බයිබලයේ දෘෂ්ටිකෝණය
මස් කන එක වැරදිද?
“බලව, මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි; එය නුඹලාට ආහාර පිණිස වන්නේය.”—උත්පත්ති 1:29.
එළවළු පමණක් කන හින්දු පවුලකින් පැමිණෙන දහ-අට-හැවිරිදි සුජාතා, මුල් මනුෂ්‍යයා වූ ආදම්ට ආහාර සම්බන්ධයෙන් දෙවි දුන් උපදෙස්වලට කැමැත්තෙන් එකඟ වුණා. නමුත් ඈ එකෙණෙහිම මෙහෙම ඇහැව්වා: “එහෙමනම්, ඕනතරම් කන්න දේවල් තියෙද්දී මිනිස්සු කෑමට සත්තු මරන්නේ ඇයි?”
ලොව වටා බොහෝදෙනෙක් මේ විදිහටමයි කල්පනා කරන්නේ. පෙරදිගෙහි මිලියන සිය ගණනක් අනුගමනය කරන්නේ මස් රහිත ආහාර රටාවක්. ඊට අමතරව, අපරදිගෙහි, එළවළු පමණක් කන සෑහෙන සංඛ්‍යාවක් වැඩි වෙමින් පවතිනවා. එක්සත් ජනපදයේ පමණක්, මිලියන 12.4ක පමණ සෙනඟක් එළවළු පමණක් කන අය බව ප්‍රකාශ කර සිටින අතර, දශකයකට පෙර තිබුණාට වඩා මිලියන 3ක් පමණ වැඩියි.
මස් රහිත ආහාරවලට එතරම් සෙනඟක් ප්‍රිය කරන්නේ ඇයි? සත්ව ජීවිතය පිළිබඳ වඩාත් සුදුසු ආකල්පය කුමක්ද? මස් කෑම ජීවිතයට අගෞරව කිරීමක්ද? උත්පත්ති 1:29හි ප්‍රකාශ කළ දෙය සලකා බලද්දී, මස් කන එක වැරදිද? ප්‍රථමයෙන්ම, සමහරු නොකන්නේ ඇයි කියලා සලකා බලන්න.
සමහරු මස් නොකන්නේ ඇයි?
සුජාතාගේ ආහාර රටාවට ඇගේ ආගමික විශ්වාසයන් ඇතුළත්ව තිබෙනවා. “මම හැදී වැඩුණේ පුනරුත්පත්තියේ ධර්මය විශ්වාස කරන හින්දු භක්තිකයෙක් හැටියටයි” කියා ඇය පැහැදිලි කරනවා. “මනුෂ්‍ය ප්‍රාණයට යළි සත්වයෙක් වෙලා එන්න පුළුවන්කම තියෙන නිසා, මම හිතන්නේ සත්වයන් මට සමානයි කියලයි. ඒ නිසා උන්ව ආහාරය සඳහා මරණ එක වැරදි බවයි පේන්න තියෙන්නේ.” වෙනත් ආගම්ද එළවළු පමණක් ආහාරයට ගැනීම නිර්දේශ කරනවා.
ආගමික විශ්වාසයන්ට අමතර සාධකත් ජනයාගේ ආහාර තේරීම්වලට බලපානවා. උදාහරණයක් වශයෙන්, වෛද්‍ය නීල් බානාඩ් පැහැදිලිව, ස්ථිරයෙන්ම මෙහෙම ප්‍රකාශ කරනවා: “මස් කන්න එකම හේතුව පුරුද්ද නැත්නම් නූගත්කමයි.” ඔහුගේ බලවත් අදහස පදනම් කළේ, හෘද රෝග සහ පිළිකාව වැනි මස් කෑමෙන් ඇති වන සෞඛ්‍ය අවදානම මතයි.a
එක්සත් ජනපදයේ, එළවළු පමණක් ආහාරයට ගන්නා ශීඝ්‍රයෙන් වැඩි වන කණ්ඩායම, නහඹරයන්. තවද සත්වයන් සඳහා සැලකිල්ලක් දැක්වීම එක හේතුවක්. “ළමයි සත්වයන්ට ආදරෙයි” කියා, සත්වයන්ට ආචාර ධර්මානුකූලව සැලකීම සඳහා ජනයා නම් වූ සංවිධානයේ ට්‍රේසි රයිමන් පවසනවා. “සත්වයන්ව ආහාරය පිණිස මරන්න ඉස්සෙල්ලා උන්ට මොකක්ද වෙන්නේ කියලා ඔවුන් දැනගන්න පටන්ගන්න කොට ඔවුන්ට හැඟෙන දයානුකම්පාව තව තවත් වැඩි වෙනවා.”
