ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 1/8 19-24 පි.
  • “පාරිභෝගිකයා කොයිවෙලේත් හරි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “පාරිභෝගිකයා කොයිවෙලේත් හරි”
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දුප්පත්කමේ පසුබිමක්
  • දුක්මුසු ළමා කාලය
  • විවාහය මගේ ජීවිතය වෙනස් කරයි
  • ධනය තිබියදීත් දරුණු ගැටලු
  • මගේ යාච්ඤාවලට පිළිතුරක්
  • නියම සන්තෝෂය තේරුම්ගැනීම
  • ඔහුගේ මරණය තෙක් විශ්වාසවන්තව
  • ආත්මික ඉලක්ක පවත්වාගැනීම
  • මම ඇහුම්කන් දීම ගැන සතුටු වෙනවා
  • දුප්පත්ව ඉපදුණත් ආශීර්වාද පිරුණු ජීවිතයක්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දරුවන් අටදෙනෙකුව යෙහෝවාගේ මාර්ගයේ පුහුණු කිරීම අභියෝගයක් වගේම ප්‍රීතියක්
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපේ මුළු පවුලම එකතු වුණා!
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘දෙවිගේ වචනය බලවත්ය’
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 1/8 19-24 පි.

“පාරිභෝගිකයා කොයිවෙලේත් හරි”

වයි ෂුං චින් පැවසූ පරිදි

“ඔය දොරේ බෙල් එක ගහන ආගම්කාරයොත් එක්ක” කිසිම සම්බන්ධයක් තියාගන්න එපා කියා මගේ පුරුෂයා මට කියල තිබුණා. ඉතින් යෙහෝවාගේ සාක්ෂිකාරයන් අපේ දොරකොඩට ආවම, අපිට ඒ ගැන උනන්දුවක් නැහැ කියා මම ඔවුන්ට කියනවා. ඒත් “පාරිභෝගිකයා කොයිවෙලේත් හරි” කියලත් එයා මට කියල තිබුණා, ඉතින් සාක්ෂිකාරියක් ඇගේ ආගම ගැන මට කියන්න රෙඩ් ඩ්‍රැගන් කියන අපේ ආපන ශාලාවට ආපු වෙලාවක, ඇහුම්කන් දෙන්න ඕනෙයි කියලා මට හිතුණා.

මගේ පුරුෂයා වන ටෝං වයිට, ඔහයෝ, ක්ලිව්ලන්ඩ්හි, ශා. ක්ලෙයා පටුමගේ පිහිටි රෙඩ් ඩ්‍රැගන් කියන චීන ආපන ශාලාව අයිතිව තිබුණා. අපි විවාහ වුණාට පස්සේ එහිදී තමයි ඔහු මට මේ ආදර්ශ වාක්‍යය ඉගැන්නුවේ: “පාරිභෝගිකයා කොයිවෙලේත් හරි.”

ටී.වයි. අමෙරිකාවට ආවේ නියූ යෝක් විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නයි. වර්ෂ 1927දී උපාධි ලැබුවාට පස්සේ, ඔහු නියූ යෝක්හි ටයිම්ස් චතුරස්‍ර ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක වැඩ කරන්න ගියා. ඉවීමේ පහසුකම් සීමිත තැන්වල, මිනිස්සු බෙහෙත් ගබඩා කවුන්ටරවලින් කෑම අරගෙන කනවා ඔහු දැක්කා. ඉතින් ඔවුන්ට උණු චෞව් මේන් විකිණීමේ අදහස ඔහුට පහළ වුණා.

ග්‍රෙනිච් ගමේ ඔහු පටන්ගත් පුංචි ආපන ශාලාව, ඉතා ඉක්මනින් ප්‍රසිද්ධ ව්‍යාපාරයක් විදිහට කෙරීගෙන ගියා. වර්ෂ 1932දී ඔහු ඔහුගේ ව්‍යාපාරය ඔහයෝහි ක්ලිව්ලන්ඩ් වෙත ගෙන ගිය අතර, එහිදී ආසන 200ක් ඇති රෙඩ් ඩ්‍රැගන් පටන්ගත්තා. වර්ෂ 1932 සැප්තැම්බර් මාසයේදී, ක්ලිව්ලන්ඩ් පුවත්පතක් මෙහෙම වාර්තා කළා: “නැඟෙනහිර ප්‍රදේශය පුරා මිලියන ගණනාවකගේ දිව් පිනවා, මහා විල් ප්‍රදේශයත් ආක්‍රමණය කරමින්, අවුරුදු පහක් තුළ වාර්ෂිකව ඩොලර් මිලියනයක් උපයන ව්‍යාපාරයක් බවට දියුණු කළාවූ ඔහුගේ නැවුම් චෞව් මේන් කර්මාන්තයෙහි ප්‍රථම මධ්‍යම බස්නාහිර ශාඛාව ටෝං වයි. චින්, ක්ලිව්ලන්ඩ් වෙත ගෙනෙනු ලැබුවා.”

