සත්ව නින්දේ නොදත් දේ
කෙන්යාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්
නින්ද—අපේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් පමණ අපි ගත කරන්නේ ඒ විවේකී තත්වයෙයි. කාලය සම්පූර්ණයෙන්ම නාස්ති කිරීමක් වෙනවා වෙනුවට, නිදාගැනීමෙන් කායික මෙන්ම මානසික අවශ්‍යතා රාශියක් ඉටු වෙන බව දක්නට තිබෙනවා. මේ අනුව, නින්ද දෙවිගෙන් ලැබෙන තෑග්ගක් ලෙස සැලකිය හැකියි.—ගීතාවලිය 127:2 සසඳන්න.
නින්ද සත්ව ලෝකයේද වැදගත් වැඩකොටසක් ඉටු කිරීම ගැන පුදුම විය යුතු නැහැ. ඇත්තෙන්ම සත්ව විශේෂ බොහොමයක් සිත්ගන්නා ආකාරවලින් හා ඇතැම් අවස්ථාවලදී විනෝදය ගෙන දෙන මෙන්ම බොහෝවිට අසාමාන්‍ය ආකාරවලින්ද තමන්ගේ නින්ද සලසාගන්නවා. අපි නිදසුන් කිහිපයක් බලමු.
නිදි කුම්බරයෝ
අප්‍රිකාවේ මධ්‍යාහ්නයේ දැඩි හිරු රැස් දෙසට පාද විහිදුවා උඩබැලි අතට නිදා සිටින සිංහයෙකුව දකින ඕනෑම කෙනෙක් හිතන්න පුළුවන් මේ බළල් වර්ගයට අයත් භයානක සතා ගෙදරක ඇති කරන හීලෑ පූසෙක් කියලා. කොහොම වුණත් පිටාතර පෙනුම රැවටිලිකාරයි. දාහත්වන සියවසේ විසූ ලේඛකයෙක් වන තෝමස් කැම්පියන් මෙසේ ලියා තිබෙනවා: “නිදාගෙන ඉන්න සිංහයෙකුව නැඟිටුවන්න නිර්භීත වෙන්නේ කවුද?” ඔව්, ශක්තිසම්පන්න සිංහයෙකුට පවා ඌගේ විලෝපීය ජීවන රටාව පවත්වාගැනීම සඳහා නින්ද—දවසකට පැය 20ක් පමණ—අවශ්‍යයි.
නවසීලන්තයේ සිටින උරග වර්ගයට අයත් අලස සතෙක් වන ටුවාටරා ගැනද සලකා බලන්න. ඌ අවුරුද්දෙන් භාගයක් පමණ අඩ නින්දෙන් හේමන්ත නිද්‍රාව ගත කරනවා. ඌ මොනතරම් කම්මැළිද කියනවා නම් ආහාර විකමින් ඉන්න අතරතුරේදිත් ඌට නින්ද යනවා! ඒත් නිදාගෙන සිටින ඒ මුළු කාලයෙන් ඌට යම් ප්‍රයෝජන ලැබෙන බව පැහැදිලියි; මොකද විද්‍යාඥයන්ගේ ගණන් බැලීමට අනුව, සමහර ටුවාටරාවන්ට අවුරුදු 100ක් පමණ කාලයක් ජීවත් වෙන්න පුළුවන්!
රිප් වෑන් විංකල් යන ප්‍රබන්ධ කථාවේ දක්නට තිබෙන්නාක් මෙන්, අනිකුත් ජීවීන්ද දිගු කාලයක් නිදාගන්නවා. උන්ගෙන් බොහෝදෙනෙක් ශීත ඍතුවලදී බේරී ජීවත් වන්නේ එයාකාරයටයි. හේමන්ත නිද්‍රාව සඳහා සූදානම් වීමක් හැටියට, සතාගේ සිරුරේ විශාල මේද ස්තරයක් ක්‍රමානුකූලව වැඩෙන අතර, එයින් ඌ නිදාගෙන සිටින දිගු කාලය පුරා අවශ්‍ය පෝෂණය සැපයෙනවා. ඒත් මේ විදිහට නිදාගෙන ඉන්න සතුන්ව අධික ශීතල නිසා මියයෑමෙන් වළක්වන්නේ මොකකින්ද? ඉන්සයිඩ් දි ඇනිමල් ව’ල්ඩ් (සත්ව ලෝකයේ ඇතුල් පැත්ත) නමැති පොතේ පැහැදිලි කරන විදිහට, අධික ශීතල ගතියට විරුද්ධව ක්‍රියා කරන ස්වාභාවික ද්‍රව්‍ය නිපදවමින්, මොළයේ රසායනික වෙනසක් සිදු වෙනවා. සතාගේ සිරුරේ උෂ්ණත්වය හිමාංකයට ආසන්න අගයක් දක්වා පහත වැටෙන නිසා, ඌගේ හෘද ස්පන්දනය සිදු වන්නේ, සාමාන්‍ය වේගයට වඩා හුඟාක් අඩු අගයකිනුයි; ඌ හුස්ම ගන්නේ ඉතා සෙමින්. එහි ප්‍රතිඵලයක් හැටියට දිගු නින්දක් ඇති වන අතර, එය සති ගණනාවක් පුරා තිබෙන්න පුළුවන්.