පරිසරය පිළිබඳව සාවධානව සිටින බොහෝදෙනෙක් තම ආහාර රටාවත්, ආහාරය පිණිස සත්වයන් ඇති කිරීමේදී ස්වාභාවික සම්පත් අතිවිශාල ප්‍රමාණයක් යොදවන්න සිදුවීමත් අතර සම්බන්ධය තේරුම්ගන්නවා. උදාහරණයක් වශයෙන්, හරක් මස් කිලෝග්‍රෑම් එකක් පමණක් නිපදවන්න වතුර ලීටර් 3,300ක් අවශ්‍ය වන අතර, කුකුල් මස් කිලෝග්‍රෑමයකට ලීටර් 3,100ක් අවශ්‍ය වෙනවා. සමහරුන්ට, මස් නොකෑමට මෙය හේතුවක් වෙලා තියෙනවා.
ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබ මස් කෑමෙන් වැළකිය යුතුද? ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඉස්සෙල්ලා, තව දෘෂ්ටිකෝණයක් සලකා බලන්න. ගීතාවලිය 50:10, 11හි සඳහන් වී ඇති පරිදි, සියල්ල සෑදූ යෙහෝවා දෙවි මෙසේ පවසනවා: “වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය. කඳුවල සියලු පක්ෂීන් දනිමි. කෙතේ වල් සත්තුද මාගේය.” ඇත්තෙන්ම සියලු සතුන් දෙවිට අයිති නිසා, සත්ව ජීවිතය ගැනත්, මනුෂ්‍යයා එය ආහාරය පිණිස ගැනීම ගැනත් මැවුම්කරුට හැඟෙන ආකාරය තේරුම්ගැනීම වැදගත්.
සත්වයන් මැරීම වැරදිද?
සත්වයන් මනුෂ්‍යයන්ට සමානයි කියලා බලවත් ලෙස හැඟෙන සුජාතා වැනි සමහරුන්ට සිතෙන්නේ, මොනම අරමුණකින් හෝ සත්වයෙකුගේ ජීවිතයක් ගැනීම වැරදියි—ආහාරය සඳහා උන්ව මැරීම ඊටත් වඩා වැරදියි කියලයි. කෙසේනමුත්, සත්ව ජීවිතය සහ මනුෂ්‍ය ජීවිතය වෙන් කොට දක්වන දෙවි විවිධ හේතු සඳහා සත්වයන් මැරීමට ඉඩ දෙන බව ශුද්ධ ලියවිලි පෙන්නුම් කරනවා. නිදසුනක් වශයෙන්, ඉශ්‍රායෙල්හි සත්වයෙකුගෙන් මනුෂ්‍ය ජීවිතයට හෝ කෙනෙකු ඇති කරන සත්වයන්ට හෝ තර්ජනයක් එල්ල වුණොත්, එවිට ඒ සත්වයාව මරාදැමිය හැකිව තිබුණා.—නික්මයාම 21:28, 29; 1 සාමුවෙල් 17:34-36.
මුල්ම කාලයේ පටන්, නමස්කාරයේදී පූජා වශයෙන් සත්වයන් ඔප්පු කිරීමට දෙවි අනුමැතිය දී තිබුණා. (උත්පත්ති 4:2-5; 8:20, 21) වාර්ෂිකව පාස්කු උත්සවය පැවැත්වීම මගින්, මිසරයෙන් තමන්ගේ පිටත්ව ඒම සම්බන්ධයෙන් සිහි කරන්න කියාද ඔහු ඉශ්‍රායෙල්වරුන්ට උපදෙස් දුන්නා; එයට බැටළුවෙක් හෝ එළුවෙක් පූජා කිරීම සහ උගේ මස් කෑම ඇතුළත්ව තිබුණා. (නික්මයාම 12:3-9) එමෙන්ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ, සත්ව පූජා සඳහා වෙනත් අවස්ථා තිබුණා.