ටී.වයි. සහ මම හමු වූ ආකාරය ගැන පැහැදිලි කරන්න ඉස්සෙල්ලා, මගේ ජීවිතය අඹන්න බොහෝ දේ කළ චීනයේ මා වැඩුණු ආකාරය ගැන කියන්න මට ඉඩ දෙන්න.

දුප්පත්කමේ පසුබිමක්

මගේ මුල්ම මතකයන් වන්නේ, චීනයේ ප්‍රධාන භූමි භාගයේ පිහිටි අපේ පුංචි ගම්මානයේ ඉඳලා කෑම සෙවීමට යන අම්මා දෙස බලා හිඳීමයි. මගේ දෙමාපියන් ඒ තරම්ම දුප්පත්ව සිටි අතර, ඔවුන්ගේ සමහර දරුවන්ව හදාගන්න දෙන්න ඔවුන්ට සිද්ධ වුණා. එක දවසක්, මට අවුරුදු දෙකක් නැත්නම් තුනක්ව තියෙද්දී, තාත්තා ගෙදර ආවේ ඔහුගේ ඇස්වල අමුතු පෙනුමක් ඇතුවයි. මම හිතුවා, ‘මට මොකක් හරි නරක ආරංචියක් තමයි’ කියලා.

ඉන් ටික වෙලාවකට පස්සේ, අම්මා මගේ අතින් අල්ලාගෙන පටු, නියරක් දිගේ දෙපැත්තේ තියෙන වතුරට නොවැටෙන විදිහට පරෙස්සමින් ඇවිදගෙන ගියා. ගෙයක් ගාව අපි නතර වෙලා හිනා වෙමින් සිටි ගැහැනු ළමයෙකුට අම්මා කතා කළා; ඊළඟට අපි නැවතුණේ මුහුණේ හිනාවක් නැති, සැර පරුෂ තරුණ ගැහැනු ළමයෙක් සිටි ගෙයක් ළඟයි. මේ ගැහැනු ළමුන්ව ඊට කලින් දැකල තියෙනවා කියල මට මතකයක් නැහැ. ඔවුන් මගේ අක්කලා. ඔවුන්ගෙන් සමුගනිද්දී, ආයේ කවදාවත් මම ඔවුන්ව දකින්න යන්නේ නැහැ කියල මට දැනුණා.

අපි ඇවිදගෙන යන ගමන් මගේ අම්මා ස්ථිර ලෙස කතා කළා; ඈ ගැනත් මගේ තාත්තා ගැනත් මගේ සහෝදර සහෝදරියන් ගැනත් දේවල් මට කිව්වා. අම්මාගේ කරුණාවන්ත, දුක්මුසු ඇස් මට දැනුත් පේනවා. අපි ගමනාන්තයට ආවම, යමක් වැරදී තියෙනවා වගේ පෙනුණා. නිවස අඳුරු දුඃඛිත පෙනුමක් ගත්තා. මේක මගේ අලුත් නිවහන. මට නිදාගන්න ඕනෙ කළේ නැහැ, නමුත් මගේ අම්මාත් මාව හදාගන්න යන දෙමාපියොත් මාව නින්දට යැව්වා. මට ඉක්මනින්ම නින්ද ගියා, ඇහැරිලා බලද්දී, අම්මා ගිහිල්ලා. මම ආයෙ කවදාක්වත් ඇයව දැක්කෙ නැහැ.

දුක්මුසු ළමා කාලය

දැන් ඇති වෙන්න කෑම තිබුණත්, ආදරය තිබුණේ ටිකයි. මගේ හදවත කඳුළුවලින් පිරිලා. මම හැම උදේකම නැඟිට්ටේ අඬමින්. මට මගේ අම්මාත්, ඈ සමඟ සිටි වැඩිමල් අයියාත් නැති පාළුව දැනුණා. මම බොහෝ අවස්ථාවල දිවි නහගන්න උත්සාහ කළා. වයසින් වැඩුණාම මට ඉස්කෝලෙ යන්න ඕනෙ වුණත්, මාව හදාගත් දෙමාපියන් වැඩ කරන්න මාව ගෙදර තියාගත්තා.

මට වයස නවයේදී, අපි ගොඩාක් ඈතින් පිහිටි ෂැංහායි වෙත පදිංචියට ගියා. “දැන් ඔයා ලොකු නිසා සාප්පු යන්නයි උයන්නයි පුළුවන්” කියා මට කිව්වා. ඉතින් මේ වැඩත් මගේ දින චර්යාවට එකතු වුණා. මාව හදාගත් දෙමාපියන් මට හැම දවසකම කෑම වේල් තුනක් ගන්න ඇති තරම් මුදල් දෙනවා. මම වෙළඳපොළට යන අතරමඟදී, හිඟන්නන්ව පසු කර යන අතර, ඔවුන් බඩගින්නේ සිටින නිසා ඔවුන් ගැන මට දුක හිතෙනවා. ඉතින් කෑම මිල දී ගන්න අවශ්‍ය තරම් මුදල් ඉතිරි කරගෙන ඔවුන්ට කාසියක් දෙකක් දෙන්න මට පුළුවන් වෙනවා.