‘පියාසර කරද්දී’ නිදාගැනීම?
සමහර සත්තු නිදාගන්නේ හරිම පුදුම ක්‍රමවලින්. මුහුදු පක්ෂියෙක් වන දුඹුටුවන් මුහුදු ලිහිණියා ගැන සලකා බලන්න. නාඹර දුඹුටුවන් මුහුදු ලිහිණියෙක් ඌගේ කැදැල්ල අතහැර යන කාලය වෙන විට, ඌ මුහුද දෙසට පියඹා ගොස් නොනැවතී පියාසර කරමින් ඊළඟ අවුරුදු කිහිපය ගත කරනවා! මේ සතාට ජලය උරා නොගන්නා පිහාටු නැති නිසාත්, අනිත් මුහුදු ලිහිණින්ට වගේ ජලය මතුපිට සිටගැනීමට උපකාරවත් වන ජාලපාද නැති නිසාත්, දුඹුටුවන් මුහුදු ලිහිණියා දිය යට ගිලීමෙන් වළකිනවා. ඌ ආහාර සපයාගන්නේ ජලය මතුපිට සිටින කුඩා මාළුන්ව ක්ෂණිකව ඩැහැගැනීමෙනුයි.
ඒත් ඌ නිදාගන්නේ කොයි වේලාවටද? වොට’, ප්‍රේ, ඇන්ඩ් ගේම් බ’ඩ්ස් ඔෆ් නෝර්ත් අමෙරිකා (ජලය, ගොදුරු සහ උතුරු අමෙරිකාවේ දඩයම් කුරුල්ලෝ) නමැති පොතේ මෙසේ පවසනවා: “උන්ගේ පිහාටු තෙත් බරිත වන නිසා, උන් සාගරයේ නිදාගන්නවා කියන එක සිතාගන්න අමාරුයි. මේ කුරුල්ලන් පියාසර කරන අතරතුරේදීම නිදාගන්නවා විය හැකියි කියා සමහර විද්‍යාඥයන් අදහස් දක්වනවා.”
දහවල් දිය යට මොහොතක් සැතපීම
මාළු නිදාගන්නවාද? ද ව’ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පවසන විදිහට, පෘෂ්ඨවංශීන් අතර “මොළයේ තරංග රටාවේ වෙනසක් අද්දකිමින් ඇත්තටම නිදාගන්නේ සර්පයන්, පක්ෂීන් හා ක්ෂීරපායි සතුන් පමණයි.” ඒ වුණත්, මාළු නිදාගන්නවා; ඒත් හුඟාක් මාළුන්ට බැහැ උන්ගේ ඇස් පියාගන්න.
සමහර මාළු පැත්තට ඇල වෙලා නිදාගන්නවා; තවත් උන් මුණින් අතට හැරී හෝ සිරස් අතට හැරී නිදාගන්නවා. පතාමැඩියා වගේ සමහර පැතලි මාළු, ඇහැරගෙන සිටින වේලාවට මුහුදු පතුලේ වාසය කරනවා. නිදාගෙන ඉන්න විට, ඌ පතුලේ සිට අඟල් කිහිපයක් උඩට ඇවිත් පාවෙන්න පටන්ගන්නවා.
වර්ණවත් ගිරා මාළුවාට අසාමාන්‍ය නිද්‍රා චර්යා රටාවක් තියෙනවා: ඌ “නිදන ඇඳුමක්” ඇඳගන්නවා. ඌ නිදාගන්න යන කාලය ළං වෙද්දී, ඌ ශ්ලේෂ්මලයක් නැතහොත් සෙවල වැනි ද්‍රව්‍යයක් ස්‍රාවය කරනවා; එයින් ඌගේ සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනවා. අරමුණ? “සමහරවිට විලෝපීයන්ගෙන් [ඌව] ආරක්ෂා කරගැනීම විය හැකියි” කියා සොබාදහම පිළිබඳ ලේඛකයෙකු වන ඩග් ස්ටූව’ට් පවසනවා. ඌ ඇහැරුණ විට, සෙවලවලින් සෑදුණු ආවරණයෙන් පිටතට එනවා.
