ඔබේ ඇසීමේ හැකියාව සුරැකිය යුතු දීමනාවක්
කලබලකාරි සමාජයේ ශබ්දවලින් ඈත් වී පිටිසර පළාතක නිස්කලංක සැන්දෑවක් ගත කිරීම, රාත්‍රියේ සියුම් හඬවල් උරාගැනීමට ප්‍රස්තාවක් සලසා දෙයි. මද පවනක් ගස්වල කොළ යන්තමින් ‘සර සර’ ගෑමට සලස්වනවා. කෘමීන්, කුරුල්ලන් සහ සතුන් ඈතින් එන උන්ගේ හඬවලුත් එයට එකතු කරනවා. එතරම් මෘදු හඬවල් ඇසීම මොනතරම් පුදුමාකාර පහසක් ගෙන දෙනවාද! ඔබට ඒවා ඇසෙනවාද?
මිනිස් ශ්‍රවණ පද්ධතිය සතු හැකියාව ඇත්තෙන්ම පුදුමසහගතයි. නිරැව් කුටියක, ඒ කියන්නේ හැම ශබ්දයක්ම උරාගැනීමට නිර්මාණය කර තිබෙන පෘෂ්ඨ තිබෙන ධ්වනි තරංගවලින් වෙන් කරනු ලැබූ කාමරයක පැය භාගයක් ගත කළොත්, ඔබේ ශරීරයෙන් නික්මෙන නුහුරු නුපුරුදු ශබ්ද ඇසීමට හැකි වන තරමින් ඔබේ ශරීරය එහි ‘ශබ්දය දැනීමේ හැකියාව’ ක්‍රමයෙන් ‘වැඩි කර තිබෙන’ බව ඔබට දැනගන්න ලැබේවි. ධ්වනි විද්‍යාඥ එෆ්. ඕල්ටන් එවරස්ට් එම අද්දැකීම ද මාස්ට’ හෑන්ඩ්බුක් ඔෆ් අ’කූස්ටික්ස් (ප්‍රධාන ධ්වනි විද්‍යා අත්පොත) යන පොතෙහි විස්තර කරනවා. පළමුව, ඔබේම හෘද ස්පන්දනය හොඳින් ඇහෙන්න පටන්ගන්නවා. එම කාමරයේ පැයක් පමණ සිටීමෙන් පසු, ඔබේ රුධිරය එහි වාහිනි දිගේ ගමන් කරනවා ඔබට ඇසෙනවා. අවසානයේදී, ඔබට තියුණු ශ්‍රවණ හැකියාවක් තිබෙනවා නම්, “හෘදයේ ‘ලබ්-ඩප්’ ශබ්දය සහ රුධිරය ගලායෑමේ ශබ්දය අතරින්, නුහුරු නුපුරුදු ෂූ ෂූ ශබ්දයක් සමඟින් ඔබේ ඉවසීමට විපාක ලැබෙනවා. ඒ කුමක්ද? එය ඔබේ කන් බෙර හා ගැටෙන වාත අංශුවල ශබ්දයයි” එවරස්ට් පැහැදිලි කරයි. “මෙම ෂූ ෂූ ශබ්දයෙන් කන් බෙරය චලනය වන ප්‍රමාණය අදහාගන්න බැරි තරම් කුඩායි—එනම් සෙන්ටිමීටරයකින් දශ ලක්ෂයෙන් එකකිනුත් සීයෙන් එකක් පමණයි!” මෙය “ශ්‍රවණයේ දේහලියයි,” එනම් ශබ්ද දැනීමට ඔබ සතු හැකියාවේ පහළම සීමාවයි. ඊටත් වඩා සංවේදීතාවක් තිබීමෙන් ඔබට කිසි ඵලක් ලැබෙන්නේ නැහැ, මන්ද ඊටත් වඩා සියුම් ශබ්ද වාත-අංශු චලනයේ ශබ්දයෙන් යටපත් වී යන නිසයි.