ඉස්කෝලෙ ගිහිල්ල ඉගෙනගන්න මට මොනතරම් ඕනෙ වුණාද! “මාස හයකින් අපි ඔයාව ලියාපදිංචි කරනවා” කියා මාව හදාගත් දෙමාපියන් පොරොන්දු වුණා. කාලය ඉවර වුණාම, “තව මාස හයකින්” කියා මට කිව්වා. කල් යත්ම, මාව කවදාවත් ඉස්කෝලෙට දාන්නේ නැති බව මට වැටහුණා. මගේ හිත බිඳිලයි තිබුණේ. මම ගෙදර ඉන්න හැමදෙනාටම වෛර කරන්න පටන්ගත්තා. හුඟක් වෙලාවල මම නාන කාමරයට ගිහින් දොර වහගෙන යාච්ඤා කරනවා. අපි දෙවිවරු හුඟදෙනෙක් කෙරෙහි විශ්වාස කෙරුවත්, සියල්ලන්ටම වඩා බලවත් ප්‍රධාන දෙවිකෙනෙක් ඉන්න බව මම කොහොම හරි දැනගෙන හිටියා. ඉතින් ඔහුට මම යාච්ඤා කළා: “මෙච්චර වේදනාවත් දුකත් තියෙන්නේ ඇයි?” අවුරුදු ගණනාවකට මගේ යාච්ඤාව වුණේ ඒකයි.

විවාහය මගේ ජීවිතය වෙනස් කරයි

යෝජනා මාර්ගයෙන් කරන විවාහයන් ඒ දවස්වල චීනයේ සාමාන්‍යයි. චීනයට ආයෙත් ආපු ටී.වයිගේ විශ්වවිද්‍යාලයේ යාළුවෙක් ඔහුට මෙහෙම ලිව්වා: “ඔබ අවුරුදු 30 පැනලත් තාම අවිවාහකයි.” ඊටපසු ඔහු මා ගැන කතා කරමින් මෙහෙම එකතු කළා: “ඇයට වයස අවුරුදු 18යි; ඇයට ලස්සන මුහුණක් තියෙනවා, චරිතයත් ඒ වගේමයි. . . . ටෝං වයි. චින්, මම ඔබ වුණා නම්, මම ඒ ගැන බැරෑරුම් විදිහට හිතල බලනවා.” ඔහුගේ යාළුවා මගේ ඡායාරූපයකුත් ඇතුල් කෙරුවා.

ටී.වයි. මාව හදාගත් දෙමාපියන්ට මෙහෙම ලිව්වා: “ඔබේ ගරුතර දියණියගේ ඡායාරූපය මම දැක්කා. ඇය සමඟ ටික කාලයක් ගත කර, අපේ හිත්වල ආදරය මෝදු වන බව දැනුණොත් මම ඇය සමඟ විවාහ වෙනවා.” ටී.වයි. ෂැංහායිවලට පැමිණි අතර, එහිදී අපි මුණගැසුණා. ඔහු තලත්තෑනි කෙනෙක් කියල මට හිතුණත්, අඩුම තරමින් ගෙදරින් පැනගන්න මට පුළුවන් වෙන හින්දා මම විවාහ වෙන්න තීරණය කළා. ඉතින් අපි 1935දී විවාහ වෙලා අනිත් අතට අමෙරිකාව බලා නැව් නැග්ගා. අන්න එහෙම තමයි මම ක්ලිව්ලන්ඩ්වලට ආවේ.

ධනය තිබියදීත් දරුණු ගැටලු

පටන්ගැන්මක් හැටියට, මගේ පුරුෂයා එක්ක අදහස් හුවමාරු කිරීමේ ගැටලු තිබුණා. ඔහු එක් චීන උපභාෂාවක් වන කැන්ටොනීය උපභාෂාව කතා කළ අතර, මම වෙන එකක් වන ෂැංහායීය උපභාෂාව කතා කළා. ඒක හරියට අපි භාෂා දෙකක් කතා කරනවා වගෙයි. තවත් මට ඉංග්‍රීසි භාෂාව සහ අලුත් සිරිත් විරිත් ඉගෙනගන්න සිද්ධ වුණා. ඒ වගේම මගේ අලුත් රැකියාව? කොයිවෙලේත් පාරිභෝගිකයන්ව සතුටු කරවන, ආකර්ෂණය කරවන, කරුණාවන්ත ආපන ශාලා සේවිකාවක් වෙන්න මට සිද්ධ වුණා. ඔව්, මම මතකයේ තියාගන්න යුතුව තිබුණා මේ දේ, “පාරිභෝගිකයා කොයිවෙලේත් හරි.”

