන්ට සිදු වෙයි. ඔවුන්ගේ තීරණය ගැන ඔබට කෝපයක් හෝ තික්තකමක් දැනිය යුතුද? හෙබ්‍රෙව් 12:5, 6හි පාවුල් උනන්දු කරන්නේ: “මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක.” මොන ආකාරයේ හික්මවීමක් අප වෙත ආවත්, ඒක දෙවිගේ ප්‍රේමයේ සාක්ෂියක් ලෙස සලකන්න. නියම පසුතැවිල්ල, අපගේ දයාන්විත පියා වන යෙහෝවා දෙව් සමඟ නිසි සම්බන්ධයක් සඳහා යළි පිහිටුවන බව මතක තියාගන්න.
කළ වරදක් පිළිගැනීම සඳහා ධෛර්යයක් තියෙන්න ඕනෙ. එසේ කිරීම තුළින් කාරණා නිවැරදි කරගන්න යන්නේ දෙමාපියන් එක්ක විතරක් නෙමෙයි, යෙහෝවා දෙව් එක්කත් එහෙම කරගන්න යනවා. උදව් ඉල්ලීමෙන් වළක්වන්න භය, උඩඟුකම හෝ ලැජ්ජාවට ඉඩ දෙන්න එපා. මතක තියාගන්න: යෙහෝවා “අතිශයින් කමාවෙනවා ඇත.”—යෙසායා 55:7.
[පාදසටහන්වල]
a සමහර නම් වෙනස් කර ඇත.
b ඔබේ දෙමාපියන් වෙත ළඟාවීම පිළිබඳ තොරතුරු සඳහා වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොතේ 2වන පරිච්ඡේදය බලන්න.
[26වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘පව් කර ඇති හැමෝටම මං දිරිගන්වන්නේ, යෙහෝවාට ඔවුන්ගේ හෘද විවෘත කරන්න කියලයි.’—ඇන්ඩෲ
[25වන පිටුවේ පින්තූරය]
දෙමාපියන් ඉදිරියේ වරද හෙළි කිරීම ආත්මික සුවයට මඟ පෑදිය හැකියි