ඇසීම සිදු වෙන්නේ බාහිර, මැද සහ ඇතුළු කනේ මෙන්ම අපේ ස්නායු පද්ධතියේ සහ මොළයේ කාර්යාවලියෙන් සහ සංජානන හැකියාවේ සහයෝගයත් සමඟිනි. ශබ්දය වාතය තුළින් ගමන් කරන්නේ පීඩනයේ වෙනස්වීම්වල තරංග වශයෙනි. මෙම තරංග අපේ කන් බෙර ඉස්සරහට සහ පස්සට හොලවන අතර, මෙම චලනය මැද කන මගින් ඇතුළු කන වෙතට යොමු කරනු ලබනවා. එහිදී සිදු වන චලනය ස්නායු ආවේගවලට හරවනු ලබන අතර, මොළය එය ශබ්දය හැටියට තෝරා දෙනවා.a
ඔබේ වැදගත් බාහිර කන
ඔබේ කනේ නම්‍යසුලු, සංවලිත කොටසට කියන්නේ කන් පෙත්ත කියායි. ශබ්දය එකතු කරනවාට අමතරව, කන් පෙත්තෙන් ඊට වැඩිමනත් දෙයක් සිදු වෙනවා. ඔබේ කනට එතරම් නැමි තිබෙන්නේ ඇයි කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? කන් පෙත්තේ විවිධාකාර පෘෂ්ඨවලින් පරාවර්තනය වන ශබ්ද තරංග, ඒවා පැමිණෙන දිශාවට අනුව සියුම් ලෙස සකස් කරනු ලබනවා. මෙම සියුම් වෙනස්කම් තෝරා දී ශබ්දයේ ප්රභවය තිබෙන තැන නිශ්චය කරගන්න මොළයට පුළුවන්. ශබ්දයක් ඔබේ කන් දෙකට ඇතුල් වෙද්දී ගත වන කාලය සහ ප්‍රබලතාව සසඳා බලනවාට අමතරව, මොළය මෙයත් කරනවා.
මෙය නිරූපණය කිරීමට ඔබේ ඇඟිලිවලින් අසුරු ගසන්න; එසේ කරද්දී, තම ඇස් වසාගෙන සිටින පුද්ගලයෙක් ඉදිරියෙහි ඔබේ අත උඩටත් පහළටත් චලනය කරන්න. ඔබේ ඇඟිලි ඔහුගේ කන් දෙකින් එකම දුරකින් පිහිටා තිබුණත්, ඒ ශබ්දය උඩින්ද, පහළින්ද එහෙම නැත්නම් අතරමැද යම් තැනකින්ද ආවෙ කියන එක කීමට ඔහුට තවමත් පුළුවන්. ඇත්තෙන්ම කියනවා නම්, හොඳින් ඇසෙන එක කනක් පමණක් තිබෙන පුද්ගලයෙකුට පවා ශබ්දය එන්නේ මොන දිශාවෙන්ද කියා නිශ්චය කරගන්න පුළුවන්.
ඔබේ මැද කන—යාන්ත්‍රික පුදුමයක්
ඔබේ මැද කනෙහි ප්‍රධාන ක්‍රියාකාරිත්වය වන්නේ ඔබේ කන් බෙරයේ චලනය ඔබේ ඇතුළු කනෙහි පිරී තිබෙන තරලයට මාරු කිරීමයි. එම තරලය වාතයට වඩා සෑහෙන්න බරයි. මේ අනුව, අමාරු කන්දක් නඟින බයිසිකල් පදින්නෙක් සම්බන්ධයෙන් සැබෑ වන්නාක් මෙන්, ශක්තිය හැකි තරම් කාර්යක්ෂමතාවකින් ලබා දීමට නිසි ‘ගියර අනුපාතයක්’ අවශ්‍ය වෙනවා. මැද කනෙහි එම ශක්තිය කුඩා අස්ථි තුනකින් මාරු කරනු ලබනවා; ඒවායේ හැඩය නිසා ඒවාට පොදුවේ, මිටිය, කිණිහිරිය සහ උඩහලුව කියා කියනවා. මෙම කුඩා යාන්ත්‍රික බැඳීම, ඇතුළු කනට ආසන්න වශයෙන් අංග සම්පූර්ණ වන ‘ගියර අනුපාතයක්’ ලබා දෙනවා. මෙය නැතුව, ශබ්ද ශක්තියෙන් සියයට 97ක්ම අපතේ යන බව ගණන් බලා තිබෙනවා!
