ජලය පෘථිවි ග්‍රහයා තුළ තිබෙන ජීවන රුධිරය
අවර්ණ, ගඳ සුවඳ නැති, රසයක් නැති, එමෙන්ම කැලරි රහිත ජලය මිහිපිට සිටින සියලුම ජීවීන්ට අත්‍යවශ්‍යයි. කිසිම මිනිසෙකුට, සතෙකුට හෝ ගසකට එය නැතුව ජීවත් විය නොහැකියි. අලියාගේ සිට ක්ෂුද්‍ර ජීවියා දක්වා සෑම ජීවියෙකුටම ජලය අත්‍යවශ්‍ය වන අතර, එයට කිසිම ආදේශකයක් නැහැ. මිහිපිට වාසය කරන බිලියන පහකටත් වැඩි ජනගහනයෙන් සෑම කෙනෙකුම නිරෝගීකම රැකගැනීම සඳහා දිනපතා වතුර ලීටර් 2.5ක් පමණ දියර හා ආහාර වශයෙන් ගැනීම අවශ්‍යයි. ජලය නැති තැන ජීවයකුත් නැහැ.
ජලය නොමැතිව, බෝග වගාව හෝ සත්ව පාලනය කරන්න බැහැ. ජලය නැත්නම් ආහාර නැහැ—ආහාර නැත්නම් ජීවයක් නැහැ.
භාග්‍යයකට මෙන් ඇති තරම් ජලය තිබෙනවා. අභ්‍යවකාශයේ සිට ඡායාරූපයක් ගත් විට, අපේ අලංකාර නීල වර්ණයෙන් යුත් පෘථිවි ග්‍රහයාව පෙනෙන විදිහට හැඳින්විය යුත්තේ, පෘථිවිය කියා නොව ජලය කියලයි. ඇත්තෙන්ම, පොළොවේ තිබෙන ජලය සම සේ පොළොව පුරා පැතිරී තිබුණා නම්, එමගින් කිලෝමීටර් 2.5ක ගැඹුරකින් යුත් සමස්ත ලෝක සාගරයක් සෑදෙන්න ඉඩ තිබුණා. පොළොවේ මුළු භූමි ප්‍රමාණයම පැසිෆික් සාගරයේ සම්පූර්ණයෙන්ම ගිල්විය හැකි අතර, එසේ ගිල්වීමෙන් පසු තවත් ඉඩ කඩද ඉතිරි වේවි.
ඇත්තෙන්ම, පොළොවේ තිබෙන ජලයෙන් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ සාගරවලයි; මුහුදු ජලය ලුණු රසයෙන් යුක්තයි. යම් කෙනෙක් මුහුදු ජලය විතරක් පානය කළා නම්, වැඩි ලුණු ප්‍රමාණය ඉවත් කිරීමට සිරුර උත්සාහ කරන අතරතුරේදී, ඔහු හෝ ඇය පිපාසය හා විජලනය හේතුවෙන් ඉක්මනින්ම මියයන්න පුළුවන්. මුහුදු ජලය කෘෂිකර්මය හෝ කර්මාන්ත සඳහා හොඳ තේරීමක් නොවෙයි—එය බොහෝ බෝග වර්ග විනාශ කරන අතර, හුඟාක් යන්ත්‍ර මලබැඳීමට හේතු වෙනවා. එනිසා, මිනිසුන්ට මුහුදු ජලය පාවිච්චි කරන්න පුළුවන් වන්නේ, එහි ලුණුගතිය ඉවත් කරනවා නම් විතරයි; එය විශාල මුදලක් වැය වන ක්‍රියාවලියක්.
පොළොවේ තිබෙන ජලයෙන් මිරිදිය, එනම් ලුණු මිශ්‍ර නැති ජලය තිබෙන්නේ සියයට 3ක් විතරයි. එම මිරිදිය ජලය සියල්ලම වගේ—එනම්, එයින් සියයට 99ක් පමණ—ග්ලැසියර හා හිම වශයෙන් පවතිනවා, එහෙම නැත්නම් පොළොව යට ගැඹුරෙහි තිබෙනවා. මිනිසුන්ට පහසුවෙන්ම ලබාගත හැක්කේ සියයට 1ක් විතරයි.
සියයට එකක් කියන්නේ ඒ තරම් විශාල ප්‍රමාණයක් නොවන බවයි පෙනෙන්නේ. අපිට තිබෙන මිරිදිය ජලය මදි වෙයිද? පෙනෙන විදිහට නැහැ. පීපල් ඇන්ඩ් ද ප්ලැනට් (ජනයා සහ පෘථිවි ග්‍රහයා) නමැති සඟරාවේ මෙසේ සඳහන් වෙනවා: “මේ ප්‍රමාණය [සියයට එකක්] වුණත්, පොළොව පුරා එක සමානව බෙදාහරිමින් අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා නම්, වත්මන් ලෝක ජනගහනය මෙන් දෙගුණයකගේ හෝ තුන්ගුණයකගේ අවශ්‍යතා පිරිමැසීමට මෙය ප්‍රමාණවත් වේවි.”
මූලික වශයෙන්, පොළොවේ තිබෙන මුළු ජල ප්‍රමාණය වැඩි වන්නේවත් අඩු වන්නේවත් නැහැ. සයන්ස් ව’ල්ඩ් (විද්‍යාත්මක ලෝකය) මෙසේ දක්වනවා: “අද ඔබ පාවිච්චි කරන ජලය යම් කලකදී, ඩෛයිනොසෞරියෙකුගේ පිපාසය සන්සිඳූ ජලය වෙන්න පුළුවන්. එසේ වන්නේ, දැන් පොළොවේ තිබෙන මුළු ජල ප්‍රමාණය අපි මේ තාක් පාවිච්චි කළ හෝ අනාගතයේදී පාවිච්චි කරන මුළු ජල ප්‍රමාණය වීමයි.”
මෙයට හේතුව වන්නේ, පොළොව පුරා තිබෙන ජලය නිමක් නැතුව—සාගරවල සිට වායුගෝලයටත්, භූමියටත්, ගංගාවලටත් එමෙන්ම නැවත සාගරවලටත් චක්රාකාරව ගලා යෑමයි. එය හරියට නැණවත් මිනිසා බොහෝ කලකට පෙර මෙසේ ලිව්වාක් මෙනුයි: “සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති.”—දේශනාකාරයා 1:7.
කොහොමවුණත්, පොළොවේ මිරිදිය ජලය බහුලව තිබුණත්, ලෝකයේ බොහෝ කලාප අර්බුදයකට මුහුණ දෙනවා. ඊළඟ පිටුවල තිබෙන ලිපි, මේ ගැටලු සහ ඒවා විසඳීම හා සම්බන්ධ බලාපොරොත්තු සෝදිසි කර බලන්න යනවා.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
NASA photo