මී මැස්සෙක් මී මැස්සෙක් නොවන්නේ කුමන අවස්ථාවේදීද?
මී මැස්සන් දිනපතාම මල් සියගණනක් කරා පියඹා යමින් හා මී වදයට මල් පැණි රැගෙන එමින් කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. වසන්ත කාලය උදා වන විට, පිරිමි සතුන් සහකාරියන් සොයනවා. මේ සඳහා උන් පෙනීම හා සුවඳ මත රඳා සිටියි. කොහොමවුණත්, දුර නොපෙනෙන පිරිමි සතාගේ අවධානය හසු කරගැනීම සඳහා ඌට නොගැළපෙන පෙම්වතියක්—උඩවැඩියා මලක්—උත්සාහයක යෙදෙනවා.
සංසේචනය සඳහා මී මැස්සියන්ව අනුකරණය කිරීම මත රඳා සිටින වනාන්තරවල වැවෙන උඩවැඩියා මල් කිහිපයක් දකුණු යුරෝපයේ තිබෙනවා. මේ උඩවැඩියා මල් අනිකුත් උඩවැඩියා මල්වලට පරාග “කොටස්” යැවිය යුතුයි. හොඳම ප්රවාහකයන් මී මැස්සන්. ඒත්, පිරිමි මී මැස්සන්ව ආකර්ෂණය කරගැනීම සඳහා උඩවැඩියා මල්වල රසවත් මල් පැණි නැති නිසා, මේ උඩවැඩියා මල් ඇත්තෙන්ම කියනවා නම්, ප්රයෝගකාරි උපක්රමයක් යොදාගන්නවා. ප්රයෝගකාරි උපක්රමය අනුගමනය කිරීමේදී, මේ මලේ පෙනුම සහ සුවඳ මී මැස්සියකට මොනතරම් සමානද කියනවා නම්, පිරිමි මී මැස්සා මල සමඟ සංසර්ගයේ යෙදෙන්න උත්සාහ කරනවා! මේ උඩවැඩියා මල් විශේෂ සෑම එකකටම ඊටම ආවේණික වූ රැවටිලිකාර පෙනුමක් හා සුවඳක් තියෙනවා.
තමාගේ හඳුනාගැනීම වැරදි බව පිරිමි මී මැස්සාට දැනෙන විට, උඩවැඩියා මල ඇලෙනසුලු පරාග මිට උගේ සිරුර මත තැන්පත් කර අවසන්. අනතුරුව, පියාඹා යන මේ මී මැස්සාව තවත් උඩවැඩියා මලක්ම රවටාගෙන පරාග ලබාගනියි. මේ වගේ රැවටීම් කිහිපයකට හසුවීමෙන් පසු, මේ උඩවැඩියා මල් විශ්වාස කරන්න බැරි බව මී මැස්සා තේරුම්ගනියි. ඒ වන විට, ඌ මල්වලින් කිහිපයක් පරාගණය කර තිබේවි.
පිරිමි මී මැස්සන්ව රවටාගැනීම සඳහා ගැළපෙන සුවඳ සහ පෙනුම ලබාගන්න, සිතීමේ හැකියාවක් නැති මේ උඩවැඩියා මල්වලට පුළුවන් වන්නේ කොහොමද? යාන්ත්රිකව සිදු වන මෙම විශිෂ්ට ක්රියා, බුද්ධිමත් නිර්මාතෘවරයෙකු සිටින බවට සාක්ෂි සපයන අතර, ඔහුගේ මැවිලි විස්මය දනවනසුලු මෙන්ම මනස්කාන්ත හැඟීම් ඇති කරවීමට කිසිදා අසමත් නොවෙයි.