ඔබේ මැද කනෙහි බැඳීමට සම්බන්ධ සියුමැළි පේශීන් දෙකක් තිබෙනවා. ඔබේ කනට අඩු සංඛ්‍යාතයකින් යුත් වැඩි ඝෝෂාවක් ඇති ශබ්දයක් ඇසුණොත්, තත්පරයකින් සියයට එකක් ඇතුළත, මෙම පේශි ඉබේම තද වෙනවා; එම බැඳීමට චලනය විය හැකි ප්‍රමාණය එමගින් බෙහෙවින් සීමා වන අතර, යම් හානියක් සිදුවීම වළක්වනවා. යාන්ත්‍රික සහ විද්‍යුත් උපකරණවලින් නිපදවන හැම ශබ්දයකින්ම ආරක්ෂාවක් නොලැබුණත්, ස්වභාව ධර්මයා තුළ ඇති වන හැම ශබ්දයකින්ම පාහේ ඔබව ආරක්ෂා කිරීමට මෙම ප්රතීක ක්‍රියාව වේගයෙන් ප්‍රමාණවත් වෙනවා. එපමණක්ද නොව, මෙම ආරක්ෂාකාරි පිළිවෙත රැකගැනීමට මෙම කුඩා පේශිවලට හැක්කේ විනාඩි 10ක් දක්වා කාලයකට පමණයි. එනමුත් එම හානිකර ශබ්දයෙන් ඈත්වීමට ඉන් ඔබට ප්‍රස්තාවක් සැලසෙනවා. සිත්ගන්නා දෙයක් තමයි, ඔබ කතා කරන විට, ඔබේම කටහඬේ ශබ්දය ඔබට දරාගන්න උපකාරයක් වශයෙන්, ඔබේ ඇසීමේ සංවේදීතාව අඩු කරන්න කියා ඔබේ මොළය මෙම පේශිවලට පණිවිඩ යවන එක.
ඔබේ පුදුම දනවන ඇතුළු කන
ඇසීමට සම්බන්ධ ඔබේ ඇතුළු කනේ කොටස ගොළුබෙලි හැඩැති කර්ණශංඛය තුළ අන්තර්ගතයි. එහි සියුමැළි ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරන වැස්ම ඔබේ ශරීරයේ දැඩිම අස්ථියයි. එහි දඟරාකාර මාර්ගය තුළ පාදාශ්‍ර පටලය සොයාගත හැකි අතර, එය කර්ණශංඛයේ දිග ප්‍රමාණය මාර්ගයන්වලට බෙදන පටක කිහිපයෙන් එකක්. පාදාශ්‍ර පටලය දිගේ කෝටි අවයවය පිහිටා ඇති අතර, එය කේශ සෛල දහස් ගණනක් දරයි; මෙම ස්නායු සෛලවලට කෙස් වැනි අගවල් තිබෙන අතර, ඒවා කර්ණශංඛය පුරවන තරලය තුළට විහිදෙනවා.
මැද කනේ අස්ථි චලනය, කර්ණශංඛයේ අණ්ඩාකාර ගවාක්ෂය කම්පනය කරන විට, එය තරලය තුළ තරංග ඇති කරවනවා. පොකුණක රැලිවල පාවෙන කොළ උඩට සහ පහළට චලනය කරන්නාක් මෙන්, මෙම තරංග පටල චලනය කරනවා. මෙම තරංග සුවිශේෂී සංඛ්‍යාතයන්ට අනුරූප වන තැන්වලදී පාදාශ්‍ර පටලය නමනවා. එවිට එම තැන්වල තිබෙන කේශ සෛල උඩින් පිහිටා තිබෙන ටෙක්ටම් පටලය හා ගැටෙනවා. මෙලෙස ගැටීම කේශ සෛල ක්‍රියාත්මක කරවන අතර, ඒවා ආවේග නිපදවා, ඔබේ මොළයට යවනවා. ශබ්දයේ සැර වැඩි වන තරමට, කේශ සෛල වැඩියෙන් සහ වඩාත් වේගයකින් උත්තේජනය කරනු ලබනවා. මේ අනුව, වඩාත් විශාල ශබ්දයක් මොළයට තේරුම්ගන්න පුළුවන්.
