බයිබලයේ දෘෂ්ටිකෝණය
දරුවන් තමුන්ගේම ආගම තෝරාගත යුතුද?
දරුවෙක් ඉපද නහඹරවිය වන තෙක්ම දෙමාපියන් තම දරුවා වෙනුවෙන් තේරීම් කරනවා. ඒත් එක්කම නම්‍යසුලු විය යුතු අවස්ථා දන්නා ඥානවන්ත දෙමාපියෙක් හැකි සෑම අවස්ථාවකම දරුවාගේ කැමැත්ත ගැනත් සලකා බලනවා.
එනමුත්, දරුවාට තේරීම් සම්බන්ධයෙන් කොයි තරම් නිදහසක් දිය යුතුද යන්න දෙමාපියන්ට අභියෝගයක් වෙන්න පුළුවන්. දරුවන්ට හරි තේරීම් කිරීමටත්, යම් ප්‍රමාණයකට ස්වාධීනව කටයුතු කිරීමෙන් ප්‍රයෝජන ලැබීමටත් හැකි බව සත්‍යයක් වුවත්, ඔවුන් ඛේදවාචකයකින් අවසන් වන වැරදි තේරීම් කළ හැකිය යන්නත් ඒ වගේම සත්‍යයක්.—2 රාජාවලිය 2:23-25; එපීස 6:1-3.
උදාහරණයක් වශයෙන්, දරුවන් පෝෂ්‍යදායී ආහාර තෝරගන්නවා වෙනුවට බොහෝ වෙලාවලට තෝරගන්නේ කඩචෝරුයි. ඒ ඇයි? කුඩා කාලෙදී ඔවුන්ටම හොඳ විනිශ්චයක් කරන්න බැරි හින්දයි. යථා කාලයේදී ඔවුන් පෝෂ්‍යදායී ආහාර තෝරගනියි කියලා හිතලා, මේ කාරණයේදී, තම දරුවන්ට ඔහේ ඕන එකක් තෝරගන්න ඉඩ දීලා ඉන්න එක දෙමාපියන්ට ඥානවන්ත දෙයක් වේවිද? නෑ. ඒ වෙනුවට, දෙමාපියන් තම දරුවන්ගේ දිගු කාලීන ශුභසිද්ධිය ගැන කල්පනාවේ තබාගෙන දරුවන් වෙනුවෙන් තේරීම් කළ යුතුයි.
මේ හේතුවෙන්, දෙමාපියන් තම දරුවන්ගේ ආහාර, ඇඳුම් පැළඳුම්, හිසකේ සැකසීම හා සදාචාරත්වය සම්බන්ධයෙන් තේරීම් කිරීම සුදුසු වෙනවා. නමුත් ආගම ගැන මොකක්ද කියන්න පුළුවන්? දෙමාපියන් ඒ තේරීමත් කරන එක සුදුසුද?
තේරීම
තමන්ගේ ආගමික විශ්වාසයන් පිළිපැදීමට තම දරුවන්ට බල කළ යුතු නැහැයි කියලා සමහර දෙමාපියන් තර්ක කරන්න පුළුවන්. ඇත්තෙන්ම, අවුරුදු 160කට ඉස්සෙල්ලා, ක්‍රිස්තියානි විශ්වාසයන් තිබුණායයි කිව්ව සමහරු, “දරුවන්ගේ සිත යම් විශේෂ ධර්මයකට පක්ෂ වෙයි කියන භය නිසා දරුවන්ට ආගම ඉගැන්විය යුතු නෑ; එනමුත් දරුවන් තේරීමක් කරන්නත්, එවැන්නක් තෝරාගන්නත් දක්ෂකමක් ලබන තුරු සිටීමට ඔවුන්ටම ඉඩහැරිය යුතුයි” කියන අදහස වැඩිදියුණු කළා.
කෙසේනමුත්, මේ අදහස බයිබලයේ දෘෂ්ටිකෝණයට එකඟ නෑ. දරුවන් උපන් දා සිටම ඔවුන්ගේ සිත්වල ආගමික විශ්වාසයන් පැලපදියම් කිරීම වැදගත් බව බයිබලයේ අවධාරණය කරයි. හිතෝපදේශ 22:6 මෙහෙම කියනවා: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.”
