සෞඛ්‍යයට අහිතකර ජීවන රටාවන් වියදම කොපමණ මහත්ද?
“අසනීප කියන්නේ සෑම මිනිසෙකුගේම ස්වාමියා” කියා ඕලන්ද ආප්තෝපදේශයක සඳහන් වෙනවා. ඇත්තෙන්ම මේ “ස්වාමියා” මොනතරම් කුරිරු කෙනෙක් විය හැකිද කියා, නිදන්ගත රෝගයකින් පෙළෙන ඕනෑම කෙනෙකු නිසැකවම සාක්ෂි දේවි. ඒ වුණත්, අසනීප, ස්වාමියෙකුට වඩා ඇරයුම් කළ ආගන්තුකයෙකුට බොහෝදුරට සමාන වෙනවා. රෝගීන් රෝහල්ගත වී සිටින දවස්වලින් සියයට 30කට හේතුව, වැළැක්විය හැකිව තිබූ රෝග හා අනතුරුවලට ගොදුරු වීමයි කියා එ.ජ. තිබෙන රෝග පාලනය කිරීමේ හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දක්වනවා. මෙයට හේතුව? සෞඛ්‍යයට අහිතකර හා අනතුරුදායක ජීවන රටාවන්. උදාහරණ කිහිපයක් සලකා බලන්න.
දුම්පානය. වයස අවුරුදු 53ක් වන අයිරා, දශක හතරකට ආසන්න කාලයක් දුම්පානය කිරීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ එම්පිසිමාව වැළඳීමයි. ඔහුගේ මේ රෝගී තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා බෝතල්වල අසුරන ලද ඔක්සිජන් ඔහුට නොකඩවා සැපයිය යුතුයි; ඒ සඳහා මසකට රුපියල් 24,000ක් පමණ වැය වෙනවා. වර්ෂ 1994දී ඔහුගේ රෝගී තත්වය හේතුවෙන් දවස් නවයක් රෝහල්ගත වී සිටීම නිසා, දැරීමට සිදු වූ වියදම රුපියල් 10,80,000ක් වුණා; ඒ අවුරුද්දේ අයිරාගේ මුළු සෞඛ්‍ය වියදම රුපියල් 12,00,000ක් දක්වා වැඩි වුණා. ඒ වුණත්, දුම්පානය ඉක්මනින්ම නතර කර දමන්න ඕනෙ කියලා අයිරාට හැඟෙන්නේ නැහැ. “මට තියෙන්නේ පුදුම ආශාවක්” කියා ඔහු කියනවා.
අයිරාගේ අද්දැකීම අසාමාන්‍ය එකක් නොවෙයි. දුම්පානය හා සම්බන්ධ ප්‍රචලිත භයානක රෝග තිබෙනවා කියා දැනගෙන සිටියත්, ලොව පුරා දුම්වැටි බිලියන 15ක් දිනපතා දල්වනවා. එක්සත් ජනපදයේ, දුම්පානය හා සම්බන්ධ රෝග සඳහා වැය කරන වාර්ෂික සෞඛ්‍ය වියදම රුපියල් බිලියන 3,000ක් වන බව ගණන් බලා තිබෙනවා. වර්ෂ 1993දී මෙයින් අදහස් වූයේ, සාමාන්‍යයෙන් මිල දී ගත් සෑම සිගරට් පැකට්ටුවක් වෙනුවෙන්ම, දුම්පානය හා සම්බන්ධ වෛද්‍ය වියදම් සඳහා ආසන්න වශයෙන් රුපියල් 123.60ක් පමණ වැය කර තිබෙන බවයි.