ඔබේ මොළය සහ ඇසීම
ඔබේ ශ්‍රවණ පද්ධතියේ වැදගත්ම කොටස ඔබේ මොළයයි. ස්නායු ආවේග වශයෙන් ලබන දත්ත කන්දරාව මානසික වශයෙන් හඳුනාගත හැකි ශබ්දය දක්වා පරිවර්තනය කිරීමේ අරුම පුදුම හැකියාව එයට තිබෙනවා. මෙම ප්‍රධාන කාර්යය, කල්පනාව සහ ඇසීම අතර තිබෙන විශේෂ සම්බන්ධය පැහැදිලිව පෙන්නුම් කරනවා; මෙම සම්බන්ධය චිත්ත විභාගය නමැති ක්ෂේත්රයෙහි හදාරනු ලබනවා. උදාහරණයක් හැටියට, සෙනඟගෙන් පිරුණු කාමරයක සිදු වන සංවාද රාශියකින් එකකට සවන් දෙන්න ඔබේ මොළය ඔබට අවස්ථාව සලසා දෙනවා. මයික්‍රෆෝනයකට ඒ හැකියාව නැති නිසා, එම කාමරයෙහිම කළ පටිගත කිරීමක් පැහැදිලි නැති තරම්ය.
වුවමනාවක් නැති ශබ්දවලින් ඇති වන හිරිහැරය, මෙම සම්බන්ධයේ තවත් අංගයක් නිරූපණය කරනවා. ශබ්දයක ප්‍රබලතාව කොතරම් පහත් වුණත්, වුවමනාවක් නැති විට ඔබට එය ටිකක් හරි ඇසෙනවා නම්, එය හිරිහැරයක් විය හැකියි. උදාහරණයක් හැටියට, කාන්දු වන කරාමයකින් නිපදවන ශබ්දය සෑහෙන අඩු එකක් වෙන්න පුළුවන්. එනමුත්, මැදියම් රැයෙහි එය ඔබේ තද නින්දට බාධාවක් වෙනවා නම්, එය ඔබට ලොකු හිරිහැරයක් වෙනවාට සැකයක් නැහැ!
ඇත්තෙන්ම, අපේ හැඟීම් අපේ ඇසීමේ ඉන්ද්‍රියට කිට්ටුවෙන් සම්බන්ධ වී තිබෙනවා. හොඳ සිනාසීමක නැතහොත් සෙනෙහසේ හෝ පැසසුමේ අවංක ප්‍රකාශයකින් පෝෂණය වන උණුසුමේ බෝ කරවනසුලු බලපෑම කොතරම්ද කියා නිකම්ම කල්පනා කර බලන්න. ඒ හා සමානව, අපි බුද්ධියෙන් ඉගෙනගන්නා දේවල් බොහොමයක් අපේ කන් මගින් ඇතුළට ගනු ලබනවා.
සුරැකිය යුතු දීමනාවක්
අපේ ඇසීමේ පුදුම දනවන රහස් බොහොමයක් තවමත් නිරවුල් කර නැහැ. එනමුත් අත් කරගෙන තිබෙන විද්‍යාත්මක අවබෝධය, එතුළින් විද්‍යමාන වන බුද්ධිය සහ ප්‍රේමය සඳහා අපේ අගය තවත් ගැඹුරු කරවනවා. “මනුෂ්‍ය ශ්‍රවණ පද්ධතිය ඕනෑම ආකාරයකින් සලකා බලද්දී, එහි, නිර්මාණයට යම් ත්‍යාගශීලී මැදිහත් වීමක් දායක වී තිබෙන බව, එහි සංකීර්ණ ක්රියාකාරිත්වයන් සහ ව්‍යූහයන්ගෙන් අඟවනවා කියන නිගමනයෙන් බේරෙන්න අමාරුයි” කියා ධ්වනි පර්යේෂක එෆ්. ඕල්ටන් එවරස්ට් ලියයි.