මම මගේ පුරුෂයා එක්ක දවසකට වෙහෙසකර පැය 16ක් එක දිගටම වැඩ කළ අතර, ඉන් බොහෝ අවස්ථාවලදී මම ගැබිණියක්ව සිටියා. අපේ පළවෙනි දුව ග්ලෝරියා 1936දී ඉපදුණා. ඉන්පසු, අවුරුදු නවයක් ඇතුළත, මම දරුවන් හයදෙනෙක් වැදුවා—පිරිමි ළමුන් තුනයි, ගැහැනු ළමුන් තුනයි, ඉන් එක් කෙනෙක් අවුරුද්දක් වයස්ව සිටිද්දී මියගියා.

මේ අතරතුර, ටී.වයි. බොහෝ ආපන ශාලා සහ රාත්‍රි සමාජ ශාලා පවත්වමින් සිටියා. කේයි ලූක්, ජැක් සූ සහ කේයි බැලඩ් වැනි අය සතුටු කරන්නන් හැටියට තම වෘත්තිය මෙහිදී ආරම්භ කර ප්‍රසිද්ධ වූ අයයි. එමෙන්ම, අපේ චීන කෑම හැමතැනකම විකිණුණු අතර, ජනප්‍රිය වුණා.

වර්ෂ 1930 ගණන්වල මැද භාගයේදී, ටී.වයිව චෞව් මේන් රාජයා ලෙස හඳුන්වනු ලැබුවා. ඔහු චීන ව්‍යාපාරිකයන්ගේ ආයතනයේ සභාපති වූ අතර, චීනය පිළිබඳ දේශකයෙක්ද වුණා. මම බොහෝ පුණ්‍ය කටයුතු, සමාජ, නාගරික සහ ප්‍රජා කටයුතුවලට සම්බන්ධ වෙන්න පටන්ගත්තා. ජනයා ඉදිරියේ පෙනී සිටීම සහ ආචාර පෙළපාළිවලට යෑම මගේ ජීවිතයේ කොටසක් වුණා. අපේ ඡායාරූප සහ නම් ක්ලිව්ලන්ඩ් පුවත්පත්වල පොදු දසුනක් වුණා; අපි කළ කී සෑම දෙයක්ම වගේ වාර්තා වුණා—ව්‍යාපාරික කටයුතුවල සිට නිවාඩු විතරක් නෙවෙයි මගේ සපත්තුවේ ප්‍රමාණය පවා!

වර්ෂ 1941දී, ජපන් ගුවන් හමුදාව පර්ල් වරායට බෝම්බ හෙළුවාම, එක්සත් ජනපදය ජපානය සමඟ යුද්ධයට ගියා. අපි ප්‍රාචීනයන්ව සිටි නිසා, අගතිය අද්දැක්කා. යුද්ධයට කලින් පවා, අපි නම්බුකාර ප්‍රදේශයක අපේ විශාල ගෙය හදද්දීත්, ලිඛිත මරණ තර්ජන ආවා. නමුත් එහි වැඩ අවසන් කරල අපි අපේ දරුවන්ව එහි ඇති දැඩි කළා.

ඉතින් මට ලස්සන, ඉඩ කඩ තියෙන ගෙයක්, හැමදෙනාම ගරු කරන ස්වාමිපුරුෂයෙක් සහ පවුලක්, ඔව්, ලස්සන ඇඳුම් ආයිත්තම් සහ රන් ආභරණ පවා තිබුණා. ඒත්, සන්තෝෂය මගෙන් තුරන් වෙමින් තිබුණා. ඇයි? එක් දෙයක් වූයේ, පවුල් ජීවිතය තුළ අපි ගත කළ කාලය ඉතා අල්ප වීමයි. හැමදාම උදෙන්ම නැඟිටලා ළමයි ඉස්කෝලෙ යනවා බලන්න මට පුළුවන් වුණත්, ඔවුන් ආපහු ඇඳට යනතුරුම සාමාන්‍යයෙන් අපි වැඩ කරමින් සිටියා. ගෘහ පාලිකාවක් ඔවුන්ගේ දෛනික කටයුතු බලාකියා ගත්තා.

අපි බෞද්ධයන් වුණත්, අපේ ආගමේ දෙවිවරු මට කිසිම සහනයක් ලබා දුන්නේ නැහැ. ටී.වයි., අපේ ලොකු පුතා එක්ක ගේ වටේ ගිහිල්ල ඉටිපන්දම් පත්තු කරල, දෙවිවරුන්ට කන්න රූප ඉදිරියෙන් කෑම තියනවා. නමුත් කිසිදාක ඔවුන් ඒවා කෑවේ නැහැ; ඉතින් ළමයි පස්සේ ඒවා කාලා ආස්වාදයක් ලැබුවා.