පළමු වතාවට බයිබලය කියවද්දී, අවුරුදු 70ක් වයසැති හින්දු ස්ත්‍රියකට සත්ව පූජා අප්‍රසන්න දෙයක් බව දැනුණා. නමුත් ශුද්ධ ලියවිලි පිළිබඳ ඇගේ දැනගැන්ම ඇය වැඩි කරගැනීමත් සමඟම, දෙවි අණ කළ පූජාවලට අරමුණක් තිබුණ බව ඇයට දකින්න පුළුවන් වුණා. ඒවා පව් කමාව සඳහා නීතික අවශ්‍යතාවක් ඉටු කිරීමට තිබූ යේසුස් ක්‍රිස්තුස්ගේ පූජාවට යොමු දක්වනු ලැබුවා. (හෙබ්‍රෙව් 8:3-5; 10:1-10; 1 යොහන් 2:1, 2) පූජාවල් බොහෝ අවස්ථාවලදී පූජකයාට ආහාර වශයෙනුත්, සමහර අවස්ථාවලදී නමස්කාරකයන්ට ආහාර වශයෙනුත් යොදාගැනුණා. (ලෙවී කථාව 7:11-21; 19:5-8) සෑම ජීවමාන සත්වයෙක්වම හිමි දෙවිට, අරමුණක් සඳහා එවැනි විධිවිධානයක් පිහිටුවීමට අයිතියක් තිබෙනවා. සැබවින්ම, යේසු මියගියහම නමස්කාරයේදී තවදුරටත් සත්ව පූජා යොදාගැනීමට අවශ්‍ය වුණේ නෑ.—කොලොස්සි 2:13-17; හෙබ්‍රෙව් 10:1-12.
ආහාර පිණිස සත්වයන් යොදාගැනීම
එහෙත්, ආහාර පිණිස සත්වයන් මැරීම ගැන මොකක්ද කියන්න පුළුවන්? මිනිසාගේ මුල් ආහාරය එළවළු වූ බව ඇත්තයි. නමුත් පසු කලෙක යෙහෝවා සත්ව මාංසත් ඊට ඇතුළත් කළා. අවුරුදු 4,000කට විතර ඉස්සර—ධර්මිෂ්ඨ නෝවාගේ දවස්වල—යෙහෝවා ලෝක ව්‍යාප්ත ජලගැල්මක් ඇති වෙන්න සලස්වා, එවකට පොළොවේ පැවති දුෂ්ටකමට කෙළවරක් ගෙනාවා. ජලගැල්මෙන් ආරක්ෂා වුණ නැවට ඔහු, නෝවාව, ඔහුගේ පවුල සහ පණ ඇති සතුන්ව ගෙනාවා. ඔවුන් නැවෙන් ගොඩ බැස්ස විට, මුල් වතාවට යෙහෝවා මෙහෙම ප්‍රකාශ කළා: “එහා මෙහා යන පණ ඇති සියල්ල නුඹලාට ආහාර වන්නේය; නිල් පලා ජාති මෙන් උන් සියල්ලන් මම නුඹලාට දුනිමි.” (උත්පත්ති 9:3) කොහොමනමුත්, ඒත් එක්කම දෙවි මේ නීතිය දුන්නා: “[දෙවි] තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය.” (උත්පත්ති 9:6) පැහැදිලිවම, දෙවි සත්වයන්ව මනුෂ්‍යයන්ගේ මට්ටමේම තැබුවේ නෑ.
ඇත්තෙන්ම, සත්වයන් පිළිබඳ සුජාතාගේ ඒත්තුගැනීම පදනම්ව තිබුණේ පුනරුත්පත්තියේ ධර්මය කෙරෙහි ඇයට තිබූ විශ්වාසය මතයි. මේ සම්බන්ධයෙන් බයිබලය පැහැදිලි කරන්නේ මනුෂ්‍යයන් හා සත්වයන් ප්‍රාණ වුණත්, ප්‍රාණය අමරණීය නැති බවයි. (උත්පත්ති 2:7; එසකියෙල් 18:4, 20; ක්‍රියා 3:23; එළිදරව් 16:3) ප්‍රාණ හැටියට, මනුෂ්‍යයන් සත්වයන් යන දෙපාර්ශ්වයම මැරී පැවැත්මෙන් තොර වෙනවා. (දේශනාකාරයා 3:19, 20) ඒත්, මනුෂ්‍යයන්ට දෙවිගේ නව ලොව තුළ නැවත නැඟිටීමේ මවිතකර බලාපොරොත්තුවක් තිබෙනවා.b (ලූක් 23:43; ක්‍රියා 24:15) සත්වයන් මනුෂ්‍යයාගේ සමානත්වයෙන් නොසිටින බව මෙයත් පෙන්වනවා.