දරුවෙක් බිහි වන විට, දුම්පානය කිරීම හා සම්බන්ධ වෛද්‍ය වියදම් ගොඩගැසීම ආරම්භ විය හැකියි. දුම්පානය කරන මව්වරුන් බිහි කරන බිළිඳුන්ගේ තොල් පැළීමේ අවදානම දෙගුණයක් බවත්, ඒ තත්වයට ගොදුරු වන ළදරුවන්ට අවුරුදු දෙකක් වන විට සැත්කම් හතරක් කරන්න සිදු විය හැකි බවත් එක්සත් ජනපදයේ කළ අධ්‍යයනයකින් හෙළි වී තිබීම, මේ හා සම්බන්ධ එක් උදාහරණයක් විතරයි. මේ රෝග තත්වය සඳහා සාමාන්‍ය ආයු කාලය පුරා එක් තැනැත්තෙකු වෙනුවෙන් දැරීමට සිදු වන වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ඒ හා සම්බන්ධ වියදම රුපියල් 60,00,000ක් වෙනවා. ඇත්තෙන්ම, උපතේදී සිදු වන ශාරීරික ආබාධ හේතුවෙන් ඇති වන මානසික වේදනාව මුදලින් මනින්න බැහැ.
දුම්පානය කරන බොහෝදෙනෙකු සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලබාගැනීම තෙක් ජීවත් වන්නේ නැති නිසා, ඔවුන් වෙනුවෙන් දරන අධික සෞඛ්‍ය වියදම් එයින් පියවෙනවා කියා සමහරු පවසනවා. කොහොමවුණත්, “මෙම නිගමනය මතභේදයට තුඩු දෙන දෙයක්; තවදුරටත්, දුම්පානය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සිදු වන අකල් මරණ, සෞඛ්‍ය ආරක්ෂණ වියදම් පාලනය කිරීම සඳහා යොදාගන්නා අනුකම්පාසහගත ක්‍රියාමාර්ගයක් නොවන බවට බොහෝදෙනෙක් එකඟ වෙනවා” කියා ද නියූ ඉංග්ලන්ඩ් ජ’නල් ඔෆ් මෙඩිසින්හි සඳහන් වෙනවා.
මත්පැන් අනිසි භාවිතය. සිරෝසිස්, හෘද රෝග, ගැස්ට්‍රික්, වණ හා අග්න්‍යාශදාහය යනාදි රෝග ඇතුළු සෞඛ්‍ය ගැටලු ගණනාවක්, මත්පැන් අනිසි භාවිතය හා සම්බන්ධව පවතිනවා. බොහෝදුරට නියුමෝනියාව වැනි බෝවෙන රෝගවලට ගොදුරු වීමට ඉඩ කඩ තිබෙනවා. ආචාර්ය ස්ටැන්ටන් පීලී පවසන පරිදි, එක්සත් ජනපදයේ සෑම වසරකම “මත්පැන් පානය කිරීම පාලනය කරගත නොහැකි අයට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් බිලියන 600ක් වැය කරනවා.”
මත්පැන් බොහෝවිට ගර්භාශයේ තිබෙන භෲණයට බලපානවා. එක්සත් ජනපදයේ පමණක් සෑම වසරකම දරුවන් දසදහස් ගණනක්, ගැබිණි කාලයේදී තමන්ගේ මව්වරුන් මත්පැන් පානය කළ නිසා, ආබාධ සහිතව ඉපදෙනවා. මේ බිළිඳුන්ගෙන් කිහිපදෙනෙකුට භෲණ මත්පැන් සංධාවය (භෲමස) තිබෙන බව හඳුනාගෙන තිබෙන අතර, බොහෝවිට මොවුන් ශාරීරික හා මානසික ආබාධවලින් පෙළෙනවා. භෲමස නමැති රෝගී තත්වයෙන් පෙළෙන සෑම දරුවෙක් සඳහාම සාමාන්‍ය ආයු කාලය පුරා දැරීමට සිදු වන වෛද්‍ය වියදම රුපියල් මිලියන 84ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා.