අන්තිමේදී, දුක් විඳීමෙන් වෙහෙසට පත් වී, ගැළවෙන්න කිසිම මඟක් නැති වුණාම, මගේ පවුලට මාව නැතුව ඉන්න එක වඩා හොඳයි කියල හිතුවා. මාව සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා; මගේ ජීවිතය නැති කරගන්න උත්සාහ කළා. ස්තුතිවන්ත වෙන්න, මාව ඉක්මනින් ඉස්පිරිතාලෙට ඇතුල් කළ අතර, මම යථා තත්වයට පැමිණුණා.

මගේ යාච්ඤාවලට පිළිතුරක්

යම් කාලයකට පසු, 1950දී, ලස්සන සුදු කොණ්ඩයක් තිබූ කාන්තාවක් ඇගේ පුරුෂයා එක්ක ආපන ශාලාවට ඇතුල් වුණා. මම ඔවුන්ව පිළිගෙන, ඔවුන්ගේ ඕනෑඑපාකම් සොයා බලන අතර, ඇය මට දෙවි ගැන කතා කළා. මම උනන්දුවක් දැක්වූයේ නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට පැමිණ මාත් එක්ක කතා කරන්න උත්සාහගත්තත්, මම කොයිවෙලේත් ඔවුන්ව ඉක්මනින්ම පිටත් කර හැරියා. කෙසේවෙතත්, ආපන ශාලාවේදී, තත්වය වෙනස්—“පාරිභෝගිකයා කොයිවෙලේත් හරි!”

හෙලන් වින්ට’ස් නම් මේ කාන්තාව, බයිබලය විශ්වාස කරනවාද කියල මගෙන් ඇසුවා. “කොයි බයිබලේද?” මම ඇසුවා. “බයිබල් ගොඩාක් තියෙනවා!” ඇය නැවත එන හැම වතාවකම, ‘කරදරේ ඔන්න ආයෙත් එනවා!’ කියා මම මටම කියාගත්තා. නමුත් ඇය කාරුණික මෙන්ම ධෛර්යවත් කෙනෙක් වුණා. වේදනාව සහ දුක තවත් නැති පාරාදීසයක් ගැන ඇය කී දේවල් ඇත්තටම සිත්ගත්තා.—2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.

එක් බැහැදැකීමකදී, ඇය රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීම්වලට ආරාධනා පතක් තබා ගොස් තිබූ අතර, එහි අනිත් පැත්තේ දෙවිගේ රාජ්‍යයේ ආශීර්වාද විස්තර කරන කෙටි පණිවිඩයක් ලියා තිබුණා. ඒක දිහා බලලා මෙහෙම හිතනවා මට මතකයි: ‘ඒත් ඉතිං ඒක ඇත්තක් වෙනවා නම්!’ මාත් එක්ක ගෙදරදී බයිබල් පාඩමක් කරන්න ඇය මට ආරාධනා කළා, මම අන්තීමට එකඟ වුණා.

සෑම සතියකම පාඩම සඳහා අපේ මේසය වටේ අපි එකතු වුණා—ඒ වෙද්දී වයස අවුරුදු 5 සිට 14 දක්වා වූ ළමයි හයදෙනාත් එක්ක මමත්, හෙලනුත්. සමහර අවස්ථාවලදී ළමයි උනන්දුවක් නොපෙන්වන කොට ඇය ගැන මට දුක හිතුණා. වර්ෂ 1951දී මම රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීම්වලට සහභාගි වෙන්න පටන්ගත්තා. මම ඉගෙනගනිමින් සිටින්නේ මගේ යාච්ඤාවලට පිළිතුරක් හැටියටයි කියා වැඩි කල් යන්ට මත්තෙන් මට තේරුම් ගියා. මට දුෂ්කර අභියෝගයක් වූ හොඳින් ඉංග්‍රීසි කියවන්න ඉගෙනගැනීම, මට ඇත්තටම ඕනෙයි කියා මම තීරණය කළා.

නියම සන්තෝෂය තේරුම්ගැනීම

මම දැනුමෙහි ශීඝ්‍ර ප්‍රගතියක් ලබන්න පටන් අරගෙන යෙහෝවා දෙවිට මගේ ජීවිතය කැප කළා. ඉන්පසුව, 1951 ඔක්තෝබර් 13වෙනිදා, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වූ විශාල සමුළුවකදී, මගේ ලොකු ළමුන් දෙදෙනා වන ග්ලෝරියා සහ ටොම්, මාත් එක්ක බව්තීස්ම වුණා. මුල් වතාවට, මගේ ජීවිතයට අර්ථයක් ලැබුණා. එය මගේ සන්තෝෂවත්ම අවුරුදුවල ආරම්භය වුණා.