“ඒ වුණත්, ආහාරයේ වෙනසක් සිදු කළේ ඇයි” කියා දැනගන්න සුජාතාට ඕනෙ වුණා. ජලගැල්ම නිසා පොළොවේ දේශගුණයෙහි පැහැදිලිවම විශාල වෙනස්කම් සිදු වෙලා තියෙනවා. මිනිසාගේ ආහාරයට මස් හඳුන්වා දුන්නේ එළවළු වර්ග හිඟ ප්‍රදේශවල ජීවත් වෙන අනාගත පරම්පරාවල අවශ්‍යතා ගැන යෙහෝවා කල්පනා කළ නිසාදැයි අපි දන්නේ නෑ; බයිබලය ඒ ගැන කිසිවක් පවසන්නේ නෑ. නමුත් සියලු ජීවමාන දේවල අයිතිකරුට වෙනසක් හඳුන්වා දීමට අයිතියක් තිබුණ බව පිළිගන්න සුජාතාට හැකි වුණා.
සත්ව ජීවිතය සඳහා ගෞරවය දීම
ඒත්, සුජාතා මෙහෙම කල්පනා කරන්න වුණා, ‘සත්ව ජීවිතයට අපි අඩුම තරමින් මොනයම් ගෞරවයක්වත් දැක්විය යුතු නැද්ද?’ ඔව්, අපි එසේ කළ යුතුයි. එමෙන්ම අපිට එසේ කළ හැකි ආකාරය ගැන සියලු දේවල මැවුම්කරු අපට පවසා තිබෙනවා. “මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑයුතුය” කියා උත්පත්ති 9:4හි ඔහු නියෝගයක් දුන්නා. රුධිරය කෑම තහනම් කර තිබෙන්නේ මන්ද? “මක්නිසාද මාංසයේ පණ [ජීවය] තිබෙන්නේ ලෙයෙහිය” කියා බයිබලය පවසනවා. (ලෙවී කථාව 17:10, 11) යෙහෝවා මෙසේ කොන්දේසියක් දී තිබෙනවා: ‘ලේ නොකා එය වතුර මෙන් භූමිය පිට වත් කළ යුතුයි.’—ද්විතීය කථාව 12:16, 24.
මස් කෑමට ප්‍රස්තාවක් තිබීමෙන් අදහස් කරන්නේ, දඩයම් කිරීමෙන් හුදු විනෝදයක් ලැබීමට හෝ පෞද්ගලික දක්ෂතාව පෙන්වීමට සත්ව රුධිරය අනවශ්‍ය ලෙස වැගිරවීමේ නිරතව ඉන්න බලපත්‍රයක් තිබෙනවා කියන එක නෙවෙයි. නිම්රොද් පැහැදිලිවම මෙසේ කළා. බයිබලය ඔහුව හඳුන්වන්නේ “[යෙහෝවා] ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක්” කියායි. (උත්පත්ති 10:9) අදදින පවා, සත්වයන් දඩයම් කිරීමෙන් සහ මැරීමෙන් සතුටක් ලැබීම සමහරු තුළ පහසුවෙන් වර්ධනය වෙන්න පුළුවන්. නමුත් එවැනි ස්වභාවයක් සත්ව ජීවිතයට කිසිම සැලකිල්ලක් නැති තත්වයකට සමාන වන අතර, දෙවි එය අනුමත කරන්නේ නෑ.c
සත්වයන් වෙත දයානුකම්පිත වීම
අදදින එළවළු පමණක් කන සමහරුන්ට, නවීන මස් කර්මාන්තය මගින් සත්වයන්ට සලකන ආකාරය සම්බන්ධයෙන්ද අවංක සැලකිල්ලක් තිබෙනවා. “සත්වයන්ගේ ස්වභාවික සහජාසයන් වෙත කෘෂි ව්‍යාපාරය දක්වන්නේ අල්ප සැලකිල්ලක්” කියා ද වෙජිටේරියන් හෑන්ඩ්බුක් (එළවළු පමණක් ආහාරයට ගැනීමේ අත්පොත) ප්‍රකාශ කරයි. “දරුණු විදිහට ආවරණය කළ, අස්වාභාවික පරිසරයන් යටතෙයි උන්ව ඇති කරන්නේ; පෙර නොවූවිරූ අන්දමින් නවීන-දින සත්වයන්ව අනිසි ලෙස ප්‍රයෝජනයට අරං තිබෙනවා” කියා පොත සඳහන් කරයි.
