දෙවියන් වහන්සේ මේ තරම් ඉවසා ඇත්තේ මන්ද?
හාමතින් පෙළෙන දරුවෙකුගේ දුර්මුඛ වූ මුහුණ දෙස බලන්න. වැහැරී ගිය ඔහුගේ සිරුර සහ නෙරා ගිය උදරය දෙස බලන්න. ආහාර සඳහා ඇති ඔහුගේ දුෂ්කර අවශ්‍යතාවය ගැන සිතා බලන්න, ඔහු අත තිබෙන හිස් බඳුන නිරීක්ෂණය කරන්න. සමහර විට ඔහුගේ මව බලා සිටින්නේ දැඩි සේ පීඩනයට පත් වූ දෙනෙතිනි, ඇගේ ම මුහුණ බලාපොරොත්තු විරහිත බවේ බලවත් දසුනක් වෙයි. දැන් ඔබගේ දුක මැඩපවත්වා ගන්න—එසේ ය, ඔබගේ කඳුළු නවත්වා ගැනීමට වෑයම් කරන්න.
වර්ග සැතපුම් මිලියන 2.3කින් යුත් [වර්ග කි.මී. මිලියන 6], සාගතයෙන් පහර ලත් සාහෙල් නමින් හැඳින්වෙන ප්‍රදේශයේ මෙම දසුන මිලියන වාර ගණනක් යළි යළිත් දක්නට ලැබෙයි. සහරා කාන්තාරයේ දකුණු පැත්තේ අප්‍රිකාව හරහා, අත්ලාන්තික් මුහුදු බඩ තීරයේ සෙනගාල්හි සිට රතු මුහුදේ ඉතියෝපියාව දක්වා සැතපුම් 3,000ක් [කි.මී. 4,800ක්] එය විහිදෙයි. ඇත්ත වශයෙන් ම, වෙනත් රටවල ද බහුතර සංඛ්‍යාවක් පසු පස සාගතය ලුහුබැඳ ගොස් ඇත. ලොව වටා සිටින මිලියන 1100ක් පමණ ජනතාව බරපතළ ලෙස අසනීප ව මන්දපෝෂණයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි.
ඇත්තෙන් ම, කුසගින්න වනාහි, මිනිස් දුක් වේදනාවන්ගේ එක් පැත්තක් පමණි. මිනිසා පොළොව දූෂණය කරන අතර, අපි සියලු දෙනා ම ඉන් බලපෑමකට ලක් වී සිටිමු. බොහෝ දෙනෙකුට අසහනය හා මරණය ගෙන එන අයුක්තියට සහ යුද්ධවලට දේශපාලන ක්රමයන් විසින් අනුග්‍රහ දැක්වෙයි. එවැනි දේවල්වලට දෙවියන් වහන්සේ අවසර දෙන්නේ මන්ද? උන් වහන්සේ අප ගැන සලකන සේක් ද?
දෙවියන් වහන්සේ සලකන සේක!
අපගේ මැවුම්කරුවාණන් වහන්සේ අප ගැන සලකන සේක. මේ ගැනත්, අපගේ යහපත උදෙසා සහ ස්වකීය මැවිලි සියල්ලන්ගේ එකමුතුකම උදෙසා දේවල් එක් ව ක්‍රියාත්මක කරවීමට උන් වහන්සේට ඇති හැකියාව ගැනත්, බොහෝ සාක්ෂි තිබේ. නිදසුනක් වශයෙන්, මේ සමඟ ඇති පිංතූරයේ පලතුරු ගසක හට ගත් මලකට ඇදෙන මී මැස්සා දෙස බලන්න. තම පෝෂණය සඳහා අවශ්‍ය මල් පැණි ලබා ගැනීම සඳහා මී මැස්සා පූදින මල මත රඳා සිටියි. අනෙක් අතට, ගස රඳා පවතින්නේ ඒ හා සමාන ගසකින් මී මැස්සා රැගෙන එන පරාග මතයි. මේ අයුරින්, පූදින මලේ පරාග සංයෝජනය වී ඵලය වැඩෙයි. සියලු පලතුරු ගස් මේ අයුරින් පරාග සංයෝජනය වෙනවා නොව, නමුත් මේ සිද්ධියේ දී දෙවියන් වහන්සේ අපූර්ව සහයෝගීතාවයක් පිළියෙල කර ඇති බවට සහතික ය. තව ද උන් වහන්සේගේ යහපත්කම එම පලතුර අනුභව කරන විට අප ලබන වින්දනයට හා ප්‍රයෝජනයට තුඩු දෙයි.
මී මැස්සා වූකලී, හොඳින් සංවිධානය වූ මී මැස්සන් 30,000කට අධික මහත් සේනාවක එක් සාමාජිකයෙකි. සමහරුන් මී වදය ආරක්ෂා කරන අතර, අනෙක් අය එය පිරිසිදු කිරීම හෝ ඊට අවශ්‍ය වාතාශ්‍රය ලැබීමට සලස්වති. මේ අතර, තවත් අය මල් පැණි සහ පරාග ගබඩා කරති, පිලවුන් පෝෂණය කරති, නැතහොත් නව මල්පැණි උල්පත් සොයා යති. දෙවියන් වහන්සේ ම මෙම විධි විධානයන් කොතරම් හොඳින් ඇති කොට තිබේදයත්, එවන් කඩිසර මී මැස්සන් අපගේ ආහාර රුචිය වඩවන ප්‍රණීත පෝෂ්‍යදායී මී පැණි නිපදවන විට අපි එයින් මහත් ප්‍රයෝජන ලබමු.
මී මැස්සන් හා පැලෑටි සහ එම කෘමින් අතර ම ඇති සහයෝගිතාවයේ ප්රතිහාර්ය පමණක් ම, ජීවත් වන දේවල් එකිනෙක සමඟ හවුල් කරන්නට මැවුම්කරුවාණන් හට පූර්ණ වශයෙන් හැකියාව තිබෙන බවට ඇති බොහෝ සාක්ෂිවලින් එක් සාක්ෂියක් පමණි. මේ කාරණය සම්බන්ධයෙන් බලන කල, “දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය.” (1 කොරින්ති 14:33) එසේ නම්, මෙතරම් සංඛ්‍යාවකට දුක ඇති වීම ප්‍රතිඵල කරවමින් එවන් අසමගියකට මිනිස් වර්ගයා හට උන් වහන්සේ ඉඩ හැර තිබෙන්නේ මන්ද? දෙවියන් වහන්සේ අප ගැන සලකන සේක් නම්, මේ තත්ත්වය නිවැරදි කිරීමට උන් වහන්සේ මෙතරම් කල් බලා සිටියේ මන්ද? ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේ මේ තරම් ඉවසා ඇත්තේ මන්ද?
දේව වචනය වන බයිබලය, එවන් ප්‍රශ්නවලට පිළිතුරු දෙයි. මෙම අතිවිශේෂ පොත අපට පවසන්නේ යෙහෝවඃ දෙවියන් වහන්සේ ඉවසා ඇත්තේ හොඳ හේතුවක් ඇති ව බව ය. එම හේතුව කුමක් ද? තව ද දෙවියන් වහන්සේගේ ඉවසීම තව කොතරම් කල් පවතිනු ඇත් ද? w91 10/1
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover photo: Frilet/Sipa