මගේ ජීවිත කාලය පුරාම සේවය කර තිබුණේ අනිත් මිනිසුන්ටයි. නමුත් ඉස්සෙල්ලාම අපේ මැවුම්කාරයාට සේවය කරන්න මම දැන් අධිෂ්ඨාන කරගෙන තියෙනවා! ඇහුම්කන් දෙන සියලුමදෙනා සමඟ රාජ්‍ය පණිවිඩය බෙදාගන්න මම පටන්ගත්තා. ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමේ අවශ්‍යතාව විතරක් නෙවෙයි, දෙවිගේ වචනයේ ඇති පුදුමාකර දේවල් ගැන අනිත් අයට කතා කිරීමේ වැදගත්කමත් මගේ දරුවන්ට කාවද්දන්න මම උත්සාහ කළා.

වර්ෂ 1953දී, අපේ ගෙදර සභා පොත් පාඩම පවත්වන්න පටන්ගත්තා. අවුරුදු 45කට විතර පසුවත්, තවමත් පාඩම මෙහිම පවත්වනවා. අවුරුදු ගණනාව පුරා එය අපේ පවුලට මවිතාකර ආත්මික උපකාරයක් වී තිබෙනවා.

ආත්මික ක්‍රියාකාරකම්වල යෙදෙන අතරම, ආපන ශාලා ව්‍යාපාරය පවත්වාගෙන යෑම ඇත්තටම අභියෝගයක් වුණා. කෙසේවෙතත්, බොහෝදෙනෙක් සමඟ බයිබලය පාඩම් කරන්න මට පුළුවන් වුණා. ඔවුන්ගෙන් සමහරු බයිබල් සත්‍යය පිළිගෙන පසුව පූර්ණ-කාලීන සේවකයන්යයි කියන පුරෝගාමීන් බවට පත් වුණා. එක්දහස් නවසිය පනස් ගණන්වලදී අපේ බාල දරුවන් හතරදෙනා යෙහෝවාට ඔවුන්ගේ ජීවිත කැප කර, බව්තීස්ම වුණා. ටී.වයි. බයිබලය කෙරෙහි උනන්දුවක් දැක්වූයේ නැති වුණත්, රැස්වීම්වලට යන්න එන්න අපිට වාහනය පැදෙව්වා. ඔහුට දේශනා නොකරන්නත්, අපව ගෙදර ඇරලවද්දී, රැස්වීමෙන් ඉගෙනගත් කරුණක් දෙකක් අපි අපි අතරේ කතා කර කර යන්නත් අපි තීරණය කළා.

ඒ කාලයේදී, ටී.වයි. එක්සත් ජනපදයේ නගර පුරා නිතර නිතර ව්‍යාපාර සංචාරයන්වල යෙදුණා. මම නියූ යෝක්, බෘක්ලින්හි පිහිටි මුරටැඹ සමිතියේ මූලස්ථානයට දුරකථන ඇමතුමක් දී, අපේ තත්වය විස්තර කළා. එවකට සමිතියේ භාණ්ඩාගාර-ලේකම් වූ ග්‍රාන්ට් සූට’, අපි නියූ යෝක්හි සිටියදී, ගොඩනැඟිල්ල බලන්න එන්න කියා අපිට ආරාධනා කළා. එවකට 500දෙනෙකුට කෑම පිසින්න සකස් කර තිබූ කුස්සියේ පිරිසිදුකම දැකලා විශේෂයෙන්ම ටී.වයිගේ සිත තදින් ඇදීගියා.

අපේ බැහැදැකීම අතරේදී, අපට රසල් ක’සන් හමු වූ අතර, ඔහු පසුව ටී.වයිට බයිබලයක් තැපෑලෙන් එව්වා. අවසන් කරන තුරු ඔහු සෑම රාත්‍රියකම එය කියෙව්වා. පසුව, 1958දී නියූ යෝක්හි පැවැත්වූ යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ ජාත්‍යන්තර සමුළුවකදී මගේ ස්වාමිපුරුෂයා බව්තීස්ම වුණා! අපේ පුදුමයට හේතු වෙමින්, ඒ වන විට මූලස්ථාන පවුලේ සාමාජිකයෙක්ව සිටි අපේ ලොකු පුතාට, වැඩසටහනේ කෙටි කොටසක් තිබුණා.