“දරුවෙකු” කියා පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයට ළදරු වියේ පටන් නහඹර විය තෙක් යන අදහස ඇතුළත්. කුඩා අවධියේ පටන් ඉගෙනීමේ වැදගත්කම සම්බන්ධයෙන් අ.එ.ජ., ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජෝසෆ් එම්. හන්ට් මෙසේ පැවසුවා: “දරුවෙක් හුඟක්ම වේගයෙන් වැඩෙන්නෙත්, වෙනස් වීම්වලට භාජන වෙන්නෙත්, ඔහුගේ ජීවිතයේ මුල් අවුරුදු හතර හෝ පහ අතර කාලයේදියි. . . . සමහරවිට [ඔහුගේ] මූලික හැකියාවන්ගෙන් සියයට 20ක් වර්ධනය වෙන්නේ ඔහුගේ පළවෙනි උපන්දිනයට ඉස්සෙල්ලයි; ඔහුට හතර වෙන්න ඉස්සෙල්ලා සමහරවිට අඩක්ම වර්ධනය වෙනවා.” දරුවෙකුගේ ජීවිතයේ කුඩා අවධියේ පටන්ම නැණවත් මඟ පෙන්වීමක් දෙමින් තම දරුවාව දේවමාර්ගවල පුහුණු කිරීම වැදගත් බවට බයිබලයේ ඇති දේවානුභාවයෙන් ලද උපදෙස මෙයින් උදක්ම අවධාරණය කරනවා.—ද්විතීය කථාව 11:18-21.
තම දරුවන්ගේ හිත්වල යෙහෝවාට ප්‍රේමයක් පැලපදියම් කිරීමට දේවබියැති දෙමාපියන්ට ශුද්ධ ලියවිලිවල මඟ පෙන්වා තිබෙන එක විශේෂයෙන්ම කැපීපෙනෙනවා. ද්විතීය කථාව 6:5-7 මෙසේ පවසයි: “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න. මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා [පැලපදියම් කර, NW ], නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.” (ඇල අකුරු අපේය.) “පැලපදියම් කර” යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් ක්‍රියාපදයෙහි, කර ගලක උපකරණයක් මුවත් කිරීම කියන අදහස ඇතුළත්ව තිබෙනවා. ඒ තත්වයට ගන්න නම්, පාරක් දෙපාරක් අතුල්ලලා හරියන්නෙ නෑ, මුවත එනතුරුම නැවත නැවත වෙර යොදා මුවත් කරන්න අවශ්‍යයි. ද නිව් ඉංග්ලිෂ් බයිබල් “නැවත කියන්න” යන හෙබ්‍රෙව් ක්‍රියාපදය ඉදිරිපත් කරයි. සරලව කියනවා නම්, “පැලපදියම් කර” යන්නෙන් කල්පවතිනවා යන අදහස ඇඟවෙනවා.—හිතෝපදේශ 27:17, සසඳන්න.
මේ නිසා, සැබෑ ක්‍රිස්තියානි දෙමාපියන්, තම ආගමික විශ්වාසයන් තම දරුවන්ගේ සිතට කාවැද්දීමට තමන්ට තිබෙන යුතුකම ගැන බැරෑරුම් ලෙස කල්පනා කර බැලිය යුතුයි. දරුවන්ටම තේරීම් කිරීමට ඉඩහරිමින් මෙම යුතුකම පිටුදැකීමට ඔවුන්ට නොහැකියි. ඔවුන්ගේ “බාලයන්ව” රැස්වීම්වලට රැගෙන යෑම මෙයට ඇතුළත්. එහිදී දෙමාපියන්ට දරුවන් එක්කම වාඩි වී, ආත්මික සාකච්ඡාවලට අවධානය දීම මගින්, එකමුතු පවුලකට ලැබිය හැකි ආත්මික ප්‍රයෝජන අගය කරන්නත් ඉන්පසු සහභාගි වෙන්නත් දරුවන්ට උපකාර කළ හැකියි.—ද්විතීය කථාව 31:12, 13; යෙසායා 48:17-19; 2 තිමෝති 1:5; 3:15.