මත්පැන් මගින් හදිසි ආවේගයන් පාලනය කිරීම පහත් මට්ටමක තබන නිසා, බොහෝවිට අධික මත්පැන් පානය කිරීම මගින් හදිසියේ සිදු වන සාහසික ක්‍රියාවල ප්‍රතිඵලයක් හැටියට වෛද්‍ය සැලකිල්ල අවශ්‍ය කරන තුවාල සිදු විය හැකියි. බීමත්ව රිය පදවන අය විසින් සිදු කරන අනතුරු නිසා යථා තත්වයට පත් කළ නොහැකි හානි සිදු වෙනවා. බීමත් කාන්තාවක් විසින් පදවාගෙන ගිය මෝටර් රථය, ලින්සිගේ මව විසින් පදවාගෙන ගිය මෝටර් රථය හා වේගයෙන් ගැටීමෙන් පසු, පිටුපස ආසනයේ වාඩි වී සිටි අට හැවිරිදි ගැහැනු ළමයෙකු වන ලින්සි පැළඳ සිටි ආරක්ෂක පටිය ගැළවී යෑමෙන් සිදු වූ දෙය සලකා බලන්න. ලින්සිට සති සතක් රෝහලේ නතර වීමට සිදු වූ අතර, සැත්කම් කිහිපයකටම භාජන වන්න සිදු වුණා. ඇගේ වෛද්‍ය වියදම රුපියල් 1,80,00,000 ඉක්මවා ගියා. ඒ කොහොමවුණත් ජීවත් වීමේ භාග්‍යය ඈට තිබුණා.
මත්ද්‍රව්‍ය අනිසි භාවිතය. අමෙරිකාවේ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හා සම්බන්ධ වාර්ෂික වියදම රුපියල් බිලියන 4,020ක් වන බව එක් පර්යේෂකයෙක් ගණන් බලා තිබෙනවා. ඇබ්බැහි වීම හා අනිසි භාවිත ද්‍රව්‍ය මධ්‍යස්ථානයේ සභාපති වන, කනිෂ්ඨ ජෝශෆ් කැලෆානො, නියූ යෝක් කොලම්බියා විශ්වවිද්‍යාලයේදී, මේ ගැටලුව හා සම්බන්ධ තවත් පැත්තක් මෙසේ පෙන්වා දුන්නා: “ගැබිණි කාලයේදී කොකේන් පාවිච්චි කරන මව්වරුන් බිහි කරන බිළිඳුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දවසකට රුපියල් 1,20,000ක් අය කරන වාට්ටු අලුත උපන් බිළිඳුන්ගේ පිරිලා; අවුරුදු දහයකට කලින් මෙය දුලබ දර්ශනයක්. . . . මේ එක් බිළිඳෙකුව වැඩිහිටි වයස දක්වා ජීවත් කරවීම සඳහා රුපියල් මිලියන 60ක් වැය විය හැකියි.” තවදුරටත් කැලෆානො මෙසේ පවසනවා: “රෝහල්ගත වී ප්‍රතිකාර ලැබූ මත්ද්‍රව්‍ය භාවිත කළ රෝගීන් වෙනුවෙනුත් නොමිලේ සපයන ප්‍රතිකාර වෙනුවෙනුත් 1994දී දැරීමට සිදු වූ රුපියල් බිලියන 180න් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ, දරු ප්‍රසූතියට පෙර ප්‍රතිකාර ලබාගැනීමටත් මත්ද්‍රව්‍ය අනිසි භාවිතය නතර කිරීමටත් උත්සාහ නොකළ ගැබිණි මව්වරුනුයි.”
මේ පාපතර ක්රියාවේ මැනිය නොහැකි මානුෂික පාඩුව ගැන අපි සලකා බලද්දී, මේ තත්වය හා සම්බන්ධ ශෝකය තවත් වැඩි වෙනවා. විවාහ ජීවිතයේ ආරවුල්, අත්හැර දැමූ දරුවන් හා මුදල් හිඟවීම යනාදිය, මත්ද්‍රව්‍ය භාවිතය නිසා පවුල්වල බිඳවැටීමට බලපාන පොදු ගැටලු අතර දක්නට තිබෙනවා.