ඔහුගේ මරණය තෙක් විශ්වාසවන්තව

ටී.වයි. සහ මම බොහෝවිට දොරින් දොර සේවයේ එකට සහභාගි වුණා. ඔහුගේ ඇස් පෙනීම දුර්වල වෙද්දී, අපි නිතරම වීදි සාක්ෂිදැරීමේ යෙදුණා. ද ක්ලිව්ලන්ඩ් ප්‍රෙස් මෙම මාතෘකාව තැබුවා: “රෙඩ් ඩ්‍රැගන්හි හැරීම.” අසලින් යන්නෙකුට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා බෙදාහරින අපේ ඡායාරූපයක්ද එතැනම තිබුණා. අපි සාක්ෂිකරුවන් වූ ආකාරය ලිපියේ සඳහන් කළා. අහම්බෙන්, රෙඩ් ඩ්‍රැගන් සඳහා වෙනස් කළ අලුත් නමක් එයට දුන් අතර, එය චින්ගේ ආපන ශාලාව බවට පත් වුණා.

පසුගිය අවුරුදු ගණනාව පුරා මගේ පුරුෂයාත් මමත්, අපේ ආපන ශාලාවට ලෝකයේ සෑම තැනකින්ම පැමිණි බොහෝ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ව සතුටු කරවා තියෙනවා. මුරටැඹ බයිබල් සහ පත්‍රිකා සමිතියේ සභාපති ලෙස සේවය කළ සහෝදර ෆ්‍රෙඩ් ෆ්‍රාන්ස් දුන් උපදේශය අපිට හොඳට මතකයි. ඔහු පැමිණි විට ඔහු අපෙන් උදක්ම ඉල්ලා සිටියේ, “විශ්වාසවන්තව ඉන්න, ඒ වගේම යෙහෝවාගේ සංවිධානයට ඇලී ඉන්න” කියායි.

වර්ෂ 1970 මුල් අවදියේදී ටී.වයි. හෘදය අමාරු කිහිපයකින් දුක් විඳ, 1975 අගෝස්තු 20වෙනිදා මරණයට පත් වුණා. ප්‍රාදේශීය පුවත්පත දිග මරණ දැන්වීමක් ප්‍රකාශයට පත් කළ අතර, ඒ සමඟම දේවසේවයේ මුරටැඹ ඉදිරිපත් කරන ඡායාරූපයකුත් දමා තිබුණා. අපි එකට ගත කළ අන්තිම අවුරුදු හොඳම ඒවා වුණා. අවුරුදු 60කට වඩා වැඩි කාලයක් මෙහෙයවා 1995 අප්‍රියෙල් මාසයේදී අවසන් වරට චින්ගේ ආපන ශාලාව වසා දැමුවා. සමහරෙකුට, එය යුගයක නිමාවක් මෙන් වුණා.

ආත්මික ඉලක්ක පවත්වාගැනීම

එක් අවස්ථාවක අපේ ආශාව වුණේ අපේ පුතුන් තුන්දෙනා පවුලේ ව්‍යාපාරය පවත්වාගෙන යෑමයි. කෙසේවෙතත්, ඒ ආශාව වෙනස් වුණා; ඔවුන් යේසුස්ගේ අඩිපාරේ ගමන් කර පූර්ණ-කාලීන සේවකයන් වීම අපිට ඕනෙ කළා. අපි එක් එක් දරුවාගෙන් ඇසුවා, ඔහු නැත්නම් ඇය හොංකොං වෙත ගොස් අපි ඉගෙනගත් දේවල් අනිත් චීන මිනිසුන්ට උගන්වන්න උපකාර කරන්න පුරෝගාමී සේවය කරන්න කැමතිද කියලා. ඒ සඳහා අපි ඔවුන්ට ආර්ථික අනුබලය දුන්නා. ඔවුන් එක් කෙනෙක්වත් ඒ වන විට ව්‍යක්ත විදිහට චීන භාෂාව කතා කරන්න ඉගෙනගෙන තිබුණේ නැති වුණත්, විනිෆ්‍රඩ්, වික්ටෝරියා සහ රිච’ඩ් හොංකොං වෙත යන්න තෝරාගත්තා.

අපේ දුව වන විනිෆ්‍රඩ් පුරෝගාමියක් හැටියට අවුරුදු 34කට වැඩිය එහි සේවය කර තියෙනවා! වික්ටෝරියා, මාකස් ගම් සමඟ විවාහ වූ අතර, කල්යත්ම එක්සත් ජනපදය වෙත පැමිණියා. ඔවුන් දරුවන් තුන්දෙනෙක් ඇති දැඩි කළා—ස්ටෙෆනි සහ සරේයා, ඔවුන් ක්ලිව්ලන්ඩ්හි පූර්ණ-කාලීන සේවය කරන අතර, සිමියන් ඔහුගේ බිරිඳ මෝර්ෆිඩ් සමඟ නියූ යෝක්, වොල්කිල්, මුරටැඹ ගොවිපොළේ සේවය කරනවා. වික්ටෝරියා සහ මාකස් මාව බලාගන්න උදව් වෙමින් ළඟපාතක ජීවත් වෙනවා. ඔහු ක්ලිව්ලන්ඩ්හි කවෙන්ට්‍රි සභාවේ මුලසුන භාර අවේක්ෂකයායි.