ආහාර පිණිස සත්වයන් යොදාගැනීම දෙවිගේ කැමැත්තට විරුද්ධ නැති වුණත්, උන්ට කෲර සැලකිල්ලක් දැක්වීම ඊට විරුද්ධයි. “ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය” කියා බයිබලයේ හිතෝපදේශ 12:10 පවසයි. එමෙන්ම ගෙදර ඇති කරන සත්වයන්ට සුදුසු සැලකිල්ලක් දැක්වීමට මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ නියම කර තිබුණා.—නික්මයාම 23:4, 5; ද්විතීය කථාව 22:10; 25:4.
ක්‍රිස්තියානියෙක් එළවළු පමණක් කන්නෙක් විය යුතුද?
ඉහත පෙන්වූ පරිදි, එළවළු පමණක්ම කන්නෙක් වීම—හෝ එසේ නොවීම—ස්ථිරයෙන්ම පෞද්ගලික තීරණයක් සඳහා කාරණාවක්. සෞඛ්‍යය, ආර්ථිකය, පාරිසරික හේතු නිසා හෝ සත්වයන් සඳහා දයානුකම්පාව දැක්වීම නිසා පුද්ගලයෙක් එළවළු පමණක් ගැනීමේ පිළිවෙතක් අනුගමනය කිරීම තෝරාගත හැකියි. නමුත් ඔහු එය වටහාගත යුත්තේ කෑම ගැනීමට තිබෙන එක ක්‍රමයක් හැටියටයි. මස් කන තැනැත්තා එළවළු පමණක් කන තැනැත්තාව හෙළා නොදැකිය යුතු වාගේම, ඔහුත් මස් කෑමට තෝරගන්න අයව විවේචනය නොකළ යුතුයි. මස් කෑමෙන් හෝ ඉන් වැළකී සිටීමෙන් කෙනෙක්ව වඩා හොඳ පුද්ගලයෙක් කරන්නේ නෑ. (රෝම 14:1-17) කෙනෙකුගේ ජීවිතයේ ප්‍රධාන සැලකිල්ල තමාගේ ආහාරය නොවිය යුතුයි. “මනුෂ්‍යයා [දෙවිගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා” යේසු පැවසුවා.—මතෙව් 4:4.
සත්වයන්ට දක්වන කෲරකම සහ පොළොවේ සම්පත් අනිසි භාවිතය සම්බන්ධයෙන් සලකා බලන කල, මේ දුෂ්ට, ගිජු පිළිවෙළට අවසානයක් ගෙනැවිත්, ඒ වෙනුවට ඔහු විසින් සාදනු ලබන නව ලොවක් බිහි කරන බවට යෙහෝවා පොරොන්දු වී තිබෙනවා. (ගීතාවලිය 37:10, 11; මතෙව් 6:9, 10; 2 පේතෘස් 3:13) ඒ නව ලොවෙහි, මිනිසා සහ සත්වයන් එකිනෙකා සමඟ සදහටම සාමයෙන් සිටින්න යනවා; එමෙන්ම යෙහෝවා ‘ජීවමාන සියල්ලන්ගේ ආශාව ඉටු’ කරනවා.—ගීතාවලිය 145:16; යෙසායා 65:25.
[පාදසටහන්වල]
a 1997 ජූලි 8 පිබිදෙව්! පිටු 3-13 බලන්න.
b Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත 1997 මැයි 15 මුරටැඹහි 3-8 දක්වා පිටු බලන්න.
c 1990 මැයි 15 මුරටැඹහි (ඉංග්‍රීසියෙන්) 30-1 දක්වා පිටු බලන්න.
[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Punch