අපේ ඇසීමේ හැකියාවේ අභ්‍යන්තර ක්රියාකාරිත්වයන් පිළිබඳ වර්තමාන විද්‍යාත්මක දැනුම පුරාණ ඉශ්රායෙල්හි දාවිත් රජුට තිබුණේ නැහැ. ඒ වුණත්, තම ශරීරය සහ එහි දීමනා රාශිය ගැන මෙනෙහි කළ ඔහු, තම සෑදුම්කරුට මෙසේ ගායනා කළා: “මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය.” (ගීතාවලිය 139:14) ඇසීමේ හැකියාව ඇතුළුව ශරීරයේ අරුමයන් සහ අභිරහස් සම්බන්ධයෙන් කරන විද්‍යාත්මක පර්යේෂණ දාවිත් නිවැරදි වූ බවට සාක්ෂිය තවදුරටත් තහවුරු කරනවා; ඔව් ප්‍රඥාවන්ත සහ ප්‍රේමනීය මැවුම්කරුවෙකු විසින් අපිව පුදුම ලෙස නිර්මාණය කරනු ලැබුවා!
[පාදසටහන]
[24වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ඇසීම හානියට ලක් අයට උපකාර
මහත් ශබ්දවලට අඛණ්ඩව නිරාවරණය වීම, ඇසීමට කල්පවතින හානි සිදු කරනවා. වුවමනාවට වඩා වැඩි ශබ්දයෙන් සංගීතයට සවන් දීමෙන් හෝ ආරක්ෂාවක් නැතුව ශබ්දය වැඩි උපකරණ ළඟ වැඩ කිරීමෙන් එවැනි පාඩුවක් සිදුවීම කොහොමටවත් වටින්නේ නැහැ. ඇසීම හානියට ලක් වූ අයට, උපතින් බිහිරි අයට පවා, ශ්රව්යාධාර යම් උපකාරයක් සැපයිය හැකියි. බොහෝදෙනෙකුට එවැනි උපකරණ අද්දැකීම්වලින් සපිරි සම්පූර්ණ ලෝකයක්ම ආපසු ලබා දෙනවා. පළමු වතාවට ශ්රව්යාධාර සවි කරගත්තායින් පසු, තම කුස්සියේ ජනේලයට පිටතින් අපූරු ශබ්දයක් එක් ස්ත්‍රියකගේ අවධානයට ලක් වුණා. “ඒ කුරුල්ලෝ!” කියා ඇය උනන්දුවෙන් ප්‍රකාශ කළා. “මට කුරුල්ලන්ගේ සද්දේ ඇහුණේ කොච්චර අවුරුදු ගානකට පස්සෙද!”