අපේ ලොකු දුව ග්ලෝරියා, 1955දී පෝලියෝවලින් පහර ලැබූ නිසා රෝද පුටුවකට සීමා වී සිටිනවා. ඇය, ඇගේ පුරුෂයා වන බෙන් සමඟ කැලිෆෝනියාවේ එස්කොන්ඩිඩෝහි ජීවත් වන අතර, දේශනා වැඩයේ නිතිපතා යෙදෙමින් සිටිනවා. ටොම් අවුරුදු 22ක් පුරා පූර්ණ-කාලීන සේවකයෙක් ලෙස සේවය කර තිබෙනවා. ඔහු සහ ඔහුගේ බිරිඳ වන එස්තර්, නියූ යෝක්, පැටසන්, මුරටැඹ අධ්‍යාපන මධ්‍යස්ථානයේ දැන් සේවය කරනවා. ටී.වයි. මැරෙන්න කලින් ඔහුව බලාගන්න රිච’ඩ් සහ ඔහුගේ බිරිඳ ඒමි, හොංකොං සිට නැවත ආවා. දැන් ඔවුනුත් පැටසන්හි සේවය කරනවා. අපේ බාලයා වෝල්ඩන් පූර්ණ-කාලීන සේවය තුළ අවුරුදු 30කට වැඩි කාලයක් ගෙවා තියෙනවා. පසුගිය අවුරුදු 22 පුරා ඔහු සහ ඔහුගේ බිරිඳ මෙරි ලූ එක්සත් ජනපදයේ සභාවල චාරිකා සහ දිස්ත්‍රික් වැඩයේ යෙදී තියෙනවා.

අපේ දරුවෝ අපිට කිසිදාක ගැටලු ඇති කළේ නැහැයි කියල හිතන්න එපා. නහඹරව සිටිද්දී එක් කෙනෙක් ගෙදරින් පැනල ගිය අතර මාස තුනකට කිසිම හෝඩුවාවක් දැනගන්න ලැබුණේ නැහැ. එක් කාලයක තවත් පුතෙක් ආත්මික දේවලට වඩා ක්‍රීඩාවලට වැඩි උනන්දුවක් දැක්වූ අතර, තරඟවලට සහභාගි වීම සඳහා අපේ සතිපතා පවුලේ බයිබල් පාඩමෙන් කට්ටි පනිමින් හිටියා. ඔහුට මලල ක්‍රීඩා ශිෂ්‍යත්වයක් පවා ලැබුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වෙනුවට පූර්ණ-කාලීන සේවයට ඇතුල් වෙන්න ඔහු තීරණය කළාම, මගේ කරෙන් රාත්තල් දහස්ගණනක බරක් උස්සල අයින් කළා වගේ දැනුණා!

මම ඇහුම්කන් දීම ගැන සතුටු වෙනවා

මගේ දරුවන් වචනයේ පරිසමාප්තියෙන්ම ලෝකය පුරා විසිරී සිටියත්, ඔවුන් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන බව දැනගැනීම මගේ හදවතට නව පණක් ලබා දෙනවා. මට දැන් අවුරුදු 81යි, හන්දිපත් රුදාව සහ වෙනත් ලෙඩ දුක් මගේ ගමන බාල කර තියෙනවා වුණත්, යෙහෝවා සඳහා මගේ ජ්වලිතය අඩු වී නැහැ. මාව බලාගන්න, පූර්ණ-කාලීන සේවය අතහැර කිසිම දරුවෙකුට එන්න ඕනෙ නැති වෙන්න, මම මං ගැනම බලාගන්න උත්සාහ කරනවා.

දෙවිගේ පොරොන්දු සම්පූර්ණයෙන්ම ඉටු වන සහ මගේ පුරුෂයා, මාව බිහි කළ දෙමාපියන් සහ අපිත් එක්ක පාඩම් කළ හෙලන් වින්ට’ස් ඇතුළු මගේ මියගිය ප්‍රේමනීයයන්ව ආයෙත් දකින්න යන අනාගතය දිහා මම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) අවුරුදු 46කට පෙරාතුව, ඒ ලස්සන සුදු කොණ්ඩයක් තිබුණු කාන්තාවට ඇහුම්කන් දීම ගැන මම මොනතරම් සතුටු වෙනවාද! ඇත්තටම, ඒ පාරිභෝගිකයා හරි!

[21වන පිටුවේ පින්තූරය]

අපි විවාහ වූ විට

[23වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1961දී අපේ පවුල. වමේ සිට දකුණට: වික්ටෝරියා, වයි, රිච’ඩ්, වෝල්ඩන්, ටොම්, ටී.වයි., විනිෆ්‍රඩ් සහ ඉදිරියෙන් ග්ලෝරියා

[24වන පිටුවේ පින්තූරය]

වයි චින් අද

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න