ඒ හා සමානවම සීල්ටද සිත්ගන්නා නිද්‍රා චර්යාවක් තිබෙනවා. උන් බැලූනයක් වගේ උන්ගේ උගුර පුම්බා ගනිමින් පාවෙන ගතියෙන් යුත් ස්වාභාවික ජීවිතාරක්ෂක ඇඳුමක් වැනි දෙයක් සාදාගන්නවා. මේ විදිහට පාවෙමින් හුස්ම ගැනීම සඳහා ජලයෙන් මතුපිටට උන්ගේ නාසය මතු වන සේ, සිරස් අතට ජලයේ පාවෙමින් සිටින අතරේදී උන්ට පුළුවන් නිදාගන්න.
එක ඇසක් ඇරගෙන
කැලෑවේ නිදාගැනීමේදී, සතෙක් පහසුවෙන්ම විලෝපීයන්ගේ ගොදුරක් වීමට ඇති ඉඩ කඩ වැඩි බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ නිසා බොහෝ සත්තු නිදාගන්නේ හරියට එක ඇසක් ඇරගෙන ඉන්නවා වගෙයි. නිදාගෙන ඉන්න අතරතුරේදී උන්ගේ මොළය මගින් සුපරීක්ෂාකාරිව සිටීම යම් මට්ටමකට පවත්වාගන්නවා; අනතුරක ඉඟි පළ කරන ඕනෑම හඬකට ප්‍රතිචාරය දැක්වීමට මෙයින් උන්ට ඉඩ ලැබෙනවා. ඒත් වෙනත් සතුන් විටින් විට ආරක්ෂක තත්වය පරීක්ෂා කර බැලීමෙන් තමන්ගේ ආරක්ෂාව සලසාගන්නවා. උදාහරණයක් හැටියට, රංචුවක් හැටියට නිදාගෙන ඉන්න කුරුල්ලන් අනතුරු පරීක්ෂා කර බැලීම සඳහා විටින් විට ඇසක් ඇර හොරෙන් වටපිට බලනවා.
ඒ හා සමානව අප්‍රිකාවේ සිටින කුරංගයන් හා සීබ්‍රා රංචු නිදාගෙන ඉන්න වේලාවන් අතරතුරේදී, උන් එක එකා වෙනුවෙන් විමසිලිමත්ව සිටිනවා. සමහර අවස්ථාවලදී, විමසිලිමත් ස්වරූපයකින් උන්ගේ හිස් කෙළින් තබාගෙන, මුළු රංචුවම බිම වැතිරෙනවා. විටින් විට එක සතෙක් පෙරළී තද නින්දට වැටෙනවා. මිනිත්තු කිහිපයකට පසුව, උන්ගේ රැළේ තවත් එකෙක් ඌගේ වාරයේදී මේ විදිහට කරනවා.
ඒ හා සමානවම අලින්ද නිදාගන්නේ රංචු හැටියටයි. ඒ වුණත්, සාමාන්‍යයෙන් වැඩිහිටි අලින් අනතුරක් ගැන මොන යම් හෝ හෝඩුවාවක් දැනගැනීම සඳහා විටින් විට උන්ගේ ඇස් අරිමින් හා උන්ගේ විශාල කන් එහාට මෙහාට සොලවමින්, සිටගෙන කෙටි නින්දක යෙදෙනවා. මේ සද්දන්ත රැකවලුන්ගේ සෙවණ යටතේ, කුඩා පැටව් භයක් නැතුව බිම වැතිරී ගොරව ගොරවා නිදාගන්නවා. ලේඛිකාවක් වන සින්තියා මෝස්, එලිෆන්ට් මෙමරීස් (අලින් පිළිබඳ මතකයන්) යනුවෙන් ඈ ලියූ පොතේ අලි රංචුවක් නින්දට යෑමේදී දුටු දේ මෙසේ සිහියට නඟනවා: “මුලින්ම පැටව්ද, ඊළඟට තරුණයන් හා වැඩිහිටි ඇතින්නියන්ද බිම වැතිරී නින්දට ගියා. සඳරැස් විහිදී ඇති වේලාවක ඔවුන්ව දිස්වන්නේ හරියට අළු පැහැති විශාල පර්වත වගෙයි, ඒත් උන්ගේ ගොරහැඩි, සාමකාමී ගෙරවීමෙන් ඒ මනෝ රූපය සැබෑ එකක් නොවන බව පැහැදිලි වෙනවා.”
සතුන්ගේ නිදාගැනීමේ පුරුදු ගැන තවත් බොහෝ දේ අපිට ඉගෙනගන්න තියෙනවා. නමුත් සාපේක්ෂ වශයෙන් අපි දන්න අල්ප ප්‍රමාණය ගැන සිතන විට, “සියලු දේ මැවූ” තැනැත්තාගේ ගරුබිය දනවන ප්‍රඥාව ගැන කල්පනා කර බලන්න ඔබව පෙලඹෙන්නේ නැද්ද?—එළිදරව් 4:11.