දෙමාපිය යුතුකම
ආහාරයක් පෝෂ්‍ය නිසා, ඒක කන්න කියලා දරුවෙකුට කිව්ව පමණින් දරුවා එය ප්‍රීතියෙන් භුක්ති විඳින බවක් අදහස් වෙන්නේ නෑ. මෙබැවින්, දරුවාගේ රුචියට අනුව හැකි තරම් රුචිකත්වය වඩවන ආකාරයෙන් මේ අත්‍යවශ්‍ය ආහාර සාදන ආකාරය නැණවත් මවක් දන්නවා. තවත්, දරුවාට ජීරණය කරගන්න පුළුවන් විදිහකට ආහාර පිළියෙළ කරන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
එලෙසම, ආගමික උපදෙස් ලැබෙන කොට මුලදී දරුවෙක් වැඩි කැමැත්තක් නොදක්වන්න පුළුවන්; කාරණය සම්බන්ධයෙන් හේතු පැහැදිලි කිරීමෙන් වැඩක් වෙන්නේ නැති බවත් දෙමාපියෙකුට පෙනෙන්න පුළුවන්. කෙසේනමුත්, බයිබලයේ මඟ පෙන්වීම පැහැදිලියි—ළදරු වයසේ පටන් තම දරුවන්ව පුහුණු කිරීමට දෙමාපියන් තමන්ට හැකි උපරිමය කළ යුතුයි. මේ හේතුවෙන්, ඥානවන්ත දෙමාපියන්, දරුවාට ආත්මික දේවල් උරාගත හැකි ප්‍රමාණය සැලකිල්ලට ගෙන, දරුවා තුළ ආශාවක් වඩවන ආකාරයට ආගමික උපදෙස් ඉදිරිපත් කරනවා.
තම දරුවන්ට ජීවිතයේ අවශ්‍යතාවන් සපයන්න තමන්ට යුතුකමක් තිබෙන බවට ප්‍රේමනීය දෙමාපියන්ට දැඩි හැඟීමක් ඇති අතර, බොහෝ අවස්ථාවලදී දෙමාපියන්ට වඩා දරුවෙකුගේ අවශ්‍යතා හොඳින්ම දන්න වෙන කවුරුත් නෑ. මෙයට එකඟව, බයිබලය, ශාරීරිකව මෙන්ම ආත්මිකව සැපයීමේ මූලික යුතුකම තබන්නේ දෙමාපියන්ගේ—විශේෂයෙන්ම පියාගේ—කර මතයි. (එපීස 6:4) ඒ නිසා යුතුකම තවත් කෙනෙකුට පැටවීමට මාන බලමින් දෙමාපියන් තමන්ගේ වගකීම පැහැර නොහැරිය යුතුයි. අනුන්ගෙන් ලැබෙන උපකාරයෙන් ප්‍රයෝජන ගන්න ඔවුන්ට පුළුවන් වුවත්, ඒවා දෙමාපියන් දෙන ආගමික උපදෙස්වල තැන ගන්නේ නෑ; ඒවාට අතිරේකයකුත් නෙවෙයි.—1 තිමෝති 5:8.
ජීවිතයේ යම් මංසලකදී, තමන් පිළිපදින්න යන්නේ මොන ආගමික විශ්වාසයන්ද කියලා එක් එක් පුද්ගලයා තීරණය කරයි. කුඩා අවධියක සිටම තම දරුවන්ට ආගමික උපදෙස් දීමට ක්‍රිස්තියානි දෙමාපියන් පෞද්ගලික වගකීමක් ගන්නවා නම්, ඒ වගේම ස්ථිර ප්‍රතිපත්ති පදනම් කරගෙන හේතු විමසා බැලීම සඳහා ඔවුන්ට උපදෙස් දීමට ඔවුන් මේ කාලය යොදාගන්නවා නම්, ජීවිතයේ පසු කාලෙකදී දරුවා කරන තේරීම හුඟක් වෙලාවට හරි තේරීමක් වෙන්න පුළුවන්.—2 ලේකම් 34:1, 2; හිතෝපදේශ 2: 1 - 9.
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Doré Bible Illustrations/Dover Publications, Inc.