අනාචාරය. එක්සත් ජනපදයේ මිනිසුන් දශලක්ෂ 12කට වඩා වැඩි පිරිසක් ලිංගිකව බෝවෙන රෝගවලට (ලිංබෝරෝ) සෑම වසරකම ගොදුරු වෙනවා; ඒ අනුව සංවර්ධිත රටවලින් ලිංබෝරෝ අනුපාතය ඉහළම මට්ටමක පවතින්නේ එක්සත් ජනපදයෙයි. ස්වස්ථතාව හා මහජන සෞඛ්‍යය පිළිබඳ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ඩේවිඩ් සෙලන්ටානො මෙය හඳුන්වන්නේ, “ජාතික අවුලක්” හැටියටයි. ඒඩ්ස් හැර, මේ රෝගවල ඍජු වියදම වාර්ෂිකව රුපියල් බිලියන 600ක් පමණ වෙනවා. නහඹරයන් විශේෂ අවදානමක සිටිනවා. ඒ ගැන පුදුම විය යුතු නැහැ! එක් වාර්තාවකට අනුව, ඔවුන් පාසැලේ 12වන වසරට ළඟා වෙන කොට ඔවුන්ගෙන් සියයට 70ක් පමණ ලිංගික සබඳතා පවත්වා තිබෙන අතර, ඒ අයගෙන් සියයට 40ක් අඩුම තරමින් හතරදෙනෙක් සමඟවත් ලිංගික සබඳතා පවත්වා තිබෙනවා.
ඒඩ්ස් කියන්නේ නිරෝගිකම විනාශ කරන රෝගයක්. වර්ෂ 1996 මුල් භාගයේදී, ලබාගත හැකි වූ වඩාත්ම ඵලදායී ප්‍රතිකාරය—කලින් ප්‍රමිතිය අනුව නිපදවූ ඖෂධ සමඟ මිශ්‍ර කරන ප්රොටියේස් මර්දනයන්—සඳහා වසරකට පුද්ගලයෙකුට රුපියල් 7,20,000 සිට රුපියල් 10,80,000ක් දක්වා වැය වෙනවා. ඒත් මෙය ඒඩ්ස් වෙනුවෙන් දරන සැඟවුණු වියදම්වලින් කොටසක් විතරයි; ඒඩ්ස් රෝගයට ගොදුරු වූ තැනැත්තාගේ හා ඔහුට සාත්තු කිරීම සඳහා රැකියාවෙන් හෝ පාසැලෙන් නිවාඩු ගන්න අයගේ වැඩවල ඵලදායිත්වය අඩුවීම මෙයට ඇතුළත් වෙනවා. වසර 2000 වන විට, HIV හා ඒඩ්ස් සඳහා රුපියල් බිලියන 21,360 සිට රුපියල් බිලියන 30,840ක් දක්වා මුදලක් ලොව පුරා වැය කරන්න සිදු වන බව ගණන් බලා තිබෙනවා; එම මුදල ඕස්ට්‍රේලියාව හෝ ඉන්දියාව යන රටවල් දෙකෙන් එකක මුළු ආර්ථිකයම සහමුලින්ම විනාශ කළ හැකි මුදලට සමානයි.
සාහසිකකම. වර්ෂ 1992දී සාහසික ක්‍රියා හේතුවෙන් දැරීමට සිදු වූ වෛද්‍ය වියදම රුපියල් බිලියන 810ක් වූ බව, එක්සත් ජනපදයේ ප්‍රධාන ශෛල්‍ය වෛද්‍ය නිලධාරිනිය හැටියට කටයුතු කළ ජැස්ලින් එල්ඩ’ස් වාර්තා කළා. එ.ජ. ජනාධිපති බිල් ක්ලින්ටන් මෙසේ නිරීක්ෂණය කළා: “අමෙරිකාවේ සෞඛ්‍ය වියදම් ඉතා අධික වීමට එක් හේතුවක් වන්නේ, තුවාල කිරීම් හා වෙඩි තැබීම් නිසා තුවාලකරුවන්ගෙන් අපේ රෝහල් හා හදිසි ප්‍රතිකාර ඒකක පිරීයෑමයි.” ද ජ’නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් ඇසොසියේෂන්, එක්සත් ජනපදයේ සිදු වන සාහසිකකම් “මහජන සෞඛ්‍ය අනතුරක්” හැටියට හඳුන්වන්නේ හොඳ හේතු ඇතුවයි. එම වාර්තාවේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා: “සාහසිකකම සැබවින්ම රෝගයක් නොවූවත්, පෞද්ගලික හා මහජන සෞඛ්‍යයට එමගින් ඇති වන බලපෑම, බොහෝ ශාරීරික හානිවලට වඩා වැඩියි—ඇතැම්විට අතිවිශාල විය හැකියි.”