දැඩි හානි සිදු වී නොතිබුණත්, උච්ච තාරතාවක ශබ්ද තේරුම්ගැනීමට අප සතු හැකියාව වයස නිසා දුබල වෙනවා. අභාග්‍යයකට, බොහෝවිට කතාබහ තේරුම්ගැනීමට ඉතා තීරණාත්මක වන ගාත්රාක්ෂරවල සංඛ්යාතයනුත් මෙයට ඇතුළත් වෙනවා. ගලා යන ජලය හෝ කඩදාසි පොඩි කිරීම වැනි ගෙදර දොරේ සාමාන්‍ය ශබ්දවලින් වාචික අදහස් හුවමාරුවට බාධා පැමිණවිය හැකි බව වයසින් වැඩි පුද්ගලයන්ට පෙනී යා හැකියි. මන්ද ගාත්‍රාක්ෂරවලට බාධා පැමිණවිය හැකි ඉහළ සංඛ්‍යාත එවැනි ශබ්දවල අන්තර්ගත නිසයි. ශ්රව්යාධාරකවලට තරමක සහනයක් දිය හැකි වුණත්, ඒවායෙත් අවාසි තිබෙනවා. එක දෙයක් නම්, හොඳම ගණයේ ශ්රව්යාධාරකයක් සෑහෙන මිල අධික වෙන්න පුළුවන්; ඒ කියන්නේ බොහෝ රටවල සිටින සාමාන්‍ය පුද්ගලයන්ට ඒ වගේ දෙයක් මිල දී ගන්න කොහොමටවත් බැරි බවයි. ඒ තියා, කිසිම ශ්රව්යාධාරකයකට බැහැ ඔබේ ඇසීම සම්පූර්ණයෙන්ම යථා තත්වයට ගෙනෙන්න. ඉතිං, කුමක්ද කළ හැක්කේ?
සැලකිලිමත්කම පෙන්වීම ප්‍රයෝජනවත් වෙනවා. ඇසීම දුර්වල වී තිබෙන යමෙකුට කතා කරන්න කලින්, ඔබ යම්කිසි දෙයක් කියන්න යනවා කියා ඔහු දන්න බවට වගබලා ගන්න. ඒ පුද්ගලයා ඉදිරියෙන්ම සිටින්න වෑයම් කරන්න. ඔබේ ශරීරය සහ තොල් චලනය වන ආකාරය දැකගැනීමටත්, ඔබේ වචනවල ගාත්රාක්ෂරවල ශබ්දය සම්පූර්ණයෙන්ම තේරුම්ගන්නත් එය ඔහුට රුකුලක් වෙනවා. හැකි නම්, ඒ පුද්ගලයාට තවත් ළං වී, හෙමින් මෙන්ම පැහැදිලිව කතා කරන්න; කෑ ගසන්න එපා. ඇසීම හානියට ලක් වී තිබෙන පුද්ගලයන් බොහෝදෙනෙකුට මහත් ශබ්ද වේදනාකාරියි. යම් ප්‍රකාශයක් තේරෙන්නේ නැත්නම්, එය නැවත කියනවා වෙනුවට වෙනත් විදිහකට වචන ගළපා ඒ දේම කියන්න බලන්න. ඒ වගේම, ඔබේ ඇසීම කලින් තිබුණාට වඩා දුර්වල වී තිබේ නම්, කතා කරන පුද්ගලයාට වඩාත් කිට්ටු වීමෙන් සහ ඉවසිලිවන්ත වීමෙන්, අනුන්ට ඔබ සමඟ අදහස් හුවමාරු කරන එක වඩාත් පහසු කරවීමට ඔබට පුළුවන්. මෙම අමතර වෑයම් සම්බන්ධතා වැඩිදියුණු කිරීමට හේතුවක් විය හැකි අතරම, ඔබ අවට පරිසරය ගැන අවබෝධයෙන් සිටීමට උපකාරයකුත් විය හැකියි.
[පින්තූරය]
ඇසීම හානියට ලක් පුද්ගලයෙක් අමතන විට, ඔහු ඉදිරියෙන්ම සිටින්න; හෙමින් සහ පැහැදිලිව කතා කරන්න
[23වන පිටුවේ රූප සටහන්]
[හිමිකම් විස්තර]
ඔබේ කන
කන් පෙත්ත
ශ්‍රවණ නාලය
කන් බෙරය
මිටිය (මුද්ගරිකාව)
කිණිහිරිය (නිඝාතිය)
උඩහලුව (ධරණකය)
අණ්ඩාකාර ගවාක්ෂය
රවුම් කවුළුව
කර්ණශංඛය
ශ්‍රවණ ස්නායුව
කෝටි අවයවය
ශ්‍රවණ ස්නායුව
කේශ සෛල
ටෙක්ටම් පටලය
ස්නායු තන්තු
පාදාශ්‍ර පටලය