වර්ෂ 1993 මුල් මාස නවයේදී, සාහසිකකමට ගොදුරු වූ එක් අයෙකු සඳහා කළ සාමාන්‍ය වියදම රුපියල් 5,76,000ක් වූ බව කොලරාඩෝහි රෝහල් 40කින් නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා. රෝහල්ගත වූ අයගෙන් අඩකටත් වැඩි පිරිසක් රක්ෂණය වී නොසිටි අතර, මොවුන්ගෙන් වැඩිදෙනෙක් තමන්ගේ වියදම් ගෙවීමට නොහැකිව සිටියා, නැත්නම් ගෙවන්න කැමති වුණේ නැහැ. එවැනි තත්වයන් අධික බදු, අධික රක්ෂණ වාරික සහ අධික රෝහල් ගාස්තුවලට හේතු වෙනවා. කොලරාඩෝ රෝහල් සංගමය මෙසේ වාර්තා කරනවා: “අපි හැම කෙනෙක්ම ගෙවනවා.”
ජීවන රටාවේ වෙනසක්
මිනිස් දෘෂ්ටිකෝණය අනුව සලකා බලන විට, සෞඛ්‍යයට අහිතකර ජීවන රටාව හා බැඳි මේ නැඹුරුවාවන් සම්පූර්ණයෙන් වෙනස් කිරීමේ අපේක්ෂාව කවදාවත් ඉටු වෙන එකක් නොවෙයි. “අමෙරිකාව ඒදන් උයන නොවන අතර, අනිසි ලෙස යොදාගන්නා කිසිම දෙයක් අපිට කවදාවත් අප අතුරින් තුරන් කර දමන්න නොහැකි වේවි” කියා කොලම්බියා විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා. “ඒ වුණත් අපි මේ අනිසි භාවිතයන්ගෙන් වැළකී සිටිනවා නම්, වඩාත් සෞඛ්‍යසම්පන්න බිළිඳුන්, සාහසිකකම් හා අපරාධ අඩුවීම, වඩා අඩු බදු, අඩු සෞඛ්‍ය වියදම්, වැඩි ලාභ, වඩා හොඳ උගත් සිසුන් හා ඒඩ්ස් රෝගීන් ඉතා අඩු ප්‍රමාණයක් යනාදිය ඇතුළත් හොඳ ප්‍රතිඵල අපිට ලැබේවි.”
එම ඉලක්කය අත් පත් කරගැනීමේදී, බයිබලය ඉමහත් උපකාරයක් සපයන බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් සොයාගෙන තිබෙනවා. බයිබලය කියන්නේ, සාමාන්‍ය පොතක් නෙවෙයි. එය මිනිසාගේ මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ ආනුභාවයෙන් ලිව්වා. (2 තිමෝති 3:16) “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත්” ඔහුයි. (යෙසායා 48:17) බයිබලයේ සඳහන් කර තිබෙන ප්‍රතිපත්ති නිරෝගි සෞඛ්‍යයකට මඟ පාදන අතර, එහි උපදෙස් අනුගමනය කරන අය ඉමහත් ප්‍රයෝජන අත් කරගන්නවා.
උදාහරණයක් හැටියට, කලක් අධික සේ දුම්පානය කරමින් සිටි එස්ත’ ගැන සලකා බලන්න.a ඈ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගැනීමෙන් පසු, නියූ යෝක් බෲක්ලින්හි පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය නැරඹීම සඳහා යෑමට, ඈ සමඟ බයිබලය පාඩම් කළ සාක්ෂිකාරිය දිනක් ඈට ආරාධනා කළා. මුලදී, එස්ත’ ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දුම්පානය කරන්නේ නැහැ කියා ඈ දැනගෙන සිටි නිසා, මුළු දවසක්ම ඔවුන් එක්ක ගත කරන්නේ කොහොමද කියා ඈ කල්පනා කළා. සිගරට් එකක් බොන්න හිතුණොත්, කාටවත් පෙනෙන්නේ නැති විදිහට, වැසිකිළියට ගොස් සිගරට් එකක් බොනවා කියා සිතමින්, එස්ත’ සිගරට් එකක් ඇගේ පසුම්බියේ දමා ගත්තා. කලින් සිතාගත් විදිහට, එස්ත’ එක් ප්‍රදේශයක් නැරඹීමෙන් පසුව, ස්ත්‍රීන් සඳහා වෙන් කර තිබූ කාමරයට ගොස්, ඇගේ පසුම්බියේ දමාගත් සිගරට් එක අතට ගත්තා. ඒත් යම් දෙයක් ඇගේ සැලකිල්ලට යොමු වුණා. එහි තිබූ වැසිකිළිය කිසිම කැළලක්වත් නැතුව පිරිසිදුව තිබුණා. ඒ වගේම නැවුම් සුවඳක් තිබුණා. “ඒ සිගරට් එක බීලා, එතැන අපවිත්‍ර කරන්න මට හිතුණේ නැහැ; මම ඒක වැසිකිළි වළට දැම්මා. ඒක තමයි මං අන්තිම වතාවට අල්ලපු සිගරට් එක!” කියා එස්ත’ ඒ සිද්ධිය මතකයට නංවනවා.
ලොව පුරා එස්ත’ හා සමාන දශලක්ෂ ගණනක් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමට ඉගෙනගනිමින් සිටිනවා. ඔවුන් පෞද්ගලිකව ප්‍රයෝජන අද්දකින අතර, ඔවුන් ජීවත් වන ප්‍රජාවට මහත් වටිනාකමකින් යුත් අය බවට ඔවුන් පත් වෙනවා. වඩාත්ම වැදගත් දෙය නම්, ඔවුන් තමන්ගේ මැවුම්කරු වන යෙහෝවා දෙවිට ගෞරවය ගෙන ඒමයි.—හිතෝපදේශ 27:11, සසඳන්න.
“ඒදන් උයන[ක්]” නැවත පිහිටුවීමට මනුෂ්‍යයා දරන වෑයම්වලට නොහැකි වුණත්, දෙවි එසේ කරන්න යන බව බයිබලය පවසනවා. දෙවන පේතෘස් 3:13හි මෙසේ සඳහන් වෙනවා: “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [ඔහුගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.” (යෙසායා 51:3, සසඳන්න.) ඒ අලුත් පොළොවේදී, මනුෂ්‍යවර්ගයා පරිපූර්ණ සෞඛ්‍යයකින් යුත් ජීවිතයක් භුක්ති විඳින්න යන නිසා, සෞඛ්‍ය ආරක්ෂාව ගැන තවදුරටත් කනස්සල්ලෙන් සිටින්න අවශ්‍ය වෙන්නේ නැහැ; ආරම්භයේදී දෙවි අරමුණු කළ ආකාරයමයි. (යෙසායා 33:24) දෙවිගේ පොරොන්දු ගැන තවත් දේවල් දැනගන්න ඔබ කැමතිද? ඔබට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටු වෙයි.
[පාදසටහන]
a ඇගේ සැබෑ නම නොවෙයි.
[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
© 1985 P. F. Bentley/Black Star